16559022_257982054629892_1538056816_n

මෑතකාලීනව වඩාත් සියුම්ව දක්නට ලැබුණ දෙයක් සහ වඩාත් අරගලකාරී ලෙසට දක්නට ලැබුණ ප්‍රස්තුතයක් ලෙසට අපට ස්වභාවධර්මය පිළිබඳ සාකච්ඡාව හඳුනාගත හැකිය. නමුත් එහිදී මූලික වශයෙන් අපට දක්නට ලැබෙන්නේ එම සාකච්ඡාව ස්වභාවධර්මය යන්න සෑම විටම සංස්කෘතිය සහ සමාජය ලෙස තවත් වර්ගීකරණයන් දෙකක් සමග එකට ගෙන සංවාදයට බඳුන් කරනා බවයි. ස්වභාවධර්මය ලෙස මෙහිදී හඳුනා ගැනෙන්නේ සංස්කෘතියෙන් සහ සමාජයෙන් පරිබාහිර වන්නා වූ දෙයයි. වෙනත් ආකාරයකට කියන්නේනම්, ස්වාභාධර්මය යන්න එය තුළම, සංස්කෘතිය සහ සමාජය යන සංසන්ධනාත්මක වර්ගීකරණයෙන් ඔබ්බෙහි පවතින්නේ කෙසේද කියා අප සිතන්නේ නැත. ඒ නිසා  ස්වභාවධර්මය යනු කුමක් ද කියා ප්‍රශ්න කළ යුතු වේ. ස්වභාවධර්මය ලෙස අප හඳුනාගන්නේ කුමක්ද යන ප්‍රශ්නය අප හැඳින ගත යුතුය. එසේ වන්නේ මිනිසාට එයින් තොරව ජීවත් වීමට සිතාගත නොහැකි නිසාත් එමෙන්ම ස්වභාවධර්මය ලෙස සැලකුව ද ඒ  සියල්ල එසේ සැලකිය හැක්කේ ‘මිනිසා’ පවතිනා නිසාත්ය. මෙහිදී මා යෝජනා කිරීමට යන, බැලූ බැල්මට පරස්පර ලෙස පෙනෙන, ප්‍රධාන අදහස, මේ අනුව, මෙයයි: මිනිසාගෙන් තොරව ස්වභාවධර්මයක් නොපවතින අතර, එසේ නම් සැබවින්ම ස්වභාවධර්මයක් කියා දෙයක් ද නොමැති වේ.

තරමක් රළු ලෙස මෙසේ පැවසුව ද එයින් අදහස් වන්නේ මේ තිබෙන කඳු, වනාන්තර, ගංගා ආදිය විනාශ කළ යුතු බව හෝ එවා නොමැති බව නොවේ. ඉන් ඔබ්බෙහි වූ සද්භාවවේදී ආස්ථානයකි. ඒ නිසා අප විශේෂයෙන් මෙම මූලික ප්‍රශ්නය නිරාකරණය කරගත යුතුය. මෙම උභතෝකෝටිකය ජය ගැනීමට අපට අවශ්‍ය වන්නේ සිතීම  ආරම්භ කරන මොහොත පිළිබඳ සිතීමකි. ඕනෑම දෙන ලද මොහොතක දී අපි ඒවන විටත් කිසියම් පසුබිමක නැත්නම් සන්දර්භයක සැරිසරමින් සිටින්නෙමු. අප සම්බන්ධතා පවත්වන දේවල් වල තවත් – පැවැත්මවල් තිබේ. මේ සියල්ල එකට බැඳී තිබෙන පසුබිමක අපට ලෝකය වටහා ගත හැක. මේ අනුව යම් ලෙසකට මෙම පැවැත්ම අපට සමඟ-පැවැත්මක් (Being-with) ලෙසට වටහා ගැනීමට සිදු වේ.

ඒ අනුව  අපට මිනිසා වටහා ගැනීමට සිදු වන්නේ සමඟ-පැවැත්මෙනි. යම් කෙනෙකු ඇසුවහොත් ‘එහෙනම් මිනිස්සු පෙන්වන්න’ කියා එය විශාල අභියෝගයකි. එසේ වන්නේ සිතීම සහ කතා කිරීම කෙනෙකු ලෙසට පමණක් ඌනනය කර ඇති මිනිස්සු නැතිනම් මේ – කෙනා- පෙන්වීම පහසු නොවීමයි. අපට පරිඝණකය මා ඉදිරියට ගෙන ඒ පිළිබඳව කතා කිරීමට හැකි වුවත් මා එසේ ඉදිරිපිට වස්තුවක් ලෙසට ඌනනය නොවේ.

මෙහිදී අප මූලිකවම වටහාගත යුතු ආස්ථානය අප මෙසේ සටහන් කරමු. ස්වභාවධර්මය පිළිබඳව අපට තිබෙන දැනුම අයත් වන්නේ ස්වභාවධර්මයට නොව අපටයි. එවිට, මෙම දැනුමට පැවැත්මක් තිබෙනවා නම්  එය පැවතිය හැක්කේ මගෙන් පරිභාහිරව නොව මගේ, අභ්‍යන්තරය තුළයි. මෙහිදී අභ්‍යන්තරය යන්න හැඟවෙන්නේ පෙට්ටියක් ඇතුළේ යන අර්ථයෙන් නොවන බව අප මතක් කරමු.

අපට දැනුම ලබා ගැනීම සඳහා අප ලෝකයක් තුළ සිටිය යුතු වේ. එවිට අප ලෝකය තුළ සිටින ආකාරය, දැනුම ලබා ගැනීම නම් ක්‍රියාව ඇතිවීමට – එනම්, පැවතීමට – පෙර පැවතිය යුතුය. දැනුම ලබා ගන්නවා යනු අපි ලෝකයක් තුළ ඇති දේ සමඟ එකට ගැට ගැසී තිබෙන දේ නම්  අනෙක් පැත්තෙන් වස්තූන් – ඉදිරිපිට පැවැත්මවල් ලෙස නිරීක්ෂණය කිරීමයි. එසේම මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ අපට මෙසේ වස්තූන් දෙස බැලිය හැක්කේ ඒවායේ පැවැත්මවල් වල යම් බිඳ වැටීමක් සිදුවන්නේ නම්ය. මා දැන් භාවිත කරන පරිඝණකය ක්‍රියාත්මක වන තුරු එය මට අවශ්‍යය නොවේ. එය බිඳ වැටුණ විට එය ඉදිරිපිට වස්තුවක් වේ. වෙනත් ලෙසකට කියන්නේ නම්, පරිඝණකය ගැන දැනුම ලබා ගත හැකිය. අපට මෙම අදහස විල්පත්තුවට ආදේශ කළ හැකිය. විල්පත්තුව බොහෝ කාලයක් පැවතුන අතර එකවරම එහි විශාල ප්‍රමාණයේ විනාශයක් ඇති විය. කැළෑ කැපීමක් ඇතිවිය. එවිට එය අපට බිඳ වැටුණ වස්තුවක් ලෙසට අභිමුඛ වේ. ඒ නිසා විල්පත්තුව අපට දැන් අවශ්‍යය වස්තුවකි. නව දැනුමකි. නමුත් මෙම අදහස මින් නතර නොවේ.

අපට මෙමඟින් නිගමනය කළ හැක්කේ  අප මෙලෙස ලබා ගන්නා දැනුමත් ලෝකය-තුළ-පැවැත්මේ එක් ආකාරයක් ලෙස වටහාගත හැකි බවයි. එසේ නොමැතිව එය අපෙන් පරිබාහිර ලෝකයක් පිලිබද ලැබෙන මානසික නියෝජනයන්, අපගේ ‘අභ්‍යන්තරය’ තුළ ගබඩා කරගන්නා තොරතුරු සමුදායක් ලෙස වටහා ගැනීම නිවැරදි නොවේ.මිනිසා දැනුම ලබා ගන්නවා යනු මිනිසා එළියට ගොස්ග්‍රහණයකර ගන්නා දෙයක් නොව, ඒ වන විටත් එළියේම සිටින මිනිසාගේ පැවැත්මේ නිමේශයකි. අනෙක් අතට මිනිසායනු ලෝකය තුළ පැවැත්ම වන හෙයින් එය ඒ වන විටත් තිබෙන්නේ ඇතුළෙහිය.

මේ අනුව පැහැදිලි වන්නේ මිනිසාගේ පැවැත්ම සහ දැනුම එළිය / ඇතුළ යන ප්‍රතිපක්ෂය තුළින් තේරුම් ගැනීම අසාර්ථක බවයි. දැනුම යනු මිනිසුන් විසින් ලෝකය තුළ ඇති කරනා නවීන ආකාරයේ පැවැත්මකි. එම දැනුම ඇති වීමට පෙර මිනිසා ඒවන විටත් එම ලෝකයේම කොටසකි. ඒ දැනුමෙන් අපට විද්‍යාව, දර්ශනය, කලාව, අභ්‍යවකාශ විද්‍යාව ආදී ඕනෑම දෙයක් කළ හැකිය.ඒත් ලෝකය යන්න නිපදවන්නේ එම දැනුමෙන් කියා පැවසීම කළ නොහැක. මන්ද, ලෝකය යනු එයට වඩා ප්‍රාථමික ක්‍රියාවලියකි. එය වටහා ගන්නට නම්, ලෝකය-තුළ-පැවැත්ම වටහා ගත යුතුය.

සෛද්ධාන්තික භෞතික විද්‍යාව , ලෝකය විස්තර කිරීම යනුවෙන් කරන්නේ දේවල් ඉදිරිපිටට ගෙනවිත් විනිශ්චය කිරීමයි. එහිදී සිදුවන්නේ සියල්ල සිදුවුවත් – ලෝකය- විස්තර නොවීමයි. අප වස්තුවක් විස්තර කරනවිට, එය පමණක් ගෙන කටයුතුකිරීමේදී ස්කන්ධය, ප්‍රවේගය ආදී ලක්ෂණ හෙලි වේ. නමුත් ඒ විනිශ්චය සඳහා අප ඒවන විටත් ලෝකය යන්න උපකල්පනය කර තිබිය යුතුය.’වටපිටාව’ යන්න ඒවන විටත් හඳුනාගත යුතුය. ඒ අනුව වැදගත් ප්‍රශ්නය වන්නේ ලෝකය පොදු ද පුද්ගලිකද යන්න නොව ලෝකයේ පවතින ලෝකීය බව සාකච්ඡා කිරීමයි. එහිදී අපට නිගමනයකට පැමිණිය හැක.

එනම් ලෝකයේ කිසිදු මිනිසකු නොමැති නම්, මිනිස් වර්ගයා නොමැති නම් මෙහි පැවැත්මක් ද නැත. ලෝකීය බවක් ද නැත. අපට එම නිසා ලෝකය යන්න අර්ථ ගන්වා ගත හැක්කේ, එය අප ඉදිරියට එන ඉදිරිපිට පැවැත්මක් ලෙසත්, පොදු පැවැත්මක් ලෙසත්, මිනිසාට ජීවත්විය හැකි ස්ථානය ලෙසත් සහ ලෝකීය බවකින් යුක්ත ස්ථානය ලෙසත්ය. එම නිසා අප විසින් පරිසරය ලෙස යමක් හදුනා ගන්නේ අවකාශීය අරුතිනි. එසේවන්නේ සිංහරාජ වනය සේම මගේ කාමරය ද පරිසරයක් වන නිසාය. මේ ආකාරයෙන් ගත් කළ අප භාවිත කරන ප්ලාස්ටික් කිසිවකු විසින් සාදන ලද්දක් වන අතර ලෝහ ඉබේ ඇතිවූවක් ලෙසට අපට හඳුනා ගැනීමට සිදු වේ. ඒ නිසා ස්වභාවධර්මයේ දෑ වල සෑමවිටම භාවිතයට ගත හැකි පැවැත්මක් අන්තර්ගත වේ.

ඒ අනුව ස්වභාවධර්මය අවබෝධ කර ගැනීම එක්තරා ආකාරයකට උපකරණ සම්බන්ධයකි. එනම් ස්වභාවධර්මය යනු අන් කිසිවක් නොව අප ජීවිතයේම කොටසක් ලෙස අපට වටහා ගැනීමට සිදු වේ. එහි ඇත්තේ ඉබේ ඇති වූ දෑ වල වැඩි අන්තර්ගතයක් ඇති පැවැත්මකි. එම නිසා ඇත්ත වශයෙන්ම ස්වභාවධර්මය යනුවෙන් පවතින දෙයක් නොමැත. එසේ වන්නේ අප ඒ වන විටත් ලෝකයක පැවතීමත් මිනිසාගේ පැවැත්මට ලෝකයේ පැවැත්ම අත්‍යන්තයෙන් වැදගත් වීමත් මෙම ලෝකීය බව තුළ සියල්ල සිදුවීමත් නිසාය. මේ ආකාරයට ‘විල්පත්තුව’ අප අර්ථකථනය කරගන්නේ කෙසේ ද? අපට තේරෙනවා විල්පත්තුව නම් උපකරණමය පැවැත්ම දැන් භාවිතයට ගත නොහැකි බව. මෙය දැන් ලෝකයේ අතිරික්තයකි. එමඟින් නියෝජනය කරන්නේ ලෝකයේම කලින් භාවිතයට ගත් උපකරණයකි. නමුත් මේ උපකරණය තවදුරටත් ප්‍රයෝජනයට ගත නොහැක. නමුත් එය අලුත්වැඩියා කිරීම හෝ යළි සකස් කිරීම කළ හැක. ඒ අනුව විනාශ වූ විල්පත්තුව අපට පෙන්වන්නේ එහි උපකරණමය නොවන පොළොවයි. අපට ලෝකයක් ලෙස අර්ථගැන්විය හැක්කේ මෙයයි.

ඒ අනුව ස්වභාවධර්මය ලෙසට අපට යමක් වර නැගිය හැක්කේ ‘මිනිසා’ ලෙස යමක් පවත්නා නිසාය යැයි දැන් අප අවබෝධ කරගත යුතුය. එවිට අපෙන් පරිබාහිරව පවතින යමක් ලෙස අප ස්වභාවික සම්පත් රැකගැනීම ගැන නොසිතා අපට ඒවා ‘මිනිස්’ පැවැත්ම රැකගැනීමට අවශ්‍යය උපකරණ මාදිලීන් ලෙසට වටහා ගැනීමට හැකිය. එසේ නොවන්නේ නම් ස්වභාවධර්මය සහ මිනිසා යන්න ද්විත්වයක් ලෙසට සාධනය වේ. එමඟින් සිදුවන්නේ ඒවන විටත් ලෝකයක් තුළ -සිටින- මිනිසා – නිසා සහ  මිනිසාගේ බලපෑමට අනුව ස්වභාවධර්මය ලෙස යමක් හඳුනා ගැනීමයි. එම නිසා මෙම සියල්ල සම්බන්ධතා ජාලයකි. අප්‍රිකාවේ පණු උවදුර නුවර එළියට බලපාන්නේ එම නිසාය. ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම මාල දිවයිනට බලපාන්නේ එම නිසාය. ලෝකයෙන් මීමැස්සන් සියල්ල අතුරුදහන් වුවහොත් අපගේ පැවැත්ම අභියෝගයකට යන්නේ එම නිසාය. එම නිසා ලෝකය යනු ‘සමඟ පැවැත්මකි’. ස්වභාවධර්මය යනු එහි සුවිශාල මාදිලියකි. එසේම ස්වභාවිකත්වය අපට එලෙස අත්විදිය නොහැක. එසේ වන්නේ අප කිසිවකුට මේ සමාජයෙන්, සංස්කෘතියෙන් මුලුමනින්ම නිදහස් වී ස්වභාවිකත්වයට ගොස් නැවත එය අත්විඳ මෙහි පැමිණීම කළ නොහැකි නිසාය. එම නිසා මිනිසාගෙන් විනර්මුක්ත ස්වභාවිකත්වයක් නොමැති බව අපට වටහා ගැනීමට සිදුවේ.

කුඩා දරුවකු සෙල්ලම් බෝලයක් හරවහරවා බලන ආකාරයට අපට ස්වභාවධර්මය නැරඹිය නොහැක. එසේ වන්නේ සෑම විටත් – ඒවන විටත් අප එහි සිටින නිසාය.

– එරන්ද මහගමගේ –

Advertisements