jagath-long-necked-man

දෙසතියකට පෙර බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ ඇති වූ සංවාදය (ඒ ගැන මූලික දැනුම් දීම ඇතුලත් විස්තරය මෙතැනින්) බලාපොරොත්තු වූ ලෙසම බලාපොරොත්තු නොවූ ප්‍රතිවිරෝධයකින් අවසන් විය. ප්‍රතිවිරෝධය ඇති වූයේ එහි මූලික අදහස් දැක්වීම කළ නිර්මාල් රංජිත් දේවසිරි සහ එයට ප්‍රතිචාර දැක්වූ විදර්ශන කන්නන්ගර අතරයි. නමුත්, මේ නිසාම, මේ සතියේ බ්‍රහස්පතින්දා හමුව සඳහා අපට දැන් වඩාත් නිශ්චිත අරමුණක් සහ ආකෘතියක් තිබේ. මේ සටහන ලියවෙන්නේ ඒ සඳහා අවශ්‍ය පසුබිම් කරුණු එක තැනකට ගොණු කිරීමටයි. අපි පළමුවෙන් – අසම්පූර්ණ ලෙස, අසතුටුදායක ලෙස – එදා සංවාදය දිග හැරුණු ආකාරය සාරාංශගත කරමු.

නිල වශයෙන් සැලසුම් කළ බව නිවේදනය කළේ ලක්සම්බර්ග් ගේ Reform or Revolution? කෘතිය පිළිබඳ නිර්මාල් ගේ අදහස් දැක්වීමක් හරහා සංවාදයක් ඇති කර ගැනීම වුවත්, සංවාදය එම කෘතියේ ඇති අදහස් වලට කිසිදු අයුරකින් සීමා වූයේ නැත.

සමස්තයක් වශයෙන් ගත්විට නිර්මාල් ගේ අදහස් දැක්වීමේ හරය වූයේ මෙම ප්‍රශ්නයයි : සියවසකට පසුව ආපසු හැරී බලන විට ලක්සම්බර්ග් සහ බර්න්ස්ටයින් අතර ඇති වූ විවාදයේ අද වන විට ජයගෙන ඇති බව පෙනී යන්නේ ඉන් දෙවැන්නා වීමේ ඓතිහාසික දෛවය අප තේරුම් ගත යුත්තේ කෙසේද?

ලක්සම්බර්ග් ගේ තර්කයේ පදනම් ලෙස ගත හැකි න්‍යායික ස්ථාවරයන් ලෙස කරුණු තුනක් හඳුනා ගත හැකිය. එනම්:

  1. ධනවාදයේ වැඩි වන අරාජිකබව හමුවේ එහි ඇති වන නියත බිඳ වැටීම
  2. නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි වැඩියෙන් සමාජකරණය වීම – පුද්ගලිකව පාලනය වන දෙයක් වෙනුවට පොදුවේ/සමාජීයව පාලනය වන දෙයක් වීම – සහ මේ මගින් අනාගත සමාජයේ මූල බීජයන් දැකිය හැකි වීම
  3. නිර්ධන පන්තියේ වැඩි වන ස්ව-සවිඥානකත්වය සහ සංවිධානය වීම. ඉදිරි විප්ලවයේ ක්‍රියාකාරී සාධකය වන්නේ මෙයයි

ගැටලුව වන්නේ මේවා අපගේ අනුභූතික දේශපාලන අත්දැකීම් තලය තුළ මෙන්ම සමාජ විකාශනය පිළිබඳ දාර්ශනික විග්‍රහයන් ලෙස ද තවදුරටත් පිළිගත හැකි දේ නොවීමයි. මෙහි තිබෙනා මූලික ගැටලුව අපට ‘අනිවාර්යතාවයේ උපන්‍යාසය’ කියා නම් කළ හැකි වේ. එයට අනුව ධනේශ්වර ක්‍රමය කඩා වැටී, සමාජවාදය බිහි වීම යනු හුදු දේශපාලන ක්‍රියාමාර්ගයන් ගේ උත්සාහය සහ සාර්ථකත්වය මත රැඳී පවතින අහම්බයක් නොව ඒවා ඉක්මවා ගිය ඓතිහාසික-සද්භාවවේදී හේතුවක ප්‍රතිඵලයක් ලෙස බිහි වන අනිවාර්යතාවයකි. නමුත් මෙම අනිවාර්යතාවයේ උපන්‍යාසය පසුගිය සියවසේ දේශපාලන වර්ධනයන් හමුවේ දැඩි සේ අභියෝගයට ලක් වූ අතර, විශේෂයෙන්ම, එහි දී අත්දකින්නට ලැබුණු පුළුල් පරාසයක – ජාතික, ආගමික, ලිංගික ආදී ලෙස – විමුක්ති අරගල සමග එය සමපාත කිරීම අතිශයින් අපහසු විය. මෙවැනි සන්දර්භයක දී සමකාලීන ලෝකය තුළ විප්ලවය පිළිබඳ අදහස වෙනුවෙන් පෙනී සිටීම මෙන්ම එවැනි අදහසක සැබෑ අවශ්‍යතාවය පෙන්වා දීමද අතිශයින් අභියෝගාත්මක වෙයි.

සංවාදයට මැදිහත් වූ විදර්ශන, නිර්මාල් ගෙන් පෙරළා ප්‍රශ්න කර සිටියේ අපගේ උපායමාර්ගික දැක්ම පදනම් කරගන්නා අදහස කුමක්ද යන්නයි. මේ සඳහා ඔහු යෝජනා කළ න්‍යායික සංකල්පය වූයේ ෆ්‍රෙඩ්රික් ජේම්සන් ගේ cognitive mapping (‘ඥානමය සිතියම්ගත කිරීම’) යන අදහසයි. අප ජීවත් වන ගෝලීය අවකාශය පිළිබඳව අපගේ දෛනික – සංයුක්ත – අත්දැකීම් තලය සහ එම අවකාශය අපගේ බුද්ධියට ග්‍රහණය වන – වියුක්ත – තලය එකට එකතු කළ හැකි පොදු ආඛ්‍යානයක් ලෙස හඳුන්වා දිය හැකි මෙම සංකල්පය මගින් අපගේ යුගයේ තිබෙනා අර්බුධය හඳුනා ගත හැකියැයි ජේම්සන් යෝජනා කළේය. ඒ තමයි, තවදුරටත්, මේ ආකාරයේ ඥානමය සිතියම් අප සතුව නොමැති වීමේ අර්බුධය.

විදර්ශන යෝජනා කළ ආකාරයට නිර්මාල් ගේ විශ්ලේෂණය තුළ ඉලක්ක නොකළ කලාපය වූයේ මෙම ඥානමය සිතියම් ගොඩ නැගීමේ අවශ්‍යතාවයයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන් පරිදි මෙවැන්නක් නොමැතිව නිර්මාල් ගේ කතිකාව ප්‍රති-වාමවාදී ලිබරල් සංවාදයක් වීමේ අනතුර බොහෝ වැඩි වේ.

අපගේ පළමු දින සන්ධ්‍යාවේ, සංවාදය අවසන් වූයේ මෙම ප්‍රතිවිරෝධයත් සමගයි. ඒ අනුව අපගේ මේ සතියේ බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ සංවාදය දිග හැරෙන්නේ මේ පිළිබඳව විදර්ශන ඉදිරිපත් කරනා විස්තරාත්මක අදහස් දැක්වීමක් සමග වේ. නිර්මාල් මෙයට ප්‍රතිචාර දැක්වීමෙන් පසුව මෙය සියලු දෙනා හට සම්බන්ධ විය හැකි විවෘත සංවාදයක ආකෘතිය ගනු ඇත (මේ ගැන වැඩිවිස්තර ඉදිරි දින කීපය ඇතුලත මෙහි පළ කරමු).

මේ සඳහා ආරම්භයක් ලෙස ෆ්‍රෙඩ්රික් ජේම්සන් ගේ Postmodernism, or, the Cultural Logic of Late Capitalism නම් රචනයේ මූලික අදහස පිළිබඳ තරමක් දීර්ඝ හැඳින්වීමක් ‘බව’ හී පළ කරන්නට අපි තීරණය කළෙමු. Cognitive mapping පිළිබඳ අදහස සඳහා ජේම්සන් ගේ පැහැදිළි කිරීම හමු වන්නේ මෙම රචනයේ අවසානයේදීය. එනිසා, මේ පිළිබඳව මූලික අවබෝධයක් තිබීම එදින සංවාදයට සහභාගී වන සියලු දෙනාට උපකාරයක් වනු ඇත. අනෙක් අතට නිර්මාල් සහ විදර්ශන අතර බැලූ බැල්මට තිබෙන්නා වූ මෙම ප්‍රතිවිරෝධය සමතික්‍රමණය කිරීමට මෙම සම්භාව්‍ය රචනය උපකාරයක් වීමට ඉඩ තිබේ.

නමුත් මේ සියල්ලට වඩා ජේම්සන් ගේ මෙම සම්භාව්‍ය ලියවිල්ල පිළිබඳව නැවත සංවාදයක් ඇති වීම යහපත් දෙයක් කියා අපි සිතමු. ඒ, මෙම බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ සංවාදය නම් සන්දර්භය ඉක්මවූ අවශ්‍යතාවයක් වෙනුවෙනි.

1984 තරම් දුරාතීතයක ප්‍රථමයෙන් ලියවූ මෙම රචනය පොතක් ලෙස ප්‍රකාශයට පත් වන්නේ 1991 වසරේදීය. 80 දශකයේ සහ 90 දශකයේ ගෝලීය වශයෙන් අතිශය ජනප්‍රිය සංකල්පයක් වූ ‘පශ්චාත්නූතනවාදය’ පිළිබඳව තිබෙනා ප්‍රධාන ප්‍රාථමික මූලාශ්‍ර අතරින් මෙය ප්‍රමුඛ වන්නකි. එයටත් වඩා මෙහි අපට ඇති වැදගත්කම වන්නේ මෙය දීප්ති කුමාර ගුණරත්න ඇතුළු X කණ්ඩායම සිංහල විකල්ප-බුද්ධිමය සංවාදයට එකතු කළ ‘පශ්චාත්නූතන තත්වය’ පිළිබඳ සංවාදයේ කේන්ද්‍රීය න්‍යායික රචනය වීමයි. පශ්චාත්නූතනවාදය යනු දර්ශනයක් හෝ කලා නිර්මාණ බිහිකරනා ශෛලියක් හෝ නොව සමකාලීන ධනවාදය තුළ ආධිපත්‍යධාරී සංස්කෘතික ප්‍රකාශන මාධ්‍යය වේ යන අදහස ආරම්භ වන න්‍යායික ලියවිල්ල මෙයයි.

ආපසු හැරී බලන විට දීප්ති ඇතුළු X කණ්ඩායමේ දේශපාලනයේ තිබෙන සීමා හඳුනා ගැනීම මෙන්ම – සමහරවිට එයට වඩා වැදගත් ලෙස – ජේම්සන් ගේ වසර තිහකට වඩා පැරණි මෙම ප්‍රවාදයේ ඓතිහාසික සීමාකම් හඳුනා ගැනීමද එතරම් අපහසු නොවේ. ‘පශ්චාත්නූතනවාදය’ යන වචනයට 90 දශකයේ තිබූ විලාසිතාමය ආකර්ෂණය අද වන විට දිය වී ගොස් තිබේ. කාල නිර්ණය කිරීමේ සංකල්පයක් ලෙස මෙම සංකල්පය මගින් සුවිශේෂ බලපෑමක් කළ චිත්‍ර කලා විචාරය තුළ අද වනවිට ඉදිරියට පැමිණ ඇති කාල-නිර්ණ සංකල්පය වන්නේ ‘සමකාලීනත්වය’ (contemporaneity) යන්නයි. සාමාන්‍යයෙන් ගෝලීය සංවාද වලට දශක ගණනක් පසුපසින් සිටින මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළට අද වන විට ‘පශ්චාත්නූතනවාදය’ හොඳින් අවශෝෂණය වී තිබීම මගින්, සමහරවිට, මේ ගැන වඩාත් හොඳින් අපට තේරුම් ගත හැකිය.

නමුත් මේ සංකල්පයේ විලාසිතාමය අගය අඩු වීම සහ එහි විචාරාත්මක වටිනාකම අඩු වීම යනු එකක් නොව දෙකකි. අප සිතනා පරිදි ලාංකික වාම දේශපාලන සංවාදයට අලුතින් එකතු වී සිටින පරම්පරාව මෙම පැරණි සංවාදය පිළිබඳව අවබෝධයක් ලැබීම අනිවාර්ය වන්නකි. විචාරාත්මක-බුද්ධිමය සම්ප්‍රදායක් ගොඩනැගෙනු ඇත්තේ මෙරට වර්ධනය වන අදහස් ඉදිරියට අරගෙන යා හැකි සමාජ සංවාදයකින් විනා එවැනි අදහස් මග හැර යාමෙන් සහ අමතක කිරීමෙන් නොවේ. අවාසනාවකට මෙන් ‘වමේ දේශපාලනය’ සම්බන්ධයෙන් ඇති වී තිබෙනා නව උද්‍යෝගය තුළ අපට දිගින් දිගටම හමු වන්නේ 1990 දශකය පුරා මෙරට විකල්ප-බුද්ධිමය සංවාදයට එකතු වූ අදහස් සහ චින්තකයන් මග හැර යාම සහ අමතක කිරීමයි.

ඇලේන් බදියූ කියනා ආකාරයට වමේ දේශපාලනය යනු ‘සත්‍යයේ දේශපාලනයක්’ වන්නේනම්, තමන්ගේ බුද්ධිමය සීමාකම්, සමාජ සංවාදයේ සීමාකම් බවට පත්කිරීමට උත්සාහ කිරීමෙන් අපට අහිමි වන්නේ එම වමේ දේශපාලනයේ සාරය මිස වෙන කිසිවක් නොවේ. විදර්ශන විසින් සිදු කරන ලද සාධනීය යෝජනාවක් අනුව 90 දශකයේ බුද්ධිමය උරුමයේ කේන්ද්‍රීය ලියවිල්ලක් මෙලෙස ගෙන එන්නට සිතුවේ මෙම සීමාවන් ජය ගැනීම වෙනුවෙනි. සමාජ සංවාදයක් යනු පුද්ගලිකව ‘අපි ආස’ චින්තකයන් සහ අදහස් ගැන සාකච්ඡා කිරීම නොව පොදු අවශ්‍යතාවයන් වෙනුවෙන් බුද්ධිමය ශ්‍රමය යෙදවීමයි. 90 පරම්පරාවේ අදහස් සමකාලීන පරම්පරාවට නැවත මතක් කර දිය යුතු වන්නේ මෙම පොදු අවශ්‍යතාවය වෙනුවෙනි.

‘පශ්චාත්නූතනවාදය’ යන්න අයත් වන්නේ ගෝලීය චිත්‍ර කලා ඉතිහාසයටනම්, ‘90 ප්‍රවණතාවය’ යනු ලාංකික චිත්‍ර කලා ඉතිහාසයේ මෑත අතීතයට අයත් නාමකරණයකි. එම නිශ්චිත අර්ථයෙන් තරමක් සංශෝධනය කර එම අදහස මෙහිදී යොදා ගන්නේ 1990 දශකයේ මෙරට විකල්ප බුද්ධිමය සංවාදයට දායක වූ විවිධ පුද්ගලයන් ගේ සහ සංවිධාන වල පොදු නියෝජනය වෙනුවෙනි. එම අරුතින්, හෙට දිනයේ සිට ‘බව’ හී සාකච්ඡා කරන ජේම්සන් ගේ රචනය යනු මේ 90 ප්‍රවණතාවයේ අතිමූලික ලියවිල්ලකි. 1917 උරුමය වෙනුවෙන් මෙරට පෙනී සිටි මිනිසුන් ගේ ඉතිහාසය තුළ 1935 සහ 1971 පරම්පරාවන්ට කළ නොහැකි වූ බුද්ධිමය කාර්යභාරයක් 90 ප්‍රවණතාවය විසින් සිදු කර තිබේ කියා අප පැවසුවහොත් බොහෝ දෙනෙකු එයට එකඟ වේ කියා සිතමු.

මිෂෙල් පෙශූ උපුටමින් වරක් අර්නස්ටෝ ලැක්ලාවූ ලියා තැබූ පරිදි විසිවෙනි සියවසේ ශ්‍රේෂ්ඨ අභිමුකවීම කිසිදා සිදු නොවිණි: අනාගතවාදී කලා ව්‍යාපාරයේ (Futurism) සිත්තරුන් විසින් සරසන ලද, බටහිර සිට නැගෙනහිරට ගමන් කළ ඔරියෙන්ට් එක්ස්ප්‍රස් දුම්රියේ මැදිරියක සිට, ෆ්‍රොයිඩ් සහ ලෙනින් එකතු වී ‘වටිනාකම’ පිළිබඳ සෝශියර් ගේ සංකල්පය සාකච්ඡාවට ගැනීම…

අප හොඳින් දන්නා පරිදි මිෂෙල් පෙශූ විසින් ප්‍රාර්ථනා කළ මෙම හමුව යථාර්ථයේ දී සිදු වූයේ නැත. ලාංකික සන්දර්භය තුළ ‘90 ප්‍රවණතාවය’ මගින් නියෝජනය කළේ යථාර්ථය තුළ වියනොහැකි වූ මෙම බුද්ධිමය අභිමුඛවීමේ ලක්ශ්‍යයි.

මැදමුලනේ සිට ධවල මන්දිරය දක්වා සිටින ‘56 දරුවන් ට’ මුහුණ දීමට හැකි ‘නව වමක්’ බිහි වනු ඇත්තේ 90 ප්‍රවණතාවයේ මෙම වියනොහැකි උරුමය ආරක්ෂා කරගන්නා දේශපාලනයකට පමණි.

***

Advertisements