andy-warhol-m

පහතින් පළ වන්නේ ෆ්‍රෙඩ්රික් ජේම්සන් ගේ Postmodernism, or, the Cultural Logic of Late Capitalism (‘පශ්චාත්නූතනවාදය නොහොත් පසු ධනවාදයේ සංස්කෘතික තර්කණය’) නම් සෞත්‍රික රචනය සඳහා සංක්ෂිප්ත සිංහල හැඳින්වීමක පළමු කොටසයි. මෙය පළ කිරීමේ ආසන්න හේතුව වන්නේ ‘බව’ මිතුරන් දෙදෙනකු වන නිර්මාල් රංජිත් දේවසිරි සහ විදර්ශන කන්නන්ගර අතර මේ සතියේ බ්‍රහස්පතින්දා – පෙබරවාරි 16 දා – තිබෙනා සංවාදය සඳහා සංකල්පීය පසුබිමක් සකස් කර ගැනීම (මේ ගැන තරමක විස්තරාත්මක පැහැදිළි කිරීමක් මෙතැනින් කියවිය හැක) වුවත්, මෙය මෙහි පළ කිරීමේ එයට වඩා පුළුල් අරමුණක් ද තිබේ.

‘පශ්චාත්නූතනවාදය’ යනුවෙන් මෙයට කළකට පෙර අතිශයින් ජනප්‍රිය වූ සංකල්පය පිළිබඳව අවබෝධයක් ලැබීමට – විශේෂයෙන් එයට මෙරටදී ලැබුණු මූලික අර්ථකථනය පිළිබඳව අවබෝධයක් ලැබීමට – ජේම්සන් ගේ මෙම රචනය අවබෝධ කරගැනීම අනිවාර්ය අභ්‍යාසයක් වෙයි. සකලවිධ වාමාංශික දේශපාලනයන් පොළොවට සමතලා කර තිබූ 1990 දශකයේ දී මෙරට විකල්ප දේශපාලනයක් සඳහා බුද්ධිමය අනුප්‍රාණය සැපයූ මැදිහත්වීම් වල ජනප්‍රිය සංඛේතය වූයේ ‘පශ්චාත්නූතනවාදය’ යන වචනයයි. ඓතිහාසික වමේ ව්‍යාපාරයට ඍජු සම්බන්ධයක් නොමැති නව තාරුණ්‍යයක් වෙත වමේ උරුමය ගෙන ආවේ ‘පශ්චාත්නූතනවාදය’ පිළිබඳ මෙම සංවාදයයි. වසර විස්සකට පසුව මෙම සංවාදයේ ශේෂ පත්‍රය වන්නේ කුමක්ද? එක පැත්තකින් මේ සංවාදය උඩින් පල්ලෙන් අල්වා ගත් පිරිසක් මෙරට සංස්කෘතික අවකාශය තුළ නූගත්කම සහ නග්න ධනවාදය උත්කෘෂ්ඨකරණය කරමින් එහි ආධිපත්‍යය ගෙන තිබෙනා අතර, අනෙක් අතින්, ඓතිහාසික වමේ නව නියෝජිතයන් විසින් මෙම සංවාදය මුළුමනින්ම පාහේ අමතක කර දමා තිබේ. මේ මගින් සිදු වන විශාලතම හානිය වන්නේ, 1990 ට සාපේක්ෂව සිය දහස් ගුණයකින්, සංස්කෘතික මාධ්‍ය අවකාශය තුළ ගිලී සිටිනා නව පරම්පරාව වෙත වමේ සංවාදයේ හඬ පූර්ණ ලෙස වැසී යාම වේ. අප සිතනා ආකාරයට මෙම ප්‍රශ්නය පිළිබඳව බැරෑරුම්ව කල්පනා නොකරන දේශපාලනයක් තිබෙන්නේ දැඩි අවධානමකයි.

විසිවෙනි සියවසේ වමේ ව්‍යාපාරයේ ඓතිහාසික පරාජයන්ගෙන් පසුව ඇති වූ රැඩිකල් සමාජ පරිවර්තනය අවබෝධ කරගන්නේ කෙසේද? මෙම නව තත්වය යටතේ නැවතත් දේශපාලනය කිරීම යන්න අර්ථ දැක්විය හැකි වන්නේ කෙසේද? මෙරට බුද්ධිමය සංවාදයේ 90 ප්‍රවණතාවය විසින් පිළිතුරු සොයා ගිය ප්‍රශ්න දෙක වූයේ මේවාය. ජේම්සන් ගේ මෙම ඓතිහාසික ලියවිල්ල මෙම ප්‍රශ්න බැරෑරුම් ලෙස සලකා බැලූ සමාරම්භක ලියවිල්ලකි.

අද දවසේ අලුත් සංවාද සාකච්ඡා කරන්න උනන්දු වන අපට, පෙර පරම්පරාවේ සංවාද – ‘පැරණි අලුත් දේ’ – නැවතත් පුනරීක්ෂණය කළ යුතුව තිබේ. අපගේ ඓතිහාසික මතකය තිබෙන්නේ ඒ තරම් දුර්වල අඩියකයි. අවම වශයෙන් මේ සඳහානම් සංකීර්ණ පැහැදිළි කිරීමක් ජේම්සන් ගේ රචනය හරහා ලබා ගත හැකිය.

(ජේම්සන් ගේ මුල් රචනයේ මුදු පිටපතක් bava.blog@gmail.com ලිපිනය හරහා ලබා ගත හැක)

***

ජේම්සන් ගේ විශ්ලේෂණය ආරම්භ වන්නේ, දළ වශයෙන් 1960 දී පමණ ඇති වූ රැඩිකල් කණ්ඩනය වීමක් පිළිබඳ අදහසත් සමගයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දේ – දෘෂ්ඨිවාදය, කලාව, සමාජ පන්ති, ලේනින්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, සුභ සාධන රාජ්‍යය, ආදී ලෙස – අවසන් වී ඇති බව එමගින් නිවේදනය කරයි (ජේම්සන් ගේ මේ රචනය ලියවෙන්නේ 1980 දශකයේ ආරම්භයේ බව මතක් කර ගැනීම, සමහරවිට, වැදගත් වනු ඇත). ‘පශ්චාත්නූතනවාදය’ යනු මේ සමස්ත පෙරළිය නාමරකරණය කිරීම සඳහා යෝජනා වී ඇති ජනප්‍රිය වචනයයි.

මෙම වචනය දුටු සැනින් අවබෝධ වෙන ආකාරයට මේ මගින් නූතනවාදී ව්‍යාපාරයේ අවසානයක් සලකුණු කරයි. නූතනවාදී ව්‍යාපාරයේ අවසන් වැදගත් ලක්ෂ්‍යයන් ලෙස මෙහිදී ජේම්සන් ඉක්මනින් සඳහන් කරනා දේ අතර චිත්‍ර කලාව තුළ වියුක්ත ප්‍රකාශනවාදය, දර්ශනයේ සාංදෘෂ්ඨිකවාදය, නවකතාව තුළ අවසන් නියෝජනාත්මක (representative) කෘති, ශ්‍රේෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ, වොලස් ස්ටීවන්ස් ඇතුළු නූතනවාදී කවිය ආදිය පෙන්වා දිය හැකිය.

1960 දශකයේ අවසානය සමග අපට හමුවන්නේ මේ නූතනවාදී ව්‍යාපෘතියට බොහෝ සේ වෙනස් වූ නිර්මාණ එකතුවකි. මේ අතර ඇන්ඩි වෝහෝල් ගේ පොප් චිත්‍ර කලාව, ඡායාරූප-යථාර්ථවාදය (photorealism), සංගීතය තුළ ජෝන් කේජ් නිරූපණය කළ දේ මෙන්ම ෆිලිප් ග්ලාස් සහ ටෙරී රයිලි හරහා ජනප්‍රිය සංගීතය සහ සම්භාව්‍ය සංගීතය මුහු වීම, ගොඩා සහ පශ්චාත්-ගොඩා සිනමාව, වීඩියෝ චිත්‍රපට සහ වෙනත් වාණිජ චිත්‍රපට ආදිය පෙන්වා දිය හැක. නමුත් ජේම්සන් වඩාත් උනන්දු වන්නේ මේ ආකාරයට පශ්චාත් නූතනවාදී නිර්මාණ සහ ව්‍යාපාරයන් ලෙස හඳුනා ගත හැකි දේ මොනවාද කියා ලැයිස්තුවක් නිර්මාණය කිරීමට වඩා මෙම ප්‍රශ්නයට පිළිතුරක් දීමටයි: මේ ආකාරයේ ලැයිස්තු නිර්මාණය කිරීම එතරම් අපහසු නොවුනද, අපට ඒවා මගින් අනිවාර්ය ලෙස ඓතිහාසික කණ්ඩනයක් වූ බව පෙන්වා දිය හැකිද?

මෙයට ප්‍රතිචාරයක් ලබා දීම සඳහා ජේම්සන් පළමුවෙන් යොමු වන්නේ ගෘහනිර්මාණය වෙතටයි. විශේෂයෙන් මෙහිදී ඔහුට වැදගත් වන්නේ නූතනවාදී ගෘහනිර්මාණ ශිල්පය තුළ සම්ප්‍රදායික නගර අවකාශය බෙදා වෙන්කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනයයි. මේ හරහා නගරයේ තිබූ පැරණි සම්බන්ධතා ලෝකයෙන් වෙන් වූ, ස්වාධීන සුවිසල් ගොඩනැගිලි – විශේෂයෙන් බටහිර ලෝකයේ – බිහි විය. මෙය එක්තරා ආකාරයක ප්‍රභූවාදයක් ලෙස අපට නම් කළ හැකිය. මේ ආකාරයේ නූතනවාදී ගොඩනැගිලි යනු සාමාන්‍ය මිනිසුන් සිය දෛනික ජීවිතයේදී යොදා ගන්නා අවකාශීය සැකසුම් වලින් විනිර්මුක්ත වූ නිර්මාණ වේ.

අපට දැන් පශ්චාත්නූතනවාදය යන්නෙහි පළමු ලක්ෂණය හඳුනා ගැනීමට අවස්ථාවක් තිබේ: ඒ තමයි නූතනවාදයට එරෙහිව ජනප්‍රිය, සාමාන්‍ය සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටීම. වඩාත් නිවැරදිව කියන්නේනම්, එය මගින් නැති කරන්නට උත්සාහ කළේ ‘ඉහළ’ කලාව සහ ‘ජනප්‍රිය’ කලාව අතර තිබූ බෙදුම් රේඛාවයි. පශ්චාත්නූතනවාදය විසින්, නූතනවාදයට එරෙහිව පොදුජන සංස්කෘතියේ, එසේත් නැතිනම් වාණිජ සංස්කෘතියේ තිබූ සංස්කෘතික නිමැයුම් සිය නිර්මාණ සඳහා යොදා ගන්නා ලදී. තවදුරටත් පහත්, එසේත් නැතිනම්, ‘පීචං’ සංස්කෘතිය යන්නට අයත් වීම නිසා කලාත්මක නිෂ්පාදනයන්ගෙන් බහිශ්කරණය කරන දේ නොමැති විය.

නමුත් මෙයින් අදහස් කරන්නේ පශ්චාත්නූතනවාදය යනු ‘සංස්කෘතිය’ සම්බන්ධ දෙයක් පමණක් වූ බව නොවේ. ඒ වෙනුවට එමගින් එක්තරා ආකාරයකට පූර්ණ ලෙස වෙනස් වූ සමාජයක පැමිණීම සලකුණු කරන්නට උත්සාහ කරයි. පශ්චාත්නූතනවාදය සමග එකට ඇසෙන අනෙක් වචන වන පශ්චාත්කාර්මික සමාජය, පාරිභෝගික සමාජය, මාධ්‍ය සමාජය, ඉලෙක්ට්‍රොනික සමාජය ආදිය මගින් පෙන්වා දෙන්නට තැත් කරන්නේ මෙයයි. මෙම වචන, පොදුවේ ගත්විට, දෘෂ්ඨිවාදී අඩංගුවක් සහිත යෙදුම් බව තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ. මේවා සියල්ලෙන්ම වාගේ පෙන්වන්නට තැත් කරන්නේ අප මේ පැමිණ තිබෙන නව සමාජ යථාර්ථය පැරණි න්‍යායන් ඇසුරින් තවදුරටත් තේරුම් ගත නොහැකි වන බවයි. නමුත් මේ ‘පැරණි න්‍යායන්’ යන්න මගින්, සියල්ලට වඩා, හැඟවෙන්නේ මාක්ස්වාදී සම්ප්‍රදාය බව පැහැදිළි විය යුතුය. මේ ආකාරයේ වචන යොදා ගන්නා ප්‍රවේශයන් මගින් බොහෝ විට අපට කියන්නට උත්සාහ කරන්නේ අප ජීවත් වන සමාජය තවදුරටත් මාක්ස්ගේ විශ්ලේෂණය මගින් තේරුම් ගත නොහැකි, නවීන, වෙනස් වූ සමාජයක් වේය යන්නයි. මේ වචන වල දෘෂ්ඨිවාදී අඩංගුවක් තිබෙනවා කියා ජේම්සන් කියන්නේ එම නිසාය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මාක්ස්වාදී සම්ප්‍රදාය තුළ පශ්චාත්නූතනවාදී අදහස් වලට තිබෙන්නේ නිශේධනාත්මක ප්‍රතිචාරයකි. ජේම්සන් පෙන්වා දෙන ආකාරයට, එයට වෙනස් වූ එකම ව්‍යාතිරේකය වන්නේ අර්නස්ට් මැන්ඩල් (Ernest Mandel) ගේ Late Capitalism කෘතියයි. මේ හරහා මැන්ඩල්, මාක්ස්වාදී සම්ප්‍රදායට පක්ෂපාත ව මේ නව සමාජ පරිවර්තනය අර්ථකථනය කිරීමට උත්සාහ කරයි. අපි ඉදිරියේදී පැහැදිලි කරගන්නා ආකාරයට, ජේම්සන් ගේ ප්‍රවාදය සඳහා ඔහු මූලික වශයෙන් උපකාර කරගන්නා දේශපාලන-ආර්ථික විශ්ලේෂණය හමු වන්නේ මෙම කෘතිය තුළයි. ඉතාම සංක්ෂිප්තව ගත්විට මැන්ඩල් ගේ මේ කෘතිය මගින් යෝජනා කරන්නේ සමකාලීන සමාජය ධනවාදයේ තුන්වැනි අවධිය ලෙස තේරුම් ගත යුතු බවත්, මෙය ධනවාදයේ පළමු යුග දෙකට වඩා එහි පාරිශුද්ධ ස්වරූපය අපට පෙන්වා දෙන බවත්ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පශ්චාත්නූතනවාදය පිළිබඳ සංවාදය – කෙනෙක් එයට පක්ෂ වුවත්, විරුද්ධ වුවත් – බහුජාතික ධනවාදය යන්න පසුබිමේ ඇති වන්නක් වීම අපට වැළක්විය හැකි නොවේ.

මේ මගින් අපට ජේම්සන් ගේ ප්‍රවේශයේ තිබෙනා විධික්‍රමය පිළිබඳ අදහසක් ලබා ගැනීමටද අවස්ථාව ලැබේ. ඔහු උත්සාහ කරන්නේ ‘පශ්චාත්නූතනවාදය’ නම් වූ අලුත් ශෛලියක් – නූතනවාදය, අනාගතවාදය, ප්‍රකාශනවාදය වැනි වූ – හඳුන්වා දීමට නොවේ. ඔහුගේ අවධානය යොමු වන්නේ කිසියම් ආකාරයකට කාල නිර්ණය කිරීමක් වෙතයි: අපගේ වර්තමානය ඓතිහාසික ආකාරයට හඳුනා ගත හැක්කේ කෙසේද? ජේම්සන් ගේ ප්‍රශ්නය වන්නේ මෙයයි. එනිසා ජේම්සන් උත්සාහ කරන්නේ පශ්චාත්නූතනවාදය යන්න අප ජීවත් වන යුගයේ සංස්කෘතික ආධිපත්‍යය හිමි වන්නා වූ ප්‍රකාශන ආකෘතිය වන ආකාරය පෙන්වා දීමටයි. මෙයින් අදහස් කරන්නේ මෙම ආධිපත්‍යයධාරී සංස්කෘතියට වෙනස් වූ ‘ශෛලීන්’ නොමැති බව නොව, ඒවා වෙත මේ ආකාරයේ ආධිපත්‍යයක් නොමැති බවයි. එයට හේතුව වන්නේ අප ජීවත් වන සමාජයේ තිබෙනා දේශපාලන-ආර්ථික කොන්දේසීන් ය. ජේම්සන් විසින් යෝජනා කරනා මූලික තිසීසය වන්නේ මෙයයි.

නමුත්, පශ්චාත්නූතනවාදය මගින් සත්‍ය වශයෙන්ම නියෝජනය කරන්නේ රැඩිකල් කණ්ඩනයක් නොව නූතනවාදී ව්‍යාපෘතියේම තිබෙන්නා වූ දිගුවක් පමණක් බව කෙනෙකුට යෝජනා කළ නොහැකිද? සැබැවින්ම අප සාමාන්‍යයෙන් පශ්චාත්නූතනවාදී නිර්මාණ ලෙස හඳුනා ගන්නා දේවල් වල තිබෙනා ලක්ෂණ නූතනවාදී ව්‍යාපෘතියේ නිර්මාණ තුළ ද හඳුනා ගත හැකි වේ. නමුත් මේ විග්‍රහය මගින් අපට පෙන්වන්නේ නැති එක නිශ්චිත කරුණක් වන්නේ තවදුරටත් මෙම නිර්මාණ වලින් අපව පුදුමයට පත් නොකරන්නේ ඇයිද යන්නයි. නූතනවාදී ව්‍යාපෘතියට එරෙහිව සම්ප්‍රදායික විචාරයෙන් පැමිණි විවේචනයක් වන්නේ ඒවා අවලස්සන, සදාචාර විරෝධී, කැරලිකාරී සහ කලහකාරී භාවිතයන්ට තුඩු දෙන දේවල් වන බවයි. ඒවා මගින් කලාවේ තිබෙන්නා වූ අත්‍යන්ත සෞන්දර්යය විනාශ කර තිබේ.

මෙම විවේචනයන් වලට අද දවසේ සිදුව ඇත්තේ කුමක්ද? තවදුරටත් කිසිවෙකු මෙම නූතනවාදී භාවිතයන් වලින් පුදුමයට පත්වන්නේ හෝ කම්පනය වන්නේ හෝ නැත. ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, කැලි කසල සහ අප ද්‍රව්‍ය පෙන්වා දෙන චිත්‍ර ප්‍රදර්ශන, වේදිකා නාට්‍යය, සිනමාපට ආදිය අප දිනපතා පාහේ අත්දකිමින් සිටියි. නමුත් තවදුරටත් විසි වැනි සියවසේ ආරම්භයේදී මෙන් අප මේවා මගින් කම්පනය වන්නේ නැත. සැකයකින් තොරවම මෙම කලා භාවිතයන් විශ්වවිද්‍යාල වල ඉගැන්වීම සහ ඒ මගින් සාමාන්‍යකරණය වීම මෙයට එක හේතුවක් වෙයි. නමුත් කුමන හෝ ආකාරයකට අප විසින් සංස්කෘතික අවකාශයේ තිබෙනා දේ තේරුම් ගන්නා ආකාරයේ වෙනසක් ඇති වී ඇති බව පැහැදිළි වේ. මෙම වෙනස සිදුව තිබෙන්නේ නූතනවාදය පිළිබඳව ආයතනගත අධ්‍යාපනයක් ලබනා අය තුළ පමණක් නොවේ. සමස්තයක් ලෙස අප සියලු දෙනාම තවදුරටත් කලාත්මක නිෂ්පාදන වල ඇති අන්තර්ගතයන් මගින් පුදුමයට පත්වීම නවත්වා තිබේ. අප වෙනස් දෙයින්, අලුත් දෙයින් බිය වන්නේ නැත. අප ඉල්ලා සිටින්නේ අපට අලුත් දේවල් ලබා දෙන ලෙසයි – කලින් අත්දැක නොමැති දෙයක් අපට ඉදිරිපත් කරනා ලෙසයි.

මේ හා සමගාමීව තවත් දෙයක්  සිදුව තිබෙනා බව අපට නිරීක්ෂණය කළ හැකිය. පාරිභෝගික භාණ්ඩ අපට අද දවසේ  ඉදිරිපත් වන්නේද මෙම ආකෘතියෙන් බව අපට පැහැදිළි වේ. අපට අවශ්‍ය වන්නේ ලස්සන කාර්, ලස්සන ජංගම දුරකථන, ලස්සන ට අසුරා ඇති කෝපි පැකට්ටු, ලස්සනට ප්‍රදර්ශනය කර තිබෙන එළවලු රාක්ක වැනි දෙය. පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ යාන්ත්‍රණයේ කොටසක් බවට සෞන්දර්යාත්මක නිෂ්පාදන ඇතුලත් වී තිබේ. සෑම දිනකම නවීන ස්වරූපයක් ගන්නා භාණ්ඩ නිෂ්පාදනය කිරීම සමකාලීන ධනවාදයේ දිගින් දිගටම වර්ධනය වන අවශ්‍යතාවයක් බව පැහැදිළි වේ. තවදුරටත් පාරිභෝගික භාණ්ඩයක් යනු හුවමාරු වටිනාකම ගෙවීමෙන් පසුව අපට භාවිතයට ගත හැකි ප්‍රයෝජ්‍ය වටිනාකමක් පමණක් නොවේ. මෙහි හුවමාරු වටිනාකම තබා ගැනීම සඳහා අප කළ යුත්තේ එම භාණ්ඩය හැකිතාක් ‘අමුතු’, ‘අලුත්’, ‘වෙනස්’ ආකෘතියකින් අපට ඉදිරිපත් කිරීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස තවදුරටත් සුන්දරත්වය පිළිබඳව ගල් ගැසුණු, පටු අර්ථකථනයකට සීමා වීම කළ හැකි නොවේ. සුන්දරත්වය යන්න නැවත නැවතත් අප සොයා ගත යුතුය, ප්‍රතිනිර්මාණය කළ යුතුය. පශ්චාත්නූතනවාදය මගින් ප්‍රකාශ කරන්නේ ධනවාදයේ මෙම අවශ්‍යතාවයේ කලාත්මක ප්‍රකාෂණයයි.

මෙයින් අදහස් කරන්නේ සමකාලීන ධනවාදය යනු සුන්දර භාණ්ඩ නිෂ්පාදනය කරන – මුළු ලෝකයම චිත්‍ර කලාගාරයක් බවට පත්කළ – තැනක් යන්න නොවේ. ජේම්සන් පෙන්වා දෙන පරිදි මෙම ‘ලස්සන ලෝකය’ යනු ඇමරිකානු මිලිටරි සහ ආර්ථික ආධිපත්‍යයේ උපරි ව්‍යූහය පමණි. එය පදනම් වන්නේ ලෙයින්, වධ හිංසනයෙන්, මරණයෙන් සහ ත්‍රස්තයෙන් සලකුණු වන ආර්ථික ආධිපත්‍යය මතයි. ජේම්සන් යෝජනා කරන්නේ මෙවැනි දෙයකි: ඔබට අවශ්‍යනම් මෙම බිහිසුණු මර්ධනකාරී ආධිපත්‍යයට අභියෝහ කිරීමට, එම ආධිපත්‍යය අපට ඉදිරිපත් වන ආකෘතිය තේරුම් ගැනීමට පළමුවෙන් උත්සාහ කරන්න. මෙවැනි සමාජයක සංස්කෘතිය හැඩ ගැසී තිබෙන්නේ කෙසේද? අප ජීවත් වන කාලය පිළිබඳව නිශ්චිත විග්‍රහයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය පැන නගින්නේ මෙතැනිනි.

– මතු සම්බන්ධයි –

***

Advertisements