kristina-alisauskaite-dont-ask-ii-2011-oil-on-canvas

 

ෆ්‍රෙඩ්‍රික් ජේම්සන් ගේ ‘Postmodernism, or, the Cultural Logic of Late Capitalism’ නම් රචනය සඳහා ලියූ සරල, සංක්ෂිප්ත සිංහල හැඳින්වීමක තුන්වැනි කොටස මෙයයි (පළමු සහ දෙවැනි කොටස් මෙතැනින් සහ මෙතැනින්). ‘පශ්චාත්නූතනවාදය’ නම් අදහස න්‍යායගත කළ සම්භාව්‍ය ලියවිලි අතරින් මෙය ප්‍රධාන වන්නකි. එනිසා, ඒ ගැන අවබෝධයක් ලැබීමට ජේම්සන් ගේ මෙම රචනය වටහා ගැනීම අනිවාර්ය අභ්‍යාසයක් වෙයි.

අද දින සන්ධ්‍යාවේ – පෙබරවාරි 16 සවස 3 ට – පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පැවැත්වෙන සංවාදයක් පසුබිම් කරගෙන සකස් වූ මෙම ලියවිල්ල මෙහි බෙදා ගැනෙන්නේ අප මිත්‍ර විදර්ශන කන්නන්ගර කළ යෝජනාවක් අනුවයි. එම යෝජනාව වූයේ සමකාලීන දේශපාලනය පිළිබඳව සිතීමේදී ජේම්සන් විසින් cognitive mapping (ඥානමය සිතියම) යනුවෙන් නම් කළ දෙය පිළිබඳව සංවාදයක් ඇති විය යුතු බවයි. මෙවැන්නක් සඳහා පළමුවෙන් අවශ්‍ය වන්නේ මේ මගින් ජේම්සන් අදහස් කරනා දෙය කුමක්ද යන්න වටහා ගැනීම බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සතිය පුරා ‘බව’ හී ජේම්සන් ගේ මේ රචනය පිළිබඳව හැඳින්වීමක් පළ වූයේ එම නිසාය. cognitive mapping පිළිබඳව ජේම්සන් ගේ පැහැදිළි කිරීම ඇතුලත් මෙහි අවසන් කොටස හෙට දිනයේ මෙහි පළ කරන අතර, අද සංවාදයට පැමිණෙන කෙනෙක් හට එහි මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට හැකි වනු ඇත.

නැවතත් මතක් කරන්නේනම්, අද දින සංවාදය පැවැත්වෙන්නේ නිර්මාල් රංජිත් දේවසිරි සහ විදර්ශන කන්නන්ගර අතරයි. සෑම යහපත් දෙයක් සේම අහම්බයෙන් සංවිධානය වූ මෙම සංවාදය පදනම් වන්නේ නිර්මාල් ට එරෙහිව විදර්ශන එල්ල කළ විවේචනයක් මතයි. එනිසා මෙම සංවාදයේ අවසන් හැඩය තීරණය කිරීමටද අපි එම අහම්බයේ ඉඩ විවෘතව තබමු. විකල්ප සමාජ සිතීමක පූර්ව කොන්දේසියක් ලෙස අපගේ අවකාශීය සැකැස්ම සඳහා, අද දවසේ, ඥානමය සිතියමක් සකස් කර ගත හැක්කේ කෙසේද?

සංවාදය පැවැත්වෙන ස්ථානයට පැමිණෙන ගූගල් සිතියමනම් මෙතැනින් ලබා ගත හැක.

 

***

 

පශ්චාත්නූතනවාදය ලෙස ජේම්සන් විසින් හඳුන ගන්නා මෙම ප්‍රවණතාවය සාහිත්‍ය තුළ ප්‍රකාශමාන වන එක ලක්ෂ්‍යයක් ලෙස භාෂා ශෛලියෙහි ඇති වී තිබෙනා වෙනස්කම් සලකා බැලිය හැකිය. තවදුරටත් එක ලේඛකයෙකු සතු වූ, සුවිශේෂ, ආත්මීය භාෂා රටාවක් හඳුනා ගැනීම කළ හැකි නොවේ. කලාව යනු ආත්ම ප්‍රකාශයනක් නොවන විට සෑම විටම සුවිශේෂ වූ භාෂාවක් සොයා ගැනීමේ අභියෝගය සාහිත්‍යකරුවාට එල්ල වන්නේ නැත. ඒ වෙනුවට ඔහුගෙන් හෝ ඇයගෙන් හෝ ඉල්ලා සිටින්නේ සෑම විටම හැකිතාක් වෙනස් ආකාරයකට ලියන ලෙසයි. අලුත් ශෛලීන් සොයා යන ලෙසයි.

මෙහි අනෙක් අන්තය වන්නේ අප සියලු දෙනා එකට එකතු කරනා මහා පොදු භාෂාවක් පිළිබඳ අදහස බිඳ වැටීමයි. තවදුරටත් භාෂාව සඳහා වගකියන, එහි මූලික නීති රීති සකස් කරනා පොදු අධිකාරියක් හඳුනා ගත නොහැකි වේ. මෙම නිරීක්ෂණයේ වැදගත් දේශපාලන ප්‍රතිවිපාකයක් වන්නේ පාලක පන්තියේ අදහස් යනු තවදුරටත් අපව පාලනය කරනා අදහස් ලෙස හඳුනා ගත හැකි නොවීමයි. එක අතකින් එවැනි ආකාරයකට අපව පාලනය කිරීම සඳහා අවශ්‍ය පොදු අදහස් පද්ධතියක් – සරල අරුතින් ගත්විට – සිතාමතා නිර්මාණය කිරීම කළ නොහැකිව තිබේ. එවැන්නක් කිරීම සඳහා අවශ්‍ය භාෂාවක්, නියාමනය කිරීමේ ක්‍රියාවලියක් පවත්වා ගැනීම අපහසු වෙයි. නමුත්, අනෙක් අතට, අපේ ජීවිතය සීමා කරනා ආර්ථික ක්‍රමෝපායන් තීරණය කරන මෙම නාදුනන ස්වාමීවරුන්ට තවදුරටත් සිය අදහස් වලට අපව අනුගත කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති නොවේ. මන්ද, අප ඔවුන්ගේ අදහස් වලට අනුගත නොවනවා යන්න මගින් ඔවුන්ට එරෙහි වන්නා හෝ ඔවුන්ට හානිකර වූ හෝ අදහස් අනුගමනය කරනවා යන්නක් අදහස් නොවේ. සත්‍ය වශයෙන්ම, තවදුරටත් ‘අපගේ අදහස්’ යනුවෙන් නම් කළ හැකි නිශ්චිත දෙයක් පවතින්නේද නැත. ඒ වෙනුවට තිබෙන්නේ මොහොතින් මොහොත වෙනස් වන එකම විසිරුණු, ව්‍යාකූල කතිකාවකි. ෆේස්බුක් හී නිර්මාපකයා වන මාක් සකර්බර්ග් උපදින්නේ ජේම්සන් ගේ මෙම රචනය් ප්‍රථම වරට ලියැවෙන 1984 වසරේ වුවත්, මේ ජේම්සන් ගේ තියුණු නිරීක්ෂණය අද අපට දෛනිකව අත්දැකිය නොහැකිද?

මෙවැනි තත්වයක් තුළ භාෂාව තුළ ක්‍රියාත්මක වන ආකෘතිය තේරුම් කිරීම සඳහා ජේම්සන් විසින් pastiche යන සංකල්පය හඳුන්වා දෙයි. තියඩෝර් අඩෝනෝ විසින් න්‍යාගත කරනා මෙම සංකල්පය මගින් විස්තර කරන්නේ අතීත සම්ප්‍රදායන්, අතීත භාෂා ශෛලීන් නැවත ලිවීමයි. නමුත් මෙම නැවත ලිවීම මගින් එම පැරණි සම්ප්‍රදාය වෙත කිසියම් දුරස්ථබවක් ඇති වෙන ආකාරයේ උපහාසයක් වැනි දෙයක් ජනිත වන්නේ නැත. ඒ වෙනුවට සිදු වන්නේ එම ශෛලියම වෙනත් සන්දර්භයක, වෙනත් ආකාරයකට නැවත නැවතත් යොදා ගැනීමයි. එය අයත් වන මුල් ස්ථානය, මොහොත කුමක්ද කියා මෙවැනි සදර්භයක් තුළ විමසා බැලීමෙන් ප්‍රයෝජනයක් අත් නොවේ. ප්ලේටෝ ගේ ‘සිමියුලාක්‍රමය’ (simulacrum) යන වචනය අපට මෙය පැහැදිළි කිරීම සඳහා යොදා ගත හැකි තවත් වචනයක් ලෙස ජේම්සන් යෝජනා කරයි. සිමියුලාක්‍රමයක් යනු මුල් පිටපතක් නොමැති නමුත් එක හා සමාන පිටපත් ගණනක් තිබෙනා රූපයකි. සමකාලීන සමාජයේ තිබෙනා ශෛලිය හඳුන්වා දිය හැකි සුදුසු නාමකරණයක් ලෙස සිමියුලාක්‍රමය හඳුන්වා දිය හැක. ධනවාදයේ වර්ධන වීමත් සමග වෙළඳපොළ තුල ඇති හුවමාරු වටිනාකම ඉතාම දැඩි ආධිපත්‍යයක් ඇති කිරීම මගින් භාණ්ඩ වල ප්‍රයෝජ්‍ය වටිනාකම මුළුමනින් පාහේ අහෝසී වී යාම පිළිබිඹු වන්නේ මෙවැනි සිමියුලාක්‍රමය අධිපති වූ සංස්කෘතියක් තුළයි.

අප ඓතිහාසික කාලය යනුවෙන් හඳුනා ගන්නා දෙය, මෙම සමස්ත ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස, මුළුමනින් වෙනස් ආකාරයකට යළි අර්ථකථනය වේ. අතීතය යන්න දැන් අර්ථකථනය වන්නේ තවත් රූපයක් ලෙසයි. එම රූපයට යටින් තිබෙනා සාරයක් නොමැති වේ. එම රූපය තුළට අප අපගේ වර්තමානයේ ඇති ආශාවන් ප්‍රක්ෂේපණය කරයි. මේ සඳහා ජේම්සන් මූලික වශයෙන් යොදා ගන්නේ ‘අතීතකාම චිත්‍රපට’ (nostalgia film) ලෙස හැඳින්වෙන චිත්‍රපට පිළිබඳ විශ්ලේෂණයකි. ජේම්සන් මේ සඳහා දෙන නිදර්ශන අතර ජෝජ් ලුකාෂ් ගේ American Graffiti, රෝමන් පොලාන්ස්කි ගේ Chinatown, බර්නාඩෝ බර්ටලුෂි ගේ Il Conformista ආදිය ඇතුලත් වේ.

ඒවා මගින් බොහෝ විට අපට දක්නට ලැබෙන්නේ අතීතයේ තිබූ විලාසිතා පිළිබඳ අපගේ තිබෙනා පරිකල්පනයයි. ඒවායේ තිබෙනා අතීතබව රැඳී තිබෙන්නේ මෙම රූපය මතයි. එමගින් අපට පෙන්වන්නේ අපගේ වර්තමානයට පෙර අතීතයේ තිබූ සැබෑ සිදුවීම් වලට වඩා අපගේ වර්තමානයට අනුව අතීතබව රූපයට නැංවිය යුතු ආකාරයයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම සම්ප්‍රදාය විසින් සොයා යන දෙය අපට නිශ්චිත ලෙස ‘අතීතය’ එසේත් නැතිනම් අතීතයේ වූ සිදුවීම් කියා නම් කිරීමට හැකියාවක් නොමැත. එමගින් සොයා යන්නේ අතීතය පිළිබඳ රූපයකි. එම රූපය මගින් උත්සාහ කරන්නේ එම රූපයත් අපේ වර්තමානය යනුවෙන් නම් කරනා දහසක් රූප අතරේ තවත් එක රූපයක් බවට එම අතීතය පත් කිරීමයි. එනිසා මේ අතීතබව අපට හඟවන රූපය අතීත සිදුවීම් දැක්වෙන චිත්‍රපට වලට පමණක් සීමා විය යුතු නැත. එය සමකාලීන ලෝකය පිළිබඳ දැක්වෙන කතා පුවතකටද එක ලෙස අදාළ විය හැකිය (ජේම්සන් මෙයට දෙන නිදර්ශනය වන්නේ ලෝරන්ස් කස්ඩාන් ගේ Body Heat චිත්‍රපටියයි).

මෙම සන්දර්භය තුළ අතීතය යන්න අර්ථකථනය වන්නේ අතීතයේ වූ සැබෑ සිදුවීම් මොනවාද යන්න සොයා බලනා අර්ථයෙන් නොවේ. ඒ වෙනුවට අපට හමුවන්නේ සැබෑ සිදුවීම්, අපගේ පරිකල්පනයන්, අපගේ ෆැන්ටසීන් ආදිය මුහු වූ සම්මිශ්‍රණයකි. එය අර්ථකථනය නම් ක්‍රියාවලියට බඳුන් කළ හැකි දෙයක් නොවේ. එහි විසඳාගැනීමට ගැඹුරු වූ අර්ථයක්, රහසක් නොමැත. එම ඉතිහාසය මගින් අතීතය නියෝජනය කරන්නේ නැත. ඒ වෙනුවට ඒ මගින් නියෝජනය කරන්නේ අතීතය පිළිබඳව අප කැමති අදහස් වෙයි. එම අර්ථයෙන් එය අපට ‘පොප් ඉතිහාසය’ කියා නම් කළ හැක.

පශ්චාත්නූතනවාදී නිර්මාණ වල දක්නට ලැබෙනා අතීතය අර්ථකථනය කිරීමේ ප්‍රශ්නය මගින් පෙන්වා දෙන්නේ හුදු ඉතිහාසය කියවීමේ, අර්ථකථනය කිරීමේ ගැටලුවක් පමණක් නොවේ. අපට අතීතය නිවැරදි ආකාරයෙන් නියෝජනය කිරීමට නොහැකි වනවා යනු ‘ඉතිහාසය’ කියන අධ්‍යයන විෂය ඉගෙන ගැනීමට නොහැකි වනවා වැනි දෙයක් එමගින් අදහස් කරන්නේ නැත. මෙහි ප්‍රධානම ගැටලුව වන්නේ අපට අතීතය අනාගතය යන කාල රාමුව තුළ අපගේ වර්තමානය සකස් කරගැනීමේ නොහැකියාවයි. මෙම වර්තමානය තාර්කික හේතුඵල සම්බන්ධයක් තුළට ගෙන ඒමට හැකි වන්නේ අපගේ අත්දැකීම් ලෝකය කිසියම් නිශ්චිත ආඛ්‍යානයක් තුළට ගෙන ආ හැකිනම් පමණි. නමුත් මෙවැනි හැකියාවක් නොමැති වනවා යනු අපට වර්තමානය යන්නම එකිනෙකට සම්බන්ධයක් නොමැති, බිදී ගිය හුදෙකලා සිදුවීම් එකතුවක් ලෙස පමණක් අත්දැකිය හැකි වේ යන්නයි.

මෙය පැහැදිළි කරගැනීම සඳහා ජේම්සන් යොදා ගන්නේ භින්නෝන්මාදය (schizophrenia) පිළිබඳව ලැකේනියානු මනෝවිශ්ලේෂණයේ එන විග්‍රහයයි. මෙයින් අදහස් කරන්නේ ජේම්සන් ට අනුව මේ ආකාරයේ පශ්චාත්නූතනවාදී නිර්මාණ කරන පුද්ගලයන් මානසික රෝගීන් වන බව නොවේ. එමෙන්ම, ජේම්සන් පෙන්වා දෙන පරිදි, මේ මගින් ඔහු උත්සාහ කරන්නේ අපගේ සංස්කෘතිය සහ එහි ඇති කලාව පිළිබඳව සායනික රෝග විනිශ්චයක් දීමට නොවෙයි. ඒ වෙනුවට ඔහුගේ අරමුණ වන්නේ භින්නෝන්මාදය පිළිබඳ ලැකේනියානු විශ්ලේෂණය සමකාලීන සංස්කෘතික නිෂ්පාදන තේරුම් ගැනීමට ඇති සෞන්දර්යාත්මක ආකෘතියක් ලෙස යොදා ගැනීමයි.

ජේම්සන් ගේ අර්ථකථනයට අනුව, ලැකේනියානු භින්නෝන්මාදය යනු අපගේ අරුත්සහගත හැඟවුම්කරණ දාමයේ සිදු වන බිඳ වැටීමකි. ෆ්‍රොයිඩියානු න්‍යායේ සහ සෝශරියානු වාග්විද්‍යාවේ එන තාක්ෂණික යෙදුම් ඉවත් කළ විට මේ මගින් අදහස් කරන දේ අපට තරමක් සරල ආකාරයට නැවත ලිවීමට ඉඩ ලැබේ. අපගේ සංවාදයට අදාලව මෙහිදී වැදගත් වන කරුණු දෙකක් ඔස්සේ එය අපට තේරුම් ගත හැකි වේ. අපගේ පුද්ගල අනන්‍යතාවය ගොඩ නැගෙන්නේ අපගේ අතීත අත්දැකීම් සහ අනාගතය පිළිබඳ ඇති අවබෝධය අපගේ වර්තමානය සමග එකට ගැට ගැසීමත් සමගයි. මෙය සිදු වීමේ මූලික යාන්ත්‍රනය වන්නේ භාෂාවයි. අපට භාෂාව හරහා අතීත සිදුවීම් ගැන මෙන්ම අනාගතයේ විය හැකි සිදුවීම් ගැනද කතා කළ හැකි බව අපි දනිමු. භාෂාව කතා කරන්න ආරම්භ කළ දරුවන් සඳහා තිබෙනා පළමු කඩ ඉමක් වන්නේ මෙලෙස භාෂාව හරහා අතීතය සහ අනාගතය පිළිබඳව කතා කිරීමට ඉගෙන ගැනීමයි. අපට අතීතය ප්‍රතිනිර්මාණය කිරීමට, මතකයේ තබා ගැනීමට හැකි වන්නේත් අනාගතය ගැන බලාපොරොත්තු තැබිය හැකි වන්නේත් භාෂාව මගින් එවැන්නක් සඳහා හැකියාවක් ලබා දෙන නිසාය.

අපගේ ජීවිතය ගැන මෙන්ම එයින් බාහිරව තිබෙනා ලෝකය කියා අප හඳුනා ගන්නා දෙය ගැනද අපට කතා කළ හැකි වන්නේ මේ භාෂාවේ පිළිවෙල අනුවයි. භින්නෝන්මාදය තුළ දී සිදු වන්නේ භාෂාවේ මෙම පිළිවෙල බිඳ වැටීමයි. එහිදී භාෂාවේ වචන අනෙකුත් වචන සමග අරුත්සහගත ලෙස සම්බන්ධ වන ආකාරය බිඳ වැටී යයි. එවිට වර්තමානය අපට හසු වන්නේ අතීතයක් නොමැති, අනාගතයක් නොමැති අනන්ත විශාලත්වයකින් හෙබි අවකාශයක් ලෙසයි.

මෙවැනි අවකාශයකදී ලෝකය අපට සැබැවින්ම මුණ ගැසෙන්නේ දරා ගත නොහැකි, අර්ථයට ගෙන ආ නොහැකි, නියෝජනය කළ නොහැකි දෙයක් ලෙසයි. මෙය පැහැදිළි කිරීම සඳහා ජේම්සන් විසින් උත්කෘෂ්ඨ දෙය (the sublime) නම් කාන්ටියානු සංකල්පය යොදා ගනියි. මෙහි මූලික අදහස වන්නේ අපගේ මානසික ලෝකය තුළ ග්‍රහණය කරගත නොහැකි තරම් විශාල වූ, සංකීර්ණ පැවැත්මවල් යන්නයි. මේ සඳහා කාන්ටියානු නිදර්ශනයක් ලෙස අපට සිතා ගත නොහැකි ලෙස විශාල වූ ග්‍රහලෝකයක් සහ එය හා සන්සන්ධනය කළ විට මිනිස් ශරීරයක තිබෙනා සිතා ගත නොහැකි ක්ෂුද්‍ර බව ගත හැකිය. එවැනි අතිවිශාල පැවැත්මක් ඉදිරියේ මිනිසෙකුගේ කුඩා බව පිළිබඳව ඇති වන අදහස ලෙස කාන්ටියානු උත්කෘෂ්ඨබව තේරුම් ගත හැකිය. කාන්ට් ගේ සන්දර්භය තුළ මේ ආකාරයට අපට නියෝජනය කළ නොහැකි වූ උත්කෘෂ්ඨ වස්තුව වූයේ ස්වභාව ධර්මය වුවත්, ජේම්සන් ට අනුව, අපගේ වර්තමානය තුළ මෙය අප තේරුම් ගත යුත්තේ, අවසාන විග්‍රහයේදී, ප්‍රාග්ධනය ලෙසයි.

අපට මෙලෙස මානසික නියෝජනයක් ගත නොහැකි ලෙස අප ඉදිරියේ උත්කෘෂ්ඨ ලෙස දෘශ්‍යමාන වන වස්තුව ලෙස ප්‍රාග්ධනය අපට පළමුවෙන් හමුවන්නේ තාක්ෂණය තුළයි. ජේම්සන් පෙන්වා දෙන ආකාරයට තාක්ෂණයේ ඇති වෙන මෙම පෙරළි හරහා අපට ධනවාදයේ ඓතිහාසික විකාශණය තේරුම් ගත හැකි වේ. මේ සඳහා ජේම්සන් පාදක කර ගන්නේ අර්නස්ට් මැන්ඩෙල් ගේ Late Capitalims කෘතියේ දිග හැරෙන ප්‍රවාදයයි. ඒ ඇසුරින් ධනවාදයේ ඉතිහාසය තුළ ප්‍රාග්ධනයේ ඇති වූ ප්‍රධාන පෙරළි තුනක් ජේම්සන් විසින් පෙන්වා දෙයි. පළමුවෙන් තිබෙන්නේ, දහනමවන සියවසේ මැද ඇති වූ තාප ශක්තියෙන් ක්‍රියාත්මක වූ යන්ත්‍ර හරහා ධනවාදයේ සිදු වූ වර්ධනයයි. ඉන් පසුව දහනමවන සියවසේ අග සහ විසිවැනි සියවසේ මුල ඇති වූ විදුළි හා ඉන්ධන දහන තාක්ෂණය තිබේ. අවසන් වශයෙන් තිබෙන්නේ විසිවැනි සියවසේ මැද ඇති වූ ඉලෙක්ට්‍රොනික සහ න්‍යෂ්ඨික තාක්ෂණයයි. තාක්ෂණයේ සිදු වූ මෙම වෙනස්කම් වලට සමගාමීව ධනවාදයේ ඉතිහාසයද අපට මූලික යුග තුනකට වෙන් කළ හැකි වේ. පළමුවෙන් තිබෙන්නේ වෙළඳපොල ධනවාදයයි. ඉන් පසුව එය අධිරාජ්‍යවාදය නැතිනම් ඒකාධිකාරී ධනවාදය ලෙස හැඳින්විය හැකිය. මෙම අවධි දෙකට පසුව පැමිණි ධනවාදයේ තුන්වැනි අවධිය ‘බහුජාතික ධනවාදය’ ලෙස නම් කිරීමට ජේම්සන් යෝජනා කරයි.

පසු ධනවාදය (late capitalism) ලෙස මැන්ඩෙල් විසින් නම් කරන ධනවාදයේ මෙම බහුජාතික අවධිය මගින් සිදු වන්නේ මාක්ස්ගේ ධනවාදය පිළිබඳ ප්‍රවාදය ප්‍රතික්ෂේප වීම නොව අපට එහි වඩාත් පාරිශුද්ධ වූ ස්වරූපය ප්‍රථම වරට හමු වීමයි. මෙම අවධියේදී ප්‍රාග්ධනයේ තර්කණයට මෙතෙක් හසුව නොතිබූ සියලු දේ එයට ඇතුලත් කර ගනියි. ධනවාදයෙන් ස්වායත්ත ලෙස වර්ධනය වූ අවකාශයන් සියල්ල අතුරුදහන් වී යයි. ජේම්සන් විසින් සංස්කෘතිය අර්ථකථනය කිරීම සඳහා ඉදිරිපත් කරනා කාල නිර්ණය මේ ධනවාදයේ අවධි තුනට සහ එහි වර්ධනයට සම්බන්ධ වන ආකාරය අපට දැන් තේරුම් ගත හැකිය. ඒ අනුව වෙළඳපොල ධනවාදය තුළ ආධිපත්‍යය දැරූ සංස්කෘතික නිර්මිත වල ආකෘතිය වූයේ යථාර්ථවාදය වන අතර ඒකාධිකාරී/අධිරාජ්‍යවාදී යුගයේ ආධිපත්‍යය ලැබුවේ නූතනවාදයටයි. පශ්චාත්නූතනවාදය යනු, මේ අනුව, බහුජාතික ධනවාදී යුගය තුළ සංස්කෘතික නිෂ්පාදන සකස් වෙන ප්‍රධාන ආකෘතියයි.

 

– මතු සම්බන්ධයි –

 

***

Advertisements