dean-levin

ෆ්‍රෙඩ්රික් ජේම්සන් ගේ ‘පශ්චාත්නූතනවාදය නොහොත් පසු ධනවාදයේ සංස්කෘතික තර්කණය’ නම් සම්භාව්‍ය රචනය සඳහා ලියවුණු සංක්ෂිප්ත හැඳින්වීමක අවසන් කොටස වන්නේ මෙයයි (මෙහි පළමු, දෙවන සහ තුන්වන කොටස්, පිළිවෙලින්, මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්).

පශ්චාත්නූතනවාදය සම්බන්ධයෙන් ජේම්සන් ගේ මෙම ප්‍රවාදය මෙලෙස සාකච්ඡාවට ගැනීමේ පොදු වැදගත්කමක් තිබුනද මෙම නිශ්චිත මොහොතේදී මෙය පළ කිරීමට ප්‍රධාන හේතුව වූයේ පෙබරවාරී 16 වෙනිදා සංවිධානය කර තිබූ සංවාදයකට අවශ්‍ය පසුබිම සැකසීමයි. මූලික වශයෙන් ‘බව’ මිතුරන් දෙදෙනකු වන නිර්මාල් රංජිත් දේවසිරි සහ විදර්ශන කන්නන්ගර අතර සංවාදයක් ලෙස මෙය රාමුගත කළත් එහි අරමුණ වූයේ සමකාලීන දේශපාලන මොහොත පිළිබඳව දුරදිග යන කතාබහකට මුල පිරීමයි. එහිදී ඇති වූ කතා බහ සහ එහි මීළඟ පියවර පිළිබඳව විස්තරයක් හෙට දිනයේ පළ කරමු.

එයට පෙර, ජේම්සන් ගේ රචනය පිළිබඳව අප ලියූ හැඳින්වීමේ අවසන් කොටස කියවන්න. සමකාලීන ගෝලීය අවකාශය සිතියම්ගත කර ගැනීමේ නොහැකියාව නම් අපගේ යුගයේ ‘සත්‍යයේ මොහොත’ පිළිබඳව මෙම ඓතිහාසික තිසීසය පිළිබඳ අවබෝධයකින් තොරව පසුගිය දශක දෙක තුළ දේශපාලනය සම්බන්ධයෙන් මෙරට ඇති වූ බුද්ධිමය සංවාදය අවශෝෂණය කරගැනීම ඉතා අපහසු වේ.

***

ජේම්සන් පෙන්වා දෙන ආකාරයට තාක්ෂණයේ ඇති වෙන පෙරළි හරහා අපට ධනවාදයේ ඓතිහාසික විකාශණය තේරුම් ගත හැකි වේ. මේ සඳහා ජේම්සන් පාදක කර ගන්නේ අර්නස්ට් මැන්ඩෙල් ගේ Late Capitalims කෘතියේ දිග හැරෙන ප්‍රවාදයයි. ඒ ඇසුරින් ධනවාදයේ ඉතිහාසය තුළ ප්‍රාග්ධනයේ ඇති වූ ප්‍රධාන පෙරළි තුනක් ජේම්සන් විසින් පෙන්වා දෙයි. පළමුවෙන් තිබෙන්නේ, දහනමවන සියවසේ මැද ඇති වූ තාප ශක්තියෙන් ක්‍රියාත්මක වූ යන්ත්‍ර හරහා ධනවාදයේ සිදු වූ වර්ධනයයි. ඉන් පසුව දහනමවන සියවසේ අග සහ විසිවැනි සියවසේ මුල ඇති වූ විදුළි හා ඉන්ධන දහන තාක්ෂණය තිබේ. අවසන් වශයෙන් තිබෙන්නේ විසිවැනි සියවසේ මැද ඇති වූ ඉලෙක්ට්‍රොනික සහ න්‍යෂ්ඨික තාක්ෂණයයි. තාක්ෂණයේ සිදු වූ මෙම වෙනස්කම් වලට සමගාමීව ධනවාදයේ ඉතිහාසයද අපට මූලික යුග තුනකට වෙන් කළ හැකි වේ. පළමුවෙන් තිබෙන්නේ වෙළඳපොල ධනවාදයයි. ඉන් පසුව එය අධිරාජ්‍යවාදය නැතිනම් ඒකාධිකාරී ධනවාදය ලෙස හැඳින්විය හැකිය. මෙම අවධි දෙකට පසුව පැමිණි ධනවාදයේ තුන්වැනි අවධිය ‘බහුජාතික ධනවාදය’ ලෙස නම් කිරීමට ජේම්සන් යෝජනා කරයි.

පසු ධනවාදය (late capitalism) ලෙස මැන්ඩෙල් විසින් නම් කරන ධනවාදයේ මෙම බහුජාතික අවධිය මගින් සිදු වන්නේ මාක්ස්ගේ ධනවාදය පිළිබඳ ප්‍රවාදය ප්‍රතික්ෂේප වීම නොව අපට එහි වඩාත් පාරිශුද්ධ වූ ස්වරූපය ප්‍රථම වරට හමු වීමයි. මෙම අවධියේදී ප්‍රාග්ධනයේ තර්කණයට මෙතෙක් හසුව නොතිබූ සියලු දේ එයට ඇතුලත් කර ගනියි. ධනවාදයෙන් ස්වායත්ත ලෙස වර්ධනය වූ අවකාශයන් සියල්ල අතුරුදහන් වී යයි. ජේම්සන් විසින් සංස්කෘතිය අර්ථකථනය කිරීම සඳහා ඉදිරිපත් කරනා කාල නිර්ණය මේ ධනවාදයේ අවධි තුනට සහ එහි වර්ධනයට සම්බන්ධ වන ආකාරය අපට දැන් තේරුම් ගත හැකිය. ඒ අනුව වෙළඳපොල ධනවාදය තුළ ආධිපත්‍යය දැරූ සංස්කෘතික නිර්මිත වල ආකෘතිය වූයේ යථාර්ථවාදය වන අතර ඒකාධිකාරී/අධිරාජ්‍යවාදී යුගයේ ආධිපත්‍යය ලැබුවේ නූතනවාදයටයි. පශ්චාත්නූතනවාදය යනු, මේ අනුව, බහුජාතික ධනවාදී යුගය තුළ සංස්කෘතික නිෂ්පාදන සකස් වෙන ප්‍රධාන ආකෘතියයි.

යන්ත්‍ර වල තුන්වැනි යුගය (Third Machine Age) ලෙස ජේම්සන් විසින් නම් කර තිබෙනා මෙම යුගය තුළ අපට මෙම වර්ධනයන් අපගේ සංස්කෘතික නිර්මිතයන් තුළ නියෝජනය වන ආකාරය නිරීක්ෂණය කළ හැකිද? ධනවාදයේ මෙයට පෙර තිබූ අවධිය තුළදී තාක්ෂණය සහ යන්ත්‍ර වල වූ වර්ධනය කලාත්මක නිෂ්පාදන වල ඉතා සමීප තේමාවක් වූ බව අපි දනිමු. අනාගතවාදය (futurism) වැනි කලා ව්‍යාපාර වල මේ ආකාරයේ තාක්ෂණයේ වර්ධනය, එහි අනාගත හැකියාවන් ආදිය පිළිබඳව සටහන් වූ ආකාරය අපට පහසුවෙන් හඳුනාගත හැකිය. නමුත් අපගේ වර්තමානයට පැමිණෙන විට තත්වය කෙසේ වී තිබේද? අපට තවදුරටත් අපගේ වර්තමානය සකස් වන තාක්ෂණික පසුබිම සංස්කෘතික අවකාශය මගින් නියෝජනය වන බව කිව හැකිද?

ප්‍රධාන වශයෙන්ම මෙය නියෝජනය වන්නේ – සමහරවිට ජේම්සන් මෙම රචනය ලියූ කාලයටත් වඩා අපගේ වර්තමානය වන විට – මෙම තාක්ෂණයේ බිහිසුණු සර්වභාලධාරීබව හැඟවෙන නිර්මාණ වැනි දේවල් වලයි. පරිඝණක මගින් සියල්ල පාලනය වන සමාජයන්, මිනිස් ජීවිතය පරිඝණක මගින් පාලනය වීම ආදී තේමාවන් අපට සමකාලීන සංස්කෘතික නිර්මාණ වල දැක ගත හැකි වේ. නමුත් මෙය නූතනවාදී යුගයේ නිර්මාණ වල තිබූ තාක්ෂණය වෙත තැබූ බලාපොරොත්තුව නොවේ. තාක්ෂණය යන්න මගින් බොහෝ විට දැන් නියෝජනය වන්නේ අපේ ලෝකයේ අවසානය, අර්ථවිරහිත වෙන්වීම වැනි දේයි. ජේම්සන් මතක් කරන ලෙසම මේ මගින් නියෝජනය කරන්නේ ධනවාදයේ තුන්වැනි යුගයේ, කේන්ද්‍රයකින් තොරව ලෝකය පාලනය කරනා ප්‍රාග්ධනයේ ගෝලීය ජාලය නොවේද?

මේ සියල්ල මගින්, අවසානයේදී, ජේම්සන් යෝජනා කරන්නේ වර්තමානයේ අවකාශය යන්නෙහි මූලික පරිවර්තනයක් වී ඇති බවයි. ජෝන් පොට්මන් නම් ගෘහනිර්මාණශිල්පියා සහ ව්‍යාපාරිකයා විසින් නිර්මාණය කරන ලද වෙස්ටින් බොනවෙන්චර් හෝටලය (Westin Bonaventure Hotel) පිළිබඳව දීර්ඝ විශ්ලේෂණයක් කරමින් ජේම්සන් පෙන්වා දෙන්නේ මෙම අවකාශීයත්වයේ ඇති වී තිබෙන වෙනස්කමේ මූලික ලක්ෂණය ලෙස එහි සිටිනා පුද්ගලයන් හට තමන් සිටිනා නිවැරදි ස්ථානය සිතියම්ගත කරගැනීමේ අපහසුව, ඥානනය කර ගැනීමේ අපහසුව ගත හැකි බවයි.

මෙයින් අදහස් කරන්නේ ජේම්සන් විසින් මෙම ප්‍රවණතාවය යහපතක් ලෙස සලකන බව නොවේ. පශ්චාත්නූතනවාදය තුළ සියලු නිදහස් භාවයන් සඵල වීම බලාපොරොත්තු වන උද්‍යෝගය සමග ඔහු කිසි සේත්ම එකඟ නොවේ. නමුත්, අනෙක් අතට, පශ්චාත්නූතනවාදයට එරෙහිව ප්‍රභූවාදී නූතනවාදයේ ආරක්ෂකයන් ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමද ඔහු ප්‍රතික්ෂේප කරයි. එනිසා, පශ්චාත්නූතනවාදය මගින් සියලු පාරිශුද්ධ කලාවන් විනාශ වූ බව කියමින් විස්සෝප වීම ඔහුගේ ප්‍රවේශය නොවේ.

නමුත්, නැවතත් කියන්නේනම්, මෙයින් අදහස් වන්නේ අප මෙම නව ඓතිහාසික මොහොත සතුටින් බාරගත යුතු බව නොවේ. ජේම්සන් ඉතා පැහැදිළිව සඳහන් කරනා ආකාරයට, රූප වලට ඇබ්බැහි වූ සංස්කෘතික ආකෘතියක් මගින් අතීතය දෘශ්‍යමය මිරිඟුවක් සහ අවසන් අර්ථයක් නොමැති පථිතයක් බවට ඌණනය කිරීමේ ඍජු ප්‍රතිඵලය වන්නේ අනාගතය පිළිබඳ තිබෙන අදහස සහ සාමූහික ව්‍යාපෘතියක් පිළිබඳ අදහස අවලංගු වීමයි. මේ මගින් අපට අනාගතය ගැන සිතිය හැකි එකම ආකෘතිය වන්නේ පරිපූර්ණ විනාශය පමණි. මෙය ගෝලීය තලයෙන් මෙන්ම පුද්ගලික තලයෙන්ද එක ලෙස අදාළ වෙයි. ගෝලීයව මේ මගින් නිරූපණය වෙන්නේ ලෝක විනාශය පිළිබඳ ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට තුළ අපට හමුවන අත්දැකීමයි. පුද්ගලික තලයේ දී මෙය නිරූපණය වන්නේ පිළිකාවක් වැනි භයානක රෝගයකින් අවසන් වන ජීවිතය පිළිබඳව බිය වීම මගිනි. අපගේ සමාජ ක්‍රමය වෙනස් කිරීම පරිකල්පනය කරනවාට වඩා ලෝක විනාශය පරිකල්පනය කිරීම අපට පහසු වී තිබේ. මෙම ලෝකයට එරෙහිව යන ඕනෑම දේශපාලනයක් පරිකල්පනය කරගැනීමට ඇති එකම වර්ගීකරණය වනු ඇත්තේ ‘ත්‍රස්තවාදය’ යන්න පමණි. මේ අර්ථයෙන් පශ්චාත්නූතනවාදය යනු අප විසින් සතුටින් බාරගත යුතු යථාර්ථයක් නොවන බව පැහැදිලි වේ.

නමුත් පශ්චාත්නූතනවාදය යන්න ඓතිහාසික ප්‍රපංචයක් ලෙස ගත්විට එය සදාචාර විනිශ්චයන් යටතට දමා නිර්වචනය කිරීමට උත්සාහ කිරීම න්‍යායික අර්ථයෙන් නිවැරදි ප්‍රවේශයක් නොවේ. මෙහි තිබෙනා මූලිකම වැරැද්ද වන්නේ මෙම සදාචාරමය විවේචනය කරනා විචාරකයාගේ ආස්ථානය කුමක්ද කියා මේ මගින් අමතක කිරීමයි. අප ජීවත් වන යුගයේ සංස්කෘතියේ ආධිපත්‍යධාරී ආකෘතිය වන්නේ පශ්චාත්නූතනවාදයනම්, මෙයින් විනිර්මුක්ත වූ විචාරකයෙක් සිටිය නොහැකි වේ. එනිසා පශ්චාත්නූතනවාදය සරලව සදාචාර විනිශ්චයන්ට ලක් කිරීම වෙනුවට ජේම්සන් යෝජනා කරන්නේ තරමක් අපහසු – දයලෙක්තික – ප්‍රවේශයකි. සත්‍ය වශයෙන්ම මාක්ස් ගේද ප්‍රවේශය වූ මේ මගින් යෝජනා කරන්නේ ධනවාදය පිළිබඳව, එකම මොහොතක, සාධනීයව මෙන්ම නිශේධනීයවද බැලීමයි. ධනවාදය යනු අතිශයින් හානිදායක සමාජ ක්‍රමයක් වනවා සේම, තවත් පැත්තකින් බැලූ විට අතීත සමාජයන් වල තිබූ පෞරාණික බල සම්බන්ධතා බිඳ දමා නවීනත්වය ලෝකය වෙත ගෙන ආ, ලෝකය එකට සංවිධානය කරනා සමාජ ක්‍රමයක් විය. අභියෝගය වන්නේ මේ දෘෂ්ඨි කෝණ දෙකේ ඇති තීව්‍රතාවය මදකින් හෝ අඩු කරන්නේ නැතිව ඒවා එකට ගෙන බැලීමයි.

පශ්චාත්නූතනවාදය සම්බන්ධයෙන් ජේම්සන් යෝජනා කරන්නේද අප මේ ආකාරයේ ප්‍රවේශයක් ගත යුතු බවයි. මේ සඳහා ඔහු පහත – එකිනෙක හා බැඳුනු – ප්‍රශ්න දෙක විමසා බැලීමට යෝජනා කරයි:

  1. පොදුවේ දක්නට ලැබෙනා පශ්චාත්නූතනවාදී සංස්කෘතිය තුළ ඇති ‘ව්‍යාජයේ මොහොතවල්’ අතරින් අපට ‘සත්‍යයේ මොහොතක්’ පෙන්වා දිය හැකිද?
  2. මේ ආකාරයේ සියල්ල යට කර දමන යුගයක් පිළිබඳ ඓතිහාසික විග්‍රහයක් මගින් එයට එරෙහිව බිහිවිය හැකි විකල්ප ක්‍රියාකාරකම් සියල්ල බැහැර කරන්නේ නැතිද?

මේ සඳහා අප පළමුවෙන් විසඳාගත යුතු ප්‍රශ්නය වන්නේ සංස්කෘතිය පිළිබඳව අප මෙතෙක් බිහි කළ අර්ථකථනය, එයට පෙර මාක්ස්වාදී සම්ප්‍රදාය තුළ ඒ සම්බන්ධයෙන් තිබූ අර්ථකථන වලින් වෙනස් වන්නේ කෙසේද යන්නයි. මෙයට ඇති මූලික පිළිතුර වන්නේ තවදුරටත් සංස්කෘතිය යන්න අධෝව්‍යූහයෙන් ‘සාපේක්ෂ ස්වායත්තතාවයක්’ තිබෙනා තලයක් ලෙස තේරුම් ගත නොහැකි බවයි. වෙනත් ආකාරයකට කියන්නේනම්, සංස්කෘතිය යනු තවදුරටත් ප්‍රාග්ධනයේ තර්කණයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා සිටගත හැකි, එම තර්කණයේ බලපෑමෙන් කිසියම් ආකාරයට නිදහස් වූ අවකාශයක් නොවේ. එය මුළුමනින්, පෙර නොවූ විරූ ආකාරයකට ප්‍රාග්ධනයේ අවකාශයට ඇතුල් වී තිබේ. නමුත් මින් අදහස් වන්නේ සංස්කෘතිය යන්න මුළුමනින්ම අතුරුදහන් වීමද? ජේම්සන් පෙන්වා දෙන ආකාරයට මෙය බරපතල ලෙස වැරදි නිගමනයකි. මන්ද, මෙම නව සංස්කෘතික තර්කණය මගින් සිදු වන්නේ සංස්කෘතිය නම් අවකාශය අතුරුදහන් වීම නොව එය සමාජ සැකැස්මේ තිබූ තවත් එක් අවකාශයක සිට සියලුම අවකාශයන් වල අවසන් අර්ථකථනය ලබා දෙන පොදු සාධකය බවට පත්වීමයි. ආර්ථික වටිනාකමේ සිට රාජ්‍යය බලය දක්වා සියල්ල එක්තරා මූලික සහ තවමත් නිවැරදි ලෙස න්‍යාගත නොවූ අරුතකින් ‘සංස්කෘතික’ දේ බවට පත්ව තිබේ. මේ සියල්ල අරුත්ගැන්වෙන සහ එනිසාම අපගේ බුද්ධිමය ලෝකයේ නියෝජනය වන එකම ආකාරය බවට පත්ව තිබෙන්නේ පශ්චාත්නූතන රූප ආකෘතියේ ව්‍යාප්තියයි. තවදුරටත් ප්‍රාග්ධනයේ සර්වබලධාරී පැවැත්මට එරෙහි විය හැකි සෞන්දර්යාත්මක දුරස්ථබවක් ප්‍රාග්ධනය විසින් ලබා දෙන්නේ නැත.

නමුත් මේ මුළුමනින් බලාපොරොත්තු බිඳී ගිය මොහොත හරහා අපට පශ්චාත්නූතනවාදී ලෝකයේ ‘සත්‍යයේ මොහොත’ කුමක්ද කියා වටහා ගැනීමට අවස්තාවක් හිමි වේ. ඒ තමයි පශ්චාත්නූතනවාදේ සංස්කෘතික නිර්මිත වලින් අපට පෙන්වන්නේ අපගේ වර්තමානයේ අවකාශීය සැකසුමේ සැබෑ අරුත යන්න. එම අර්ථයෙන් අපට බැලූ බැල්මට පරස්පර විරෝධී ලෙස පෙනෙන නිගමනයක් වෙත පැමිණීමට හැකි වේ: පැරණි භාෂාවකින් කියන්නේනම්, පශ්චාත්නූතනවාදී නිර්මාණ යනු යථාර්ථවාදී නිර්මාණ වේ. මාක්ස්වාදයේ සෑම ඓතිහාසික වර්ධනයක් තුළම එම මොහොතේ ධනවාදයේ වර්ධනය තුළම අනාගත දේශපාලන පෙරළියේ මූලයන් හඳුනාගන්නා සේ, පශ්චාත්නූතනවාදී මොහොත තුළත් අපට වාර්ගික, ජාතික සීමාවන්ගෙන් වෙන් වූ ජාත්‍යන්තරවාදී අවකාශයක මූල ලක්ෂණ හඳුනාගත හැකි වේ.

තවත් සංයුක්ත ලෙස අපට මේ හරහා කලාව පිළිබඳ තිබූ තරමක් පැරණි අදහසක් වෙත නැවත යාමට අවස්ථාවක් විවර වේ. ඒ තමයි කලාව තුළ අධ්‍යාපනික ක්‍රියාකාරිත්වයක් අඩංගු වනවා කියන පැරණි භාවිතාව. විශේෂයෙන්ම යුරෝපීය නූතනවාදයේ ඉහළ භාවිතාවන් ගේ ආධිපත්‍යය යටතේ වාමාංශික කලා විචාරය විසින් පවා කලාව සහ අධ්‍යාපනය අතර තිබූ මේ ඉපැරණි භූමිකාව ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් පශ්චාත්නූතනවාදය මගින් අපට හෙළිදරව් කරමින් සිටිනා සමකාලීන ගෝලීය අවකාශීය සැකැස්ම මගින් අපට මෙම සම්බන්ධතාවය නැවත ගොඩ ගැනීමට අවස්ථාවක් හිමිව තිබේ. නමුත් මේ සඳහා අපට එවැනි ආකාරයේ කලාව සහ ඉගැන්වීම අතර වෙනත් ඓතිහාසික තත්වයන් තුළ ගොඩ නගා තිබෙනා ආකෘතී වෙත නැවතත් යාමට අවස්ථාව ලැබෙන්නේ නැත. අපගේ ඓතිහාසිකත්වයට ගැලපෙන ආකෘතියක් අප විසින් තනා ගත යුතු වේ. මේ අනුව මේ නව සෞන්දර්යාත්මක දේශපාලන භාවිතය සඳහා ජේම්සන් විසින් ඥානමය සිතියම්ගත කිරීම (cognitive mapping) යන සංකල්පය යෝජනා කරයි.

කෙවින් ලින්ච් (Kevin Lynch) නම් නගරවේදියා අතින් නිර්මාණය වන මේ සංකල්පය මගින් පළමුවෙන් පෙන්වන්නේ අප සිටිනා අවකාශය සිතියමක් සේ මනසේ මවා ගැනීමේ හැකියාවයි. අප ජීවත් වන නගරය පිළිබඳව අපගේ මනසේ තිබෙන සිතියම රූපයකට නගන්න කියා කවුරුන් හෝ පැවසුවහොත් එම රූපය සහ අපගේ නගරයේ සැබෑ සැකැස්ම අතර කොතරම් සමානකමක් තිබෙනු ඇතිද? ලින්ච් විසින් මෙම ‘ඥානමය සිතියම’ නම් සංකල්පය ගොඩ නගන්නේ ඔහුගේ අධ්‍යයනයට පදනම් වන – නිව් ජර්සි, බූස්ටන්, ලොස් ඇන්ජලීස් වැනි – නගර වල වැසියන් හට සිය නගරය මේ ආකාරයට නිවැරදිව සිතියම්ගත කර ගැනීමේ නොහැකියාව මතයි. නගරයේ අවකාශය තුළ පරාරෝපණය වූ මිනිසුන් බිහි වන්නේ මෙවැනි තත්වයකයි. තරමක් සරල ආකාරයට කියන්නේනම් මේ මගින් අදහස් කරන්නේ අහස ස්පර්ශ කරන කොන්ක්‍රීට් ගොඩනැගිලි අතර සිය පාර සොයා ගත නොහැකිව අතරමන් වූ මිනිසෙකුගේ අත්දැකීමයි. ජේම්සන් උත්සාහ කරන්නේ, නගරයේ අවකාශයට සීමා කළ මේ කෙවින් ලින්ච් ගේ සංකල්පය එම සීමාවෙන් ඔබ්බෙහි වූ ජාතික සහ ගෝලීය අවකාශය තේරුම් ගැනීමට යොදා ගැනීමයි.

ජේම්සන් පළමුවෙන් පෙන්වා සිටින්නේ කෙවින් ලින්ච් ගේ මෙම සංකල්පය සහ දෘෂ්ඨිවාදය පිළිබඳව ලුවී අල්තුෂර් ලබා දුන් ජනප්‍රිය නිර්වචනය අතර සම්බන්ධයයි. අල්තුෂර් ට අනුව දෘෂ්ඨිවාදය යනු අපගේ පැවැත්මේ සැබෑ කොන්දේසි වෙත අප දක්වන පරිකල්පනීය සම්බන්ධය නියෝජනය වෙන ආකාරයයි. ලින්ච් ගේ ඥානමය සිතියම්ගත කිරීම මගින්ද කියන්නේ කිසියම් සැබෑ අවකාශීයා සැකසුමක් අපගේ පරිකල්පනය තුළ අප විසින් නියෝජනය කරගන්නා ආකාරයයි.

නමුත් මේ සංකල්පය යොදා ගැනීමේදී අප මතක තබා ගත යුතු වැදගත් කරුණක් වෙයි. ඒ තමයි ලින්ච් ගේ ඥානමය සිතියම් යනු සත්‍ය වශයෙන්ම, ‘සිතියම් අධ්‍යනය’ කියන විෂයට අනුව ගත්විට, සිතියම් නොවීමයි. එමගින් අදහස් කරන්නේ නිශ්චිත පදනමකින් සිතියම් බිහි වීම කියන එකට පෙර අපගේ අවකාශීය පිහිටුම සටහන් කළ සාමාන්‍ය – අනුභූතික – ක්‍රමවේදයයි. නිදර්ශනයක් ලෙස අපි කාට හරි නිශ්චිත ස්ථානයක් වෙත යාම පහසු කරවීම පිණිස එම ස්ථානය වෙත යන මාවත කොලයක සටහන් කරනා ආකාරය සිතන්න. මෙවැනි ආකාරයේ රූප සටහන් යනු නිශ්චිත අර්ථයෙන් ගත්විට සිතියම් අධ්‍යනය (cartography) යන්නට පූර්ව වූ සටහන් වෙයි. අතීතයේ සිට මිනිසුන් මේ ආකාරයේ සටහන් තබා තිබෙනා බව අපි දනිමු. මෙහි තිබෙන්නේ මගියෙක් සහ ඔහු හෝ ඇය හෝ විසින් පසු කරනා ගමන් මග අතර ඇති සහසම්බන්ධයයි. වෙනත් ආකාරයකට කියන්නේනම්, මෙහි තිබෙන්නේ පුද්ගලයෙක් – මගියා – සහ කිසියම් වස්තුවක් – පසු කරන ස්ථාන – අතර තිබෙනා සම්බන්ධයකි. නමුත් මේ ආකාරයට සාධක දෙකක් අතර තිබෙනා සම්බන්ධය, නිශ්චිත අරුතින් සිතියම් අධ්‍යනය බවට පත්වන්නේ එය සාධක තුනක් අතර තිබෙනා සම්බන්ධයක් බවට සංකීර්ණ වූ විට පමණි. මෙහි සරල අර්ථය වන්නේ අප කිසියම් ස්ථානයක් සලකුණු කිරීමේදී අක්ෂාංශ මෙන්ම දේශාංශ ද සැලකිය යුතු බවයි. කිසියම් ස්ථානයක් පෘථිවියේ ස්ථානගත වී ආකාරය නිවැරදිව පිහිටුවිය හැක්කේ මේ ආකාරයෙන් පමණි. එසේ නොවන තාක් එය මගියා ගේ දෘෂ්ඨිකෝණයෙන් හැඳ තිබෙන රූප සටහනක් මිස සිතියමක් වන්නේ නැත. සිතියම් ඇඳීම සඳහා අපගේ දෛනික ජීවිතයේ ලැබෙන සංයුක්ත දත්ත, භූගෝලීය සමස්තය පිළිබඳව ඇති වියුක්ත සංකල්ප සමග එකතු කිරීමට අවශ්‍ය වේ. ඥානමය සිතියමක්, නිශ්චිත අරුතින් ගත්විට, අපට ඇඳ ගත හැක්කේ මේ ආකාරයට පමණි.

සිතියම් අධ්‍යනය පිළිබඳ මෙම අදහස අප දෘෂ්ඨිවාදය පිළිබඳ අල්තුෂරියානු න්‍යාය සමග සම්බන්ධ කළ විට අපට හමු වන්නේ අපගේ දෛනික ජීවන ලෝකය සමකාලීන ජාතික සහ ගෝලීය අවකාශයට අප පුද්ගලිකව සම්බන්ධ වන ආකාරය සහ එය, නිදර්ශනයක් ලෙස, සමකාලීන පන්ති සබඳතා තුළ පදනම් වෙන ආකාරය අප තේරුම් ගන්නා ස්වරූපයයි. තවත් සරල ලෙස, පුද්ගලයෙක් ලෙස මේ ලෝකයේ මට හිමි ස්ථානය මා තේරුම් ගන්නා ආකාරයක් තිබේ. අනෙක් අතට පන්ති සමාජයක සිටිනා මිනිසෙක් ලෙස මෙම පන්ති සබඳතා තුළ මට හිමි ස්ථානයක් තිබේ. එම දෙවැනි අදහස මට ඍජුව අත්දැකිය නොහැකි වියුක්ත සම්බන්ධයකි. ඥානමය සිතියමක් යනු මෙම වියුක්ත අදහස සහ මගේ සංයුක්ත ජීවන අත්දැකීම එකතු කළ හැකි පොදු ක්‍රමවේදයකි. අල්තුෂර් ගේ දෘෂ්ඨිවාදය පිළිබඳව සංකල්පය තරමක වෙනස් ආකාරයකින් කියවමින් ජේම්සන් පෙන්වා දෙන්නේ මෙයයි.

අල්තුෂර් ගේ සූත්‍රගත කිරීම ඇසුරින් අපට මේ සම්බන්ධයෙන් තවත් කරුණක් එකතු කිරීමට ඉඩ දේ. දෘෂ්ඨිවාදය පිළිබඳ මෙම නිර්වචනය තුළ තිබෙනා ප්‍රධාන සංකල්ප දෙක පසුපස පරිකල්පනීය දෙය (the imaginary) සහ සැබෑ දෙය (the real) අතර ලැකේනියානු විභේදනය තිබෙනා බව පැහැදිළි වේ. ජේම්සන් පැහැදිළි කරනා ආකාරයට මෙහි තිබෙනා ප්‍රශ්නය වන්නේ සැබෑ දෙය පිළිබඳව අපට දැනුම ලබා ගැනීම නොවේ. අවම වශයෙන් මෙම ලැකේනියානු සංකල්පයට ලබා දෙන ජේම්සනියානු අර්ථකථනයට අනුව අපට ‘සැබෑ දෙය’ සම්බන්ධයෙන් දැනුම ලබා ගැනීම යන්න කළ හැකි දෙයකි. මෙතනදී, සරල අරුතින් ගත්විට, සැබෑ දෙය යනුවෙන් ජේම්සන් අදහස් කරන්නේ මාක්ස්වාදී දේශපාලන-ආර්ථික විශ්ලේෂණයට අනුව අපගේ ලෝකය නියාමනය වන මූලික ගතිකයන් මොනවාද කියා පැහැදිළි කර තිබෙන ආකාරයයි. මෙවැනි ආකාරයේ දැනුමක් අපට තිබෙනා බව ප්‍රතික්ෂේප කළ හැකි නොවේ. එනිසා, මෙතන තිබෙන්නේ ‘දැනුම’ (knowledge) පිළිබඳ ප්‍රශ්නයක් නොව එම දැනුම අපගේ මානසික ලෝකය තුළ ‘නියෝජනය’ (representation) කිරීම පිළිබඳ ප්‍රශ්නයකි. වෙනත් ආකාරයකට කියන්නේනම්, එම දැනුම පරිකල්පනය කර ගැනීම පිළිබඳව ප්‍රශ්නයකි. දෘෂ්ඨිවාදය විසින් සිදු කරන්නේ කුමක්ද කියා වඩා නිශ්චිතව වටහා ගැනීමට දැන් අපට අවස්ථාවක් තිබේ. ඒ තමයි, දෘෂ්ඨිවාදය විසින් මෙන්ම ඥානමය සිතියම මගින්ද සිදු කරන්නේ, අපගේ දැනුම සහ පරිකල්පනය අතර තිබෙන මෙම පරතරය පියවීම යන්න වටහා ගැනීම. අනෙක් අතට – මේ තමයි ජේම්සන් මූලික නිගමනය – අප ජීවත් වන ලෝකයේ තිබෙනා ප්‍රධාන අර්බුධයක් වන්නේ මෙන්න මෙම භූමිකාව ඉටු කිරීමේ නොහැකියාව. අපගේ ලෝකය ක්‍රියාත්මක වන සැබෑ ආකාරය අපගේ පරිකල්පනීය ලෝකය තුළ නියෝජනය කර ගැනීමේ හැකියාව බිඳ වැටී තිබේ. පශ්චාත්නූතනවාදය යනු මෙවැනි මොහොතක සංස්කෘතිය ක්‍රියාත්මක වන මූලික ආකෘතියයි.

සමකාලීන යුගයේ දේශපාලන කලාව යනුවෙන් දෙයක් පවතීනම් එය පැවතිය හැකි කොන්දේසිය කුමක්ද යන්න මේ අනුව වටහා ගැනීම එතරම් අපහසු නොවේ. අප කළ යුතු වන්නේ මේ ආකාරයේ ඥානනය කිරීමේ සිතියමක් බිහි කිරීමට උපකාර කළ හැකි ආකාරයේ අධ්‍යාපනික මෙන්ම සෞන්දර්යාත්මක කලා භාවිතයක් වෙත යාමට උත්සාහ කිරීමයි. මේ සඳහා අපට ගවේෂණය කළ හැකි තුන්වැනි මාවතක් ලැකේනියානු න්‍යාය හරහා ලබා ගත හැකිය. බොහෝ දෙනෙකු අසා ඇති ආකාරයට ලැකේනියානු න්‍යාය තුළ තිබෙන්නේ පරිකල්පනය සහ සැබෑව අතර ඇති ද්විත්ව සම්බන්ධයක් පමණක් නොවේ. එහි සංඛේතීය දෙය (the symbolic) නම් වූ තුන්වැනි තලයක්ද තිබේ. තරමක් සරල ආකාරයකින් කියන්නේනම් අන්තර් පුද්ගල සන්නිවේදනය පදනම් වන මූලික තලය වන්නේ මෙයයි. අපගේ ලෝකය පිළිබඳ ඥානමය සිතියම් බිහි කිරීමේ හැකියාව පිළිබඳව සංවාදයක් ඇති විය යුත්තේ මේ තලය තුලයි. විකල්ප සංස්කෘතික භාවිතයක් අපට හමුවනු ඇත්තේ මෙවැනි ප්‍රයත්නයන් තුළින් පමණි.

***

Advertisements