carrie-moyer-affice-6-avenger

පසුගිය 16 වෙනි බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ දී නිර්මාල් රංජිත් දේවසිරි සහ විදර්ශන කන්නන්ගර අතර පැවති සංවාදය ලිහිල් ලෙස සකස් වී තිබුනේ ෆ්‍රෙඩ්රික් ජේම්සන් ගේ ඥානමය සිතියම්ගත කිරීම නම් අදහස වටා වුවත් එහි සත්‍ය අරමුණ වූයේ අපගේ සමකාලීන දේශපාලන අවකාශය පිළිබඳව දුරදිග යන කතාබහකට මුල පිරීමයි. එම අර්ථයෙන්නම් එය අතිශයින් සාර්ථක හමු වීමක් ලෙස නම් කළ හැකිය.

විය යුතු පරිදිම සංවාදය අවසන් වූයේ පැරණි ප්‍රශ්න විසඳීමට අවස්ථාවක් විවර කරමින් මෙන්ම නව ප්‍රශ්න රාශියක් අප ඉදිරියේ තබමිනි. සිය ආරම්භක කතාවේදී විදර්ශන විසින් ජේම්සන් ගේ අදහස 90 දශකය තුළ මෙරට සාකච්ඡාවට බඳුන් වූ ආකාරය මෙන්ම එහි තිබූ සීමාවන් පිළිබඳව පැහැදිළි කිරීමක් කරන ලදී. අපගේ සමකාලිනත්වයේ එක ප්‍රකාශනයක් ලෙස ඥානමය සිතියම්ගත කිරීමක් සිදු කිරීමේ නොහැකියාව සම්බන්ධයෙන් පොදුවේ එකඟතාවයක් එහිදී ඇති විය. මෙවැනි සන්දර්භයක් තුළ විකල්ප අනාගතයක වියහැකිබව වෙත දිශානත වූ දේශපාලනයක අවශ්‍යතාවය විදර්ශන අවධාරණය කළ අතර මෙවැනි තත්වයක් යටතේ වමේ දේශපාලනය තුළ සම්ප්‍රදායිකව තෝරා නොගන්නා, ජනප්‍රිය නොවන සාකච්ඡාවන් වලට එකතු වීමේ අවශ්‍යතාවය නිර්මාල් පෙන්වා දුන්නේය.

සමහරවිට මෙහි දී ඇති වූ වඩාත් ආන්දෝලනයට තුඩු දුන් අදහස වූයේ ‘යහ පාලනය’ නම් අදහස සඳහා රැඩිකල් යළිඅර්ථකථනයක් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් නිර්මාල් ඉදිරිපත් කළ යෝජනාවයි. දැනට තිබෙනා තත්වය තුළ මෙම අදහස මුළුමනින්ම පාහේ අර්ථකථනය වන්නේ ලිබරල් දේශපාලන සිතීමක් තුළ වුවත් මෙයින් අදහස් වන්නේ මේ සඳහා අපට වාමාංශික, විකල්ප අර්ථකථනයක් ලබා දිය නොහැකි බවද? මේ සඳහා ආදර්ශයක් ලෙස නිර්මාල් යෝජනා කළේ ‘රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ සංකල්පයයි. ලැක්ලාවූ සහ මුෆ් ගේ ඓතිහාසික සූත්‍රගත කිරීමට අනුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුව වූයේ එහි සමාරම්භක වටිනාකම් වල තිබූ අත්‍යන්ත දුර්වලබව නොව එම වටිනාකම් වල ක්‍රියාකාරිත්වය සීමා කරනා සහ යලි අර්ථකථනය කරනා බල සම්බන්ධතා පද්ධතියයි. එනිසා, ඔවුනගේ තර්කයට අනුව, අප කළ යුතු වන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අපගේ සතුරා ලෙස ගෙන විනාශ කිරීම නොව ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ප්‍රතිමානයන් වඩා පුළුල් සමාජ සම්බන්ධතා ජාලයක් ලෙස දිගු කර සිටීමයි.

නිර්මාල් මතු කළ ප්‍රශ්නය වූයේ මෙම අර්ථකථනය ඇසුරින් අපට ‘යහපාලනය’ – එසේත් නැතිනම් ඔහු වඩාත් ප්‍රිය කරන පරිවර්තනය වන ‘යහපත් ආණ්ඩුකරණය’ – නම් අදහස නැවත කියවා බැලිය නොහැකිද යන්නයි. සංවාදය අවසන් වූයේ බෙහෙවින් මතභේදාත්මක විය හැකි මෙම ප්‍රශ්නයත් සමගයි. ඒ අනුව අපගේ මීළඟ සංවාදය මෙම ප්‍රශ්නය ඇසුරින් සංවිධානය කිරීමට තීරණය කළෙමු. ඕක්කාරය ඇති වන ආකාරයේ විහිළුසහගත වචනයක් බවට පත්ව තිබෙනා ‘යහපාලනය’ නම් වූ අදහස අපට රැඩිකල්කරණය කිරීමේ හැකියාවක් තිබේද? මේ සඳහා පළමුවෙන් කළ යුතු වන්නේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලැක්ලාවූ සහ මුෆ් ගේ සම්භාව්‍ය අර්ථකථනය පිළිබඳව පැහැදිළි කිරීමක සිදු කිරීමයි. ජේම්සන් ගේ ලිපිය සඳහා මෙහි පළ වූ ආකාරයේ හැඳින්වීමක් මේ අදහස සඳහාද ලබා දීමට අපි උත්සාහ කරමු. මීළඟ දින සංවාදය ට අවශ්‍ය යහපත් පසුබිමක් ලැබෙනු ඇත්තේ ඒ අනුවයි. සංවාදයේ අදහස් දැක්වීම සඳහා අප නිර්මාල්ට සහ විදර්ශනට අමතරව තවත් මිතුරන් කීප දෙනෙකුට ආරාධනා කර තිබේ.

අපට අවශ්‍ය වන්නේ යහපත් සංවාදයක් ඇසුරෙන් බිහිවන මහජන සහභාගිත්වයක් ඇති කර ගැනීමටයි. දේශපාලන පරිවර්තන ඇති වීමට පූර්ව කොන්දේසියක් වන්නේ දේශපාලනය යන්න තරමක් බැරෑරුම් ලෙස බාර ගන්නා නව පරම්පරාවක් ඇති වීමයි. සමාජ ජාල ඇසුරින් මත පළ කිරීමේ අලස සුවපහසුබවෙන් ඔබ්බට ගොස් තමන්ගේ දෛනික ජීවිතයේ අනෙක් වැඩ කැප කරමින් මෙවැනි සංවාදයක් සඳහා දායක විය හැකි පිරිසක් නිර්මාණය කළ හැකිනම් එය මෙවැනි කාලයක යහපත් දෙයක් වනු ඇත. මේ සඳහා අවශ්‍ය වන්නේ ‘මාකටින්’ නොව සත්‍ය වශයෙන්ම බුද්ධිමය බරක් තිබෙනා සංවාදයක් ගොඩ නැගීම කියා අපි තරයේ විශ්වාස කරමු. අප උත්සාහ කළ යුතු වන්නේ බිලියන ගණන් මුදල් වියදම් කිරීමේ හැකියාව හිමි වෙළෙන්දන් සමග තරඟ කර ඔවුනට වඩා ‘ලස්සන’, ‘ආකර්ෂණීය’ ප්‍රචාරණ උපක්‍රම ඇසුරින් අලුත් පරම්පරාව ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කිරීම නොවේ. අපගේ තරඟබිම වන්නේ මෙයනම්, මෙම අරගලය අසාර්ථක වන්නක් බව පැවසීම අමුතුවෙන් කිව යුතු නොවේ. කෙනෙක් දැන් සිටින ආකාරයට, දැන් සිටින සිතීම් මාදිලියන් තුළ, දැන් සිටින විශ්වාසයන් වලට වඩාත් ආකර්ෂණීය වන ‘වෙළඳ දැන්වීම’ නිර්මාණය කළ හැක්කේ අපට නොව ඇපල් සමාගමට කියා අපි දනිමු. නමුත් ඇපල් සමාගමේ ප්‍රමුඛතාවය වන්නේ ඔවුන්ගේ ලාභය වැඩි කර ගැනීම මිස ලෝකයේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් මහන්සි වීම නොවෙයි. එනිසාම, කොතරම් මිල මුදල් තිබුනත්, ඇපල් සමාගමට ලබා දිය නොහැකි දෙයක් අප සතු වේ කියා පැවසීම බොහොම පැරණි තාලයේ රොමෑන්ටික් අදහසක් සේ පෙනී ගියත්, ඉතාම නිශ්චිත අරුතකින් ගත්විට සැබැවින්ම සත්‍යය වන්නේ එයයි.

මීළඟ සංවාදයට පෙර ‘රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය’ නම් සංකල්පය සඳහා හැකිතාක් සරල සහ හැකිතාක් සංක්ෂිප්ත පැහැදිළි කිරීමක් මෙහි පළ කරන්නේ මේ වෙනුවෙනි. ‘බව’ පෙනී සිටිනා ආචාරධර්මය වන්නේ පොදු සංවාදයක් බිහි කිරීම සඳහා කැප වීමයි. එනිසා මෙහි සංවාදයට ගැනෙනා දාර්ශනික සහ න්‍යායාත්මක අදහස් එම පොදු සංවාදය වෙනුවෙන් තිබෙනා දේ මිස අපගේ පුද්ගලික කැමැත්ත හෝ තෝරාගැනීම නොවේ. ජේම්සන් සම්බන්ධයෙන් ලිපි මාලාව පළ වූයේ විදර්ශන කළ යෝජනාවක් අනුවයි. එලෙසම ලැක්ලාවූ සහ මුෆ් සම්බන්ධයෙන් ලිපි මාලාව පළ වන්නේ නිර්මාල් කළ යෝජනාව අනුවයි. ජේම්සන් ගේ ‘පශ්චාත්නූතනවාදය’ හා සම ලෙස මෙරට විකල්ප බුද්ධිමය දේශපාලන සංවාදයට බලපෑමක් කළ තවත් ප්‍රවාදයක් වූයේ ලැක්ලාවූ සහ මුෆ් ගේ ‘රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ ප්‍රවාදයයි. මෙම ඉතිහාසය අමතක කර, වමේ දේශපාලනය ගැන බුද්ධිමය සංවාද කළ හැකිය කියා කවුරුන් හෝ විශ්වාස කරන්නේනම් එය අපවම රවටා ගැනීමක් මිස වෙන දෙයක් නොවේ.

අප උත්සාහ කරන්නේ වඩා යහපත් සංවාදයක් සඳහා අවශ්‍ය ශක්තිමත් සංකල්පීය පදනමක් දමා ගැනීමයි. වමේ දේශපාලනය ගැන බැරෑරුම් ලෙස සිතන නව පරම්පරාවක් ඇති වීමට ලෝකය ගැන මෙන්ම ජීවිතය ගැනත් සංකීර්ණ ලෙස සිතිය හැකි සංවාදයක් ඇති කර ගැනීම වැදගත් වේ. හැමදාමත් වගේ, අපගේ අර්ථකථන වල දුර්වලතා තිබේනම්, ඒවා නිවැරදි කරගැනීමට අපි මුළුමනින් විවෘත වෙමු. වැදගත් වන්නේ අපගේ සංවාදයේ සංකල්පීය පදනම හැකිතාක් ශක්තිමත් කර ගැනීමයි. කොතරම් මිල මුදල් තිබුනත් ‘ඇපල් සමාගමට’ කිසිදා ළඟා වියනොහැකි කඩ ඉම වන්නේ එයයි. බී ජීස් ලා කියා සිටි පරිදිම ඔබේ හදවත සොරා ගන්නට, අපට තිබෙන්නේ වචන පමණි.

සංවාදයේ මීළඟ පියවර පිළිබඳව විස්තර ඉදිරි දින කීපයේදී පළ කරමු.

16729055_1327157910698293_4960730512529673219_n

16729230_1327157957364955_8608894534595987889_n

16730556_1327157484031669_5336866133963017558_n

Advertisements