zhang-xioagang

මේ කෙටි සටහන ලියවෙන්නේ අක්ෂය වෙබ් අඩවියේ පළ වූ ලිපියක මාතෘකාව සහ පූර්විකාව සම්බන්ධයෙනි. ‘වාමාංශික පශ්චාත් මාක්ස්වාදය සහ දක්ෂිණාංශික පශ්චාත් මාක්ස්වාදය : ස්පාඥ්ඥ පොඩෙමෝස් පක්ෂයේ බල අරගලයේ අත්දැකීම්’ යන නමින් පළ වී ඇති මෙම ලිපියේ මූලික වැදගත්කම සම්බන්ධයෙන් කිසිවෙකු – අවම වශයෙන් විකල්ප දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටිනා කිසිවෙකු – ප්‍රශ්න නොකරනු ඇත. ස්පාඥ්ඥයේ පොඩෙමෝස් පක්ෂය යනු ග්‍රීසියේ සිරීසා හා සම ලෙස මෑත කාලීන විකල්ප දේශපාලන ව්‍යාපාරයන් ලෙස වර්ධනය වූ වඩාත් සාර්ථක සහ සංවිධිත දේශපාලන අත්දැකීමකි. සමකාලීන ලෝකය යනු එක පුළුල් දේශපාලන දැක්මකට – ‘නවලිබරල්වාදය’ – අනුව හැඩ ගැසුණු, ගෝලීය ලෙස ව්‍යූහගත වූ වෙළඳපොළක් ලෙස සැලකිය හැකිනම්, එක සමාජ අවස්ථාවක ඇති වන දේශපාලන නවීනත්වයකින් බොහෝ දේ ඉගෙන ගැනීමට වෙනත් සමාජ අවස්ථාවන් වල සිටිනා පුද්ගලයන්ට සහ ව්‍යාපාර වලට අවස්ථාව හිමි වේ. අනෙක් අතට විකල්ප දේශපාලනයේදී වෙනත් රටවල සිදු වන දේශපාලන වර්ධනයන් හරහා අනුප්‍රාණය ලැබීම සහ ස්වයං විශ්වාසය වර්ධනය කරගැනීම ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එය එසේ වන්නේ දේශපාලනයේ තිබෙනා ආත්මීය ස්වභාවය නිසා කියා කෙනෙකුට කිව හැකිය. දේශපාලනය ක්‍රියාත්මක වීමේදී ‘විශ්වාසය’, ‘පක්ෂපාතිත්වය’ වැනි ආත්මීය ප්‍රවර්ග වලට ලැබෙන්නේ වැඩි ඉඩකි. ඓතිහාසිකව ගත්විට වමේ දේශපාලනය යන්න ‘ජාත්‍යන්තරවාදයක්’ වීමේ එක පදනමක් වන්නේ මෙයයි. එනිසා ‘අක්ෂය’ විසින් පොඩෙමෝස් අරගලය පිළිබඳව සිංහල කතා කරන ලෝකයේ සාකච්ඡාවක් ඇති කිරීම ඉතාම වැදගත් බව නැවතත් අවධාරණය කළ යුතු වේ.

සත්‍ය වශයෙන්ම මෙය අපට පොදුවේ ‘අක්ෂය’ විසින් මෙරට විකල්ප දේශපාලන සංවාදයට එකතු කර තිබෙනා අලුත් මුද්‍රාව ලෙස හඳුනා ගත හැකිය. සමකාලීන ලෝකයේ සිදු වන නවීන දේශපාලන වර්ධනයන් මේ තරම් අනුරාගී ලෙස සහ සටන්කාමී ලෙස සිංහල දේශපාලන සංවාදයේ සාකච්ඡා මේසය මත තැබීමට උත්සාහ කරනා වෙනත් පිරිසක් සිතා ගැනීමට අපහසු වේ. ‘අක්ෂය’ විසින් ලෝකයේ විවිධ තැන් වල සිදු වන ජන අරගල, දේශපාලනික සංවිධානගතවීම් සහ බලාපොරොත්තුසහගත වර්ධනයන් නිරන්තරයෙන් සොයා යයි. මගහැරීමට අපහසු ලෙස ඒවා අපගේ දේශපාලන පරිකල්පනය තුළට ගෙන එයි. අපගේ දේශපාලන භාවිතයන් නැවත නැවතත් ප්‍රශ්න කිරීම සඳහා උරගලක් ලෙස එම ජාත්‍යන්තර අත්දැකීම් අප ඉදිරියේ තබයි. මේ සියල්ල ඉතා යහපත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එනිසා මේ සටහන ලියවෙන්නේ ‘අක්ෂයේ’ මෙම මහන්සිය ප්‍රතික්ෂේප කිරීමට නොව එය වඩාත් තියුණු කර ගැනීමට දායකත්වයක් ලෙසයි.

ඉහතින්ද කියා ඇති පරිදි අපගේ ප්‍රශ්නය තිබෙන්නේ පොඩෙමෝස් අත්දැකීම සාකච්ඡා කරනා ලිපිය සමග නොව එම ලිපියේ මාතෘකාව සහ එයට ලියා තබා ඇති පූර්විකාව සමගයි. මෙහිදී ඇති වන පළමු ප්‍රශ්නය අපට මේ ආකාරයෙන් මතු කළ හැකි වේ: එම ලිපියේ කොතැනකවත් එම මාතෘකාවේ දැක්වෙන යෙදුම් – ‘පශ්චාත් මාක්ස්වාදය’ – භාවිතයට ගෙන නොමැති වන විට, එම නිශ්චිත වචන එයට ඇතුලත් කළ යුතුයැයි ‘අක්ෂය’ සංස්කාරක මණ්ඩලය තීරණය කළේ ඇයි?

බැලූ බැල්මට මෙයට පිළිතුරැ තිබෙන්නේ එම ලිපිය සඳහා ලියා තබා ඇති පූර්විකාව තුළයි. විශේෂයෙන් මෙහිදී වැදගත් වන්නේ මෙම වැකියයි: “[පොඩෙමෝස්‌] පක්ෂය සුවිශේෂ වූයේ තමා න්‍යායික අනුප්‍රාණය ලබන්නේ අර්නස්ටෝ ලැක්ලාව් හා ශන්තාල් මූෆ් විසින් සංකල්පගත කළ ‘පශ්චාත්-මාක්ස්වාදය’ තුලින් බව එය විසින් කියා සිටීමයි”. සමස්ත ලිපිය පුරා ‘පශ්චාත්-මාක්ස්වාදය’ යන යෙදුම අපට හමුවන අවසාන අවස්ථාව වන්නේ මෙයයි. නමුත් එය තිබෙන්නේද මෙහිදී සිංහලට නගා ඇති, යෝගන් ගිල්මාර්ටින් විසින් ලියන ලද, ලිපියේ නොව එයට ‘අක්ෂය’ විසින් එකතු කර තිබෙනා කෙටි පූර්විකාව තුළයි. ගිල්මාර්ටින් ගේ රචනය තුළ ‘පශ්චාත්-මාක්ස්වාදය’ තබා ‘මාක්ස්වාදය’ යන වචනයවත් එකම තැනක හෝ සඳහන් වන්නේ නැත. මාක්ස්වාදයේ න්‍යායික ඉතිහාසය වෙත එමගින් දක්වන එකම සම්බන්ධය කියා පැවසිය හැක්කේ පොඩෙමෝස් පක්ෂයේ නායක ඉග්ලේසියාස් විසින් අන්තෝනියෝ ග්‍රාම්ශි උපුටා දක්වනු ලැබූ මොහොතයි. ඉග්ලේසියාස් විසින් යෝජනා කරනු ලබන දේශපාලන උපක්‍රමය පැහැදිළි කිරීමට යොදා ගන්නා මෙම විමර්ශකය අපට නිශ්චිත වශයෙන්ම පශ්චාත්-මාක්ස්වාදය හා සම්බන්ධ අදහසක් කියා අර්ථකථනය කිරීම එතරම් පහසු නොවේ. අවම වශයෙන්, එම විමර්ශකය හරහා මෙම ලිපිය සඳහා ‘අක්ෂය’ දමා තිබෙනා මාතෘකාව ඍජුවම සම්බන්ධ නොවේ.

මේ මාතෘකාව අනුව කෙනෙකුට හැඟී යන්නේ මෙම ලිපියේ සාකච්ඡා කරන්නේ ‘පශ්චාත්-මාක්ස්වාදයේ’ තිබෙනා මූලික ආස්ථාන දෙකක් සම්බන්ධයෙන් බවයි. එයට අනුව පශ්චාත්-මාක්ස්වාදය අපට ‘වාමාංශික පශ්චාත්-මාක්ස්වාදය’ සහ ‘දක්ෂිණාංශික පශ්චාත්-මාක්ස්වාදය’ ලෙස කොටස් දෙකකට වෙන් කළ හැකි වේ. සමහරවිට, අපට පැමිණිය හැකි එක් උපකල්පනයක් වන්නේ මේ යෙදුම් දෙක හරහා පොඩෙමෝස් පක්ෂයේ මත ගැටුම නියෝජනය කළ පාර්ශව දෙක නියෝජනය වන බවයි. ඒ අනුව පොඩෙමෝස් පක්ෂයේ රැඩිකල් ප්‍රවණතාවය නියෝජනය කරනා පැබ්ලෝ ඉග්ලේසියාස් අපට ‘වාමාංශික පශ්චාත්-මාක්ස්වාදය’ ලෙසත්, එම පක්ෂයේ තරමක මධ්‍යස්ත ප්‍රවණතාවය නියෝජනය කරනා ඉනීගෝ එරේජොන් අපට ‘දක්ෂිණාංශික පශ්චාත්-මාක්ස්වාදය’ ලෙසත් හඳුනා ගත හැකි වේ. නමුත් මේ අර්ථකථනය මගින් පමණක් මෙම මාතෘකාව යෙදීම සඳහා ‘අක්ෂය’ තීරණය කළ සාධක අවසන් වේ කියා අපට කිව හැකිද?

තරමක් කල්පනා කර බැලූ විට එය එසේ නොවන බව පැහැදිළි විය යුතුය. නැවතත් මතක් කළ යුත්තේ මේ නාමකරණය මෙම මුල් ලිපියේ රචකයා වන යෝගන් ගිල්මාර්ටින් ගේ එකක් නොවන බවයි. එම මුල් ලිපියේ මාතෘකාව වන්නේ ‘Podemos Decides’ (‘පොඩෙමෝස් තීරණය කරයි’) යන්නයි. එම මුල් ලිපිය තුළ පශ්චාත්-මාක්ස්වාදය ගැන මෙන්ම එම ව්‍යාපාරයේ නායකයන් ලැක්ලාවූ සහ මුෆ් වෙත දක්වන සම්බන්ධය ගැන කිසිදු ආකාරයක සඳහනක් නොමැති වේ.

අනෙක් අතට ‘දක්ෂිනාංශික පශ්චාත්-මාක්ස්වාදය’ යන යෙදුම ඉතාම ගැටලුකාරී යෙදුමක් බව පැහැදිළි වේ. මෙවැනි යෙදුමක් කෙනෙකුට අපහාසයක් ලෙස යොදා ගත හැකි බවනම් පැහැදිළිය. වමේ දේශපාලනයේ සිටි පුද්ගලයන් සහ සංවිධාන ‘දක්ෂිණාංශික අපගමනයන්ට’ ලක්වීමේ චෝදනාව බොහොම පැරණි එකක් වන බවත් – සමහර අවස්ථාවන් වලදී එය නිවැරදි චෝදනාවක් වන බවත් – අපි දනිමු. එම අර්ථයෙන් මෙම ‘දක්ෂිණාංශික පශ්චාත්-මාක්ස්වාදය’ යන යෙදුම මේ ආකාරයේ අපගමනයන් ට ලක් වූ පුද්ගලයෙක් හෝ සංවිධානයක් හෝ වෙත එල්ල කරන අපහාසාත්මක සහ/හෝ උපහාසාත්මක යෙදුමක් ලෙස අපට තේරුම් ගත හැකිය. නමුත් එයින් අදහස් වන්නේ එය සංකල්පීයව නිරවුල් යෙදුමක් වන බව නොවේ. කෙනෙක් සත්‍ය වශයෙන්ම එක්වරම ‘දක්ෂිණාංශිකයෙක්’ සහ ‘මාක්ස්වාදියෙක්’ වන්නේ කෙසේද යන්න අවම වශයෙන් පැහැදිළි කරගත යුතු අදහසක් වනබව ඕනෑම කෙනෙක් පිළිගනු ඇත.

දැන්, මෙවැනි සන්දර්භයක් තුළ ‘අක්ෂය’ සංස්කාරකයන් විසින් හදිසියේම මේ ආකාරයේ වියවුල්කාරී සහ මුල් ලිපියට ඇති සම්බන්ධය ඉතාම දුරස්ථ වන බව පෙනී යන යෙදුමක් මෙහි ශීර්ෂය වශයෙන් යොදා ගන්නේ ඇයි?

මේ සඳහා අප විසින් යෝජනා කරන්නේ මෙවැනි උපකල්පනයකි (මෙය වැරදිනම් එය ‘අක්ෂය’ විසින් නිවැරදි කරනු ඇතැයි අපි සිතමු): මෙම මාතෘකාව සම්බන්ධ වන්නේ පසුගිය සතියේ නිර්මාල් රංජිත් දේවසිරි සහ විදර්ශන කන්නන්ගර අතර ඇති වූ විවාදයට සහ එහි මීළඟ පියවර සඳහා පෙර සූදානමක් ලෙස ‘බව’ හී ලැක්ලාවූ ගේ සහ මුෆ් ගේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අදහස පැහැදිළි කිරීමට යන බව කියා කළ නිවේදනයටයි. විශේෂයෙන් ලැක්ලාවූ සහ මුෆ් ගේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය යන අදහස ඇසුරින් ‘යහපාලනය’ නැවත කියවිය හැකිය කියා නිර්මාල් කළ යෝජනාවට කලින්ම ලේබල් එකක් ඇලවීම මේ මගින් කර තිබෙන බව අපි යෝජනා කරමු. ඒ අනුව ‘අක්ෂය’ විසින් අපට ඉඟි කරන්නේ නිර්මාල් ගේ එම යෝජනාව ‘දක්ෂිණාංශික පශ්චාත්-මාක්ස්වාදය’ හා සම්බන්ධ යෝජනාවක් වන බවයි.

අපගේ අදහස සරල ලෙස වටහා ගත හැකි ලෙස නැවතත් සාරාංශ කරමු. ‘අක්ෂය’ ලිපියේ මාතෘකාව සහ එහි අන්තර්ගතය අතර තිබෙන්නේ පරතරයකි. අනෙක් අතට එම මාතෘකාවේ තිබෙනා එක යෙදුමක් – ‘දක්ෂිණාංශික පශ්චාත්-මාක්ස්වාදය’ – සංකල්පීයව බොහෝ ව්‍යාකූල වන යෙදුමකි. මේ නිසා මේ මාතෘකාව මගින් සම්බන්ධ වන්නට උත්සාහ කරන්නේ එම ලිපියේ අන්තර්ගතයට සීමා නොවුණු වෙනත් දෙයක් සමග බව පැහැදිළි වේ. එම දෙය ලෙස අපට උපකල්පනය කළ හැක්කේ ලැක්ලාවූ ගේ සහ මූෆ් ගේ අදහසක් සම්බන්ධයෙන් නිර්මාල් කළ යෝජනාවක් සහ ඒ ඇසුරින් සංවාදයක් ඇති කරගැනීමට ‘බව’ ගන්නා උත්සාහයකි. මේ සම්බන්ධයෙන් මේ ආකාරයේ ප්‍රශ්න කිරීමක අවශ්‍යතාවයක් පැන නගින්නේ මෙතැනිනි.

අපට අසන්නට තිබෙනා පළමු සහ සරල ප්‍රශ්නය වන්නේ මේ ආකාරයට පී.ජී.අයි.ආර් එකේ නිර්මාල් සහ විදර්ශන අතර සංවාදයේ සන්දර්භය තුළ මතු වූ අදහසක් වෙත වක්‍ර ලෙස ප්‍රතිචාර දක්වන්නේ ඇයිද යන්නයි. විශේෂයෙන්ම තවමත් හරිහැටි සංවාදයට බඳුන් කර නොමැති, උපන්‍යාසයක් ලෙස තිබෙනා අදහසක් සඳහා මේ ආකාරයේ ලේබල් ඇලවීමක් සිදු කිරීමෙන් අපේක්ෂා කරන්නේ එම අදහස සංවාදයට ගැනීමට පෙරම ප්‍රතික්ෂේප කිරීමද?

මෙවැනි ආකාරයේ ලේබල් ඇලවීමක් කරන්නේ ‘අක්ෂය’ සාමාජිකයන් හෝ මෙම ලිපිය පරිවර්තනය කර තිබෙන අප මිත්‍ර රමිඳු පෙරේරා ‘පශ්චාත්-මාක්ස්වාදය’ සම්බන්ධයෙන් අවශ්‍ය තරම් හැදෑරීමක් කිරීමෙන් පසුවද? මේ ප්‍රශ්නය වැදගත් වන්නේ රමිඳු විසින් දේශපාලන සංවාද වල තිබිය යුතු ශාස්ත්‍රීය විනය සම්බන්ධයෙන් බැරෑරුම් පෙනී සිටීම් කර තිබෙන නිසාය. අපට මතක ලෙස අජිත් පැරකුම් ජයසිංහ ට එරෙහිව රමිඳු වරක් එල්ල කළ චෝදනාවක් වූයේ අජිත් ‘කිසිදු පදනමක් නොමැතිව අශාස්ත්‍රීය ලෙස සිතට එන සිතුවිලි’ ලියනා බවයි. ඒ අනුව අපට ආ හැකි නිගමනය වන්නේ රමිඳු මේ ආකාරයේ ‘සිතට එන සිතුවිලි’ ලියන්නේ නොමැතිව ‘ශාස්ත්‍රීය ලෙස’ දේවල් ලියනා කෙනෙක් වන බවයි. ඒ අනුව පශ්චාත්-මාක්ස්වාදය සම්බන්ධයෙන් රමිඳු – හෝ වෙනත් ‘අක්ෂය’ සංස්කාරකවරයෙක් හෝ – මේ ලියා ඇති අදහස අප තේරුම් ගත යුත්තේ පශ්චාත්-මාක්ස්වාදය ට අදාළ මුල් කෘති අධ්‍යනය කිරීමෙන් පසුව ලියා තැබූ අදහසක් ලෙසයි. ඒ අනුව, මෙම ‘දක්ෂිණාංශික පශ්චාත්-මාක්ස්වාදය’ පිළිබඳ අදහස රමිඳු වර්ධනය කළ ආකාරය අපට පෙන්වා දිය හැකිද?

නැවත නැවතත් අවධාරණය කළ යුතු කරුණ වන්නේ මෙයයි. අප මේ උත්සාහ කරන්නේ කෙනෙක් ගේ දැනුම හෝ නොදැනුම හෝ පෙන්වා ‘තග දැමීමට’ නොවේ. දේශපාලනය කිරීම සඳහා පශ්චාත්-මාක්ස්වාදයේ මුල් කෘති අනිවාර්යයෙන් කියවිය යුතුය කියා අප සිතන්නේ නැත. අපගේ ප්‍රශ්නය වන්නේ වෙනත් තැනකදී අප සම්බන්ධ වී සිටිනා වැඩක් පිළිබඳව ‘අක්ෂය’ විසින් කර තිබෙනා අදහස් දැක්වීමක් සහ ඒ මගින් එම සංවාදයේ ස්වභාවික දිග හැරීමට ඇති විය හැකි බාධාවයි. අපට අවශ්‍ය වන්නේ වමේ සංවාදයේ සිටිනා වැදගත් පිරිස් එකම වේදිකාවක් වෙත ගෙන එන සංවාද අවකාශයක් ගොඩ නැගීමයි. විශේෂයෙන්ම මෙවැනි කරුණු පිළිබඳව උනන්දුවක් දක්වන්නා වූ පිරිස සඳහා එකතු විය හැකි පොදු අවකාශයක්, ක්‍රියාකාරම් මාලාවක්, විකල්ප කාලයක් ගොඩ නැගීමටයි. මෙන්න මෙම නිශ්චිත කර්තව්‍යය සඳහා අපට මෙම සංවාදයේ තිබෙනා ගුණාත්මක බව පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙයි. මෑත කාලීන දේශපාලන සිතීම් වලට අදාළ වැදගත් ලියවිලි සමග සම්බන්ධ වූ සංවාදයක් ගොඩ නැගීමට අප උත්සාහ කරන්නේ එම නිසාය. මෙහි මුල් පියවර ලෙස ෆ්‍රෙඩ්රික් ජේම්සන් ගේ ලියවිල්ලක් ඇසුරින් ලිපි මාලාවක් මෙහි පළ විය. ලැක්ලාවූ සහ මූෆ් සම්බන්ධ ලිපි මාලාවක් පළ කිරීමට අවශ්‍ය වන්නේ එහි මීළඟ පියවර වෙනුවෙනි. මේ එකක්වත් අප කරන්නේ ‘අපේ මතය’ කියා සිටීම වෙනුවෙන් නොවේ. ‘බව’ උත්සාහ කරන්නේ කිසියම් මතයක් සමාජගත කිරීමට නොව කාල-අවකාශීය සැකැස්මේ වෙනසක් ඇති කිරීමටයි – සමාජ ජාල වල තිබෙනා සංවාදය එයින් පරිබාහිර කාල-අවකාශයක පිහිටුවීමට උත්සාහ කිරීමටයි. අපේ පැත්තෙන් බොහෝ පරිශ්‍රමයක් දරා, බොහෝ දේ කැප කර, මේ සඳහා න්‍යායික පසුබිමක් සකස් කරන්නේ මෙවැන්නක් සඳහා ඇති විය යුතු වටිනාකම එයට ලබා දීමටයි. කථිකයන් කීප දෙනෙක් හට ආරාධනා කර අදහස් හුවමාරු කරගන්නවා වෙනුවට එම සංවාදයට සමගාමීව යන අකණ්ඩ න්‍යායික පසුබිමක් ඇති කරන්නේ මෙම වෙනස සහ වටිනාකම වෙනුවෙනි. මෙවැනි වැඩකට කෙනෙක් අකණ්ඩව සහභාගී වනු ඇත්තේ එය සමග මේ ආකාරයට එකතු වන අලුත් ‘දැනුමක්’ පිළිබඳව විශ්වාසයක් ඇති වන්නේනම් පමණි. ‘බව’ උත්සාහ කරන්නේ මෙන්න මෙම අතරමැදි කාර්යය කිරීමටයි. ලැක්ලාවූ සහ මූෆ් සම්බන්ධයෙන් ලිපි මාලාවක් මෙහි පළ කිරීමට සූදානම්ව සිටින විට, ‘අක්ෂය’ කළ මැදිහත්වීමට මේ ආකාරයට ප්‍රතිචාර දක්වන්නට සිදු වන්නේ එනිසාය.

මෙවැනි අවකාශයක් ගොඩ නැගීම මෙරට වමේ සංවාදයේ සිටිනා බොහෝ දෙනෙකුට ප්‍රයෝජනයක් ඇති වේ කියා අපි සිතමු. බුද්ධිමය අදහස් දැක්වීමක් සමග සම්බන්ධ විය හැකි පරම්පරාවක් උත්පාද වනු ඇත්තේ මෙවැනි ආකාරයන් වලටයි. පොඩෙමෝස් පිළිබඳව ලියූ පමණින් එය කියවා බලා මෙරට සිටිනා ක්‍රියාකාරීන් එවැනි අත්හදා බැලීම් සිදු කරන්නේ නැති බව ‘අක්ෂය’ පිළිගන්නවා කියා අපි සිතමු. ඒ සඳහා එවැනි ක්‍රියාකාරීන් පිරිසක් නිර්මාණය කිරීමද අවශ්‍ය වෙයි. එවැනි දෙයක් ඇති කරගත හැක්කේ මේ ආකාරයේ දේ සම්බන්ධයෙන් උනන්දුවක් තිබෙන නව පරම්පරාවක් ඇති වන්නේනම් පමණි. මෙවැනි දෙයක් සිදු කිරීම – අපගේ නිහතමානී අදහසට අනුව – හුදු දේශපාලන ප්‍රවෘති විශ්ලේෂණ පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොව අලුත් පිරිසක් මෙයට එකතු කරගත හැකි මෙහෙයුම් මාලාවක් සංවිධානය කිරීම පිළිබඳ ද ප්‍රශ්නයකි. ‘බව’ යනු මේ සඳහා තිබෙන එක්, කුඩා උත්සාහයකි.

Advertisements