Dem-3 Photo. Helene Jeanbrau © 1996 cine-tamaris.tif

මෙම ලිපිය සඳහා හේතු වූයේ පසුගිය 11 වන දින කොළඹ කලාව සඳහා ක්‍රියාකාරී ලීගය (ALFA) ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වූ සිනමා සංවාදය වෙනුවෙන් මා සිදු කළ කෙටි දෙසුමකි. විශේෂයෙන්ම කොළඹ නාගරික කලා සංවාදය දිනෙන් දින පිරිහී යන මොහොතක එය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඔවුන් ගන්නා උත්සහයට මගේ සතුට.

***

Two Days, One Night නම් චිත්‍රපටය අප රටට අද දවසේ විශාල ලෙසට වැදගත්කමක් එක් කරන්නේ මෙම චිත්‍රපටය අප වෙත මතුකරන මූලික ප්‍රශ්නය දැනටමත් අප අත්විඳිමින් සිටින නිසාය. මෙහි සන්දර්භය වන්නේ මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ දිග් ගැස්සී තිබෙනා Manpower සේවකයන්ගේ කම්කරු අරගලයයි. නමුත් මම මුඛ්‍ය ලෙසට අදහස් පළ කරන්නේ මෙම අරගලය සම්බන්ධයෙන් නොවෙයි. මගේ මූලික ප්‍රශ්නය වන්නේ මේ අරගලය සහ සාමාන්‍ය සමාජයේ, විශේෂයෙන් ලංකාවේ සිනමාව ගැන සංවේදී තරුණ පිරිස සහ මෙම අරගලය අතර විශාල පරතරයක් තිබීමයි. මගේ ප්‍රවේශය වන්නේ අපි කොහොමද මෙම අරගලය පියවන්නේ කියන දේ ගැන අදහස් කිහිපයක් ඔබ හමුවේ තැබීමයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වන්නේ කම්කරු අරගලයක්. අපිට ඒ ඔස්සේ කල්පනා කරන්න පුළුවන් සංකල්පයක් මම ඉදිරිපත් කරන්නම්, ඒ තමයි පිකේරියස් ලේබර් precarious labor කියන සංකල්පය. මේකට අපිට සිංහලෙන් කියන්න පුළුවන් අවධානම්කාරී ශ්‍රමය කියා. එහි සරලම තේරුම වන්නේ රැකියා සුරක්ෂිතතාවයක් නොමැතිවීම. අපි දැනටමත් දන්නවා අපි රජයේ රැකියාවක් කළොත් අපිට සුරක්ෂිතතාවයක් තිබෙනවා. ඒ වගේම අපි විශ්‍රාම ගියාම අපිට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. නමුත් සමකාලීන ධනවාදයේ දී අපිට හමුවෙනවා වෙනත් මානයක්, මෙම ශ්‍රමිකයා පිළිබඳව. ඒ තමයි අවධානම්කාරී ශ්‍රමිකයාගේ ප්‍රශ්නය. මේ අවධානම්කාරී ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ධනවාදයේ ආරම්භයේ ඉදලම පැවත තිබෙනවා. නමුත් සමකාලීන ධනවාදයේ වර්ධනයන් එක්ක විශේෂයෙන්ම අන්තෝනියෝ නෙග්‍රී, මයිකල් හාර්ට් වගේ චින්තකයන් පෙන්වා දී තිබෙනවා මෙම අභෞතික ශ්‍රමය ගැන. අපි ගහක් කපනකොට අපගේ භෞතික ශ්‍රමය වැයවෙනවා. නමුත් අපි අන්තර්ජාලය, විවිධ වෙබ් අඩවි හරහා වැනි රැකියා කරනකොට අපගේ අභෞතික ශ්‍රමයක් (immaterial labor) තමයි වැයවෙන්නේ.

මෙම නිසා මෙම ලක්ෂණයේ කේන්ද්‍රීය ප්‍රථිපලයක් වශයෙන් මෙය මූලික වන විට අවධානම්කාරී ශ්‍රමය ( precarious labor) කියන එක ශ්‍රම බලකායේ සාතීශය බහුතරයකගේ දෛවය බවට පත් වෙනවා. ඒක තමයි සමකාලීන ධනවාදයේ ව්‍යුහාත්මක ලක්ෂණය. ධනවාදයට අවශ්‍යය නැහැ  එහි වැඩට එන මනුෂ්‍යයන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය මුදල් සැපයීම ගැන වගකීමක් ගන්න. ඒ වෙනුවට අවශ්‍යය වන්නේතාවකාලිකව වැඩට කවුරුහරි ගැනීමට. ඊට පස්සෙ වෙන දේ ගැන ධනවාදයට තක්සේරුවක් නැහැ. දැන් මේ Two Days, One Night කියන චිත්‍රපටයෙන් කියවෙන්නේ එහෙම අදහසක්.

මම මෙතනදී වඩාත් අවධානය යොමු කරන්නේ ධනවාදය පිළිබඳව ව්‍යුහාත්මක විශ්ලේෂණයක් කිරීමට නොවේ. මගේ උනන්දුව තිබෙන්නේ, කොහොමද මේ ශ්‍රමිකයා කියන භූමිකාව මේ ධනේශ්වර සමාජයක් තුළ නොපෙනී යන්නේ කියන අදහස ගෙන එන්න. මට කතා කරන්න අවශ්‍යය වන්නේ එයයි. සහ ඒ ඔස්සේ මේ සිනමාව කියන මාධ්‍ය අපි තේරුම් ගන්නේ කොහොමද කියන එක ගැන අපිට කතා කරන්න පුළුවන්.

ඒ පිළිබඳව අපට ගන්න පුළුවන් එක ප්‍රවේශයක් තමයි මාර්ටින් හෛඩෙගර්ගේ දර්ශනය. හෛඩෙගර්ගේ දර්ශනය තුළ පෙන්වන්නේ මෙන්න මේ අදහස. අපි ජීවිතයේ විශාල දේවල් ප්‍රමාණයක් සමඟ සම්බන්ධ වෙනවා. වැඩ කරනවා. ඒත් බොහෝ දේවල් සමඟ අපි සවිඥානිකව සැලකිලිමත් නැහැ. මෙතනදී ඔහු ‘මාක්ස්’ ගේ ශ්‍රමිකයා පිළිබඳව සාකච්ඡා නොකළත් මේකට දෙන්න පුළුවන් හොද උදාහරණයක් තමයි, මාක්ස්ගේ ශ්‍රමිකයා ! අපිට මේක උදාහරණයකින් තවත් සරල කරගන්න පුළුවන්. අපි කඩේකට ගිහින් සබන් කැටයක් ගන්නවා කියල හිතමු. රාක්කයේ තිබෙන සබන් කැටයක් ගන්නවා. මේ සබන් කැටය කොහේ හරි හදල තිබෙනවා. ඒක කවුරුහරි මෙතනට ගෙනල්ල තියනවා. මෙම රාක්ක වලට ඒවා සකස් කර තිබෙනවා. අවසානයේ කඩේ ඉන්නා සේවකයෙක් එය අපට සකස් කොට ලබා දෙනවා. දැන් අපිට පේනවා, හැම තිස්සෙම හැමතැනම කම්කරුවෙක් ඉන්නවා. නමුත් හිතන්න, අපි සුපිරි වෙළඳ සැලට ඇතුළු වෙනවා.මෙහෙම ඇතුළු වන විට අපට කම්කරුවාගේ පැවැත්ම සවිඥානිකව සාධකයක් වෙන් නැහැ. ඔවුන් මෙහිදී නො ඉන්නා බව නොවේ. ඔවුන් මෙහි ඉන්නවා. ඉන්නා බව අපිත් දන්නවා. නමුත් ඔවුන්ගේ හිඳීම අපි අපගේ පැවැත්මට සාධකයක් ලෙස ගන්නේ නැහැ. මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් අපි ලෝකය තුළ ගනුදෙනු කරන ආකාරය.

දැන් මම මෙතන කතා කරද්දී මගේ මයික්‍රපෝනය ගැන මම සැලකිලිමත් වුණේ නැහැ. ඒවගේම ඔබ වාඩි වී සිටින පුටු ඔබේ කාමරයේ පැවැත්මට ඉතා තීරණාත්මකයි. හැබැයි ඔබ ඒ පුටු ගැන හිතන් නැහැ. නමුත් ඒ පුටු තිබෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ධනේශ්වර සමාජයක කම්කරුවන් පවතින්නේ, කම්කරුවන් ඉන්නවා. කම්කරුවන් තමයි හැමදේම කරන්නේ. නමුත් ඒ අය අපගේ ජීවිතයට සම්බන්ධ වන්නේ නැහැ. අපි ඒ පිළිබඳව හිතන්නේ නැහැ. එතකොට සිනමාව කියන මාධ්‍යය භාවිතා කරන්න පුළුවන් එක විදිහක් තමයි මෙන්න මේ පරතරය පුරවන එක. වෙනත් වචන වලින් කියනවා නම්, අපගේ සාමාන්‍ය ජීවිතයේදී අපගේ දෑස් ඉදිරිපිටට අපි සාමාන්‍යයෙන් නොදකින දෙයක් අපගේ ප්‍රශ්නයක් බවට පෙරළීම. හෛඩෙගර් මේ සම්බන්ධයට කියන්නේ භාවිතයට ගත හැකි පැවැත්ම සහ ඉදිරිපිට පැවැත්ම කියලා. අපි භාවිතාත්මක සම්බන්ධයක ඉන්න එකක් අපි ඉදිරියට, ඉදිරිපිට පැවැත්මක් (present-at-hand) ලෙසට සිනමාව විසින් පත් කරනවා. මේ දෙය කරන්නේ සිනමාව විසින්. අපිට මේ කම්කරුවාගේ ප්‍රශ්නය, භූමිකාව භාවිතාත්මක සම්බන්ධයක (ready-to-hand) සිට අප ඉදිරියේ තිබෙනා තිරයක් මතට ප්‍රක්ශේපනය වූ වස්තුවක් බවට පත් කරල පෙන්වනවා, ඉදිරිපිට වස්තුවක් ලෙසට.

ඒක මඟින් අපිට සිනමාව ගැන අර්ථකථනයක් දෙන්න පුළුවන්. ඒ තමයි සිනමාව, අපිට නොපෙනෙන ශ්‍රමිකයාගේ භූමිකාව සහ අපට පෙනෙන තාරුණ්‍යය අතර යම්කිසි ආකාරයේ පාලමක් දැමීමේ ඉඩක් ලෙස අපට වටහාගත හැකියි. මේ චිත්‍රපටය ගැන කතා කරන්න පුළුවන් එක ආකාරයක් තමයි ඒක. මෙම චිත්‍රපටයේ කතා නායිකාව වන සැන්ඩ්‍රාට ඇයගේ රැකියාව ලබා ගැනීම සඳහා ජන්ද විමසීමකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ සඳහා ඇයට තම සහෝදර සේවකයන් කිහිප දෙනෙකුගේ ජන්දය අවශ්‍යය වෙනවා. මෙහිදී ඔවුනට ඇයගේ රැකියාව හෝ බෝනස් මුදල යන ද්විත්වයෙන් එකක් පමණක් හිමි වෙනවා. එම තත්ත්වය යටතේ ඔවුන් සංවිධානය වීමේ උත්සහය චිත්‍රපටයට පදනම් වෙනවා. සැන්ඩ්‍රාගේ ප්‍රශ්නය ඉදිරිපිටට ආ ප්‍රශ්නයක් බවට පත් වන්නේ ඇයව සේවයෙන් නෙරපන නිසාය. නමුත් අන් සේවකයන් පෙර පරිදි සේවය කරයි. නමුත් මෙහිදී කම්කරුවා යන්න අපට සිහි නොවේ. අපට පෙනෙන්නේ ඔවුන් නිපදවන භාණ්ඩ පමණි. එම නිසා අද දවසේ මෙම කම්කරුවාගේ සහ අපගේ පවතින පරතරය පියවීම යුගයේ අවශ්‍යතාවයකි. කම්කරුවාටද තමා කම්කරුවකු බවට මතක් වන්නේ ඔහුගේ/ඇයගේ සේවයට බාධා පැමිණි විටයි. එම නිසා ප්‍රධාන වශයෙන් මෙම චිත්‍රපටයේ ඒ වෙනුවෙන් සංවිධානගත වන්නේ කෙසේද යන්න සාකච්ඡා වේ.  ඒ අනුව ‘සකල දේශවාසී නිර්ධනයිනි එක්වව්’ කියන පැරණි සටන් පාඨය සමග අපට අද ඉදිරිපත් වෙන අභියෝග මොනවාද කියන එක මේ චිත්‍රපටිය හරහා අපිට පෙන්නනවා. චිත්‍රපටි බලන්න උනන්දු වෙන ලංකාවේ තාරුණ්‍ය ‘මෑන්පවර්’ අරගලය ගැන අඩුවෙන් දැන ගැනීම කියන දේශපාලන ප්‍රශ්නය අප ඉදිරියේ තබනවා. සිනමාව සහ දේශපාලනය මුහු වීමේ සංකීර්ණ මොහොතක් අපිට හමුවෙන්නේ මෙන්න මෙතනදී.

-එරන්ද මහගමගේ-

eranda-alfa1

eranda-alfa5

eranda6

Advertisements