nicola-staeglich-hoodo

පහතින් පළ වන්නේ අර්නස්ටෝ ලැක්ලාවූ සහ ශොන්තෝල් මූෆ් විසින් ලියන ලද Hegemony and Socialist Strategy කෘතියේ අවසන් පරිච්චේදය සඳහා සරල සිංහල හැඳින්වීමක පළමු කොටසයි. මෙය පළ කිරීමට මූලික හේතුව වන්නේ පසුගිය 16 වෙනිදා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේදී පැවති සංවාදයකදී ඇති වූ අදහසකි (සංවාදය පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතැනින්). ඒ තමයි ලැක්ලාවූ සහ මූෆ් විසින් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ නම් අදහස රැඩිකල්කරණය කළ සේම අපට ‘යහපාලනය’ පිළිබඳ අදහස රැඩිකල්කරණය කිරීමට නොහැකි වේද කියා, එම සංවාදයට සහභාගී වූ, නිර්මාල් රංජිත් දේවසිරි මතු කළ අදහස. මේ සතියේ බ්‍රහස්පතින්දා – මාර්තු 2 දා – සංවාදය සඳහා මුඛ්‍ය ගැටලුව ලෙස නිර්මාල් ගේ මෙම, ආන්දෝලනාත්මක, යෝජනාව පදනම් කර ගැනීමට එහිදී තීරණය විය. නමුත් මෙය ගුණාත්මකව ඉහළ මට්ටමේ සංවාදයක් වනු ඇත්තේ ලැක්ලාවූ සහ මූෆ් ගේ ‘රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ අදහස ගැන මූලික අවබෝධයක් තිබෙනා පසුබිමක් තුළ සංවාදය සිදු වන්නේනම් පමණි. Hegemony and Socialist Strategy කෘතියේ අවසන් පරිච්චේදය වන Hegemony and Radical Democracy නම් රචනයට මේ ආකාරයට හැඳින්වීමක් ලියා තැබීමේ හේතුව මෙයයි. සාමාන්‍යයෙන් ‘බව’ හී පළ වන මෙවැනි ලියවිලි වල සීමාව මෙහි ද තිබෙනා බව විශේෂයෙන් සඳහන් නොකළ යුතුයැයි සිතමු. ඒ අනුව බ්ලොග් අවකාශයේ ව්‍යූහාත්මක සීමා මෙන්ම අපගේ අර්ථකථන සීමා වලටද මෙය යටත් වෙයි. එමගින් සිදු වන හානියක් තිබෙන්නේනම් එය නිවැරදි කර ගැනීමට, සෑම විටම වාගේ, ‘බව’ සූදානමින් සිටියි. ඔබගේ දායකත්වය මෙයට ලබා දෙන්න.

මෙවර බ්‍රහස්පතින්දා සංවාදයට සහභාගී වන්නේ නිර්මාල් රංජිත් දේවසිරි, විදර්ශන කන්නන්ගර සහ බූපති නලින් වික්‍රමගේ යන අපගේ මිතුරන්ය. අපට අවශ්‍ය වන්නේ ගුණාත්මක අතින් ඉහළ සංවාදයක් ඇති කිරීම මගින් වැඩි දෙනෙකුට සහභාගී වීමට උනන්දුවක් ඇති වන පොදු වැඩක් නිර්මාණය කිරීමටයි. තරමක් තාක්ෂණික භාෂාවක් ඇසුරින් කියන්නේනම් අපට අවශ්‍ය වන්නේ ‘විකල්ප කාලයක්’ නිර්මාණය කිරීමටයි – සති දෙකකට වරක්, බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ සක්‍රීය දේශපාලන සාකච්ඡාවක් සඳහා එකතු වීම ඔබගේ ජීවිතයේ වැදගත් කර්තව්‍යයක් කරගත හැකිනම්, මෙම ව්‍යායාමය සාර්ථක වනු ඇත. අලුත් පරම්පරාවක් වෙත විකල්ප සමාජ සිතීමක් ඇති කරගැනීමේ යෂ්ඨිය හුවමාරු වීම සඳහා මෙවැනි කාල-අවකාශ සැකසුම් ගොඩ නැගිය යුතුය කියා අපි සිතමු. අපගේ මේ මොහොතේ අධ්‍යනයන් වලට තරමක් දුරින් තිබෙනා මෙම රචනය සඳහා මෙවැනි හැඳින්වීමක් ලිවීමට කාලය සහ ශ්‍රමය වෙන් කළේ එම අරමුණ සඳහා දායකත්වයක් දීමයි. අපට අවශ්‍ය වන්නේ හුදු ‘ආරාධිත කථිකයන්’ පිරිසක් ගෙන්වා කතා පවත්වන වර්ගයේ රැස්වීම් නොව තරමක් නිශ්චිත සංකල්පීය ප්‍රවේශයක් ඇසුරින් ‘බරක් තිබෙනා’ කතා බහක් ඇති කර ගැනීමයි. අතිශයින් පාදඩකරණය ට ලක්වී ඇති ‘සිංහල විකල්ප සංවාදය’ යළි ගොඩ ගැනීම සඳහා මෙවැනි පරිත්‍යාගයන් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ. එනිසා මෙම රචනය තුළ තිබෙන්නේ ‘බව’ හී ‘නිල මතය’ නොව පොදු කාල-අවකාශයක් නිර්මාණය කිරීම සඳහා අප කරනා කුඩා එකතු කිරීමකි. මෙය ‘බව වැඩක්’ ලෙස නොව ‘අපේ වැඩක්’ ලෙස සලකා බලන මෙන් වමේ සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

සංවාදය පිළිබඳ අදාළ ප්‍රායෝගික තොරතුරු ඉදිරි දින කීපය තුළ මෙහි පළ වනු ඇත.

***

ලැක්ලාවූ සහ මූෆ් විසින් මෙම පරිච්චේදය ආරම්භ කරනු ලබන්නේ රෝසන්බර්ග් නම් ජර්මන් ජාතික මාක්ස්වාදී ඉතිහාසවේදියා ගේ නිරීක්ෂණයක් සමගිනි.

දහනමවන සියවසේ අවසන් කාර්තුවේ ඇති වූ දේශපාලන සංවිධානගතවීම් සාමාන්‍යයෙන් අර්ථකථනය කරන්නේ නව දේශපාලනික තාර්කිකත්වයක පරිසමාප්තියක් ලෙසයි. ප්‍රංශ විප්ලවයේ සිට ආරම්භ වූ ජනප්‍රිය, මහජන අරගල වල තිබූ දුර්වලතාවයක් වූයේ ඒවා නිශ්චිත දේශපාලන-ආර්ථික පදනම් මත සිටගැනීමට අසමත් වූ අසංවිධිත ලෙස එක්වූ ජනරාශී වීමනම්, මෙම නව සංවිධානගතවීම් – දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති – මගින් මෙම දුර්වලතාවය මග හැරගත් කල්පවත්නා අරගල සංවිධානය කිරීමට සමත් විය. එනිසා මෙම නව දේශපාලන සංවිධාන මගින් පවත්නා බලාධිකාරයන් හට වඩා දැඩි අභියෝගයක් එල්ල වූ අතර එමගින් ආධිපත්‍යධාරී පන්තියේ බලය පරාජය කිරීමේ හැකියාව වඩා වැඩි විය.

නමුත් රෝසන්බර්ග් ට අනුව මේ ඉතිහාසය මගින් සත්‍ය වශයෙන්ම අපට ලබා දුන්නේ වෙනත් ප්‍රතිඵලයකි. ඒ තමයි පවත්නා සමාජ ක්‍රමයට එරෙහිව පීඩිත ජනයා එක කුලකයක් ලෙස සංවිධානය කිරීමේ අපහසුව. සත්‍ය වශයෙන්ම ප්‍රංශ විප්ලවයට අඩ සියවසකට පමණ පසුව තවදුරටත් ‘මහජනයා’ ලෙස නම් කළ හැකි පොදු විකල්ප අවකාශයක් නිර්මාණය කිරීම බොහෝ අපහසු වී තිබේ. තවදුරටත් සමාජය යනු බලය හිමි එක පන්තියක් සහ එම පන්තිය මගින් පීඩනය ට පත් වූ පොදු විකල්ප අවකාශයක් ලෙස බෙදා ගැනීම දෙන ලද තත්වයක් ලෙස හඳුනා ගැනීම කළ නොහැකි විය. සමාජ අවකාශය ඉක්මනින් වෙනස්වන සුළු වූ අතර එහි ස්ථාවර සමාජ අනන්‍යතාවයන් – ‘පීඩක’ සහ ‘පීඩිත’ – හඳුනා ගැනීම එතරම් පහසු නොවීය.

ලැක්ලාවූ සහ මූෆ් ට අනුව මෙය නම් කළ හැකි ඉතාම සංක්ෂිප්ත ආකාරය වන්නේ දේශපාලනයේ මූලික සංවිධානගතවීමේ කොන්දේසිය බවට හෙජමොනික ආකෘතිය පත්වීම යන්නයි.

අපි ඉතාම සරල ආකාරයට මෙම හෙජමොනික ආකෘතිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියා පැහැදිළි කර ගනිමු (මෙම ලිපි මාලාවේ වර්ධනයත් සමග අපට මෙම පැහැදිළි කරගැනීම සංකීර්ණ කිරීමට හැකි වනු ඇත). ඕනෑම දෙන ලද මොහොතක විවිධ පීඩනයට පත්ව ඇති සමාජ කණ්ඩායම් මගින් සිය පීඩනය නැති කර ගැනීමේ ඉල්ලීම් තිබේ. නමුත් මේ ඉල්ලීම් සුවිශේෂ ඉල්ලීම් වෙයි. වෙනත් ආකාරයකට කියන්නේනම් මේ ඉල්ලීම් යනු එක පොදු – විශ්වීය – ඉල්ලීමක් නොව තමන් තමන් මුහුණ දෙන සුවිශේෂ ප්‍රශ්න අනුව උත්පාද වී ඇති විවිධාකාරයේ ඉල්ලීම් වෙයි. නිදර්ශනයක් ලෙස නිවාස පහසුකම් නොමැති නාගරික ජන කණ්ඩායමක් විසින් සිය නිවාස අවශ්‍යතාවය ඉටු කරගැනීමට ඉල්ලා සිටිනවා කියා සිතන්න. එම ඉල්ලීම වෙනුවෙන් ඔවුන් සංවිධානය වන විට ඒ හා සමාන වන වෙනත් ඉල්ලීම් තිබෙනා අයද සිටිනා බව ඔවුන්ට හඳුනා ගනු හැකි වෙයි. පිරිසකට තිබෙන්නේ පානීය ජලය නොමැති වීමේ ප්‍රශ්නයයි. තවත් පිරිසකට තිබෙන්නේ සිය දරුවන්ට ඉගෙන ගැනීමට පාසල් නොමැති වීමේ ප්‍රශ්නයයි…

මේ ඉල්ලීම් එකිනෙකින් වෙනස් වුවත් ඒවායේ පොදු බවක් තිබෙනා බවද අපට පෙනී යයි. ඒ තමයි ඒ සියලු අසාධාරණයන් සඳහා පොදුවේ වගකිව හැකි එක් ප්‍රතිපක්ෂයක් හඳුනා ගත හැකි වීම. එනිසා අපගේ නිදර්ශනයේ ඇති විවිධ ඉල්ලීම් නියෝජනය කරනා කණ්ඩායම් මෙම පොදු සතුරාට විරුද්ධව එකතු වූවායයි කියා සිතන්න. නමුත් මෙවැනි අරගලයක තිබෙනා සංකීර්ණතම මොහොත වන්නේ මෙම පොදු විරෝධය සඳහා එකතු වන ආකාරය කුමක්ද කියා නිශ්චිතව තේරුම් ගැනීමයි. නැතිනම් මෙම එකිනෙකා ගේ තිබෙනා ‘පොදු බව’ එකට එකතු කරනා ආකාරය හඳුනා ගැනීමයි. තරමක් කලපනා කර බලන විට මේ සෑම ඉල්ලීමක්ම අභ්‍යන්තරයෙන් කොටස් දෙකකට වෙන් වී තිබෙනා බව අපිට පැහැදිළි විය යුතුය. එක පැත්තකින් ඒ සෑම ඉල්ලීමකටම සුවිශේෂ වූ අඩංගුවක් තිබේ (නිවාස, ජලය, අධ්‍යාපනය ආදී ලෙස), අනෙක් අතින් ඒ සෑම ඉල්ලීමකම පොදු වූ – විශ්වීය වූ – අඩංගුවක් තිබේ (ක්‍රම විරෝධය).

ලැක්ලාවූ සහ මූෆ් විසින් තුල්‍යතාවයන් ගේ දාමයක් (chain of equivalances) යනුවෙන් නම් කරන්නේ මේ ආකාරයට විවිධ ඉල්ලීම් වල තිබෙනා පොදු වූ කොටස එකට එකතු කරනා මෙහෙයුමක ප්‍රතිඵලයක් වෙතයි. හෙජමොනිය (hegemony) යනුවෙන් නම් කරන්නේ කුමක්ද යන්න සඳහා දිය හැකි පළමු සහ සරලම අර්ථකථනය වන්නේ මෙන්න මෙම මෙහෙයුම සඳහා දිය හැකි නාමකරණය යන්නයි. මෙවැනි තුල්‍යතාවයන් ගේ දාමයක් උත්පාද කළ හැක්කේ මේ විවිධ ඉල්ලීම් අතරින් එක ඉල්ලීමක් මෙහිදී ඉදිරියට පැමිණී මගිනි. අපි සිතමු, නිවාස ලබා ගැනීමේ ඉල්ලීම මේ ආකාරයේ ඉදිරියට පැමිණි ඉල්ලීම බවට පත් වූ බව. නමුත් මෙයින් අදහස් වන්නේ අනෙක් ඉල්ලීම් තිබෙනා ජනයා සිය සුවිශේෂ ඉල්ලීම් අත්හැර දමා, මෙම පිරිසට නිවාස ලබා දීමට එකතු නොවීම බව පැහැදිළි වෙයි. සැබවින්ම සිදු වන්නේ මෙම නිවාස ඉල්ලීම තුළ ඇති ඉල්ලීමේ ඇති සුවිශේෂ අඩංගුව දුර්වල වී යාමයි. ඒ වෙනුවට ‘නිවාස ලබා දෙනු’ කියන සටන් පාඨය මගින් නිවාස මෙන්ම, ජලය, අධ්‍යාපනය ආදී විවිධාකාර ඉල්ලීම් නියෝජනය වීමයි.

මෙය තවත් පැහැදිළි කරගැනීමට අවශ්‍යනම් මේ කාලයේ සිදු වන ‘සයිටම් විරෝධී අරගලය’ අපට යොදා ගත හැකිය. අප දන්නා පරිදි සයිටම් වලට විරුද්ධ අය එලෙස පෙළ ගැසී සිටින්නේ නිශ්චිතවම එම සුවිශේෂ ඉල්ලීම – ‘සයිටම් ආයතනය වසා දැමීම’ – වෙනුවෙන් නොවේ. ඒ වෙනුවට එමගින් නියෝජනය කරන්නේ එක පැත්තකින් අධ්‍යාපනය වෙළඳපොළකරණය කිරීමට එරෙහි අරගලයත් අනෙක් පසින් වර්තමාන වික්‍රමසිංහ පාලනයේ නව ලිබරල්වාදී වැඩපිළිවෙලට එරෙහි අරගලයත්ය. එමගින් විවිධ සුවිශේෂ ඉල්ලීම්, වෙනස් අරමුණු වෙනුවෙන් සටන් කරනා විශාල පිරිසක් එකම වේදිකාවක් වෙත ගෙන එමින් තිබේ. හෙජමොනික මෙහෙයුමක් යන්න පළමු වටයේදී වටහා ගැනීමට හැකි සරලම ආකාරය වන්නේ මෙයයි.

දැන් මෙවැනි ආකාරයේ හෙජමොනික මෙහෙයුමක් ඇති වීමේ දේශපාලන අවශ්‍යතාවය කුමක්ද? මේ රචනයේ ආරම්භයේදී ලැක්ලාවූ සහ මූෆ්, රෝසන්බර්ග් උපුටා දක්වමින්, මතු කළ දේශපාලන ප්‍රශ්නය වූයේ මෙයයි. මෙවැනි අවශ්‍යතාවයක් පැන නගින්නේ තවදුරටත් ප්‍රංශ විප්ලවය තුළ සිදු වූ ආකාරයට ‘පැරණි පාලන තන්ත්‍ර’ය සහ ‘මහජනයා’ ලෙස සමාජය පැහැදිළි සහ සරල ආකාරයකට දෙකට බෙදී නොමැති වීමයි. විවිධ පුද්ගලයන් ගේ ඉල්ලීම්, අවශ්‍යතා බහුවිධාකරණය වී තිබේ. අනෙක් අතට පවත්නා ක්‍රමය විසින් මේ අතරින් සමහර ඉල්ලීම් නිෂ්ක්‍රීය කිරීමට සමත් ව තිබේ. එනිසා පැරණි අර්ථයෙන් අපට සමාජය ස්වභාවික ලෙස – දෙන ලද තත්වයක් ලෙස – දෙපිළකට බෙදී ඇති ලෙස තේරුම් ගැනීමට නොහැකි ව තිබේ. මෙය දෙන ලද තත්වයක් නොවනවා යන්නෙහි අර්ථය වන්නේ මෙය ඇති කළ යුතු, ගොඩ නැගිය යුතු, සංවිධානය කළ යුතු තත්වයක් වනවා යන්නයි. හෙජමොනිය නොමැතිව දේශපාලනය කිරීම යන්න තවදුරටත් කළ හැකි දෙයක් නොවේ.

ලැක්ලාවූ සහ මූෆ් පෙන්වා දෙන පරිදි මාක්ස් ගේ මැදිහත්වීමේ සුවිශේෂතාවය අපට හඳුනා ගත හැක්කේ මේ සමගයි. අපි ඒ ගැන හෙට සාකච්ඡා කරමු.

***

Advertisements