nicola-staeglich-seestueck-2015-acryl-aquarell-auf-baumwolle-95-x-95-cm_web

පහතින් පළ වන්නේ අර්නස්ටෝ ලැක්ලාවූ සහ ශොන්තෝල් මූෆ් ගේ Hegemony and Socialist Strategy කෘතියේ අවසන් පරිච්චේදය වන Hegemony and Radical Democracy සඳහා ලියූ සරල, සිංහල හැඳින්වීමක දෙවැනි කොටසයි (මෙහි පළමු කොටස මෙතැනින්).

මේ සඳහා ආසන්න හේතුව වන්නේ මේ සතියේ බ්‍රහස්පතින්දා – මාර්තු 2 වෙනිදා, සවස 3 ට – පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේදී පැවැත්වෙන සංවාදයක් වෙනුවෙනි. එම සංවාදය පැවැත්වෙන්නේ, මූලික වශයෙන්, නිර්මාල් රංජිත් දේවසිරි, විදර්ශන කන්නන්ගර සහ බූපති නලින් වික්‍රමගේ යන අපගේ මිතුරන් අතරයි. ඉතාම පුළුල් අර්ථයෙන් ‘රුසියානු විප්ලවයේ’ සියවස සැමරුම වෙනුවෙන් සංවිධානය කළ සංවාද මාලාවක් වන මෙහි අරමුණ වූයේ සමකාලීන විකල්ප න්‍යායික සංවාදය ඇසුරින් මෙම ඓතිහාසික සන්ධිස්ථානය යළි කියවන්නේ කෙසේද යන්න විමසා බැලීමයි.

Hegemony and Socialist Strategy කෘතිය යනු වමේ දේශපාලනය තුළ ගෝලීයව මෙන්ම මේ රට තුළත් විශාල බලපෑමක් කළ මැදිහත්වීමක් වේ යන්න අවිවාදිත වන්නකි. විකල්ප ලෝකයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් තිබෙනා බුද්ධිමය සංවාදයේ සිටිනා පිරිස් මෙම කෘතිය පිළිබඳව අවබෝධයක් ලැබීම අනිවාර්යයක් වන්නේ මේ නිසාය.

***

අපි ඊයේ සාකච්ඡාව අවසන් කළේ මාක්ස් ගේ මැදිහත්වීම ලැක්ලාවූ සහ මූෆ් අතින් අර්ථකථනය වන ආකාරය කුමක්ද යන ප්‍රශ්නය මතු කරමිණි. අපි දුටු පරිදි මාක්ස් ගේ මැදිහත්වීම සිදු වන ඓතිහාසික මොහොත යනු සමාජයේ දේශපාලන සැකැස්ම සංකීර්ණ වෙමින් තිබූ මොහොතයි. තවදුරටත් සමාජයේ දේශපාලන බෙදීම සරල කණ්ඩායම් දෙකක් අතර වෙනසක් දක්වා ඌණනය කළ හැකි දෙයක් නොවීය. මාක්ස් විසින් උත්සාහ කරන ලද්දේ මෙන්න මෙම ප්‍රශ්නයට පිළිතුරක් නිර්මාණය කිරීමටයි.

පන්ති අතර ඇති වන ගැටුම ලෙස ඔහු පෙන්වා දීමට උත්සාහ කළේ මෙම ඓතිහාසික ප්‍රශ්නය හමුවේ ඔහුගේ පිළිතුරයි. නමුත් මෙහි තිබූ ගැටලුව වූයේ මේ ආකාරයට සමාජය පන්ති දෙකකට වෙන් වීම ප්‍රායෝගිකව අත්දැකිය නොහැකි වීමයි. එනිසා මෙම උපන්‍යාසය සමග තවත් අතිරේක උපන්‍යාසයක් එක් කිරීමට මාක්ස් හට සිදු විය. ඒ තමයි සමාජ ව්‍යූහයේ අනාගතයේ ඇති වන සරල වීමක් හරහා සමාජය පන්ති දෙකකට ඌණනය වීම. මෙම ඓතිහාසික-සමාජ විද්‍යාත්මක උපන්‍යාසයට අනුව මේ මොහොත තුළ අපට පන්ති දෙකක් අතර ගැටුමක් දැක ගැනීමට නොහැකි වුවත්, අනාගතයේදී එය ධනේශ්වර පන්තිය සහ නිර්ධන පන්තිය ලෙස දෙකට බෙදී යාමේ ප්‍රතිඵලයක් ලෙස පන්ති සවිඥානය වර්ධනය වී ඇති වන සමාජ විප්ලවයකින් දේශපාලන පරිවර්තනයක් සිදු වනු ඇත. මෙය සිදු වන්නේ ධනවාදයේ ‘ස්වභාවික’ වර්ධනය නිසාය. ඒ අනුව දේශපාලන පරිවර්තනය සිදු වන්නා වූ අවකාශය වන්නේ නිෂ්පාදනය ක්‍රියාවලිය සිදු වන ආර්ථිකය තලයයි.

එම අර්ථයෙන් ගත්විට මාක්ස්වාදය පැහැදිළිව අයත් වන්නේ ප්‍රංශ විප්ලවය මගින් ආරම්භ වූ දේශපාලන පරිකල්පනයටයි. එයට අනුව දේශපාලන පරිවර්තනය සිදු වන්නේ එක නිශ්චිත ගැටුමකින් වන අතර දේශපාලනය ගොඩ නැගෙන්නේ එක විශේෂ අවකාශයක් තුළ වේ. මෙහි තිබෙනා එකම වෙනස වන්නේ මෙම පරිවර්තනයේ කාලක්‍රමික මානය වෙනස් වීමයි. තවදුරටත් සමාජ විප්ලවයට මග පාදන සමාජ බෙදීම යනු මේ මොහොතේ – වර්තමානයේ – තිබෙන්නා වූ යථාර්ථයක් නොව අනාගතයේදී, ධනවාදයේ වර්ධනයත් සමග, සිදු වන්නා වූ දෙයකි. මෙයට පරස්පරව ලැක්ලාවූ සහ මූෆ් යෝජනා කරන්නේ අප බහුවිධ ගැටුම් සහ බහුවිධ දේශපාලන අවකාශයන් ඇතුලත් වන්නා වූ සිතීමක් තුළ මෙම සම්භාව්‍ය මාක්ස්වාදයේ මෙන්ම එයට පෙර ප්‍රංශ විප්ලවයේ සක්‍රීය වූ ජැකොබින්වාදී චින්තනයේ සීමාවන් ජයගැනීමේ උත්සාහයකි.

ලැක්ලාවූ සහ මූෆ් මෙහිදී විරෝධය දක්වන්නේ දේශපාලන අරගලයේ මූලිකත්වය හිමි වන්නා වූ වරප්‍රසාදිත නියෝජිතයෙක් පිළිබඳ අදහසට පමණක් නොවේ. ඒ සමගම ඔවුන්ට පෙන්වා දීමට අවශ්‍ය වන්නේ දේශපාලන ප්‍රතිරෝධය ජනනය වීම යනු මිනිසා ගේ ස්වභාවික ගුණාංගයක්, පෙළඹ වීමක් ලෙස සිදු නොවනා බවයි. අපි මෙය ඉක්මනින් පැහැදිළි කර ගනිමු.

දේශපාලනය කිරීම සඳහා වරප්‍රසාදිත නියෝජිතයෙක් යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? මෙයට දිය හැකි පහසුම සහ ප්‍රධානතම නිදර්ශනය වන්නේ සම්භාව්‍ය මාක්ස්වාදයේ එන නිර්ධනයා යන අදහසයි. අප දන්නා පරිදි මාක්ස්වාදයේ සඳහන් නිර්ධනයා යනු සමාජයේ සිටිනා තවත් එක් පීඩිත කණ්ඩායමක් නොවේ. වාර්ගික අන්තවාදය, පුරුධාධිපත්‍යය, විෂමලිංගික ආධිපත්‍යය, කුඩා ධූරාවලිය ආදී දේ මගින් පීඩනයට පත්වන සමාජ කණ්ඩායම් සිටියත්, සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව මේ ආකාරයේ පීඩිත ජනයාට වඩා නිර්ධනයන් යන්නෙහි එක්තරා සුවිශේෂී බවක් තිබේ. ඒ තමයි ධනවාදයේ ඇති වන වර්ධනයත් සමග සමාජයේ සිටිනා සියලුම පොදු පීඩිතයන් මෙම කුලකයට ඇතුලත් විය යුතු වීම. එනිසාම සමාජ පරිවර්තනය ඇති වන විප්ලවීය මැදිහත්වීමේ නායකත්වය හිමි වන්නේ ඔවුන්ටයි. මාක්ස්වාදයේ ජනප්‍රිය යෙදුමක් ඇසුරින් කියන්නේනම්, ‘අවසන් විග්‍රහයේදී’ සියල්ල තීරණය කරන්නේ ආර්ථිකය විසිනි. මිනිස් සමාජය යන්න ගොඩ නැගී තිබෙන්නේ මෙම ආර්ථිකය නමැති පදනම මතයි. එනිසා මෙම ආර්ථික සම්බන්ධතා තුළ පීඩිතයන් බවට පත් වන්නා වූ සමාජ කණ්ඩායම සමාජයේ සැබෑ පීඩිතයන් වෙයි. ඔවුන්ට සාපේක්ෂව ගත්විට අනෙක් ආකාරයේ සමාජ පීඩනයන් යනු කිසියම් ආකාරයක ද්වීතීයික වටිනාකමක් හිමි වන්නා වූ පීඩනයන් වෙයි.

ලැක්ලාවූ සහ මූෆ් විසින් පළමුවෙන් විරුද්ධ වන්නේ මේ ආකාරයේ වරප්‍රසාදිත නියෝජිතයන් පිළිබඳ අදහසටයි. අප මෙයට පෙර සාකච්ඡා කර තිබෙනා ආකාරයට මේ උපකල්පනය යටින් දිවෙන්නේ සමාජයේ දේශපාලන බෙදීම කිසියම් නෛසර්ගික ආකාරයකට ඇති වීමේ අවශ්‍යතාවයක් නිසාය. එය පදනම් වන්නේ ධනවාදයේ ඇති වන වර්ධනය පිළිබඳව උපන්‍යාසයක් මතයි. ඒ අනුව ධනවාදය වර්ධනය වනවාත් සමග සමාජයේ පන්ති සැකැස්ම බොහෝ සරල වීමට නියමිතව තිබිණි. සංඛ්‍යාත්මකව කුඩා වන්නා වූ ධනේශ්වර පන්තියකින් සහ අති විශාල වන්නා වූ නිර්ධන පන්තියකින් එය සකස් විය යුතු විය. නමුත් 19 වෙනි සියවසේ අවසානයේ සිට අප අත්දැක තිබෙන්නේ මෙවැන්නක් නොව සමාජයේ පන්ති සැකැස්ම සංකීර්ණ වීම සහ විවිධ දේශපාලන ගැටුම් ඇති වීමයි. එම දේශපාලන ප්‍රතිවිරෝධතා ආර්ථික ගැටුමක් – නිෂ්පාදන සම්බන්ධතා වල ඇති ගැටුමක් – ලෙස පමණක් අර්ථකථනය කිරීම පහසු වූයේ නැත. රෝසා ලක්සම්බර් ගේ සිට ග්‍රාම්ශි දක්වා ඇති වූ දේශපාලනික-න්‍යායික වර්ධනයන් තුළ මුඛ්‍ය ගැටලුව වූයේ මෙම බහුවිධ දේශපාලන අරගල එකතු කිරීමේ ක්‍රමවේදයයි. හෙජමොනික මෙහෙයුම ලෙස නම් කළ හැකි ක්‍රියාවලියේ ඉතිහාසය අපට හඳුනා ගත හැක්කේ මෙම විවිධ උත්සාහයන් පිළිබඳව කළ විමසා බැලීමක් ලෙසයි. එනිසා දේශපාලන පෙරළියේ මූලිකත්වය ගත හැකි වරප්‍රසාදිත නියෝජිතයා, ඒජන්තයා ලෙස ‘නිර්ධනයා’ ගැනීම යන්න තවදුරටත් පිළිගැනීම නොකළ හැකි වන්නේ එම නිසාය.

නමුත් ලැක්ලාවූ සහ මූෆ් මෙහිදී විරුද්ධ වන්නේ මෙම අදහසට පමණක් නොවේ. ඔවුන්ගේ විරෝධය එල්ල වන්නේ එම අදහසට පමණක්නම් එය එතරම්ම නවීන තර්කයක් ලෙස තේරුම් ගැනීමට අපහසු වනු ඇත. මෙවැනි චෝදනා මාක්ස්වාදයට එරෙහිව බොහෝ පාර්ශව වලින් එල්ල වී තිබේ. නමුත් ලැක්ලාවූ සහ මූෆ් මෙයට අමතරව තවත් එක් පියවරක් තැබිය යුතු බව අපට යෝජනා කරයි. ඒ තමයි කුමන ආකාරයක හෝ දේශපාලන ප්‍රතිරෝධයන් ජනනය වන කොන්දේසි කුමක්දැයි විමසා බැලීම. සමාජ පීඩනයන් තිබූ පමණින් ඒවාට එරෙහිව ප්‍රතිරෝධය ජනනය වන බව උපකල්පනය කළ නොහැකි වේ. නිදර්ශනයක් ලෙස පුරුෂාධිපත්‍යය එසේත් නැතිනම් පීතෘමූලික සමාජය යනු අතිශය දිගු ඉතිහාසයක් දක්වා දිව යන සමාජ සම්බන්ධයක් වුවත් මෙයට එරෙහි දේශපාලන විරෝධය ජනනය වන ස්ත්‍රීවාදය යනු තරමක මෑත කාලීන ඉතිහාසයකට උරුම වන්නා වූ දෙයකි. අප විමසා බැලිය යුත්තේ මේ ආකාරයේ දේශපාලන ප්‍රතිරෝධයක් ජනනය වන කොන්දේසි මොනවාද යන්නයි.

මෙහිදී දේශපාලනය යනුවෙන් අදහස් කරන්නේ රාජ්‍යයට එරෙහිව සිදු කරන්නා වූ දෙයක් යන සීමිත අර්ථයෙන් පමණක් නොවේ. සමහර දේශපාලන අරගල සිදු වන්නේ එම සීමිත අර්ථයෙන් වීම අනිවාර්ය වුවත් මෙහිදී වැදගත් වන්නේ කිසියම් ආකාරයකට යටහත්පහත් සම්බන්ධයක් තුළට සිටිනා පුද්ගලත්වයක් නිර්මාණය කරනා සමාජ සම්බන්ධතාවයේ ඇති වන්නා වූ පරිවර්තනයකි. සාමාන්‍යයෙන් අප යටහත්පහත්බවට පත් කිරීම (subordination), පීඩනයට ලක් කිරීම (oppression), සහ ආධිපත්‍යය (domination) අතර වෙනස්කමක් සලකුණු කරන්නේ නැත. නමුත් සමාන පද ලෙස භාවිතා කරනා මෙම වචන අතර වෙනස්කමක් සලකුණු කිරීම අපගේ අරමුණ වෙනුවෙන් අත්‍යවශ්‍ය වෙයි.

පළමුවෙන් යටහත්පහත් බවේ සම්බන්ධයක් යනු පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් ගේ තීරණය වලට යටත් වීමේ සම්බන්ධයක් ලෙස නම් කළ හැකිය. රැකියා කරන ස්ථානයේ තමාට ඉහලින් සිටිනා පුද්ගලයා සමග තිබෙන සම්බන්ධය, සම්ප්‍රදායික පවුල තුළ ගැහැණියට වඩා ඉහළින් සිටිනා පිරිමියාගේ සම්බන්ධය ආදිය මෙයට උදාහරණ ලෙස දැක්විය හැකිය. නමුත් මෙවැනි සම්බන්ධයක් අනිවාර්යයෙන් අප පීඩනයට ලක් කිරීමේ සම්බන්ධයක් ලෙස අර්ථකථනය කිරීම කළ නොහැකි වේ. මේ සඳහා මෙලෙස යටහත්පහත් බවේ සම්බන්ධයකට ලක්ව සිටිනා පුද්ගලයා විසින් සිය පැවැත්ම ට එරෙහි වීමේ අරමුණක් ඇති කරගත යුතු වේ. වෙනත් ආකාරයකට කියන්නේනම් තමන් සිටිනා යටහත්පහත් බවෙන් ගැලවීමට උත්සාහ කිරීමක් ඇති විය යුතුය. එවැනි අවස්ථාවකදී මේ ආකාරයේ සම්බන්ධයක් පීඩිත සම්බන්ධයක් බවට පත්වන බව අපට කිව හැකිය. එහිදී සිදු වන්නේ යටහත්පහත් බවේ සම්බන්ධයට එරෙහිව එම සම්බන්ධය පසමිතුරුකාරී අවකාශයක් ලෙස අර්ථකථනය කර ගැනීමයි. නිශ්චිත වශයෙන් පීඩිත බවක් ඇති වන්නේ මෙම දෙවැනි අවස්ථාවේදී පමණි. අවසන් වශයෙන් ආධිපත්‍යධාරී සම්බන්ධතා යනුවෙන් හඳුන්වන්නේ එම සම්බන්ධතා වලට පරිබාහිරින් සිටිනා පුද්ගලයෙක් විසින් එම සම්බන්ධතා අසාධාරණ ඒවා ලෙස නම් කිරීමයි. නමුත් මෙලෙස තුන්වැනි පාර්ශවයක් විසින් ආධිපත්‍යධාරී සම්බන්ධතා ලෙස නම් කරනා සම්බන්ධතාවයක් අනිවාර්ය ලෙසම පීඩිත සම්බන්ධයක් වනවා කියා පැවසිය නොහැකිය. රියදුරෙක් ලෙස රැකියාවක් කරනා පුද්ගලයෙක් සිය ශ්‍රමය මිලට ගෙන සිටිනා පුද්ගලයා සමග තිබෙනා යටහත්පහත් සම්බන්ධය මිත්‍රශීලී සම්බන්ධයක් ලෙස තේරුම් ගැනීමට ඉඩ තිබේ. අවම වශයෙන්, තිබෙනා තත්වයේ හැටියට, මේ ආකාරයේ රැකියාවක් කිරීම ඔහුට හිමිව ඇති හොඳම අවස්ථාවන් වලින් එකක් කියා එවැනි කෙනෙක් සිතීමට ඉඩ තිබේ. එවැනි අවස්ථාවකදී ඔහු සිටින්නේ පීඩනයට ලක් වූ සම්බන්ධයක නොවේ. නමුත් තුන්වැනි පාර්ශවයක් විසින් එම සම්බන්ධයද අයත් වන්නේ ආධිපත්‍යධාරී සම්බන්ධතා වලට කියා නම් කිරීමට හැකි වේ.

මෙයින් අදහස් වන්නේ යටහත්පහත් සම්බන්ධයක් තුළ සිටිනා කෙනෙක් අනිවාර්යයෙන් එය යථාර්ථයක් ලෙස බාර ගන්නා බවද? අපි එතනින් මීළඟ කොටස ආරම්භ කරමු.

Advertisements