nicola-staeglich-come-to-me

පහතින් පළ වන්නේ අර්නස්ටෝ ලැක්ලාවූ සහ ශොන්තෝල් මූෆ් ගේ Hegemony and Socialist Strategy කෘතියේ අවසන් පරිච්චේදය වන Hegemony and Radical Democracy සඳහා ලියූ සරල, සිංහල හැඳින්වීමක තෙවැනි කොටසයි (මෙහි පළමු සහ දෙවැනි කොටස් මෙතැනින් සහ මෙතැනින්).

හෙට දිනයේ – මාර්තු 2 දා – පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ දී සවස 3 ට පැවැත්වෙන සංවාදයක් අරමුණු කරගෙන මෙම රචනය මූලිකව සකස් වුවත්, විකල්ප ජීවිතයක් වෙනුවෙන් පෙනී සිටිනා සෑම දෙනාටම මෙය ප්‍රයෝජනවත් වේ කියා අපි සිතමු. මෙරට වමේ දේශපාලනය පිළිබඳව සංවාදයට 1990 දශකයෙන් පසුව එකතු වූ නව සංකල්පීය ප්‍රවේශයන් අතර ලැක්ලාවූ සහ මූෆ් ගේ මෙම ලියවිල්ලට අයත් වන්නේ සුවිශේෂ ස්ථානයකි. මෙය සකස් කිරීම දීර්ඝ ලෙස සිතා බැලූ පූර්ව සැලසුමකින් තොරව සිදු වූයේ වුවද, එම නව දේශපාල සිතීම තුළ ‘පශ්චාත්නූතනවාදය’ නම් අදහස හා සමාන ලෙස වැදගත් ස්ථානයක් ‘පශ්චාත්-මාක්ස්වාදය’ නම් අදහසට හිමි වේ. එම අර්ථයෙන් ගත්විට මෙරට දේශපාලනයේ ‘90 ප්‍රවණතාවය’ සිදු කළ එකතු කිරීම යළි සංවාදයට ගැනීමට කෙරෙනා මෙවැනි උත්සාහයක් සඳහා මෙම සාකච්ඡාව අත්‍යවශ්‍ය වන්නකි.

හෙට සංවාදය සඳහා සහභාහි වන මූලික කථිකයන් වන්නේ නිර්මාල් රංජිත් දේවසිරි, විදර්ශන කන්නන්ගර සහ බූපති නලින් වික්‍රමගේ යන අපගේ මිතුරන්ය. මෙවැනි සංවාදයක් සංවිධානය කිරීමේ පුළුල් අරමුණ වන්නේ විකල්ප සමාජ සිතීමක් වෙනුවෙන් මහන්සි වන පිරිසක් සඳහා පොදු වේදිකාවක්, අවකාශයක් සහ කාලයක් නිර්මාණය කිරීමයි. විශේෂයෙන්ම, සමාජ ජාල වල ආකෘතියට සීමා වී සිටිනා, දේශපාලනිකව උද්‍යෝගිමත්, තරුණ පරම්පරවා ප්‍රායෝගිකව සංවිධානය කළ හැකි ක්‍රමෝපායන් මොනවාද? අප වඩාත් උනන්දු වන ප්‍රශ්නය වන්නේ මෙයයි. ‘සමාජවාදී උපායමාර්ගයේ’ නවීන අර්ථකථනයක සමාරම්භක ලියවිල්ල වන ‘Hegemony and Socialist Strategy’ කෘතිය ප්‍රයෝජනවත් වනු ඇත්තේ එලෙස සංවිධානය වූ නව පරම්පරාවකට පමණි.

***

ඕනෑම යටහත්පහත් සම්බන්ධයක් තුළ සිටිනා පුද්ගලයෙක් හට තමන් ගේ එම භූමිකාව සමග කිසියම් ආකාරයක දුරස්ථබවක් ඇති වීම අනිවාර්ය වේ. නමුත් මිනිසුන් එම දුරස්ථ අපහසුව මැඩගෙන එම සම්බන්ධය යථාර්ථයක් ලෙස බාර ගන්නේ, බොහෝ අවස්ථාවන් වලදී, වෙනත් කරන්නට දෙයක් නොමැති වන නිසාය. අප සිතන්නේ එය අපේ ‘දෛවය’, අප ‘ලබා උපන් ආකාරය’ ලෙසයි. වෙනත් ආකාරයකට කියන්නේනම්, මෙවැනි තැනකදී සිදු වන්නේ මෙම සම්බන්ධය ස්වභාවිකකරණය වීමයි. මේ අනුව, මේ ආකාරයේ යටහත්පහත් බවේ සම්බන්ධයක් වෙනස් කිරීම සඳහා ඇති විය යුත්තේ කුමක්ද කියා අපට පැහැදිළි වේ. ඒ තමයි මෙම ස්වභාවිකකරණය කිරීමේ ක්‍රියාවලිය නැවැත්විය හැකි තුන්වැනි පාර්ශවයක මැදිහත් වීම.

මෙය පැහැදිළි කර ගැනීම සඳහා අපි නැවතත් පුරුෂමූලික සමාජය පිළිබඳව නිදර්ශනය වෙත යමු. ස්ත්‍රී-පුරුෂ සම්බන්ධයන් වලදී ගැහැණිය යටහත්පහත් බවේ සම්බන්ධයක් තුළ සිටීම දීර්ඝ ඉතිහාසයක් පුරා දැකිය හැකි දෙයකි. මෙම දිගු ඉතිහාසය පුරාම සියලුම ගැහැණුන් මෙම සම්බන්ධය ඉතාමත් සතුටින් බාරගත් බව සිතා ගැනීම ඉතා අපහසු වේ. නමුත් අප දන්නා පරිදි නිශ්චිත වශයෙන් පුරුෂමූලික සමාජයට එරෙහි දේශපාලනික විරෝධය එල්ල වන්න ගත්තේ – යටහත්පහත් බවේ සම්බන්ධය පීඩිත සම්බන්ධයක් බවට පරිවර්තනය වූයේ – දහහත්වන සියවසේ අග භාගයේදීය. එසේනම්, ස්ත්‍රීන් විසින් දරා සිටි යටහත්පහත් බවේ සම්බන්ධයට අතිරේක දෙයක් සිදු වී තිබේ. තවදුරටත් මේ යටහත්පහත් වීම ස්වභාවික දෛවය ලෙස බාර ගැනීමට නොහැකි වන ආකාරයේ පරිවර්තනයක් සිදු වී තිබේ. මෙම පරිවර්තනය අප තේරුම් ගත යුත්තේ කෙසේද?

මේ සඳහා ලැක්ලාවූ සහ මූෆ් විසින් ලබා දෙන පිළිතුර වන්නේ විවිධාකාරයේ ප්‍රතිරෝධයන් එකට එකතු කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව බිහි වීම යන්නයි. මේ සඳහා අප ‘ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය’ යනුවෙන් ඔවුන් නම් කරන්නේ කුමක්ද යන්න පළමුවෙන් හඳුනාගත යුතු වේ.

ඉතාමත් සරල අරුතකින් කියන්නේනම් මේ මගින් අදහස් කරන්නේ සමාජයේ පිළිවෙල සකස් වී තිබෙන්නේ දිව්‍යමය කැමැත්තක් මත වේ කියනා අදහසේ ඇති වූ තීරණාත්මක පරාජයයි. එවැනි සමාජ ක්‍රමයක දේශපාලන බලය සහ එම බලය හසුරවන්නා අතර පරතරයක් නොමැති වේ. අප මෙලෙසින් සිටින්නේද, මේ ලෝකය මෙලෙස තිබෙන්නේ ද, අපට මේ ආකාරයේ පාලකයන් ලැබී තිබෙන්නේද අපට වඩා විශාල වූ හේතුවකින් – ‘දෙවියන් ගේ සැලැස්ම’, ‘දෛවය’, කර්මය’ ආදී – වෙයි. එනිසාම එම හේතුවට අභියෝග කරනවා යන්නෙහි අර්ථයක් නොමැති වේ. අපට සමාජයේ ලැබී තිබෙනා අනන්‍යතාවය ස්ථිතික සහ ස්වභාවික වූවක් වන අතර එමගින් ඇති කර තිබෙන යටහත්පහත් බවේ සම්බන්ධතාවයන් ප්‍රති-නිෂ්පාදනය වීම, අකණ්ඩව පැවතීම හැර වෙනත් දෙයක් කිරීමට නොහැකි වේ. සමාජයේ අසමානතාවයන් තිබෙන්නේනම් එයට ස්වභාවික වූත්, දිව්‍යමය වූත් හේතුවක් තිබේ.

ප්‍රථම වතාවට ප්‍රංශ විප්ලවය මගින් සලකුණු වූ පෙරළිය වූයේ ‘මහජනයා’ (people) ලෙස තමන්ව හඳුන්වා ගන්නා බලවේගයක් විසින් මෙම අසමානතාවයට එරෙහිව සංවිධානය වී අරගල කිරීමේ හැකියාවයි. එමගින් තමන් අත්විඳිනා අසමානතාවයට එරෙහිව අරගල කිරීම සඳහා තවදුරටත් අපට මිනිසාගේ තර්ක බුද්ධිය ඉක්මවා ගිය දිව්‍යමය බලවේගයක සහතිකය අවශ්‍ය නොවනා බව සමාජ පරිකල්පනය තුළ තහවුරු විය. දේශපාලන බලය අභ්‍යාස කිරීම සඳහා කිසිවෙකුට දේව වරමක් නොමැති බවත්, බලය සහ බලය අභ්‍යාස කරන්නා අතර පරතරයක් ඇති බවත් පෙන්වා දුන්නෙහිය.

විවිධ මාදිළියේ අසමානතාවයන් යනු, තවදුරටත්, ස්වභාවික දෛවයක් ලෙස බාර ගත නොහැකි දෙයක් බවට පත්වූයේ මේ සමගයි. දහනමවන සියවසේ කම්කරු අරගල සඳහා බලපෑ ප්‍රධාන අභාෂය වූයේ ප්‍රංශ විප්ලය සමග ආරම්භ වූ මෙම සමානාත්මතාවයේ සහ නිදහසේ මූලධර්මයයි. ආර්ථික සමානාත්මතාවය සඳහා වන අරගලය යනු මෙම පොදු මූලධර්මය ආර්ථික සම්බන්ධතා වල ක්ෂේස්ත්‍රයට අදාළ කර ගැනීම වේ. එම අරුතින් සමාජවාදය යනු මෙම පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයෙන් ඇරඹි නවීන දේශපාලනයේ අභ්‍යන්තරයට අයත් වන්නා වූ වර්ධනයකි.

මූලික වශයෙන් මෙම ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය මගින් හෙළිදරව් කළේ යටහත්පහත්බවේ සම්බන්ධයක් තුළ සිටිනා යටත් වන්නා සහ යටත් කරන්නා අතර ඇති බාහිරත්වයයි. වෙනත් ආකාරයකට කියන්නේනම්, මේ මගින් පෙන්වා මේ ආකාරයේ පාර්ශවයන් අතර බැලූ බැල්මට ඇති ස්වභාවික පරායත්තතාවය තුළ ඇති ව්‍යාජයයි. අප සිටින්නේ බොරු සම්බන්ධයක් තුළ බව හෙළිදරව් වූ විට අපට එම සම්බන්ධයට එරෙහිව අරගල කිරීමට අවස්ථාවක් ලැබේ. අප සිටිනා සම්බන්ධතාවයන් යනු කිසිදු ආගමික, දේවධාර්මික අනිවාර්යතාවයක් නොමැති වන්නක්නම් එම දුරස්ථබව පිළිබඳව අවබෝධය එයට එරෙහිව අරගලය කිරීමේ පළමු කොන්දේසිය ලෙස සැලකිය හැකිය.

මෙය තේරුම් ගැනීම සඳහා ධනවාදයේ ආරම්භයේ දී – විශේෂයෙන් එංගලන්තයේ – ඇති වූ ප්‍රති-ධනවාදී අරගල, දහනමවන සියවසේ දෙවැනි භාගයේදී ඇති වූ අරගල සමග සන්සන්ධනය කළ හැකිය. ඉහත පළමු ආකාරයේ අරගල යනු සත්‍ය වශයෙන්ම ධනවාදයට විරුද්ධ අරගල ලෙස අපට තේරුම් ගත හැකි වේ. ඒවා මගින් උත්සාහ කළේ ධනවාදය නම් ආර්ථික ක්‍රමය වෙනස් කර දැමීමටයි. නමුත් මෙයට පරස්පරව දහනමවන සියවසේ දෙවැනි භාගයේ සිට ඇති වූ අරගල ගත්විට අපට පෙනෙන්නට තිබෙන්නේ එම අරගල සත්‍ය වශයෙන්ම ධනවාදය වෙනස් කිරීමට වඩා, එම ක්‍රමය තුළ තිබෙනා යම් යම් සංශෝධන දිනා ගැනීම වෙනුවෙන් කළ අරගල ලෙස හඳුනා ගත හැකි බවයි. මෙයට හේතුව වන්නේ කුමක්ද? මුල් කාලීන ධනේශ්වර-විරෝධී අරගල යනු සැබැවින්ම පූර්ව ධනේශ්වර ආර්ථික සැකසුම් වල භූමිකාවන් ඉටු කළ කාර්මික ශිල්පීන් වැනි පිරිස් මගින් සංවිධානය වූ අරගල විය. ඔවුන් ධනවාදයට, ක්‍රමයක් ලෙසම විරුද්ධ වූයේ ඔවුන්ගේ භූමිකාව එම සමාජ ක්‍රමය මගින් මුළුමනින්ම අහෝසි වීමේ අවධානම තිබූ නිසාය. නමුත්, අනෙක් අතට, දහනමවන සියවසේ අග භාගයේ සිට අපට හමුවන කම්කරුවන් යනු ධනේශ්වර ක්‍රමය මගින් උත්පාද වූ රැකියා වල නියැලෙන කම්කරුවන් විය. එනිසා ඔවුන් ගේ බොහෝ උද්ඝෝෂණ වල අරමුණ වූයේ ධනේශ්වර ක්‍රමය තුළ ලබා ගත හැකි විසඳුම් වෙනුවෙන් සටන් කිරීමයි. උත්ප්‍රාසජනක කරුණ වන්නේ මෙම දෙවැනි ආකාරයේ අරගල පසුකාලීන මාක්ස්වාදී සම්ප්‍රදාය මගින් ‘සංශෝධනවාදී’ අරගල ලෙස නම් කිරීමයි. සත්‍ය වශයෙන්ම දහනමවන සියවසේ කාර්මික ධනවාදයේ නැග ඒමත් සමග වර්ධනය වූ කම්කරු සටන් යනු මේ ආකාරයේ සංශෝධනවාදී සටන් විය. මෙයට හේතුව වූයේ එම උද්ඝෝෂකයන් සහ ධනපතියන් යනු එකම සමාජ අවකාශයක කොටස් වීමයි. එනිසාම ඔවුන්ට එකිනෙකාගෙන් මුළුමනින් වෙන්ව යාම සඳහා අවශ්‍ය වන්නා වූ ‘දුරස්ථබව’ හිමි වූයේ නැත.

මෙවැනි ආකාරයේ දුරස්ථබවක් ඇති වීමේ මූලික ආකෘති දෙකක් තිබෙනා බව අපට පැහැදිළි වේ. එක පැත්තකින් එය සිදු විය හැක්කේ ඒ වනවිටත් තිබෙනා යටහත්පහත්බවේ සම්බන්ධයන්, මේ ආකාරයේ බාහිර කතිකාවක මැදිහත්වීම නිසා, පීඩක සම්බන්ධතා ලෙස හඳුනා ගැනීමයි. දෙවැනි ආකෘතිය වන්නේ සමාජයේ ඇති වන වෙනස්කම් නිසා කෙනෙක් ඒ වනවිට ලබා සිටිනා අයිතිවාසිකම් අහිමි වී යාමයි. නමුත් මේ කුමන ආකාරයේ පසමිතුරුකාරී සම්බන්ධයක් සඳහා වුවත් ඇති විය යුතු මූලික කොන්දේසිය වන්නේ මෙවැනි අරගල සිදු වීම සඳහා අවශ්‍ය කතිකාමය ඉඩ විවර වීමයි. ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය මගින් ඇති නිර්මාණය වූයේ මෙයයි.

මේ මගින් අපට විසි වෙනි සියවසේ අග භාගයේ ඇති වූ ‘නව සමාජ ව්‍යාපාර’ (new social movements) යන අතෘප්තිමත් නමින් හැඳින්වෙන ව්‍යාපාර පිළිබඳව යහපත් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. මෙම නමින් හැඳින්වෙන්නේ විසිවැනි සියවස පුරා වර්ධනය වූ පුළුල් පරාසයකට අයත් වූ දේශපාලන අරගල එකතුවකි. මේ අතර වාර්ගික පීඩනයට එරෙහි ජාතික විමුක්ති අරගල, ඒකාධිපති විරෝධී අරගල, ස්ත්‍රීවාදී අරගල, සමලිංගික අයිතිවාසිකම් අරගල, පරිසරය රැක ගැනීමේ අරගල වැනි පුළුල් පරාසයක අරගල රාශියක් හඳුනා ගත හැකි වේ. මෙවැනි අරගල ‘නව’ ආකාරයේ අරගල යනුවෙන් හඳුන්වන්නේ ‘පැරණි’ කම්කරු අරගල වලින් මේවා වෙන් කර ගැනීමටයි. නමුත් මෙහිදී ලැක්ලාවූ සහ මූෆ් උනන්දු වන්නේ මේවා කම්කරු අරගල වලින් වෙනස් වූ ප්‍රවර්ගයකට ඇතුලත් කිරීමට නොව මේවා මගින් වඩාත් පුළුල් සමාජ සම්බන්ධකම් වල කළාපයන් වලට ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ප්‍රතිමානයන් රැගෙන ගිය ආකාරය විශ්ලේෂණය කිරීමටයි.

එම අර්ථයෙන් ගත්විට මෙම ‘නව සමාජ ව්‍යාපාරයන්’ වල පැරණි අරගල වල අකණ්ඩතාවයක් මෙන්ම ඒවායෙන් කණ්ඩනය වීමක්ද හඳුනා ගත හැකි වේ. ඒවායේ දක්නට ලැබෙනා අකණ්ඩතාවය වන්නේ මෙම අරගල උත්පාද වීම සඳහා ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදයේ දෘෂ්ඨිවාදය බටහිර ලෝකයේ සාමාන්‍ය දැනුමක් බවට පත්වීම හඳුනා ගත හැකි වීමයි. මේ මගින් සිදු වන්නේ තමන් සිටිනා අසමානතාවයේ සම්බන්ධතා වලට මෙම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තර්කණය ඇතුලත් කිරීමයි. ඒ මගින් අවසන් අර්ථයෙන් යළි කැඳවන්නේ ප්‍රංශ විප්ලවයේ දී සිටි දේශපාලන පාර්ශව දෙක වන ‘පැරණි බලාධිකාරය’ සහ ‘මහජනතාව’ යන්නයි. මෙම ව්‍යාපාර වල ඓතිහාසික අකණ්ඩතාවයක් තිබෙනවා කියා කිව හැක්කේ එම අරුතිනි. ඒවා මගින් සිදු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය මගින් ඇති කරන ලද සමානාත්මතාවාය් මූලධර්මය වඩ වඩා පුළුල් අවකාශයකට ඇතුලත් කිරීමයි: සුළු ජාතිය සහ මහජාතිය අතර ඇති සම්බන්ධය වෙත, මිනිසා සහ පරිසරය අතර සම්බන්ධය වෙත, ගැහැණිය සහ පිරිමියා අතර සම්බන්ධය වෙත, සමලිංගිකයා සහ විෂම ලිංගිකයා අතර සම්බන්ධය වෙත, සංක්‍රාන්ති ලිංගිකයන් සහ ආධිපත්‍යධාරී ලිංගික අනන්‍යතාවයන් අතර ඇති සම්බන්ධය වෙත ආදී ලෙස මෙය පුළුල් වේ.

නමුත් අනෙක් අතට මෙම ව්‍යාපාර මගින් ප්‍රතිචාර දක්වන්නේ මෑත කාලීනව සමාජයේ ඇති වූ වෙනස්කම් හා සමගාමීව බිහි වූ නව සමාජ සම්බන්ධතා වලටයි. මෙම ව්‍යාපාර මගින් නවීනත්වයක් සලකුණු බව හඳුනා ගත හැක්කේ මෙම නිශ්චිත ලක්ශ්‍යයේදීය. අපි මීළඟ කොටසින් මෙය පැහැදිළි කරගනිමු.

***

Advertisements