nicola-staeglich-escape-2015-acryl-spruehfarbe-acrylstift-auf-leinwand-195-x-145-cm_web

පහතින් පළ වන්නේ අර්නස්ටෝ ලැක්ලාවූ සහ ශොන්තෝල් මූෆ් ගේ Hegemony and Socialist Strategy කෘතියේ අවසන් පරිච්චේදය වන Hegemony and Radical Democracy සඳහා ලියූ සරල, සිංහල හැඳින්වීමක සිව්වැනි කොටසයි (මෙහි පළමු, දෙවැනි සහ තෙවැනි කොටස්, පිළිවෙලින්, මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්).

සමහරවිට මේ වනවිටත් ඔබ දන්නා පරිදි මෙම ලියවිල්ල සකස් වීමේ පසුබිමේ තිබෙන්නේ සමකාලීන විකල්ප දේශපාලනය සකස් විය යුත්තේ කෙසේද කියනා ප්‍රශ්නය ඇසුරින් සංවිධානය වී තිබෙනා සංවාදයකි. අද දිනයේ – මාර්තු 2 දා, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ දී, සවස 3 ට – පැවැත්වෙන මෙම සංවාදයට මූලික දායකත්වය ලබා දෙන්නේ නිර්මාල් රංජිත් දේවසිරි, විදර්ශන කන්නන්ගර, බූපති නලින් වික්‍රමගේ යන අපගේ මිතුරන්ය.

විවෘත සංවාදයක් වන මෙයට ඔබට ද සහභාගී විය හැකි අතර, මෙම ලිපි මාලාව ඒ සඳහා ඔබට උපකාරයක් වීමට ඉඩ තිබේ. ඉතාම සරල අරුතින් ගත්විට ‘රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය’ යනුවෙන් අදහස් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලය මගින් ඇති වූ සමානාත්මතාවයේ සහ නිදහසේ තේමාවන් විවිධ අසමාන සමාජ සම්බන්ධතා තුළට ගෙන ඒම සහ ඒ මගින් එම සම්බන්ධතා වල ඇති අසමානතාවය අභියෝග කිරීමයි. අද දින සංවාදයට බඳුන් වීමට නියමිත එක් අදහසක් වන්නේ ලැක්ලාවූ සහ මූෆ් ගේ මෙම න්‍යායික අදහස ඇසුරින් අපට ‘යහපාලනය’ නම් වූ – මේ වනවිට විකාරයක් බව පත්වී ඇති – වචනය යළි අර්ථකථනය කර හැකිද යන්නයි.

අවශ්‍ය වන්නේ අපට කළ හැකි දේ ගැන මෙන්ම අප කිරීමට ආශා  වුවත් මේ වන විට නොකළ හැකි දේ මොනවාද කියා අවංකව සංවාදයක් කිරීමයි. ඔබගේ දායකත්වය ද එයට ලබා දෙන්න.

Hegemony and Socialist Strategy කෘතිය පළ වී දශක තුනකට පසුව ‘නව සමාජ ව්‍යාපාර’ නම් වූ යෙදුම සඳහාද තිබෙන්නේ එතරම් යහපත් පිළිගැනීමක් නොවේ.

සමහරවිට, ‘නරක වචන’ වලින් ‘හොඳ සම්බන්ධකම්’ ඇති විය හැකිය.

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය වෙත පැමිණීමට අදාළ ගූගල් සිතියම මෙතැනින්.

***

අප අවසන් වරට සාකච්ඡා කළේ ‘නව සමාජ ව්‍යාපාර’ තුළ තිබෙනා පැරණි දේශපාලනය සමග සම්බන්ධය කුමක්ද යන්නයි. නමුත් මේව්‍යාපාර වල එම පැරණි දේශපාලන සම්ප්‍රදාය සමග සම්බන්ධයක් මෙන්ම විසම්බන්ධයක් ද ඇති බව අපි කියා සිටියෙමු. එසේනම්, මෙම විසම්බන්ධය අප සලකුණු කළ යුතු වන්නේ කෙසේද?

නව සමාජ ව්‍යාපාර – මෙම යෙදුම වඩාත් ගැලපෙන යෙදුමක් නොවන්නේ වුවත් – මගින් ඉලක්ක කරන ලද යටහත්පහත් බවේ සමාජ සම්බන්ධතා උත්පාද වූයේ කෙසේද? මෙම ව්‍යාපාර වල නවීනත්වය සලකුණු වන්නේ මෙම ප්‍රශ්නයට අප ලබා දෙන පිළිතුර සමගයි.

ලැක්ලාවූ සහ මූෆ් පෙන්වා දෙන ආකාරයට දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සමාජ සංවිධානයේ ඇති වූ වෙනස්වීම් සහ ඒ ඇසුරින් තහවුරු වූ නව හෙජමොනික සැකැස්ම මෙම ව්‍යාපාරයන් හී නවීනත්වය අපට හමුවන මොහොතයි. එය අපට මූලික කරුණු හතරක් ඇසුරින් පෙන්වා දිය හැකිය. ඒ තමයි, ආර්ථිකයේ වූ වෙනස්කම් හා ඒ සමග නැග ආ පරිභෝජනවාදය; රාජ්‍යයේ ඇති වූ වෙනස්කම් සහ ඒ සමග නව නිලධාරී තන්ත්‍රයක නැග ඒම; ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී දෘස්තිවාදයේ ඇති වූ පරිවර්තනයන් හා ඒ සමග ‘පුරවැසියා’ වැනි නව දේශපාලන ප්‍රවර්ග බිහිවීම; සහ තාක්ෂණයේ ඇති වූ වෙනස්කම් හා ඒ සමග ආ නව අනන්‍යතා දේශපාලනය.

ආර්ථික තලය තුළ මෙහි මූලික ආකෘතිය ලෙස අපට ෆෝඩ්වාදය (Fordism) නමින් හැඳින්වෙන නිෂ්පාදන සංවිධාන වීම පෙන්වා දිය හැකිය. අපගේ අවශ්‍යතාවයට සරිලන ලෙස මෙය සරල කළහොත් මේ මගින් කියවෙන්නේ නවීන යන්ත්‍රෝපකරණ සහිත කර්මාන්ත ශාලා වල මහා පරිමාණයෙන් පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය වීම නිසා ශ්‍රම සංවිධානය තුළ මෙන්ම පරිභෝජනය තුළත් සිදු වූ වෙනස්කම් වෙයි. ‘කර්මාන්ත ශාලාවක්’ කියා ප්‍රකාශ කරනා විට සාමාන්‍යයෙන් අපේ සිහියට නැගෙනා රූපය කුමක් වැනි එකක්ද? බොහෝ විට එය මෙවැනි එකක් විය හැකිය: ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වන බෙල්ට් එකක් දිගේ එකම ආකාරයේ භාණ්ඩ, එකකට පසු එකක් ලෙස ගමන් කරයි, එහි විවිධ තැන් වල සිටිනා ශ්‍රමිකයන් ඒවා ට එක එක දේ එකතු කරයි; සමහරුන් එයට කිසියම් ද්‍රාවණයක ඔබා නැවතත් තබයි, තවත් සමහරුන් එයට කිසියම් කොටසක් සවි කරයි… කර්මාන්ත ශාලාවක් කියූ සැනින් අපගේ ඔලුවට නැගෙනා මෙම පරිකල්පනය ආරම්භ වන්නේ හෙන්රි ෆෝඩ් නම් ඇමරිකානු ජාතික මෝටර් රථ නිෂ්පාදකයා සමගයි. මේ මගින් විසි වෙනි සියවස තුළ නිෂ්පාදනය විශාල වීමත්, ශ්‍රම බලකාය තුළ නුපුහුණු ශ්‍රමිකයන් ගේ භූමිකාව විශාල කිරීමටත් කේන්ද්‍රීය දායකත්වයක් සපයන ලදියි. එපමණක් නොවේ, අපේ ජීවිතයට සත්‍ය වශයෙන්ම අවශ්‍ය නොවන නමුත් වර්තමානයේ සිට බලන විට අතිශය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනා විවිධ කුඩා භාණ්ඩ නිෂ්පාදනය කිරීම, ඒවා සඳහා ඉල්ලුමක් ඇති කිරීම ආදිය සිදු වුනේ මෙම ෆෝඩ්වාදය මගින් උත්පාද වූ ශ්‍රමිකයා/පාරිභෝගිකයා නිසාය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට පුද්ගලයන් ප්‍රාග්ධනයට යටත් වන්නේ ශ්‍රම ශක්තිය විකුණනා මිනිසෙක් ලෙස පමණක් නොවේ. අපගේ මුළුමහත් ජීවිතයම පාහේ ප්‍රාග්ධනයට යටත් වී තිබේ. අපේ විනෝදකාලය, ලෙඩ රෝග, අධ්‍යාපනය, ලිංගිකත්වය ආදියේ සිට මරණය දක්වා සියලුම දේ ප්‍රාග්ධනයේ සමාජ සම්බන්ධයට ඇතුලත් වී තිබේ. නමුත් මෙයින් අදහස් කරන්නේ අප තවදුරටත් සියලු දෘෂ්ඨිවාදයන් වලින් ගැලවී, මතවාදයක් නැති නිකන්ම නිකන් කන, බොන, රමණය කරන මිනිසුන් වී තිබෙනා බව නොවේ. ඉතා පැහැදිළිව, ධනවාදයේ ඇති මෙම සර්වාධිකාරී බලයට අභියෝග කරනා නව දේශපාලන ප්‍රතිරෝධයන් ජනනය වී තිබේ. ධනවාදය මගින් පරිසරයට සිදු වන විනාශයට එරෙහි පරිසර ව්‍යාපාරය උත්පාද වූයේ මෙම නව තත්වය නිසාය. නව නගර බිහි වීමේදී නිවාස අහිමි වන මිනිසුන්, සිය සම්ප්‍රදායික ජීවනෝපායන් අහිමි වන මිනිසුන් ආදී ලෙස නව නාගරික අරගල උත්පාද වී තිබේ. අද වන විට අධ්‍යාපනය ධනවාදයේ මෙම පූර්ණ ආධිපත්‍යයෙන් රැක ගැනීම සඳහා විශාල අරගලයක් තිබෙනා බව අපි දනිමු.

විසිවෙනි සියවසේ මැද භාගයේ ඇති වූ තවත් වැදගත් දේශපාලනික වර්ධනයක් වන්නේ කෙයින්සියානු සුභ සාධන රාජ්‍යය මොඩලයයි. සමස්තයක් වශයෙන් ගත්විට මෙම මොඩලයේ දේශපාලනික ප්‍රතිවිපාක යහපත් ඒවා මෙන්ම අයහපත් ඒවා ද වන බව කිව හැකිය. එක අතකින් ධනවාදයේ නව සමුච්චකරණ මාදිලීන් සඳහා අවශ්‍ය ස්ථාවර බව ලබා දුන්නේ මේ දේශපාලන ආකෘතිය මගිනි. නමුත්, අනෙක් අතට, මේ මගින් වැඩකරන ජනයාගේ අරගල මගින් ඉල්ලා සිටි යම් යම් අයිතිවාසිකම් – අවම මූලික වැටුප, වැඩ කරන පැය ගණන සීමිත වීම, රැකියා විරහිත අයට ලැබුණු ආධාර, ආදිය – ලබා ගැනීමට අවස්ථාව ලබා දුන්නෙහිය. ලැක්ලාවූ සහ මූෆ් මෙහිදී විශේෂයෙන් උනන්දු වන්නේ මෙම ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ නව සමාජ සම්බන්ධතා සහ ඒවා මගින් බිහි වූ නව දේශපාලනික පසමිතුරුතාවයන් මොනවාද යන්න පෙන්වා දීමටයි.

රාජ්‍යය මගින් සමාජයේ සුභ සාධනමය මැදිහත්වීම් සිදු කිරීම යනු විශාල නිලධාරී තන්ත්‍රයක් නිර්මාණය වීමයි. එවිට, එක අතකින් මේ නිලධාරී තන්ත්‍රය සහ මහජනයා අතර ඇති වන ගැටුම් මෙන්ම අනෙක් අතින් මෙලෙස රාජ්‍යය මගින් ලබා දෙන සුභ සාධනය අකණ්ඩව තබා ගැනීම සඳහා කෙරෙනා අරගලද නිර්මාණය වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ‘පුරවැසියා’ යන අදහසේ නව පරිවර්තනයක් ඇති වී තිබේ. පුරවැසියා යනු තවදුරටත් නිෂ්ක්‍රීය වර්ගීකරණයක් පමණක් නොවේ. පුරවැසි අයිතිවාසිකම් දිනාගැනීම, ඒවා වෙනුවෙන් සංවිධානය වීම ආදිය අපට මෙම සමාජ සැකැස්ම තුළ ඇති වී තිබෙන නව දේශපාලන පසමිතුරුතාවයන් සහ අරගල ලෙස තේරුම් ගත හැකි වේ. ලැක්ලාවූ සහ මූෆ් පවසන පරිදි මෙලෙස අයිතිවාසිකම් පිළිබඳ අදහස පුළුල් වීමත් සමග ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව මුළුමනින් වෙනස්වී තිබේ.

සමාජය පාරිභෝගිකකරණය වීම, නව නිලධාරී තන්ත්‍රයක් පැන නැගීම සහ ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ඨිවාදය යළි අර්ථකථනය වීම යන මෙම මූලික වෙනස්කම් – සහ ඒ හා සම්බන්ධ නව දේශපාලන අරගල – වලට අමතරව තවත්, සිව්වැනි, වර්ධනයක් ද සලකුණු කළ යුතු වේ. ඒ තමයි සන්නිවේදන තාක්ෂණයේ ඇති වූ වර්ධනයන් සමග නව අනන්‍යතා දේශපාලනයේ ඇති වූ වර්ධනය. අන්තර්-පුද්ගල සම්බන්ධතා පහසු කරනා තාක්ෂණික වර්ධනයන් යනු සම්ප්‍රදායික සමාජයෙන් ආන්තිකකරණය වී සිටිනා පුද්ගල අනන්‍යතාවයන් – තරුණයන්, කළු ජාතිකයන්, සමලිංගිකයන්, සංක්‍රාන්තිලිංගිකයන් ආදී – හට එකතු වීමට, සංවිධානය වීමට, පොදු අවකාශ ගොඩ නැගීමට වැඩි අවස්ථාවන් ලැබෙනා බවයි. මෙයින් අදහස් කරන්නේ මෙම තාක්ෂණයේ වර්ධනයන් අනිවාර්යයෙන්ම මේ ආකාරයේ අනන්‍යතා දේශපාලනයේ ප්‍රගතිය වෙනුවෙන් පමණක් සේවය කරනා බව නොවේ. මෙම නව තාක්ෂණයන් සෑම විටම ප්‍රග්ධනයේ සමුච්චනය වඩා කාර්යක්ෂම කිරීමට, එහි ආධිපත්‍යය වඩා වර්ධනය කිරීමට දායක වෙයි. නමුත් අනෙක් අතට ඒවා මගින් මේ ආකාරයේ නව පීඩිත සමාජ කුලක සඳහා එකතු වීමට මෙන්ම, පැරණි සමාජ තත්වයන් ප්‍රශ්න කිරීමට ඉඩ ලබා දෙන බව පැහැදිළි වෙයි. වෙළඳපොල ඉදිරියේ පාරිභෝගිකයන් ලෙස තිබෙනා සමානකම සමාජයේ අනෙකුත් අවකාශයන් තුළ තිබෙනා අසමානතාවයන් ට එරෙහිව යොදා ගැනීමට හැකි වීම මෙම නව තත්වයේ ඇති සාධනීය වර්ධනයක් ලෙස සැලකිය හැකි වේ.

අවසාන විග්‍රහයේදී මේ සෑම අරගලයක් තුළම අපට හෙජමොනික අරගලයක තිබෙනා මූලික ලක්ෂණ හඳුනා ගත හැකි වේ. ඒවා මගින් සෑම විටම සිදු කරන්නේ සමාජ අනන්‍යතාවයක් නිර්මාණය කිරීමයි. එම අනන්‍යතාවය නිර්මාණය වන්නේ විවිධ පසුබිම් වලින් එන සංඝටක වල එකතුවකිනි – ඒවා මගින් උත්පාද වන තුල්‍යතාවයන් ගේ දාමයක් මගිනි. ඒ හරහා තවත් සංඝටක ප්‍රමාණයක් බහිශ්කරණය කරන අතර, මෙලෙස බහිශ්කරණය වූ අනේකත්වය ට එරෙහිව මේ නව සමාජ අනන්‍යතාවය ගොඩ නැගේ. මේ සියල්ල මගින් අවසානයේදී සිදු වන්නේ සමාජ අවකාශය දෙකට බෙදීමයි. එසේත් නැතිනම්, වඩාත් සරල ලෙස, පසමිතුරු කණ්ඩායම් දෙකක් අතර බෙදී යාමයි.

ලැක්ලාවූ සහ මූෆ් මතක් කරනා ලෙස මේ මගින් අදහස් කරන්නේ වමේ දේශපාලනය විසින් මෙම අරගල වලට නායකත්වය දෙනවා යන්න හෝ ඒ මගින් මෙම අරගල අවශෝෂණය කරගෙන තිබෙනා බව නොවේ. සාමාන්‍යයෙන් වන්නේ මෙම අරගල ලිබරල් අරගල ලෙස නාමකරණය කරමින් එය ප්‍රතික්ෂේප කිරීමයි. නමුත් මේ මගින් මෙම අරගල දක්ෂිණාංශික කතිකාවක් මගින් එකට එකතු කිරීමේ අවධානමට අප මුහුණ දිය යුතුය.

***

Advertisements