yelena-popova-hortongallery002511

මාටින් හෛඩගර් ගේ නට්සිවාදය පිළිබඳව මුහුණු පොතේ සහ වෙනත් සමාජ මාධ්‍ය වල තරමක කතාබහක් ඇතිව තිබේ. මේ සම්බන්ධයෙන් යමක් පැවසීම සුදුසු වන්නේ ‘බව’ බ්ලොග් අඩවියට සම්බන්ධ පිරිස, තවත් අය සමග එකතු වී හෛඩගර් ගේ Being and Time කෘතිය සාමූහිකව කියවීමේ ක්‍රියාකාරකමක නිරතව සිටිනා නිසාය. විශේෂයෙන්ම, හෛඩගර් සම්බන්ධයෙන් මෙලෙස ඇති වී තිබෙන කතා බහට සම්බන්ධ සමහර දෙනෙක්, අපගේ මෙම සාමූහික අධ්‍යනය පිළිබඳව සංවේදී බව පෙනී යන හෙයින් මේ සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කර සිටීම වැදගත් කියා අපි සිතමු.

මෙහිදී පැහැදිළි කළ යුතු මූලික කරුණක් තිබේ. සාමාන්‍යයෙන් මෙරට යම් යම් බුද්ධිමය සම්ප්‍රදායන් සංවාදයට ගැනීමේ මූලික ආකෘතිය අයත් වන්නේ ‘දර්ශනයට’ නොව ‘ආගමටයි’. වෙනත් ආකාරයකට කියන්නේනම්, එම සංවාද බොහෝ වෙලාට අප වෙත ඉදිරිපත් වන්නේ අපව ගලවා ගැනීම සඳහා, මානව විමුක්තිය සඳහා තිබෙනා වඩාත් වැදගත් අදහස් පද්ධතිය ලෙසයි. මේ ආකාරයට අදහස් සංවාදයට ගැනීමේ සුසමාදර්ශී ආකෘතිය ලෙස ‘මහින්දාගමනය’ ලෙස හැඳින්වෙන ඉතිහාස කතාන්දරය හඳුනා ගත හැක. බොහෝ දෙනෙක් හොඳින් දන්නා මේ කතාන්දරයට අනුව මිහිඳු රහතන් වහන්සේ (‘රහතන් වහන්සේ’ යන යෙදුම මෙහි දී භාවිතා කර තිබෙන්නේ ආගමික භක්තිකයන් අපහසුතාවයට පත් කිරීමට අප අකමැති නිසා මිස එයින් හැඟවෙන අර්ථය අප පිළිගන්නා නිසා නොවන බව සලකන්න) ලංකාවට පැමිණ කියා සිටින්නේ දේවානම් පියතිස්ස රජු සඳහා අනුකම්පා කර, ඔහු ඇතුළු ඔහුගේ පාලනයට යටත් ප්‍රදේශයේ සිටිනා අනෙක් මිනිසුන් දුකින් මුදවා ගැනීම සඳහා මෙරටට පැමිණි බවයි.

දර්ශනය ඉගෙන ගැනීමේ ඓතිහාසික සම්ප්‍රදායක් නොමැති මේ රට තුළ දර්ශනවාදයන් හඳුනා ගැනීම සඳහා තිබෙන මූලික ආකෘතිය වන්නේ මෙයයි. එයට අනුව දර්ශනය ඉගෙන ගන්නවා යනු අපගේ විමුක්තිය අපට ලබා දෙන මාර්ගය මේ වන විටත් දන්නා කෙනෙක් ගෙන් එය අසා දැනගෙන වික්මුක්තිය ලබා ගැනීමයි. එසේත් නැතිනම්, මේ වනවිටත් එම විමුක්ති මාර්ගය ලියවී ඇති පොතකින් එය කියවා බලා ඉගෙන ගැනීමයි.

නමුත්, සත්‍ය වශයෙන්ම, දර්ශනය යනුවෙන් අදහස් කරනා දේ හඳුනා ගැනීමේ පහසු ක්‍රමවේදයක් වන්නේ මෙම ආකෘතියේ ප්‍රතිපක්ෂය කුමක්ද කියා සිතා බැලීමයි. ඒ තමයි අපට විමුක්තිය දෙන අදහස් පද්ධතියක් හෝ චින්තකයෙක් හෝ පිළිබඳව විශ්වාස කරනවා වෙනුවට එය අපගේම තෝරා ගැනීමක්, නිර්මාණයක්, ගොඩ නැගිය යුතු දෙයක් ලෙස හඳුනා ගැනීම. ‘දර්ශනය’ ඉගෙන ගැනීම යනු ‘දර්ශනයේ ඉතිහාසය’ ඉගෙන ගැනීම බවට පත්වන්නේ එම නිසාය. ඔබට දර්ශනය ඉගෙන ගැනීමට අවශ්‍යනම් – අවම වශයෙන් – එහි මහා සම්ප්‍රදායට අයත් වන ප්‍රධාන චින්තකයන් ගේ මුල් කෘති අධ්‍යනය කළ යුතුය. එම අධ්‍යනය තුළ ඔබ විසින් ඔබගේම වූ ප්‍රශ්නය, ඔබගේම ජීවිතයේ පර්යේෂණ උනන්දුව, ඔබ පොර බැදීමට ආශා කරනා ගැටලුව සොයා ගත යුතු වේ. බදියූ වරක් ලස්සනට ලියා තැබූ ලෙස, ඔබ උත්සාහ කළ යුත්තේ තමන්ගේම පැවැත්ම නම් වූ මාංශයේ ගැඹුරට කිඳා බැස ඇති කුමන ආකාරයේ කටුවක් ඔබ විසින් ගලවා ඇද ඉවත් කරන්නේද යන්න විමසා බැලීමටයි. ඔබ විසින් ප්ලේටෝ, ඇරිස්ටෝට්ල්, ඩෙකාට්, ස්පිනෝසා, ලයිබ්නීට්ස්, ලොක්, බාක්ලී, හියුම්, කාන්ට්, හේගල්, නීට්ෂේ ආදී ලෙස නිම නොවන බුද්ධි ගවේෂණයක නිරත වන්නේ මෙම ප්‍රශ්නය, තමන්ගේම වූ ප්‍රශ්නය, තමන්ගේම පැවැත්ම තුළට කිඳා බැස ඇති කටුව, සොයා ගැනීමටයි.

මාටින් හෛඩගර් යනු, ඉතා පැහැදිළිව, මෙම සම්ප්‍රදායේ සිටිනා විසිවෙනි සියවසේ සුවිශාල සෙවනැල්ල වේ. හෛඩගර් පිළිබඳව අධ්‍යයන සංවාදයක් ‘බව’ බ්ලොග් අඩවියට සම්බන්ධ අය සහ තවත් පිරිසක් එකතු වී කලක සිට – මේ වනවිට වසරකට වඩා වැඩි කාලයක් – පවත්වාගෙන යන්නේ මේ නිසාය. අප උනන්දු වන්නේ හෛඩගර් ගේ අදහස් කුමක්ද කියා දැන ගැනීමට, ඒවායේ වලංගුතාවය කුමක්ද කියා මැන බැලීමට මිස මෙරට බුද්ධිමය අශ්ව රේස් එකේ ජයග්‍රාහී අශ්වයා ලෙස හෛඩගර් හට ඔට්ටු ඇල්ලීමට නොවේ (මෙම රූපකය සඳහා අප මිත්‍ර විදර්ශන කන්නන්ගර ට ණය ගැති වෙමු). ‘හොඳම අශ්වයා’ කවුද කියා විමසමින් චින්තන ව්‍යාපෘති වෙත පැමිණෙන අය එසේ කරන්නේ ‘ආගමික විමුක්තිය ලැබීමේ ආකෘතියෙන්’ මිස ‘දර්ශනය ඉගෙන ගැනීමේ ආකෘතියෙන්’ නොවේ.

අප උත්සාහ කරන්නේ කිසියම් පිළිවෙලකට දර්ශනයේ ඉතිහාසය කියවීමටයි. එය හිමින් කරන, පුංචි වැඩකි. අපට එක චින්තකයෙක් බදා ගැනීමට හෝ ඔසවා තැබීමට හෝ අවශ්‍යතාවයක් නොමැති වේ. හෛඩගර් කියවීමට පෙර අප එකතු වී අධ්‍යයන කළේ රෙනේ ඩෙකාට් ගේ දර්ශනයයි. හෛඩගර් කියවීමෙන් පසුව අප දර්ශනයේ ඉතිහාසයේ තිබෙනා තවත් කඩ ඉමක් අධ්‍යයනය කිරීමට සැලසුම් කර තිබේ. ‘බුදුවරුන්’ හෝ ‘දෙවිවරුන්’ විශ්වාස නොකරනා අප හට මේ කිසිවෙකු කරේ තබාගෙන යාමට වුවමනා නොවේ.

එනිසා, අපට හෛඩගර් ව ආරක්ෂා කිරීමට මොනයම් ආකාරයක හෝ අවශ්‍යතාවයක් නොමැත. කෙනෙකුට, හෛඩගර් ගේ නට්සි සම්බන්ධය නිසා ඔහුව කියවීමට අපුලක් දැනෙන්නේනම්, ඔහුව ප්‍රතික්ෂේප කළ යුතුය කියා සිතෙන්නේනම්, ඒ සම්බන්ධයෙන් අපගේ කිසිදු විරෝධයක් නොමැති වනවා පමණක් නොව අපි එවැනි කෙනෙක් සමග මුළුමනින් එකඟ වන්නෙමු. හෛඩගර් ගේ ජීවිතයේ මෙම කොටස යනු සාධාරණීකරණය කිරීමට නොහැකි කොටසකි.

මෑතකදී මුහුණු පොතේ දමා තිබූ සටහනකින් හෛඩගර් ගේ මෙම නට්සි සම්බන්ධය පිළිබඳව ප්‍රශ්නය නගා තිබුණි. එම ප්‍රශ්න විචාරකයාට අනුව හෛඩගර් විසින් නට්සීන් ගේ යුදෙව් සංහාරය ඉදිරියේ මුනිවත රකිණු ලැබීම මගින් ඔහුගේ බුද්ධිමය අක්ත පත්‍රය පලුදු වී යයි. මේ සඳහා නිදර්ශන ලෙස ඔහු ගෙන හැර දක්වා තිබුනේ වික්ටර් ෆ්‍රෑන්කල් නම් යුදෙව් මනෝවිද්‍යාඥයාගේ පවුල ම ඝාතණය වීම සහ ෆ්‍රොයිඩ් බේරා ගැනීම සඳහා ඩෙන්මාක් කුමාරිකාවක් කළ මැදිහත්වීම නොවන්නට, ෆ්‍රොයිඩ් ද නට්සීන් අතින් මිය යාමයි.

සත්‍ය වශයෙන්ම, හෛඩගර් ගේ නට්සි සම්බන්ධය පිළිබඳව ගෙන හැර දැක්විය හැකි වඩාත් භයානක නිදර්ශන වන්නේ මේවා නොවේ. මෙයට වඩා බොහෝ බරපතල සාක්ෂි මේ සම්බන්ධයෙන් ලබා දිය හැකිය. හෛඩගර් ගේ ගුරුවරයා වන එඩ්මන්ඩ් හුසල්, යුදෙව්වෙක් වීම නිසා, සිය රැකියාව අහිමි කරගන්නා විට හෛඩගර් ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් කළේ නැත. හුසල් ගේ සහායකයා ලෙස හෛඩගර් පත්වීමට පෙර, එම තනතුර හෙබවූ එඩිත් ස්ටයින් (පසුකාලීනව ඇය තෙරේසා බෙනඩික්ටා ලෙස කතෝලික පූජකවරියක් විය) 1941 දී අත්අඩංගුවට පත්ව අවුශ්විට්ස් වළදී ඝාතණය කරනු ලබයි. හුසල් මිය ගිය පසු ඔහුගේ මරණ ගෙදර ට යාම හෛඩගර් මග හැර සිටියි. ඔහුගේ ම ශිෂ්‍යයන් වන ඉමානුවෙල් ලෙවිනාස් වැනි අය නට්සි සිර කඳවුරු වල ගාල් කර දමයි. මේ සියල්ල සිදු වන්නේ හෛඩගර් ගේ දෑස ඉදිරියේය.

එපමණක් නොවේ. හෛඩගර් ඔහුගේ මේ ජීවිතයේ අඳුරු කාල පරිච්චේදය පිළිබඳව පසුකාලීනව කියා ඇති කතා සියල්ල සත්‍ය නොවන බව ද මේ වන විට අපි දනිමු. නිදර්ශනයක් ලෙස ඔහු හිට්ලර් ගේ Mein Kampf (‘මගේ අරගලය’) පොත කියවා නොමැති බව කියා සිටියත්, එම කෘතියේ පිටපතක් ඔහුගේ සහෝදරයාට 1931 වසරේදී තෑගී වශයෙන් යවා ඇති බවත්, එම පොත කියවන ලෙස ඔහු සිය සහෝදරයාගෙන් ඉල්ලා තිබෙන බවත් මේ වන විට හෙළිදරව් වී තිබේ. එම ලිපිය තුළ හෛඩගර් විසින් හිට්ලර් ව හඳුන්වා තිබෙන්නේ විස්මයජනක සහ අප්‍රතිහත දේශපාලන දැක්මක් සහිත නායකයෙකු ලෙසිනි. මේ සියල්ලට වඩා මෑතක දී ඉංග්‍රීසි පරිවර්තන වලින් ප්‍රකාශයට පත් වූ ඔහුගේ පුද්ගලික සටහන් පොත්වල (‘Black Notebooks 1931-1938’) ඉතා පැහැදිළි යුදෙව්-විරෝධී, ජාතිවාදී ප්‍රකාශ ඔහුගේ දර්ශනය සමග කොතරම් සමීප ලෙස ගැට ගැසී ඇතිද කියා හඳුනා ගත හැකි වේ.

සිහි බුද්ධිය ඇති කිසිවෙක් හෛඩගර් ගේ මෙම බිහිසුණු ඉතිහාසය අනුමත නොකරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙය විශේෂයෙන් සඳහන් කළ යුත්තේ අරුණි ශපීරෝ නම් ජනප්‍රිය බ්ලොග් ලේඛිකාව මේ සම්බන්ධයෙන් කියා ඇති කරුණක් නිසාය. ඇය කියා ඇති ආකාරයට හෛඩගර් ‘නට්සි නෙමෙයි කියන බොරුව පවත්වාගෙන යන්න ජාක් ඩෙරීඩා ඇතුළු විද්වතුන් කණ්ඩායමක් ඔවුන් මිය යනතුරුම කටයුතු කර තිබෙනවා’.

අන්තර්ජාලය කියන්නේ කිසිදු වාරණයකින් හෝ සොයා බැලීමකින් හෝ තොරව ඕනෑම දෙයක් ලියා තැබීමට ඉඩක් තිබෙනා තැනකි. මෙහි යහපත් ප්‍රතිඵල මෙන්ම අයහපත් ප්‍රතිඵලද තිබේ. අරුණි ශපීරෝ හෛඩගර් ගැන කිසි දෙයක් ගැඹුරින් අවබෝධ කරගෙන නොමැති බව ඇයගේ එම සටහන කියවන විට පැහැදිළි වේ. අපි එක නිදර්ශනයක් පමණක් පරීක්ෂා කර බලමු.

ඇයට කියනා ආකාරයට ‘ඩාසයින් (Dasein) යන ජර්මන් වචනයෙන් හෛඩගර් කියන්නේ පැවැත්මෙහි අර්ථය හඳුනා ගන්න අපිට ඒ ගැන අහන එකෙන්ම පමණක් හැකියාව තියෙනවා’ යන්නයි. හෛඩගර් ගැන ඉතාම අවම මට්ටමේ දැනුමක් තිබෙනා කෙනෙකුට වුවත් මෙය හතරබීරි වැල් වටරාමක් බව වටහා ගැනීමට හැකි වේ.

ඩාසයින් කියන වචනයේ අර්ථය ‘ඔතන’ (ජර්මන් වචනය ‘Da’) ‘පැවැත්ම’ (ජර්මන් වචනය ‘Sein’) යන්නයි. ‘මිනිසා’, ‘ආත්මය’, ‘පුද්ගලයා’ වැනි වචන වෙනුවට හෛඩගර් මේ වචනය යෝජනා කරන්නේ එමගින් වෙනත් අතිරේක අර්ථ ජනනය නොකරන නිසාය. හෛඩගර් යෝජනා කරන්නේ අපි ‘ඔන්න ඔතන තිබෙන පැවැත්ම’ මොකද්ද කියන ප්‍රශ්නෙන් පටන් ගනිමු යන්නයි. නමුත් ශපීරෝ ගේ ඉහත ප්‍රකාශයේ ඇති ඉතාම ගැටලුකාරී ලක්ෂ්‍යය වන්නේ ඇය ඩාසයින් යන්න නිර්වචනය කිරීමට අපොහොසත් වීම නොවේ. එම ලක්ෂ්‍යය අපට හමු වන්නේ ඇයගේ එම ප්‍රකාශයේ අවසන් කොටස තුළයි. ඇය කියා සිටින ආකාරයට පැවැත්මෙහි අර්ථය හඳුනා ගන්න අපිට ඒ ගැන අහන එකෙන් පමණක් හැකියාවක් ලැබෙයි. එය එසේ වන්නේ කෙසේද? එසේ වනවානම් හෛඩගර් ගේ පර්යේෂණය එතැනින්ම අවසන් විය යුතු වේ. හෛඩගර් ගේ ව්‍යාපෘතිය හඳුන්වා දිය හැකි පහසුම ක්‍රමය වන්නේ ‘පැවැත්ම යනු කුමක්ද’ කියනා ප්‍රශ්නයට පිළිතුරක් නිර්මාණය කිරීමේ කොන්දේසි විමසා බැලීම යන්නයි. දැන්, පැවැත්ම ගැන අහන එකෙන්ම, පැවැත්මේ අර්ථය කුමක්ද කියා අවබෝධ වනවානම් මෙවැනි විමසා බැලීමක් කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත.

Being and Time කෘතියේ හැඳින්වීම හෝ කියවපු කෙනෙක් හට අවබෝධ කරගත හැකි වන පරිදි මේ මගින් එවැනි පිළිතුරක් නොලැබෙනවා පමණක් නොව මෙම ප්‍රශ්නය පවා සූත්‍රගත කිරීම ඉතාම අපහසු වෙයි. නිදර්ශනයක් ලෙස අපි එම ප්‍රශ්නය ‘පැවැත්ම යනු කුමක්ද’ යන ආකෘතියෙන් ලියා තැබීම සහ ‘පැවැත්ම යනු කවුද’ යන ආකෘතියෙන් ලියා තැබීම අතර වෙනසක් තිබේ. ‘කුමක්ද’ යන ආකෘතියෙන් අප හඳුන්වා දෙන්නේ එක පැවැත්මේ මාදිලියක් වන අතර ‘කවුද’ යන ආකෘතියෙන් අප හඳුන්වන්නේ වෙනත් පැවැත්මේ මාදිලියකි. ඒ අතරින් අප එක මාදිලියකින් මෙම ප්‍රශ්නය සූත්‍රගත කිරීම කලින් තීරණය කරන්නේ කෙසේද?

ශපීරෝට හෛඩගර් සම්බන්ධයෙන් නිශ්චිත අවබෝධයක් නොමැති බව ඇයගේ මේ සටහනේ තිබෙනා මෙවැනි අර්ථ විරහිත වැල් වටාරම් මගින් තවත් පෙන්වා දිය හැකිය. නමුත් හෛඩගර් ගේ දර්ශනය අර්ථකථනය කිරීම සඳහා සංවාදයක් කළ හැකි වන්නේ ඒ ගැන ප්‍රමාණාත්මක අවබෝධයක් තිබෙනා අය සමග මිස හිතළු සහ වැල් වටාරම් ලියනා අය සමග නොවේ. එනිසා අපි ඒ සඳහා කාලය නාස්ති කිරීම නවත්වමු.

කෙසේ වුවත් ඩෙරීඩා ඇතුළු පිරිසක් හෛඩගර් ගේ මේ නට්සි සම්බන්ධය ඔවුන් මිය යන තුරු සඟවා සිටියා කියන ඇදහිය නොහැකි බොරුව ගැන එක කරුණක් කිව යුතුය. හෛඩගර් ගේ නට්සි සම්බන්ධය යනු කිසිවෙකු නොදැන සිටි සහ ‘ඩෙරීඩා ඇතුළු විද්වතුන් පිරිසක්’ හොර රහසේ ආරක්ෂා කළ රහසක් නොව මුළු ලෝකය ම හොඳින් දැන සිටි කරුණකි. දෙවැනි ලෝක යුද්ධය අවසානයේ දී විශ්වවිද්‍යාල ‘නට්සිහරණය’ කිරීම (denazification) වෙනුවෙන් පත්වූ කොමිෂන් සභාවක් විසින් හෛඩගර් හට විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම ද තහනම් කෙරේ. ඔහුගේ පුතුන් දෙදෙනා ස්ටාලින් ගේ අත්අඩංගුවට පත්වේ. හෛඩගර් ගේ නට්සි චෝදනවා 1950 වන විටත් – ඩෙරීඩා කරළියට ඒමට බොහෝ පෙර – දරුණු ලෙස එල්ල වෙමින් තිබුණු එකකි. මේ සම්බන්ධය පිළිබඳව තව තව තොරතුරු හෙළිදරව් වූයේ පසුව වුවත්, හෛඩගර් නට්සි පක්ෂයේ සාමාජිකයෙක් වූ බව, ඔහු නට්සී පක්ෂයේ තනතුරු හෙබවූ බව ආදිය කිසිදා රහසක් වූයේ නැත – එය රහසක් කරගැනීමට ද නොහැකි වේ (මේ පිළිබඳව අවබෝධයක් ගැනීමට Dominique Janicaud ගේ ‘Heidegger in France’ නම් විශිෂ්ට ඉතිහාස ග්‍රන්ථය කියවන්න).

නමුත් ඉතාම කණගාටුදායක සත්‍යය වන්නේ මෙම ‘නරක මිනිසා’ පිළිබඳව පැහැදිළි අවබෝධයකින් තොරව ඔබට සමකාලීන ලෝකයේ බැරෑරුම් චින්තන ව්‍යාපෘති කිසිවක් අවබෝධ කරගත නොහැකි බවයි. හෛඩගර් ගැන අධිකරණ තීන්දු ලබා දීමට පෙර අප ඉල්ලා සිටින්නේ කරුණාකර ඔහුගේ ලියවිල්ලක් මහන්සි වී කියවා බලන්න යන්නයි. හෛඩගර් ගැන වටෙන් ගොඩෙන්, විකිපීඩියා වලින්, වෙනත් අය හෛඩගර් ගැන කියා ලියා ඇති වැල් වටාරම් වලින් නොව, හෛඩගර් ම ලියා ඇති දෙයින් හෛඩගර් ගේ අදහස් පරීක්ෂා කර බලන්න.

මේ සඳහා අප කියනා දෙය විශ්වාස කිරීමට ඔබට නොහැකිනම්, මේ සියළු ‘රහස්’ හෙළිදරව් වීමෙන් පසුව, ගිය සතියේ සතියේ බදාදා – එනම්, 2017 මාර්තු 1 දා – ග්‍රැහැම් හාමන් සමග ප්‍රසිද්ධ සංවාදයකදී ස්ලාවෝයි ජිජැක් කියා සිටි මේ ප්‍රකාශය අසන්න. සම්ප්‍රදායික හේගලියානුවන් අතර හෛඩගර් සම්බන්ධයෙන් තිබෙනා අර්ථ කථනය වන්නේ ඔහු නව-කාන්ටියානුවෙක්, අනුභූතිඋත්තරවාදයට නැවත ඇදවැටුනු චින්තකයෙක් යන්නයි. මෙවැනි සන්දර්භයක සිට, හේගලියානුවෙක් ලෙස, ජිජැක් හට හෛඩගර් සමග ඇති සම්බන්ධය කුමක්ද කියා හාමන් විමසා සිටි විට ජිජැක් එයට ලබා දෙන පිළිතුර වන්නේ මෙයයි:

‘It is much more complex than that. No matter how we hate him politically, unfortunately, he is the real thing. He is one of the great philosophers.’

‘ඒක ඊට වඩා බොහොම සංකීර්ණයි. දේශපාලනිකව අප ඔහුට කොතරම් වෛර කලත්, අවාසනාවකට, ඔහු තමයි නියම වැඩේ! ඔහු ඉතා පැහැදිළිව මහා දාර්ශනිකයන් අතරින් කෙනක්.’

අප කියන්නේ ජිජැක් එලෙස කියනා නිසා එය පිළිගන්න කියා නොවේ. අපේ ඉල්ලීම එයට වඩා ඉතාම සාධාරණ ඉල්ලීමකි. අරුණි ශපීරෝ වැනි සමාජ මාධ්‍යවල හිතළු ලියන අය ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සිට ඉස්ලාමීය අන්තවාදය දක්වා සියල්ල සඳහා හෛඩගර් හට වගකීම පවරන විට, ස්ලාවෝයි ජිජැක් හෛඩගර් ගැන දරන්නේ ඉහත ආකාරයේ මතයකි.

මේ දෙකින් වඩාත් නිවැරදි මතය වන්නේ කුමක්ද කියා ඔබම පරීක්ෂා කර බලන්න!

***

ජිජැක් ගේ ප්‍රකාශය ඇතුලත් සම්පූර්ණ වීඩියෝව

(හාමන් ගේ ප්‍රශ්නය සහ ජිජැක් ගේ මේ ප්‍රකාශය ඇසීමට මෙම වීඩියෝ වේ පැය 1 විනාඩි 5 තත්පර 11 [1: 05: 11] සිට බලන්න. නමුත් අතිශයින් පොහොසත් සහ රසවත් මෙම සංවාදය මුළුමනින් නැරඹීම කාලය අපතේ යැවීමක් වන්නේ නැත!)

Advertisements