Frank Maier - ob_769e3e_img-0013

ගෑස් සිලින්ඩරයක් සහ ස්ත්‍රියක් අතර කිසිදු ආකාරයේ ස්වභාවික සම්බන්ධයක් නොමැති අතර එසේ වුවත් අප සමාජයේ ස්ත්‍රිය යන්න අද දවසේ ගෑස් සිලින්ඩරයක් උත්කර්ශයට නන්වන්නට යොදා ගන්නා රූපකයක් බවට පත් කර ඇත. විශේෂයෙන්ම ඓතිහාසික වශයෙන්ම ස්ත්‍රිය නිවසේ ඌනනය කොට ඇත්තේ මුළුතැන්ගෙය නම් අතිශ්‍ය පටු සහ කුඩා භූමි ප්‍රමාණයටය. එය අපට පැහැදිලි කරගැනීම සඳහා මෑත කාලීන මෙගා ටෙලි වෘත්තාන්ත දෙස අවධානය යොමු කිරීම වැදගත් වනු ඇතැයි සිතමු. කෙසේ වෙතත් මේ දිනවල පාරවල් වල සහ රූපවාහිනියේ විකාශනය වන වෙළඳ දැන්වීමක් අපට මෙම ප්‍රස්තුතය ගැන කතා කිරීමට ප්‍රස්තුතය වී ඇත. එක් ආකාරයකට වෙළඳ දැන්වීම් කලාව ඊනියා ලෙසට ස්ත්‍රී විමුක්තිය  වෙනුවෙන් පෙනී සිටින අතරම ඔවුනගේ නව – ලිබරල් ආර්ථික සිහිනය තුළ ස්ත්‍රියව මුළුතැන්ගෙයට කැඳවා තිබේ. එක්තරා ආකාරයකට මෙම ආකෘතිය අපට වටහා ගැනීමට සිදු වන්නේ නව – ලිබරල් ආර්ථිකය විසින් ස්ත්‍රිය උපකරණයක් බවට පත් කිරීමක් ලෙසටය. එහිදී අපට පෙනෙන්නට තිබෙන්නේ ස්ත්‍රියගේ රූපය අප වෙත ගෙන එන්නේ කොටසින් කොටස බවයි. ඒ අනුව ස්ත්‍රිය යන්න අද දවසේ කැමරාව විසින් කැබලිකරණය කළ යමක් ලෙසට පවතී. මෙම රූප විසින් අප වෙත ගොඩ නඟා ඇත්තේ කුමක් ද? මෙම රූප විසින් කළ දෑ අතීතයේ සාහිත්‍ය සහ විශේෂයෙන් ආගම විසින් සිදු කරනු ලැබ ඇත. එනම් ”ගෙදර බුදුන් අම්මා” වැනි අදහස් නඩත්තු කිරීමෙනි. මේ ආකාරයෙන් අප වෙත සකස්කොට ඇත්තේ ස්ත්‍රිය පිළිබඳව වූ පුරාණෝක්තියකි. නමුත් අද දවසේ එය නව – පුරාණෝක්තියක් නිර්මානය කර ඇති බව රෝලන්ඞ් බාත් ගේ වචන වලින් ලිවිය හැකිය. එනම් මුළුතැන් ගෙය සහ ස්ත්‍රිය අතර තිබූ සම්බන්ධය අද දවසේ අම්මා සහ ගෑස් මතට විතැන් කොට ඇත. මෙහිදී වෙළඳ දැන්වීමේ අපූර්වත්වය වන්නේ එහි සිනමාත්මක බව විසින් අද දවසේ සිනමාවේ තාක්ෂණික ජයග්‍රහණ පවතින්නේ සිනමාවේ නොව වෙළඳ දැන්වීම් වල බව අපට කියා පෑමයි. එසේම පිරිමි දරුවා සිය රැකියාවෙන් අම්මාට ආදරය කියා පෑම සඳහා ගෑස් සිලින්ඩරයක් ගෙන දීම අප සිතනා ආකාරයට අම්මා නම් දෙය සිලින්ඩරකරණය කර ඇත.

විශේෂයෙන් වෙළඳපොළට නිකුත් කරන භාණ්ඩයක ඇති ප්‍රධාන ප්‍රයෝජනය වන්නේම, කිසියම් අදහසක් එහි තාර්කික අවසානය වෙත තල්ලු කරගෙන ගිය විට ඇති වන ප්‍රතිවිපාකයන් මඟින් ජීවිතයට එකතු වන වටිනාකමයි. එහිදී අපට නැවත ඇසිය හැකි ප්‍රශ්නය වන්නේ මේ ආකාරයට වෙළඳපොළ වෙත ගෑස් විකිණීම සඳහා ‘ස්ත්‍රිය‘ නම් සංඥාව අවශ්‍ය වන්නේ ඇයි ද යන්නයි. මෙමඟින් අවසානයක් නොවන හැඟවුම් වෙත අප ගෙන යනු ලබයි. ස්ත්‍රිය, මව, බිරිඳ, විවාහය, කෑම මේසය ආදී වශයෙන් මෙම හැඟවුම් අපට පෙළගැස්සවිය හැකිය. ඒ ආකාරයට ගෑස් සිලින්ඩරයක් විසින් ලබා දෙන පිරිමි හැඟවුම විසින් අවසානයේදී සිදු කර ඇත්තේ මෙම ගෑස් සිලින්ඩර පුරුෂ ලිඟු බවට පත් ව ස්ත්‍රිය කෙරෙහි අනන්‍යතාවයන් නිර්මාණය කර දීමයි. අපගේ කල්පනාවේ හැටියට ස්ත්‍රිය වෙනුවෙන් බලපවත්නා මෙම අනන්‍යතාවය යනුම පුරුෂ මූලික බවේ ඉහළම ආස්ථානයකි.

එක්තරා ආකාරයකට මෙම වෙළඳ දැන්වීම මිත්‍රත්වය දක්වන්නේ ශාන්ත තෝමස්ගේ ස්ත්‍රිය පිළිබඳව අදහස් දාමයටයි. එයට අනුව ස්ත්‍රියක් යනු අසම්පූර්ණ පිරිමියෙකි. අහඹු පැවැත්මක්. ස්ත්‍රියගේ පැවැත්ම තිබෙන්නේ පිරිමියාට සාපේක්ෂවයි. එලෙසින්ම මෙම දැන්වීම් කලාවේ ස්ත්‍රිය පවතින්නේ පිරිමියාට සාපේක්ෂවයි. පිරිමියා ඇයට අවශ්‍ය දෑ රැගෙන දෙයි. ඇය නිතරම ඉන්නේ ගෙදර. වැඩ කරන්නේ පිරිමියා. එසේම බුද්ධිමත් දෑ කරන්නේ පිරිමියායි. ස්ත්‍රිය නිවසේ අලංකරණයන් සිදු කරයි. නමුත් මෙම කතිකාව 90න් පසු විශාල වෙනස්කම් රාශියකට ලක් වූ නමුත් ලංකාවේ තවමත් නගර වල විශාල බිල් බෝඞ් වල ගෑස් සිලින්ඩර ඔසවා ගත් ස්ත්‍රීන් අපට දක්නට ලැබේ.

යම් කිසි ලෙසකට ස්ත්‍රියක් ලෙසට බිහි නොවූවත් ස්ත්‍රිය බවට පත් වීමක් සිදුවන්නේ එක්තරා ආකාරයකට දෘෂ්ටිවාදය නිසාය. ඒ අනුව අපව යම් දෘෂ්ටිවාදයකට යටත් කොට තිබේ. වෙනත්වචන වලින් කියන්නේ නම් අප පෙන්වනු ලබන්නේ අපගේ සැබෑ චර්යාවන් වෙනුවට ව්‍යාජයන්ය. එක්තරා ආකාරයකට කොමියුනිස්ට් අරගලය අපට ස්පාටකස් දක්වා දිගහැරිය හැකි නම් ස්ත්‍රීවාදී අරගලයත් එවැනිම ආකාරයකට දිග හැරිය හැකි වේ. එය කිසි ලෙසකට සිමෝන් දි බොවා ආරම්භ කළ යමක් නොවේ. නමුත් යමෙක් ස්ත්‍රියක් වීම තීරණය කරන්නේ ජීව විද්‍යාවෙන් නොව සමාජයෙන්ය කියනා මූලික තර්කය ගෙන එන්නේ සිමෝන් දි බොවා විසිනි. එක්තරා ආකාරයකට අපට මෙම ගෑස් වෙළඳ දැන්වීම තුළින්ම ස්ත්‍රියගේ ප්‍රශ්නය කුමක් ද යන්න වටහා ගැනීමට හැකියාවක් පවතී.

එනම් මෙම දැන්වීමේ කිසිදු අවස්ථාවක අපට දක්නට නොලැබෙන දේ වන්නේ මේ ස්ත්‍රියට මොකද හිතෙන්නේ කියන දේ, එක්තරා ලෙසකට මෙහිදී ස්ත්‍රිය විසින් ඇයගේ ප්‍රශ්නය මෙහි පළ කළා නම් අපගේ ෆැන්ටසිය ඉබේම කඩා වැටීමට නියමිතය. එක්තරා ලෙසකට එය ආන්දෝලනාත්මක කඩා වැටීමකි. ස්ත්‍රිය වස්තුවක් බවට පත් කොට අප ඒ දෙස බලා සිටි අතර මෙම අවස්ථාවේ ඇය නැවත අප දෙස බලා සිටිනවා. බෝවාගේ ස්ත්‍රීවාදය තේරුම් ගත හැකි සරලම ආකාරයක් ලෙසට මෙම උපකල්පනය අපට ඉදිරිපත් කළ හැකිය.

නමුත් අප වඩාත් ආසක්ත වන ජුඩිත් බට්ලර්ගේ සාකච්ඡාව ලංකාවට වැදගත් වන්නේ මෙම ප්‍රශ්නයයේ සීමාව ජයගැනීම සඳහාය. එම නිසා බට්ලර්ගේ මූලික තර්කය දෙසට අප අවධානය යොමු කළ යුතුය. සම්භාව්‍ය ස්ත්‍රීවාදය තුළ ස්ත්‍රිය ලෙසට යම් අනන්‍යතාවයක් ගොඩනඟන්නේ සමාජය විසින්. එසේ නමුත් එය පදනම් කරගන්නේ පුරුෂ මූලික සමාජයේ  sex  කියනා දෙය මතයි. ඒ අනුව (සරලවම දක්වනවා නම්) බට්ලර් අපගෙන් අහනවා,  sex  කියන දේ ඇත්ත බව දන්නේ කොහොමද කියා. එනම් ජීව විද්‍යාත්මක යමක් සත්‍ය බවට අපගේ උපකල්පන කෙතරම් දුරකට නිවැරදිද යන්න ඇය ප්‍රශ්න කරනවා.

වෙනත් ලෙසකට සටහන් කරනවා නම් බට්ලර් කියන්නේ අද දවසේ අප ස්ත්‍රිය සාරයක් බවට පත් කිරීම අනවශ්‍ය බවයි. ස්ත්‍රිය ක්‍රීඩා කරනවා, ස්ත්‍රියට දර්ශනයක් ගොඩනඟන්න පුළුවන්, ස්ත්‍රිය දේශපාලනය කරනවා. සරලවම කියනවා නම් ස්ත්‍රිය , ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිඳීමටම ඌනනය වීම අනවශ්‍ය වේ ( පෙනී හිඳීම අනවශ්‍ය බව ඉඟි නොවේ) නමුත් ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු වන්නේ සියලූ දෙනාමයි. එක්තරා ආකාරයකට පාර්ලිමේන්තුවේ ආසන ගණනක් විශේෂ කොට ස්ත්‍රීන්ට ලබා දීම තවත් ස්ත්‍රිය ලෙස යමක් ගොඩනැඟීමකි. ඒ තුළින් ඉඟි වන්නේ ස්ත්‍රිය දුර්වලයි. පිරිමි සමඟ එකට ඡන්ද කළ නොහැකි බවයි. මෙම අනුකම්පා මුසු දේශපාලනය ස්ත්‍රියට කිසිදා විමුක්තිය උදා කරන්නේ නැති බව අප වටහා ගත යුතුය.

අප සමාජය ස්ත්‍රී පුරුෂ ලෙසට බෙදා වෙන් කිරීමට අප විරුද්ධ විය යුතු වන අතරම අප වටහා ගත යුතු අන් යමක් ඇත. එනම් ඉන් අපට ව්‍යංගයෙන් ඉඟිවන ස්වභාවික ලෝකය තුළත් sexual difference පවතින බව විශාල පුරුෂ මූලික දෘෂ්ටියක් බවයි. එම නිසා බට්ලර් ස්වභාවිකයි කියා කියන දේ ප්‍රශ්න කරනු ලබනවා. අපට සමාජයෙන් සම්පූර්ණයෙන්ම විනර්මුක්ත වී ස්වභාවිකත්වයට ගොස් නැවත එයින් සම්පූර්ණයෙන්ම මිඳී සමාජයට ඒම කළ නොහැකි අතර එය පරස්පරයකි. එම නිසා ස්වභාවදහම යනුම සංස්කෘතිකයි යන නිගමනයට අපට පැමිණීමට සිදු වේ. ස්වභාවධර්මය සහ සමාජය නම් බෙදීම නිර්මාණය කරන්නේ සමාජය විසින් බව අප මෙහිදී වටහා ගත යුතුය. “අපි ස්වභාවික නොවන දෙය ස්වභාවික ලෙස පෙන්වන්නේ නැහැ”. සොබාවික නොවන දෙය සොබාවික නොවන ලෙස පෙන්විය යුතුයි. ඒක තමයි බට්ලර් කරන්නේ. ඒක විසංයෝජනීය ක්‍රියාවලියක්. ලිංගික වෙනස කියන්නේ ස්වභාවධර්මය නොවේ.   එම නිසා අපට අද දවසේ ජීව විද්‍යාව ප්‍රශ්නකාරීය. ඔලිම්පික් උළෙල වල ස්ත්‍රීන් ඨැබාැර ඔැිඑ අසමත් වී පසුව දරුවන් බිහි කළ අවස්ථා කොතෙකුත් අපට දක්නට ලැබෙනවා. ඒ අනුව අද දවසේ ස්ත්‍රීවාදයේ අභියෝග ලක්ෂ්‍ය අපට හඳුනා ගත හැකිය. එනම් ජීව විද්‍යාව අප විසින් අවිශ්වාස කිරීමයි.

අද දවසේ අපට ස්ත්‍රිය යනුවෙන් සමස්ථයක් ගොඩනගන්න නොහැකිය. . අපේ ලිංගික අනන්‍යතාවය කියන එක සෑම විටම අපේ පන්ති අනන්‍යතාවය, අපේ කුල අනන්‍යතාවය ඒ වගේ අනෙකුත් දේවල් සමග එකට මිශ්‍ර වූවකි. ලංකාවේ ස්ත්‍රිය පිළිබඳ කතිකාව සඳහා බට්ලර්ගේ සාකච්ඡාව අතිශ්‍ය වැදගත් වන්නේ එම නිසාය. ලිංගික අනන්‍යතාව කියන එක සෑම විටම ප්‍රසාංගිකත්වයක්, අවසන් නොවුණු දෙයක් කියන අදහස සහ ස්ත්‍රී ව්‍යාපාරය කියන එක සෑම විටම පන්ති ගැටලු , ජනවාර්ගික ගැටලු , කුල ගැටලු මේ  සියලු ගැටලු අතර තව එකක් බවට පත් වීම. සියලුම ගැටලු එක ගැටලුවක් වීම. එම නිසා ‘ගෙදර බුදුන්‘ ලෙසට කිසිවකු නොමැති බවත්, ගෑස් සිලින්ඩරය අයත් වන්නේ විද්‍යාවට සහ වෙළඳපොළට බවත් අප වටහාගත යුතුය. නමුත් අප ජීව විද්‍යාව පරම ලෙස බාර නොගත යුතුය.

-එරන්ද මහගමගේ-

Advertisements