COR_1113a_ 003

රුසියානු විප්ලවයේ සියවස් සැමරුම සම්බන්ධයෙන් සංවාදයක් කිරීම යනු මේ වන විට සරදම්කාරී සිනහවක් මුවග නැගීමට හේතු විය හැකි කාරණයකි. රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන සමග ‘රුසියානු විප්ලවයේ සියවස් සැමරුම’ සඳහා සංවිධානය වී ඇති රැස්වීමක් පිළිබඳව පෝස්ටරයක් පසුගියදා කොළඹ නගරය පුරා දක්නට ලැබුණු අතර එය සමාජ මාධ්‍ය තුළ උපහාසයට සහ විහිලුවට ලක්වීමේ යුක්තිසහගත දෛවය අත් විඳිමින් තිබේ. මෙම ‘රනිල් සමග රුසියානු විප්ලවය’ සැමරීමේ විකාරසහගත පරස්පරය සහ ඒ මගින් අපට හෙළි කරනා දේශපාලන යථාර්ථය පිළිබඳව මෙයට මාස දෙකකට පමණ පෙර ‘බව’ සටහනක් පළ විය.

එහි අප කියා සිටි ආකාරයට රුසියානු විප්ලවය නම් සිදුවීම මගින් නියෝජනය කළ විමුක්තිකාමී විභවය පිළිබඳව සත්‍ය සංවාදයක් ඇති විය හැක්කේ එම සිදුවීම සහ අපගේ වර්තමානය අතර ඇති ඓතිහාසික කණ්ඩනය පිළිබඳව ඇති වෙන කතා බහකින් පමණි. ‘සැබැවින්ම පැවති සමාජවාදය’ සහ එහි ආරම්භයේ තිබූ මානව විමුක්ති විභවය අතර ඇති වූ පරතරය යනු මෙම කණ්ඩනය පිළිබඳ සංවාදය සඳහා ගත හැකි ඓතිහාසික ප්‍රවේශයකි. සමහරවිට, මෙම පරතරය අපට හෙළිදරව් කළ සුසමාදර්ශී ලක්ෂ්‍යය වූයේ බෝල්ෂෙවික් දේශපාලනය සහ පෙරටුගාමී කලා ව්‍යාපාරය අතර තිබූ සංකීර්ණ, ආතතිගත සම්බන්ධයයි.

මෙම බ්‍රහස්පතින්දා සවස – මාර්තු 16 දා, සවස 3 ට – පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පැවැත්වෙන සංවාදය සඳහා තේමාව ලෙස කලාව සහ දේශපාලනය අතර තිබූ මෙම සම්බන්ධය – සහ විසම්බන්ධය – සලකා බැලීමට තීරණය වූ මූලික හේතුව මෙයයි.

මේ සංවාදය පිළිබඳව ප්‍රායෝගික තොරතුරු ඉදිරි දින කීපයේදී මෙහි පළ කරමු. එයට පෙර, මෙම සටහන ලියවෙන්නේ, එම සංවාදයේ අදහස් දැක්වීමට නියමිත බූපති නලින් වික්‍රමගේ මිතුරාගේ ඉල්ලීමක් වෙනුවෙනි. ඒ තමයි, මෙම යුගයේ සෝවියට් සිනමාවට අදාළ මූලික කෘති කීපයක් නරඹා, එම සංවාදයට සහභාගී වන්න කියන ඉල්ලීම. අප සිතනා ආකාරයටද, යහපත් සංවාදයක් ඇති විය හැක්කේ මෙවන් පසුබිමක් මත සිදුවන කතා බහකින් පමණි. ඒ සඳහා, ආරම්භයක් ලෙස, සර්ජි අයිසන්ස්ටයින් ගේ ‘Strike’ චිත්‍රපටිය නැරඹිය හැකි වීඩියෝවක් පහතින් දැක්වේ.

1925 දී නිර්මාණය වූ මෙම චිත්‍රපටිය අයිසන්ස්ටයින් ගේ පළමු දිගු චිත්‍රපටියයි. මෙහි දැක්වෙන්නේ 1903 වසරේ දී කර්මාන්ත ශාලාවක කම්කරුවන් ගේ වැඩවර්ජනයක් සහ එය මර්ධනය වූ ආකාරයයි. සිනමා ඉතිහාසය තුළ මෙය සම්බන්ධ වන්නේ සමෝදානය (montage) නම් සංස්කරණ රීතිය භාවිතයට ගත් පළමු මොහොතක් ලෙසයි. වැඩ වර්ජනය මර්ධනය කරනා ආකාරය, බැටළුවන් මරා දැමෙනා දර්ශනයක් සමග එකට පෙළ ගැසී තිබෙනා ආකාරය තුළ ඔබට මෙය දැක ගත හැකිය. අයිසන්ස්ටයින් ගේ Montage of Attraction නම් රචනය ලියවෙන්නේ ද මෙම චිත්‍රපටියේ නිෂ්පාදනය අතරතුර වේ.

ඉරිදා සන්ධ්‍යාවේ, මෙම ඓතිහාසික සිනමා මංසන්ධිය වෙනුවෙන්, ඔබේ ජීවිතයේ පැයකට තරමක් වැඩි කාලයක් ලබා දෙන්න. ‘ඉරිදා සන්ධ්‍යාව’ යනුම ධනේශ්වර වැඩ සතියේ කාලක්‍රමික ලක්ෂ්‍යයකි. එහි අරමුණ වන්නේ ඊළඟ සතියේ දින හයක්, ඔබගේ ශ්‍රම ශක්තිය අළෙවි කිරීමට හැකි වන මානසික අල්ලස ඔබට ලබා දීමයි. අනෙක් අතට, ‘වැඩ වර්ජනය’ යනු, අක්‍රීයත්වයේ සහ සක්‍රීයත්වයේ වියනොහැකි සමපාත වීමකි – කිසිවක් නොකර සිටීම මගින් සියල්ල සිදු කිරීමට, ‘පද්ධතිය කඩා බිඳ දැමීමට’, ගන්නා උත්සාහයකි. කලාව යනු සවිඥානික අරමුණක සහ අවිඥානික අරමුණක සමපාත වීමක් යන ජර්මන් විඥානවාදයේ සම්භාව්‍ය නිර්වචනය අනුව ගත්විට, අයිසන්ස්ටයින් ගේ ‘වැඩ වර්ජනය’, ‘ඉරිදා සන්ධ්‍යාව’ සඳහා සුදුසු ‘ක්‍රියාකාරකමක්’ කියා අපි යෝජනා කරමු.

අයිසන්ස්ටයින් ගේ ‘Strike’ චිත්‍රපටිය

Advertisements