ANDREW-BRISCHLER_89

පහත ලිපිය සම්පාදනය වන්නේ මාර්ක් ෆිෂර් ගේ Capitalist Realism: Is There No Alternative? (2009) (ධනේශ්වර යථාර්ථවාදය: විකල්පයක් නැතිද?) කෘතිය සහ කෘතිය වටා ගොඩනැගුනු කතිකාවත පදනම් කොට ගනිමිනි. පසුගිය ජනවාරි 13 වෙනිදා ජීවිතයන් සමුගත් ෆිෂර් යනු නව සමාජ ජාල ඇසුරින් න්‍යායික සංවාදය වර්ධන කිරීමේ පුරෝගාමියෙකි. දක්ෂ සංවිධායකයෙකි. සමාජ වැඩ වෙනුවෙන් ජීවිතේ විශාල ඉඩක් වෙන් කළ සටන්කරුවෙකි. K-punk යන අන්වර්ථ නාමයෙන් 2000 දශකය පුරා සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වූ ෆිෂර් ගේ වඩාත් කතාබහට ලක්වූ ලියවිල්ල වූයේ මෙම Capitalist Realism කෘතියයි. එම කෘතියේ පසුපිට කවරයේ සටහනක් තබමින් ස්ලැවෝයි ජිජැක් කියා සිටි ආකාරයට ‘එක හුස්මට කියවන්න බල කර සිටින ලෙස ලිය වී ඇති ෆිෂර් ගේ මෙම පොත යනු, ඉතා සරලවම, අපගේ වර්තමානයේ දේශපාලන පසුබිම පිළිබඳව සිදු කර තිබෙනා ඉහළම ගණයේ රෝග විනිශ්චය වෙයි’.

පහත ලිපියේ ආඛ්‍යානය තුළ ඇතැම්විට මා ෆිෂර්ගේ අදහස් ධනවාදයේ මේ නිශ්චිත මොහොත තුළ ලංකාවේ දේශපාලන සන්දර්භය සමග සම්බන්ධ කිරීමට උත්සහ ගෙන ඇත. එවැන්නක් කිරීමේ උත්සාහය අනෙකක් නොව ධනේශ්වර යථාර්ථවාදය යන තීසිසය යෝජනාකරන අදහස් වර්තමානය සමග සම්බන්ධවන මගහැරිය නොහැකි දේශපාලන ආර්ථික නිමේෂය තේරුම් කිරීම  සහ මේ නිමේෂය මගහරින සහ මග හැරීමට සමාජයේ ඔළුහදන,එක් පන්නයක බුද්ධිමය නරුමවාදයක් අප තේරුම් ගත යුත්තේ කෙසේද? ඒ කුමක් නිසාද? යන්න පැහැදිළි කිරීමටත් ය.

– කල්ප රාජපක්ෂ –

 

ධනේශ්වර යථාර්ථවාදය (Capitalist Realsim) – I වන කොටස

ධනේශ්වර යථාර්ථවාදය යන සංකල්පය, එසේත් නැතිනම් දේශපාලන ආර්ථිකය තුල එහි පැවැත්ම විස්තර කිරීම පහසු සහ සරල කරුණක් නොවේ. එය යම් යම් තත්ත්වයන්ට අනන්‍යව සහ සාපේක්ෂව පෙන්වාදීම (spotting) එය පවත්නා තත්ත්වයෙන්ම විස්තර කිරීමට වඩා අතිශයින් පහසු උපක්‍රමයකි. මෙම විස්තර කිරීමේ අසීරුතාවම එක අතකින් ධනේශ්වර යථාර්ථය අපේ මානව යථාර්ථය හසුරුවන ඓන්ද්‍රීය තර්කනය  බවට පත්වීම පිළිබඳව පැහැදිළි ඉඟියකි. ධනේශ්වර යථාර්ථවාදය නිදර්ශනය කළ හැකි එක් ආකාරයක් නම් එය විස්වාසයක් (belief) වශයෙන් හඳුනා ගැනීම යි. එනම් පැවතිය හැකි, සමත් එකම දේශපාලන ආර්ථික පද්ධතිය ධනවාදය පමණක් ය යන හඳුනා ගැනීම සහ එතුළ ගොඩනැගෙන තමාගේ හැසිරීම සහ පැවැත්ම පිළිබඳව වන විස්වාසය යි. එනම් යමෙකුගේ පුද්ගල යථාර්ථය තුළ අනෙක් කිසිදු දේශපාලන ආර්ථික පද්ධතියක පැනනැගීම පිළිබඳව වන විකල්ප චින්තාවන් අහෝසි වී යන තත්ත්වයකි. ධනවාදය හැර විකල්ප නැත, විකල්පයක් තුළ ගොඩනැගෙන මානව ජීවිතයකට ඉඩක් නැත යන කුටීරගත වීම ය.

ඔබට බොහෝ විට ධනවාදය පිළිබඳව විවේචනයක් ඉදිරිපත් කරන ඕනෑම අවස්ථාවක යමෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ප්‍රතිචාරයක් නම් ඔව්, ධනවාදය හොදම ක්‍රමය නොවිය හැකි. නමුත් එය තමයි වැඩකරන එකම ක්‍රමය . යමෙකුට මෙම ප්‍රකාශය එක් පුද්ගලයෙකුගේ විස්වාසයක් වශයෙන් ගත හැකි නමුත් තවත් ප්‍රවේශයකින් මෙය ආකල්පයක් (attitude), විස්වාස පද්ධතියක් හා සම්බන්ධව වැඩුණු ආකල්පයක්, එසේත් නැතිනම් විමුක්තිකාමී ක්‍රියාවලියකින් ඉල්ලා අස්වීමේ නැතිනම් පරාජය බාරගැනීමේ ආකල්පමය ආස්ථානයක් වශයෙන්ද මෙම තත්ත්වය හඳුනා ගත හැක. ධනේශ්වර යථාර්ථවාදය යන තීසිසය තුළ මා උදක්ම විනිවිද යාමට උත්සහ දරනුයේ ලිබරල් සමාජ කාණ්ඩයේ පරාජය බාරගන්නා සුළු පන්නයේ ප්‍රකාශ, හැසිරීම් සහ දැනුම ප්‍රතිනිෂ්පාදනය කිරීම නොව නවලිබරල් දක්ෂිණාංශික දේශපාලනය විසින් ඉතා සාර්ථකව පොදු මහජනතාව සහ  වාමාංශික චින්තනය සහ එහි බිම්ගත දේශපාලනය සාර්ථකව රූපාන්තරණය (transformation) කරමින් සිටින්නේ කෙසේද යන්න පිළිබඳවය. සමූහයක් පිළිබදව සාකච්ඡාවේදී අනිවාර්ය වශයෙන්ම පුද්ගල මානසිකත්වය සහ එය විවිධ තලයන් හි පිහිටි පර්යාවලෝකනයන්, විස්වාස සහ ආකල්ප මත ඇතිකරන බලපෑම අවතක්සේරු කළ හෝ නොසලකා හැරිය නොහැක. එහෙයින් ධනේශ්වර යථාර්ථවාදය මා ගොනුකරනුයේ යම් ආකාරයක ‘සාමුහික මනෝ-අධෝව්‍යූහයක්’ (collective psychic infrastructure) තුළට ය. එය යම් ආකාරයකට යමෙකුගේ ජීවිතය, ඕනෑම ආයතනයකට, කුටුම්භයකට, වැඩබිමකට, සිනමාහලට, ජනමාධ්‍යයට, අධ්‍යාපනයට, ලිංගිකත්වය, වාර්ගිකත්වය, ජාතිය සහ කෙටියෙන් අර්ථදක්වන්නේ නම් ධනේශ්වරයට විනිවිද යා හැකි ජීවිතයට සම්බන්ධ ඕනෑම ආයතනයක – ඒකකයක ඇතිවිය හැකි ‘විසරිත දෘෂ්ටිවාදීමය තත්ත්වයක්’ (diffused ideological atmosphere) වශයෙන් ධනේශ්වර යථාර්ථවාදය හඳුන්වා දීමට හැක.

ධනේශ්වර යථාර්ථවාදයේ පැනනැගීම

80 දශකයේ දේශපාලන ආර්ථිකය ධනේශ්වර යථාර්ථවාදයේ පරිවර්තනීය අවධිය වශයෙන් සැලකිය හැක. ඒ පරිවර්තනය තුළ අපට නිරීක්ෂණය කළ හැක්කේ මානව දෘෂ්ටිවාදය සහ ධනවාදයේ ප්‍රතිව්‍යුහගතතකරණය අතර යම් සහක්‍රියාවක් (synergy) ඇතිවීමකි. පශ්චාත් ලෝකයුධ ධනවාදයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නැතිනම් ධනවාදය විසින් එහිම පැවැත්ම උදෙසා කරන හැව-ඇරීමේ ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය බටහිර ධනවාදයේ සන්ධිස්ථානයක් වන ෆෝඩ්වාදය (Fordism) යැයි හැඳින්වූ ක්‍රියාවලියේ සිට පශ්චාත්-ෆෝඩ්වාදයක් (Post-Fordism) දක්වා පරිවර්තනය වීමේ ආරක්ෂණවාදී ක්‍රියාවලියකි. මෙම පරිවර්තනය තුළ ලෝක ධනේශ්වර රාජ්‍යය සහ ධනපති පන්තිය විසින් යුද්ධය සහ ලෝක ආර්ථික පරිහානියෙන් අපේක්ෂාභංග වූ කම්කරු පන්තියට නැවත වටයකින් ආරක්ෂාව සහ සැනසිල්ලේ පොරොන්දුව ලබා දේ. මෙම තීරණාත්මක ක්‍රියාවලිය වෙනත් අකාරයකට වර නගන්නේ නම් ධනේශ්වර රාජ්‍යය සහ එහි අන්‍යෝන්‍ය ගෝලීය පැවැත්ම නැවත වටයකින් තහවුරු කරන ස්ථායිකරණ ක්‍රියාවලියක් තුළට වැඩකරන පන්තියේ අසහනය සහ අපේක්ෂා අවශෝෂණය කර ගැනීම ය. ෆෝඩ්වාදී යුග ක්‍රියාවලිය තුළ සෑම ප්‍රධාන නගරයකම කර්මාන්තශාලා එකක් හෝ ඊට වැඩි ගණනක් ඉදිවීම, ව්‍යාපාර ප්‍රතිපත්තිය සහ සෑම පවුලකම පුරුෂයන් තම ජිවිත කාලය පුරා එවැනි කර්මාන්තශාලාවල වැඩකිරීමේ සිහින දැකීම ආයතනික ධනවාදයේ සිට පවුල දක්වා මෙම අවශෝෂණ ක්‍රියාවලිය  දිවෙන ආකාරය පෙන්වාදිය හැකි නිදසුනකි (ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය මානව සම්බන්ධතා සහ ජිවිත අතික්‍රමණය කළ දශකය කිහිපය ගැන සලකා බලන්න). නමුත් මේ සිහින පිටුපස දිවුණු යථාර්ථය නම් ඔවුන් තම ජිවිත කාලයම එවැනි කර්මාන්තශාලාවල තම ශ්‍රමය වැගිරුවත් සැලකිය යුතු මට්ටමකින් හෝ තම ජිවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට ඔවුන්ට හැකි නොවීම යි. පශ්චාත් යුධ තත්වයෙන් පසු, 60 දශකයේ ධනේශ්වරයේ ස්වර්ණමය යුගයෙන් අනතුරුව එළබෙන කාලවකවානුව තුළ අර්බුධයට යන ෆෝඩ්වාදය 70 දශකයේ දී සම්පුර්ණයෙන්ම බිවැටෙන අතර පශ්චාත් ෆෝඩ්වාදී යුගය යැයි අප දැන් හඳුනා ගන්නා ගන්නා යුගයට අප ප්‍රවේශ වන්නෙමු.

පශ්චාත් ෆෝඩියානු ධනවාදය

පශ්චාත් ෆෝඩියානු ධනවාදය තුළ ව්‍යවහාර වන ප්‍රධාන මූලපදයක් නම් නම්‍යකරණය (flexibility) ය යි. එනම් ශ්‍රමිකයා විෂයෙහි බලපැවැත්වෙන අනවරත අස්ථායිකරණ සහ අනාරක්ෂිතකරණ ක්‍රියාවලියකට ධනවාදය විසින් කරන තාක්ෂණිකවාදී (technocratic) නාමකරණය නම්‍යකරණය යි. එම අස්ථායීකරණ සහ අනාරක්ෂිතකරණ ක්‍රියාවලිය විස්තර කර දක්වන්නේ නම්; කෙටිකාලීන සේවා නියුක්තිය, ශ්‍රම අනියම්කරණය / අවිධිමත්කරණය (ශ්‍රී ලංකාවේ ශ්‍රම අවිධිමත්කරණය පිළිබඳව  හෂිනි  ජයවික්‍රම ගේ පර්යේෂණය මෙතැනින් කියවිය හැක. ශ්‍රී ලංකාවේ මෑන් පවර් අරගලයේ සාරය පැනනගින්නේ මෙවැනි ඓතිහාසික සමාජ සම්බන්ධතා ව්‍යූහයක් තුළ බව අප තේරුම් ගත යුතුව ඇත) සහ මේ සියලු වෙනස්කම් පරයා යමින් වැඩබිම් ඩිජිටල්කරණය, ටොයෝටා නිෂ්පාදන ක්‍රමය වන Just-in-time නිෂ්පාදන ක්‍රමය සහ තීරණාත්මක ලෙස ගෝලීයකරණ ක්‍රියාවලිය ධනේශ්වර දේශපාලන ආර්ථිකයේ චලිතය, එහි දිශාව, වේගය සහ ගැඹුර සපුරා වෙනස් කිරීමට සමත් විය. මේ ‘වෙනස’, සමස්ත ලෝකය ආහ්ලාදයෙන් බාරගත් මෙම ‘වෙනස’, ගෝලීය ශ්‍රමය ජීවග්‍රහණය ට නතුකරගත් අතර, විශේෂයෙන්ම කම්කරු ව්‍යාපාර සහ කම්කරු පක්ෂ සම්පුර්ණයෙන්ම තම ග්‍රහණයට නතුකර ගත්තේය. වඩා ඉදිරිගාමී දර්ශනයක් සහිතව සංවිධානය වී පැවති වාමාංශික කණ්ඩායම්, විශේෂයෙන්ම ඉතාලියේ සහ එක්සත් රාජධානියේ මාක්ස්වාදය වටා තම දැක්ම සංවිධානය කරගත් NEWTIMES කණ්ඩායම මේ තීරණාත්මක යුගය තුළ පශ්චාත් ෆෝඩ්වාදය වාමවාදී දේශපාලනයට හෙජමොනිගත කළ හැක්කේ කෙසේද?’, වාමාංශයට එහිම පශ්චාත් ෆෝඩ්වාදී වාමාංශික අනුවාදයක් නිමවා ගත හැක්කේ කෙසේද?’ යන ගැටලු තේරුම් ගැනීමට සහ විකල්ප දැනුමක් නිෂ්පාදනය කිරීමට උත්සහ දැරූහ. නමුත් මෙම වාමාංශික ව්‍යාපාර වල බිඳ වැටීම, මා සිතන අන්දමට, පශ්චාත් ෆෝඩ්වාදය විසින් නිර්මාණය කළ දේශපාලන ආර්ථිකයේ නව අභියෝග වලට මුහුණදීමට සහ ඒ වෙනුවෙන් විස්වාසසහගත, සංවිධානාත්මක පිළිතුරු ලබාදීමේ අපොහොසත් වීම වාමාංශික දේශපාලනයේ බිඳ වැටීමක් දක්වා ව්‍යාප්ත විය. එසේත් නැතිනම් සමස්ත ක්‍රියාවලිය විසින් එසේ සිදුවූ බවට වන යතාවක් නිර්මාණය වී එය පෝෂණය විය. වඩා තීරණාත්මක ක්‍රියාවලිය නම් පශ්චාත් ෆෝඩ්වාදය සමග අත්වැල් බැදගත් ධනවාදය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නොවේ. අතිශයින් තීරණාත්මක ක්‍රියාවලිය නම් පවත්නා සමාජ ක්‍රමය තුළ ප්‍රාග්ධනය විසින් ශ්‍රමිකයා මත පැටවූ ක්‍රියාවලිය ක වේශයෙන්  නොව ශ්‍රමිකයා විසින් ආශක්ත වූ, වැළඳ ගන්නා සුළු ක්‍රියාවලියක් ප්‍රාග්ධනය සහ එහි ඒජන්තයන් විසින් මෙම සමස්ත ව්‍යාපෘතියම නැවත වෙස්ගන්වා තිබීම ය. එය යම් ආකාරයකට අපේක්ෂාභංග වූ, තම නිදහස නැවත සොයමින් සිටි කම්කරු පන්තියට අවුරුදු 40ක් පුරා කර්මාන්තශාලාවක වැඩකිරීමෙන් තම නිදහස තහවුරු කරගත හැකිවේය යන මායාව ප්‍රායෝගිකව තර්කනය කිරීමකි. වැඩකරන පන්තියට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වුයේ කුමක්ද සහ ඔවුනට ඇත්තටම ලැබුනේ කුමක්ද යන්න වසාගෙන ඇති කඩතුරාව නම් ගෝලීය මට්ටමෙන්  අතිසාර්ථකවු මේ මායාමය කඩතුරාවයි. වාමාංශික දේශපාලනයට ඇති සියලුම දේශපාලන ඉඩප්‍රස්තා රැදී පවතින්නේ මේ වසා දැමූ ඉතිහාසයේ හිඩැස තුළ බව මගේ පුද්ගලික ස්ථාවරය යි.

ධනේශ්වර යථාර්ථවාදය ඉස්මතුවන්නේ කවදාද? කෙසේද? යන ගැටලුව නැවත සලකා බැලුවහොත් එහි පැනනැගීම 60 දශකයේ පැනනැගුණු වමාංශික කතිකාවත, එහි භුමියේ දේශපාලනය සහ ආඥාදායකත්වය (authoritarianism) අතර සරල-අනිවාර්ය සම්බන්ධයක් ඇත යන විස්වාසය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය දක්වා දිවෙන්නකි. මෙම සමස්ත ක්‍රියාවලිය තුළම වාමාංශය ඉතා පැහැදිළි, සුජාත සහ අවංක ප්‍රවේශයකින් ආඥාදායක විරෝධී වමාංශික දේශපාලන ආර්ථික මොඩලයක් ඉදිරිපත් කිරීමට හෝ එසේත් නැතිනම් ලෝක ප්‍රජාව තම ගමන දෙසට නම්මා ගැනීමට සපුරා අපොහොසත් වීම යන කරුණු දම්වැලක් මෙන් එකිනෙක සම්බන්ධ වී ඇත. 80 දශකය තුළ වාමාංශය පමණක් නොව සමස්ත ලෝකයම මෙම රික්තය තුළ ගෙවන ඓතිහාසික මිළ නම් නවලිබරල්වාදී ව්‍යාපෘතිය ගෝලීය ධනවාද විසින් ක්‍රියාත්මක කිරීමයි. නවලිබරල්වාදයට අවශ්‍ය ගෝලීය රික්තය සමන්විතව පැවතියේ වාමාංශික දේශපාලනයට තම හඬ අහිමිවීම සහ පොදු මහජනයාට තම විකල්ප සිතීම සදහා අවශ්‍ය විකල්ප දේශපාලන ආර්ථික ක්‍රමයක් පිළිබඳව ප්‍රායෝගික පරිකල්පනයක් නොමැති වීම යන එකිනෙක එකිනෙකින් දුෂ්පෝෂණයට ලක්වූ ක්‍රියාවලීන් දෙකක් තුළය. සමස්ත නවලිබරල් ව්‍යාපෘතිය එකහෙළාම ප්‍රාග්ධනයේ නවගෝලීය ස්වරූපය වෙනුවෙන් ලෝකය සුදානම් කිරීමේ සහ ප්‍රතිවිරෝධී ආස්ථානයන්, රාජ්‍යයන් සහ දේශපාලන කණ්ඩායම් ආර්ථික ගලග්‍රහණය ට ගැනීමේ මර්ධනකාරී ක්‍රියාවලියකි. එහි මුහුණුවර දෙකක් ප්‍රධාන වශයෙන් හදුනා ගත හැක.

  1. පළමු මුහුණුවර: පුද්ගලීකරණය (Privatization)

පළමු මුහුණුවර ආරම්භය සදහා එක් මට්ටමකදී රාජ්‍ය ධනවාදය උපක්‍රමික වන අන්දම හදුනාගත හැක. විශේෂයෙන්ම එක්සත් රාජධානියේ අත්දැකීම් සලකා බැලීමේදී අප හඳුනා ගන්නා රාජ්‍ය ධනවාදයේ උපක්‍රමික වශයෙන් වැදගත් ක්‍රියාවලියක ආරම්භය නම් රජයේ නිවාස (Council Houses) විකුණා දැමීමට රජය පටන් ගැනීමයි. තැචර් ගේ රජය විසින් සිදුකළ උපක්‍රමශීලීම ක්‍රියාවක් ලෙස මෙය සැලකිය හැක. මක්නිසාද යත් මෙම ක්‍රියාවලිය එකල එක්සත් රාජධානියේ මහජනයාට ඉඟි කරනු ලැබුවේ පශ්චාත් යුධ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය (Post-war Social Democratic Program) (සිහිනය) දැන් අවසන් බවත්, ඉහළ සිට පහළට තොරතුරු, නීති සහ සමාජය සංවිධානය කරන ‘තැචරියානු නවලිබරල්වාදය’ (Thatcherite Neo liberalism) අනාගත බවට පත්වීමට නියමිත බවත්, මහජනයා දැන් තම ‘සිහිය’ මෙම ක්‍රියාවලිය බවට පත්කර ගත යුතු බවත්ය. එම අනාගතය, තැචරියානු නවලිබරල්වාදය පැහැදිළි කිරීමට උත්සහ දැරුවේ පුද්ගලයන්ගේ කැමැත්ත සහ තේරීම් වලට ඉඩ ලබාදෙන සහ රජය විසින් මෙතෙක් අඩස්සි කොට තැබූ පුද්ගල නිදහස පරයා යන නිදහසක් ලැබෙන බවත් ය. මේ පෘථුල අරමුණ වෙනුවෙන් එක්සත් රාජධානිය තුළ සිදුවූ සමස්ත ක්‍රියාවලිය අපට සමාහාර කොට දැක්විය හැක්කේ පුද්ගලීකරණය වශයෙනි. නැවතත්, පුද්ගලීකරණය තැචර් විසින් වරනගනු ලැබුවේ මිනිසුන්ට තේරීමට ඇති නිදහස සාක්ෂාත් කිරීමක් සහ එහි පෘථුල බව ඇතිකිරීමක් වශයෙනි.

  1. දෙවන මුහුණුවර: ඔබ දැන් කොටස් හිමිකරුවෙකි!!!’

‘ඔබටත් දැන් කොටස් හිමිකරුවෙකු විය හැකියි’, මේ දෙවන මුහුණුවරයි. ‘ඔබටත් කොටස් හිමිකරුවෙකු විය හැකියි’ පන්නයේ සියලුම ‘කැරට්'(carrot) සමග ශ්‍රම හමුදාව පෙළන සහ ශ්‍රම සංවිධාන කඩා විසුරුවන පන්නයේ ‘කෙවිටි'(stick) සම්බන්ධව  පැවති බව ඉතිහාසය මැනවින් කියාපායි. එක්සත් රාජධානියේ ආකාර කම්කරුවන්ගේ වැඩවර්ජනය තැචර් විසින් හපකර දැමීම මේ යුගයේ කම්කරු ව්‍යාපාරය අවසානය පිළිබඳව වන ඉතා සංඛේතීමය  සහ සංවේදීමය සංසිද්ධිය වේ. එම සංසිද්ධිය, මගේ පරිකල්පනයට අනුව, 80 දශකයේ මැද  සහ නියත වශයෙන්ම අග භාගය වන විට වන විට ධනේශ්වර යථාර්ථවාදය සමාජය තුළ කොතරම් දුරට මුල් බැස ගත්තේද යන්න විශද කරන සංසිද්ධිය වේ. 80 දශකය අගභාගය වන විට අප ජීවත්වුයේ 70 දශකයේ සිට බලන්නෙකුට විද්‍යා ප්‍රබන්ධයක පමණක් දැකිය හැකි තත්ත්වයක ය. 70 දශකයේදී යමෙකුට රජයේ සේවා (utilities) සියල්ල විකුණා දමා පුද්ගලීකරණය කර ඇති බවත්, කොන්සර්වේටිව් ආණ්ඩුවක් විසින් ආකාර කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය පරාජය කර ඇතිබව සහ තවදුරටත් කම්කරු ව්‍යාපාරය පොදු ජනජීවිතය තුළ ප්‍රධාන ක්‍රියාකාරීන් සහ අරගලකාරී මැදිහත්කරුවන් නොවන බව පැවසුවහොත් එය විශ්වාසයට ගත නොහැකි වනු ඇත. නමුත් එය සැබෑවටම සිදුවිය සහ එය සිදුවුයේ සාපේක්ෂව ඉතා කෙටි කලකිනි. 80 දශකය අප ගෝලීය දේශපාලන කතිකාවත තුළ යුධ පිටියක් යැයි මොහොතකට සිතුවොත් එතුළ අරගල කළ සියලු දෙනා මොහොතකට හෝ විස්වාස කළේ නවලිබරල්වාදයට මෙම යුද්ධය සම්පුර්ණයෙන්ම ජයග්‍රහණය කළ නොහැකි බවයි. විකල්ප ධාරාවේ සියලු දේශපාලන ක්‍රියාකාරීන් සිතුවේ නවලිබරල්වාදයේ ජයග්‍රහණය අධිනිශ්චිත තත්ත්වයක් මිස අනෙකක් නොවන බවයි. නමුත් 90 දශකයේ මුල්භාගයේදී නව ලේබර් පක්ෂයේ (New Labour Party) ආගමනය සහ එහි මැතිවරණ ජයග්‍රහණයත් සමග තැචරියානු නවලිබරල්වාදය සම්පුර්ණයෙන්ම යුද්ධය ජයගෙන ඇතිබව සියල්ලන්ටම පසක් විය. ලේබර් පක්ෂය  ලිබරල්වාදීන් විසින් ප්‍රතිනිර්වචනය කළ ශ්‍රමයේ ස්වරූපය, භාවිතය සහ සමාජ සංවිධානය තුළ ශ්‍රමයට හිමි තත්ත්වය (බලපෑම්කාරී වීමේ ඉඩ ප්‍රස්තා) පිළිබඳව වන පුළුල් සැකිල්ල ඒ සැටියෙන්ම බාරගෙන ප්‍රතිපත්තියමය වශයෙන් ක්‍රියාවට නැංවීම අරම්භ කිරීම ධනේශ්වර යථාර්ථයේ නව යුගය තුළට එක්සත් රාජධානියත්, සමස්ත ගෝලීය දේශපාලන ආර්ථිකයත් ප්‍රවේශ වීම මං සලකුණක් වශයෙන් සැළකිය හැක.

ධනවාදය, එය අපට ඇති එකම යථාර්ථවාදී දේශපාලන ආර්ථික පද්ධතිය බව අපට ඒත්තු ගැන්වුයේ (ගන්වන්නේ) කෙසේද?

ධනවාදය, එය මානව වර්ගයාට සාක්ෂාත් කරගත හැකි එකම යථාර්ථවාදී, බොහෝ දෙනාට අනුව ‘වැඩකරන’ එකම දේශපාලන ආර්ථික පද්ධතිය යන ආස්ථානය දෙසට නම්මා ගත් අකාරය දෙස බැලීමේ ක්‍රම කිහිපයකි. එම ක්‍රියාවලිය දෙස බැලිය හැකි එක් ක්‍රමයක් නම්; මනුෂ්‍යන් වශයෙන් අප මත පටවන ආගමික බලහත්කාරයක්, අභිචාරවිධියක් (forcing ritualistic compliance) වශයෙනි. එනම් ජීවිතය, ජීවිතය තුළ මනුෂ්‍යයා සිදුකරන කාර්ය කොටස හෝ අප හා සම්බන්ධවන සමාජය හෝ අධිකරිත්වයන් හෝ  වෙනත් අතිරේක ඕනෑම මානව ජිවිතයට සම්න්ධ යමක් අවබෝධකර ගැනීමේ විකල්ප භාෂාවක් හෝ සංකල්ප රාමුවක් නොපවත්නා තත්ත්වය කි.  සියල්ල ආගමික නැතිනම් පුජාවිධිමය අභිචාර ස්වරූපයෙන් සිදුවන තත්ත්වයකි. නොඑසේනම් ‘සාමාන්‍ය ජිවිතය’ දේශපාලනීකරණය නොවීම ම මේ අභිචාරයේ දේශපාලනය බවට පත්වීමය (විකල්ප දැනුම ප්‍රතික්ෂේප කරන සහ බුද්ධි විරෝධී ලාංකික ෆැන්ටසි සමාජ කුලක ක්‍රියාත්මක වන්නේ මේ අභිචාරය තුළම ය, ඔවුනට අතීතයක් හෝ වර්තමානයක් නැත. අනාගතයක්? කිසිසේත්ම නැත). මේ නව ආගමික අභිචාර පන්නය අපව අපේ සමාජ ජීවිතය තුළ නැවත නැවත පොලබවන්නේ සහ විශේෂයෙන්ම අධ්‍යාපනික, වෘත්තීය සහ අනෙකුත් ආයතන තුළ අපව පුහූණු කරවන්නේ ඔබ තවදුරටත් මෙය විස්වාස නොකළ යුතුයඔබ දැන් විස්වාස කළ යුත්තේ සහ ඔබේ  ක්‍රියා සියල්ල පෙළගැස්විය යුත්තේ මේ අකාරයටයඅප ඉදිරියට යා යුත්තේ මෙවැනි දෑ සමගය යන පරිභෝජනවාදී පරමාදර්ශයන් දෙසට ය. විශේෂයෙන්ම අධ්‍යාපනය සහ රැකියා තනි ක්‍රියාවලියක් වශයෙන් එකිනෙක මෙම පරමාදර්ශ පෝෂණය කරමින් සිටින සමාජ බලවේග දෙකක් බවට පත්වීම ‘විකල්ප නැත’ යන සාවද්‍යකරණය සමාජ දෘෂ්ටිවාදය ප්‍රතිනිර්වචනයට මුලෝපායික වේ. ශ්‍රමය, දැනුම සහ විස්වාස පද්ධතිය ඉතා ක්‍රමානුකූලව ධනේශ්වර යථාර්ථවාදය තුළට නතුවන්නේ මෙවැනි ඓතිහාසික භෞතික සන්දර්භයක් තුළ ය. ඊට අමතරව මා පෙර ගෙනහැර දැක්වූ පරිදීම සමාජය තුළ පැවති කම්කරු පන්තියේ සහයෝගීතාව උපක්‍රමශීලීව බිඳ දැමීමද මේ ක්‍රියාවලිය තුළම අඩංගු වූ අනෙක් සටන් අන්තයයි. නමුත් මේ සමස්ත බිඳ දැමීමේ ක්‍රියාවලිය ප්‍රාග්ධනය විසින් කම්කරු සංවිධාන ඍජුව කඩා ඉහිරුවන තරම් ‘අමු’ සහ අප උපකල්පනය කිරීමට කැමති සරල ක්‍රමවලින් නොවේ. එම ක්‍රියාවලිය විසංයෝජනය කර බැලීම වඩා වැදගත් වන්නේ ඒ නිසා ය.

කම්කරු සංවිධාන තුළ පැවති ව්‍යූහාත්මක දුර්වලතා මෙන්ම ෆෝඩ් ක්‍රමයට වඩා බැදී සිටි කම්කරු සංවිධාන නව තත්ත්වය වන පශ්චාත් ෆෝඩ් ක්‍රමය සමග ගනුදෙනු කිරීමේ සහ අරගල කිරීමේ ශාස්ත්‍රය ප්‍රගුණ කොට නොතිබීම; නොඑසේනම් ඒ සදහා ප්‍රමාණවත් තරම් කාලයක් කම්කරු සංවිධාන වලට නොතිබීමත් (ආර්ථික වශයෙන් පරාරෝපිත තත්ත්වයක් තුළ) මේ කඩා ඉහිරුවීම වඩා ක්‍රමෝපායික ලෙස සිදුකිරීමට රාජ්‍ය ධනවාදයට අවකාශය සැපයී ය. ශක්තිය පිරිහුණු කම්කරු සංවිධාන සහ ශ්‍රමයේ ඒකාබද්ධතාව ගිලිහීම එකහෙලාම ශ්‍රමයේ  සමාජ තත්ත්වය සහ නිෂ්පාදන ක්‍රියාවලිය එයට පැවති ස්ථානය අහිමි වීමත්, නිෂ්පාදනය තුළ ශ්‍රමයේ සමස්තය, නැතිනම් ශ්‍රම බලකාය පරමානුකරණයට (generalized atomization) නතුවීමත් අතර පැහැදිළි සම්බන්ධතා දාමයක් ගොඩනැගිය හැක. මේ කාලවකවානුව  ඇතිවූ සිද්ධි දාමය පොදු මහජනයාට  සහ විමුක්තිකාමී දේශපාලන බලාපොරොත්තු වෙනුවෙන් ක්‍රියා කළ සමාජ කණ්ඩායම් වලටත්  ඉතා දැඩි මානසික ආතතියක් ගෙනදුන්  සමයක් විය.

 

පුද්ගලයා සහ රාජ්‍යය අතර හිඩැස

මෙම සමස්ත ක්‍රියාවලිය අවසානයේ පුර්වයෙන් කම්කරු ව්‍යාපාරය සහ වෘත්තීය සමිති විසින් අත්පත් කරගෙන පැවති පුද්ගලයා සහ රාජ්‍යය අතර අවකාශය හිස් බවට පත්විය. ඒ හිස් බව තුළ මිනිසුන්ට තමන්ගේ වෘත්තීය ජීවිතය සමග ඍජු සම්බන්ධයක් ගොඩනැගෙන බවත් වඩා පෘථුල දේශපාලන ලෝකය තමන්ට සමීපව දැනෙන බවත් යන චෛතසික ආස්ථානයන්ට ප්‍රවේශ වීමේ අවස්ථාව උදා විය. රික්තය, හිස්බව, මෙම පරතරය තුළ ඇතිවූ මේ නව තත්ත්වය මා හදුන්වන්නේ ‘ආතතිය පුද්ගලීකරණය’ (Privatization of stress) එසේත් නැතිනම් ‘පොදු අධ්‍යාත්මය පුද්ගලීකරණය’ (general psychic privatization) වීම වශයෙනි. උදාහරණයක් වශයෙන්, ඔබට ඔබේම නිවසක් අත්පත් කරගත යුතුය, ඔබේ නිවස ඉන් පිටත පොදු අවකාශය සම්පුර්ණයෙන්ම දුෂණය වී, නග්නීකෘතව පවත්නා තත්ත්වයක් තුළ, ඔබේ එකම ගැලවීම, ශාන්තිය සහ අස්වැසුම බවට පත්වන්නේ යන්න මේ ක්‍රමය විසින් යාවත්කාලීන කරනු ලැබූ මතවාදයයි. තමන්ගේ යැයි අත්පත් කරගැනීම ගැලවීමේ මාර්ගය සහ අධ්‍යාත්මය බවට පරිවර්තනය වීම පොදු අධ්‍යාත්මය පුද්ගලීකරණය යන්නෙහි සැබෑ හරයයි. පොදු සමාජ අවකාශය සහ එහි මානවීය ඒකාබද්ධතා වෙනුවෙන් පවතින ඉඩ, නිසග බව සහ කතිකාවත සතුරුකරණයකට ලක්කිරීම සහ විශේෂයෙන්ම ‘පොදුබව’ (commonness) පිළිබඳව මනෝභාවයන්ගෙන් මිනිසුන් කඩා දැමීම මෙය හැර, ධනවාදය සහ ඉන් පැනනැගුනු පරිභෝජනවාදී ජිවන ක්‍රමය හැර අන් විකල්පයක් නැත යන්නඉතා සාර්ථකව ක්‍රියාවෙහි ලූ භුමියේ දේශපාලන උපක්‍රමය විය.

ධනේශ්වර යථාර්ථවාදය සදාචාරවාදී විවේචනයකට යටත් ද?

ධනේශ්වර යථාර්ථවාදය තුළ පුද්ගල හැසිරීම සදාචාරය පිළිබඳව වන, ඒ මත වන විවේචනයකට යටත් නැත. ධනේෂ්වර යථාර්ථවාදය විසින් වගාකර ඇති දර්ශනයේ එක ප්‍රධාන අංගයක් නම් ලෝකය කියන්නේ වගේ එකක්. කරන්න දෙයක් නෑ. මෙය බාරගත යුතු යියන ආකල්පයයි. පුද්ගලයෙකුට, කවර වර්ගයේ හෝ දැනුමක, වෘත්තියක හෝ කවර වර්ගයේ නිෂ්පාදනයක (භාණ්ඩයකට) චල්‍යතා වලට සහ හැසිරීම් වලට ආචාරධාර්මික පදනමකින් විවේචනයක් ගෙන ඒමේ වලංගුභාවය සහ සුජාතභාවය ධනේශ්වර යථාර්ථවාදය තුළ වලංගු හෝ විමුක්තිකාමී දේශපාලනය ශක්තිමත් කරන්නක් නොවේ. මිනිස්සු ස්වාභාවිකවම තරගකාරී; ධනවාදය තුළ පුද්ගලයා අධිතරගකාරී වී ඇත යැයි ඔබ යෝජනා කළහොත් යමෙක් ප්‍රතිචාර දක්වනු ඇත. එහිම අනෙක් පැත්ත, කඩා නොවැටේතැයි සිතූ බැංකු සහ මූල්‍ය ආයතන කඩා වැටෙන්නේ ධනවාදය විසින්  ව්‍යාප්ත කළ ගිජුබව යැයි ඔබ යෝජනා කළ හොත් යමෙක් බැංකු සහ මූල්‍ය  ආයතන කඩා වැටීමට හේතුව බැංකුකරුවන් කිහිප දෙනෙකුගේ ගිජුබව පමණයි ලෙස ප්‍රතිචාර දක්වනු ඇත. එක පොදු, නිශ්චිත දේශපාලන ආර්ථික ක්‍රියාවලියක්ක විසින් (ධනවාදය විසින්) රික්තයක පවතින මිනිසුන්ගේ ආකල්ප ‘ පවත්නා තත්ත්වය’ සාධාරණීකරණය කරන්නේ ඒ ආකාරයෙනි. බැංකුකරුවන් කිහිපදෙනෙකුගේ  ගිජුබව ධනවාදයේ සමකාලීන අර්බුධය ලෙස හදුනා ගැනීමටත් මිනිසුන් සියලු දෙනා උපතින්ම අතිශයෙන් තරගකාරී ලෙස හදුනා ගැනීමටත් ධනේශ්වර යථාර්ථවාදය තුළ මිනිසුන් කෙතරම් දුරට දේශපාලනික ‘නරුමවාදින්’ බවට පත්කොට ඇතිද යන්නට හොඳම උදාහරණයයි.

පසුධනවාදය තුළ ගැටළුව ඇත්තේ ධනවාදීන්ගේ ගිජුබව තුළ පමණක් නොවේ.

පසු-ධනවාදය තුළ ගැටලුව රඳා පවතින්නේ ධනවාදීන්ගේ ගිජුබව තුළ නොවන බව මගේ ආස්ථානය යි. මාක්ස්වාදී විවේචනය සහ ආචාරධාර්මික විවේචනය අතර ඇති පැහැදිළි බෙදුම් රේඛාව ද මේ ඔස්සේ විග්‍රහ කළ හැක. මාක්ස්වාදී විවේචනය නාභිගත වන්නේ පුද්ගලයා මත නොව පද්ධතිය (ක්‍රමය) මත යි. සංවිධාන ව්‍යූහය සහ ඒවායේ එකිනෙක පරාධීන ක්‍රියාවලිය මාක්ස්වාදී විවේචනයක මූලිකාංගයයි. ආයතනයක ප්‍රධාන විධායක නිළධාරියා (CEO) කවරෙකු වුවත් ඔහුට  ප්‍රධාන විධායක නිළධාරීවරයෙකු වශයෙන් ක්‍රියා කිරීමට සානුබල සහ බලපෑම් ඇතිකරන්නේ සහ සරලාර්ථයෙන් ඔහුගේ ආයතනික – ස්වයං ලාභ උපරිමකරණ චේතනාව හසුරුවන්නේ පද්ධතිය විසිනි. එනිසාවෙන් වඩා තද නිතිරිතී සහ ආචාරධර්ම පද්ධති හඳුන්වා දීමෙන් (යහපාලනය වැනි) ධනේශ්වර යථාර්ථවාදය වෙනස්කළ හැකි හෝ යහපත් ක්‍රමයක් බවට පත්කළ හැකියි සිතීම මුලාවක් පමණි. ධනවාදය නමැති අමානුෂික ක්‍රියාවලිය ධනේශ්වර ආයතනික පද්ධතිය ආචාරධාර්මික කිරීමෙන් නැවැත්විය නොහැක. එසේ උපකල්පනය කිරීම විමුක්තිකාමී දේශපාලනයක නිරතවන කවරෙකු හෝ තමන් විරුද්ධ වන මේ ක්‍රමය සහ එහි ඉදිරි පැවැත්ම ආචාරධාර්මික කඩතුරාවක් තුළ සුජාත කිරීමක් පමණි.

සම්බන්ධයි

– කල්ප රාජපක්ෂ –

Advertisements