Malevich

බොහෝ දෙනෙක් පෙන්වා දී ඇති ආකාරයට – උදා: ස්ලැවෝයි ජිජැක්, ජොන්-ලක් නොන්සි – පෙරටුගාමී කලාව සහ පෙරටුගාමී දේශපාලනය අතර තිබෙන්නේ කිසියම් ආකාරයක ආතතිගත සම්බන්ධයකි. බැලූ බැල්මට, ස්වභාවික තත්වයන් යටතේදී, ‘හරිනම්’, වියයුතු දෙය මෙය නොවනා බව පැහැදිළි වෙයි. අපට සිතෙන්නේ රැඩිකල් කලාව සහ රැඩිකල් දේශපාලනය යනු එකම ක්‍රියාවලියක නිමේෂයන් දෙකක් කියාය. අවසන් අරුතින් ගත්විට මේ දෙකෙන්ම සිදු කරන්නේ වියහැකි දෙය සහ වියනොහැකි දෙය අතර ඇති බෙදුම් රේඛාව වෙනස් කිරීම කියා පැවසිය හැකි වේ. ෆ්‍රෙඩ්රික් ජේම්සන් ගේ ජනප්‍රිය නිදර්ශනය ඇසුරින් අපි මෙම අදහස පැහැදිළි කර ගනිමු.

මෙයට දශක කීපයකට පෙර අපගේ සාමූහික අනාගතය පිළිබඳව සංවාදය කේන්ද්‍රගත වූයේ සමාජවාදය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, ජාතිකවාදය ආදී දේ අතරින් වඩා සුදුසු වන්නේ කුමක්ද යන්න පිළිබඳවයි. ඉතා රැඩිකල් ලෙස අප ජීවත් වන සමාජය වෙනස් වියහැකි බව කිසිවෙකු ප්‍රතික්ෂේප කළේ නැත. ඒ අනුව, එම සමාජ පරිවර්තනය අයත් වූයේ ‘වියහැකි දෙයෙහි’ කලාපයටයි. නමුත් අද වන විට, සමාජයේ සාතිශය බහුතරයක් දෙනා, මේ ආකාරයට සමාජයේ රැඩිකල් පරිවර්තනයන් අපේක්ෂා කරන්නේ නැත. අපගේ නිහඬ එකඟතාවයට අනුව වෙළඳපොල මගින් පාලනය වන ආර්ථිකය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යනු අපට පරිකල්පනය කළ හැකි එකම සාමූහික අනාගතයයි. එහි වෙනසක් වනවානම් එසේ විය හැක්කේ ලෝක විනාශයෙන් පමණි. වෙනත් ආකාරයකට කියන්නේනම්, අපට අද සමාජ ක්‍රමයේ රැඩිකල් පරිවර්තනයක් වෙනුවට ලෝක විනාශය පරිකල්පනය කරගැනීම වඩාත් පහසු වෙයි. එම තේමාව රැගත් චිත්‍රපටි, දෛවඥයන්ගේ පුරෝකථන ආදිය මගින් නියෝජනය කරන්නේ මෙම සමාජ පරිකල්පනයයි. අද දවසේ බටහිර ලෝකයේ දේශපාලඥයන් සම්ප්‍රදායවාදී වන්නේද එසේත් නැතිනම් ප්‍රගතශීලී වන්නේද යන්න මැන ගැනීම සඳහා තිබෙනා මූලික නිර්ණායකයක් වන්නේ ඔවුන් පරිසර අර්බුධය පිළිගන්නා අයද, එය ප්‍රතික්ෂේප කරනා අයද යන්නයි. සමාජයේ රැඩිකල් පරිවර්තනයකට වඩා ලෝක විනාශය පරිකල්පනය කිරීම පහසු වනවා යන්නෙහි අර්ථය මෙයයි. ඒ අනුව, ජේම්සන් ගේ නිරීක්ෂණය මෙයයි, අද දවසේ සමාජ පරිවර්තනය යන්න අයත් වන්නේ ‘වියනොහැකි දෙයෙහි’ කලාපයටයි.

මෙහි ඇති න්‍යායික නිගමනය වන්නේ මෙවැන්නකි: වියහැකි දෙය සහ වියනොහැකි දෙය ලෙස අපට පෙනෙනා දේ යනු ස්වභාවික වන්නක් නොව කිසියම් ඉතිහාසයක ගොඩනැංවීමක් වේ. තවත් සරලව, වියහැකි දෙය සහ වියනොහැකි දෙය අතර බෙදුම් රේඛාව ස්වභාවික එකක් නොව ඓතිහාසික එකකි. එනිසාම, දැනට මෙම රේඛාව සලකුණු වී ඇති ස්ථානය වෙනස් කිරීමේ විභවයක් තිබේ.

රැඩිකල් කලාව මෙන්ම රැඩිකල් දේශපාලනයද අවසාන විග්‍රහයේදී උත්සාහ කරන්නේ මෙම බෙදුම් රේඛාව ප්‍රශ්න කිරීමටයි. මෙවැනි මැදිහත්වීම් මගින් උත්සාහ කරන්නේ ‘යථාර්ථය’ වෙනස් කිරීමටයි කියා අපට ඇති නිසඟ අවබෝධයෙන් මෙය තරමක් දුරට වෙනස් වන්නකි. මෙහිදී සිදු වන්නේ සැබෑ ලෝකය වෙනස් කිරීම වෙනුවට එම ලෝකය අපට පෙනෙන ආකාරය, එම ලෝකයේ අපට දැකිය හැකි දේ, කිව හැකි දේ ලෙස හඳුනා ගන්නා සීමාවන්, මිනිසුන් අතර සම්බන්ධය තිබිය යුතු ආකාරය කියා අප ඉගෙන ගන්නා ආකාරය, පෙන්විය හැකි දේ සහ නොපෙන්විය හැකි දේ, ජීවිතයේ පරමාදර්ශ ලෙස දෙන ලද ඉලක්ක ආදිය වෙනස් වීමයි. වියහැකි දෙය සහ වියනොහැකි දෙය යනුවෙන් නම් කරන්නේ මෙම සමස්තය සකස් වී ඇති ආකාරයයි. රැඩිකල් කලාව මගින් මෙන්ම රැඩිකල් දේශපාලනය මගින්ද උත්සාහ කරන්නේ මෙම වියහැකි දෙය සහ විය නොහැකි දෙය අතර වෙනස ප්‍රශ්න කිරීමට මිස ‘සැබෑ ලෝකය’ වෙනස් කිරීමට නොවේ. එම අර්ථයෙන් විප්ලවවාදී කලාව සහ විප්ලවවාදී දේශපාලනය යනු සෑම විටම එකම අරමුණක් වෙනුවෙන්, එක්ව ක්‍රියාත්මක වන පොදු පෙරමුණක් ලෙස කෙනෙකු හඳුනා ගත හැකිය.

නමුත් විමුක්තිකාමී දේශපාලනය සහ නූතනවාදී කලාවේ ප්‍රායෝගික සම්බන්ධය කිසිදු ආකාරයකින් මේ තරම් සරල නොවන බව අපි දනිමු. ජිජැක් පෙන්වා දෙන පරිදි ලෙනින්වාදී දේශපාලනයේ ඓතිහාසික නායකයන් බොහෝ දෙනෙකු, කලා රුචිකත්වය අතින් ගත්කළ පූර්ව-නූතන, සම්භාව්‍ය කලාව ප්‍රිය කළ අය වූ අතර නූතනවාදී කලාවේ පුරෝගාමීන් බහුතරයක් දෙනා දේශපාලනිකව බොහොම සම්ප්‍රදායික මිනිසුන් වූවා පමණක් නොව ඉන් සමහ දෙනෙකු ෆැසිස්ට්වාදයට පවා දුරින් සම්බන්ධ වී තිබේ.

ඓතිහාසික තත්වයන් වෙනස් වන්නේ වී නමුදු, කරුණක් වශයෙන් ගත්කළ, මෙය අපට සමකාලීන ලාංකික කලා සහ දේශපාලන සංවාදයට ද එක ලෙස ගැලපිය හැකි එකක් බව පැහැදිළි වේ. මෙරට සිටිනා සිනමාවේ, වේදිකාවේ, චිත්‍ර කලාවේ, සංගීතයේ සහ සාහිත්‍යයේ – සැකයකින් තොරවම – විකල්ප, රැඩිකල් ව්‍යාපෘති වෙනුවෙන් පෙනී සිටිනා නිර්මාණකරුවන් බොහෝ දෙනෙකු ‘විප්ලවවාදී දේශපාලනය’ යන්න සඳහා ජීවිතයේ බැරෑරුම් ඉඩක් වෙන් කරන්නේ නැත. අනෙක් අතට, මෙරට විකල්ප දේශපාලනයක් ගොඩ නැගීමට මහන්සි වන බොහෝ දෙනෙක් සඳහා මේ ආකාරයේ කලා ව්‍යාපාරයන් සම්බන්ධයෙන් තිබෙන්නේ ඉතාම අඩු අවබෝධයකි. පර්යේෂණාත්මක කලා භාවිතාවන් සමග බැරෑරුම් ගණුදෙනුවක් කිරීමට එවැනි දේශපාලනයකට සම්බන්ධ බහුතරයක් උනන්දු වන්නේ නැත.

හෙට දිනයේ සන්ධ්‍යාවේදී – එනම්, 2017 මාර්තු 16 දා සවස 3ට – පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පැවැත්වෙන සංවාදය සඳහා තේමාව වන්නේ විකල්ප දේශපාලනය සහ විකල්ප කලාව අතර තිබෙනා මෙම ඓතිහාසික සම්බන්ධයයි. එහි අදහස් දැක්වීමට සහභාගී වන්නේ සුනිල් විජේසිරිවර්ධන, විදර්ශන කන්නන්ගර, බූපති නලින් වික්‍රමගේ සහ ප්‍රසන්න රණබාහු යන අපගේ මිතුරන්ය.

මේ සඳහා පෙර සූදානමක් ලෙස Battleship Potemkin චිත්‍රපටිය නරඹා එන ලෙස බූපති ගේ ඉල්ලීමක් තිබේ. සෝවියට් දේශයේ නිෂ්පාදනය වූ මෙම නිහඬ  චිත්‍රපටය 1925 දී අධ්‍යක්ෂණය කළේ සර්ජි අයිසන්ස්ටයින් බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. එය නිෂ්පාදනය කරන ලද්දේ මොස්ෆිල්ම් නම් නිෂ්පාදන ආයතනය විසිනි.  1905 වසරේදී පොටෙම්කින් නමැති යුධ නෞකාව එවකට පැවති සාර් පාලනයට එරෙහිව කැරලි ගැසීමේ සිද්ධිය මුල් කරගෙන මෙම සිනමාපටය නිපදවා ඇත. නිලධාරිවාදයට එරෙහිව පොටෙම්කින් නෞකාවේ නාවුකයන්ගේ කැරලි ගැසීමත් කැරලි නායකයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඒකරාශී වූ ඔඩෙස්සා නගර වැසියන් කෘර ලෙස ඝාතනයත්, සෙසු යුද්ධ නෞකාද පොටෙම්කින් නෞකාව සමග එක්වීමත් පිලිබඳ පුවත විෂය කරගත් මේ චිත්‍රපටය ග්‍රීක දු:ඛාන්තයක මෙන් අංක පහකින් යුක්ත විය. (1. මිනිසුන් සහ පනුවන් 2. නැව් තට්ටුවේ සිද්ධිය 3. මළවුන්ගෙන් ආයාචනයක් 4. ඔඩෙස්සා පඩිපෙළ 5. බලඇණිය හමුවීම. බෝල්ෂෙවික් විප්ලවයේ දස වන සංවත්සරය සැමරීම සඳහා මෙම සිනමා පටය නිර්මාණය කරන ලදී. එම අර්ථයෙන් මෙය විකල්ප කලාව සහ විකල්ප දේශපාලනය අතර තිබෙනා අපහසු හමුවක් සඳහා තිබෙන ඓතිහාසික නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය.

චිත්‍රපටියේ යහපත් පිටපතක් මෙම වීඩියෝවෙන් නැරඹිය හැකිය.

Advertisements