Aloko-Udapadi1

අලෝකෝ උදපාදි චිත්‍රපටය එක්තරා ආකාරයකට ලංකාවේ සිනමාවේ එක් අවධියක අවසානය ලෙසට නම් කළ හැකිය. එක්තරා ආකාරයකට මෙම චිත්‍රපටය අතීතය සහ වර්තමානය අතර පරස්පරයකි. විශේෂයෙන්ම මෙම රජකතා ශානරය අවසන් වූ ශානරයක් ලෙසට නම් කිරීම අසාධාරණ නොවේ. එසේ වන්නේ අප සෑම විටත් ඒවන විටත් ශානරීයව කටයුතු කිරීම නිසාය. රාජපක්ෂ රෙජීමය තුළ ක්‍රියාත්මක වූ දේශපාලනයත් සිනමාවත් දෙකක් නොව එකක් ලෙසට අපට තේරුම් ගැනීමට සිදුවේ. අබා සිනමාපටයෙන් ඇරඹි මෙම රජ කතා ශානරය අද වන විට ආලෝකෝ උදපාදි දක්වා පැමිණ ඇත. යම් විටෙක මෙම චිත්‍රපටය ජනවාරි 8 සිදුවීමට පෙර තිරගත කළා නම් තත්ත්වය මීට වඩා බොහෝ වෙනස් වීමට ඉඩ ඇති බවට අනුමාන කළ හැක. එයට හේතු වන්නේ රණපරමවාදයක් නියෝජනය කරන සිංහල ජාතිකවාදය වෙනුවෙන්ම මෙම සිනමා ශානරය කටයුතු කර ඇති බැවිනි. එක්තරා ආකාරයකට එහි පතුලෙන් ගලා ගියේ සිංහල ජනයා තමන්ගේ අනෙකා ලෙසට සලකා සිටි උතුරේ දෙමළ ජනයාට විරුද්ධව  ගෙන ගිය යුධ මර්ධනයේ සුජාත කිරීමේ ක්‍රියාවලියයි. එම නිසා මෙම යුධ වින්දන සිනමාපට පැරණි රෙජීමයේ එක් සාක්ෂිකරුවෙකි. බොහෝ විට එම චිත්‍රපට මුහුරත් උළෙල වල සිට ප්‍රදර්ශනය දක්වා ප්‍රබල දේශපාලකයන් ඒ හා සමඟ සහසම්බන්ධ වේ. වෙනත් වචන වලින් කියන්නේ නම් මෙම චිත්‍රපට මඟින් සිදු කරනු ලැබූවේ ජාතිකවාදයේ බලයෙන් ගොඩනැගුණු රාජ්‍යයක රූපයන් සිනමාත්මකව ගොඩනැඟීමයි.

විශේෂයෙන්ම 90න් පසුව ලංකාවේ සිදුවූ සිදුවීම් මෙම ප්‍රවණතාවයට ප්‍රධාන වශයෙන් බලපෑමක් එක් කර ඇත. වාමාංශික ව්‍යාපාරයේ පිරිහීම සහ විකල්ප කලාවේ ක්ෂුද්‍ර බව විසින් මෙවැනි ප්‍රවණතාවයන්ට බොහෝ ඉඩකඩ විවර කර දී ඇති බවක් දක්නට ලැබේ. අප ජීවත්වන අවධියේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ අප සියලු දෙනා එකට එකතු කරනා මහා පොදු භාෂාවක් පිළිබඳ අදහස බිඳ වැටීමයි. තවදුරටත් භාෂාව සම්බන්ධව වග කියන, එහි මූලික නීති රීති සකස් කරනා පොදු අධිකාරියක් හඳුනාගත නොහැකි වේ. සත්‍ය වශයෙන්ම, තවදුරටත් ‘අපගේ අදහස්’ යනුවෙන් නම් කළ හැකි නිශ්චිත දෙයක් පවතින්නේද නැත. ඒ වෙනුවට තිබෙන්නේ මොහොතින් මොහොත වෙනස් වන එකම විසිරුණු, ව්‍යාකූල කතිකාවකි. එම නිසා මේ යුගය අපට කියවිය හැකි වන්නේ එම කතිකාවට අදාලවය.

එක්තරා ආකාරයකට ආලෝකෝ උදපාදි චිත්‍රපටයට අපට හඳූනාගත හැක්කේ අතීතකාම චිත්‍රපටයක් (Nostalgic film) ලෙසයි. මෙම චිත්‍රපටයට වලගම්බා රජ සමය ප්‍රස්තුත වුවද එය එසේ නොමැති වේ. ෆෙඩ්‍රික් ජෙම්සන්ගේ අර්ථයෙන් අතීතකාම චිත්‍රපට යනුවෙන් අපට නම් කළ හැක්කේ අතීතය යන්න තවත් රූපයක් ලෙසට අපට අර්ථකථනය වීමයි. අප ඓතිහාසික කාලය යනුවෙන් හඳුනාගන්නා දෙය, මෙම සමස්ත ක්‍රියාවලියේ ප්‍රථිපලයක් ලෙස , මුළුමනින්ම වෙනස්ම ආකාරයකින් ඒ අනුව අර්ථකථනය වේ. එම රූපයට යටින් සාරයක් නොමැති වේ. සිදුවන්නේ එම රූපයට යටින් අපගේ වර්තමානයේ ඇති ආශාවන් ප්‍රක්ශේපනය කිරීමයි. මේ අනුව චත්‍ර වීරමන් සහ සමන් වීරමන් උත්සහ කරන්නේ එවන් රූපාවලියක් අප හමුවේ තැබීමටයි. ඒ අනුව වලගම්බා රජ දවස යනුවෙන් මෙහි පෙන්වන්නේ සාරයක් නොමැති රූප පෙළක් බව අපට කියවාගත හැක. මෙහි මුල් රූප රාමු කිහිපය ඒ සඳහා හොඳ උදාහරණයක් සපයයි.

මෙම චිත්‍රපටයේ කුඩා දරුවන්ගෙන් පිරිමි දරුවන් අලි ඇතුන් සමඟ යුධ වදින ක්‍රීඩා කිරීමත් එක් දර්ශනයක ගැහැණු ළමයකු බෝනික්කකු සමඟ සෙල්ලම් කිරීමත් එයට මනාව යෝජනා කළ හැකි ආස්ථානයකි. මෙම පරිකල්පනය වර්තමානයේ අපගේ පරිකල්පනයකි. ස්ත්‍රිය දරුවන් වැදීමත්, දරුවන් රැකබලා ගැනීමත් පිරිමියා යුධ වැදීමත් යන පුරුෂමූලික දෘෂ්ටිය වීරමන් පිය – පුතු දෙපළ අප වෙත ඉදිරිපත් කර ඇත.  ෆෙඩ්‍රික් ජෙම්සන් මෙම අතීතකාමී චිත්‍රපට විශ්ලේෂණය සඳහා යොදා ගන්නා චිත්‍රපට අතර ජෝජ් ලුකාෂ් ගේ American Graffiti , රෝමන් පොලාන්ස්කි ගේ Chinatown , බර්නාඩෝ බර්ටලුෂි ගේ Il Conformista  ආදිය ඇතුළත් වේ. මෙම අතීතකාම චිත්‍රපට වලින් ඉතිහාසය යන්න ගෙන එන්නේ නැත. ඉතිහාසය යනු අපගේ වර්තමානය තුළ හිඳ අතීත සිදුවීම් අර්ථකථනය කිරීමයි. එහිදී අප උනන්දු වන්නේ අතීත සිදුවීම් සත්‍ය වශයෙන්ම සිදු වූ ආකාරය සොයා යාමයි. එයට අනුව ඉතිහාසය යනු අප විසඳිය යුතු ප්‍රහෙලිකාවකි. වලගම්බා රජ පුවත සත්‍ය වශයෙන්ම සිදු වූයේ කෙසේ ද ? එමගින් අපේ වර්තමානය හැඩ ගැසීමට, ලංකාවේ පසුකාලීන සමාජ ජීවිතයට, ඇති වූ බලපෑම කුමක්ද? ඉතිහාස කරුවා සොයා යන්නේ මෙයයි. නමුත් නොස්ටල්ජියා ෆිල්ම් වල සිදු වන්නේ මේ ඉතිහාසය නම් වූ ගැටලුව විසඳීම වෙනුවට අපේ වර්තමාන අදහස් අතීතය නම් වූ රූපයක් මත හෙළීමයි.

මෙම චිත්‍රපටයේ ආඛ්‍යානය රේඛීයව ගලා යන අතර එය කිසි ලෙසකට අපගේ ජීවිතය සමඟ සමපාත වන්නේ නැත. ජීවිතය යනු අහම්බයට සහ බාධාකරණයට ලක් වූවකි. නමුත් චිත්‍රපටියක් මගින් එවැනි ආඛ්‍යානයක් ගොඩ නැගීමට හැකි වේ. නමුත් වැදගත් වන්නේ එම ආඛ්‍යානය අතරතුර වෙනත් දේ පෙන්වන ආකාරයයි. ආඛ්‍යානයට බාධා කරනා ආකාරයයි. නමුත් මෙම චිත්‍රපටයේ එසේ බාධා කිරීම් අපට දක්නට ලැබෙන්නේ නැත. නිදර්ශනයක් ලෙස රජකමෙන් පලා යන රජු නැවත බලයට පැමිණේ. නමුත් යුධ වැදීම, ඝාතන මෙම චිත්‍රපට වල සාධාරණීකරණය වන්නේ බෞද්ධ ධර්මය ආරක්ෂා කරගැනීම නම් කතිකාවේ පිහිටෙනි. ජයන්ත චන්ද්‍රසිරි සිය මහරජ ගැමුණු චිත්‍රපටයේදී මෙය අලංකාරවත් ලෙස පැවසූවේ ‘අන් අයගේ නිවන සඳහා අපගේ නිවන කැප කිරීමක්’ ලෙසය. නමුත් මෙවැනි කතාන්දර සිනමාවක් තුළින් අපට අනිවාර්යතාවයක් දැකිය හැකි වේ. මෙහි ඇති භයානකකම වන්නේ මෙම අනිවාර්යතාවය සාමාන්‍යකරණය වීමයි. නමුත් එම අනිවාර්යතාවය අපට පෙනෙන්නට සැලැස්වීම තුළින් පමණයි කතාන්දරය යථාර්ථවත් ආකාරයකට ඉදිරිපත් වන්නේ. මෙහිදි යථාර්ථය යනු ලෝකය තුළ ඇති බල ධූරාවලියකි. නැවතත් මෙය සම්බන්ධ වන්නේ ලෝකය පිළිබද ඇරිස්ටෝටලියානු ප්‍රවාදයටයි. එම ප්‍රවාදයට අනුව මුලු විශ්වයම සෑදි ඇත්තේ කිසියම් ධූරාවලියකට අනුවයි. මිනිස් සමාජයේ සිට සතා සිව්පාවා දක්වා ගස් කොළන් වල සිට ග්‍රහ ලෝක දක්වාත් මේ මුළු විශ්වයම එම ධූරාවලියට අනුව පෙළ ගැසී ඇත. එයට අනුව සෑම දෙයකටම සහ සෑම පුද්ගලයෙකුටම ස්වාභාවයෙන් උරුම වූ භූමිකාවක් තිබේ. අප උත්සහ කළ යුතු වන්නේ එම උරුමය සොයා ගැනීමයි.

නූතනත්වය යනු මෙම මිනිස් ජීවිතයේ අනිවාර්ය දෛවය පිළිබඳ අදහස ප්‍රතික්ෂේප වීමයි. අපගේ ජීවිතය පාලනය කරනා අධි භෞතික නියාම ධර්මයන් පිළිබඳ ප්‍රවාදයට පදනම සැපයූ ඇරිස්ටෝටලියානු ධූරාවලිගත විශ්වය මෙමඟින් ප්‍රතික්ෂේප වේ. අපගේ ජීවිතයේ දෛවය තිබෙන්නේ අපගේ අතේ මිස බාහිර පාර්ශවයක් තුළ නොවේය යන්න නූතනත්වයේ ප්‍රධාන විශ්වාසයකි.

ඒ අනුව මෙය සම්පූර්ණ කතන්දරයක් ලෙසට ඌනනය වූවාට වරදක් නැත. නමුත් එසේ වන්නේ මෙම සම්ප්‍රධාය විසින් සොයා යන දෙය අපට නිශ්චිත වශයෙන් අතීතය ලෙස නැතහොත් අතීතයේ සිදු වූ සිදුවීම් කියා නම් කිරීමට තවදුරටත් නොහැකි වීමයි. මේ මඟින් සොයා යන්නේ වලගම්බාගේ අතීතය පිළිබඳ රූපයකි. අප මුලින් සඳහන් කළා මෙන් එම රූප මඟින් සිදු කරන්නේ එම රූපයත් අපගේ වර්තමානය යනුවෙන් නම් කරනා දහසක් රූප අතරේ තවත් එක් රූපයක් බවට එම අතීතය පත් කිරීමයි. මේ අනුව අතීතය යනුවෙන් අප නම් කරන්නේ අතීතයේ සිදු වූ සැබෑ සිදුවීම් මොනවාද යන්න සෙවීම නොව අපගේ සැබෑ සිදුවීම්, පරිකල්පනයන්, ෆැන්ටසියන් වල සම්මිශ්‍රනයකටය. මෙය කිසිවිටෙක අර්ථකථනය කළ හැකි යමක් නොවේ. ඉතිහාස අධ්‍යනය තුළ විසඳීමට ඇත්තේ අදහස් වලට වඩා සැබවින්ම සිදු වූ දේ කුමක්ද යන්නයි.  එමගින් වූ බලපෑම කුමක්ද යන්නයි.  වෙනත් වචන වලින් කියන්නේ නම් මෙම චිත්‍රපටය මඟින් අතීතය පෙන්වන්නේ නැත. ඒ වෙනුවට චත්‍ර සහ සමන් වීරමන් අපට පෙන්වන්නේ අතීතය ගැන අප කැමති අදහස් පමණක් වේ. මෙම සිනමාපටය අතීතය සහ වර්තමානය අතර පරස්පරයක් වන්නේ එම අර්ථයෙනි. එම අර්ථයෙන් අපට මෙයට  ‘පොප් ඉතිහාසය’ කියා නම් කළ හැක. මෙමඟින් අප යෝජනා කරන්නේ ඉතිහාසය යන අධ්‍යයන විෂය අපට ඉගෙනගත නොහැකි බව නොවේ. මෙහි ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මෙම චිත්‍රපට මඟින් පෙන්වන අතීතය මඟින් අපගේ අතීතය , අනාගතය මඟින් අපට වර්තමානය සකස්කර ගැනීමේ නොහැකියාවයි. මෙම චිත්‍රපටය අනෙකුත් රජකතා චිත්‍රපට වලින් වෙන් වන්නේ මෙහි ඇති තාක්ෂණික ජයගැනීම් සමඟයි. ඒ සඳහා අප චත්‍රට සුබපැතිය යුතුය. ඒ අනුව චත්‍ර වීරමන්ගේ තාක්ෂණික ශූරත්වය හේතුවී ඇත්තේ එවැනි පොප් ඉතිහාසයක් නිර්මාණය කිරීමටය. යම් ලෙසකට චත්‍රට සිනමාවේ චත්‍රය සොයා ගැනීමට අවශ්‍යය නම් ඔහු සිදු කළ යුත්තේ සමන් වීරමන්ගේ පොප් ඉතිහාසය සෙවීමේ ව්‍යාපෘතියෙන් පලා යාමයි.

-එරන්ද මහගමගේ-

Advertisements