Ivan Peries

පරම්පරා කීපයක තරුණ පිරිසක් වෙත විකල්ප ජීවිතයක්, විකල්ප ලෝකයක්, විකල්ප අනාගතයක් පිළිබඳව විශ්වාසය සහ බලාපොරොත්තුව රැගෙන ආ අරුණ බණ්ඩාර නම් සුවිසල් මිනිසාගේ නික්ම යාම පිළිබඳව ශෝචනීය  පුවත මේ වන විට බොහෝ දෙනෙකු අසා තිබෙනු ඇත. ජීවිතයේ අවසන් මොහොත වන තුරුත් තමන් පිළිගන්න අදහස් වෙනුවෙන් අව්‍යාජ ලෙස පෙනී සිටි අරුණ යනු කිසිදු චකිතයකින් තොරව අපේ යුගයේ පරමාදර්ශී චරිතයක් ලෙස නම් කළ හැකි මිනිසෙකි. මෙයින් අදහස් කරන්නේ ඔහු පරිපූර්ණ මිනිසෙක් වූ බව නොවේ. ඔහු සමග අප බොහෝ කරුණු වලදී වාද විවාද කරගෙන තිබේ. නමුත් මේ සියලු නොඑකඟතා ඉක්මවාලූ මිත්‍රත්වයක් සහ ගෞරවයක් අරුණ වෙත හිමි වූයේ ඔහුගේ ජීවිතය මගින් ඔහු පෙනී සිටි බැරෑරුම් සත්‍යය නිසාය. ‘සටන් කිරීම’ යන්න සඳහා තිබූ සියලු ඓතිහාසික මූලෝපායන් දෙදරා ගිය වර්තමානයක සිට අරුණ අප්‍රතිහත ධෛර්යයකින් සටන් කිරීම – අර්ථ කීපයකින්ම – ප්‍රගුණ කළේය.

අරුණ විසින් අපගේ පොදු ලෝකයේ තබා යන හිඩැස පිරවීම එතරම් පහසු දෙයක් නොවේ. නමුත් අරුණ නොමැති අපගේ වේදනාබර, අසම්පූර්ණ ලෝකය තුළ අපට කළ හැකි එකම දෙය වන්නේ අරුණ වැනි මිනිසුන් උත්පාද කිරීමට මහන්සි වීම පමණි. අරුණ ගේ ආත්මීයත්වය අමරණීය වනු ඇත්තේ එවැනි උත්සාහයන් තුළයි.

පහතින් පළ වන්නේ ජිජැක් ගේ ලිපියක් සඳහා අරුණ ලබා දුන් සිංහල අනුවර්තනයකි.

***

ලෙනින් ප්‍රත්‍යාවර්තනය කිරීම – ස්ලේවෝයි ජිජැක්

ලෙනින් නැවත පුබුදුවාලීම පිළිබඳ අදහසට පළමු මහජන ප්‍රතිචාරය විය හැක්කේ උපහාසාත්මක සිනහවකි. මාක්ස් ගැටලුවක් නැහැ. වෝල් ස්ට්‍රීට් (wall street) වල පවා ඔහුට ආදරය කරනු ලබන අයවලුන් සිටී. මාක්ස් නැමැති පාරිභොගික භාණ්ඩ වල කවියා; ධනේෂ්වර ගතිකයන් පිළිබඳ පූර්ණ විස්තරයක් කරනු ලැබූ තැනැත්තා අපේ එදනෙදා ජීවිතයේ පරාරෝපණයන් (alienation) සහ නිරූපනය (reification) කරනු ලැබූ “සංස්කෘතික අධ්‍යයනය” තුළ හමුවන මාර්ක්ස්.

නමුත් “ලෙනින්” කව්ද? නමුත් ඔහු ඔබට බරපතල විය නොහැකියි. වැඩ කරනු ලබන මිනිසුන්ගේ ව්‍යාපාරය (working class), විප්ලවවාදී පක්ෂය (revolutionary party) එවන් බාගෙට මිය ගිය සංකල්ප (symbols).

නැවැරදිව සලකා බැලුවහොත් ලෙනින්ට මාක්ස්වාදය භාවිතාවකට දැමීමට ගොස් අසමත් වුනා නේද? විසි වන සියවසේ ලෝක දේශපාලනය තුළ එය මහා විනාශයක් වෙමින් සලකුණු වුනා නේද? මුල්ම සමාජවාදී අත්හදා බැලීම; ආර්ථිකව අසමත් ඒකාධිපතිවාදයකින් අවසන් වුණා නේද?

ලෙනින් හා ඇකඩමික දේශපාලනය

එම නිසා සමකාලීන ඇකඩමියානු දේශපාලනය තුළ ලෙනින් සමග ගනුදෙනු කිරීමේ අදහස ප්‍රධාන සුදුසුකම් දෙකක් මත රඳා පවතී.

‘ඔව්’ අපි ඉන්නේ ලිබරල් ප්‍රජතන්ත්‍රවාදය ඇතුලේ. මේ තුළ සිතීමේ නිදහසක් තිබේ.

  1. කොහොම වුනත් අපි ලෙනින්ට සැලකිය යුත්තේ විෂය මූලික, විවේචනාත්මක සහ විද්‍යාත්මක ආකාරයකටයි. නැතහොත් අතීත දුක්ඛ ප්‍රතිමා වන්දනාවක් (nostalgia) ලෙස නොවේ.
  2. ඒ වගේම එය කළ යුත්තේ, විසිවෙනි සියවසේ ඒකාධිපතිවාදයන් පිළිබඳව වේදනාවන්ගේ අත්දැකීම තුළින් පැන නැගුණු මානව හිමිකම් ක්ෂිතිජය තදින් මුල් ඇදුනු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පිළිවෙල නම් පර්යාවලෝකනය තුළිනි.

මෙයට අප කිවයුත්තේ කුමක්ද? මෙම සුදුසුකම් තුළින් ගම්‍ය වන ප්‍රශ්ණය පැහැදිලිව වටහා ගත හැකියි. මේ සඳහා අපට ලෙනින් ඉදිරිපත් කළ “සංයුක්ත තත්ත්වය පිළිබඳ සංයුක්ත විශ්ලේෂණය පාදක කරගත හැකිය” (concrete analysis of the concrete situation).

ඉන් ගම්‍ය කරනුයේ “ප්‍රජාතන්ත්‍රවාදී ඒකමිතභාවයන් (පොදු එකඟවීම්) පිළිබඳව ඇති පක්‍ෂපාතීත්වයයි. එය පිළිගැනීම යනු වර්තමාන ලිබරල් පාර්ලිමේන්තුවාදී ඒකමිතභාවයන් පිළිගැනීමයි. ලිබරල් පාර්ලිමේන්තුවාදී ඒකමිතිකභාවයන් පිළිගත් විට, එහි තුළ ඇති නිල වශයෙන්ම එයම පහත් කර සලකනු ලබන සහ එයම පාප සහායක වන ප්‍රපංචය පිළිබඳව බරපතල විවේචනයන්ට බාධා කිරීමත් සහ සමාජ දේශපාලන ක්‍රමය (social political order) සහමුලින්ම වෙනස් වන්නාවූ සමාජයක් පිළිබඳව පරිකල්පනය කිරීමට බාධා කිරීමය.

තවත් ලෙසකින් කිවහොත්, ඔබ කැමැති ඕනෑ දෙයක් ලියන්න කියන්න. නමුත් ඔබ කරන (what you do), ඔබ ලියන (what you write) කිසිවක්, පූර්වයෙන් නිශ්චිත වූ දේශපාලන ඒකමිතභාවයන් ප්‍රතිඵලදායී ලෙස (සාධනීය) ප්‍රශ්න කිරීමකට හෝ බාධා කිරීමකට ලක් නොකළ යුතුයි යන්නයි.

එම නිසා අනෙක් සියළු දේවල් වලට ඉඩ දෙනු ලබනවා, පොළඹවනු ලබනවා ඒවා නම්; විවේචනාත්මක මාතෘකාවන් ලෙස, ගෝලීය පාරිසරික ව්‍යසනය, මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, ලිංගවාදය (ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා වෙනස්කම් කිරීම), ප්‍රති ස්ත්‍රීවාදය (anti-feminism), දුර රටවල පමණක් නොව මහා නගරවලත් වේගයෙන් වැඩෙන හිංසාව, පළමු ලෝකය සහ තුන්වන ලෝකයත් අතර වෙනස, මහා පොහොසතුන් හා දුප්පතුන් අතර වෙනස, අපගේ එදිනෙදා ජීවිතයන් ඩිජිටල්කරණය වීම නිසා ඇතිවන විනාශකාරී බලපෑම ආදියයි.

එමෙන්ම මෙම කාලයේ අන්තර් ජාතික රාජ්‍යයන් හෝ සහයෝගී අරමුදල් මගින් බහුශික්‍ෂතා පර්යේෂණ (multidisciplinary) එනම් ජනවාර්ගික, ආගමික, ලිංගික හිංසාවේ නව ආකෘතීන්ට එරෙහිව කරනු ලබන පර්යේෂණ සඳහා අරමුදල් ලබාගැනීම තරම් ලෙහෙසි දෙයක් තවත් නොමැත. ප්‍රශ්නය වන්නේ මේ සියල්ල සිදුවන්නේ අති මූලික සිතීම තහනම් කිරීමකට පසුතලය සැකසීමකටයි.

අද දිනයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හෙජමොනිය තිරසාර කරනු ලබනුයේ අලිඛිත සිතීම තහනම් කිරීමක් මගිනි. මෙම තත්ත්වය 60 දශකයේ ජර්මනියේ තත්ත්වයට සමාන විය. පවතින්නා වූ දේශපාලන පිළිවෙළ බරපතල ලෙස ප්‍රශ්න කරන්නා වූ අඩුම සංඥාවන් පෙන්වූ විට පවා පිළීතුර වන්නේ එයට පවතින ලෙසට පවතින්න දෙන්න. මෙය අත්‍යාවශ්‍ය ලෙසම අළුත් ව්‍යසනයකින් අවසන් වේවි. සමූල ඝාතනයන්, ව්‍යසනයන් මගින් අවසන් වීමට නියමිත බව නැවත නැවත පෙන්වනු ලබන මතවාදීමය ක්‍රියාකාරීත්වය, මෑත කාලීනව තුන්වෙනි ලෝකයේත් සිදුවීම්, ව්‍යසන මගින්ද මෙම සිතීමේ තහනමට උදව් කරනු ලබයි. එමගින් අපට නැවත නැවත අනවරතව මතක් කරමින් සිටිනුයේ තත්ත්වයන් වඩාත් නරක් විය හැකි ආකාරයයි (ලංකාවේ සහ වෙනත් රටවල මෑත කාලීන අරගල සලකා බලන්න).

“හොඳින් වටපිට බලන්න, ඔබගේ ඉදිරිගාමී සංකල්පයන් අප අනුගමනය කළහොත් විය හැකි දෙය”. එමෙන්ම මෙම තහනම, විද්‍යාත්මක විෂය මූලිකත්වයන් ඉල්ලා සිටීමට (scientific objectivity) සමාන වෙයි.

යමෙකු බරපතල ලෙස “ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පිළිවෙල ප්‍රශ්න කරනු ලබන විට ඔහුව මෙසේ ප්‍රශ්න කළ හැකිය, චෝදනා කළ හැකිය. “මේ යල් පැන ගියපු, මතවාදීමය ස්ථාවරය උදෙසා, දැනට ලබා තිබෙන විද්‍යාත්මක දියුණුව (නැතහොත් විද්‍යාත්මක විෂය මූලිකත්වය) අත්හැර දැමිය හැකිද?

යමෙකුට තේරුම් ගැනීමට හෝ ඒත්තු ගැන්වීමට නොහැකි තත්ත්වය එයයි.

අද දිනයේ සිතීමේ සැබෑ නිදහස යනු පූර්ව නිශ්චිත – අති මූලික “ප්‍රජාතන්ත්‍රවාදී පශ්චාත් මතවාදී ඒකමිතිකතාවයන් (පොදු එකඟතා) ප්‍රශ්න කිරීමේ නිදහසයි”. එසේ නොමැති වුවහොත් නිදහස් සිතීම යනුවෙන් දෙයක් නොමැත.

-අරුණ ශාන්ත බණ්ඩාර-

Advertisements