Battle_at_Sea,_Pirates_Demise-1303661562m

“බලන්න, අපේ තත්වය අන්තිම නරකයි. මුලු කාමරයට ම තියෙන්නෙ මෙට්ට පහයි. නමුත් මෙතන 23 දෙනෙක් ඉන්නවා. ඔවුන් හැමවෙලේම වෙඩි තියන්න බලාගෙන ඉන්නෙ. අපිට නිදියන්න බැහැ. බයයි. කවුරුහරි වැසිකිළියට ගිහිං විනාඩි තුනකට වඩා පරක්කු වුණොත් ඒගොල්ලො වෙඩි තියනවා. අපි පාවිච්චි කරන්නෙ මුහුදු වතුර. කෑම හොඳ තත්වෙ නැහැ. උන් අපිට වතුර ලීටර් තුනක් දුන්නා. අපි දවස් තුනක් ඒක පරිස්සම් කරගෙන බොනවා. යේමනයේ මිලියනකට වඩා සෝමාලියනු ජනතාව ජීවත් වෙනවා. ඒගොල්ලන්ට යේමන් රජයෙන් වියදම් කරනවා ඒ වගේම යූ එන් එකෙනුත්. ඒත් ඔයාට පේනවද ඒගොල්ලො අපිට සළකන විදිය. සත්තුන්ට වගේ. මෙතන ඉන්නවා විවිධ ජාතීන්ට අයත් අය. යේමන්, ඝානා, සුඩාන්, පාකිස්ථාන, පිලිපීන, ඉන්දීය ජාතීන්. අපි සේරම ඉන්නෙ එකට. අපේ මිනිස්සුන්ට අපිව  ඕනෙ. අපේ රජයන් උත්සහ කරනවා අපිව බේරගන්න. අපි හැමෝටම පවුල්කරයො. මීට ඉස්සර හයිජැක් කරපු නැව් සේරම නිදහස් කළා. ඒ විවිධ මැදිහත්වීම් මත. ඒත් අපේ නැව යුරෝපීය හෝ ඇමරිකානු නැවක් නෙමෙයි. මේ තමයි එක්සත් ජාතීන්ගේ දේශපාලනය. ඒගොල්ලන්ට  ඕනෙ යුරෝපියකයන් බේරගන්න මැදිහත් වෙන්න විතරයි. අපි තුන්වන ලෝකෙ රටක් අපිව බේරගන්න කාටවත් වුවමනාවක් නැහැ. අපි මේ වෙනකං ගොඩක් උත්සහ කළා අපේ තත්වය පැහැදිලි කරලා දෙන්න, ඒත් කවුරුවත් ඇහුවෙ නැහැ. දැන්වත් අපිට කාගෙන් හරි උදව්  ඕනෙ. අපිට කියන්න ඉතුරු වෙලා තියෙන්නෙ එච්චරයි. දෙවි පිහිටයි.“

පසුගිය සතියේ මෙරට ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් බවට පත්වුණු ශ‍්‍රී ලාංකීය කාර්ය මණ්ඩලයක් සහිත වෙළඳ නෞවකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ඔවුන් භාරයට ගැනීමයි. එහිදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්, විදේශ සම්බන්ධතා, සෝමාලියා හා ඒ අවට තවත් රටවල්, මෙරට විදේශ අමාත්‍යංශයේ මැදිහත් වීම, ඇවන්ගාඞ් වැනි බොහෝ මාතෘකා කරළියට එන්නට විය. ඉහත වදන් පෙල 2010 වර්ෂයේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට පත් පැනමා ධජය එසවූ නෞකාවක ප‍්‍රධානියෙකු නීල් බෙල්ගේ “Real Story” වාර්තා චිත‍්‍රපටයට ඔවුන් එම අත්දැකීමේ සිටියදීම පැවසූ දෙයකි. මෙම ලිපියේ බොහෝ උපුටා ගැනීම් සිදු කළේ මෙම වාර්තා චිත‍්‍රපටයෙණි.

මීට පෙරත් මෙරට කාර්ය මණ්ඩලයක් සහිත නෞවකා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අතට පත් වූ අවස්ථාවක් අප අසා ඇත. මේ ලිපිය මගින් අප උත්සහ කරන්නේ සිංහල කියවන පාඨකයාට මෙන්ම අපට මග හැරී ඇති සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් බිහිවීම, ඔවුන්ගේ ඉතිහාසය සහ එහි ඇති දේශපාලනික තත්වය පිලිබඳ විමර්ශනයක් කිරීමටයි.

සෝමාලියා සමූහාණ්ඩුව අප‍්‍රිකා මහද්වීපට අයත් රටකි. සෝමාලියාව වයඹ දෙසින් ජිබොට් රාජ්‍යයටත්, නිරිතදිගින් කෙන්යාවත්, උතුරින් ඒඞ්න් බොක්කටත්, නැගෙනහිරින් ඉන්දියානු සාගරය සහ බටහිරින් ඉතියෝපියාවටත් මැදිව පවතියි. ඔවුන්ගේ මුහුදු තීරය කි.මී. 3330 කින් යුක්තය. (ශ‍්‍රී ලංකාවේ කි.මී. 1340 කි.) එතරම් විශාල මුහුදු තීරයට හිමිකම් කියන රාජ්‍යයක් වුවත් ඔවුන්ට වෙරලාක්ෂණක හමුදාවක් නැත. එම නිසා එය නිදහස් මුහුදු තීරයක් ලෙස ජාත්‍යන්තර වශයෙන්ම නම් වී ඇත.

එම හේතුවෙන් සෝමාලියාවට අයිති නොගැඹුරු මුහුදු කලාපයේ මසුන් ඇල්ලීම, වෙනත් රාජ්‍යයන් විසින් බොහෝ කාලයක පටන් නීති විරෝධීව සිදු කරමින් සිටිනවා. එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව සෑම වසරකම ඇමරිකානු ඩොලර් මිලියන 300 ක පමණ වටිනා මත්ස්‍ය ප‍්‍රමාණයක් මෙම මුහුදු කාලපයෙන් වෙනත් රටවල් විසින් සොරා ගන්නවා. සෝමාලියනු ධීවරයන් නොදියුණු ක‍්‍රම භාවිතා කරද්දි විදෙස් නෞවකා, නව තාක්ෂණික ක‍්‍රම මගින් වැඩි මත්ස්‍ය ප‍්‍රමාණයක් අල්ලා ගන්නවා. මේ හේතූන් නිසා පෙරට වඩා තම ධීවර කටයුතු ඉතාම සුළු පරිමාණයෙන් කිරීමට සෝමාලියානු ජනතාවට සිද්ධ වෙලා තියෙනවා.

‘ටයිම්’ බ්ලොග් අඩවියේ ස්කොට්ලන්ත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පීටර් ලේයර් පවසන අන්දමට මෙන්න මේ නෞවකාවලට විරුද්ධව තමයි මුලින්ම 1990 පමණ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් බිහි වෙන්නෙ. සෝමාලියානු මුහුදු තීරයට වැඩි වශයෙන් පැමිණෙන්නේ ස්පාඤ්ඤ, දකුණු කොරියානු සහ ජපන් යාත‍්‍රා. ඒවා බොහොමයක් නීති විරෝධී සහ බලපත‍්‍ර රහිත ඒවා. බොහෝ අවස්ථාවල මුහුදු කොල්ලකරුවන් සේ ම ඔවුනුත් ජාත්‍යන්තර වෙරළාසන්න නීති උල්ලංඝනය කරනවා. පීටර් ලේයර් වැඩිදුරටත් සඳහන් කරන්නේ වෙරළාරක්ෂක ස්වෙච්ඡා සේවයක් ලෙස මේ සිදුවීම්වල මුල් අවස්ථාව හැඳින්විය හැකි බවයි.

ඒ අතර සෝමාලියාවේ 1990 පමණ ආරම්භ වුණු සිවිල් යුද්ධයත් ඊට වෙනත් ආකාරයකින් බලපෑවා. සෝමාලියා සිවිල් යුද්ධය ඇරඹෙන්නේ 1980 දශකයේ එය පාලනය කළ සෙයිඩ් බාරේ රෙජීමයට විරුද්ධවයි. 1988 එරට හමුදාවේ විවිධ පාර්ශවයනුත් කැරලිකරුවන් සමග මෙම රෙජීමයට එරෙහිව එකතු වෙනවා. උතුරෙන් සොමාලියානු ගවලාගැනීමේ ප‍්‍රජාතාන්ත‍්‍රවාදී පෙරමුණත් හා සෝමාලියනු ජාතික ව්‍යාපාරයත්, දකුණෙන් එක්සත් සොමාලියනු කොන්ග‍්‍රසයත්, 1991 දී මෙම රෙජීමය පෙරලා දැමීමට සමත් වෙනවා. එහි තවත් ප‍්‍රතිඵලයක් හැටියට 1998 උතුරු සෝමාලියාව පුට්නම් රාජ්‍ය ලෙස ස්වාධීන රාජය්‍යක් බවට පත්වෙනවා. ඉන්පසුව මීට පෙර කාර්යබහුල වරායන් දෙකක් වූ අයිල් සහ ගරාකඩ් වරායන් පුට්නම් රාජ්‍යය යටතේ පාලනය විය. නමුත් මෙම සිවිල් යුද්ධය සෝමාලියානු අගනුවර කේන්ද්‍ර කරගනිමින් තවමත් ක‍්‍රියාත්මක වෙනවා.

සෝමාලියේ එක් ප‍්‍රධාන නරගයක් වන ගල්කයො හි පුට්නම් ආණ්ඩුකාරවරයා කියන ලෙස,  “අපේ ප‍්‍රධානතම ප‍්‍රශ්නය ආරක්ෂාව. මේ ප‍්‍රශ්න සේරම එන්නෙ සෝමාලියාවෙ මොගඩිෂු අගනුවර පවතින යුද්ධය නිසා. මරාගෙන මැරෙන බෝම්බ වගේම හිස ගසා මරා දැමීම් සිද්ධ වෙනවා. ඔබට දකින්න පුලූවන් අපේ රටේ ගොඩක් මිනිස්සු ඉන්නෙ නිකං. 90‍% විතර රැකියා කරන්නෙ නැහැ.”

ගල්කයො තාක්ෂණික විද්‍යාලයේ විදුහල්පති,  “මෙහෙ අපි තරුණයො වෙනුවෙන් තාක්ෂණික විද්‍යාලයක් පවත්වාගෙන යනවා. නමුත් රජයෙන් මේකට ප‍්‍රතිපාදන ලැබෙන්නෙ නැහැ. නමුත් International Aid Organizations එකෙන් මුදල් ලැබෙනවා.”

නැවත ගල්කයො හි, පුට්නම් ආණ්ඩුකාරවරයා, “අවංකවම කිව්වොත් රාජ්‍ය නොවන සංවිධාන වලින් අපිට ගොඩක් උදව් කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙනුත්. විශේෂයෙන්ම අධ්‍යාපනයට හා සෞඛ්‍යයට. සෝමාලියාවේ බොහොමයක් දෙනාගෙ පවුල්වල සාමාජිකයින් ඉන්නෙ රටින් පිට. ඔවුන් නොයෙක් රටවල සේවය කරනවා.”

ගල්කයො සරණාගත කඳවුරක මවක්,  “ඔයාට පේනවද මෙහෙ තරුණයො කාටවත් රැකියා නෑ. ගොඩක් අය මොගඩිෂුවලින් ආපු අය. තරුණයන්ගෙන් සෑහෙන්න පිරිසක් ඉන්නෙ යුද්ධෙත් එක්ක. ඒගොල්ලොත් මේ රටේ කොටසක්. උන් බය වෙලා ඉන්නෙ.”

ගල්කයො තාක්ෂණික විද්‍යාලය විදුහල්පති,  “සෝමාලියනු තරුණයො ගොඩක් රට අත ඇරලා යනවා. යුරෝපයට, ඇමරිකාවට වගේ. තව අවුරුද්දකින්, මාස හයකින් වගේ ඇවිත් ඉඩම් කෑල්ලක් හරි වාහනයක් හරි ගන්නවා. ඊට පස්සෙ ඒගොල්ලන්ගෙ දෙවැනි විවාහය කරගන්නවා. ඊට පස්සෙ ඩොලර් 100 අරගෙන කැසිනෝවලට යනවා.”

පුට්නම්වල වැඩිහිටියෙක්, (පුට්නම් රාජ්‍යයේ පාර්ලිමේන්තුව ක‍්‍රියාත්මක වෙන්නෙ මේ වැඩිහිටියන්ගෙන්)  “මම කතා කරන්නම් මුලින්ම. මම තමයි වයසම කෙනා. අපි මේ හැම ප‍්‍රශ්නයක්ම විසඳනවා. මිනිස්සු එකිනෙකා මරා ගන්නවා. එක්කො ඒගොල්ලො අනිත් අයව තුලාව කරනවා. පිහියෙන් අනිනනවා නැත්තං වෙඩි තියෙනවා. මිනිස්සු භූමියේ අයිතිවාසිකම් වෙනුවෙන් ආරවුල් ඇති කරනවා. අපි ඒවා නීත්‍යානුකූලව ලබා දෙනවා ඒවා අයිති අයට. මේ ආරවුල් සමහර වෙලාට වාහන පැහැර ගන්නවා වගේ දේවල් කරනවා. අපි මේ හැම දෙයක්ම හොඳ තත්වයකට පත් කරනවා. අපේ අය නැව් පැහැර ගන්නවා ඒත් සාමාන්‍යයෙන් අපි ඒවා නැවත අයිතිකාරයින්ට දෙන්න කටයුතු කරනවා. අපි උත්සහ කරන්නෙ මේව නැති කරලා සාමය ඇති කරන්න.”

වාර්තාකරු, “ඔබ මොකද හිතන්නෙ මුහුදු කොල්ලකරුවන්ගෙ ප‍්‍රශ්නය ගැන. කොහොමද ඒක නතර කරන්නෙ.”

 “මං කියන්නම්. (වෙනත් පාර්ලිමේන්තු වැඩිහිටියෙක් ඉදිරිපත් වෙමින්) මේ හැමදෙයක්ම පටන් ගත්තෙ ධීවරයො ඉතාම දුප්පත් වෙන්න ගත්තට පස්සෙ. ඒගොල්ලො ජීවත් වුණේ මුහුදෙ. ඒගොල්ලන්ට තිබුණෙ පුංචි බෝට්ටු විතරයි. ඒත් ඒගොල්ලන්ගෙ ධීවර ආම්පන්න විදේශ නැව් වලින් ගත්තා.”

සෝමාලියානු ධීවරයෙක්,  “මම උපන්නෙ අයිල් වල. මම ධීවරයෙක්. අපි ඉස්සර සෑහෙන මුදලක් ඉපැව්වා මේ කර්මාන්තයෙන්. උන් අපේ දැල් මාළු සේරම අයිති කරගෙන. උන්ගෙ කොකුවලට පතුලෙ තියෙන සේරම ඇඳලා ගන්නවා. හයිඩ්‍රොලියක්වලට මාළු බිත්තර විනාශ වෙනවා. දැන් සේරම විනාශවෙලා පතුලෙ මුකුත් නැහැ.”

සෝමාලියාවේ පිහිටි ප‍්‍රධාන වරායක් පිහිටා තිබෙන්නේ මෙම අයිල් නගරයෙහිය. අයිල් හි නගරාධිපති අදහස් දක්වන්නේ,  “රජය කිසිම දෙයක් කරන්නෙ නැහැ මේ මුහුද ආරක්ෂා කරගන්න. තාමත් විදේශ යාත‍්‍රා ඇවිල්ලා මෙහෙ මාළු අල්ලනවා. ඊටත් වඩා අපේ ධීවරයන්ගෙ ආම්පන්න ඔවුන් විනාශ කරනවා. සමහර වෙලාවට මිනිස්සුන්ව මරනවා. මේ නිසා අපේ මාළු ව්‍යාපාරකයින් සහ මිනිස්සු සෑහෙන ප‍්‍රශ්න ගොඩක ඉන්නෙ මේ නිසා.”

පෙර අදහස් දැක්වීමට ඉදිරිපත් වූ පුට්නම් පාර්ලිමේන්තුවේ දෙවන වැඩිහිටි සාමාජිකයා, “කොහොමද මේව පටන් ගත්තෙ. මුලින්ම ඒගොල්ලො. ඊට පස්සෙ තමයි අපේ අය. දැන් අපේ අය ඒගොල්ලන්ව අල්ලගෙන සුළු කප්පම් මුදලක් ඉල්ල ගන්නවා. ඒ අය කරන්නෙ ටික වෙලාවකට ඒගොල්ලන්ව ප‍්‍රාණ ඇපයට අරගෙන සුළු මුදලක් ගන්න එක.”

මේ අතර මුහුදු කොල්ලකරුවන් පවසන්නේ, “මම කලින් ගොපල්ලෙක්. ඒත් නැව් ඇවිත් අපේ අයිතිය පැහැර ගන්නවා හදනවා කියලා ඇහුවහම අපි තීරණය කළා අපේ මුහුදෙන් මේ නැව් ඉවත් කරන්න කටයුතු කරන්න.” තවත් මුහුදු කොල්ලකරුවෙක්,  “සහෝදරයා මම මුහුදු කොල්ලකරුවෙක් නෙමෙයි මම මගේ මුහුද ගැන පරික්ෂාවෙන් ඉන්න කෙනෙක්. අපේ මුහුද සූරාකන විදෙස් නැව්වලට අපි දඩුවම් කරනවා.”

මීට පරස්පර අදහසක් දක්වන සෝමාලියානු ධීවරයෙක්, “ඒගොල්ලන්ගෙ මෝඩ මොරාල් එක නිසා හැම වෙලේම අපේ මිනිස්සුත් එක්කත් රණ්ඩු ඇති කරගන්නවා. අපේ මිනිස්සුන්ට අවශ්‍ය හොඳින් අවංකව ජීවත් වෙන්න. මේ මුහුදු කොල්ලකරුවො ළග තියෙන්නෙ ජරා සල්ලි. ඇත්තම කියනවා නම් අපේ රටේ තියෙන ප‍්‍රධානතම ප‍්‍රශ්නයක් තමයි මේ මුහුදු කොල්ලකරුවන්ගෙ ප‍්‍රශ්නෙ. නමුත් රජයටවත් කාටවත් වුවමනාවක් නැහැ ඒ අයව නවත්වන්න. අපි කවුරුවත් අනුමත කරන්නෙ නැහැ ඒ අය කරන දේවල්. අපි ඒගොල්ලන්ට  ඕන විදියට අපේ ප‍්‍රදේශය පාලනය කරන්න දෙන්නෙ නැහැ. අපි අමාරුවෙන් අපේ වැඩ කරගන්න තනියම සටන් කරනවා. ඒත් මුහුදු කොල්ලකරුවො මිලියන් ගණන් උපයනවා.”

මුහුදු කොල්ලකරුවන්ගේ ප‍්‍රධානියෙක්, “ඉස්සර මම මාළු අපනයන කරන්නෙක්. අපිට හරිහමන් රජයක් නැති නිසා අපේ මාළු අලෙවිය එන්න එන්නම පහළ මට්ටමක තියෙන්නෙ. ඒක නිසා මම මුහුදු කොල්ලකරුවන්ගේ මුල්‍ය කටයුතු සිදු කරන්නෙක් බවට පත්වුණා. මේ විදේශ නැව් අපේ නම් භාවිතා කරලා තමයි මෙහෙ මාළු අල්ලන්නෙ. ඊජිප්තුව සහ  ඕලන්දය වගේ රටවල් තව ප‍්‍රංශය, තායිලන්තය වගේ රටවලට අයිති නැව්වල තියෙන්නෙ අපේ රටේ කොඩිය. ඔවුන් ඒක පාවිච්චි කරනවා අපේ මාළු හොරකං කරන්න. ඔවුන් අපේ ධීවරයන්ගෙ දැල් බලෙන් අර ගන්නවා. ඒකයි අපි දැන් තෙල් නැව් අල්ලගන්නෙ. ඔබලා මේ කිසි දෙයක් දන්නෙ නැහැ.  ඕගොල්ලො ඒ අයට ගෞරව කරනවා. ඒ අයගෙ ජාතියට, ආගමට ගෞරව කරනවා. සෝමාලියානු සංස්කෘතියත් අමුත්තන්ට ගෞරව කරනවා.”

වාර්තාකරු, “සල්ලි දුන්නෙ නැත්තං  ඕගොල්ලො මොකද ඒ අයට කරන්නෙ ?”

 “ඒගොල්ලන්ව ප‍්‍රාණ ඇපයට අරගෙන නැව ගිනි තියනවා.”

අයිල් නගරයේ වැසියෙක් හා හිටපු මුහුදු කොල්ලකරුවන්ගේ සාමාජිකයෙක්,  “මීට අවුරුදු එකමාරකට විතර කලින් මං ඔවුන් සම`ග එකතු වුණා. ඔවුන්ට කිසිම ආචාරශීලීත්වයක් නැහැ. එතකොට අයිල් වරාය ඔවුන්ගෙ. ඔවුන් ගොඩක් වියදම් කළේ මත් ද්‍රව්‍යවලට, වාහනවලට. සමහර වෙලාවට ඒවා ඔවුන්ගේ යාළුවන්ටත් දුන්නා. ඔවුන් සල්ලි ඉතරු කළේ නැහැ.”

අයිල් නරගයේ නගරාධිපති, “අපි කවදාවත් ඔවුන් එක්ක සටන් කරලා. කොල්ලකරුවො වැරදියි කියන එක දැන් ජනාතවට අවබෝධ වෙලා තියෙනවා. ප‍්‍රශ්නෙ තියෙන්නෙ මේ නිසා විදේශ ආධාර හා සංවර්ධනය සඳහා බාධා ඇති වෙනවා. මේවා ජනතාවට තව තවත් අවබෝධ වුණු දවසට ඔවුන් කොල්ලකරුවන්ට විරුද්ධව සටන් කරයි. ඇනකොටා ගැනීමකින් තොරව මේව විසඳන එක ඒක පර්ලිමේන්තුවෙ වගකීමක්.”

ගල්කයාහි අවතැන් කඳවුරක සාමාජිකාවක්  “ගොඩක් දෙනෙක් නිදියන්නෙ එළියෙ. ඔවුන්ට ආහාර, සනීපාරක්ෂාව සහ ඇඳුම් නැහැ.”

වාර්තාකරු, “මෙහෙම වෙන්න ප‍්‍රධාන හේතුව මොකද්ද මිනිස්සු ඇයි මොගඩිෂුවලින් පළා එන්නෙ.”

 “ප‍්‍රශ්නෙ තියෙන්නෙ මොගඩිෂුවල. මිනිස්සු යුද්ධයක් නැති ප‍්‍රදේශයට පලා යනවා. ඉතිං අපි මෙහෙට ආවා.”

ගල්කයො හි වැඩබලන ආණ්ඩුකාරවරයා,  “සංවර්ධිත රටවල් අපි වෙනුවෙන් මුදල් දෙනවා එක්සත් ජාතීන්ට. ඒත් ඔවුන් ඒ මුදල් නාස්ති කරනවා සුදු කාර්වලටයි, සුදු ජෙට්වලටයි. අපේ ජනතාවට මුකුත් ලැබෙන්නෙ නැහැ. ඒගොල්ලො එදිරිවාදිකම් නිර්මාණය කරනවා මොකද ඔවුන් අපේ නමින් ගොඩක් මුදල් අරගන්න නිසා. ඒගොල්ලො ඒවා විදයම් කරන්නෙ ඒගොල්ලන්ගෙ පුද්ගලික ආරක්ෂාවට මං කිව්ව සුදු කාර්වලටයි ජෙට්වලටයි. මොගඩිෂුවල තරුණයො විශාල බලයක් ලබාගෙන අපේ පොඩි දරුවන්ගෙ හිස ගසා දමනවා. මේවා සෝමාලියානු ජනතාව ඇති කරගත්ත ගැටුම් නෙමෙයි. යුරෝපියකයන්ගෙයි අරාබියෙයි වුවමනවාට ඇති වුණු ගැටුම්. ඒ වගේම ඇමරිකාවයි, අප‍්‍රිකාවත් සම්බන්ධයි. දැන් අවුරුදු 20ක් තිස්සෙ වෙන්නෙ මේක.”

ගල්කයො තාක්ෂණික විද්‍යාලයේ විදුහල්පති, “ඇත්තටම මුහුදු කොල්ලකරුවො පිට අය නෙමෙයි. ඔවුන් අපේ අය. අපේ දරුවො, සහෝදරයො. ඔවුන්ගේ දුප්පත් කම නිසා ඔවුන් උත්සහ කරනවා දින කිහිපයකදී ඉක්මනින් පොහොසත් වෙන්න.”

පුට්නම් පාර්ලිමේන්තුවේ තවත් වැඩිහිටියෙක්, “සෝමාලියාව ගැන හැමෝම දන්නෙ මුහුදු කොල්ලකරුවන් ගැන විතරයි. කවුද දන්නෙ සෝමාලියාව අද වැටිලා ඉන්න තත්වෙ ගැන සහ ඔවුන්ට තනියම නැගිටින්න අමාරුයි කියන එක. මුහුදු කොල්ලකරුවො කියන්නෙ සෝමාලියාවේ තියෙන සුළු දෙයක්. ඊට වඩා මහා පරිමාණ මුහුදු කොල්ලකරුවො ඉන්නවා විදේශ රටවල. ඔවුන් ඇවිල්ලා අපේ මාළු සහ අපේ අනෙකුත් සම්පත් කොල්ල කනවා. අපිට කරන්න කිසි දෙයක් නැහැ.”

අයිල් නගරයේ නගරාධිපති,  “මට වෙන දෙයක් කියන්න තියෙනවා. අපිට මේ කොල්ලකරුවන් පරාජය කළත් අපිට අර විදේශ නැව් පරාජය කරන්න බැහැ. මේ ප‍්‍රශ්න දෙකම එකයි.”

පුට්ලන්හි ගල්කයො නගරෙයේ වැඩබලන ආණ්ඩුකාරවරයා, “ප‍්‍රධාන ප‍්‍රශ්නය තියෙන්නෙ සෝමාලියානු තරුණයින්ගේ. ඔවුන් හිතනවා ඔවුන්ගේ අනාගතය තමයි යුරෝපයට යන එක කියලා. සමහරු හැමවෙලේම අතේ තුවක්කු තියාගෙන ඉන්නවා. අපේ වයස අය බයෙන් ඉන්නෙ කොයි වෙලේ කොතන වෙඩි තැබීමක් වෙයිද කියලා. රටක තරුණයො තමයි අනාගතය.”

මේ තත්වයන් මත මිලියන 1.5 ක ජනාතවක් සෝමාලියාවේ අවතැන් වෙලා ඉන්නවා. ප‍්‍රශ්නය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට පමණක් ඌනනය කළ නොහැකි බව මෙම වාර්තා චිත‍්‍රපටිය හා අනෙකුත් මූලාශ‍්‍ර මගින් මනාව පැහැදිලි වන කරුණකි. අභ්‍යන්තර යුද්ධයක්, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලූ, රාජ්‍ය දූෂණ වැනි කරුණු මුල් කොට ගෙන අපරාධ ඇති වීමේ අවධානම අද දවසේ තුන්වන ලෝකයේ රටවල් මුහුණ පාන ප‍්‍රධාන ගැටලූවකි. සෝමාලියානු මුහුදේ පවතින ගැටලූව විසඳීමට පෙර එරට අභ්‍යන්තර ගැටලූ විසඳිය යුතුව ඇත. සෝමාලියාවට තම මුහුද ආරක්ෂා කර ගැනීමට යුධ ශක්තියක් නැත, සංවර්ධිත රාජ්‍යයන්ගේ නෞවකා මෙම මත්ස්‍ය සොරකම නවත්වන්නේද නැත. මේ තත්වයන් මත මුහුදු කොල්ලකරුවන් පමණක් නිහඬ කිරීමට උත්සහ ගැනීම නිශ්ඵල කටයුත්තකි. තවද එරට රජයට තරුණයන් ස‍දහා දිගු කාලීන වැඩි පිළිවෙලක් නැත. ගරිල්ලා කල්ලි බිහිවීමේ ධනවාදී මූලාශ‍්‍රයන්වලට සෝමාලියාව අභාග්‍ය සම්පන්න නිදර්ශනයකි.

අප අසා තිබෙන්නේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් කියන බිහිසුණු මිනිසුන් පිරිසක් පිළිබඳව පමණි. නමුත් සත්‍ය වශයෙන්ම මෙතන තිබෙන්නේ අතිශය සංකීර්ණ දේශපාලන ප්‍රශ්නයක මතුපිට ප්‍රකාශනය පමණක් බව පැහැදිලි වේ. සාත්‍ර කියූ ලෙස ත්‍රස්තවාදය යනු පීඩිතයාගේ න්‍යෂ්ඨික බෝම්බය වන්නේ නම්, සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිළිබඳව සංවාදයක් ඇති කර ගැනීමෙන් අපට අප නොදැනුවත්ව අපව පාලනය කරනා ගෝලීය සිතියමක බල රටා හඳුනා ගැනීමට උපකාර වනු ඇත.

– රංග මනුප්‍රිය –

Advertisements