Ulrike Muller1

2000 දශකයේ අවසානයේදී ඇලේන් බදියූ නම් සමකාලීන දාර්ශනිකයා විසින් ‘කොමියුනිස්ට් උපන්‍යාසය’ යන යෙදුම අපගේ බුද්ධිමය ලෝකයේ සංවාද මේසයට ගෙන එනු ලැබීය. එයට අනුව ‘කොමියුනිස්ට්වාදය’ යන්න මගින් අරුත් ගැන්වූයේ අනාගතයේ බිහි වීම අනිවාර්ය වන්නා වූ සමාජ ක්‍රමයක නම හෝ වර්තමානයේ දේශපාලනය කළ හැකි වැඩ පිළිවෙලක් හෝ නොවේ. ඒ වෙනුවට කොමියුනිස්ට් උපන්‍යාසය යනු අපගේ දේශපාලන මැදිහත්වීම් දිශානත කළ හැකි වන ආකාරයේ උපාය මාර්ගික අදහසකි. ‘නිදහස් වෙළඳපොළ’ මෙන්ම ‘ජාතිය’ යන්නද ඇතුලත් කළ හැකි මේ ආකාරයේ අදහස් යනු යථාර්ථය තුළ සැබැවින්ම පවත්නා වූ ප්‍රපංචයන් නොව එවැනි ප්‍රපංචයන් අපට පෙළ ගැස්සවීමට සහ යළි සකස් කිරීමට උපකාරී වන ගවේෂණාත්මක මූලධර්ම වේ. ඒවා මගින් අපට අලුතෙන් ඉගෙන ගැනීමට, අලුත් දේ සොයා ගැනීමට, පර්යේෂණ කිරීමට ඉඩ විවර කර දෙයි.

බදියූ ගේ තර්කයට අනුව කොමියුනිස්ට්වාදය නම් අදහස ඇසුරින් දේශපාලනය කිරීමේ යුග – ‘අනුක්‍රමණ’ – දෙකක් පසු කර අප පැමිණ තිබේ. පළමු යුගය අයත් වන්නේ ප්‍රංශ විප්ලවයේ සිට පැරිස් කොමියූනය දක්වා කාලයට වන අතර, දෙවැනි යුගය 1917 වසරේ රුසියානු විප්ලවයේ සිට විසි වෙනි සියවසේ අවසන් කාර්තුව දක්වා දිව යයි. 1871 වසරේ අවසන් වූ පැරිස් කොමියූනය මගින් කොමියුනිස්ට් උපන්‍යාසයේ පළමු යුගය අවසන් වනවා යන්නෙන් අදහස් වන්නේ 1917 වසර වන තුරු – එනම්, වසර පනහකට ආසන්න කාලයක් – ගත වූයේ මෙම උපන්‍යාසය අවරෝධනය වූ ලෝකයක යන්නයි. එලෙසම, බදියූ ට අනුව, 1980 දශකයට පසුව අප ගත කරමින් සිටින්නේද, ඒ ආකාරයටම කොමියුනිස්ට් උපන්‍යාසය අවරෝධනයකට ලක් වූ යුගයකයි. මෙවැනි යුගයක ආධිපත්‍යධාරී අදහස ලෙස ධනවාදයේ ඇති සද්භාවවේදී අනිවාර්යතාවය හඳුනා ගත හැක. ෆ්‍රෙඩ්රික් ජේම්සන් ගේ ජනප්‍රිය නිරීක්ෂණය මගින් පෙන්වා දුන් ආකාරයට, අපට ධනවාදය වෙනස් වන ලෝකයක් පරිකල්පනය කර ගැනීමට වඩා, මේ යුගය තුළ, ලෝක විනාශය පරිකල්පනය කර ගැනීම වඩා පහසු වෙයි.

මෙවැනි ඓතිහාසිකත්වයක් තුළ කළ යුතු දෙය වන්නේ කුමක්ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් බදියූ ගේ අදහස මූලික කොටස් දෙකකින් යුක්ත වේ. එක පැත්තකින් අප උත්සාහ කළ යුත්තේ පවත්නා බල ව්‍යාපෘති අතරින් මෙම මූලධර්මයේ ලිට්මස් පරීක්ෂාව සමත් වන නවීනත්වයන් තිබෙන්නේ කොතැන ද යන්න දෙස අවධානයෙන් සිටීමයි. අනෙක් අතට අප මෙම මූලධර්මයේ කල් පැවැත්ම වෙනුවෙන් සටන් කළ යුතු වේ – එය ඉතිරි විය හැකි කුඩා අවකාශයන් සහ කාලයේ මොහොතවල් නිර්මාණය කිරීමට උත්සාහ කළ යුතු වේ.

එක්තරා අර්ථයකින් ගත් විට, බ්‍රහස්පතින්දා සවස අප ඇති කරන්නට උත්සාහ කරනා සංවාදයේ අරමුණ දිශානත වන්නේද මෙම බදියානු යෝජනාව වෙතටයි. අප උත්සාහ කරන්නේද සාමූහික ක්‍රියාකාරකම් පිළිබඳව විශ්වාසය තැබිය හැකි ආකාරයේ අවකාශීය සහ කාලක්‍රමික මොහොතක් නිර්මාණය කිරීමටයි.

මෙම පසුබිම යටතේ මෙවර සංවාදය සඳහා අපි ඉතාම සරල ප්‍රශනයක් ඇසුරින් මෙවර සංවාදය ඉදිරියට ගෙන යාමට තීරණය කළෙමු. ඒ තමයි: ‘අප විසින් සිදු කරනු ලබන්නේ දේශපාලනයක් කියා අප හඳුන්වා ගන්නේනම්, එය එසේ වන නිශ්චිත ආකාරය කුමක්ද?’ යන්නයි. මෙයින් අසන්නේ ‘කළ යුත්තේ කුමක්ද’ කියනා ඓතිහාසික ලෙනින්වාදී ප්‍රශ්නය නොවේ. ඒ වෙනුවට මෙහිදී අසන්නේ අප මේ වනවිටත් කරමින් සිටිනා ක්‍රියාකාරකම් ‘දේශපාලනය’ යනුවෙන් හඳුන්වා ගන්නේ කුමන අර්ථයකින් ද යන්නයි. අප කරමින් සිටිනා දේශපාලනය සහ, නිදර්ශනයක් ලෙස, බෝල්ෂෙවික් ආකෘතියේ සටන්කාමියෙක් ගේ දේශපාලනය අතර වෙනසක් තිබේද? එසේ වන්නේනම් එයට හේතු මොනවාද?

මෙම ප්‍රශ්න අප මෙතෙක් සාකච්ඡා කළ සියලුම කරුණු තුළ පසුබිමේ තිබූ ඒවා වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් මෙය මේ ආකාරයට සූත්‍රගත වීමේ ආසන්නතම හේතුව වූයේ නිර්මාල් ගේ දේශපාලනය ප්‍රතිසංස්කරණවාදී දේශපාලනයක් යනුවෙන් බූපති කළ හැඳින්වීමයි. අපගේ දේශපාලන ක්‍රියාකාරම් හැඳින්විය යුත්තේ ‘විප්ලවවාදී’ ලෙස, ‘ප්‍රතිසංස්කරණවාදී’ ලෙසද, මේ දෙක අතර මැද තිබෙන වෙනත් තුන්වැනි ලෙසකටද? මෙම බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ දී නිර්මාල්ගෙන්, බූපතිගෙන් මෙන්ම විදර්ශනගෙන්ද අසන්නට නියමිත වන්නේ මෙම ප්‍රශ්නයයි. එසේ වන්නේ ඔවුන් අතරින් අවසන් පරම පිළිතුර තිබෙන්නේ කවුරුන් සතුවද යන්න සොයා ගැනීමේ අටියෙන් නොව මේ ප්‍රශ්නය පිළිබඳව විවෘත සංවාදයක් ඇති කරගැනීමටත්, එවැන්නක් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමත් වෙනුවෙනි.

මේ සඳහා සූදානම් වීමක් ලෙස ඇලේන් බදියූ ගේ ‘සාකෝසි යනු කුමක්ද?’ යනුවෙන් සිංහලට පරිවර්තනය වූ කෘතියේ, මේ සඳහා අදාළ කියවීම් කීපයක් පළ කරමු. මේ ඇසුරින් අපගේ සංවාදය සඳහා යහපත් පසුබිමක් නිර්මාණය වේය යන්න අපගේ ප්‍රාර්ථනයයි.

***

කොමියුනිස්ට් උපන්‍යාසය

‘කොමියුනිස්ට්වාදය’ යන්නෙන් අප අදහස් කරන්නේ කුමක්ද? 1844 අත්පිටපත් වලදී මාක්ස් තර්ක කල පරිදි කොමියුනිස්ට්වාදය යනු මිනිස් වර්ගයාගේ ඉරණම පිලිබඳ අදහසකි. අද වන විට දිරා පත් වී ඇති ‘කොමියුනිස්ට්’ කියන විශේෂණ පදයෙන්, හරියට ‘කොමියුනිස්ට් පක්ෂ’, ‘කොමියුනිස්ට් රාජ්‍ය’ නැතිනම් ‘කොමියුනිස්ට් ලෝකය’ (‘කොමියුනිස්ට් රාජ්‍ය’ යන්න විරුද්ධාර්ථයක් {oxymoron} යන්නත් ඒ වෙනුවට ව්‍යාකූල නාමකරණයක් වූ ‘සමාජවාදී රාජ්‍ය’ යන්න බුද්ධිමත් ලෙස තෝරාගත් බවත් අපි අමතක කරමු’) වැනි ප්‍රකාශන වලදී යෙදෙනා අයුරින්, මෙම වචනය සම්පූර්ණයෙන් වෙන් කල යුතු වේ. අප පසුව හඳුනා ගන්නා ලෙස වචනයේ මෙම භාවිතයන්  අයත් වන්නේ උපන්‍යාසය සද්භාවයට-පැමිණීම (coming-to-be) වෙමින් තිබුණු කාලයකට යි.

පළමුවෙන්, එහි ගණික (generic) අර්ථයෙන් ගත් විට ‘කොමියුනිස්ට්’ යනු නිශේධනාත්මක ලෙස – එහි සෞත්‍රික (canonical) පථීථය වූ ‘කොමියුනිස්ට් ප්‍රකාශණය’ තුළ අපිට දැකිය හැකි වන පරිදි – පංතීන්ගේ තර්කණය, ආධිපත්‍යධාරී පංතියක් වෙනුවෙන් සැබවින් වැඩකරන ජනයාගේ මූලධාර්මික යටත් වීම ජයගත හැකිය යන්නයි. ඈත අතීතයේ සිට ඉතිහාසය තුල තිබුණු මෙම සැකැස්ම මග නොහැරිය හැකි නොවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය තුලින් මූර්තිමත් වන ධනය හිමි සහ එහි පැතිරීම සංවිධානය කරන්නන්ගේ කතිපයාධිකාරී බලය ගලවාහල නොහැකි නොවේ. කොමියුනිස්ට් උපන්‍යාසය වන්නේ ධනයේ අසමානතාවය මෙන්ම ශ්‍රම විභජනයද මුලිනුපුටා දැමිය හැකි වෙනස් ආකාරයේ සාමූහික සංවිධානගතවීමක් ප්‍රායෝගිකකරණය කළ හැකි බවයි : සෑම පුද්ගලයෙකුම ‘බහු-කාර්ය කම්කරුවෙකු’ වන අතර විශේෂයෙන් ම ජනයා කායික හා මානසික වැඩ අතරත් ගම සහ නගරය අතරත් හුවමාරු වනු ඇත. බිහිසුණු ධනස්කන්ධයන් පුද්ගලිකව අත්පත් කර ගැනීම සහ එය පවුල් උරුමයක් ලෙස දායාද වීම අතුරුදහන් වනු ඇත. සිවිල් සමාජයෙන් ස්වායත්ත වූ මිලිටරි සහ පොලිස් බලය ඇති මර්ධනකාරී රාජ්‍යයක සාංදෘෂ්ඨිකත්වය (existence) තවදුරටත් බැලූ බැල්මට පෙනෙන අනිවාර්යතාවයක් ලෙස නොපෙනෙනු ඇත. මාක්ස් අපට කියනවා – ඔහු මෙය දුටුවේ ඔහුගේ ප්‍රධානම එකතු කිරීම ලෙසයි – පැරැණි ලෝකයේ නටඹුන් විනාශ කිරීමේ අරමුණින් යුතුව ‘කම්කරු පංති ආඥාදායකත්වයක’ කෙටි අනුක්‍රමණයකින් පසුව, රාජ්‍ය ‘වියැකී යෑමට’ හැකි වන පරිදි නිෂ්පාදනයන්ගේ හා නිර්මාපකයන්ගේ ‘නිදහස් සබඳතා’ මත පදනම් වූ යළි සංවිධානය වීමේ දීර්ඝ අනුක්‍රමණයක් ඇති වනු ඇත.

කොමියුනිස්ට්වාදය යන්නෙන් හැඳින්වෙන්නේ මෙම පොදු බුද්ධිමය යළි-ඉදිරිපත්කිරීම් වල  කුලකය පමණි. කාලය තුළ කොතරම් ප්‍රාදේශීය සහ සීමිත වුවත්, ස්ථාපිත මතවාදයන්ගේ – අසමානතාවයන්ගේ සහ ඒවා ආරක්ෂා කරනා රාජ්‍ය උපකරණයක අනිවාර්යතාවය – පර්යායෙන් ඛණ්ඩනය වන සහ විමුක්තිකාමී දේශපාලනයේ අසම්පූර්ණ කොටසක් ගොඩනගන ඕනෑම මැදිහත්වීමක සිතිජය වන්නේ මෙම කුලකය යි. වෙනත් වචනයකින් කියනවා නම් කොමියුනිස්ට්වාදය යනු වැඩසටහනක් වෙනුවට නියාමක ක්‍රියාකාරිත්වයක් (regulatory function) ඇති ‘අදහසක්’ (Idea) ලෙස කාන්ට් නම් කල දෙයයි. මවිසින් මෙතැනදී නිර්වචනය කර ඇති ආකාරයට මෙම කොමියුනිස්ට් මූලධර්මයන්, සාමාන්‍යයෙන් කෙරෙන පරිදි, යුතෝපීය යැයි කියා පැවසීම විකාරරූපී වේ. සෑම විටම වෙනස් ආකාරයෙන් යථාර්ථවත් (actualized) වන සහ වෙනස් දේශපාලන ආකෘතීන් අතර බෙදුම් රේඛා නිපදවීමට සේවය කරන මේවා බුද්ධිමය රටාවන්ය. පුළුල් වශයෙන් ගත්විට ඕනෑම සුවිශේෂ දේශපාලන අනුක්‍රමණයක් එක්කෝ මෙම මූලධර්මයන් සමග එකඟ වන්නේය නැතිනම් විරුද්ධ වන්නේය, විරුද්ධ වනවානම් එය ප්‍රතික්‍රියාකාරී වේ. මේ අර්ථයෙන් ගත් විට ‘කොමියුනිස්ට්වාදය’ යනු දේශපාලන වාද විවාද වලදී, එම වචනය එලෙසෙම යොදා නොගත්තද, නිතර භාවිතා වන විවරණෝපයෝගී (heuristic) උපන්‍යාසයකි. සාත්‍රේ කියූ පරිදි ‘සෑම ප්‍රති-කොමියුනිස්ට්වාදියෙක්ම සූකරයෙකි’ යන්න තවමත් සත්‍යය වන්නේනම් එය එසේ වන්නේ සිය මූලධර්ම මත හෝ එවැන්නක් නොමැතිවීම මත කොමියුනිස්ට් උපන්‍යාසයට, එහි ගණික අර්ථයෙන් ගත් විට, රූපිකව විරුද්ධ තැන සිටගන්නා ඕනෑම දේශපාලන අනුක්‍රමණයක්, සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තියට සහ ඒ අනුව මිනිස් වර්ගයාගේ අව්‍යාජ මිනිස් ඉරණමට විරුද්ධ වේයැයි තීන්දු කිරීමට සිදුවන නිසාය. කොමියුනිස්ට් උපන්‍යාසය මගින් මිනිස් වර්ගයාගේ සද්භාවයට-පැමිණීම (coming-to-be) ආලෝකමත් නොකනරන ඕනෑම අයෙක් – ඔවුන් කුමන වචන යෙදුවත්, මෙහිදී වචන වලට ඇත්තේ අඩු වටිනාකමකි – මිනිස් වර්ගයා එහි සාමූහික සද්භාවයට-පැමිණෙමින්-හිඳිම (becoming) යන්න සම්බන්ධයෙන්, සත්ව භාවයට ඌණනය කරයි. අපි දන්නා පරිදි මෙම සත්ව භාවයට ඇති සමකාලීන – එනම් ධනේශ්වර නම වන්නේ ‘තරඟකාරිත්වයයි’. පුද්ගලික අවශ්‍යතාවයන්ගේ සහ වෙන කිසිවක් නොමැතිව කෙරෙනා යුද්ධයයි.

සමානාත්මතාවයේ ශුද්ධ වූ අදහසක් ලෙස, කොමියුනිස්ට් උපන්‍යාසය රාජ්‍යයේ සාංදෘෂ්ඨික වීමේ ආරම්භයේ සිටම ප්‍රායෝගික තලයන් තුල සැකයකින් තොරවම සාංදෘශ්‍ය විය. සමානාත්මතාවාදී යුක්තියේ නාමයෙන් මහජන ක්‍රියාකාරකම් රාජ්‍ය බලහත්කාරයට එරෙහි වූ සැණින් අපට කොමියුනිස්ට් උපන්‍යාසයේ අසම්පූර්ණ කොටස් නැතිනම් කළල අවස්ථාවන් හමුවේ. අවාසනාවකට මෙන් අපෙන් වෙන්ව ගිය  ෆ්‍රන්සුවා බාමේ (Francois Balmes) සමඟ මවිසින් ලියන ලද 1976 ප්‍රකාශනයට පත් වූ De l’ideologie යන පොත් පිංච තුළ අපි ‘කොමියුනිස්ට් අවිචල්‍යයන්’ (invariants) හඳුනා ගැනීමට යෝජනා කළේ මේ නිසාය. ස්පාටකස් විසින් නායකත්වය දුන් වහලුන්ගේ නැතිනම් ටෝමාස් මුන්සෙයාර් (Thomas Munzer) විසින් නායකත්වය දුන් ජර්මන් ගොවියන්ගේ වැනි ජනප්‍රිය කැරළි යනු කොමියුනිස්ට් අවිචල්‍යයන්ගේ ප්‍රායෝගික සාංදෘෂ්ඨිකත්වය සඳහා නිදර්ශන වේ.

කෙසේ වුවත්, ප්‍රංශ විප්ලවයේ සමහරක් ක්‍රියාධරයන් සහ චින්තකයන් විසින් එයට ලබා දුන් විවෘත ආකෘතිය සමඟ කොමියුනිස්ට් උපන්‍යාසය දේශපාලන නූතනත්වය ආරම්භ කරයි. බුර්ෂුවා පංතිය විසින් සිය බලය සඳහා යන ගමනේ උපකරණයක් ලෙස භාවිතා වන ‘ප්‍රජාතන්ත්‍රවාදී’ දේශපාලන ආකෘතීන් වලට ගැට නොගසමින්, ancien regime හී මානසික ව්‍යූහයන් පහතට ඇද දැමුයේ මෙයයි. මෙම කරුණ අතිශයින් වැදගත් වේ : ආරම්භයේ සිටම කොමියුනිස්ට් උපන්‍යාසය කිසිදු අයුරකින් වර්තමානයේ පාර්ලිමේන්තුවාදයට පාර කැපූ ‘ප්‍රජාතන්ත්‍රවාදී’ උපන්‍යාසය සමග සමපාත වූයේ නැත. එයට ඇත්තේ වෙනත් ඉතිහාසයක් සහ වෙනත් සිදුවීම් ය. කොමියුනිස්ට් උපන්‍යාසයෙන් ආලෝකමත් වූ විට වැදගත් යැයිද, නිර්මාණශීලී යැයිද කියා පෙනෙනා දෙය – බුර්ෂුවා-ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසවේදය විසින් තෝරා ගන්නා දෙයින් මූලිකව වෙනස් වේ. මේ නිසා තමයි මාක්ස්, නූතන විමුක්තිකාමී දේශපාලනයේ පළමු ප්‍රතිඵලදායක ශ්‍රේෂ්ඨ අනුක්‍රමණයට භෞතිකවාදී පදනමක් දෙමින්, පැරිස් කොමියුනයේ පාඩමින් පසුව කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී වුවත් බුර්ෂුවා රාජ්‍ය විනාශ කළ යුතුයැයි පවසමින් එක් අතකින් ‘කොමියුනිස්ට්වාදය’ නම් වචනය බාරගෙන අනිත් අතින් මොනම ආකාරයක හෝ ප්‍රජාතන්ත්‍රවාදී ‘දේශපාලනවාදයකින්’ (politicism) තමන්ව ඈත් කර ගනු ලබන්නේ.

කොහොම කොහොම හරි, කොමියුනිස්ට් උපන්‍යාසයේ සිතිජ පසුබිම තුල තබා වැදගත් සහ නොවැදගත් දෙය තීරණය කරන්නට, කුමන ලක්ෂ්‍යයක ප්‍රතිවිපාක වෙනුවෙන් ඔබ පෙනී සිටිනාවද යන්න තීරණය කිරීමට, මම ඔබට බාර දෙනවා. නැවතත් කිව යුත්තේ එය නිවැරදි උපන්‍යාසය බවත් එහි මූලධර්මයන් වෙත, එය වෙනස් සන්ධර්භයන් තුළ කුමන වෙනස් කම් වලට ලක් උවත්, අපට ඇමතිය හැකි බවයි.

සාත්‍රේ සම්මුඛ සාකච්චාවකදී කී දෙයක් මම වෙන වචන වලින් කියන්නම් : කොමියුනිස්ට් උපන්‍යාසය නිවැරදි නොවේනම්, එය ප්‍රයෝගිකකරණය කල නොහැකිනම්, එහි අර්ථය වන්නේ මිනිස් වර්ගයා යන්න එය තුලම ගත් විට (thing in itself) කුහුඹුවන්ගෙන් හා වේයන්ගෙන් එතරම් වෙනස් නොවන බවයි. ඔහු මින් අදහස් කළේ කුමක්ද? සියළුම සාමූහික හා පුද්ගලික සාංදෘෂ්ඨිකත්වයන්ගේ මුල මැද අග වන්නේ තරඟකාරීත්වය, ‘නිදහස් වෙළඳපොල’, පුංචි පුංචි සතුටවල්වල එකතූන් සහ දුර්වලයන්ගේ ආශාවෙන් ඔබව ආරක්ෂා කරන පවුරුනම්, එසේ නම් මිනිස් සත්වයාගේ සතපහක වටිනාකමක් නොමැත.”

ඇලේන් බදියු, “සාකෝසී යනු කුමක්ද?”, පි.අ. 128 – 133

Advertisements