Ulrike Muller2

පහතින් පළ වන්නේ ඇලේන් බදියූ ගේ ‘සාකොසී යනු කුමක්ද?’ නමින් සිංහලට පරිවර්තනය වී ඇති කෘතියෙන් උපුටා ගත් කොටසකි. මේ සඳහා ආසන්න අරමුණ වන්නේ හෙට දිනයේ – එනම්, 2017 මාර්තු මස 30 වැනි බ්‍රහස්පතින්දා, සවස 3 ට, පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේදී – පැවැත්වෙන සංවාදයක් සඳහා කිසියම් බුද්ධිමය පසුබිමක් සකස් කිරීමයි. සංවාදයට සහභාගී වන්නේ නිර්මාල් රංජිත් දේවසිරි, විදර්ශන කන්නන්ගර සහ බූපති නලින් වික්‍රමගේ යන අපගේ මිතුරන්ය. එහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙන්නේ එක්තරා අර්ථයකින් සරල – සහ එනිසාම, තවත් අර්ථයකින් සංකීර්ණතම – ප්‍රශ්නයකි. ඒ තමයි අප වර්තමානයේ කරමින් සිටිනා ක්‍රියාකාරකම් ‘දේශපාලනය’ යනුවෙන් අරුත් ගන්වාගන්නේනම්, එය කළ හැකි වන්නේ කෙසේද යන ප්‍රශනය.

අපි තවත් සරල ලෙස එය ලියමු. මෙම සංවාදයට සහභාගී වන බොහෝ දෙනෙකු සම්ප්‍රදායිකව දේශපාලනය කරනා අය ලෙස අපේ රටේ බහුතරයක් දෙනා හඳුනා නොගනු ඇත. අප බොහෝ දෙනෙකු මැතිවරණ වලට තරඟ කරනා ‘දේශපාලනයට’ අයත් වන මිනිසුන් නොවේ. නමුත් අනෙක් අතට අප බොහෝ දෙනෙකු අප කිසියම් ආකාරයක දේශපාලනික මැදිහත්වීමක් සිදු කරනා බව පිළිගැනීමට කැමති වනු ඇත. අපට අවශ්‍ය වන්නේ මෙන්න මෙම ‘දේශපාලනය කිරීම’ පිළිබඳ විකල්ප අදහස කුමක්ද කියා හැකිතාක් පැහැදිළි කර ගැනීමයි.

විකල්ප දේශපාලනය යන්න පසුගිය සියවස් දෙකක පමණ කාලය තුළ දිග හැරීමේදී කොමියුනිස්ට්වාදය පිළිබඳ අදහස තීරණාත්මක භූමිකාවක් ඉටු කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම ඉතිහාසය පිළිබඳව අදහසක් නොමැතිව අද දවසේ විකල්ප දේශපාලනයක් තුළ හිට ගැනීම එතරම් පහසු නොවන්නේ මෙම නිසාය. මග වැරදීම් වීමට ඉතා වැඩි අවස්ථාවක් තිබෙනා මෙවැනි ක්‍රියාකාරකම් වලදී ඉතිහාසයක් පුරා අරගලකරුවන් විසින් එකතු කරන ලද අත්දැකීම් සහ දැනුම පිළිබඳව සංවේදී වීම ඉතාමත් ප්‍රයෝජනවත් වැඩක් වෙයි. කොමියුනිස්ට්වාදී දේශපාලනයේ ඉතිහාසය පිළිබඳව බදියූ ගේ මෙම අදහස මෙලෙස බෙදා ගන්නට තීරණය කළේ මේ ඉතිහාසය පිළිබඳ පාඩම වෙනුවෙනි.

හෙට දිනයේ සන්ධ්‍යාවේ සංවාදයට පමණක් නොව අප හමුවේ තිබෙනා බොහෝ සංවාද වල පසුබිමේ තිබෙන්නේ මෙම ඉතිහාසය පිළිබඳව තිබෙනා, එකිනෙක පරස්පර, අර්ථකථන වෙයි.

***

කොමියුනිස්ට් අරගලයේ ඉතිහාසය

අපගේ උත්සාහයන් ස්ථානගත කිරීම සඳහා අපට ඓතිහාසික බිතිසිතුවමක් අවශ්‍ය වේ. කොමියුනිස්ට් උපන්‍යාසයේ ශ්‍රේෂ්ඨ අනුක්‍රමණ දෙකක් තිබී ඇත : එම උපන්‍යාස ගොඩනැගීම සහ එය යථාර්ථවත් කිරීමේ පළමු ප්‍රයත්නය.

පළමු අනුක්‍රමණය ගමන් කරන්නේ ප්‍රංශ විප්ලවයේ සිට පැරිස් කොමියුනය දක්වායි, අපි කියමු 1972 සිට 1871 දක්වා කියා. මේ අනුව එය වසර අසූවක් පමණ කාලයක් පැවැතිණි. ලෝකය පුරා නන් ආකාර පරාසයක රටවල් වලට මෙම අනුක්‍රමණය විසින් විවිධාකාරයේ, පරිපූර්ණ ලෙස නැවුම්, ප්‍රපංචයන් හඳුන්වා දෙන ලදී. කෙසේ වුවත් එහි ප්‍රධාන ගමන්පථය සම්බන්ධයෙන් ගත්විට අපිට පුළුවන් එය හරය අතින් ප්‍රංශයට අයත් වූ දෙයක් බව කියන්න. මෙහිදී මාක්ස් පවා, මෙම අනුක්‍රමණයේ දාර්ශනික පදනම ජර්මනියට (හේගලියානු දයලෙක්තිකය) සහ එහි විද්‍යාත්මක හැරයුම එංගලන්තයට (දේශපාලන-ආර්ථිකයේ උපත) සම්බන්ධ කළත් භාවිතාත්මක තලය තුළ එහි සැබෑ දේශපාලන අන්තර්ගතය ඔහු සම්බන්ධ කළේ ප්‍රංශයටයි (ප්‍රංශ කම්කරුවන්ගේ ව්‍යාපාරය).

මෙම පළමු අනුක්‍රමණය විසින්, කොමියුනිස්ට්වාදය යන සංඥාව යටතේ, බහුජන ජනප්‍රිය ව්‍යාපාරය සහ බලය ලබා ගැනීම පිලිබඳ නව මානයක් එකට එක් කරන ලදී. අරමුණ වූයේ පෙරළියක්, පෙනෙනාකාරයට නම් ‘විප්ලවය’ යන නමින් හැඳින්වූ කැරලිකාරී පෙරැළියක් සඳහා සූදානම් වෙමින්, බහුවිධ ආකෘතීන් වලින් – උද්ඝෝෂණ, වැඩවර්ජන, නැගීසිටීම්, සන්නද්ධ ක්‍රියාකාරකම් ආදිය – ජනප්‍රිය ව්‍යාපාරය සංවිධානය කිරීමයි. මෙම විප්ලවය මගින් සමාජ ආකෘතිය (පුද්ගලික දේපළ, දායාද නීතීන්, මිනිස් වර්ගයා ජාතීන් ලෙස බෙදීම, ශ්‍රම විභජනය ආදිය) යටපත් කර, කොමියුනිස්ට් සමානාත්මතාවය නැතිනම් ජාක් රොන්සියර් (Jacques Ranciere) ඉතා හොඳින් විශ්ලේෂණය කළ ඒ කම්කරු පංති චින්තකයන් පැවසූ ‘සමානයන්ගේ සමාජය’ (community of Equals) ස්ථාපිත වනු ඇත.

පැරණි සමාජ ක්‍රමය තුළ නෛසර්ගිකව අඩංගු වූ දූෂණයෙ සහ ජනප්‍රිය ව්‍යාපාරයේ – සමහර විට ආයුධ සන්නද්ධ – පීඩනය යන දෙකෙහි එකතුව මඟින් පැරණි පර්යාය පරාජය වනු ඇත. කම්කරුවන්ගේ ව්‍යාපාරයේ සුවිශේෂ පරාමිතිය ඇති වූ මොහොත ද මෙයයි. කම්කරු පංතියේ ප්‍රමුඛ ක්‍රියාකාරිත්වය මඟින් පැරණි විප්ලවීය ප්‍රවර්ගයන් – නගරවල පොදු ජනයා, ශිල්පීන් (artisans), ශිෂ්‍යයන් හා බුද්ධිමතුන්, දිළිඳු ගොවි ජනයා – පරිවර්තනය වීමත් ඒවා වෙත තිබූ වැදගත්කම අඩු වීමත් සිදු විය.

මෙම අනුක්‍රමණය අවසන් වූයේ පැරිස් කොමියුනයේ තියුණු නවීනත්වය සහ රැඩිකල් පරාජය සමගිනි. මෙම ජනප්‍රිය ව්‍යාපාරය, කම්කරු පංති නායකත්වය සහ සන්නද්ධ නැගී සිටීම යන එකතුවේ උත්තරීතර ආකෘතිය වුයේ කොමියුනයයි. මෙම සූත්‍රයේ විස්මයජනක ජීවගුණය එමඟින් පෙන්වීය : ජාත්‍යන්තරය නම් මාක්ස්වාදී සංකල්පයේ ශක්තිය පෙන්වමින් විශාල විදේශීය විප්ලවවාදීන් සමූහයක – විශේෂයෙන්ම පෝලන්ත ජාතිකයන්ගේ – අභ්‍යන්තර සහයෝගය ඇතිව යුරෝපයේ ප්‍රධාන ශ්‍රේෂ්ඨ අගනුවරක, නව ආකාරයක බලයක් මාස දෙකක් තුල පවත්වා ගැනීමට එයට හැකි විය. නමුත් කොමියුනය පිළිබඳ මෙම අත්දැකීම විසින්, ඒ සමඟම, මෙම සූත්‍රයේ සීමාවන් ද පෙන්වා දෙන ලදී. මෙයට හේතු වූයේ විප්ලවයට ජාතික තලයක් දෙන්න, නැතිනම් ප්‍රතිවිප්ලවය විසින්, විදේශීය බලයන්ගේ නිහඬ සහයෝගය මත, ප්‍රමාණාත්මක මිලිටරිමය පිළිතුරක් ගෙන ඒමට සමත් වූ විට එයට ප්‍රතිඵලදායක ප්‍රතිරෝධයක් සංවිධානය කිරීමට, කොමියුනයට හැකි නොවීමයි.

දෙවෙනි අනුක්‍රමණය ගමන් කළේ 1917 (රුසියානු විප්ලවය) සිට 1976 (චීන සංස්කෘතික විප්ලවයේ අවසානය, එමෙන්ම දේශපාලන නවීනත්වය අතින් ගත් කල උච්චස්ථානයක් ලෙස හැඳින්විය හැකි ප්‍රංශයේ 68 මැයි සහ එයට පසු වසර කීපය තුළ පැමිණි ප්‍රතිවිපාකයන් ද ඇතුළුව 1966 – 1976 දක්වා ලෝකය පුරා පැන නැඟුනු සටන්කාමී ව්‍යාපාර වල අවසානය) දක්වායි. මෙම දෙවැනි අනුක්‍රමණය අඩසියවසකට තරමක් වැඩි කාලයක් දිව ගියේ ය. ඒ සමගම අප හඳුනාගත යුතු දෙයක් වන්නේ එය පළමුවැන්නෙන් එවැනිම වූ කාල සීමාවකින් (වසර හතළිහකට වැඩි) වෙන් වූ බවයි.

ඉතාම සංකීර්ණ වූ සහ එහි අවසන් තලයන්ගේ උරුමක්කාරයන් අපම වන්නා වූ මෙම දෙවැනි අනුක්‍රමණය කාලය පිලිබඳ ප්‍රශ්නයෙන් වැසී තිබිණි. ජයග්‍රහණය අත්පත් කරගන්නේ කෙසේද? පැරිස් කොමියුනයේ දී ඇති වූ පරිදි ධන හිමියන්ගේ සහ ඔවුන්ගේ කුලී මිනීමරුවන්ගේ ලේ පිපාසිත ප්‍රතිවිප්ලවය හමුවේ කල්පවත්ව ගන්නේ කෙසේද? නව බලය, නව රාජ්‍යය සතුරන්ගේ විනාශයෙන් ආරාක්ෂා වන ලෙස සංවිධානය කරන්නේ කෙසේද? ලෙනින්ගේ මහා ප්‍රශ්නය වූයේ මෙම ප්‍රශ්න වලට පිළිතුරු දීමයි. රුසියාවේ කැරළිකාරී බලය පැරිස් කොමියුනය තිබුණු කාලයට වඩා දිනක් වැඩිපුර තිබුණු පසු ඔහු හිම මත නටමින් සතුටු වූයේ නිකම්ම නොවේ.

මෙම දෙවෙනි අනුක්‍රමණය තුලදී තවදුරටත් ගැටළුව වූයේ කොමියුනිස්ට් උපන්‍යාසය මත හිඳ ක්‍රියා කරන ජනප්‍රිය කම්කරු පංති ව්‍යාපාරයක සාංදෘෂ්ඨිකත්වය හෝ විප්ලවය යන්න එහි කැරළිකාරී ආකෘතියෙන් ගත් විට එන ගණික අදහස හෝ නොවේ. ගැටළුව වූයේ ජයග්‍රහණය සහ කල්පැවැත්මයි.අවශ්‍යනම්, ගැටළුව වූයේ කොමියුනිස්ට් උපන්‍යාසය සූත්‍රගතකිරීමත් ඒ සමග අත්හදාබැලීමත් නොව එය යථාර්ථවත් කිරීමයි කියාද අපට කිව හැකිය. මෙම දෘෂ්ඨිකෝණයෙන් ගත්විට, පොදු තේමා පාඨය ලෙනින් විසින්, අඩුවැඩි වශයෙන්, පහත දැක්වෙන ලෙස සූත්‍රගත කළේය : ‘අප ඇතුල්වෙමින් සිටින්නේ ජයග්‍රාහී නිර්ධන පංති විප්ලවයන්ගේ යුගයටයි’. මේ නිසා තමයි විසිවෙනි සියවසේ පළමුවෙනි තුනෙන් දෙකක කාලය, මවිසින් ‘යථාව වෙනුවෙන් ඇති ලාලසාව’ (the passion for the Real) යනුවෙන් නම් කරන ලද දෙයින් ප්‍රමුඛ වූයේ : දහනමවන සියවස සිහින දැකපු සහ අත්හදා බැලීම් කළ දෙය, විසිවෙනි සියවස පරිපූර්ණ ලෙස ඉටු කල යුතු විය.

ජයග්‍රහණය සහ යථාව පිලිබඳ වූ මෙම දැඩි ඇල්ම මුළුමනින්ම නාභිගත වී තිබුනේ සංවිධානයේ සහ ශික්ෂණයේ ගැටළුවලට වන අතර, ලෙනින්ගේ 1902 දී පල වූ ‘කළයුත්තේ කුමක්ද?’ කෘතියේ සිට එය මුළුමනින්ම මධ්‍යගත සහ සමජාතීය පන්ති-පක්ෂයේ න්‍යාය සහ භාවිතය වෙත අවශෝෂණය විය. ඔවුනගේ ‘අයෝමය ශික්ෂණය’ තුළ කොමියුනිස්ට් පක්ෂ විසින් කොමියුනිස්ට් උපන්‍යාසයේ යථාව මූර්තිමත් කළ බව පට කිව හැකි වේ.

උපන්‍යාසයේ දෙවැනි අනුක්‍රමණයේ චරිතලක්ෂණාත්මක ගොඩනැඟීම වූ පක්ෂය විසින් පළමු අනුක්‍රමණය තුල උරුම වූ සහ වහි උච්චස්ථානයත් අවසානයත් වූ පැරිස් කොමියුනය හරහා විශේෂයෙන් ආ ප්‍රශ්නයට ප්‍රායෝගික විසඳුමක් දෙන ලදී : ජයග්‍රහණය පිලිබඳ ප්‍රශ්නය. රුසියාවේ, චීනයේ, චෙකොස්ලෝවෙකියාවෙත්, ඇල්බේනියාවේ, කොරියාවේ හා වියට්නාමයේත්, තරමක් වෙනස් ලෙස හෝ කියුබාවේත්, කොමියුනිස්ට් පක්ෂ වල නායකත්වයෙන්, කැරළිකාරී නැගී සිටීම නැතිනම් දිග්ගැස්සුණු ජනතා යුද්ධ වලින් දේශපාලන හා සමාජ පර්යායේ පූර්ණ විප්ලවයක් සිදු කළ අතර එය ‘සමාජවාදී රාජ්‍ය’ නමින් හැඳින්වූ ආකෘතිය තුළ පවත්වාගෙන යාමට සමත් විය.

කොමියුනිස්ට් උපන්‍යාසයේ සූත්‍රගතකිරීම සහ ව්‍යාපාරයක් ලෙස එහි යථාර්ථයේ සංඥාව යටතේ ගමන් කළ පළමු අනුක්‍රමණයට පසුව ඊළඟට පැමිණියේ එහි ශික්ෂිත හා මිලිටරිකරණය වූ සංවිධානය, එහි ප්‍රාදේශීය ජයග්‍රහණය හා එහි කල්පැවැත්ම යන සංඥාව යටතේ ගමන් කරන දෙවැනි අනුක්‍රමණයයි.

සාමාන්‍ය පරිදිම, පළමු අනුක්‍රමණය විසින් ඉදිරිපත් කරන ලද ගැටළුව විසඳීමට එයට ඉඩ දුන් ක්‍රමවේදය මගින්ම දෙවෙනි අනුක්‍රමණයට විසඳීමට මාවතක් නොතිබුණු ගැටළුවක් නිර්මාණය කළේය. දුර්වල කරන ලද ප්‍රතික්‍රියාකාරී බලවේගයන්ට එරෙහිව කැරළිකාරී නැතිනම් මිලිටරි ජයග්‍රහණයන් සඳහා යෝග්‍ය වූ පක්ෂය මාක්ස්ගේ අර්ථයෙන් කම්කරු ආඥාදායකත්වයක රාජ්‍යයක් ගොඩනැගීමට, වෙනත් වචන වලින් කියන්නේනම් නිර්-බලයක බලයක්, රාජ්‍ය වියැකී යාමේ දයලෙක්තික ආකෘතියක් ලෙස යෝග්‍ය නොවන බව පැහැදිලි විය. මෙයට පරස්පරව පක්ෂ-රාජ්‍ය (party-state) සමන්විත වූයේ, ජනයාගේ ප්‍රායෝගික ජීවිතයෙන් මුළුමනින්ම වෙන් වූ, අධිකාරිවාදී නැතිනම්, සමහරවිට, ත්‍රස්තවාදී රාජ්‍ය ආකෘතියක පෙර නොවූ විරූ අත්හදා බැලීමක් තුලයි. අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය, එදිනෙදා දෘෂ්ඨිවාදය (වැඩකරන ජනයාගේ රූපක වීරත්වයට නැංවීම) සහ මහජන පර්යාය වැනි අවකාශයන් වලදී මෙම ‘සමාජවාදී’ රාජ්‍යයන් අත්කරගත් ජයග්‍රහණයන් ප්‍රශස්ත විය. කිසිදු සීමාවක් නොදැන එහි ඉහලම අවධියට පත්වී ඇති ධනවාදයේ අහංකාර බව අද වන විට අප ව ගොඩක් පසුතවමින් මතක් කරන්නේ, ජාත්‍යන්තරය තුළ සිය අධිරාජ්‍යවාදී ප්‍රතිමල්ලවයන් අභ්‍යන්තරවත් බාහිරවත් ආරක්ෂාකාරී වැඩපිළිවෙලකට යොමු කරවීමට මෙම රාජ්‍යයන් සමත් වූ බවයි. එනමුත් මෙම රාජ්‍ය මූලධර්මය නෛසර්ගිකවම දෝෂ සහිත වූ අතර එය අවසානයේදී ප්‍රතිඵලදායි නොවීය. ආන්තික සහ ලේ පිපාසිත පොලිස් ප්‍රචණ්ඩත්වයක් මුදා හැරීම එහි අභ්‍යන්තර නිලධාරීවාදී අක්‍රියත්වයෙන් මුදවා ගැනීමට කිසි සේත් ප්‍රමණාවත් නොවූ අතර එහි සතුරන් විසින් පිහිටුවන ලද දරුණු තරඟකාරීත්වය අභිමුවේ එය අසාර්ථක වන බව පෙන්වීමට ගතවූයේ වසර පනහකට වඩා යන්තම් වැඩි කාලයකි.

දෙවෙනි අනුක්‍රමණයේ අවසාන ප්‍රධාන පිපිරීම් සඳහා හේතු වූයේ කොමියුනිස්ට් උපන්‍යාසයේ සැබෑ කල්පැවැත්ම සහ නිර්මාණශීලී පරිවර්තනය සහතික කිරීමේදී පක්ෂයේ ඇති නොහැකියාවයි : චීන සංස්කෘතික විප්ලවය සහ ප්‍රංශයේ සිදු වූ 68 මැයි නම් වූ අවිනිශ්චිත සිදුවීම. චීනය තුලදී මේ විෂය සම්බන්ධයෙන් මාවෝගේ තේමා පාඨය වූයේ : ‘කොමියුනිස්ට් ව්‍යාපාරයෙන් තොරව කොමියුනිස්ට්වාදය නොමැති බවයි’. කුමන වන්දියක් ගෙවා හෝ පක්ෂය ප්‍රතිජනනය කිරීමට, එය නිර්-නිලධාරිවාදී කිරීමට සහ සැබෑ ලෝකයේ පරිවර්තනය තුල යළි එළිදැක්වීමට, පක්ෂය මහජන ව්‍යාපාරයක් තුල ගිල්වීම අනිවාර්ය විය. සංස්කෘතික විප්ලවලය මෙම මෙහෙයුම අත්හදා බැලූ අතර එහි සතුරා පිලිබඳ දී තිබූ නිර්වචනය අවිනිශ්චිත වූ නිසා සහ එය සමාජයේ එකම බල කණුව වූ කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව එල්ල වූ නිසා එය සීඝ්‍රයෙන් ව්‍යාකූල සහ ප්‍රචණ්ඩ බවකට පෙරැළිණි.

මේ වරදින් මාවෝ සම්පූර්ණයෙන් නිදහස් කල නොහැක්කේ ‘බුර්ෂුවා පංතිය සිටින්නේ කොතනදැයි ඔබ නොදන්නේද? එය සිටින්නේ කොමියුනිස්ට් පක්ෂය තුළයි!’ යනුවෙන් ඔහු ප්‍රකාශ කල නිසයි. අවසානයේදී රාජ්‍යයේ විමධ්‍යගත කිරීම සඳහා කෙරුණු වඩාත්ම රැඩිකල් අත්හදා බැලීමට සහයෝගය දැක්වීම පිණිස (1967 මුල වූ ‘ෂැංහායි කොමියුනය’) පැරණි පර්යාය ඉතාම නරක තත්වයන් යටතේ යළි පිහිටුවීමට සිදුවිය. 68 මැයි වලට පසු ප්‍රංශය තුළ කේන්ද්‍රීය තේමාව වූයේ සංවිධිත සාමූහික ක්‍රියාකාරකම් විසින් දේශපාලනයේ නව අවකාශයන් නිර්මාණය කල යුතු බව සහ රාජ්‍යයේ මධ්‍යගත පාලනය ප්‍රතිනිර්මාණය කිරීම නොකළ යුතු බවයි. ප්‍රධාන අන්තර්ගතය වූයේ බුද්ධිමතුන් සහ කම්කරුවන් එකම දේශපාලන දැක්මට සම්බන්ධ කරන සංවිධානය වීමේ නව ආකෘතී සහ ක්‍රියාකාරකම් වූ අතර කොමියුනිස්ට් උපන්‍යාසය බලය ලබා ගැනීමේ තර්කණයෙන් පරිබාහිරව පවා රඳා පවත්වා ගැනීමට යෝජනා විය. කෙසේ වුවත්, සහ මෙම අත්හදා බැලීම නව ආකෘතීන්ගෙන් තවදුරටත් ක්‍රියාත්මක කිරීම පවා සිදු වුවත්, 1970 ගණන්වල අග සිට සහ ගෝලීය පරිමාණය තුළ ප්‍රතික්‍රියාකාරී රාජ්‍යයේ නූතන ආකෘතිය වන ප්‍රාග්ධන-පාර්ලිමේන්තුවාදය, ‘ප්‍රජාතන්ත්‍රවාදය’ නම් වැස්මට මුවා වී, ජනයාගේ මනස් මත සිය ආධිපත්‍ය යළි තහවුරු කර ඇති බව අපට කිව හැකි වේ. ‘කල යුත්තේ කුමක්ද?’ යන ප්‍රශ්නයට නිශ්චිත පර්යේෂණාත්මක පිළිතුරු දිය හැකි විට, ප්‍රතිවාදියා විසින් ආධිපත්‍ය දරනා පොදු සන්ධර්භයක් තුල සහ යුද්ධය සෑම විටම යෝජනා කරනා ආත්මීය ප්‍රපංචයන් වෙත වූ වේගවත් ගමනක්, සෙමින් උවත් තිරස්චීන ලෙස, ගමන් කර ඇති විට අපට කිව හැක්කේ නව ආකාරයක දේශපාලන ක්‍රියාවලීන් තිබෙන්නේ විසිවැනි සියවසේ මූලාරම්භයේදීම ලෙනින් විසින් සිතමින් සිටි තළයේ ම බවයි.

 

ඇලේන් බදියු, “සාකෝසී යනු කුමක්ද?”, පි.අ.136 – 142 (පරිවර්තනය නවීකරණය කර තිබේ).

Advertisements