Ulrike Muller3

පහතින් පළ වන්නේ කොමියුනිස්ට්වාදයේ දේශපාලන ඉතිහාසය සහ එහි වත්මන් මොහොත පිළිබඳව ඇලේන් බදියූ ගේ විශ්ලේෂණයකි. මෙය උපුටා ගැනුනේ ‘සාකෝසි යනු කුමක්ද?’ යන නමින් සිංහලට නැඟී ඇති බදියූ ගේ කෘතියකින් වන අතර මෙහි පළමු කොටස ඊයේ දින ‘බව’ හී පළ විය (මෙතැනින් එම කොටස කියවන්න).

මේ සඳහා ආසන්නතම හේතුව වන්නේ අද දින – එනම් මාර්තු 30 දින සවස 3 ට – කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේදී පැවැත්වෙන සංවාදයක් වෙනුවෙනි. සංවාදයේ අරමුණ වන්නේ මේ යුගයේ දේශපාලනය කිරීම – විශේෂයෙන් විකල්ප දේශපාලන භාවිතයන් හී නිරත වීම – යන්නෙහි අර්ථය කුමක්ද යන්න සාකච්ඡා කිරීමයි. දේශපාලනය ගැන කතා කිරීම සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු විසින් සිදු කරනු ලබන දෙයකි. සමාජ ජාල ඇසුරින් මිනිසුන් අතර වන සන්නිවේදනය වඩා පහසු මෙම යුගයේ සෑම වැඩිහිටියෙකුම පාහේ දේශපාලනය සම්බන්ධයෙන් කතා බහ කිරීමට ඉඳ හිට හෝ සම්බන්ධ වනවා කියා අපට සිතිය හැකි වේ.

නමුත් ‘දේශපාලනය කරනවා’ යනුවෙන් අදහස් වන්නේ මෙය නොවේ. ඒ සඳහා දේශපාලනය පිළිබඳව කතා කිරීමට අමතර යමක් තිබිය යුතු වේ. සාමාන්‍යයෙන් මේ සඳහා තිබෙනා පොදු අර්ථය වන්නේ ‘මැතිරවරණ වලට තරඟ කර ඡන්දය ඉල්ලීම’ යන්න බව අපි දනිමු. අප දේශපාලනය කරනවා යන්න සඳහා මේ – අතිශයින් සීමාකාරී – අර්ථය ඉක්මවාලූ වෙනත් අර්ථයක් තිබෙන්නේද?

නිර්මාල් රංජිත් දේවසිරි, විදර්ශන කන්නන්ගර සහ බූපති නලින් වික්‍රමගේ යන මිතුරන්ගෙන් අප අසන්නට නියමිතව සිටින්නේ මෙම ප්‍රශ්නයයි.

දේශපාලනය පිළිබඳව වූ මෙම විකල්ප අදහසේ ඉතිහාසය ගැන බදියූ ගේ සංවාදය කියවීම මෙම ප්‍රශ්නයේ සන්දර්භය වටහා ගැනීමට බොහෝ සේ උපකාරී වනු ඇත කියා අපි සිතමු.

30

***

කොමියුනිස්ට් දේශපාලනයේ වත්මන් මොහොත

පළමු හා දෙවන අනුක්‍රමණ අතරතුර, පසු කාලීන මාක්ස් සහ ආරම්භක ලෙනින් අතරතුර, වසර හතලිහක ජයග්‍රාහී අධිරාජ්‍යවාදය තිබුණු බව අප නැවත සිහි කරමු. පැරිස් කොමියුනය මර්ධනය කිරීමේ සිට පළමු ලෝක යුද්ධය දක්වා කාලය තුළ, මුළු ග්‍රහලෝකයේම පැතිරෙමින්, මහද්වීපයන් පිටින් කොල්ල කමින් සහ සුන්බුන් ගොඩ ගසමින් අප දුටුවේ බුර්ෂුවා පංතියේ උච්චස්ථානයයි. මම කතා කරන්නේ කොමියුනිස්ට් උපන්‍යාසයේ අනුක්‍රමණයන් සම්බන්ධයෙන් වුවත් මෙම අනුක්‍රමණයන්, සමතුලිතය සහ ස්ථායිකරණය පැත්තෙන් ගත්විට කිසිලෙසකින් හෝ කොමියුනිස්ට් උපන්‍යාසය විසින් ආධිපත්‍ය නොදැරූ විරාමයන්ගෙන් වෙන්වී තිබෙන බව මතක තබා ගැනීම වැදගත් වෙයි. මෙයට පරස්පරව මෙම උපන්‍යාසය ප්‍රයෝගික නොවන බවත්, සමහරවිට විකාරරූපී සහ අපරාධමය වන බවත්, සහ එය අත් හැරිය යුතු බවත් එවකදී ප්‍රකාශ වේ.

මෙමඟින් අපිට ඉඩ දෙනවා ප්‍රශ්නය වෙත නැවත යන්නට : අපි අද සිටින්නේ කොතැනද? ගෝලීය තලයක් තුල 1970 ගණන් වල අගදී දෙවෙනි අනුක්‍රමණය අවසානයට පැමිණි බව අපි පිළිගනිමු. එමෙන්ම, එතැන් සිට, මෙම අනුක්‍රමණයේ අවසාන අවධිය සලකුණු කල විවේචනාත්මක අත්හදාබැලීම් වන 68 මැයි සහ සංස්කෘතික විප්ලවයේ පාඩම් වලින් වත්මන් යුගයට ගැලපෙන විමුක්තිකාමී දේශපාලනයේ මාවත විවිධ සාමූහිකයන් විසින් සොයමින් සිටිනා බවත් පිළිගනිමු. එසේනම් අප යළි සිටින්නේ ප්‍රතිවාදියා ජයග්‍රාහී යැයි පෙනී යන නව විරාමීය අවධියක සන්ධර්භය තුළයි. මෙය අපව විශාදියට පත්කලයුතු අසාමාන්‍ය නැතිනම් විසංවාදී ප්‍රපංචයක් නොවේ. මෙවන් තත්වයකදී න්‍යාය පත්‍රයේ මීළඟට තිබෙන්නේ කොමියුනිස්ට් උපන්‍යාසයේ නව අනුක්‍රමණයක් බව අප දැන් දන්නවා. එකම ගැටළුව වන්නේ අධිරාජ්‍යවාදයේ මඟ නොහැරිය හැකි විනාශය වන යුද්ධය මඟින් මිනිස් වර්ගයා මත, එහි ගැලවීම සංවිධානය කරන එකම දෙයෙහි ඉදිරි පියවර වර්ධනය වන, මෙවර ලෝක මට්ටමෙන්ම ඇතිවිය යුතු කොමියුනිස්ට්  සමානාත්මතාවය සඳහා ගෙවිය යුතු වන්දියක් ලෙස පටවන ලද අතිමහත් විනාශය කොපමණද යන්නයි.

68 මැයි සහ සංස්කෘතික විප්ලවය තවමත් මතකයේ තිබෙනා අප, මෙම දේශපාලනික මොහොතවල් වලදී ඒ වන විටත් අන්තර්භූත වූ සබුද්ධික නිශ්චිතභාවයක් කොමියුනිස්ට් උපන්‍යාසයේ විසිරී ගිය සටන්කරුවන් වෙත පරම ලෙස සන්නිවේදනය කල යුතුයි : මීළඟට එන දෙය දෙවෙනි අනුක්‍රමණයේ ඉදිරියට ගෙන යාමක් (continuation) නොවන බව සහ එය එසේ නොවිය යුතු බව. මාක්ස්වාදය, කම්කරු ව්‍යාපාරය, මහජන ප්‍රජාතන්ත්‍රවාදය, ලෙනින්වාදය කම්කරු පංති පක්ෂය, සමාජවාදී රාජ්‍ය – මේ විසිවැනි සියවසේ අති විශිෂ්ඨ නිපැයුම් – තවදුරටත් ප්‍රායෝගිකව භාවිතා කල හැකි නොවේ. න්‍යායික තලය තුල ඒවා පිළිබඳව තවදුරටත් අධ්‍යනය කිරීම සහ සලකා බැලීම සැබවින්ම අවශ්‍ය වේ; නමුත් දේශපාලන තළය තුලදී ඒවා තවදුරටත් ප්‍රායෝගිකකරණය කල නොහැකි තැනට පත්වී තිබේ. මේ තමයි අතිශය තීරණාත්මක අවබෝධයක පළමු කරුණ : දෙවෙනි අනුක්‍රමණය අවසන් වී ඇති අතර එය ඉදිරියට ගෙනයෑමට හෝ යලි පිහිටුවීමට හෝ උත්සාහ කිරීමෙන් ඵලක් නොමැත.

1960 ගණන් වන විටත් පැහැදිලි වෙමින් තිබුණු සත්‍යය වන්නේ, තවදුරටත් අපගේ ගැටලුව වන්නේ නව උපන්‍යාසය දරාගෙන සිටිනා ජනප්‍රිය ව්‍යාපාරය පිළිබඳව හෝ මෙම උපන්‍යාසයේ ජයග්‍රාහී නායකයා වන නිර්ධන පංති පක්ෂය පිළිබඳව හෝ නොවේ. එහිම විවෘත වීම වෙනුවෙන් අප වැඩකරමින් සිටිනා වූ තෙවෙනි අනුක්‍රමණය හා බැඳුනු උපායමාර්ගික ගැටළුව වෙනත් එකකි.

අප සිටින්නේ සතුරා විසින් ආධිපත්‍ය දරනා විරාමීය අවධියක නිසා සහ නව අත්හදාබැලීම් තවමත් තදින් සීමා කර ලැබ තිබෙන නිසා මා සිටින්නේ විවර වීමට නියමිත තුන්වැනි අනුක්‍රමණයේ සාරය වන්නේ කුමක්දැයි කියා කිසිදු නිශ්චිතභාවයකින් ඔබට පැවසිය හැකි තැනක නොවේ. කෙසේ උවත්, දෙයෙහි වියුක්ත දර්ශනය (abstract philosophy of the thing) ලෙස පැවසිය හැකි පොදු ගමන් දිශාවනම් මට පැහැදිලි වේ : එයට අඩංගු වන්නේ දෘෂ්ඨිවාදය හා යථාමය දේශපාලන ව්‍යාපාරය සමඟ නව සම්බන්ධයක්ය. මෙය ඒ වනවිටත් ‘සංස්කෘතික විප්ලවය’ යන යෙදුමේත්, ‘සංවිධානය තුල පර්යාය බිහිකිරීම සඳහා පළමුවෙන්ම අනිවාර්යය ලෙස තිබිය යුත්තේ දෘෂ්ඨිවාදය තුල පර්යායයි.’ යන මාවෝ ගේ ප්‍රකාශනයේත් යටින් දිව යයි. 68 මැයි වලට පසු පොදුවේ දක්නට ලැබුණු ‘මනස විප්ලවකරණය කිරීම’ යන අදහස යටින් තිබුනේද මෙයයි.

කොමියුනිස්ට් උපන්‍යාසය යන්නම ගත්විට එය ගණික වේ, එය ඕනෑම විමුක්තිකාමී දිශානතියක පදනමයි, අප දේශපාලනය සහ ඉතිහාසය පිළිබඳව උනන්දු වන්නේනම් වටිනාකමක් තිබෙන එකම දෙය එමඟින් නම් කරයි. නමුත් එම උපන්‍යාසය ඉදිරිපත් කරන ආකාරය මඟින් අනුක්‍රමණයක් නිර්ණය වේ : සංවිධානය වීමේ සහ ක්‍රියාකාරී වීමේ නව ආකෘතීන්ගේ අභ්‍යන්තරය තුල උපන්‍යාසයට පෙනී සිටිය හැකි නව ආකාරයන්.

පළමු අනුක්‍රමණයෙන් අපට ලැබුණු න්‍යායික සහ ඓතිහාසික පාඩම් මෙන්ම දෙවැන්නෙන් ලැබුණු ජයග්‍රාහී ශික්ෂණයේ කේන්ද්‍රීය ක්‍රියාකාරිත්වයත් අප එක් හෝ තවත් ආකෘතියකින් රඳවා ගන්නා බව මෙහිදී අවබෝධ කරගත යුතු වේ. එය එසේ වුවත් අද අපගේ ගැටලුව වන්නේ උපන්‍යාසය ව්‍යාපාරයක් ලෙස සාංදෘෂ්ඨික වීම හෝ රාජ්‍ය තුලදී එහි ශික්ෂිත ජයග්‍රහණ හෝ නොවේ. අපගේ ගැටලුව වන්නේ උපන්‍යාසය විසින් නිර්දේශිත (prescribed) චින්තනය, ක්‍රියාකාරකම් හී ස්වරූපයන් තුල එය ඉදිරිපත් වන නිශ්චිත මාදිලියයි. වෙනත් වචන වලින් කියන්නේනම්, එය සමූහයේ (multitude) බුද්ධිය මඟින් අනුප්‍රාණය වූ බහු ආකෘතියක් (multiform) (නෙග්රි සහ විකල්ප-ගෝලීයවාදී න් [alter-globalists] විශ්වාස කරන පරිදි) හෝ නවීකරණය වූ සහ ප්‍රජාතන්ත්‍රකරණය වූ පක්ෂයක් (ට්‍රොට්ස්කිවාදීන් සහ ඝනීභූත වූ මාවෝවාදීන් විශ්වාස කරන පරිදි) නොව ආත්මීයත්වය සහ වාස්තවිකත්වය අතර නව සම්බන්ධතාවයකි.

දහනමවන සියවසේ (කම්කරුවන්ගේ) ව්‍යාපාරය සහ විසිවෙනි සියවසේ (කොමියුනිස්ට්) පක්ෂය වූ කලී කොමියුනිස්ට් උපන්‍යාසයේ භෞතික ඉදිරිපත් කිරීම්වල ආකෘතීන්ය. මෙම දෙකින් එකකට හෝ නැවත යෑම කල නොහැක්කකි. එසේනම් විසිඑක්වන සියවස සඳහා වන මෙම ඉදිරිපත් කිරීමෙහි ගාමක බලය වන්නේ කුමක්ද?

අප හඳුනාගත යුතුයි දහනමවන සියවසේ මහා ප්‍රශ්නය වූයේ, පළමුවෙන්ම, ඉතා සරලව, කොමියුනිස්ට් උපන්‍යාසයේ සාංදෘෂ්ඨිකත්වයයි. කොමියුනිස්ට්වාදය නම් අවතාරය යුරෝපයේ හොල්මන් කරනවායැයි මාක්ස් කියූ විට ඔහු අදහස් කලේ මෙයයි : උපන්‍යාසය මෙතන තිබෙනවා, අපි එය ස්ථාපිත කර ඇත. කොමියුනිස්ට් පක්ෂය සිය අයෝමය ශික්ෂණය සමඟ, පංති යුද්ධයේ මිලිටරිකරණය, සමාජවාදී රාජ්‍යය යන්නෙන් සමන්විත වූ දෙවෙනි අනුක්‍රමණය සැකයකින් තොරවම උපන්‍යාසයේ ජයග්‍රාහී යලි ඉදිරිපත් කිරීමක අනුක්‍රමණය විය. නමුත් මෙම යලි ඉදිරිපත් කිරීම පළමු අනුක්‍රමණයේ චරිත ලක්ෂණයන්, විශේෂයෙන් පෙරැළිය (overthrow) පිලිබඳ අදහස (‘ලෝකය එහි පදනමින් උඩු යටිකුරු වනු ඇත’) ගෝලීය විනිශ්චය දෙන දිනයක් ලෙස විප්ලවය පිලිබඳ අදහස රැක ගත්තේය. අපිට කියන්න පුළුවන් ජයග්‍රහණය එය තුලත් තේරුම් ගත්තේ උපන්‍යාසයේ පළමු ආකෘතියේ ජයග්‍රහණය ලෙස බව.

අප මුහුණ දෙන කාර්යය වන්නේ, සමාජවාදී රාජ්‍යයන්ගේ නිශේදනාත්මක අත්දැකීම් සහ සංස්කෘතික විප්ලවයේ සහ 68 මැයි වල අතීරණාත්මක පාඩම් වලට පසුව – මේ නිසා තමයි අපගේ පර්යේෂණයන් බොහෝ සංකීර්ණ , බොහෝ අවිධිමත් සහ බොහෝ පර්යේෂනමය ස්වභාවයන් ගන්නේ – පළමු අනුක්‍රමණයෙන් වෙනස් වූ මාදිලියක් තුළ කොමියුනිස්ට් උපන්‍යාසය සාංදෘෂ්ඨිකත්වයට ගෙන ඒමයි. මම කියා ඇති පරිදිම, කොමියුනිස්ට් උපන්‍යාසය තවමත් නිවැරදි උපන්‍යාසය වන අතර මම එයට වෙනත් විකල්පයක් දකින්නේද නැත. මෙම උපන්‍යාසය අත්හැරිය යුතුනම්, එවිට සාමූහික ක්‍රියාකාරකම් හී තලය තුල කිසිවක් කිරීමේ අර්ථයක් නොවේ. කොමියුනිස්ට්වාදයේ පර්යාවලෝකනය නොමැතිව, මෙම අදහස (Idea) නොමැතිව, ඓතිහාසික සහ දේශපාලනික අනාගතයේ කිසිවක් දාර්ශනිකයාට උනන්දුවක් ඇති කරන ආකාරයේ දේ නොවේ. සෑම පුද්ගලයෙකුටම සිය පුද්ගලික ජීවන අරමුණු වෙත යා හැකි අතර අපි ඒ ගැන නැවත කතා නොකරමු. ධෛර්යය නොමැති නිසා නැතිනම් තනතුරු වලට පොරකන නිසා සමහර හිටපු කොමියුනිස්ට්වාදීන් මේ වනවිටත් පිළිඅරගෙන ඇති පරිද්දෙන්ම මී මිනිසා, එවිට, නිවැරදි වනු ඇත. මෙම අදහස අල්වාගෙන සිටීම, උපන්‍යාසයේ සාංදෘෂ්ඨිකත්වය, යනුවෙන් අදහස් වන්නේ රාජ්‍ය සහ දේපල මත නාභිගත වූ එහි පළමු ඉදිරිපත් කිරීමේ ආකෘතිය එලෙසින්ම තබා ගත යුතුය යන්න නොවේ. සැබැවින්ම, අප මත ආරෝපණය වී ඇති දාර්ශනික කාර්යය, අපට අවශ්‍යනම් කිව හැකී යුතුකම, වන්නේ උපන්‍යාසයේ නව මාදිලියක සාංදෘෂ්ඨිකත්වයක් සද්භාවය වෙත ගෙන ඒමට උපකාර කිරීමයි.

එය නවීන වන්නේ මෙම උපන්‍යාසය විසින් ඇතිවීමට ඉඩ තිබෙන දේශපාලන අත්හදා බැලීම් වල දෘෂ්ඨියෙනි. දෙවෙනි අනුක්‍රමණයෙන් සහ එහි අවසාන ප්‍රයත්නයන්ගෙන්, අපි කොමියුනිස්ට් උපන්‍යාසයේ සාංදෘෂ්ඨිකත්වයේ කොන්දේසී වෙත නැවත යා යුතු බව සහ එය වෙත ලඟා වීමේ මාර්ග ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව උගත්තෙමු. රාජ්‍ය සහ මහජන ව්‍යාපාරය අතර දයලෙක්තික සබඳතාවයෙන්, කැරලිකාරී නැගී සිටීමට සූදානම් වීමෙන් සහ ශක්තිමත් හා ශික්ෂිත සංවිධානයක් බිහිකිරීමෙන් අපට තෘප්තියට පත්විය නොහැක. අප දෘෂ්ඨිවාදී සහ ක්‍රියාකාරී අවකාශය තුල උපන්‍යාසය යලි ස්ථාපිත කල යුතුය.

ප්‍රතික්‍රියාවන්ගේ ස්ථාපිත ආධිපත්‍යයට එරෙහිව මම ලක්ෂ්‍යයක් යනුවෙන් හඳුන්වන දෙය, රඳා පැවැත්මට අපට ඉඩ දෙන දේශපාලනය සමඟ කරන ප්‍රාදේශීය අත්හදා බැලීම් තුල කොමියුනිස්ට් උපන්‍යාසයට සහයෝගය දීම : වෙනත් වචන වලින් කියන්නේනම්, නිශ්චිත කාලාන්තරයක් (duration), විශේෂ වූ සංගතභාවයක්, මෙය තමයි එහි ස්වයංසිද්ධ බව (self-evidence) පරිවර්තනය කර ගනිමින් උපන්‍යාසයට දෘශ්‍යමාන වී රඳා පැවතීමේ අවම කොන්දේසිය.

මේ අර්ථයෙන්, විසිවෙනි සියවසේ විප්ලවයන්ගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයට වඩා අප සමීප වන්නේ දහනම වන සියවසේ ඒ වන විටත් විභාග කරමින් සිටි ගැටළු කුලකයකටයි. 1840 ගණන් වලදී මෙන්ම අප ගනුදෙනු කරන්නේද ධනය තමයි එකම වටිනා දෙය කියන අදහසින් වඩ වඩා අනුප්‍රාණය ලැබූ, දුප්පතුන් කම්මැලියැයිද, අප්‍රිකානුවන් පසුගාමීයැයිද, සහ අනාගතය හඳුන්වා ගත හැකි සීමාවකින් තොරව අයිති වන්නේ බටහිර ලෝකයේ ‘ශිෂ්ඨ’ බුර්ෂුවා පංතියට කියාද සිතනා නරුම ධනවාදීන් සමගය. දහනමවන සියවසේ විවිධ ආකාරයේ ප්‍රපංචයන් යලි දෘශ්‍යමාන වෙමින් පවතී : ධනවත් රටවල් මෙන්ම අත්හැර දමනු ලැබූ හෝ කොල්ලකන ලද කලාප වලත් පුදුම සහගත ලෙස පුළුල්ව පැතුරුණු දරිද්‍රතාවයේ කලාප, නිරන්තරයෙන් වර්ධනය වන අසමානතාවයන්, වැඩ කරන ජනයා – හෝ රැකියා නොමැත්තන් – සහ අතරමැද පංතීන් අතර ඇති රැඩිකල් විභේදනයන්, දේශපාලනය ධනයට සේවය කිරීම තුල සම්පූර්ණයෙන් දිය වී යෑම, විප්ලවවාදීන්ගේ අසංවිධානගතවීම, තරුණ ජනයාගේ පුළුල් කොටසක ඇති ශුන්‍යතාවදී අපේක්ෂා භංගත්වය, බුද්ධිමතුන් බහුතරයකගේ වහල් බව, කොමියුනිස්ට් උපන්‍යාසය ප්‍රකාශ කිරීමේ සමකාලීන ආකාරයන් සොයනා කුඩා කණ්ඩායම් කීපයක අධිෂ්ඨානශීලී නමුත් සීමාකරන ලද පර්යේෂණාත්මක ක්‍රියාකාරකම්….

සැකයකින් තොරවම මේ නිසා තමයි, දහනමවන සියවසේ සිදු වූ පරිදිම, අද න්‍යාය පත්‍රයේ තිබෙන්නේ උපන්‍යාසයේ ජයග්‍රහණය කිරීම නොව, සියලු දෙනා දන්නා පරිදි, එහි සාංදෘෂ්ඨිකත්වයේ කොන්දෙසීන්ය. දහනමවන සියවසේ විප්ලවවාදීන්ගේ මහා ගැටළුව වූයේ මෙයයි: සියල්ලට පෙර උපන්‍යාසය සාංදෘශ්‍ය කරවීම. බොහෝ මර්ධනකාරී ලෙස අපට දැනෙන මේ විරාමීය අවධියේ නැවතත් අපගේ මූලික කාර්යභාරය වන්නේ මෙයයි. නමුත් මෙය විශාල ලෙස තෘප්තිමත් වැඩකි; සෑමවිටම ගෝලීය නැතිනම් විශ්වීය වූ චින්තනයක් ගොඩනැගීම හා ප්‍රාදේශීය නැතිනම් එකවාචීය නමුත් විශ්වීය ලෙස සම්ප්‍රේෂණය කල හැකි දේශපාලන අත්හදා බැලීම් එකට මුහුකිරීම මගින්, සවිඥානිකත්වය තුලත් සංයුක්ත අවස්ථාවන් තුලත් කොමියුනිස්ට් උපන්යාසයේ නව සාංදෘෂ්ඨිකත්වය අපට සහතික කල හැකි වේ.

ඇලේන් බදියු, “සාකෝසී යනු කුමක්ද?”, පි.අ.142 – 150 (පරිවර්තනය නවීකරණය කර තිබේ).

Advertisements