17742462_279070135854417_175071170_n

අලි වෙනුවෙන් පෙනී ඉන්න හැම කෙනෙක්ම හිතනවා අලින්ට ලැබිය යුතු නිදහස ගැන. ඒත් අපි හොඳටම දන්නවා අලින් රක්ෂිතවල ඉන්න කොටත් උන්ට කිසිම නිදහසක් නැති බව. කැලය රක්ෂිතයක් උන ගමන්ම අලින්ට ඒක දැනෙනවා. තමන්ගේ ජීවන රටාව තවත් අය විසින් කලමණාකරණය කරන බව උන් ට දැනෙන එක අපට නවත්තන්න බැහැ. අලින්ට මේ බව දැනගන්න අපිට වගේ කැලෑ  කලමණාකරණය පිලිබඳ උපාධියක් අවශ්‍ය වෙන්නෙ නෑ. විදුලි වැටේ පලවෙනි සැර පහරෙන්ම එයාලා ඒක ඉගෙන ගන්නවා .

බොහෝ කාලයක් තිස්සෙ  අලින්ගේ ජීවිත වෙනුවෙන් සටන් වදින අපේ සංවේදි ජීවිත මෙතනදි සෑහෙන සැක කටයුතුයි. අපි නිතරම හිතනවා අලින්ව නිදහස් කළ යුතුයි කියලා. ඔතනදි කෙනෙක් ප්‍රශ්න කරන්න පුලුවන් ”ඒ කොහාට ද” කියලා. තවත් ඉස්සරහට තර්ක කරගෙන ආවොත් අපිටම කියාගන්න සිද්ධ වෙනවා අලින් ගෙවල් ඇතුලටම ගෙන ආ යුතුයි කියලා. ඒකට හේතුව වෙන්නෙ අලින්ට ඉන්න තැනක් නැති වීම. තියෙන්නෙ රක්ෂිතයන්. නමුත් මේ තියෙන සන්දර්භයෙදි ඔය රක්ෂිතයන් මිනිසා නිර්මාණය කරපු දඩයම් භූමි, සෑම අතින්ම රාජකීය දඩයම් භූමි කියන්න පුලුවන්.. ඒවගේම මේවා රජය සතු ව්‍යාපාරභූමි කියලා කියන්නත් පුලුවන්..

මේ විදියට මර උගුල් අටවපු භූමිවල ඉන්න අලි, සාමන්‍ය දඩයක්කරුවාගේ ඉඳන් රාජ්‍ය දඩයක්කරුවන් දක්වා වූ අයගේ දඩයම් විනෝදාංශය නිසා අසංඛ්‍යෙය ප්‍රතිඵල බුක්ති විදිනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා    අනාථාගාරය ගැනත් හිතන්න. අලි අනාථාගාර කියන්නෙ මොනවද ? මේ දඩයම් භූමි සහ අලි අනාථාගාර  විනෝදය වෙනුවෙන් රාජ්‍යයක් තුල සමරන දේවල් බව. මේ අලි අනාථාගාර සියල්ලම තියෙන්නේ සෑහෙන අනුකම්පාව දිනා ගන්න ආයතන විදියට. ඒ කියන්නෙ ඉන් ලබන විනෝදයට අනුකම්පාවත් අයිතියි. අලි සුරතල් හී සිට අලි සෙල්ලං දක්වා මේව දිහා බලන විදීන් ගැන බොහෝ කතා පෙල ගස්වලා. අලි පැටවුන්ට කිරි දීලා, ඒ සංවේදී මොහොත, ඒ සුන්දර සුරතල් මොහොත, අපි හිත් තුල සලකුණු කර ගන්නවා. ඇත්තටම  මේවා අනුකම්පාව සඳහා ම නිම වූ හිඟන්නන්ගේ ආයතන. තේරෙනවනේ හිඟන්නා කියන කෙනා ඉන්නේ අනුකම්පාවේ පරිශ්‍රය තමන්ගේ පැවැත්ම බවට සිතමින් සහ එකවරම ගනිමින් කියලා. ඉතිං ඒ වගේ මේවා අලි අනාථාගාර නෙවෙයි හිඟනගාර.. අලින්ගේ ලෝකය හිඟන්නන් දක්වා දෙකට පැලිලා.

අලියෙක් අනාත වෙනවා කියන්නේ මොකද්ද ? කොටින්ම  ඌ තම රංචුවෙන් ගැලවීම. එතනදි මොකක් හරි අනතුරක් නිසා, අලින් අනාත වෙනවා. ඌරු මර උගුල්, අලින් සඳහා ම තැනුණු බොරු වලවල්, වෙඩි තැබීම් යනා දී මේ සියල්ලක්ම නිසා අලින්ට කැලෑවේ තිබිය යුතු චලනය අහිමි වෙනවා. ඉතිං අනාතාගාරවල ඉන්න හැම අලියෙක්ට ම ඒ හා බැඳුණු කතාවක් තියෙනවා. ඉතිං ඒ නිසා අන්තිමට අපිට පුලුවන් උන්ට දිගින් දිගටම කිරි පොවන්න.

එක කාලෙක ලංකාවේ අලි හොරු ගැන ප්‍රවෘත්ති පලවෙමින් තියෙන මොහොතක් තිබුනා මතක ඇති. සංවේදි අපි හිතනවා උන්ට දැඩි දඬුවම් දිය යුතුයි කියලා. අලි රොෂාන්ගේ සිට සෑහෙන දෙනෙක්ගේ නම් දැන් මේකේ ගෑවිලා තියෙනවා. නමුත් රක්ෂිත බිහිවෙන්න කලින් ඉඳන්ම ලංකාවේ අලි ගණු දෙනු සෑහෙන්න සිද්ධ වුනා. ඉතිහාස කතා අනුව නම්, ලංකාව කියන්නේ අලි ඇතුන් වෙළදාම් කරපු රටක්. ඒ නිසා අලි බිස්නස් එක, ඇත් දළ, අලි කෙඳි, හකු යනාදියෙන් පවා කොටස් කර විකුණපු පුරුදු ටිකක් අපිට තියෙනවා. ඒ අනුව ගත්තොත් අලි රොෂාන් ලා, ධම්මාලෝකලා ටිකක් උසස් ගණයේ වෙළඳාමක යෙදුණු අයවලුන්. නමුත් මෙයාලා ජාවාරම්කාරයෝ ද වෙනවා. කොහෙන්ද මේ අලුත් ඉර ඇඳුනේ..

මේ රටේ නීතිය තුල ඒ සඳහා වූ වගන්ති සැකසිලා ඉවර හින්දා දැන් මේ අයව පරණ සිස්ටම් එකෙන් කියවන්න බැහැ. උන් දැන් හොරු.. දැන් මේ තත්වය තුල දී එයාලා කොහොමද තමන්වම සාධාරණිකරණය කර ගන්නේ.. උඩුවේ ධම්මාලෝක කියන විදියෙන් අපිට ඒක තේරෙන්නෙ ” මම මේ නීතියට එකඟ නැහැ. මම කළේ හැම මිනිහෙක්ටම කරනව වගේ අසරණයෙකුට උදවු කිරීමක් පමණයි” කියලා.

මෙහෙම කියද්දි ”ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා” වගේ හැඟීමක් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද ? මිනිස්සු අලි එක්ක හිටපු විදිය ගැන වුන අතීත කතාවන් මේ එක්ක එන්න ගන්නවා.

කොහොම කිව්වත් ලංකාවට අලි එක්ක ප්‍රැක්ටිස් එකක් තිබුනා. අලින් ශිෂ්ටාචාරගත කිරීමට හැකි දැනුමක් ඔවුන් සතු උනා. මේ දැනුමත් සමග තියෙන කතිකාව අනුව ගත්තම ධම්මාලෝකලා වැරදි නැහැ. මොකද ඒ චීවරධාරියා නිසා අලි මිනිස්සු එක්ක ජීවත් වුනා කියන කතිකාව ඉතිහාස සාක්ෂියක් විදියට උඩට එනවා. නීතියෙන් මොන දඬුවම දුන්නත් මේ නිසා  ඔවුන්ගේ සමාජීය නිර්දෝෂිභාවය සඳහා පදනම් කතාවක් ඓතිහාසිකව තියෙනවා.

ඔය නිසා  අලින් වෙනුවෙන් වන සතුන් වෙනුවෙන් අසීමිත ලෙස පෙනී සිටින අපි වගේ අයට මෙතනදි පදනම් වෙන්න කිසිම කතාන්දරයක් නැතුව යනවා. කොටින්ම වැලේ වැල් නැතුව යනවා. ඇත්තටම   අපිට ඉතුරු වෙලා තිබුනෙ පරිසරවේදීන්ගේ දැනුම මත පිහිටීම පමණයි. ඇයි අපිට එහෙම කියන්න සිද්ධ වෙන්නෙ. මේ පරිසරවේදින්ගේ දැනුම නිසා තමයි රක්ෂිතයන් බිහි වෙන්නෙ. මොවුන්ගේ ඕනෑකම් නිසා තමයි විදුලි වැට ඉදි වෙන්නේ. මේ ඕනෑකම ඔවුන් දන්න එකම විසඳුම ද වෙනවා. මිනිස් අලි ගැටුම් නවත්තන්න මේ තරම් මෝඩ, ඒත් ත්‍රස්තභාවයෙන් කිසිම අඩුවක් නැති පීඩාකාරීම විදිය ඔවුන්ට පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ.

පරිසරවේදියෙක් කියන්නෙ මොකෙක් ද ? එයා සංරක්ෂණවාදියෙක්. එයා නිතර ඉන්නේ මිනිසාව අමතක කරමින්. සතුන් ගස් වැල් ගැන අධිකතර සංවේදිතාවයක් ඒ මතට දමමින්.  අධි සංවේදීකරණය වූ තැති ගත් මානසිකත්වයකින් කටයුතු කරන පරිසරවේදියෙක් ගහන්නෙම විදුලි වැට. අලින් ගැන කුඩා කාලයේ ඉඳන් තියෙන බියගුලු අපරිණතභාවයක් මේකෙන් එලිවෙන්නෙ නැද්ද.. චින්තනය එතනින් එහාට වැඩ කරන්නෙ නැහැ. ඒ නිසා මේ දැන් ඉන්න පරිසරවේදියට තමන්ව අමතක වෙලා. මිනිසාව අමතක වෙලා. මෙතනදි අපිට කියන්න තියෙන්නෙ අපි මේ පරිසර සංරක්ෂණවාදීන්ට එරෙහි විය යුතුයි කියලා විතරයි . ඇයි ඒ ?

මේ සංරක්ෂණවාදියා කරන දෙයින් අපිට සත පහකවත් වැඩක් නැහැ. එයාට නම් වැඩක් ඇත. ඇයි වැඩක් ඒකෙන් එයාට ඇර කාටවත් වැඩක් නැත්තෙ. වන විනාශවීමේ අනතුර, සතුන්ගේ ජීවන රටාවන් ගැන කරන ගවේෂන ආදී සියල්ල මිනිසා සමග සහසම්බන්ධයකට ගෙනියන චින්තනමය වැඩ පිලිවෙලක  ඔහු හීනෙකින්වත් නැහැ.. ඇත්තටම  මේ පරිසරවේදියා කියන කෙනා සම්බන්ධ මිනිස්සු එක්ක නෙවෙයි. සත්තු එක්ක විතරයි. පුදුම ලිංගිකත්වයක්. එයා දන්නෙ නෑ, එයා ගත්ත දැනුම මිනිස්සු එක්කයි සම්බන්ධ කියලා. කොටින්ම එයා සටන්කරුවෙක් නෙවෙයි. එයා කැලයක් ඇතුලෙ සත්තු එක්ක ඉන්න නාගරික සතෙක්. ඒ දැනුම මිනිස්සු එක්ක සම්බන්ධ කරන, මිනිස්සු වනාන්තර එක්ක ජීවත් වෙන්න ඕනෙ විදිය ගැන දැනුම සම්පාදනය කරන්න ඔවුන් බැඳිලා නෑ. ඔවුන් බැඳිලා ඉන්නෙ අර අපරිණතබාවයකට විතරයි. මේ අපරණීතබාවය කොහෙටවත් වග කියන්නෙ නැහැ. ඒ නිසා මෙයාලා ඉන්නේ හැමදාමත් ලෝකෙට කිසිම වැඩක් නැති දැනුමක් ගැන ගවේෂණය කරමින. ඒ නිසා මේ ගවේෂණව වලට ලැබෙන මුදල් ප්‍රතිපාදන නැවැත්තුව කියලත් මහ ලොකු වෙනසක් ඇති වෙන්නෙත් නෑ.. ඒ නිසා එයාල දන්නෙ අලි වැටයි, අනාථාගාර නඩත්තුව ගැනයි හොරු අල්ලල හිරේ දාන එකෙනුයි සෑහිමකට පත් වෙන්න විතරයි.  ඉතිං මේ  අනුව ගියාම  කෙනෙක්ට වනජීවි එක ගැන අලුතින් අර්ථකතනයද කළ හැකි වෙනවා.

වනජීවි එක කියන්නේ මොකද්ද ? අපි ඒක කෙලින්ම ‘කැලෑ පොලිසිය’ කියලා නම් කරමු. වනාන්තරය තුල සිද්ධ වෙන හැම නීති විරොධී වැඩක් ගැනම අවධානයෙන් ඉන්න එක මෙයාලගෙ මූලික වැඩක්. රක්ෂිතය තුල සිදුවෙන අනවසර ඇතුල්වීම් සහ පිටවීම් සියල්ල ගැනම මෙයාල පරික්ෂාකාරී විය යුතුයි. මේ නිසාම එයාලා දන්නේ නෑ එයාලා ආරක්ෂා කරන්නේ මොකද්ද කියලවත්. වන ජීවින්ද, ගහ කොළ ද, නැත්තම් මිනිස්සුන්වද ? ඇයි මෙහෙම වෙන්නේ..

රක්ෂිතයක් කියන්නේ වනාන්තරයක්. වනාන්තරය නිතරම වෙනස් වෙමින් පවතින දෙයක්. අපි හිතනවා නම් වනාන්තර ආරක්ෂා කර ගත යුතුයි කියලා. ඉස්කෝලෙ ළමයින්ටත් අපි මේක උගන්වනවා. වනජීවි එකෙන් කරන්නෙ රක්ෂිතය ආරක්ෂා කිරීම ම ද ? මලකඩ බැඳිච්ච අලි තුවක්කු වලින් උණ්ඩ අහසට විසී කරන එකද ? නැත්තම් බැංකු මංකොල්ල කන එකද ? ලංකාවේ පොලීසිය වගේ මේකත් එක ගොඩේ වැටෙනවා. ඔවුන් දන්නේ නෑ පරිසරවේදින් සහ මිනිස්සු එක්ක වැඩ කරන්න. වනාන්තරයන් මානවකරණය කරන්න මෙයාලා දන්නෙ නෑ. මෙයලා දන්නේ ජනපදනකරණයයි, රක්ෂිතකරණයි, සංසර්ක්ෂණකරණයයි සඳහා සේවය ලබා දීම පමණයි.

බිහිසුණු සංරක්ෂණවාදයක් ඇතුලෙ කැලෑ වැවීම, කැලෑ කැපීම, මිනිසා එක්ක කැලෑවට ඇති සම්බන්ධයම නෙවෙයි. කැලෑව එක්ක ජීවත් වෙන විදිය ගැන සිතීමත් සම්බන්ධයක්. මේ සම්බන්ධය වෙනස්. අතීත දැනුමක් අපි අතර තියෙන බව දන්න වුනත්, ඒව ගැන ගවේෂණ කෙරිලා නැහැ. අඩුම ගණනෙ කැලයත් එක්ක ජීවිත ගෙවන මිනිස්සු ගැන අධ්‍යයනයන් කෙරිලා නැහැ. පරිසරවේදින් ඒ ගවේෂණයන් සමග මුහු වෙලා නැහැ. මොකද ඔවුන් ඉන්නේ සත්තු එක්ක මිසක් වනාන්තර එක්ක තියෙන මානව සම්බන්ධතා තුල නෙවෙයි. වෙනම හුදෙකලාවක. ඉතිං උඩුවේ ධම්මාලෝකලට මෙතැනදි නීතිය කියන්නෙ අලි පඩයක් විතරයි. ඔවුන්ට දඬුවම් දීපු ගමන්, දුෂිත දේශපාලන ව්‍යාපාරයක් දිනනවා. ධම්මාලෝකල ඇද බාන සතුන් ගැන ඇති මහානුකම්පාව, බෞද්ධාලම්බනය ජයග්‍රහණය කරනවා. හරි විවේචකයෙක්, සටන්කරුවෙක් නැති හින්දා රජය ඇතුලු ඕනෙම කෙනෙක්ට මෙතනදි කැමැති කැමති ආකාරයට නටන්න පුලුවන්.

මේ විදියට ගත්තම වනාන්තරයත් එක්ක ජීවත් වෙන ලෝකයක් ගැන අපිට ඉස්සරහට හිතන්නවත් බැරි වෙයි. මොකද ඒවා රක්ෂිත නිසාම, ඒවා  රාක්ෂයි. බිය උපදවන සුළුයි, සතුන් ප්‍රචන්ඩකාරීයි. ඒ වගෙම  නොයිඳුල් වනාන්තර ගැන අපිට තියෙන ආඩම්බරයත් හරිම උද්දච්චකමක්. මේවා මිනිස් පහස ලබන්න ඕන. ඉතාමත් හොඳ සහසම්බන්ධයකුත් ඇතුව, මිනිස්සු වනාන්තර එක්ක ජීවත් වෙන්න ඕනෙ මිසක්, වන විනාශයන් කරලා ජීවත් වෙන එක වනාන්තර ගැන තියෙන අපරිණතභාවයක්. නීති සම්පාදනය විය යුත්තේ අන්න ඒ වගේ ලොකු ආශාවක් එක්ක මිසක්, හොරු අල්ලන තියරියෙන් නෙවෙයි. ඊට කලින් පොඩි කාලයේ දී වනාන්තර ගැන ලබපු එකම දැනුම ‘බිය’ වෙන නිසා ඊට එහා වග කියන්න කිසිවක් අපිට නැහැ ..

අලි ඉන්න තැනක ජනපද බිහි කරන එක ගැන, මිනිස්සු මැරෙන එක, ඒවයෙන් බේරෙන්න වැටවල් ගහන එක මිත්‍යාවක්. ඒ මිත්‍යා කතාන්දරය ඇතුලෙ නඩත්තු වෙන හැම රාජ්‍යය ආයතනයක්මත් මිත්‍යාවක්. ඒ නිසා ඔවුන්ගේ සේවයන් පවා මිත්‍යා මතිකයි. වනජීවි කාර්යාල, රක්ෂිත වනාන්තර, පරිසරවේදීන් තොරොංචි වෙන්න ඕනෙ මේ නිසයි. මේ ධම්මාලෝක හාමුදුරුවොන්ව වැරදිකරුවෙක් වෙන්න ඕනෙ අන්න ඒ සුවිශාල මිනිස් පදනමේ ඉඳන් මිසක්, එයා  සුදුයි ලස්සනයි, පිං බරයි නිසා නෙවෙයි.

-ශ්‍රීනාත් චතුරංග-

Advertisements