98685742c7430918131770469b0eda44

මරණය කියන්නේ අපි තවමත් අත්දුටු දෙයක් නෙවෙයි. ඒක අත්දකින්න පුලුවන් එක පාරයි. දෙපාරක් බැහැ. නමුත් මරණය එකවර සිදුවෙන දෙයක නිරන්තරයෙන් නියැලෙනව. එකක් තමයි මරණය යන්න ඕනෑම කෙනෙකුට අත්දැකීමට හැකිවීම. අනිත් එක තමයි අපේ පැවැත්මේ අවසානය.

පහු ගිය දවසක විමුක්ති ජයසුන්දරගේ සිව්වන සිනමා සම්ප්‍රාප්තිය සුලඟ ගිනි අරන් නැරඹුව. චිත්‍රපටයේ ප්‍රධාන තේමාවක් උනේ මරණය. මේ දවස්වල මරණය ගැන අපේ හැදෑරීම් නිසා මුළු චිත්‍රපටය පුරාවට මරණය පිලිබඳව මිඩංගු වීම සුවිශේෂිව පේන්න ගත්තා. ඒ නිසා විමුක්තිගේ චිත්‍රපටයේත් එන මරණය කියන තේමාව ගැන යම් අදහසක් ලියන්න ඕනෙ කියල හිතුන.

සාමාන්‍යයෙන් මරණය සමග සමීප චරිත එදිනෙදා ජිවිතයේ දි අපට හමුවෙනවා. විමුක්තිගේ රූපවල නම් ප්‍රධාන වශයෙන් වෛද්‍යවරයෙක්, බෞද්ධ ශ්‍රමණයෙක් ආදී වශයෙන්. මේ චරිත අතරේ මරණයට අති සමීප චර්යාවන් ඇති අය ගැන සමාන්තර ඡේදනයක් මුලු චිත්‍රපටය පුරාවටම තිබ්බ.

වෛද්‍යවරයෙකු සාමාන්‍යයෙන් වැඩ කරන්නේ රෝගියෙකුගේ ජීවිතය පවත්වා ගැනීම වෙනුවෙන්. එමෙන්ම රෝගියෙකු ජිවත් කිරීමට මරණය ( මාරයා ) හා සටන් කළ යුතුයි. අපි දන්නවා සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු වෘත්තීමය වශයෙන් මරණය සමග මිඩංගුවෙන එදිනෙදා නිරීක්ෂයෙක් බව. මරණය ඔහුට සුලභ අත්දැකීමක් වෙනවා .

නමුත් චිත්‍රපටයේ එන වෛද්‍යවරයා සාමාන්‍යයෙන් අප බලාපොරොත්තුවෙන වෛද්‍ය විද්‍යා ආචාර ධර්මවලට පිටින් සිටින්නෙක්. පාතාල වකුගඩු ශෛල්‍යකර්ම වලින් බොහෝ මුදල් උපයන්නෙක්. ඒ නිසාම ඔහු හෘද නැවතසාක්ෂීමය අර්බුදයක සිටිනවා. ඒ වගේම නන්නත්තාරයෙක්ද වෙනවා. චිත්‍රපටය ඇසුරෙන් වෛද්‍යවරයෙකුගේ සත්‍යය මේ ආකාරයෙන් ලියා තැබිය හැකියි.

”වෛද්‍යවරයා මරණයට සමීපව ඇති පැවැත්මක් වන හෙයින් කෙනෙකුව ජිවත් කිරීමට ඇති හැකියාව මෙන්ම මරණයට පත් කිරීමේ හැකියාවට ද සමීපව පවතින්නෙකු වෙයි” යනුවෙන්

ඒ වගේම මරණය පිලිබඳව එන බෞද්ධ තේමාවත් මෙතනදි වැදගත්. චිත්‍රපටයේත් මුල සිටම බෞද්ධ ශ්‍රමණයෙකු මරණය ගැන තම සමීප අත්දැකීම් විස්තර කරනවා. ශ්‍රමණයාගේ කතාවේ හැටියට, ඔහු ද ගිහි ජීවිතයේදි වෛද්‍යවරයෙකු වීමට ගත් උත්සාහයක් අත හැර දමන ලද කෙනෙක්. ඔහුට අනුව මරණයෙන් මිනිසාව බේරාගැනීමට වෛද්‍යවරුන් ගන්නා උත්සාහයෙන් ලෝකයට නිරාවරණය වී තිබෙන්නෙ මිනිසාගේ ශරීරය පිලිබඳ දැනුම පමණයි. නමුත් ඔවුන් මරණය ගැන කිසිවක් නොදන්නා අය.

බෞද්ධ ශ්‍රමණයෙකු නිරන්තරවම මරණය ගැන මෙනෙහි කිරීමක යෙදෙන භාවනා ක්‍රමයක් තියෙනව. එය නමින් මරණානුස්සතිය. එහි ක්‍රියාපිලිවෙල වෙන්නෙ මරණය ගැන මෙනෙහි කිරීම. අඩු වැඩි වශයෙන් කිව්වොත් විමුක්තිගේ චිත්‍රපටය මරණානුස්සතියක් කියල කියන්න පුලුවන්. මේ බෞද්ධ ශ්‍රමණයා ඒ ගැන වඩ වඩාත් අප හමුවේ සපථ කරනවා.

චිත්‍රපටයේ හැටියට කිසිදු පුදුමයක් නැතිව මේ ප්‍රධාන චරිත දෙක ඉන්නෙ මරණය ගැන සුප්‍රසිද්ධ කතිකා දෙකක. ඒ වෛද්‍යවරයාව ජිව විද්‍යාත්මක මරණයත්, ශ්‍රමණයාව මමත්වයේ මරණයත් වශයෙන්. චිත්‍රපටියෙ හැටිය වෛද්‍යවරයා තමන්ගේම මිනී වළ කපාගෙන පැනලා ගිනි තබා ගන්නවා. ජීව විද්‍යාත්මක මරණය වෙත ලඟා වෙනවා. ශ්‍රමණයා තම ගුරුවරයාගෙ මරණයෙන් පසුව නිවන දක්වා පැමිණෙනවා. ඒ කියන්නෙ මමත්වයේ මරණය සිදු කරනවා.

බෞද්ධ විග්‍රහයට අනුව ජිව විද්‍යාත්මක මරණය සංසාරය නිමකරන්නේ නැහැ. සංසාරය යනු නැවත නැවතත් මරණයෙන් පසු ජිවිතය ලැබීමයි. මැරි මැරී උපදීමයි. මමත්වය මරණයට පත් කිරීම බුදු දහමෙහි අරමුණක්. ඊට ප්‍රතිවිරුද්ධව කිසිවෙකුටත් තර්කයක් නොනැගිය හැකි ලෙස බුදු දහම මරණය පිලිබඳ සාකඡ්චාව පරිපූර්ණ කර ඇති සෙයකි.

අපි සාමාන්‍යයෙන් මිනියක් වළ දැමීමෙන් පසු එය වසා දමනවා. ඒ වගෙම මරණය සමඟ සෑහෙන චාරිත්‍ර ප්‍රමාණයක් තියෙනවා. අපි දන්න විදියට මේ හැම චාරිත්‍රයක්ම මැරුණ කෙනාගේ එලොව ජීවිතය වෙනුවෙන් කරන දේවල්. ඒත් මේ හැම චාරිත්‍රයක්ම කරන්නෙ මිය ගිය කෙනාටමද ? ඇත්තටම මැරුණ කෙනාට වඩා ඒ සියලුම චාරිත්‍ර ටික කරන්නේ මැරුණ කෙනා නිසා ජීවත් වූවන් පිණිස. මරණයක් නිසා ඔවුන් විඳින කාංසාවෙන් පලායන්න. මරණය කියන කාංසාජනක බිය, කෙනෙක් මැරුණම අපි වෙත පැමිණෙනවා. ඇයි අපි ජිවත් වෙන්නෙ. හැම කෙනෙක්ම මේ වගේ මැරෙනව. ඒකට වෙලාවක් කලාවක් නැහැ. සියල්ල ඊ ලඟ මොහොතේ මරණය විසින් නිරර්ථක කරනවා.

ඒත් චිත්‍රපටයේ එන වෛද්‍යවරයා තම ශරීරයට තෙල් වත් කරවා ගිනි තබා ගත් පසු එම වළ වසා දමන්නට කෙනෙකු නැහැ. ඒ – දෙන ලද සිනමාවේ මොහොතේ – අපි ඉන්නෙ සාමාන්‍ය මරණ චාරිත්‍රයක් ඉටු නොවුන මරණයක් ගැන අත්දැකීමක. මිනී වලක් වසා දැමීම කියන්නේ ශුද්‍ර ජිවින් ඇති වීම නිසා තියෙන ප්‍රශ්නයක් විසඳ ගන්නම නෙවෙයි. අපරාධකරුවෙක් තමන් ඝාතනය කරපු මිනිහෙක්ව වළලන්නෙ නීතියෙන් සඟවනු පිණිසම නෙවෙයි. ඒ වළලන්නේ හෘද සාක්ෂිය. මිනිහෙක් මැරුනම අයෙ එන්න ඕනෙ නෑ.

ඒත් වෛද්‍යවරයා තම පිලිස්සී ගිය ශරීරය සමග ගම්මානයට (ශිෂ්ටාචාරයට) ප්‍රාදූර්භූතයක් මෙන් කඩාගෙන වදිනවා. ශ්‍රමණයෙකු මෙන් රෙදි කඩ මාල්ලක් පොරවාගෙන නැවත පිටත් වෙනවා. මේ නැවත පැමිණීම අපි දැනටමත් දන්න දෙයක්. එවන් අත්දැකීමට සමාන වන්නේ ජේසුස්ගේ මරණයෙන් පසු පුනරුත්ථානය. මේ නිසා විමුක්ති එක් පසකින් ක්‍රිස්තියානි අත්දැකීමක ද නියැලෙනව කියල කෙනෙක්ට හිතන්න පුලුවන්. එවගේම එදිනෙදා නීත්‍යානූකූල නොවන වකුගඩු බද්ධ කිරීම් සමග පවතින වෛද්‍යවරයා තුල ඇති හෘදසාක්ෂීය ඔහු හැමදාම පිලිස්සෙන ගින්නක් ලෙස පවතිනවා. නමුත් මේ වරදකාරීත්වයේ ගින්න, ශරීරය මත ඇවිලෙන ගින්නට වඩා වැඩියි. විමුක්තියානු රූප රාමුවෙදි එය නිර්දය යි. ඒ නිසා පේන හැටියට වෛද්‍යවරයා ශාරීරිකව ලබන වේදනාවන් ඉක්මවපු කෙනෙක්.

චිත්‍රපටියේ හැටියට එක් තැනක බෞද්ධ ශ්‍රමණයාගේ ගුරුවරයා මාරයා ගැන බුද්ධ දේශනාවක් තම ගෝලයාට පවසනව. බුද්ධ දේශනාව අනුව මාරය කියන්නෙ බලවත්ම පැවැත්මක්. එය පසු කළ නොහැකියි. නමුත් ගුරු ශ්‍රමණයා අතින් විස්තර කෙරෙන මාරයා බලවත් වෙන්නෙ ජිව විද්‍යාත්මක මරණයේ දි විතරයි. ඒ මිස මමත්වයේ මරණයෙදි නෙවෙයි. මමත්ව මරණය අපේක්ෂා කරන්නෙකුට මාරයාට වඩා බලගතු පැවැත්මක උදව්වක් තියෙනව. ඒ තමයි මාරයවත් පරාජය කරපු බුදුන්. කොටින්ම බුද්ධ දේශනාව. මමත්වය නැති වෙනවා, මරණයට පත් කරනවා කියන එකේ අනිත් අර්ථය තමයි කෙලෙස් නැති වෙනවා කියනව එක.

ඒ වගෙම වෛද්‍යවරයාගෙ පැත්තෙන් තවත් තේමාවක් තියෙනව. මේ තේමාව ඒ තරම් කැපී පෙනෙන එකක් නෙවෙයි. ඒ තමයි වෛද්‍යවරයා ගැහැණුන් සමග ඇති සම්බන්ධය. පේන විදියට ඔහු සංසර්ගයේ දී සෑහෙන්න පීඩාවක් ලබන කෙනෙක්. නමුත් ස්ත්‍රීවාදි විවේචනයකින් ඒ දිහා බැලුවොත් පේනවා ඔහු පරපීඩාකාමි පුරුෂොත්තමවාදි විපරීතයෙක් විදියට. නමුත් එහෙම කියන සත්‍රීවාදින් සුරතන්තයට අකමැති වෙන්න විදියක් නැහැ. ඒ නිසා අපිට ඒ අවසරයෙන් පුලුවන් වෛද්‍යවරයා සුරතන්තය සමග දක්වන සම්බන්ධය මොන වගේ එකක් ද කියල බලන්න ?

වෛද්‍යවරයා සුරාන්තය එක්ක දක්වන සම්බන්ධය ඔහු මරණය එක්ක දක්වන සම්බන්ධය නෙවෙයි. ඒකෙ තියෙන්නෙ හැම වෙලාවෙම ඔහුට නොහැකි එක නිශ්චිත දෙයක් ගැන ඔත්තුවක්. ඒ තමයි ගැහැණු සමග සම්බන්ධය. සංසර්ගයේදි පේනව ඔහු ගැහැණුන්ට පමණක් ආසා කරන කෙනෙක් බව. චිත්‍රපටයේ හැටියට රැකියාව සමග ඔහු නියැලෙන මරණානුස්සතියේ ප්‍රතිඵල දායක අගය ගැහැණුන් සිහි නැති කර සංසර්ගයේ යෙදීම හා ඩොගි ස්ටයිල් සංසර්ග ඉරියව්වට සමානයි. ඒත් සංසර්ගය වෙලාවේදි එක හෝ ගැහණියක් ඔහුගේ මුහුණ දිහා බලා ‘මම ඔයාට ආදරෙයි ” කියන්න විමුක්තියානු සිනමාවට කිසිවිටෙකත් පෙළඹෙන්න බැහැ. ඕක නොකියන එක සුපුරුදු විමුක්තියානු සිනමාවේ නොහැකියාව වගෙම ස්වංක්‍රීයවම ලාංකීය කලාත්මක සිනමාවේ මහා ප්‍රකාශනය බවට ද වෙනවා. කතා වින්‍යසය අනුව වෛද්‍යවරයාගේ පෙම්වතිය විය යුත්තේ මාරයාගේ දියණියක්. නමුත් මේ තියෙන විමුක්තියානු සිනමාවට කවදාවත් ඒ තරම් පුදුම සහගත දෙයක් හමුවෙන්න බැහැ. ඒ වගෙම බෞද්ධ ශ්‍රමණයා යනු ලිංගිකත්වයේ හැඟවුම්කාරකයක්. මොකද ඔවුන් ලිංගිකත්වයෙ දි පරෙස්සම් සහගත බුද්ධිමත්භාවයකට එලැඹෙන නිසා.

ඒ වගෙම මරණය ගැන අපි නියැලෙන හැදෑරීම් ගැන ටිකක් ගැනත් කියන්න ඕනෙ. මරණය පිලිබදව වන විමුක්ති සොයා ගත් යම් දැනුම් ප්‍රමාණයක් මේ චිත්‍රපටයේ විවිධ තේමාවන් අතරේ අතිපිහිත වෙනව. ඒ නිසා අපිට දැනෙනව විමුක්ති අපි තුල අමුතු සෞන්දර්යයක් උපද්දවන බව. නමුත් ඒක සෞන්දර්යයක්ම නෙවෙයි. ඇත්තටම ඒක මරණය ගැන වුන ලාංකීය ඌණිත කියවීමක් නිසා හට ගන්න හැඟීමක්.

අපේ ගතානුගතික කියවීම් අනුව මරණය කියන්නෙ අනිවාර්යතාවයක්. ඒකට මුහුණ නොදෙන කෙනෙක් නැහැ. ඒ නිසා අපි නොපමාවම කුසල් රැස් කරමින් එලොව ජිවිතය සාර්ථක කර ගැනීමේ අදිටනින් ජීවත් විය යුතුයි. ජීවත් වීම කියන්නෙ බුදු දහම තුල අපේක්ෂිත ආකාරයට නම් කුසල් ආකරයක් බවට පත් කල යුත්තක්.

නමුත් මරණයේ ‘අනිවාර්යතාව’ කියන්නෙ සත්‍යයක් නෙවෙයි. මරණයම ප්‍රාථමික දෙයක්. ඒ නිසා ඒක නියතතාවයක්. ඒ මිසක් අනිවාර්යතාවයක් නෙවෙයි. අනිවාර්යතාවයක් කිව්වම, එතනින් යම් අපේක්ෂාවක්, බලා සිටීමක්, ආගමක් මෙන්ම ඒ වෙත යන්නට සිදුවීමක් ගැන ඇඟවෙනවා. නමුත් ඒක නියතතාවක් කිව්වම අර සියලු පාර භෞතිකත්වයන් බිඳ වැටෙනවා.

තවත් පැහැදිලි කලොත් මරණය කියන්නෙ ජිවිතයට අයත් ප්‍රපංචයක්. ඒ වගෙම ඒක මරණය ලබන කෙනෙකුගේ හැකියාවක්. ඒ කියන්නෙ මරණය කියන්නේ මිනිසෙකු ලැබන නිසඟ හැකියාවක් කියන එක. මරණය නැතිව ජිවත් වෙන්න බැහැ. ඒත් අපි දන්න සාමාන්‍ය විදියට නම් මරණය එන්නෙ පිටතින්. ඒ කියන්නෙ ගොඩක් වෙලාවට අපි වැදගත් වෙන්නෙ මරණයට වඩා මැරුනෙ මොන විදියටද වගේ කතාන්දරයක්. නැත්තම් මාරයා, සාතන් වගේ බියක්. ඒ නිසා මරණය ගැන කතාව වලක්වමින් ඉන් පලා යන්න අපි නිරන්තරවම උත්සාහ දරනවා. මරණය කියන්නෙ සිය අවසාන පැවැත්ම යන අර්ථයෙන් සලකා බැලීම නවත්වා ලීම මිනිස්සු නම් දෙය නිරන්තරයෙන්ම පෙළඹෙනව.

ඒ නිසා ඕනෑම ජනප්‍රිය ආගමකට මෙන්ම වෛද්‍ය විද්‍යාවටත් මරණයට එරෙහි වෙනවා හැර වෙන විසඳුමක් නැහැ. ඒ නිසා ඔවුන් හැම විටම උත්සාහ කරන දිශානතිය වෙන්නෙ මරණය ජය ගැනීම. වෛද්‍ය විද්‍යාවෙයි, ආගම් අතරයි තියෙන සමීපතම නෑදෑකම තියෙන තැන ඔතන. ඒත් මේ විශයන් දෙකේ ඉතිහාසය ගත්තොත් අපි දන්නවා ආගමික පරමත්වය යන්න නූතන වෛද්‍ය විද්‍යාවට එරෙහි වෙන ඉතිහාසයක් ගැන. දෙවියන් විසින් නිමවූ ශරීරය භෞතවෛද්‍ය විද්‍යාවට අනුව කපා කොටා දමමින් මිනිස් ශරිරය පිලිබඳ දැනුම සොයා යෑමට ආගමික පල්ලිය විසින් එරෙහි වුන ඉතිහාසයක්. ඒ වගෙ ඉතිහාසයක් දැනටමත් වාර්තා ගත එකක් වුනත් දැන් ඒකෙන් සත පහක වැඩක් නැහැ. මොකද අවසාන පරමාර්ථයෙදි දෙගොල්ලොම එකම බෝට්ටුවෙ. අති මූලිකව දෙගොල්ලොම පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයෙන් පලා යනව, වගෙම මරණය ජය ගන්න ඕනෙ වෙනවා.

මරණය කියන මොහොත සංසාරය, අමරණීයත්වය වගේ පාරභෞතික දේවල් ගොඩනගන මූලධර්මයක්. තවමත් මරණය මත පදනම් වූවෙක්ට පුලුවන් මේ මිහිපිටම නවතම ආගම හදන්න. මේ වෙන කොට ලෝකයේ මරණය කියන දෙයෙහි නියැලීමේ නිපුන ප්‍රධානතම ආයතන දෙකක් වන වෛද්‍ය විද්‍යාවත්, බුදු දහමත් දෙකම කරන්නෙ මරණය ජය ගැනීම. ඒත් මේ නිසා අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් අපි මග හරිනවා. ඒ තමයි පැවැත්ම පිලිබද ප්‍රශ්නය ?

ඒකට හේතුවක් තමයි මරණය කිව්ව ගමන් අපි තුල ඒක ගැන ඇති වෙන බය. මේ බය ඇතිවෙන්නෙ හුදෙක් මරණය නිසාද ? නැහැ, මරණය නිසා ඇති වෙන කාංසාවටයි අපි බිය. මේ නිසා මරණය පිලිබඳව අපිට නිවැරදි අර්ථකථනයක් ලබා ගන්නට සිදුවීම ශතවර්ෂ ගණනක් තිස්සෙ පමා වුනා. මරණය ගැන අර්ථ කතනයන් බොහෝමයක් වුනේ බිය කියන මනෝභාවය පදනම් කරගනිමින්. ඒ නිසා ඒ බිය නැති කිරීමේ අපහසුව, මාර පරාජය, ආගම් විසින් නැති කරනවා කියන එක අපි විශ්වාස කරනව. ඒ වගෙම ඒකෙ අනිත් පැත්ත ‘මම මරණයට බය නැහැ’ කියන අධිකතර ආත්මාභිලෝලනයන් මිනිසාව නිරාගමිකයෙක් බවට පත් කරනවා. දැන් බැලුවම පේනව ඇත්තටම මේ එකම කාසියෙ දෙපැත්ත කියල. නිරාගමිකයන් සහ ආගමිකයන් කියන්නෙ මරණය ගැන භක්තිවන්තයින් නෙවෙයි.

ඒ දෙවර්ගයටම මග හැරෙන දෙය තමයි මරණය කියන්නෙ මිනිසාගේ අතී මූලික පැවැත්මේ මාදිලියක් බව යන්න. ඒ වගෙම මරණය කියන්නෙ මගෙ ස්වකීයත්වයේ ගැඹුරුතම මානය. ඊට හේතුව වෙන්නෙ මරණය තුල අනෙකත්වයක් නොතිබීම. මරණයට අනෙකත්වයක් නැහැයි කිව්වමට මරණය පමණක් මට මගේම වූ දෙයක් බවට පත් වෙනවා. මරණය තරම් මගේම වූ දෙයක් තවත් නැහැ. ඒ නිසා එවන් අතිපුද්ගලිකත්වයක් යන්න තව දුරටත් කෙනෙකුගේ ලිංගිකත්වයම නෙවෙයි.

කෙනෙකුගෙ පෞද්ගලිකත්වය කියන දෙයෙහි තේරුම ලිංගිකත්වය එක්ක තියන්න පුලුවන් ජොලියක් අපි සමරනව. නමුත් මරණය යන්න තමන්ගේම වු දෙය වුනාම, ලිංගිකත්වය කියන දෙය අපි ඒ ගන්න ජොලිය නෙවෙයි වෙනව. ඒ අති පෞදගලිකත්වයෙන් ලිංගිකත්වය ගැලවුනාම කෙනෙකුගෙ ලිංගිකත්වය ගැන කතා කිරීම අධ්‍යාත්මික සමාජීය දෙයක් බවට පත් වෙනව.

අපි මරණය දිහා බලන්නෙ එය අනාගතයේ දි පැමිණිය හැකි දෙයක් විදියට. එහෙම බලන එක ජීවිතය පිලිබඳ ව්‍යාපෘතිගත සැලසුමක් අපේක්ෂා කිරීම තුල ගිලෙන නිසා අපිට කියන්න පුලුවන් ජිවිතය කියන්නෙම මරණයෙන් පලා යෑමක් කියලා. ජීවිතය තමයි අපගේ පලවෙනි පලායාම. නමුත් මේ පලායාම සිදුවන්නෙ මරණයට ඇති බිය නිසා නොවෙයි. එයින් ඇති වෙන කාංසාව නිසා. හරියටම කිව්වොත් ජීවිතය කියන්නෙ කාංසාවෙන් පලායාම. මේ පලායාම නිසා, ඒ කියන්නෙ කාංසාවෙන් පලායාම නිසා අපිට අහිමි වෙන්නෙ පැවැත්ම පිලිබද ප්‍රශ්නයට පිලිතුර. මරණය කල් තැබිය හැකිය දෙයක් නෙවෙයි. ආයෙත් කිව්වොත් එය මගේම දෙයක්.

විමුක්තිගෙ චිත්‍රපටයේ තියෙනව බෞද්ධ ශ්‍රමණයා දකින දර්ශනයක්. ඒ වාහනයක් අසල ප්‍රාණ නිරුද්ධව වැටී සිටින තරුණයෙකුගෙ සිරුරක්. සෙනඟ අතරේ දකින මේ දර්ශනය ගැන අපි ටිකක් පරිකල්පනය කරල බලමු.

ඒ තරුණයා මරණය අත්දකිද්දි දඟලන්න ඇති. අවසන් හුස්ම තෙක් සටන් වදින්න ඇති. ඒ අවසන් හුස්ම ගන්න පුලුවන් එකම විදියත් ඔහු උත්සාහ කරන්න ඇති. නමුත් ඔහු මිය යනවා. මම මේ පරිකල්පනය කිරීම සිදු කළේ දැනටමත් ජිවිතය පිලිබඳව නම් ආධානග්‍රාහි පදනමේ ඉඳන්. අවසන් හුස්මේ වටිනාකම තෙක් ඔහුත් ඉන්නෙ ඒ ජිවිත ගැන ආධානග්‍රාහයෙ. ජීවිතය සුවිශාලතම මතවාදය වුනාම අපි ගන්න හැම හුස්මකින්ම මරණයට එරෙහිව සටන් කරන්න වෙනවා. මරණය කියන නියතතාවට එරෙහිව තියන එකම විසඳුම ජිවිතය. නමුත් ශ්‍රමණයා ඉන්න සම්ප්‍රදායට අනුව මරණය අනිවාර්යතාවයක්. නියතතාවයක් නෙවෙයි.

මේ අනුව ශ්‍රමණයට සත්‍යය පසක් වෙන්න ගන්නවා. ජිවිතය අර්ථ විරහිත වෙන්න ගන්නවා. පැවැත්ම පිලිබඳ ප්‍රශ්නය හට ගන්නව. ඉතින් මරණය පරාජ කරන්න හදනවා. අපි ඒකට කියමු බුදු දහමේ නියැලෙන්නන් ඉන්න ප්‍රධාන මනෝභාවයන් දෙක කියලා. මරනය හමුවේ ඇති බිය මුසු කාංසාව. ඉතිං ඊට එරෙහිව නිශ්පාදනය වෙන්නෙ අධ්‍යාත්මික ෆයිටර් කෙනෙක් විතරයි. අපි එයාට කියන බෞද්ධ ශ්‍රමණධාරියෙක් කියලා.

නිවන සංසාරය වගේ දේවල් මරණයෙ අනිවාර්යතාවයක් පදනම් කරගෙන පාරභෞතිකයන් (පද්ධති) හදද්දී, මරණයේ නියතතාව, මිනිසාගේ අතිපුද්ගල වියැකියාවක් දක්වා වෙන ප්‍රාථමිකත්වයක් ලෙස දැකීම අපිට තවමත් අමාරුයි. ඒකට හේතුව වෙන්නෙ මරණය ගැන අපි නඩත්තු කරපු දැනුම් පද්ධතීන් දෙකම දාර්ශනිකකරණය වෙලා නැති නිසා.

මේ දාර්ශනිකකරණය අනුව ගත්තම මරණය ඔබගේත් මගේත් අති පුද්ගල, නිරපේක්ෂ සහ පසුකර යා නොහැකි විය හැකිභාවයක් වෙනවා. ඒ වගෙම ඒක මගේම වූ දෙයකට ඇති එකම දෙය බවට පත් වෙනවා. අපි කෙලින්ම මරණය වෙත වීසිකර දැමුවන්. එ නිසා අප පවතිනවා යන්න තිබෙන්නෙ මරණය නිසා. ඒ හැර කිසිම ප්‍රථමිකත්වයක් තිබිය හැකිද ? මේ ප්‍රශ්නය අප ‘ශිෂ්ටාචාරකාලයක්’ පුරාවට නොනැඟූ නිසා අපට ආයෙ ආයෙත් අමුතුවෙන් නිවන් දැකිය හැකියි. අවතාරයක් වනාන්තරවල හොල්මන් කිරීම ද කළ හැකියි. වෙන විසදුමක් නැති තරමට මරණයට ගැන ආගමික ආධානග්‍රාහිත්වයකින් අපේ චින්තනය වසා දමලා.

මීට අමතරව ඉතාම කියා ගත නොහැකි විහිළුවක් මේ අපිලිවෙල සටහන් පෙල ලියද්දි මට ආරංචි වෙනව. මේ වෙද්දි විමුක්තිගේ චිත්‍රපටය වාරණය කරල. නමුත් සුලඟ ගිනි අරන් චිත්‍රපටය ලංකාවේ බෞද්ධ අමාත්‍යාංශයෙන් විසින් නිර්දේශ කළ යුතු එකක් බව හිතන්න තරම් හැකියාවක් ඒ ඉහල විචාරක ක්ෂේත්‍රවල නැහැ. නමුත් ඔබත් මමත් දන්න හැටියට නම් විමුක්තිගෙ චිත්‍රපටය ආලෝකෝ උදපාධි වෘත්තාන්තයට වඩා වැදගත් ගැඹුරු මානයක් හෙලි කරන බෞද්ධ චිත්‍රපටයක්. ඒ නිසා තහනම අනිවාර්යය යි . :v :v

විමුක්තිගෙ මේ චිත්‍රපටයත් බැලූ බැල්මට චිත්‍රපටය එයාගෙ සුපුරුදු සිනමා ශෛලියෙන් නොබිඳුනු එකක්. ඒ නිසා ඒවායේ සෞන්දර්ය මෙහෙයුම ගැන අලුතෙන් වැඩි යමක් එකතු කිරීමට අවශ්‍ය නැහැයි කියල හිතෙන නිසා මරණය ගැන පමනක් මෙහි කතා කරන්න හිතුවා. ඊට හේතුව මම නරඹපු ඔහුගේ සියලු චිත්‍රපටවල ශෛලිය එක හා සමානබවක් උසුලන නිසා. ඔහුගේ සිනමාව ගැන අධිකතර විශ්මයකින් අදහස් දක්වන්නෙක් අප අතර සිටිනවා නම් ඔහු විමුක්තියානු සිනමාවෙ සමීප නිරීක්ෂකයෙකු බවට නිකරුණෙ ඉන් පත්වෙනවා පමණයි. ඒ හැර ඊට වඩා දෙයක් කිසි ලෙසකින්වත් අත්පත් කරගත නොහැකි තරමට විමුක්තියානු සිනමාව සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනව.

මේ නිසා කෙනෙකුට කියන්න පුලුවන් ඔහුගේ සිනමාව තියෙන්නෙ යළි යළිත් පුනරාවර්තනය වන එකම විහිළුව කිහිප විටක්ම කරන්නට සිදුවූ අවාසනාවන්ත ජෝකර් කෙනෙකුගේ අසාධාරණයේ කියල. එ නිසා විමුක්තිගේ සිනමාව අපට අපූර්ව දෙයක් කියන්නෙ නැහැ. නමුත් කෙනෙකුට ශෛලියක් දීම කියන්නෙ අපහසු කටයුත්තක්. මේ මොහොතේ කෙනෙකුට එවන් ශෛලියක් දීම ශ්‍රේෂ්ට මෙන්ම දුර්ලභ කලාවක්. මිනිසා තමන් කෙරෙහිම තෘප්තිය මුදුන් පමුණුවා ගත යුතුයි. මිනිහෙක් දෙස බැලීම ඉවසන සුලු එකක් බවට පත් වෙන්නෙ එතකොට විතරයි. එහෙත් විමුක්ති තමයි කාංසාවේ නියැලෙමින් සිටින අපට සිටින සාර්ථකම අධ්‍යක්ෂකවරයා. කාංසාව ඔහුගේ ශෛලීය වූ විට, අප ඔහුව මහා කලාත්මක නිර්මාණකරුවෙකු ලෙස දැකීමට කල්පනා කරනවා. විමුක්තිගේ ශෛලීය කාංසාවම පමණක් වුනා කියලා ඔහු අසාහය අධ්‍යක්ෂකවරයෙක් වෙන්නෙ නැහැ. ඒ නිසා චිත්‍රපටය ඇරඹෙන පලවෙනි රූප රාමුවෙන්ම මගෙ අපිලිවෙල අදහස් දැක්වීම අවසන් කරනව.

පලවෙනි රූප රාමුව : ඒක ගල් පරයක දර්ශණයක්. ක්‍රමයෙන් පසුබිමින් මුහුදේ හඬ නැගෙනවා. හෙමිහිට මුහුදු රැළි ගල් පරයේ වළවල් අතර පිරී යනවා. අවසානයේ සුදු පෙණ වලින් පිරුණු මුහුදු රැලි වලින් ගල් පරය ක්‍රමයෙන් වැසී යනවා. පලවෙනි රූපය වන්නේ ඒ සඳහා ගන්නා කාලය. ඒ කියන්නෙ කාංසාව පැමිණවීම. එවන් දේ හසුකර ගැනීමට විමුක්ති නිසා අප ද මේ වන විට සමතුන්. කොහොම කරත් ලංකාවේ සිනමාව විමුක්තිට ඒ ගැන බොහෝම ස්තුති වන්ත වෙනවා.

කේ. කේ. ශ්‍රීනාත් චතුරංග

Advertisements