Alex_Olson_156_1

ප‍්‍රංශ ජනාධිපතිවරණය මෙම මස 23 වෙනිදා පැවැත්වීමට නියමිතය. ඇමරිකාව තරමට උණුසුම් මැතිවරණයක් වන ප‍්‍රංශ ජනාධිපතිවරණය සමස්ථ ගෝලීය දේශපාලනයට බලපෑම් කරන තීරණාත්මක මැතිවරණයකි. ප‍්‍රංශය ලොව ප‍්‍රධාන රාජ්‍ය කිහිපයෙහි සිටින ගෝලීය දේශපාලනය තුළ තීරණ ගැනීමේ සුවිශේෂී හැකියාවක් ඇති රාජ්‍යයකි.ඔවුන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජියෙකි. තරමක් නාටකීය ලෙස ප‍්‍රංශය පිළිබඳ කියන්නේ නම් ඉපැරණි ගෝල් දේශය ලෙස හැඳින්වූයේත් මේ ප‍්‍රංශ අධිරාජ්‍යයි.

පසුගිය සියවසේ සමස්ථ ලෝකයෙන් 8% ක් පාලනය කළේ ප‍්‍රංශයයි. එම නිසා ම අදටත් ඇමරිකාව, බි‍්‍රතාන්‍ය තරමටම හෝ ඊටත් වැඩියෙන් ඔවුන් වෙනත් රාජ්‍යයන් හි දේශපාලන තත්වයන්ට ඍජුව බලපෑම් කරන අවස්ථා ගෙවුණු දශක කිහිපය තුළ දකින්නට ලැබිණි.

ප‍්‍රංශය යුරෝපා සංගමයේ විශාලතම දේශයයි. තවද විප්ලවීය දේශපාලනයේ ඓතිහාසික සලකුණ තැබූඒ සුවිශේෂී ප‍්‍රංශ විප්ලවය සමස්ථ ලෝකයේම දේශපාලන භාවිතාවේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කිරීමට සමත් විය. දේශපාලන මෙන්ම ලෝක ආර්ථික බලවතෙක් වන ප‍්‍රංශය දැනට ලෝකයේ 9 වන විශාලතම ආර්ථිකය හිමි කරගෙන සිටියි.

“1940 දී අපට හමුවන්නේ යුධමය පරාජයේ ඉමහත් විනාශකාරී ස්වරූපය විශාල දිශානතිහරණයකට ව්‍යාජ හේතුවක් වීමයි. නිදර්ශණයක් ලෙස නොනවත්වා ‘ජාතිය’ පිළිබඳ කතා කරනා ආණ්ඩුවක් විදේශකයින් විසින් පිහිටුවන ලදී. ඇට මිදුලු දක්වාම දූෂිත වූ කතිපයාධිපතින් රට මහා සදාචාර අර්බුධයකින් ගොඩ ගැනීමට නායකත්වය දිය හැකි ලෙස තමන්ව ඉදිරිපත් කරයි. සංචාරකයෙක්, අතපය වාරු නැති මහළු මිනිසෙක්, විශ‍්‍රාම ලත් සොල්දාදුවෙක් සහ වඩාත් ධනවත් වූවන්ට නිරන්තරයෙන්ම සේවය කරනා කපටි දේශපාලකයෙක්, ජාතියේ ශක්තිය සැබැවින් ම නගා සිටවිය හැක්කා ලෙස ඉදිරිපත් වේ.” විල්පවීය ඉතිහාසයට හිමිකම් කියන ප‍්‍රංශයේ සමකාලීන තත්වය පිළිබඳ අදහසක් ලබා ගැනීටම අලෙන් බදියුගේ සකෝසි යනු කුමක්ද ? යන කෘතියෙන් හැකියාවක් ලැබෙණු ඇත. මෙම අදහසත් සමග එළඹෙන මස පැවැත්වවීට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ විමර්ශනයක් කරමු.

ට‍්‍රම්ප් පත්වීමත්, බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසුව ඇති වී තිබෙන ගෝලීය දේශපාලන තත්වය විසින් හා ඉහත සඳහන් කළ තොරතුරු හේතුවෙන් ද මෙවර ප‍්‍රංශ ජනාධිපතිවරණය දෙස මුළු ලෝකයම අවධානයෙන් පසු වෙයි. අපේක්ෂකයින් 11 දෙනෙකුගෙන් යුත් ප‍්‍රංශ ජනාධිපතිවරණය මේ වන විට එහි අවසන් භාගයට පැමිණ තිබේ. පෙනෙන්නට තිබෙන ආකාරයට එහිදී වසර 15කට පසු එරට අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණට මරීනා ලා පේන් යටතේ ජය ගත හැකි බවයි. නමුත් ඇයට විශාල අභියෝගයක් එල්ල කරමින් මධ්‍ය දක්ෂිණාංශික ජනරජ පක්ෂයේ අපේක්ෂක එම්මෑනුවල් මැක්රෝන් ද තරගට ඉදිරිපත් වී සිටියි. මෑත ඉතිහාසයේ ප‍්‍රථම වතාවට බලයේ සිටින ජනාධිපති, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඔහුගේ දුර්වල මැතිවරණ ව්‍යාපාරය හේතුවෙන් දෙවන වටයේ තරග කිරීමට සුදුසුකම් ලබා නැත.

ව්‍යවස්ථාවට අනුව ප‍්‍රංශ ජනාධිපතිවරණයේ දී එක් අයෙකු ඡන්ද ප‍්‍රතිශතයෙන් 50%ක් ඉක්මවා ඡන්ද ලබා ගත යුතුය. එසේ නැතිනම් වැඩියෙන් ම ඡුන්ද ප‍්‍රතිශතය හිමි කරගත් දෙදෙනා පමණක්ඡුන්දයට පසු තවත් සති දෙකකින් පැවැත්වෙන (මැයි 7) ඡන්දයක් සඳහා ඉදිරිපත් විය යුතුය.

අද ප‍්‍රංශයේ පවතින මූලික ගැටලූවක් වන්නේ 10‍% කට පමණ රැකියා විරහිත තත්වයයි. 2008 ඇති වූ ආර්ථික අර්බුධයත් සමග මේ දක්වා ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගය ඉතාමත් සෙමින් ක‍්‍රියාත්මක වන්නක්. සියලූ අපේක්ෂකයින් ඒ සඳහා ඔවුන්ගේ අවධානය යොමු කරඇති නමුත් තවත් එක් ප‍්‍රබල ගැටලූවක් වන්නේදිගින් දිගටම එල්ල වන අයිඑස් ත‍්‍රස්ත ප‍්‍රහාරයි. 2015 ජනවාරියේ සිට මේ දක්වා ප‍්‍රංශ වැසියන් 230 දෙනෙක් පමණ මේ ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් ජීවතක්ෂයට පත් වී ඇත. පසුගිය නොවැම්බර් 11 වෙනිදා පැරීසියට එල්ල වූ අයිඑස් ප‍්‍රහාරයෙන් පසුව ජනපති හොලෙන්දේ පැවසුවේ අයිඑස් සටන්කාමීන්ට එරෙහි සිරියානු සටන් තවත් ශක්තිමත් කරන බවයි.

ප‍්‍රංශ ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයින් පස් දෙනා පිළබඳ කෙටි හඳුන්වා දීමක්.

Marine Le Pen, National Front (FN)

ඇය ජාතික පෙරමුණෙහි නායකත්වයට ලබා ගත්තේ ඇයගේ පියා වුණු ජේන් මාර් ලා පේන් ගෙන් පසුවයි. එමානුවල් මැක්රෝන් හා ඇය අතර තියුණු සටනක් පවතිනු ඇතයි මැතිවරණ විචාරකයන්ගේ අදහසයි. නමුත් ෂොන්තෝල් මූෆ් පවසන්නේ “ඇමරිකාවේ මෙන්ම යුරෝපයේත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ තම අරගලය ජනප‍්‍රිය හා මධ්‍යම පාන්තික ශිෂ්‍යයන්ව අතහැර දමලයි තියෙන්නෙ. දේශපාලනය කතිපයාධිපත්‍යට පත්ව ඇත. ඉතාම පහළ පන්තිය හා ධනවතුන් අතර පරතරය වර්ධනය වෙමිනුයි තියෙන්නෙ. මිනිසුන් අධිපති පක්ෂ නියෝජනය කරන්නෙ නැහැ ජනප‍්‍රියත්වය තියෙන්නෙ ලා පේන් ට.”

ලේ පේන් වෘත්තීමය නීතිඥවරියක් වන අතර ඇය 2004 වසරේ දී ජාතික පෙරමුණේ නීති දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා ලෙස සේවය කළාය. ඇය ජාතික පෙරමුණේ සාමාජිකාවක් බවට පත්වන්නේ 1986 දී ය. 1998 දී ඇය එහි ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරියක් බවට පත් විය. 2004 දී ඇය යුරෝපීය පාර්ලිමේන්තුව නියෝජනය කළාය. 2008 දී හෙයිනි බියුමවුන්ට් හි නගරාධිපිතිනිය හැටියට ඇය තේරී පත් විය. 2011 දී ඇය 67‍% ඡන්ද ප‍්‍රතිශතයකින් පක්ෂ නායිකාව ලෙස තේරී පත් වූවාය.

ඇයගේමැතිවරණ යෝජනා,

x          ජනමතවිචාරණයකින් පසුව බ‍්‍රසල්ස් නුවරත් (යුරෝපා සංගමය) සමග සහයෝගීත්වයෙන්

නව යුරෝපයක් බිහි කිරීම.

x          නීත්‍යානුකූල සහ එසේ නොවන සංක‍්‍රමණිකයින් වසරකට 10,000 කින් අඩු කිරීම.

x          අන්තවාදී මුස්ලිම් දේවස්ථාන වසා දමා සමාජයේ ප‍්‍රංශ ජාතියට ඇති බලය වැඩි කිරීම.

x          වයස අවුරුදු 60 දී ස්ථාවර වශයෙන් විශ‍්‍රාම ගැනීම දීර්ඝ කිරීම හා සතියකට වැඩ කරන පැය  ගණන 35 ට

සීමා කිරීම.

මූෆ් වැඩිදුරටත් පවසන ආකාරයට “ප‍්‍රංශයේදී වැඩ කරන ජනතාවගේ බහුතරය ඡන්දය දෙන්නෙ මැරීන් ල පෙන් වෙනුවෙන්. ඒක තේරුම් ගන්න ලේසියි, මොකද එම අංශ ගෝලීයකරණය හමු වේ පරාජයට පත්වෙලයි තියෙන්නෙ. විදේශීය දෙයට දක්වන බියක් ලෙස ජනප්‍රිය සමාජ පන්තිවල ඉල්ලීම් පෙළ ගස්වන්න ලා පෙන්ට හැකියාවක් ලැබිලා තියෙනවා. එම ඉල්ලීම් ප්‍රජාතන්ත්‍රවාදී ඒවා. ඔවුන් තමයි පීඩනයට පත්ව ඉන්න සාමාන්‍ය මිනිසුන්. ල පෙන් ඔවුන්ට කියන්නේ මෙහෙම දෙයක් “මං තේරුම් අරං ඉන්නවා ඔබේ ප‍්‍රශ්න. ඒවාට වග කියන්න ඕන සංක්‍රමණිකයන්.”ඇය සංක‍්‍රමණිකයන්ට එරෙහිව අභ්‍යන්තර සීමා රේඛාවක් සලකුණු කරනවා. ල පෙන් කියා සිටින්නේ ඇය මිනිසුන් වෙනුවෙන් කැප වෙන බවයි. ඒත් ප්‍රංශයේ සමාජවාදී පක්ෂයට – හරියටම හිලරි ක්ලින්ටන් ට වගේම – ජනයාට සමාජයේ ස්ථාපිත පර්යාය සමග තියෙන ඇත්ත ප්‍රශ්න පිළිබඳව කිසිම සංවාද භාෂාවක් නැහැ. ජනයා තවදුරටත් ප්‍රධාන ධාරාවේ නායකයන් ව සහ පක්ෂ විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ට එය ඒත්තු ගිහිං නෑ තව දුරටත්.”

මෑතකදී නිර්මාල් රංජිත් දේවසිරිගේ ෆේස් බුක් පිටුවෙහි ලියා තිබූ සටහනකින් මුලූ ෆෙස් බුක් සමාජ ජාලයම කැලඹුණා. 2020 ගෝටාභය රාජපක්ෂ මෙරට ජනපති වීම මගින් මෙරට තිබෙනා ප්‍රශ්න යහපත් ආකාරයකට සලකුණු වනු ඇති බව ඔහු කියා තිබුනා. මූෆ් කියනා පරිදි මහජනයා  තවදුරටත් ප්‍රධාන ධාරාවේ දේශපාලන නායකයන් විශ්වාස නොකරමින් සිටිනා විට, සහ රනිල් වික්‍රමසිංහ පාලනය ඓතිහාසිකව අසාර්ථක වෙමින් තිබෙනා විට, අප මේ එකතු වෙමින් තිබෙන්නේ මුළු ලෝකයේම හඳුනා ගත හැකි ස්ථාපිතයේ අර්බුධය ප්‍රකාශමාන වීමේ ප්‍රවනතාවය වෙතද ?

ප්‍රංශ ජනාධිපතිවරණයේ සිටිනා අනෙකුත් ප්‍රධාන අපේක්ෂකයන් පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.

Emmanuel Macron, En Marche (On the Move)

වයස අවුරුදු 39 ක් වන ඔහු ජනාධිපිත බවට තේරී පත්වුව හොත් ඔහු තමයි ප‍්‍රංශයේ ළාබාලතම ජනාධිපිතවරයා වෙන්නෙ. ල පේන් සමග කරට කර තරගයක සිටියි කියලා විශ්වාස කරන්න පුලූවන් අපේක්ෂකයා තමයි මැක්රොන්. විශේෂත්වය තමයි ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් හෝ මීට පෙර කිසිඳු මැතිවරණයකට පෙනී සිටි පුද්ගලයෙක් නෙමෙයි. ජනාධිපති හොලෙන්දේගේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කළ ආර්ථික විශේෂඥයෙක් ලෙස ඔහු ප‍්‍රංශයේ ජනප‍්‍රියයි. ඔහු වෙළඳපල තුල පැවති බොහෝ සීමා කම් ඉවත් කිරීම, ඉරිදා දින සාප්පු විවෘතව තැබීම, දිගු දුර බස් රථ සේවාව ආරම්භ කිරීමට සැලසුම් සකස් කිරීම හා සමස්ථයක් ලෙස ඔහුගේ ආර්ථිකය සම්බන්ධ යෝජනා හා නීති රීති හේතුවෙන් ‘මැක්රොන් නීති’ ලෙස ඔහුගේ නම ප‍්‍රංශයේ කීර්තියට පත් විය. ව්‍යාපාරික සමාජයට නිදහසේ හුස්ම ගැනීමට ඉඩ සැලසූ මැක්රොන් ට එරට වාමාංශික පක්ෂවලින් දැඩි විරෝධයක් එල්ල වෙයි.

ඔහුගේ මැතිවරණ යෝජනා,

x          නව පරිසර හිතකාමී බලශක්ති ක‍්‍රම ඇරඹීම.

x          යූරෝ බිලියන 50 ක ආයෝජනයකින් රැකියා පුහුණුව සැලසුම් කිරීම.

x          නවීකරණය හා යටිතල පසහුකම් සංවර්ධනය.

x          විශාල ලෙස බදු ඉවත් කිරීම.

x          රැකියා විරහිත ප‍්‍රතිශතය 7‍% දක්වා පහත දැමීම. (මේ වන විට 9.7%)

x          වයස අවුරුදු 15 ට අඩු පාසල් ශිෂ්‍යයන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කිරීම.

x          වයස අවුරුදු 18 ට වැඩි තරුණයින්ට සංස්කෘතික අරමුදලෙන් යූරෝ 500 ක් ලබා දීම.

Francois Fillon, The Republicans

62 හැවරෙදි ෆිලොන්ට විරුද්ධව මේ දිනවල මුල්‍ය වංචා පර්යේෂණයක් ක‍්‍රියාත්මක වේ. එනම් තම ඥාතීන්ට ව්‍යාජ තනතුරු නිර්මාණය කරමින් වැටුප් ගෙවූ බවටයි, ඔහුට චෝදනා එල්ල වෙලා තියෙන්නෙ. ඔහු මුලින්ම 1981 දී පාර්ලිමේන්තුවට තේරී පත් විය.ඔහු හිටපු ජනාධිපති නිකලොස් සර්කෝසිගේ යටතේ ප‍්‍රංශයේ අගමැති වරයා ලෙස සේවය කළේය. මෙවර ජනපති අපේක්ෂකයා තේරීමේදී ඔහු ගියවර ජනාධිපතිවරණයේදී පරාජයට පත් සර්කෝසිව නැවත පක්ෂය තුලත් පරාජය කිරීම විශේෂත්වයකි.

ඔහුගේ යෝජනා,

x          මිලියන භාගයක රාජ්‍ය අංශයේ රැුකියා ඉවත් කර සතියට වැඩ කරන පැය ගණන35 කිරීමග

x          ධනවතුන්ගේ ඒකාබද්ධ බධු ඉවත් කිරීම.

x          ඉරාක හා සිරියානු යුද්ධවලට සම්බන්ධ වී නැවත පැමිණෙන ජිහාඩ් සටන් කරුවන්ගේ ප්‍රංශ

පුරවැසිබව අහෝසී කිරීම.

x          යුරෝපා සංගමයේ රුසියානු සම්බාධක ඉවත් කිරීම හා සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්

හට සහය වීම.

Benoit Hamon, Socialist Party

හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා වන හැමන් ජනාධිපතිවරණය සඳහා තේරී පත් වූයේ හිටපු අගමැතිවරයෙක් වන මැනුවෙල් වෝල්ස් පරාජය කරමින්ය. 49 හැවරදි හැමන් ‘ප‍්‍රංශ බර්නි සැන්ඩර්ස්’ යන නමින් ජනප‍්‍රිය වී තිබේ. මේ වන විට පක්ෂය ප‍්‍රංශය තුළ දැඩි අප‍්‍රසාදයකට පත් වී ඇති අතර වර්තමාන ජනපතිගේ පක්ෂය වීම ඊට මූලික හේතුව විය.

ඔහුගේ යෝජනා,

x          ගංජා නීතිගත කිරීම හා ධනවතුන්ගේ රොබෝවරුන් සඳහා බධු අය කිරීමට.

x          යූරෝ 2185 ට වැටුප් ලාභීන්ගේ වැටුප් වැඩි කිරීම.

x          2025 වන විට 50% හා 2050 වන විට 100‍% දක්වා පුනර්ජනනීය බලශක්තිය වැඩි කර

න්‍යෂ්ටික බලාගාර ඉවත් කිරීම.

Jean-Luc Melenchon, Parti de Gauche (Left Party)

වයස අවුරුදු 65 ක් වෙන මෙලන්කො 2012 ජනාධිපතිවරණයේ 11‍% ක ඡන්ද ලබාගෙන හතරවෙනි ස්ථානය පත්වුණා.

ඔහුගේ යෝජනා,

x          වයස අවුරුදු 16 සිට ඡුන්ද අයිතිය ලබා දීම.

x          දැනට පවතින ජනපති ක‍්‍රමය වෙනුවට හයවන ජනරජ ක‍්‍රමය හඳුන්වා දීම.

x          සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ ඡන්ද පැවැත්වීම.

x          සෞඛ්‍ය කෙෂ්ත‍්‍රය දියුණු කිරීම.

— රංග මනුප්‍රිය —

Advertisements