Jane Bustin

-නෙළුම් නිසංසලා වික්‍රමසිංහ-

වකුගඩු ජාවාරමක් , ගුප්ත වෛද්‍යවරයෙක්, නොසංසුන් අතරමැදියෙක් , ඉවසිලිමත් රියදුරෙක් සහ වෛද්‍ය වෘත්තිය හැර සසුන් ගත වන තරුණයෙක් වටා ගෙතෙන ජීවිතය සහ මරණය අතර ගැඹුරු කියවීමක් රූප රාමු කිහිපයකින් ප්‍රේක්ෂකයාට දීමට විමුක්ති දැරූ උත්සාහය ඉතා සාර්ථකය. වෛද්‍ය වෘත්තිය ප්‍රතික්ෂේප කරන තරුණයෙක් මරණයේ අර්ථය සොයා සසුන් ගත වන අතරවාරයේ  ජීවත්වන්නන්ගේ ශරීර අවයව මුදලට හරවන්නට හවුල් වන වෛද්‍යවරයෙකු තුළින් සමස්ත චිත්‍රපටියේම කතාපුවත විකාශය වේ. ලෞකික ජීවිතය තුළින් සොයා යා නොහැකි මරණයේ අර්ථය  සඳහා විමුක්ති යෝජනා කරන විකල්පය වන්නේ බෞද්ධ දර්ශනයයි. අධික පීඩාකාරී ජීවිතයෙන් අපට සිතෙන විටෙක සමුගත නොහැකි බවත් බෞද්ධ දර්ශනය පවසන පරිදි කර්මය විඳිය යුතු බවත් සියල්ලම නිම කිරීමට හැකි නිර්වාණයට බවත් චිත්‍රපටියෙන් කියවේ.

වෛද්‍යවරයා තම දෙබිඩි ජීවන චර්‍යාව සහ නිහඬ අවදානම නිසාම පත්වන අධික පීඩාකාරී බව ඔහුගේ අසාමාන්‍ය පරපීඩක කාමයෙන් පෙන්නුම් කිරීමට නිර්මාණකරු ගත් උත්සහය වටිනේය. ඔහු යොදා ගන්නේ සීමීත චරිත කීපයක් පමණකි. නුමුදු සමස්ත සමාජයම ඒ තුළින් නිරූපණය කිරීමට තරම් නිර්මාණකරු සූක්ෂමය. විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තියේ අඳුරු පැතිකඩ මෙන්ම නොවැළැක්විය හැකි ආර්ථික සාධකය පැහැදිලි ලෙසම තිරය මත දිග හැරීමට නිර්මාණකරු සමත් වී ඇත. සමස්ත සමාජයම පීඩාවට පත්කරන මහා පොදු සාධකය හෙවත් ජීවන බර ප්‍අප දකින්නේ ඉවසිලිවන්ත නමුත් ගිනිකන්දක්මෙන් ඇතුළෙන් දැවෙන තරුණ රියදුරාගෙනි.

සුළඟ ගිනි අරන් යනු දෙබස් අවම ලෙස භාවිතා කර සංකේත ප්‍රකාශන කෙරෙහි බර තබන තරමක වෙනස් ආකෘතියක නිර්මාණයකි. කනට ඇසෙන දෙබසින් රූප මවාගන්නට අපට පුරුදු කරන ටෙලිවිෂන් සංස්කෘතියට සහ අපගේ පුරුද්දට නිර්දය ලෙස සිනාසෙන්නේ විමුක්තිය. අසීමිත ඉවසීමකින් හෝ එදෙස බලා නොසිටියේ නම් ඔබට සමස්ත චිත්‍රප්ටයේම රිද්මය අහිමි වනු ඇති ය. ඒ නිහඬ සහ නිශ්ශබ්ද බව ඒ තරමට එකිනෙකට බැඳී ඇත.

විටෙක එහි අතිසංවේදී රූප රාමු කිහිපයකි. ඒවා කතාවේ ගලායාමට මෙන්ම අප දකින සමාජයේ අප නොදකින නිරුවතට ඇඟිල්ලෙන් ඇන පෙන්වන තරමට සාහසිකය. නිර්භීතය.
වෛද්‍යවරයා සැත්කමෙන් පසු ලේ පිරුණු දෑත් ඉඹ බලයි.  රියදුරා මුහුදු වෙරළේ සිට විදුලි රැහැනක එල්ලී සිටින මීයකු දෙස බලා සිටීම ,දූෂණයට ලක්වන තරුණිය ඇඳ උඩ උක්කුටියෙන් සිටිද්දී තම දූෂකයා , එනම් වෛද්‍යවරයා ඇය දකින මොහොත. වකුගඩු තැරැව්කරුට වෛද්‍යවරයා උමතුවෙන් මෙන් පහර දෙයි. තරුණිය දූෂණය කරන වෛද්‍යවරයා ඇගෙ සිරුර මත හඬා වැටේ. පිළිස්සුණු මිනිසා තමා දැක සිහිසුන් වූ තරුණිය දෙස නැවත වරක් බලයි. එවැනි රූපරාමු අපට බලකරන්නේ කැඩපතක් අබිමුව හිඳ අප දෙස යළිත් වරක් බැලීමටය.

බීමතින් නිදා වැටී සිටින වෛද්‍යවරයා කැටුව ගොස් ඔහු අසල හිඳ තනියම දොඩවමින් මත්පැන් බොන රි‍යදුරා සමස්ත සමාජයේම ඛේදවාචකය නියෝජනය කරයි. ෆාවුලෝ ෆ්‍රෙයරි පවසන ලෙස පීඩනයට එරෙහි අරගල කල යුත්තේ  පීඩිතයාට පීඩිත බවෙන් ගලවා ගැනීම මෙන්ම පීඩකයා පීඩක බවෙන් ගලවා ගැනීමටය. රියදුරාට (පීඩිතයා) තම පීඩාවෙන් මිදීමට නොහැකි බවත් , වෛද්‍යවරයා (පීඩකයා) ගේ පීඩාවෙන් ඔහුට මිදිමට නම් ලෞකික ජීවිතයෙන් පිහිටක් නොමැති බවත් අපට පවසන ” සුළඟ ගිනි අරන්” අවසාන දර්ශනයේ වෛද්‍යවරයාගේ සුපුරුදු කෑගැසීමෙන් සිතන්නට යමක් ඉතිරි කරයි. එසේ නම් අරගලය ලෝකෝත්තර මග ඔස්සේ විමුක්තිය සොයා යෑම පමණම ද ? සමහරවිට අප විසින් ඇසිය යුතු වන ප්‍රශ්නය කියා මෙම චිත්‍රපටිය යෝජනා කරන්නේ මෙය විය හැකිය.

***

Advertisements