Jean-Charles Blais Octobre Plate 2 1991

සාමාන්‍ය මධ්‍යම පන්තිකයෙක් ගේ ලෝකය තුළ කැලි කසල යනු එක්තරා මොහොතකට පසුව අතුරුදහන් වී යන දෙයකි. තර්ක බුද්ධියේ තලය තුළ මෙය සත්‍ය වශයෙන්ම ‘අතුරුදහන් වීමක්’ නොවන බව අපි දනිමු. එම අපද්‍රව්‍ය ඉවත් වෙන යාන්ත්‍රණයක් ඇති බව සහ එය ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් ඇති බවත් අවබෝධ කර ගැනීම අපහසු නොවේ. බොහෝ දෙනෙකු ගේ නිවෙස වලට සතියකට වරක් පමණ පැමිණෙන ‘කුණු ලොරියකින්’ නිවස තුළ බැහැර කරන අප ද්‍රව්‍ය රැගෙන යයි. එහි සේවය කරනා මිනිසුන් නගර සභාවේ කුළී පදනමින් රැකියා කරනා කම්කරුවන් වේ. ඔවුන් සමග සාමාන්‍යයෙන් මධ්‍යම පන්තිකයන් සම්බන්ධ වන්නේ වසරකට කීප වරක් – ජනවාරි පළමුවැනි දා සහ සිංහල/දෙමළ අලුත් අවුරුද්ද දා – මුදලක් ලබා දීමට පමණි. මින් එහාට එම කුණු සමග මෙන්ම එම කුණු රැගෙන යන මිනිසුන් සමගද මධ්‍යම පන්තිකයාට සම්බන්ධයක් නොමැති වේ.

වඩා ගැඹුරු අරුතකින් ගත්විට එම කැලි කසල මධ්‍යම පාන්තිකයාගේ ලෝකයෙන් අතුරුදහන් වී යන බව අපට කිව හැක්කේ මෙම නිසාය. තවදුරටත් එම කුණු යනු මධ්‍යම පාන්තිකයාගේ ප්‍රශ්නයක්, ඔහුගේ දෛනික යථාර්ථයට සම්බන්ධයක් ඇති දෙයක් නොවේ. මෙයින් අදහස් වන්නේ දිනපතා අතිවිශාල ප්‍රමාණයෙන් එකතු වන මෙම කුණු පරම අර්ථයකින් අතුරුදහන් වන බව නොවේ. සිදු වන්නේ එම කුණු තවත් තැනකට ගෙන ගොස් දැමීම පමණි. නමුත් එය වෙනත් මිනිසුන්ට අයත් වන වෙනත් ප්‍රශ්නයකි. එය මධ්‍යම පාන්තිකයාගේ ප්‍රශ්නයක් නොවේ.

අනෙක් අතට මෙවැනි දේවල් ප්‍රශ්නයක් වන මිනිසුන් යනු ද එම මධ්‍යම පාන්තිකයාගේ ලෝකයට අයත් වන මිනිසුන් නොවේ. නමුත් මේ ‘අනෙක් මිනිසුන්’ මේ ලෝකයේ සිටිනා බව මුළුමනින්ම අපට සඟවාලිය හැකි වන්නේද නැත. මධ්‍යම පාන්තිකයන් ගේ ගෙවල් වලට පැමිණ කුණු එකතු කරගෙන යන්නේද, ඔවුන්ගේ නිවෙස් පිරිසදු කිරීමට පැමිණෙන්නේද, මධ්‍යම පාන්තිකයන් යන එන මං මාවත් පිරිසිදු කරන්නේද මෙම මිනිසුන්ය. එනිසාම මධ්‍යම පාන්තිකයා ගේ නිවෙස් වලින් ඉවත් කරන අප ද්‍රව්‍ය, එම ලෝකයෙන් අතුරුදහන් වී හදිසියේ මේ අනෙක් මිනිසුන් ගේ ලෝකය තුළ යළි ප්‍රාදුර්භූත වීම අප කිසිවෙකු ප්‍රශ්නයක් ලෙස සලකන්නේ නැත.

එම මිනිසුන්ගේ ජීවිත සකස් වී ඇති ආකාරය, ඔවුන්ට හිමි වන ජීවන ලෝකය යනු අපගේ වර්තමානයේ බැරෑරුම් සමාජ ප්‍රශ්න නොවේ. සමහරවිට, මධ්‍යම පාන්තියකයෙක්ව බිත්තියකට හේත්තු කර මේ අනෙක් මිනිසුන් එසේ සිටීම ගැන ඔහුගේ හෝ ඇයගේ හෝ අදහස කියා සිටින ලෙස බල කළහොත් එයට ලැබෙනු ඇත්තේ ආගමික විග්‍රහයකි. එම මිනිසුන්ට එවැනි ජීවිතයක් උරුම වන්නේ, අවසන් අරුතින් ගත්විට, ඔවුන් විසින් වාසනාව ලබා නොමැති නිසාය. මෙයට හේතු විය හැක්කේ ඔවුන් අවශ්‍ය ප්‍රමාණයට පින් කර නොමැති වීමයි.

අද දවසේ සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් අපට තිබෙන්නේ මේ ආකාරයේ විශේල්ෂණ පමණි. එවැනි විශ්ලේෂණයක් පවා ඉදිරිපත් වනු ඇත්තේ එය මග හැර යා නොහැකි තත්වයකට පත් වුවහොත් පමණි. එසේ නොමැති සාමාන්‍ය තත්වය යනු මෙම අනෙක් මිනිසුන් ගේ ලෝකය පිළිබඳව සිතීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. අනෙක් මිනිසුන් යනු මධ්‍යම පන්තිකයාගේ දෛනික යථාර්ථයේ කොටසක් නොවීම මෙයට හේතුවයි.

හදිසියේ කොලොන්නාවේ මීතටමුල්ල කුණු කන්ද කඩා වැටීම සහ ඒ හරහා මිනිස් ජීවිත ගණනාවක් අහිමි වීමේ මහා සමාජ ඛේදවාචකය විසින් මෙම අනෙක් මිනිසුන්ගේ ලෝකය – ඉතාම කුඩා මොහොතකට – මෙම මධ්‍යම පාන්තිකයාගේ ලෝකය වෙත අභිමුඛ වී තිබේ. මේ මොහොතේ අපට කළ හැක්කේ මෙම ඛේදවාචකය මතින් බිහිවූ මෙම විවරය තවදුරටත් මධ්‍යම පන්තිකයා ගේ දෑස ඉදිරිපිට තිබෙනා අප්‍රියජනක දසුනක් සේ තිබෙන්නට ඉඩ හැරීම පමණි. එනිසා, අද පළ කරන්නට සිටි ‘කොමියුනිස්ට්වාදය සහ දුම්පානය’ සම්බන්ධයෙන් වූ ම්ලාඩන් ඩොලාර් ගේ රචනයේ ඉතිරි කොටස මෙහි පළ නොකරමු. මුළු ලිපියම ඉදිරි දිනකදී යළි පළ වනු ඇත.

ඒ වෙනුවට අප ජීවත් වෙන ලෝකය සහ එහි රැඩිකල් පරිබාහිරත්වය පිළිබඳව මෙම බිහිසුණු පණිවුඩය දෙස අපි බලා සිටිමු.

Advertisements