Andre Hemer Towards-Deep-Surfacing-8.-2016.-Acrylic-and-pigment-on-canvas-36-x-27cm-700x931

පහතින් පළ වන්නේ ම්ලාඩන් ඩොලාර් නම් ස්ලෝවේනියානු ජාතික දාර්ශනිකයාගේ රචනයක සිංහල පරිවර්තනයේ දෙවැනි සහ අවසන් කොටසයි (පළමු කොටස සමග ලිපිය පිලිබඳ තවත් තොරතුරු මෙතැනින්). මෙම කොටස අප පළ කරන්නට සැලසුම් කර තිබුනේ පසුගිය සෙනසුරාද දින වුවත් මීතොටමුල්ලේ සිදු වූ මහා මිනිස් ඛේදවාචකය හමුවේ වෙනත් දේ පසුවට දමා ඒ වෙත සියලු දෙනාගේ අවධානය යොමු කිරීම වැදගත් වූ හෙයින්, අපි මෙය පළ කිරීම අත් හිටුවෙමු.

මෙයින් අදහස් වන්නේ ඒ පිළිබඳව සහ ඒ මගින් අප ඉදිරියේ විවර වූ සමාජීය-දේශපාලනික අර්බුධය වෙත අවධානය යොමු කිරීම දැන් අවසන් විය යුතු බව නොවේ. මෙවැනි සමාජීය බහිෂ්කරණයන් අවසන් වන තුරු ඒ පිළිබඳව අවධානය හැකිතාක් වැඩි කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. අවසාන අරුතින් මෙහි තිබෙන්නේ සමාජයේ ඇති වන වර්ධනයන් භුක්ති විඳීමට හැකි වන්නා වූ මිනිසුන් සහ එවැනි හැකියාවක් නොමැති වූ සහ එනිසාම සමාජ යථාර්ථයෙන් පිටුවහල් කරනු ලැබ ඇති මිනිසුන් යනුවෙන් සමාජය දෙකඩ වී සිටීමට එරෙහි වීමේ හැකියාවයි. ‘කොමියුනිස්ට්වාදය’ යනු මෙම හැකියාව සඳහා ඓතිහාසිකව ගොඩ නැංවූ නාමකරණය වෙයි. පසුගිය සියවසේ වාමාංශික ව්‍යාපාරයේ පරාජයෙන් පසුව ‘කොමියුනිස්ට්වාදය’ නම් වූ මෙම වචනය සමාජයෙන් අතුරුදහන් වී ඇති, ගර්භිත වචනයක් වී තිබේ. ‘ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය’ නමැති අර්ථ විරහිත බෝඩ් ලෑල්ල පිළිබඳව කතා නොකරන්නේනම්, මේ වචනය සමකාලීන සමාජ සංවාදයට එකතු වන හෝ වචනයක් නොවේ. එනිසාම, අද දවසේ අපට කළ හැකි එක් වැදගත් කාර්යභාරයක් වන්නේ මේ නින්දාවට පත් වී ඇති පැරණි වචනයේ යටපත් වී ඇති නවීනත්වයේ විභවය සමකාලීන තාරුණ්‍යය වෙත යළි එන්නත් කිරීමේ දෘෂ්ඨිවාදී මෙහෙයුමයි. සමහරවිට ඉතාම පහත් තත්වයට ඇද දමා ඇති දෙයක ඇති නවීනත්වයන් හෙළිදරව් වන්නේ ඒ හා සමාන වූ පහත් දේ සමග එය සංසන්ධනය කරනා විටයි. ඩොලාර් ගේ මෙම විශිෂ්ට රචනය පුරා ඔහු විසින් සිදු කරනු ලබන්නේ කොමියුනිස්ට්වාදය නම් අදහස ‘දුම්පානය’ නම් සෑම අතකින්ම පහත් ලෙස සලකන්නා වූ ජීවන පුරුද්ද සමග සංසන්ධනය කිරීමයි. නිශේදයේ නිශේදය යනු නවීනත්වයේ ආරම්භය කියා විශ්වාස කළ ඉපැරණි පරම්පරාවක උරුමය වටහා ගැනීමට මෙය, සමහරවිට, කුඩා උපකාරයක් වනු ඇත.

මීතොටමුල්ලේ සමාජ ඛේදවාචකය පියවන්නට මෙවැනි දේ මගින් මහා ලොකු දෙයක් සිදු නොවනා බව සත්‍යයක් වුවත් අපේ එම ‘බැරිබව’ වසා දැමීම වෙනුවට එය වඩා හොඳින් සංවිධානය කිරීම යනු එය, කවදා හෝ දිනක එය ‘පුළුවන්බවක්’ ලෙස පරිවර්තනය වීමේ එක් කොන්දේසියක් කියා “බව” උදක්ම විශ්වාස කරමු.

***

සකල දේශවාසී දුම්බොන්නනි, එක්වව්. නමුත් දුම්බොන්නන් ලෙස අප මේ වනවිටත් සිටින්නේ එකතු වීය. සමාජ බෙදීම් ඉක්මවා යාමේ සංකීර්ණ අභියෝගය අප සාමූහිකව ජයගෙන තිබේ. ඉතිහාසයේ තිබෙනා අවතාර සහ එහි පසමිතුරුතාවයන් දුර්වල කර, ඒවා නවත්වන්නට අප ට හැකි ව තිබේ. සියලු සීමාවන් විනිවිද යන සහෝදරත්වයන්ගේ බිඳක් සොයා ගැනීමට, එක්ව සිනහ වීමට සහ සතුටු වීමට අප සමත්ව තිබේ. ලෝකයේ සුපිරි බලවත් රාජ්‍යයේ හදවත තුළ, මූල්‍ය ප්‍රාග්ධනයේ කේන්ද්‍රය වූ නිව් යෝක් නගරයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වලට මදක් ඔබ්බෙන්, තව විනාඩි කීපයකට පසුව නාදුනන අමුත්තන් ලෙස විසිර යාමට පෙර දුම්බීම මත පමණක් පදනම් වූ වියනොහැකි සාමූහිකයක් ලෙස අප එක් වී සිටියි. හදිසියේම එය අපට පැහැදිළි විය: දුම්බොන්නන් සිටින්නේ කොමියුනිස්ට්වාදය තුළයි!

ඔවුන් සිටින්නේ කොතැන වුවත්, ඔවුන් සිටින්නේ වෝල් වීදිය අසල වුවත්, ඔවුන් විසින් කොමියුනිස්ට්වාදය ගොඩ නගයි. වෝල් වීදිය අල්වා ගැනීමේ ව්‍යාපාරය ඔවුන් ආරම්භ කර තිබෙන්නේ බොහෝ අතීතයකයි. එකම දේ කවුරුත් එය නොදැක තිබීම පමණි. ඔවුන් සිටින්නේ අනාගත පන්ති රහිත සමාජයක් බිහි වන තුරු නොවේ. ඔවුන් එය මේ මොහොතේම ගොඩ නගයි. දුම් බීම යනු ඉක්මනින් විසඳුම් අවශ්‍ය වන ඉක්මන් සතුටකි. එය අනාගතයේ යම් මොහොතක් වෙත කල් දැමිය හැක්කක් නොවේ. දුම් බොන්නන් දෙදෙනක් යනු ඒ වනවිටත් ඵල දරමින් තිබෙන කොමියුනිස්ට් කවයකි. දුම් බොන්නන් දෙදෙනක් හෝ තිදෙනෙක් එක් වූ සැනින් ඔවුන් අතර කොමියුනිස්ට්වාදයේ (අශුද්ධ) ආත්මය දිදුලයි. දුම්බොන්නන් අතින් බිහි වන්නේ ඉතා සරල සාමාජික පතක් ඇති පක්ෂයකි. ඕනෑම කෙනෙක් හට එයට එක් වීමට හැකි වේ. මෙම එකතුව සඳහා ගරු දුම්-නොබෝන්නන් පිළිගන්නේ සතුටිනි. ලයිටරය ක්‍රියාත්මක වූ සැනින් ධූරාවලීන් දිය කර දැමෙන පක්ෂයකි මෙය. කවුරුත් දන්නා පරිදි, ‘ඉස්ක්‍රා’, ගිණි පුපුර, යනු ලෙනින් ගේ දේශපාලන පුවත්පතේ නම විය. දුම් බොන්නන් විසින් මෙය පදානුගත අර්ථයෙන්ම පිළිගනු ලබයි. අවශ්‍ය වන්නේ ගිණි පුපුරක් පමණි. ලෙනින් මෙය යොදා ගත්තේ අනාගතයේ ඇති වන මහා ගින්නක් ආරම්භ කරනා කුඩා ගිණි පුපුර යන අරුතිනි. නමුත් දුම් බොන්නන් හොඳින් ක්‍රියාත්මක වන්නේ ගිණි පුපුරු සහ මේ මොහොතේ තිබෙන කුඩා ගිණි දැල් මතයි. ඔවුන්ගේ පුරුද්ද නිසාම ඔවුන්ට හිමි වන අනාගතය අවිනිශ්චිත වනු ඇත. මේ තිබෙන්නේ අනාගතයක් නොමැති කොමියුනිස්ට්වාදයකි. මක් නිසාද යත් ඔවුන් සියලු දෙනා පෙනහළු පිළිකාවන් සහ හෘදයාබාධ නිසා – අපි සමේ රැලි වැටීම සහ බෙලහීනබව ගැන දැනට කතා නොකර ඉමු – බාල වයසින් මිය යනු ඇත. ඔවුන් භාවිතා කරන්නේ ඒවා භාවිතා කරන මිනිසුන් විනාශ කර දැමෙනා බිහිසුණු ආයුධයි. නමුත් එම දෛවය ඔවුන් බාර ගන්නේ පහන් සිතකිනි.

දුම් බොන්නන් ගේ පක්ෂයට වැඩසටහනක් නොමැති වෙයි. එසේත් නැතිනම් එයට තිබෙන්නේ එම මොහොතේම ක්‍රියාවට නංවන වැඩසටහනක් පමණි. ඔවුන්ගේ වචන වලට පෙර ක්‍රියාව පැමිණේ. නමුත් මෙයින් අදහස් වන්නේ බුද්ධිමය මහන්සි වීම් මගහරින සතුට සහ තාවකාලික තෘප්තීන් තුළින් පමණක් ඔවුන්ගේ සමූහය සමන්විත වන බව නොවේ. ඇත්තටම සිදු වන්නේ මෙහි ප්‍රතිපක්ෂයයි. ගැඹුරු අදහස් ආරම්භ කිරීම සඳහා සාමූහිකව දුම් පානය කිරීම තරම් දෙයක් තවත් නොමැති වේ. එවැනි තැනක කෙනෙක් සිටින්නේ ජීවිතයේ සුපුරුදු කාර්යබහුලත්වයෙන් මොහොතකට විරාමයක් බෙදා ගනිමිනි. එනිසාම ජීවිතය දෙස දුරක සිට බලමින් සහ ඒ ගැන මෙනෙහි කරමින් ය. විනාඩි කීපයක ඉඩක් තුළ විවිධාකාරයේ වැඩසටහන් උත්පාද වෙයි. බොහොම ආන්තික අදහස් නිදහසේ සංසරණය වෙයි. හරියට සිගරට් දුම වාගේමය. අපට ඍජුව දැනෙනා සමාජ පීඩනයන්ගෙන් සහ වගකීම් වලින් නිදහස් ව කෙනෙක් ට ඉදිරිය දෙස මෙන්ම පැමිණි මග දෙස ද බැලිය හැකිය. සියල්ල සිදු වන්නේ කොන් කිරීම් නොමැති එකා වන් මිතුරන් සහ නාදුනන මිනිසුන් අතරයි. පුදුම කතා සහ හොඳ විහිලු කතා ඉකමනින්, සිගරට් දුමත් සමගම බෙදා ගනියි. සමහරවිට විශාල බුද්ධිමය මහන්සියකින් වුවත් සොයා ගත නොහැකි වූ ගැටලුවකට ඇති විසඳුමක් හදිසියේ කෙනෙකුට මුණ ගැසිය හැකිය. මෙයට නිශ්චිත හේතුව වන්නේ මෙය නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවයෙන් තාවකාලිකව ගන්නා නිෂ්පාදනීය-නොවන විරාමයක් වීමයි. අනෙක් අතට, මනස ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වන්නේ උත්සාහය පමණක් නොවේ.

දුම් බීමේ කාලය යනු වාසනාවේ, යහපත්බවේ සහ බලාපොරොත්තු නොවන ත්‍යාග වල කාලයයි. එය මූලධාර්මිකව සමාජීය වන්නකි. තනියම සිගරට්ටුවක් බීම තවත් කෙනෙක් සමග දුම් පානය හා සම වන්නේ නැත (එම අර්ථයෙන් එය ලිංගික තෘප්තිය හා සම වන්නකි). ඒ මගින් ශරීරමය ප්‍රහර්ෂය වඩ වඩා සොයා යන විට එමගින් අපේ මනස වඩ වඩා අවුස්සවයි. උනන්දු කරවයි. එය පූර්ණ විකසිත ක්‍රිස්තියානි-නොවන ක්‍රියාව (non-Christian activity) ලෙස නම් කළ හැකිය: ශරීරය සහ ආත්මය අතර ඇති විභේදනයට එරෙහිව එය නිරන්තරයෙන් සාක්ෂි සපයයි. ශරීරය මගින් දැඩි සේ ඉල්ලා සිටින අවශ්‍යතාවය සෑමවිටම මානසික අවශ්‍යතාවය සමග එක්ව ගමන් කරයි. එකක් මගින් අනෙක පෝෂණය කරයි.

දුම් බොන්නන් ගේ පක්ෂය ආරම්භ වන්නේ ක්‍රියාකාරකම් මාලාවක් ආරම්භ කිරීමේ අදහසින් ඇති වැඩසටහනක් සමග නොවේ. එය ආරම්භ වන්නේ වැඩසටහනක් සොයා යන ක්‍රියාකාරකමක් ලෙසයි. දුම් බොන්නන් කීප දෙනෙක් එක් වූ සැනින් වැඩසටහන් බිහි වීම ආරම්භ වෙයි. සිගරට්ටුවක් බී අවසන් වීමට යන කාලය තුළ ඔවුන් විසින් ලෝකය අර්ථකථනය කෙරෙනා අතරම ලෝකය වෙනස් කිරීමද සිදු කරයි.

දුම්බීම සමාජීය වනවා යන්නෙහි අර්ථය වන්නේ දුම්බීම සමාජීයව නිෂ්ක්‍රීය වනවා යන්න නොවේ. එහි සමාජීය සහ ඓතිහාසික යටි අරුත් සෑම දිශාවකටම පැතිර යයි. සමහර දේ කොමියුනිස්ට් අර්ථයෙන් ද බොහෝ දුරට යයි. නමුත් තහනම් කිරීමේ සහ වැඩි වන දේශපාලන අකමැත්ත කියන සමකාලීන තත්වයන් යටතේ මෙන්ම දුම් පානයට විරුද්ධව ඇති ආන්තික වෙළඳ ප්‍රචාරණය සහ සමාජ පිටුවහල් කිරීම සමග ඇති සම්බන්ධය අනුව ‘ජෛවදේශපාලනයේ’ (biopolitics) සරල රූපයක් ලෙස පෙනෙන සෑම විටම අලුත් වන නීති රීති පසුබිමේ සිට බැලූ විට දුම් බීම අපට හඳුනා ගත හැක්කේ උපමාවක් ලෙසයි. එමගින් අනෙක් සියලු පිටුවහල් කිරීම් කුඩා ආකෘතියකින් අපට පෙන්වා දෙයි. එමගින් සමාජයේ බෙදුම් රේඛාවක් සලකුණු කරන අතර, අනෙක් අතට, සමාජයේ මේ වන විට තිබෙනා වෙනස්කම් දිය කර හරියි. දුම්බොන්නන් විසින් එය ප්‍රකාශ කරයි. එය නියෝජනය කරයි. ඔවුන්, නිදර්ශනයක් ලෙස, නියෝජනය කරන්නේ සෞඛ්‍ය සම්පන්න සමාජ දේහය තුළ තිබෙනා පිළිකාවයි. සමාජය විසින් නිර්දේශ කර තිබෙන ශරීරයේ හැසිරීම් වලට අනුව විනෝදය යන්න එන්න එන්නම සලකන්නේ පිළිකාවක් ලෙසයි. විනෝදය තුළ සෑම විටම ‘ප්‍රහර්ෂයේ මූලධර්මයෙන් ඔබ්බට’ (‘beyond the pleasure principle’) යන දෙයක් තිබුණි. ජීවිතේ ආරක්ෂා කර ගැනීමේ අරමුණු වලට කන් නොදුන්, එයට එරෙහි වූ යමක් එහි තිබුණි. දුම් පානය මගින් සිදු කරන්නේ සතුට සොයා යන සමාජය තුළ හිඳ විනෝදය ප්‍රවර්ධනය කිරීමයි. මෙය සිදු කරන්නේ මෙම සමාජයේ ඇති සතුට සොයා යාමේ නියෝගයට එරෙහිවයි. එමගින් සතුට වුවමනාවට වඩා සොයා යයි. එමගින් අපව ගෙන යන්නේ මරණීයත්වයේ සෙවනැල්ල හමු වන මානයක් වෙතයි. නමුත් සෞඛ්‍ය සම්පන්නබව සහ සතුට සොයා යන සමාජය සඳහා ඉවසිය නොහැකි දේ වන්නේ මෙම විනෝදයයි. ෆ්‍රොයිඩ් – තවත් දැවැන්ත දුම් බොන්නෙක් – මෙය හොඳින් දැන සිටියා. ඒ වගේම තමයි ලැකෝන් – තවත් දුම් බොන්නෙක්. ඔහු තමයි සතුට සහ විනෝදය අතර දැඩි විභේදනයක් ඇති කළේ.

සැකයකින් තොරවම දුම්බීමේ කොමියුනිස්ට්වාදය ආරම්භ වනවාත් සමගම අවසන් වන්නක් වෙයි. සියල්ල අවසානයේ වාෂ්ප වී යයි. පළමු පියවරේදී, මාක්ස් ගේ – තවත් දුම් බොන්නෙක් – ‘කොමියුනිස්ට් ප්‍රකාශණයේ’ ඇති ජනප්‍රිය වැකිය අනුව කියන්නේනම්, සිගරට් දුමේ ඇති මැජික් බලයත් සමග ‘ඝණ වූ සියල්ල වාෂ්ප බවට හැරවේ’. සියලු සමාජ සම්බන්ධතා මොහොතකට විසම්බන්ධ වී යයි. සෙලවී යයි. නමුත් දෙවැනි පියවරේදී, මේ මගින් ඇති වූ කොමියුනිස්ට්වාදයේ අවතාරය ද ඉක්මනින් වාෂ්ප වී යයි. එහි කිසිදු සලකුණක් ඉතිරි කර තබන්නේ නැත. හරියටම සිගරට් දුම සේම?

එතරම් නොපැහැදිලි ලෙස හෝ සියල්ල එක මොහොතකට වියහැකි වන්නා වූ එම මොහොත රොමෑන්තිකකරණය කිරීම සහ එහි ඇති ලස්සන වර්ණනා කිරීම අනතුරක් බව සත්‍යයකි. අහෝ, ඉක්මනින් නැති වන දෙයෙහි ඇති ඉක්මනින් නැති වන සුන්දරත්වය! ක්ෂණික උත්කෘෂ්ඨබවේ ඇති සයිරන් හඬ! මේ ආකාරයේ පෙළඹවීම් වලට එරෙහි වීමේ ශක්තිමත් බුද්ධිමය තල්ලුවක් තිබේ. එමෙන්ම, ඉතාම සාමාන්‍ය නොවැදගත් දෙයක් බොහෝ ගැඹුරු විප්ලවීය දෙයක් බවට පත්කිරීම, ස්වයං වර්ණනා කර ගන්න ක්ෂණික විප්ලවාදීන් ටිකක් උත්කර්ෂයට නැංවීම සහ ශික්ෂණය, සටන්කාමිත්වය හා සංවිධානය කිරීමේ වගකීම් සැහැල්ලු කිරීම ආදියටත් අපි නිසඟයෙන් විරුද්ධ වෙමු.

නමුත් සමහරවිට මේ වගේ බුද්ධිමය පෙළඹවීම් වලටත් අප විරුද්ධ විය යුතු වේ. සමහර අවස්ථාවන් වලදී අප පරිකල්පනයේ මොහොතවල් වලට ඉඩ දිය යුතුය.

නිර්ධනයන්ට මෙන්ම දුම් බෝන්නන්ටද රටක් නැත. නමුත් දුම්බොන්නන් දෘශ්‍යමාන වන සෑම විටම ඔවුන් අතින් මුදා ගත් ප්‍රදේශ නිර්මාණය වෙයි. දුම් බීම සෑම විටම නියෝජනය කළේ නිදහසයි. ජීවිතය පවත්වා ගැනීම නම් වූ යදම් වලට විරුද්ධව එය නිදහසේ ගිණි දැල්ලක් විය. එය නියෝජනය කරන්නේ ජීවිතය පවත්වා ගැනීමට එරෙහි ආස්ථානයකි. එමගින් කියා සිටින්නේ මෙවැනි දෙයකි: ‘මම යදම් වලින් නිදහස් වූ මිනිසෙකි. නමුත් මට අත් හැරිය නොහැකි මේ පුරුද්දට මා යදමින් බැඳ දමා තිබේ. නමුත් මේ යදම් නිසා තව යදම් විශාල ගණනකින් මට කුඩා හෝ දුරක් තබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ. ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය ගෙවීමට මා සූදානම් ය’. දුම්බීම මගින් ප්‍රකාශ කරනා දෙය අපට දහස් ආකාරයකින් තේරුම් ගත හැකිය: නරුම, සිතට එන දේ කරන, සැහැල්ලු, නියුරෝසික, සයිකෝසික, විපරීත, ග්‍රස්තික, අත් හැරීමට බැරි, රහස් තෘප්තිය, පව්කාරී, විලාසිතා පසුපස යන, සැප පහසුකම් සොයන, සියල්ල අවසානයේ තිබෙන, ආතතියට එරෙහි, ප්‍රචණ්ඩකාරී, උද්දච්ච, වසඟකාරී, ඕනෑම දෙයකට සූදානම්, පන්ති ලක්ෂණයක්, පන්ති රහිත බවේ ලක්ෂණයක්, සමාජ-විරෝධී භාවිතයක්…

නමුත් සියලු බලාපොරොත්තු වලට එරෙහිව සහ හිතුවක්කාරී පරිකල්පනයක් ලෙස මම කැමතියි දුම්පානය මගින් ප්‍රකාශ කරනා දෙය මෙලෙස ලියා තැබීමට: කොමියුනිස්ට්වාදයට අවස්ථාවක් තිබේ!

Advertisements