14

පහුගිය දවසක කාගම සිරිනන්ද කියන බෞද්ධ භික්ෂුවගේ බණක කොටසක් You tube වෙබ් අඩවියේ තිබිල අහන්න ලැබුනා . ඒකේ ලින්ක් එක දීලා ඇති . මේ වීඩියෝව ඇහුවම පේන දෙයක් තමයි වයස් ගත මිනිස්සු ගැන තියෙන භීෂණකාරී මර්ධනය . වයස් ගත මිනිසාට සමාජයේ නියම වෙන තැන මොන තරම් අමානුෂික එකක් ද කියල අපිට හිතෙන්න ගන්නෙ මේ සිරිනන්දගේ බණ ඇහුවම . ඒකෙන් අදහස් වෙන්නෙ නෑ සිරිනන්ද විතරක් මේ අමානුෂික වැඩේ කරනව කියලා . සිරිනන්ද වගෙම තවත් දස දහස් ගණන් සුමධුර ධර්ම කථිකයන් අතින් මේ දේ සිද්ධ වෙනව . සිරිනන්ද ඒ ගැන එක උදාහරණයක් විතරයි . මුලින්ම අපි  වීඩියො එක නරඹල ඉමු ..

වීඩියෝ එක අනුව බැලුවම අපිට කෙලින්ම කියන්න පුලුවන්  කාගම සිරිනන්ද කියන්නෙ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි කියලා  . උතුම් වූ  ධර්මාසනේට වැඩලා ධර්ම දානය සඳහා වෙන  ශ්‍රද්ධාවෙන්   දේශනා කරන බණ අනුව නම් එයා  කට හැකර පරණ ඉන්දියානු බමුණෙක් විතරයි . බමුණු මතයට අනුව වයස්ගත මිනිසෙකු විසින් කල යුතු දෙය වෙන්නෙ තමන්ගේ අධ්‍යාත්මික ජීවිතය වෙනුවෙන් වහ වහා කැපවීම . බුදු දහමේ නම් එහෙම දෙයක් නැහැ . ඒත් සිරිනන්ද හෙමිහිට මේ බමුණු මතයට හේත්තු වෙනව .. බුදුන්ට මේ බණ ඇහුන නම් සිරිනන්දට වේගවත් මුෂ්ටි පහරක් නම් , නියතයි .

බෞද්ධයන් වශයෙන් අපි පොඩි කාලේ ඉඳන් බණ අහන්න පුරුදු වෙනව . ඒ ඇහෙන දේශනා වලින් තමන්ගේ කුණු වී යන කය ගැන මෙනෙහි කරන ලෙස නිතරම අපිට මග පෙන්වනව . මේ තියෙන පංච ස්කන්ධය ඉක්මවා යන නිරාමිස සුවයක් කරා යන මග එමගින් අපට පෙන්වා දෙනවා . ජරාජීර්ණ වී යන සිරුර දිහා බලාගෙන බුදු දහම අනුව සසරින් එතෙර වෙන්න පන්සල් වලට ගිහින් බණ බාවනා කරනව . සිල් සමාදන් වෙනවා . කුසල් රැස් කරනව .. පෝය දවසට පන්සල් භූමිය කියන්නෙ වැඩිහිටි නිවාසයක් .. ඒ අතරින් පතරේ තවත් අලුත් පරම්පරාවක් මේ වයසක උන්දෑ අතරේ හැදී වැඩෙනව . සිල් සමාදන් වෙනවා .

අපි දන්න දෙයක් තමයි නැතිව වයස් ගත උදවියව  කායිකව විශ්‍රාම ගැන්වීමත් සමග  ස්වභාවිකම වගේ ආගමික වතාවත් වලට වැඩියෙන් යොමු වෙනව කියල . ඔවුන්ගෙ දරුවනුත් හිතනව දෙමව්පියන්ව පන්සල් යැව්වම තමන්ගේ යුතුකම් ඉෂ්ට කිරීම සම්පූර්ණ වුනා වගේ හැඟීමක් .

ඒත් මේ දෙමව්පියන් පන්සල් යන්නෙ බුද්ධාලම්භන ප්‍රීතිය විඳින ගමන්ම , තමන්ගෙ ජීවිතයේ ඇති හුදෙකලා බව , තනි වීම කොන් වීම නිසා නව මිතුරු සමාජයක් නව වැඩ ව්‍යුහයක් එක්ක එකතු වෙන්න . ඒ ව්‍යුහයට ( එහෙමත් නැත්තම් කාලයට ) අපි කියමු බමුණු අවධිය කියලා . ඉතිං ඔන්න පන්සල , පල්ලිය සහ ඒවයේ වගකීම් කරමත පැටවෙනව .

කතාවක් තියෙනව වයස්ගත වීමත් සමගම මිනිස්සු පරිණත වෙනව කියලා . ඒත් මේ පන්සල්ව ඉන්න හාමුදුරුවරු , වයස්ගත මිනිස්සුන්ගේ හෘද සාක්ෂියෙන් අල්ලගෙන ( නැට්ටෙන්ම අල්ලගෙන ) තලගොයෙක් පොලවේ ගහමින් වගේ මස් කරනව . වයස් ගත වූවන්ට තියෙන  ලොකුම හෘද සාක්ෂිය තමයි තමන්ගේ  වයස් ගත ශරීරය . මේ කුණුවී ගඳ ගහන ශරීරය මෙනෙහි කරන ලෙසත් , අප්‍රමාදව කුසල් රැස් කරන්නත් යනුවෙන් කියමින් අපෙ ආදරනීය වැඩිහිටියන්ගෙ චින්තනය මොට කරනව . තවත් ලෙඩ කරනව . තමන්ගෙම වැඩකවත් යෙදෙන්න බැරි තැනට ජිවිතය යකාටම යවනව . මේ වෙද්දි පන්සල් ඒකාධිකාරය මිනිසුන් බිලි ගන්න රහසිගතම විදිය ඒක. හරියට රාජ්‍යයේ නොනිල මිනීමරු දෙපාර්තුමේන්තුව වගේ ..

අපි දන්නව භාෂාව කියන දෙය ආයුධයක් තරමට බිහිසුණු කරන්න පුලුවන් වගෙම ප්‍රේමය තරම් ශ්‍රේෂ්ට පැවැත්මක් නිෂ්පාදනය කරන්නත් යොදා ගත හැකි බව . ඒත් මේ පන්සල් සහ පල්ලි වලින් එක හෙලාම බුද්ධ පාරිභාෂිතය පාවිච්චි කරමින් ‘ වයස්ගත මිනිසුන් ඉක්මනින්ම මරා දමනව . ජීවිතයේ නීරස පැත්ත මෙනෙහි කරන්න ගිහින් අපේ ආච්චිලා සීයලා ඇවිදින මල මිනී බවට පත් වෙනව . වැහැරෙනව .

ඇත්තටම ලංකාවේ වැඩිහිටියා කුඩා කාලයේ පාසැල් යමින් ශිෂ්‍ය ජිවිතයක් ගත කරද්දිත් මේ කුණු වී යන ශරීරය ගැන කලකිරෙන බණ කතා රැසක් අහන්න පුලුවන් වෙනවා . ඒ වගෙම තරුණ අවධියෙත් බණ ටික  එහෙම්මයි . විවාහක අවධියෙත් තමන් ආදරේ කරන අලුත බැඳපු බිරිඳත් ලඟ තියාගෙන සුදු ඇදගෙන එ ටිකම අහනව . වැහෙරෙනව , කුණු වෙනවා , කබ එනවා , කොණ්ඩෙ සුදු වෙනවා කියමින් විශ්‍රාම යද්දිත් , විශ්‍රාම ගියායින් පස්සෙත් ඒ කලකිරීම් ටික  අහනව .

පන්සල් වල ඉන්න ඔය බමුණු චින්තකයන්ට තමන් නිසාම පේන්නෙ නැති දෙයක් තමයි ලංකාවේ වැඩිහිටියා කියන්නෙ සෑහෙන ඇරියස් එකක් තියෙන කෙනෙක් කියන එක . ලංකාවේ වැඩිහිටියා නොසෑහෙන දේවල් වලින් මර්ධනය වෙමින් ඉන්දෙද්දී තමන්ගේ ශරීරයෙනුත් විශ්‍රාම ගන්න ලැහැස්ති වෙද්දී ඔවුන්ට යන්න තියෙන එකම ආයතන විදියට අපි දන්නෙ මේ පන්සල් / පල්ලි විතරයි . මේ නිසා ඔවුන්ව කායික මරණයකට සුදුසු ලෙස මනස සූදානම් කරන්නේ මේ පන්සල් විසින් ..

ඒත් මේ කායික විශ්‍රාම යෑම තුල මොනතරම් බුද්ධිමය අතිරික්තයක් ඉතුරුවෙනව ද . මේ රාජ්‍යයට විවේක බුද්ධියෙ වටිනාකම නොතේරීමම එය රාජ්‍යයක් වීමට  උදාහරණයක් වෙනවද ? ඒ වගෙම  වයස් ගත මිනිසා ගැන මොන තරම් අමානුෂික තීන්දුවකට එලැඹිල ද  ? දඹුලු වෙළද මධ්‍යස්තානයේ එලවලු අතිරික්තයට කරන්න දෙයක් නෑ කියන තරමට මිනිස් ජීවිත එහෙම් පිටින්ම කුණු වෙලා යනවා . වයස් ගත අම්ම කෙනෙක් මැරුවද මැරුණද කියල නොහිතෙන තරමට එයාලව ඝාතනය කරන්න ඓතිහාසික වැඩ පිලිවෙලක් මේ සිංහල බෞද්ධ ජන සමාජයේ තියෙනව . ඇත්තටම එදිනෙදා  අප සමග පවතින  එවන් බුද්ධීම අතිරික්තයක් හිමි සුවිශාලම පැවැත්ම වෙන වයස්ගත මිනිසාට ලැබෙන්නේ මරණය පමණ ද ?

ඉතිං මේ නිසා ලංකාවේ ගොඩක් වයස් ගත උදවියට වෙන යන්න එන්න තැන් නැති කරන දේශනා ශෛලියක් පන්සල් වලින් දේශනා කරනවා . සිරිනන්දගෙ බණ ඇතුලෙ මුළු මුනින්ම අඩංගු වෙන්නෙ ඒ කරුණු . වයස් ගත වික්ටර් රත්නායක අවුරුදු 75 දී පන්සල් ගානේ බණ බාවනා කරන්න නොගිහින් ලස්සන යුවතියක් හා විවාහ වෙනවා . ඒත් වික්ටර්ට යන්න තැනක් තිබුනට මැරෙන්න වැටිල ඉන්න පන්සල් වල ඉන්න වයස්ගත ශ්‍රාවකයාට යන්න තියෙන්නෙ කොහෙටද ?

ඔන්න වික්ටර්ගේ විවාහයෙන් , ගලක් වගේ හයි වෙලා තිබුන බමුණු මතයක් දෙදරන්න පටන් ගන්නව . ඒ පැල්ම වහන්න අසරන කාගම සිරිනන්ද බේබද්දෙක්ගේ දේශනා ශෛලියට පත් වෙනව . ටිකක් හොඳට බලන්න , මිනිහගෙ ඇඟේ සිවුරක් තිබුනට , මල ගෙවල් වල අපි එක්ක නිදි මරණ බේබදු විහිලුකාරයෙක් වගේ නෙවෙයිද කියලා . ඉතිං අපි සාදු කියනව ..!!!

කේ. කේ. ශ්‍රීනාත් චතුරංග

Advertisements