261.1983

මෙම කෙටි සටහන පළමුවෙන් ලියන්නට පටන් ගත්තේ ෆේස්බුක් සංවාදයක කොමෙන්ටුවක් ලෙසයි. නමුත් එය තරමක් දිග වූ හෙයින් වෙනම බ්ලොග් සටහනක් ලෙස පළ කරන්නට සිදු විය. මෙහිලා සාකච්ඡාවට ගැනෙනා කරුණ මෙරට දේශපාලනය සඳහා අතිශය කේන්ද්‍රීය ගැටලුවක් පසුබිමේ සිදු වන්නක් වන හෙයින් මෙය වෙනත් පිරිසක් අතර ගෙන යාම කිසි සේත් නොවැදගත් වැඩක් වන්නේ නැත. මෙහි පසුබිම් කතාව, ඉතාම සංක්ෂිප්තව ගත් විට, පදනම් වන්නේ ජාතීන්ගේ ස්වයං-තීරණ අයිතිය සම්බන්ධයෙන් ලෙනින් ගේ අදහස කුමක්ද යන්න පිළිබඳව ඇති වූ කෙටි සංවාදයකි. සති කීපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණයෙක්ගෙන් මේ පිළිබඳව විමසා සිටි විට ඔහු පවසා සිටියේ ජාතීන්ගේ ස්වයං-තීරණ අයිතිය ලෙනින් විසින් පසුකාලීනව ප්‍රතික්ෂේප කර ඇති දෙයක් යන්නයි. මේ සම්බන්ධයෙන් අදාළ මූලාශ්‍ර ලබා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි විට 1916 දී ලෙනින් ලියා තිබෙනා ‘සමාජවාදී විප්ලවය සහ ජාතීන් ගේ ස්වයං-තීරණය සඳහා ජාතීන් සතු අයිතිය’ (සම්පූර්ණ ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය මෙතැනින්) නම් රචනයෙන් උපුටා ගැනීමක් දක්වා තිබේ. මෙම උපුටා ගැනීම තුළ ලෙනින් අදහස් කරන්නේ කුමක්ද? සත්‍ය වශයෙන්ම ලෙනින් එහිදී රටවල් බෙදී වෙන්වී කුඩා රාජ්‍ය ඇති වීමට එරෙහි වන්නේද? මේ සටහනේ අරමුණ වන්නේ මේ ප්‍රශ්න වලට පිළිතුරැ ලබා දීමයි.

නමුත් අපගේ උනන්දුව සීමා වන්නේ මෙතන තිබෙනා අර්ථකථන ගැටලුවට පමණක් බව කිව යුතුයි. ලෙනින් මෙසේ කියා ඇති නිසා එය අප පිළිගත යුතු වන බවක් මෙයින් හැඟවෙන්නේ නොමැති වේ. ලෙනින් ගේ මතයට විරුද්ධ වීමට කෙනෙක්ට පැහැදිළිව හැකියාවක් තිබේ. අවශ්‍ය වන්නේ ඒ සඳහා කරුණු දැක්වීම පමණයි. නමුත් මෙය එම කාලයට අදාළව නිවැරදි විය හැකි වුවත් එය සමකාලීන තත්වයන්ට ගැලපෙන්නේ නැති බව පමණක් සඳහන් කිරීම, අප සිතනා ආකාරයට, ප්‍රමාණාත්මක පිළිතුරක් නොවේ. එම තර්කය ඕනෑම ආකාරයේ පැරණි චින්තකයෙක් පහසුවෙන් ප්‍රතික්ෂේප කිරීම සඳහා යොදා ගත හැකි පහසු උපක්‍රමයක් බව ඇත්තකි. නමුත් ලෙනින් ගේ හෝ වෙනත් අතීත චින්තකයෙක් ගේ හෝ අදහස් සමග බැරෑරුම් ලෙස අභිමුඛ වීමට අවශ්‍යනම් – එසේ වීමට අවශ්‍යනම් පමණක් – මේ සඳහා එම චින්තකයා ඉදිරිපත් කරන මූලික තර්කය ගෙන එහි ඇති දෝෂසහගතබව පෙන්වා දීමට කෙනෙකු හට සිදු වෙයි. මෙවැනි ක්‍රියාවකදී පළමුවෙන් කළ යුතු වන්නේ එම අතීත චින්තකයා සත්‍ය වශයෙන්ම කියා තිබෙන්නේ කුමක්ද යන්න වටහා ගැනීම බව අමුතුවෙන් කිව යුතු නොවේ. අපගේ සාකච්ඡාවට බඳුන් වී තිබෙනා කරුණේදී වැදගත් වන්නේ ලෙනින් කියා ඇති දෙය වටහා ගැනීමයි. අප පළමුවෙන් ලෙනින් ගේ විවාදයට බඳුන් වී ඇති එම කොටස උපුටා ගැනීම කරමු.

The right of nations to self-determination means only the right to independence in a political sense, the right to free, political secession from the oppressing nation. Concretely, this political, democratic demand implies complete freedom to carry on agitation in favour of secession, and freedom to settle the question of secession by means of a referendum of the nation that desires to secede. Consequently, this demand is by no means identical with the demand for secession, for partition, for the formation of small states. It is merely the logical expression of the struggle against national oppression in every form. The more closely the democratic system of state approximates to complete freedom of secession, the rarer and weaker will the striving for secession be in practice; for the advantages of large states, both from the point of view of economic progress and from the point of view of the interests of the masses, are beyond doubt, and these advantages increase with the growth of capitalism. The recognition of self-determination is not the same as making federation a principle. One may be a determined opponent of this principle and a partisan of democratic centralism and yet prefer federation to national inequality as the only path towards complete democratic centralism. It was precisely from this point of view that Marx, although a centralist, preferred even the federation of Ireland with England to the forcible subjection of Ireland to the English.[6]

ලෙනින් මෙහිදී කියන්නේ කුමක්ද? ඔහු ට අනුව ස්වයං-නිර්ණ අයිතිය සඳහා ජාතීන් සතු අයිතිය යනුවෙන් අදහස් කරන්නේ දේශපාලනික අර්ථයකින් නිදහස් වීමට ඇති අයිතියයි. තවදුරටත් පැහැදිළි කරන්නේනම්, තම ජාතිය පීඩාවට පත් කර සිටින පීඩක ජාතියෙන් දේශපාලනිකව වෙන්වීමට, නිදහස් වීමට ඇති අයිතියයි. අතිශයින් ප්‍රායෝගික මිනිසෙකු වූ ලෙනින් හට මේ මගින් අදහස් කරන්නේ කුමක්ද කියා සංයුක්ත ලෙස පැහැදිළි කිරීමට අපහසු වන්නේ නැත: ස්වයං-නිර්ණ අයිතිය යනුවෙන් ප්‍රායෝගිකව අදහස් කරන්නේ වෙන්වීමට පක්ෂව මහජන උසිගැන්වීම් සංවිධානය කිරීමේ පූර්ණ නිදහස සහ ජනමතවිචාරණයක් පවත්වා වෙන්වීම පිළිබඳව ඇති ප්‍රශ්නය විසඳාගැනීමට කිසියම් ජාතිකයට ඇති අයිතියයි. අවම වශයෙන් මේ කරුණ සම්බන්ධයෙන් කිසිවෙක් හට දෙගිඩියාවක් තිබිය හැකි නොවේ. නමුත් අපට පෙනෙනා පරිදි මෙහි තරමක ව්‍යාකූල බවක් ඇති වන්නේ මින් පසුව ලෙනින් ලියා තිබෙනා වාක්‍ය දෙක සමගයි. මේ සටහන තැබීමට මුල් වූ සංවාදයේදී ජ.වි.පෙ හිතවාදී තරුණයා පළමුවෙන් උපුටා දැක්වූයේද මෙම වාක්‍ය දෙකයි. අපි නැවතත් එය කියවමු:

“Consequently, this demand is by no means identical with the demand for secession, for partition, for the formation of small states. It is merely the logical expression of the struggle against national oppression in every form.”

සිංහලට හැරෙව්වොත්: “මෙහි ප්‍රතිඵලයක් ලෙස, මේ [ස්වයං-තීරණ අයිතිය සඳහා ඇති] ඉල්ලුම කිසිසේත් වෙන්වීමට, රටවල් බෙදීමට, කුඩා රාජ්‍යයන් බිහි කිරීමට ඇති ඉල්ලුම සමග සමාන වන්නේ නැත. එය සියලු ආකාරයේ ජාතික පීඩනයන් ට එරෙහි අරගලයේ තාර්කික ප්‍රකාශනය පමණි.”

දැන්, මෙම වාක්‍යය තුළ තරමක ව්‍යාකූල බවක් ඇති විය හැක්කේ ඇයිද කියනා කරුණ පැහැදිළි වේ. ලෙනින් කියා සිටිනා ආකාරයට ස්වයං-තීරණ අයිතිය සහ වෙනත් රටවල් නිර්මාණය කිරීමට ඇති ඉල්ලුම යනු එකක් නොවේ. පළමු එක මගින් දෙවැන්න අනිවාර්යයෙන් ගම්‍ය වන්නේ නැත. එපමණක් නොවේ. ප්‍රතිපත්තියක් වශයෙන් ලෙනින් පෙනී සිටින්නේ ලෝකය ජාතික රාජ්‍යය ලෙස කුඩා රටවල් වලට බෙදී යාම වෙනුවෙන් නොවන බවද පැහැදිළි වෙයි. ලෙනින් ඉතා පැහැදිළිව කියන පරිදි ආර්ථික වර්ධනයේ දෘෂ්ඨිකෝණයෙන් ගත්තත්, මහජන සුභ සිද්ධියේ දෘෂ්ඨිකෝණයෙන් ගත්තත් විශාල රාජ්‍යයන් වල තිබෙනා වාසි වැඩි වෙයි. අනෙක් අතට, ලෙනින් මෙයින් පසුව එන චේදයෙන් අපට කියා සිටින පරිදි, සමාජවාදයේ අරමුණ වන්නේ රටවල් ජාතීන් ලෙස බෙදී වෙන් වීම අහෝසි කිරීම පමණක් නොව ජාතික සංස්කෘතීන් තුළ හුදෙකලා වී සිටිනා මිනිසුන් පොදු විශ්වීයත්වයක් තුළ එකතු කිරීමද වේ. තතු මෙසේනම්, මෙහිදී ලෙනින් කියා සිටින්නේ ඔහු ස්වයං-නිර්ණ අයිතිය පිළිගන්නේ නමුත් රටවල් බෙදී වෙන් වී කුඩා කුඩා රාජ්‍යයන් බිහි වීමට ඔහු විරුද්ධ බව නොවේද?

මේ ප්‍රශ්නයට, ඉතා පැහැදිලිවම, ලබා දිය යුත්තේ, ‘නැත’ යන පිළිතුරයි. ලෙනින් ගේ මතය අනුව පුළුල් රාජ්‍යයන් වඩා වාසිසහගත වුවත්, ඔහු ප්‍රතිපත්තිමය ලෙස ෆෙඩරල්වාදියෙක් නොවුනත්, ස්වයං-නිර්ණ අයිතිය ඉල්ලීම යනු, අපි ඉහතින් ද දුටු පරිදි, සියලු ආකාරයන්ගේ ජාතික පීඩනයන් ට එරෙහි අරගලයේ තාර්කික ප්‍රකාශණයයි. වෙනත් ආකාරයකට කියන්නේනම් ජාතික පීඩනයක් ඇති තැනකදී සහ එයට එරෙහිව පීඩනයට පත්වී ඇති ජාතිය අරගල කරන්නේනම්, එම අරගලය ප්‍රකාශයට පත්විය හැකි තාර්කික ආකෘතිය වන්නේ ‘ස්වයං-නිර්ණ අයිතියයි’. ඒ නිසා එම අරගලයට විරුද්ධ වීමට අපට කිසිදු අයිතියක් නොමැති වෙයි. ඒ වෙනුවට අප කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් කිසිදු දෙගිඩියාවක් ලෙනින් තුළ නොමැති වෙයි. අප කළ යුත්තේ එම පීඩිත ජාතියට ජනමතවිචාරණයක් තියා ඔවුන් වෙන් වනවදා නැතිද කියන එක තීරණය කරන්නට ඉඩ දීම පමණි.

එසේනම්, මෙම ඉල්ලීම මගින් අනිවාර්යයෙන් රටවල් බෙදී, කුඩා රාජ්‍යය බිහි වීම සිදු නොවන බව ලෙනින් පවසා සිටින්නේ ඇයි? මෙයට ඇති කෙටි පිළිතුර වන්නේ එය ලෙනින් ගේ දේශපාලන තක්සේරුව වන බවයි. ඔහු තර්ක කරනා ආකාරයට මේ ආකාරයට ස්වයං-නිර්ණ අයිතිය ලබා දීමෙන් පසුව – එනම් ජනමත විචාරණයක් පවත්වා එම ජාතියට තවදුරටත් එක්වා සිටිය යුතුද, එසේ නොමැති වන්නේද කියන කරුණ තීරණය කිරීමට ඉඩ දීමෙන් පසුව – වෙන්වීම සහ කුඩා රාජ්‍යයක් ඇති වීම ඉතාම දුලභ දෙයක් පමණක් වන බවයි. නමුත්, මෙයින් අදහස් වන්නේ, මෙලෙස වෙන්වීමේ වැඩි ඉඩක් තිබෙන තත්වයක් යටතේදී එම අයිතිය ලබා නොදිය යුතු බව නොවේ! ඉතාමත් පැහැදිළිව එම අවධානම ගැනීමට පීඩක ජාතියට සිදු වේ. එය ප්‍රතික්ෂේප කරනවා යන්නෙන් අදහස් වන්නේ ස්වයං-නිර්ණ අයිතිය ප්‍රතික්ෂේප කිරීම යන්න වන අතර එවැන්නක් කිරීමේ හැකියාව ලෙනින් කිසිදු ආකාරයකින් පිළිගන්නේ නැත.

තවත් සරල ලෙස, ලෙනින් කියන්නේ මෙවැනි දෙයකි: අපිට පුළුවන් එවැනි තත්වයක් යටතේදී එක රටක් තුළ බලය බෙදා ගැනීමේ වාසිය කුමක්ද කියා හැකිතාක් සංවිධානාත්මක ලෙස එම ජනයාට කියා දීමට; නමුත් තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ ඔවුන් සතුව පමණයි. ඔවුන් ගේ ජාතික නිදහස ලබා ගැනීම කල් දැමීම සඳහා කිසිදු හේතුවක් අපට නොමැති වේ. ලෙනින් ඉතා පැහැදිළිව කියන පරිදි “සමාජවාදය බිහි වන තුරු ප්‍රශ්නය ‘පසුවට කල් දැමීම’” අප නොකළ යුතුය. සියලු ජාතීන් එකතු වීම වෙත අපට යා හැක්කේ, සියලු පීඩිත ජාතීන් නිදහස් වීමේ සංක්‍රාන්ති සමය පසු කිරීමෙන් පමණි.

මේ අනුව අපට ෆෙඩරල්වාදය සම්බන්ධයෙන් ද ලෙනින් ගේ මුල් ලිපිය තුළ ඇති, බැලූ බැල්මට ව්‍යාකූල වනවා කියා කෙනෙක්ට සිතිය හැකි, අදහස මගින් ලෙනින් යෝජනා කරන්නේ කුමක්ද යන්න පැහැදිළි වේ. ඔහු, මූලධර්මයක් ලෙස, මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නේ වුවත්, ජාතික අසමානතාවය ඉදිරියේ ෆෙඩරල්කරණය පිළිගැනීමට හැකියාවක් තිබේ. ඉංග්‍රීසි ජාතික පීඩනය හමුවේ අයර්ලන්තයේ බෙදී වෙන්වීමේ අයිතිය මාක්ස් විසින් පිළිගනු ලැබූ සන්දර්භය වන්නේ මෙයයි.

අප සිතනා ආකාරයටනම්, ලෙනින් ගේ මේ අදහස සඳහා ලබා දිය හැකි එකම අර්ථකථනය වන්නේ මෙයයි. නැවතත් කිව යුත්තේ ලෙනින් ගේ අදහස මෙය වන නිසා එය සියලු දෙනා පිළිගත යුතු බවක් මෙහි යෝජනා නොකරනා බවයි. නමුත් ජාතීන්ගේ ස්වයං-නිර්ණ අයිතිය සම්බන්ධයෙන් ලෙනින් ගේ මතය වෙනුවෙන් කාට හෝ පෙනී සිටීමට අවශ්‍ය වන්නේනම්, ඒ සඳහා ලබා දිය හැකි වෙනත් අර්ථකථනයක් ඇති බවනම් අපට පෙනී යන්නේ නැත.

Advertisements