Nirialla Article 3

පහතින් පළ වන්නේ දමිළ නාට්‍යකරුවෙකු මෙන්ම විද්වතෙක් ද වන මහාචාර්ය සින්නයියා මෞනගුරු පිළිබඳව නාට්‍යවේදී පරාක්‍රම නිරීඇල්ල විසින් ලියන ලද රචනයකි. සිංහල/දෙමළ සමාජීය පසමිතුරුතාවය වේදිකානාට්‍යය නම් වූ සුවිශේෂ අවකාශය ඇසුරින් පසුගිය දශක කීපය තුළ ප්‍රකාශමාන වී ඇති ආකාරය වටහා ගැනීමට මෙය බොහෝ ප්‍රයෝජනවත් වන බව අපි සිතමු. වාර්ගික සම්බන්ධතා වල මහා ආඛ්‍යානයන් වලට යටි පෙලින් ඇති මෙවැනි ක්ෂුද්‍ර ඉතිහාසයන් විකල්ප අනාගතයක් පරිකල්පමනය කිරීමට දරනා ප්‍රයත්නයන් සඳහා අත්‍යවශ්‍ය අත්වැලක් සපයයි.

***

සහෝදරත්වය වෙත විදාහළ සෙනෙහබර දෑතක්

භාෂා ගණනාවක්, ජනවර්ගයන් (සහ ගෝත‍්‍ර) ගණනාවක් සහ ප‍්‍රාන්ත ගණනාවක් තිබෙන ඉන්දියාවේ ඒ සියළු වෙනස්කම් අනුව බිහි වන සාහිත්‍ය, නාට්‍ය, නැටුම්, සිනමා සහ චිත‍්‍ර ආදී සියළුම කලාවන් පොදු ඉන්දීය ජාතික අනන්‍යතාවක් යටතේ මුළු මහත් ඉන්දීය සමාජය තුළ කිසිදු භේදයකින් තොරව සමානව අගැයීමට සහ ඇසුරට ලක් වේ.  ශී‍්‍ර ලංකාවේ භාවිතා වන්නේ දේශීය භාෂා දෙකක් පමණකි.  රටේ සිටින්නේ එම භාෂා දෙක භාවිතා කරණ ජනවර්ග තුනකි.  එහෙත්, ශී‍්‍ර ලාංකේය ජාතික අනන්‍යතාව යටතේ වසර ගණනාවක් තිස්සේ හැමවිටම හුවාදැක්වෙන්නේ සිංහල සාහිත්‍යය, සිංහල නාට්‍ය, සිංහලයින්ගේ නැටුම්, සිංහල සිනමාව සහ සිංහල චිත‍්‍ර කලාවය.  සිංහල බහුතරයේ අධිපති බලාධිකාරය අනුව සිදුවන මෙම වෙනස් ලෙස සැළකීම පැහැදිළිවම පෙන්නුම් කෙරෙන අවස්ථාවන් වන්නේ එම කලාවන් වෙනුවෙන් සම්මාන ප‍්‍රදානය කරණ රාජ්‍ය උත්සව අවස්ථාවන්ය.  සම්මාන ලබන දමිළ කලාකරුවන් කවුරුන්ද, ඔවුන් ශී‍්‍ර ලාංකේය කලා ක්ෂේත‍්‍රයට දායාද කර තිබෙන නිර්මාණ මොනවාද යන්න පවා දැනගන්නට ඉඩක් නොතබා සිදු කරනු ලබන මේ සම්මාන බෙදා දෙන උත්සව තුළ පැහැදිළිවම වර්ග භේදයෙන් සැළකීම පෙනෙන්නට තිබේ.  එවැනි කලා භේදයක් සිංහල බලාධිකාරය තුළ සිදුවෙද්දී දමිළ විද්වතුන් හා දමිළ කලාකරුවන්ගෙන් සමන්විත සිවිල් බලාධිකාරයන් තුළද එවැනිම දේ ඊට ප‍්‍රතිලෝම වශයෙන් සිදුවන සැටිද අප අත්දැක තිබේ.  මේ අන්දමට කලා භේදයක් ශී‍්‍ර ලාංකේය සමාජය තුළ පවත්වාගෙන යද්දී ඒවා නොතකා හරිමින් ගොඩනගා ගන්නා සම්බන්ධතා ඇතිව තම කලා ක්ෂේත‍්‍රයන් තුළන් සහජීවනාත්මක සංස්කෘතියක් ගොඩනැගීමට උපකාර වන අන්දමේ කි‍්‍රයාකලාපයන්, කලා භාවිතයන් සහ විශාල මෙහෙවරයන් සිදු කරණ කලාකරුවන් මෙරට සිටින බව දැනගැනීම වැදගත්ය.

ශී‍්‍ර ලංකාවේ පළමු වතාවට සිංහල සහ දමිළ නාට්‍ය කලාකරුවන් එකම වේදිකාවක, එකම ජාතික නාට්‍ය උළෙලක නාට්‍ය රඟදැක්වූවේ 1976 වර්ෂයේදීය.  එමෙන්ම, සිංහල සහ දමිළ විද්වතුන් පළමුවැනි වතාවට ශී‍්‍ර ලංකා කලා මණ්ඩලයේ සහ නාට්‍ය අනුමණ්ඩලයේ කටයුතුවලට එකමුතු වී දායක වූවේද එම උළෙලේදීය.  නාට්‍ය විනිශ්චය මණ්ඩලයේද එවැනිම ආකාරයේ සිංහල සහ දමිළ විද්වතුන්ගේ එකතුවක් දක්නට තබුණි.  මගේ නාට්‍ය කලා ජීවිතයේ පළමුවරට මා විසින් නිෂ්පාදනය කරණ ලද ‘‘සෙක්කුව’’ නාට්‍යය හොඳම නාට්‍ය රචනය ඇතුළු සම්මාන ගණනාවක් ලැබුවේද එම විනිශ්චය මණ්ඩලයෙනි.  අද ශී‍්‍ර ලංකාවේ ජීවත් වන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර පරම්පරාවේ ප‍්‍රවීණ නාට්‍ය කලාකරුවෙකු වන මහචාර්ය සින්නයියා මෞනගුරු එම විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙක් විය.  මම ඒ අග‍්‍රගණ්‍ය ශී‍්‍ර ලාංකේය නාට්‍ය කලාකරුවා ගැන මුළින්ම දැනගත්තේ ඒ දිනවලය.

එයින් පසු 1977 දී ජේ.ආර්.ජයවර්ධනගේ රජය බලයට පත් වීමේ සිට උග‍්‍ර අතට හැරුණු ජනවාර්ගික අර්බුදයත් සමඟ මුළු මහත් සමාජයම විපරීත තත්වයකට පත්විය.  සිංහල සහ දමිළ ජනතාව අතර මහත් විභේදනයක් නිර්මාණ නිර්මාණය විය.  දමිළ ජනතාව සිංහල ඉගෙනගැනීමත්, සිංහල ජනතාව දමිළ ඉගෙනීමත් නැවැත්වූහ.  කලාකරුවන් අතරද එතෙක් පැවති සහසම්බන්ධතාවන් බිඳවැටුණි.  ඔවුන් අතර එතෙක් පැවති එකට එක් වී නිර්මාණ කරණයේ යෙදීමේ පුරුද්ද අත්හැරුණි.  මේ නිසා සිංහල කලාකරුවෝ සිංහල ප‍්‍රජාවට පමණක් සහ දමිළ කලාකරුවෝ දමිළ ප‍්‍රජාවට පමණක් තම නිර්මාණ බිහි කළහ.  මේ නිසා එක් ප‍්‍රජාවක් මුහුණ දෙන අත්දැකීම් සහ සුඛදුක්ඛ වේදනාවන් අනෙක් ප‍්‍රජාව වෙත සන්නිවේදනය වන සියළු කලා මාධ්‍යයන් මෙම ප‍්‍රජාවන් දෙකොටස විසින්ම අවුරා ගනු ලැබීය.  1983 මහා දෙදරා යාමෙන් පසුව ගත වූ කාල පරිච්ෙඡ්දයේ පැවති බිහිසුණු බව තුළ සිංහල සහ දමිළ කලාකරුවන් අතර යන්තමින් පවා පැවති සියළු සම්බන්ධතා විසන්ධි වී දැඩි නිහැඬියාවක් පැවතුනි.  මෙම තත්වය වෙනස් කිරීමට ප‍්‍රවීණ නාට්‍යවේදීන් දෙදෙනෙකු වන ධර්සිරි බණ්ඩාරනායක මහාත්, මහාචාර්ය සින්නයියා මෞනගුරු මහතාත් ඉටුකළ මෙහෙවර අගය කළයුතුය.  දකුණේ කලාකරුවන් හට නැගෙනහිර කලාකරුවන් ඇසුරු කරන්නට යන්නට මාර්ගය එළිපෙහෙළි කළේ ඔවුන් දෙදෙනාය.  1999 මාර්තු 27 වැනිදා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පැවැත්වූ ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වන්නට ධර්මසිරි බණ්ඩාරනායකට ආරාධනා කළේ එවකට එම විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රපීඨයේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ මහාචාර්ය මෞනගුරුය.  මෙලෙස ආරම්භ වූ මූළික සම්බන්ධතාවය අතු ඉති ලියලන්න පටන් ගන්නේ 2002 වර්ෂයේ බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත්, විමුක්ති කොටි සංවිධානයත් අතර ඇති වූ සාම ගිවිසුමත් සමඟය.   තාවකාලික සාමයක් ඇති වූ නමුත් යුද්ධයේ ගිනි අඟුරු තවමත් දුම් දමමින් පැවති කාලයේ ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘‘ට්‍රෝජන් කාන්තාවෝ’’ නාට්‍යය මඩකලපුවේ, අරසඩිහි දේවනායගම් ශාලාවේ  රඟදක්වන්නට නිර්භයව ඉදිරිපත් වී කැපවීමක් කළේ මහාචාර්ය මෞනගුරුය.  මුළදී විමුක්ති කොටි සංවිධානය ඒ පිළිබඳව විමසිල්ලක් පෑ නමුත් පසුව ඊට සම්පූර්ණ අනුකූලත්වයත්, සහයෝගයත් දැක්වීය.  එහෙත්, මඩකලපුවට සිංහල නාට්‍යයක් ගෙනැවිත් රඟදක්වනවාට විරුද්ධ වෙමින් ඊට කිසිදු සහයෝගයක් නොදැක්වූ ඔහුගේ සමහර ගෝලබාලයෝද විය.  නමුත්, මඩකලපුවේ ‘‘ට්‍රෝජන් කාන්තාවෝ’’ රඟදැක්වීමෙන් ඇති කර ගත් ගැම්ම නිසා අඛණ්ඩව ති‍්‍රකුණාමළය, වවුනියාව සහ යාපනයේද එහි සාර්ථක දර්ශන මාලාවක් පැවැත්වීමට ධර්මසිරිට හැකිවිය.  අවිනිශ්චිත සාම වකවානුව තුළ සිදු වූ මෙම ‘‘ට්‍රෝජන් කාන්තාවෝ’’ රඟදැක්වීම් නිසා ඇති වූ ප‍්‍රවණතාව ඔස්සේ උතුරු දකුණු සහ නැගෙනහිර සාමයට ලැදි කලාකරුවන් අතර අඛණ්ඩ සබඳතා ඇති වන්නට විය.

‘‘හිරු’’ කණ්ඩායමේ මූළිකත්වයෙන් 2003 වසරේ ඔක්තෝබර් මාසයේ කොළඹ නව නගර ශාලාවේදී පවත්වන ලද ‘‘සිහල-දෙමළ කලා උළෙල’’ ට ‘‘ජාතික හෙළ උරුමය’’ නමැති සිංහල ජාතිවාදී දේශපාලන කල්ලිය කඩා වැදුණි.  මෙම කලා උළෙල සංවිධානය වීම දශක ගණනාවක සිට පැවති අවශ්‍යතාවක් ඉටු වීමකි.  උතුරු සහ නැගෙනහිර විවිධ ක්ෂේත‍්‍රවල කලාකරුවන් රාශියක් මෙම උළෙලට සහභාගි වූ අතර දකුණේ සාමය හා සහජීවනය අපේක්ෂා කරණ කලාකරුවන්, රසිකයින් සහ සිවිල් සංවිධාන කි‍්‍රයාධරයින්ද රාශියක්ද ඊට එක්විය.  දකුණේ ජාතිවාදයට නැඹුරු පුවත්පතක් වන ‘‘දිවයින’’ ඇතුළු තවත් එවැනි ජනමාධ්‍ය විසින් එය ‘‘පොංගුතමිල්’’ උළෙලක් ලෙස හඳුන්වා දෙමින් වැරදි ප‍්‍රචාරයක් ගෙන ගිය අතර සිංහල බහුතරයක් තුළද එම මතය තහවුරු වී පැවතුනි.  මෙම උළෙලට සහභාගි වූ කාර්තිගේසු ශිවතම්බි, මහාචාර්ය සින්නයියා මෞනගුරු, සහ විල්වරත්නම් වැනි උතුරේ සහ නැගෙනහිර කලා කරුවන් ‘‘දිවයින’’ පුවත්පත මගින් හඳුන්වා තිබුනේ කොටින් ලෙසය.  මේ සියළු විකෘති කිරීම් මධ්‍යයේ පවත්වන ලද මෙම කලා උළෙලට හෙළ උරුමයේ කඩාවැදීම සාර්ථක ලෙස පාලනය කරන්නට සහ උතුරු-නැගෙනහිර කලාකරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන්නට දකුණේ කණ්ඩායමට හැකි විය.  මෙම සිදුවීම කඩාවැදීමට උඩගෙඩි දුන් ජනමාධ්‍යවල කුහකත්වයට එරෙහිව කරණ ලද ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ නිසා ධර්මසිරි බණ්ඩාරනායක, අශෝක හඳගම සහ මා එම ජනමාධ්‍යවල ද්වේශසහගත ප‍්‍රහාරයන්ට, අපහාසයන්ට ලක්විය.  මෙම හැලහැප්පීම් මැද සාර්ථකව අවසන් වූ ‘‘සිහල-දෙමළ කලා උළෙල’’ උතුරු, දකුණු සහ නැගෙනහිර කලාකරුවන් අතර සම්බන්ධතා තව තවතවත් වර්ධනය කරන්නට හේතුවිය.

එම කලා උළෙලට පසුදින උදේ කොළඹ බිෂොප් විද්‍යාලයේදී මහාචාර්ය මෞනගුරුගේ මෙහෙයවීම යටතේ කූත්තු නාට්‍ය සම්ප‍්‍රදාය මුල් කොටගත් වැඩමුළුවක් පවත්වන ලදී.  එම වැඩමුළුව තුළින් 1950 දශකය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇසුරේ නාට්‍ය කලාවේ පෙරළිය ඇති වන අවධියේ ඊට අදාළව එම විශ්වවිද්‍යාලයේම නියැලී සිටි දමිළ ආචාර්යවරුන්ගේ සහ මෞනගුරු ඇතුළු එවකට එහි ශාස්ත‍්‍රග‍්‍රහණය කළ දමිළ සිසුන්ගේ භූමිකාවනුත් පිළිබඳව සහභාගි වූ සියල්ලන්ගේම සිත් සසල කරවන කදිම එළිදරව්වක් සිදුවිය.  මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ‘‘මනමේ’’ සහ ‘‘සිංහබාහු’’ නාට්‍ය නිර්මාණය කරන්නට පෙරාතුව දමිළ නාට්‍ය සම්ප‍්‍රදායයන් පිළිබඳව කළ හැදෑරීම්වලට මහාචාර්ය කෛලාසපති සහ මහාචාර්ය නිත්‍යානන්දන් ඇතුළු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමකාලීන දමිළ විද්වතුන් ඒ සඳහා සහයෝගය දක්වන ලද සැටිත්, ‘‘මනමේ’’ නාටකයට සමගාමීව මහාචාර්ය නිත්‍යානන්දන් විසින් ‘‘රාවනේශන්’’ නාටකය නිර්මාණය කළ සැටිත් ඒ සඳහා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් ගුරුහරුකම් ගත් සැටිත් මහාචාර්ය මෞනගුරු ආකර්ෂණීය ලෙස එළිදරව් කළේය.  මහාචාර්ය සරච්චන්ද්‍ර ‘‘සිංහබාහු’’ නාටකය කරණ කාලයේ තමන් නිතරම එහි පුහුණුවීම් නරඹන්නට ගිය බවත්, එහි සිංහයා ලෙස රඟපෑ මාක් ඇන්ටනි ප‍්‍රනාන්දු ඇතුළු එම නාට්‍ය කණ්ඩායමේ බොහෝ අය සමඟ තමන් සමීප ඇසුරක් පැවැත් වූ බවත්, ඉන්පසුව බොහෝ කාලයකින් තමන් මාක් ඇන්ටනි ප‍්‍රනානුදුව නොදුටු බවත් ප‍්‍රකාශ කරද්දී මාක් ඇන්ටනි මා අසළම වාඩිගෙන සිටියේය.  ඔහු මෙතැන සිටින බව මහාචාර්ය මෞනගුරුට මම පෙන්වා දුනිමි.  මේ මොහොතේ හැඟීම් බරව දැඩි ලෙස ඔවුන් එකිනෙකා වැළඳ ගත්තේ සියල්ලන්ගේම දෙනෙත් තෙත් කරවමිනි.

ඔහුගේ එම එළිදරව් කිරීම නිසා සිංහල, දමිළ හා මුස්ලිම් කලාකරුවන්ගේ සහජීවනාත්මක නිර්මාණකරණය පිළිබඳ බොහෝ මතකයන් මා තුළ අවදි කිරීමට සමත් විය.   අපේ රටේ සිංහල සංගීතයට හා ගීත කලාවට ඇත්තේ ශතවර්ෂයක තරම් කෙටි ඉතිහාසයකි.  එම කලාවන් බිහි වී වර්ධනය වූවේ දමිළ, මුස්ලිම් සහ සිංහල කලාකරුවන් එක්ව සිදුකළ නිරායාශ නිර්මාණාත්මක ව්‍යායාමයන් නිසාය.  නාට්‍ය කලාවද එවැනිමය.  සිංහල නාට්‍ය කලාවේ පියා ලෙස සළකන ජෝන් ද සිල්වාගේ නාට්‍යවල සෑම ජනවර්ගයකටම අයත් නළු නිළියන් විය.  බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ මිනර්වා නාට්‍ය කණ්ඩායම ඇතුඵ තවත් බොහෝ නාට්‍ය කණ්ඩායම්වල තිබුණේද එවැනිම සංයුතියකි.  මේ රටේ චිත‍්‍රපට කලාව දියුණු වූවේද එපරිද්දෙන්මය. ඒ කලාකරුවන් විසින් එම නිර්මාණ කි‍්‍රයාදාමයන් සිදු කරණ ලද්දේ රටේ සමාජ ඒකාබද්ධතාවයක් ගොඩනැගීමේ අභිලාෂයකින් නොවේ.  මෙම සමාජය තුළ සාමය, නිරායාශ සහජීවනය හා සංහිඳියාවක් පැවති නිසාය.  මෙම කි‍්‍රයාවලියේ අවසන් නිදර්ශනය දකින්නට ලැබෙන්නේ මහචාර්ය මෞනගුරු විසින් යට කී පරිදි විස්තර කරණ ලද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල හා දමිළ ආචාර්යවරුන් හා විද්‍යාර්ථීන්ගේ සාමූහික කි‍්‍රයාවලිය තුළිනි.  50 දශකයේ සිදු වූ ඒ මනස්කාන්ත සහජීවනාත්මක සංස්කෘතික කි‍්‍රයාවලිය පටු සිංහල ජාතිවාදී දේශපාලන හා සමාජ ව්‍යාපාරයන් විසින් දමිළ ජනතාවට එරෙහිව සිදු කළ අසාධාරණයන් හා කුරිරුකම් නිසා එම දශකය තුළම වියැකී යන්නට හේතුවිය.  ක‍්‍රමික දෙකඩ වීම ආරම්භ වූවේ එම දශකයේය.  1952 ඉන්දීය සම්භවයක් ඇති දමිළ ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමත්, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමත්, 1956 දමිළ ජනතාවට එරෙහිව එල්ල කළ ප‍්‍රහාරයත් මීට තදින්ම බලපෑවේය.

මහාචාර්ය මෞනගුරු සමඟ මගේ සබඳතාව තවත් වර්ධනය වූවේ 2004 වර්ෂයේ ජනකරළිය සහ බහුවාර්ගික නාට්‍ය කණ්ඩායම ආරම්භ කිරීමත් සමඟය.  නාට්‍ය ආයතනයක් ලෙස ආරම්භ කළ ජනකරළියේ උපදේශකවරයෙකු ලෙස ඔහුගේ සහාය හැමවිටම ඉතා ලෙන්ගතුකමින් යුතුව අපට ලබා දුන්නේය.  ජනකරළිය නාට්‍ය නිර්මාණ අවංකවම අගය කළේය.  එහි සුවිශේෂත්වය හැමවිටම තම සිසුන්ට වටහා දුන්නේය.  මුලින්ම අනුරාධපුරයෙන් ආරම්භ කළ ජනකරළිය සංචාරයේ දෙවැනි ඉසව්ව වූ පොළොන්නරුවේදී ජනකරළිය ජංගම රඟහල තුළ පවත්වන ලද නාට්‍ය උත්සවය නැරඹීම සඳහා ඔහු මඩකලපුවේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ සිසුන්ද සමඟ සහභාගි විය.  එදා රඟදැක්වූ ‘‘චරන්දාස්’’ නාට්‍ය දර්ශනයෙන් පසුව ඒ පිළිබඳව සිසුන් සමඟ දීර්ග සංවාදයක් පවත්වන්නට ඔහු ඉඩහසර විවර කළේය.  ඉන්පසු 2009 දී ඔහු එම සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේම තවත් සිසුන් කණ්ඩායමක් සමඟ එවකට අතුරුගිරියේ පවත්වාගෙන ගිය ජනකරළිය මධ්‍යන්ථානයට පැමිණියේය.  උදේ ආහාරය ගත් මොහොතේ සිට සවස තේ පානය කරණ මොහොත දක්වා සිංහල යාතුකර්ම සහ බලයාග පිළිබඳව කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලයනල් බෙන්තරගේ විසින් පවත්වන ලද ආදර්ශ නිරූපණ වැඩසටහනක් සහ ජනකරළිය ශිල්පීන් සහ මහාචාර්ය මෞනගුරුගේ සිසුන් විසින් සාමූහිකව පවතවන ලද රංගනයන් මගින් දැනුම බෙදාහදාගැනීමේ කදිම අවකාශයක් එදින නිර්මාණය විය.  මෙම අවස්ථාවට කලාව හා සංස්කෘතිය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ රචකයෙක්, නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, සංස්කෘතික විචාරකයෙක් සහ ග‍්‍රන්ථ කර්තෘවරයෙක් වන නවදිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ රංගකලා සහ රංගන අධ්‍යයන අංශයේ (Theatre and Performance Studies) මහාචාර්ය රෂ්ටම් බරුෂා මහතා (Rustom Bharucha) සහ කොළඹ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ජගත් වීරසිංහ මහතාද සහභාගි වීම නිසා එම දිනය වඩාත් ආලෝකමත් විය.

මහාචාර්ය මෞනගුරු අපට වැදගත් වන්නේ ඔහු තවත් එක් දමිළ නාට්‍ය කලාකරුවෙකු සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු නිසා නොවේ.  වාර්ගිකත්වය අපට අබමල් රේණුවක් තරම්වත් වටිනා දෙයක් නොවේ.  අපට ඔහු වටින්නේ ඔහු තවත් මිනිසෙක්, වැඩිහිටි කලාකරුවෙක් සහ විචාර බුද්ධියක් ඇති නිහතමානී විද්වතෙක් නිසයි.  අපට වඩා යමක් දන්නා, ගුරුහරුකම් ගතහැකි වැඩිහිටියෙක් නිසයි.  මහාචාර්ය සරච්චන්ද්‍ර සහ ආචාර්ය කුලන්දෙයි ෂන්මුගලිංගම් වැනිම ශී‍්‍ර ලාංකේය කලාකරුවෙකු නිසයි.  ඔහු දමිළ නාට්‍ය සම්ප‍්‍රදාය ගුරු කොට ගනිමින් නාට්‍ය නිර්මාණය කරණ නමුත් ඔහු සම්ප‍්‍රදාය මත පොලිස් මුරකුටි සාදාගෙන සම්ප‍්‍රදායටම වහල් වන්නැයි තම ගෝලබාලයින්ට අණපනත් පනවාගෙන වියැකී යන සම්ප‍්‍රදායක කන්‍යාභාවය ආරක්ෂා කරන්නට වළිකන්නෙක්ද නොවේ.  ඔහු සම්ප‍්‍රදාය ඉවහල් කර ගනිමින් නාට්‍ය කලාවේ නව ප‍්‍රවේශයන් සොයන්නට උත්සාහ දරන්නෙකි. නිර්මාණය කුමන සම්ප‍්‍රදායකට හෝ ශෛලියකට අයත් වුවත් එහි කිසියම් අගයක් ඇත්නම් සිත තුළ කුහක කම් නැතිව අවංකව එ් බව ප‍්‍රකාශ කරන්නෙකි.  අවංකව හොඳ නරක පෙන්වා දෙන්නෙකි.  ගුරුවරයෙකුද වන කලාකරුවෙකුගේ උසස් ගුණය එයයි.  එම මහත්මා ගුණය ආචාර්ය කුලන්දෙයි ෂන්මුගලිංගම් තුළ මෙන්ම මහාචාර්ය මෞනගුරු තුළද මා දැක තිබෙන ලක්ෂණයකි.

මහාචාර්ය මෞනගුරු තුළ තිබෙන එම නම්‍යශීලී ගුණය මා දුටුවේ ඔහුගේද සහභාගිත්වය ලබා ගනිමින් මඩකලපුවේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයනයේ සිසුන් සමඟ 2014 දී ‘‘මෘච්ඡුකටීහම්’’ නාට්‍යය නිර්මාණය කරණවිටය.  ‘‘මෘච්ඡුකටීහම්’’ කි‍්‍ර.ව. 400 දී පමණ ශුද්‍රක නමැති ක්ෂතී‍්‍රය රජෙකු විසින් ලියන ලදැයි කියැවෙන ‘‘මෘච්කටිකා’’ නමින් හැඳින් වූ සංස්කෘත නාට්‍යයේ දමිළ පරිවර්තනයයි.  එම සංස්කෘත නාට්‍යය 1933 දී මහාමහෝපද්යාය පණ්ඩිතමානී කතිරේසචෙට්ටියාර් නමැති විද්වතෙකු විසින් ‘‘මනිහල් සිරු තෙර්’’ නමින් දමිළ භාෂාවට පරිවර්තනය කරණ ලදුව ස්වාමි විපුලානන්ද නමැති ශී‍්‍ර ලාංකේය පඬිවරයා විසින් ඊට පෙරවදනද ලියා ඇත.  ඉන්පසු 1952 දී නවලියූර් නඩරාසා අරුනාචලම් නමැති තවත් විද්වතෙකු විසින් ‘‘කලිමන් වන්ඩි’’ නමින් නැවත වරක් දමිළ භාෂාවට නගා තිබුණි.  සංස්කෘත නාට්‍ය අතරින් යුරෝපීය නාට්‍යකරුවන් හා නාට්‍ය කලාව පිළිබඳ ගවේෂකයින් විශේෂයෙන් කැමැත්තක් දක්වන්නාවූද, අනෙකුත් සංස්කෘත නාට්‍යවලට වඩා වෙනස් වූ නාටකීය (dramatic) හා රංගමය (theatrical) ගුණයෙන් පොහොසත්වූද නාට්‍යයක් ලෙස මෙම නාට්‍යය සළකනු ලබන බව මහා ඉන්දීය පඬිවරයෙකු වූ මහාචාර්ය එ්.එල්.බෂාම් ඔහු විසින් ලියා පළ කළ ‘‘අසිරිමත් ඉන්දියාව’’ (The Wonder That was India) පොතේ සඳහන් කර ඇත.  1850 වර්ෂයේදී එම නාට්‍යය ජෙරාඞ් ඩි නර්වාල් සහ ජෝශප් මේරිස් නමැති ප‍්‍රංශ නාට්‍යකරුවන් දෙදෙනා විසින් ‘‘චැරියට් ඩි ඉන්ෆන්ට්’’ නමින් ප‍්‍රංශ බසට පරිවර්තනය කරණ ලදුව පැරිස් නගරයේ කොමෙඩි ප‍්‍රන්සියස් රඟහලේ ප‍්‍රථම වතාවට රංගගත කරණ ලදී.  නැවත එහි අනුවර්තන නිෂ්පාදනයක් ‘‘චැරියට් ඩි ටෙරේ කුයිටේ’’ නමින් වික්ටර් බරුකන්ඞ් නමැති ප‍්‍රංශ නාට්‍යකරුවා විසින් පැරිසියේ ‘‘තියෙටර් ඩි ඉසෙයුරේ’’ රඟහලේදී 1895 දී රඟදක්වා ඇත.  නැවත 1924 වර්ෂයේදී ආතර් විලියම් රයිඩර් නමැති අමෙරිකානු විද්වතෙකු විසින් ‘‘ලිට්ල් ක්ලේ කාට්’’ නමින් ඉංගී‍්‍රසි බසට පරිවර්තනය කරණ ලද අතර ඇගනස් මෝගන් සහ අයිරින් ලෙවිසෝන් යන අධ්‍යක්ෂවරියන් දෙදෙනා විසින් නිෂ්පාදනය කර නිව්යෝක්හි නේබර්හුඞ් රඟහලේ රංගගත කරණ ලදී.  මෙම නාට්‍යයේ ජර්මන් නිෂ්පාදන දෙකක් වරින් වර 1928 දී සහ 1932 දී බර්ලින් සහ බොන් නගරවල රඟදක්වා ඇත.  එලෙස යුරෝපයේ හෝ අමෙරිකාවේ ප‍්‍රථම වරට රඟදක්වා තිබෙන සංස්කෘත නාට්‍ය ‘‘මෘච්ඡුකටිකා’’ බවට සාක්ෂි තිබෙන නිසා බෂාම් කොතරම් නිවැරැදිදැයි අපට පෙණීයයි.  මහාචාර්ය පි‍්‍රට්ස් බෙනුවිට්ස් නමැති ජර්මන් නාට්‍ය අධ්‍යක්ෂවරයා බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ රංගක‍්‍රමය පිළිබඳ විශාරදයෙකි.  ඔහු 80 දශකයේදී කිහිපවරක් ලංකාවට පැමිණ නාට්‍ය ශිල්පීන් පුහුණු කළ අතර බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය කිහිපයක්ම සිංහල භාෂාවෙන් නිෂ්පාදනය කළ අයෙකි.  ඔහු බ්‍රෙෂ්ට් ජීවත්ව සිටි කාලයේ ඔහුගේ සහාය අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇත.  බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් චීන, ජපන් සහ ඉන්දීය නාට්‍ය සම්ප‍්‍රදායයන් හැදෑරූ බව පුන පුනා පැවසූ දෙයකි.  මේ බව බ්‍රෙෂ්ට් පිළිබඳ සාහිත්‍යයේ සඳහන්වද තිබේ.  බ්‍රෙෂ්ට් නිත්‍ය වශයෙන්ම ‘‘මෘච්චකටිකා’’ සංස්කෘත නාට්‍යය හදාරා හෝ කියවා තිබුන බව පෙණී යන්නේ ඔහුගේ ‘‘කොකේසියන් චෝක් සර්කල්’’ නාට්‍යය ඇතු`ඵ තවත් නාට්‍ය කිහිපයකම ජවනිකා පෙලගස්වා ඇති ආකාරය ‘‘මෘච්ඡුකටිකා’‘ නාට්‍යයේ ජවනිකා පෙළගස්වා තිබෙන ආකාරයට අතිශයින් සමාන වන නිසාය.  බ්‍රෙෂ්ට් විසින් හඳුන්වා දුන් එපික් රංග වින්‍යාස ක‍්‍රමවේදයෙහි මුල් ලක්ෂණ ශුද්‍රක විසින් ‘‘මෘච්ඡුකටිකා’’ රචනය වින්‍යාසගත කර ඇති ආකාරය මතුපිටින් පවා නිරීක්ෂණය කිරීමෙන්  හඳුනා ගතහැකිය.  එම නාට්‍යය ‘‘මැටි කරත්තය’‘ නමින් මා විසින් සිංහල භාෂාවෙන්ද නිෂ්පාදනය කර තිබීම තවත් විශේෂ සිද්ධියක් වූ අතර ඊට 2013 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම ස්වීය නාට්‍යය ඇතළු සම්මාන 5 ක්ම දිනාගෙන තිබුණි.

අපට ඉතාමත්ම සමීප ඉන්දීය සම්ප‍්‍රදාය තුළින් බිහිවූ එම නාට්‍යය භාවිතා කරමින් මඩකලපුවේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නාට්‍ය කලාව පිළිබඳ න්‍යායාත්මක හා ප‍්‍රායෝගික දැනුම වර්ධනය කිරීමට හේතුවන අධ්‍යාපන කාර්යයක් ලෙස එම නාට්‍යය නිර්මාණය කරමුයැයි මා විසින් යෝජනා කළවිට මහාචාර්ය මෞනගුරු ඉතා සතුටට පත්විය.  එම නාට්‍යය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියා-ශී‍්‍ර ලංකා පදනම සහ නෙදර්ලන්තයේ ‘‘හිවෝස්’’ ආයතනය ඔස්සේ  ජනකරළිය විසින් ප‍්‍රතිපාදන සපයාගත් අතර ඒ සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ ලිඛිත අනුමැතියද ලබා ගන්නා ලදී.  2011 එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කරණ ලද අතර සිසුන්ට පුහුණුවීම් සඳහා දායක වියහැකි දින තෝරාගෙන වරින් වර නාට්‍ය පුහුණුවීම් කර 2012 පෙබරවාරි 16 සහ 17 දිනවල විපුලානන්ද අධ්‍යාපන ආයතනයේ රංග ශාලාවේ සාර්ථක ලෙස මංගල දර්ශන පවත්වන ලදී.  ඉන්පසු 2012 අපේ‍්‍රල් 29 වැනි දින කොළඹ ලයනල් වෙන්ඞ් රඟහලේදී පවත්වන ලද දර්ශනයට එවකට ඉන්දීය මහා කොමසාරිස් අශෝක් කාන්තා මැතිතුමා සහ උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක මහතාද, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාද සහභාගි විය.

මෙම නාට්‍යයේ විධායක අධ්‍යක්ෂවරයා වශයෙන් මහාචාර්ය මෞනගුරු විශාල කාර්යභාරයක් ඉටු කළ අතර විපුලානන්ද ආයතනයේ සිසුන් පුහුණු කිරීමේදී සහ නාට්‍යය පුහුණු කිරීමේදී මට සහාය වූ ජනකරළිය ශිල්පීන් හට ඔහුගෙන් ලද සුහදශීලී සහයෝගය අප සියල්ලන්ම දිරි ගන්වන්නට හේතුවිය.  ඔහු ආයතනයේ සිසුන් අතර ඉතා ජනපි‍්‍රය චරිතයක් විය.  එමෙන්ම, සියළුම සිසුන් ඔහුට දැක්වූ බිය මුසු ගෞරවය නිසා නිෂ්පාදන කාර්යය නිම වන තුරු සිසුන් රඳවා ගැනීමට පහසුවක් විය.  එම නාට්‍යය නිෂ්පාදනය කිරීම සහෝදරත්වයෙන් වගකීම් බෙදාගෙන සියල්ලන් විසින් සාමූහිකව ඉටු කරණ ලද කාර්යයක් විය.  ඊට අවශ්‍ය පරිසරය සකසා දුන්නේ මහාචාර්ය මෞනගුරුය.  නාට්‍ය දර්ශන 3 කට පමණක් සීමා වූ ‘‘මෘච්චකටීහම්’’ ආන්දෝලනයක් ඇති කළ නාට්‍යයක් විය.  එම ආන්දෝලනය මත මේ පිළිබඳව dbsjeyaraj.com වෙබ් සඟරාවේ දීර්ග විවාදයක්ද ඇතිවිය (වැඩි විස්තර මෙතැනින්)

පරාක‍්‍රම නිරිඇල්ල

ශී‍්‍ර ලංකාවේ නාට්‍යවේදී

janakaraliya@gmail.com

Advertisements