the broken stupa

වසර ගණනක් අප නියෝජනය කරනා මතවාදී කඳවුරේ – ‘කඳවුර’ යන්න මෙහිදී මා යොදා ගන්නේ සැබෑ පැවැත්මක් ලෙස නොව වියහැකි පැවැත්මක් ලෙසයි – අනුරාගික ප්‍රශ්න විචාරකයෙකු ව සිටිනා චරිත කාරියවසම් විසින්, කළකට පෙර මා අතින් ලියවූ ලිපියකට (එම ලිපිය මෙතැනින්), ප්‍රතිචාරයක් දක්වා තිබේ (චරිත ගේ ප්‍රතිචාරය මෙතැනින්). කරුණු හතරක් යටතේ ගොණු කර ඇති මෙම ප්‍රතිචාරය තුළ, මාගේ අදහසේ හැටියට, වැදගත්ම දාර්ශනික අඩංගුව තිබෙන්නේ ඔහු මතු කරන හතරවැනි කරුණ තුළයි. මෙයට හේතුව වන්නේ – චරිත දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ – මෙහිදී මතු කරනා මූලික තර්කය, එක්තරා අර්ථයකින් දාර්ශනික නූතනත්වයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස නම් කළ හැකි වීමයි. ජෝජ් බාක්ලී නම් අයර්ලන්ත ජාතික චින්තකයා විසින් දහඅටවන සියවසේ ආරම්භයේදී සූත්‍රගත කළ මෙම තර්කය යථාර්ථවාදය සහ භෞතිකවාදය පිළිබඳව එතෙක් තිබුණු සාමාන්‍ය අවබෝධය තීරණාත්මක ලෙස අවසන් කළ මොහොත ලෙස අපට හඳුනාගැනීමට හැකි වේ. නමුත් අප එම ඉතිහාසය පිළිබඳව ප්‍රශ්නය වෙත ඇතුල් වීම වෙනුවට බාක්ලී ගේ අදහස වෙත පමණක් දැනට සීමා වෙමු. මේ සම්බන්ධයෙන්නම් චරිත කාරියවසම් ගේ පැහැදිළිකිරීම සම්බන්ධයෙන් අපට මුළුමනින් එකඟ වීමට හැකි වේ. හරය වශයෙන් ගත්විට එමගින් අපට කියා සිටින්නේ මානසික ලෝකයෙන් පරිබාහිරත්වයක් පිළිබඳව සිතීම – එය සිතීමක් වන නිසාම – එය අපගේ මානසික ලෝකයේ අභ්‍යන්තරත්වයට සීමා වීම පමණක් වන බවයි. නැතිනම්, චරිත ව උපුටා දක්වන්නේනම්:

“ප්‍රශ්නේ තියෙන්නේ මනසට පිටක් ගැන හිතනකොටම එතන පරස්පරයක් වෙන එකයි. මොකද පිට කියන එකත් මනසේම සංකල්පයක් වෙන එකයි. මනසින් පිට කියන එකත් නැවතත් මනසින්ම තනා ගැනෙනා සංකල්පයක්! මනසේ පිටත් මනසේ ඇතුලෙමයි තියෙන්නේ! ඒකයි මෙතන තියෙන විසංවාදෙ”

වෙනත් ආකාරයකට කියන්නේනම්, කෙනෙක් තමන්ගේ මානසික ලෝකය සහ එම ලෝකයෙන් බාහිර සැබෑ ලෝකය යනුවෙන් ලෝකය කොටස් දෙකකට බෙදීම සිදු කරන්නේම බුද්ධිමය මෙහෙයුමක් ලෙස වන අතර එනිසා එය අයත් වන්නේ අපගේ මානසික ක්‍රියාකාරම් වෙත මිස එයින් පරිබාහිරත්වයකට නොවේ. මනසින් බාහිර ලෝකය පිළිබඳව කුමන හෝ ආකාරයේ දෙයක් ප්‍රකාශ කරනා කෙනෙක් සිදු කරන්නේ අවිසංවාදී නියමය උල්ලංගණය කිරීම බව අපට පැවසිය හැකි හේතුව මෙයයි. මන්ද, නැවතත්, ‘බාහිර ලෝකය’ යන්නද අදහසක් වන නිසා එය අපගේ අනෙකුත් අදහස් අයත් වන තැනින් පැන නැගෙන්නක් වනවා මිස එයින් විනිර්මුක්ත වූවක් වන්නේ නැත. එනිසා, විසංවාදයකින් තොරව, කිසිවෙකු හට මනසින් පරිබාහිරත්වය පිළිබඳව සිතීමට නොහැකි වේ.

චරිත විසින් මෙහිදී – නිවැරදි ලෙස – සූත්‍රගත කර තිබෙන නූතන දර්ශනයේ මෙම අතිමූලික තර්කය වෙත ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද? මාගේ අවබෝධයේ හැටියට කෙනෙකු හට මෙම තර්කයට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍යනම් – සහ මෙම තර්කය මග හැර යාමට, එය වැදගත් තර්කයක් ලෙස බාර නොගෙන සිටීමට, අවශ්‍ය නොවේනම් – මේ සඳහා තිබෙනා එකම ක්‍රමවේදය රැඳී තිබෙන්නේ ‘කරුණුමයභාවය’ (‘facticity’) නම් අදහස තුළයි. හැකිතාක් සංක්ෂිප්ත ලෙස අපි මෙහි මූලික අර්ථය පැහැදිළි කර ගනිමු.

පවතිනවා කියා අපට සිතෙනා ඕනෑම ආකාරයක පැවැත්මක්, එක් හෝ තවත් ආකාරයකට හෝ, අපගේ මානසික ලෝකයක් සමග බැඳී ඇති බව වටහා ගැනීම, ඉහත තර්කය අනුව, අපහසු නොවේ. නමුත් මේ ආකාරයට පවත්නා බොහෝ දේ, අපගේ මානසික ලෝකය තුළම වුවත්, වෙනත් ආකාරයකට පැවතීම – වෙනස්වීම – අපට සිතා ගත හැකි තලයට අයත් වන්නක් වේ. නිදර්ශනයක් ලෙස ‘පුටුව’ යනුවෙන් මා හඳුනා ගන්නා දෙය වෙනත් ආකාරයකට පැවැත්ම අපට සිතා ගත හැකි දෙයකි. එම පුටුව නිශ්චිත ආකාරයකට – වඩු කාර්මිකයෙක් හෝ ස්ථාපන ශිල්පියෙක් හෝ අතින් – නිෂ්පාදනය වී තිබේ. එය නිෂ්පාදනය නොවී, එහි අමුද්‍රව්‍ය වෙන වෙනම පැවතීම අපට මුළුමනින් සිතා ගත හැක්කකි. එමෙන්ම, පුටුව කැඩී බිඳී ගොස්, පුටුවක් නොවන දෙයක් – ලී කෑලි ගොඩක්, දිරාපත් වූ කුෂන් කොටස් කීපයක් – බවට පත්වීමද අපට සිතා ගැනීම කිසිදු අපහසුවක් නොමැත. එම අර්ථයෙන් ගත්විට පුටුවේ පැවැත්ම – එසේත් නැතිනම්, පුටුවට තිබෙනවා කියා සිතෙනා පැවැත්ම – ආපතික (contingent) වන්නක් බව පැහැදිළි වෙයි. එහි ඇති වීම සහ නැති වීම වියහැකි වන අතර එම වියහැකිබව අපට – අපගේ මානසික ලෝකයට සාපේක්ෂව – තේරුම් ගැනීමට හැකි වේ.

මෙම ප්‍රශ්නය අප ‘පුටුව’ වෙනුවට ‘මනස’ යනුවෙන් නම් කරනා දෙය වෙත අදාළ කරගත හොත් අපට කිව හැක්කේ කුමක්ද? ඉතාම පැහැදිළි දෙය වන්නේ ‘මනස’ වෙනත් ආකාරයකට පැවතීම අපට සිතා ගත නොහැකි බවයි. මෙයට හේතුව වන්නේ, චරිත ගේ තර්කය මගින් පැහැදිළි වන පරිදිම, අපට ඕනෑම දෙයක් තේරුම් ගැනීම සඳහා එය අපගේ මානසික ලෝකය හා සම්බන්ධ වීම අනිවාර්ය වීමයි. මනසේ මැදිහත්වීම නොමැති මොහොතකදී ‘තේරුම් ගන්නවා’ යන්නෙහි අර්ථයක් නොමැති වෙයි. එනිසා මගේ මානසික ලෝකයේ රැඩිකල් අනේකත්වය යන්න අපට තේරුම්ගත හැකි දෙයක් නොවේ. අපට කිව හැකි එකම දෙය වන්නේ මෙම රැඩිකල් අනේකත්වය යන්නද මගේ මනස තුළ තිබෙන්නක් වන හෙයින් එය කිසි සේත්ම රැඩිකල් අනේකත්වයක් නොවන බව පමණි.

නමුත්, දැන්, අපට මගහැරිය නොහැකි ලෙස අලුත් ප්‍රශ්නයක් අභිමුඛ වෙයි: මාගේ මානසික ලෝකය මේ ආකාරයට පැවතීම සඳහා හේතුවක් අපට දැක්විය හැකිද? වෙනත් ආකාරයකට කියන්නේනම්, මගේ මානසික ලෝකයේ පැවැත්ම අනිවාර්යය (necessary) වන්නක්ද?

මේ සඳහා ඇති එකම තාර්කික පිළිතුර වන්නේ ‘නැත’ යන්නයි. අපගේ මානසික ලෝකයේ රැඩිකල් අනේකත්වය යනු කුමක්ද කියා අපට සිතා ගැනීම කළ නොහැකි වුවත් එය මේ ආකාරයටම පැවතීම අනිවාර්ය වන්නක් කියා අපට පැවසිය නොහැක. අපට කිව හැක්කේ, කරුණක් ලෙස (as a fact), අප මේ ආකාරයේ මානසික පැවැත්මක සිටිනා බව පමණි. අවම වශයෙන්, අපට මේ සඳහා තාර්කික පිළිතුරක් ගොණු කිරීමට අවශ්‍ය වන්නේනම්, අපට කිව හැක්කේ අපගේ මානසික ලෝකයේ පැවැත්ම, කරුණක් ලෙස නිවැරදි වන බවයි. නමුත්, කරුණක් ලෙස මෙය නිවැරදි බව පැවසිය හැකි වුවත් අප ට මෙම පැවැත්ම සඳහා අනිවාර්ය හේතුවක් ඉදිරිපත් කිරීමට නොහැකි වේ. අපට කිව හැක්කේ, අප ගේ අතීත මතකය දිගේ කොතරම් පසුපසට ගමන් කළද මේ ආකාරයට, පරිබාහිරත්වයක් පෙන්විය නොහැකි, මානසික ලෝකයක අප සිටිනා බව පමණි. අප මේ ආකාරයට පවතින්නේ ඇයිද යන්න මෙන්ම අප මේ ආකාරයට අකණ්ඩව පවතිනු ඇතිද යන්නද අපට බුද්ධියෙන් ග්‍රහණය කරගත නොහැකි බවයි. අපගේ පැවැත්මේ ආරම්භක හේතුව මෙන්ම එහි අනාගතය කුමක් ද යන්නත් සඳහා අපට තාර්කික අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි වේ.

අපගේ වර්තමාන පැවැත්ම – මානසික ලෝකයක් ලෙස ඇති අපගේ පැවැත්ම – කරුණක් ලෙස නිවැරදි වනවා යන්නෙහි අර්ථය වන්නේ මෙයයි. මෙයින් අදහස් කරන්නේ මෙය පරම ලෙස නිවැරදි වන්නේද, නැතිද කියනා ප්‍රශ්නය සඳහා පිළිතුරක් ලබා දීමට අපගේ ඇති අපොහොසත් බවයි. මේ අපොහොසත්බව සඳහා තිබෙනා මූලික හේතුව වන්නේ අප මෙම පැවැත්ම වෙත පැමිණීම මෙන්ම මෙහි අනාගතය කුමන ආකාරයක් ගන්නෙහිද යන කරුණු සම්බන්ධයෙන් අපගේ ඇති නොදැනුවත් බවයි. ඒ සම්බන්ධයෙන් අපට ඇත්තේ රැඩිකල් නොදැනුමකි. මෙම අපොහොසත්බව, මෙම නොදැනුමත්බව තවදුරටත් ඉදිරියට ගෙන ගිය විට අපට ඒ ඇසුරින් පැමිණි හැකි නිගමනය වන්නේ කුමක්ද? ඒ තමයි අපගේ වර්තමාන මානසික ලෝකයෙන් රැඩිකල් ලෙස වෙනත් දෙයක් බවට අපගේ පැවැත්ම පත්වීම අපට තාර්කිකව ප්‍රතික්ෂේප කළ නොහැකි වීම.

එම වියහැකිබව කුමක්ද කියා මට සිතා ගැනීමට නොහැකි බව සත්‍යයකි – මන්ද, චරිත නිවැරදිව කියා ඇති පරිදි, ‘මනසින් පිට කියන එකත් නැවතත් මනසින්ම තනා ගැනෙන සංකල්පයක්’ පමණි. නමුත් එවැන්නක පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම සඳහා පරම වූ හේතුවක් මට ඉදිරිපත් කිරීමට නොහැකි වේ. එවැනි ප්‍රතික්ෂේප කිරීමක් කළ හැකි එකම ආකාරය වන්නේ අපගේ මානසික ලෝකයේ පැවැත්ම යනු හුදු කරුණක් ලෙස පිළිගත යුතු දෙයක් පමණක් නොව අනිවාර්යය ලෙස පවතින්නක් බව ද පෙන්වා දීමයි. වෙනත් ආකාරයකට කියන්නේනම්, එවැනි කෙනෙක් පෙන්වා දිය යුතු වන්නේ මාගේ නොපැවැත්ම, වියනොහැකි දෙයක් බවයි. මේ සඳහා මාගේ මානසික ලෝකය මේ ආකාරයටම පැවැත්ම සඳහා පදනමක්, ආරම්භක හේතුවක් පෙන්වා දිය යුතු වේ.

එවැනි පෙන්වා දීමක් කළ නොහැකි තත්වයක් තුළදී අපට පැමිණිය හැකි එකම නිගමනය වන්නේ අපගේ මානසික ලෝකයෙන් රැඩිකල් ලෙස කණ්ඩනය වූ අනේකත්වයක වියහැකිබව ප්‍රතික්ෂේප කිරීමේ නොහැකියාව පිළිගැනීම පමණි. දැන්, මෙම නිගමනය නලින් ද සිල්වා ගේ අදහස් සමග – සහ, අප පසුව හඳුනා ගන්නා පරිදි, චරිත ගේම අදහස් සමග – සංසන්ධනය කළ විට අපට නිරීක්ෂණය කළ හැක්කේ කුමක්ද? ඒ තමයි නලින් ද සිල්වා මේ කරුණේදී ඉහත ආකාරයේ රැඩිකල් අනේකත්වයක් ප්‍රතික්ෂේප නොකරනා බව පමණක් නොව එය ඔහුගේ මනස පිළිබඳ ප්‍රවාදයේ කේන්ද්‍රීය අදහසක් වීම. ‘නිවන’ පිළිබඳව ඔහුගේ සංවාදය තුළින් අපට හමුවන්නේ එයයි. නිදර්ශනයක් ලෙස, ඉතාම මෑතකදී ලියූ රචනයකින් උපුටා දක්වන්නේනම්, නලින් ද සිල්වාට අනුව “සිංහල බෞද්ධ ජාතික චින්තනය පදනම් වෙන්නේ නිවන මත. ඒකෙන් කියන්නේ නිවන කියලා දෙයක්, තැනක්, සංකල්පයක්, දැනුමක් තියෙනවා කියන එක නොවේ. මේ නොදැනුම තමයි අපේ පදනම” (මූලාශ්‍රය මෙතැනින්). අපගේ මානසික ලෝකයෙන් රැඩිකල් ලෙස කණ්ඩනය වූ අනේකත්වයක් යනුවෙන් මා අදහස් කළේ මෙවැන්නකි. එය, චරිත විසින් ඉහතින් සූත්‍රගත කරන ලද තර්කය අනුව, අපට කිසිදා පෙන්වා දිය හැකි දෙයක් නොවන බව පැහැදිළි වේ. එම අර්ථයෙන් ගත්විට එය නොදැනුමකි. නමුත්, මෙය නොදැනුමක් වූ පමණින්, එහි වියහැකිබව ප්‍රතික්ෂේප කිරීමට අපට හැකි වන්නේ නැත. මන්ද, මෙය ප්‍රතික්ෂේප කිරීම සඳහා අපගේ මානසික ලෝකයේ පැවැත්ම සඳහා පරම හේතුවක් – අනිවාර්යතාවයක් – ලබා දීමට අපට සිදු වේ. නමුත් මෙය කළ නොහැකි බවත්, ඒ වෙනුවට අපට කළ හැක්කේ එම ලෝකයේ කරුණුමයභාවය හඳුනාගැනීම පමණක් බව ඉහතින් පෙන්වා දී තිබේ.

නමුත්, දැන් ඇති වන ගැටලුව වන්නේ මේ ආකාරයට අපගේ මානසික ලෝකයේ රැඩිකල් අනේකත්වය ලෙස ‘නිවන’ පමණක් පිළිගැනීමට අපට හේතුවක් තිබේද යන්නයි. මාගේ අදහසේ හැටියට නලින් ද සිල්වා ගේ ප්‍රවාදයේ දුර්වලම ලක්ෂ්‍යය අපට හමු වන්නේ මෙම කරුණෙහිදීය. එයට හේතුව කුමක්ද කියා සිතා ගැනීමද කිසි සේත් අපහසු නොවේ. මේ කළාපය තුළදී කෙනෙක් තවදුරටත් සිටින්නේ තර්කබුද්ධියේ අවකාශය තුළ නොව භක්තියේ අවකාශය තුළයි.

මේ සම්බන්ධයෙන් නලින් ද සිල්වා ගේ අදහස අපට මෙලෙස සාරාංශ කළ හැකි වේ. අප මේ ආකාරයේ මානසික ලෝකයක් තුළ පැවතීමට හේතුව වන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන්න අපට අවබෝධ නොවීම යන්නයි. නිවන් දකිනවා යන්නෙන් අදහස් කරන්නේ මේ අනවබෝධය නැති කර, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රී ලක්ෂණය අවබෝධ කරගැනීමයි. අපගේ මානසික ලෝකය සත්‍ය වශයෙන්ම නොපවතින බව අවබෝධ වන්නේ ඒ අනුවයි. එහිදී සිදු වන්නේ අපගේ මනස යනුවෙන් දෙයක් නොමැති බව, එසේ නොමැති වන්නා වූ මනසින්ම දැකීමයි.

මෙම ප්‍රවාදයේ තිබෙනා සීමාව කුමක්ද? ඒ තමයි, ඉතාමත් සරල ලෙස, බෞද්ධාගමික භක්තියේ අවකාශයෙන් පරිබාහිරව, මේ අදහස පිළිගැනීම සඳහා හේතුවක් ඉදිරිපත් කිරීමේ පූර්ණ නොහැකියාව. තමන් පිළිගන්නා අදහස් වෙනුවෙන් විවෘතව පෙනී සිටීමේ අවංකබව ඉතාම හොඳින් තිබෙනා චින්තකයෙක් ලෙස – ඔහු අපගේ නොමද ගෞරවයට ලක් වන්නේ මෙම කැරුණේහිදීය – නලින් ද සිල්වා මෙම නොහැකියාව අපෙන් සඟවාලන්නේ නැත. නිදර්ශනයක් ලෙස මෙම උපුටා ගැනීම බලන්න:

“නැති මනස නැති මනසක් ලෙස අවබෝධ කරගැනීම නිවන් අවබෝධය යැයි සිතමි… නැති මනස නැති මනසක් ලෙස අවබෝධ කර ගන්නේ කෙසේද යන ප්‍රශ්නය ඊළඟට මතුවෙයි. එයට දිය හැකි පිළිතුර නම් ඒ නැති මනසින් ම අවබෝධ කළ යුතු ය යන්න ය. එහෙත් එසේ කරන්නේ කෙසේ දැයි මම නො දනිමි. පෘතග්ජනයකු ලෙස එයට වඩා යමක් මට කිව නොහැකිය” (මූලාශ්‍රය මෙතැනින්. අවධාරණය මගේ).

වෙනත් ආකාරයකට කියන්නේනම්, අපගේ මෙම මානසික ලෝකයෙන් රැඩිකල් ලෙස වෙනස් වූ අනේකත්වයක් වෙත සංක්‍රමණය වන ආකාරය හෝ එම අනේකත්වය අපට අවබෝධ වන ආකාරය හෝ සම්බන්ධයෙන් අපට ඇත්තේ පූර්ණ නොදැනුමකි. නමුත් මෙම නොදැනුම මත පමණක් පදනම් වී එවැන්නක වියහැකිබව අපට ප්‍රතික්ෂේප කිරීම කළ නොහැකි වනවා පමණක් නලින් ද සිල්වා ගේ ප්‍රවාදය තුළ මේ ආකාරයේ මානසික ලෝකයේ රැඩිකල් අනේකත්වයක් පිළිබඳ විශ්වාසයක් ද තිබේ. මක් නිසාද යත්, එවැනි ප්‍රතික්ෂේප කිරීමක් සඳහා අපගේ වර්තමාන මානසික ලෝකය සදාකාලික වන බව, එසේත් නැතිනම්, එය අනිවාර්යය වන බව පෙන්වා දිය යුතු වෙයි. නමුත් අප මේ වනවිටත් මෙය සිදු කළ නොහැකි දෙයක් බව පෙන්වා දී තිබේ. අපට කිව හැක්කේ මේ ආකාරයට අපගේ මානසික ලෝකයක් තුළ ‘මම’ ලෙස හඳුනා ගන්නා පැවැත්මක් තිබෙනා බවත්, එය මෙසේ තිබෙන්නේ ඇයිද හෝ එහි අනාගතය කුමක්ද යන්න හෝ අප නොදන්නා බව පමණි. එය පරිපූර්ණ ලෙස වෙනස් වීම – සමහර විට නොපැවත්මක් බවට පත්වීම – අපට ප්‍රතික්ෂේප කළ නොහැකි වන්නේ එම නිසාය.

නමුත්, ගැටලුව වන්නේ, මේ ආකාරයට අපගේ මානසික ලෝකයෙන් රැඩිකල් ලෙස විනිර්මුක්ත වූ අනේකත්වය ලෙස අපට ‘නිවන’ පමණක් හඳුනා ගැනීමට හේතුවක් නොමැති වීමයි. මේ කරුණේදී නලින් ද සිල්වා අර්ථකථනය කිරීම සම්බන්ධයෙන් චරිත සහ මා අතර ඇත්තේ අදහසක් දෙකක් කියා සිතමි. සිය ප්‍රතිචාරයේ පළමු කරුණ මගින් චරිත කියා සිටින්නේ නලින් ද සිල්වා ට අනුව පරමාර්ථ සත්‍යයන් යන්න එක් එක් දර්ශනයට සාපේක්ෂව පමණක් නිවැරදි ලෙස ගත හැකි වන බවයි. මේ සඳහා නිදර්ශන ලෙස ඔහු පෙන්වා දෙන්නේ මාධ්‍යමික දර්ශනය තුළ පරමාර්ථ සත්‍යය පිළිබඳව ඇති අදහස ශුන්‍යතාවය වන විට බුදු දහම තුළ එය නිවන වන බව “මගේ ලෝකය” කෘතියේ සඳහන් වීමයි.

සත්‍ය වශයෙන්ම මේ සම්බන්ධයෙන් – එනම් නලින් ද සිල්වා සඳහා වඩා නිවැරදි අර්ථකථනය තිබෙන්නේ කා හට ද යන්න සම්බන්ධයෙන් – විශාල විවාදයක් කිරීමට මට උනන්දුවක් නොමැති වේ. මෙයට හේතුව වන්නේ මෙම කරුණේදී චරිත ඉතා දුර්වල පොළොවක් මත සිටගෙන සිටිනා බව – මට සාපේක්ෂව – පැහැදිළි වන නිසාය. මාධ්‍යමික දර්ශනය යනු බුදු දහමින් මුළුමනින් වෙන් වූවක් නොව, ථේරවාද සම්ප්‍රදායෙන් පමණක් වෙන් වූවකි. නලින් ද සිල්වා ට අනුව, තවදුරටත්, නාගර්ජුනපාදයන් යනු බෞද්ධ සංස්කෘතියේ සඳහන් වන ප්‍රධානම දාර්ශනිකයා වෙයි. ඔහු අතින් ථේරවාදී සම්ප්‍රදායේ එන ස්වභාවය පිළිබඳ අදහස විවේචනය වීම නලින් ද සිල්වා ට අනුව නිවැරදි වන්නකි. එනිසා, මෙතැනදී තිබෙන්නේ දර්ශනයන් දෙකක් අතර ඇති පරමාර්ථ සත්‍යයන් දෙකක් පිළිබඳව ප්‍රශ්නයක් නොව එකම පරමාර්ථ සත්‍යයක් සඳහා – අවම වශයෙන් පෘතග්ජනයන් ලෙස – ලබා දිය හැකි වඩාත්ම නිවැරදි අර්ථකථනය කුමක්ද කියනා කරුණ සම්බන්ධයෙන් ඇති ප්‍රශ්නයකි (මේ සඳහා නලින් ද සිල්වා ගේ ‘සාපේක්ෂ සහ නිරපේක්ෂ පැවැත්ම’ යන ලිපිය බලන්න. පැරණි ‘කාලය’ වෙබ් අඩවිය අක්‍රිය වී ඇති නිසා අන්තර්ජාල සබැඳියක් ලබා දිය නොහැක. අවශ්‍ය කෙනෙකු හට PDF පිටපතක් ලබා දිය හැකිය).

නමුත් එය එසේ නොවේනම්, සහ චරිත ගේ අර්ථකථනය නිවැරදි වන්නේනම්, අපට පැමිණි හැකි නිගමනය වන්නේ කුමක්ද? ඒ තමයි බෞද්ධයනට ‘නිවන’ පරමාර්ථ සත්‍යයක් වන විට, කිතුණුවන්ට ‘ශුද්ධ වූ ත්‍රිත්වයද’, යුදෙව්වන් හට ‘යෙහෝවා’ ද, ඉස්ලාම් බැතිමතුනට ‘අල්ලා’ දෙවියන් ද, හින්දු බැතිමතුන්ට ‘බ්‍රාහ්මන්’ ද පරමාර්ථ සත්‍යය වන බවත් පිළිගැනීමට අපට සිදු වීම. එවිට, මේ අතරින් සෑම එකක්ම, ඒ ඒ දැනුම් පද්ධතීන් තුළ, පරමාර්ථ සත්‍යයන් වන අතර, ඒවා අතරින් එකක් පමණක් විශේෂයෙන් නිවැරදි වන බව පිළිගැනීමට අපට දාර්ශනික හේතුවක් නොමැති වේ. එසේත් නැතිනම්, මේ සඳහා අපට ලබා දිය හැකි එකම ‘හේතුව’ වන්නේ භක්තිය පමණකි. චරිත අපට යෝජනා කරන්නේ මෙයද? මේ සෑම ආකාරයකම අදහස්/විශ්වාස පද්ධතියක් මගින් අපගේ පැවැත්මේ අවසානය පිළිබඳව අදහසක් නියෝජනය කරයි. මේවා අතරින් එකක් පමණක් – එනම් බුදු දහමේ දැක්වෙන අවසානය පිළිබඳ අදහස – නිවැරදි වන බව අපට තර්ක බුද්ධිය ඇසුරින් දැන ගැනීමේ හැකියාවක් නොමැති වේ. එයට හේතුව වන්නේ අපගේ මානසික ලෝකයෙන් ‘එළියට ගොස්’ එහි රැඩිකල් අනේකත්වය වන්නේ මැවුම්කාරී දෙවි කෙනෙක් ද, සකලවිධ පැවැත්මේ අතුරුදහන් වීමද කියා අපට පරීක්ෂා කර බැලිය නොහැකි වීමයි. දැන්, චරිත විසින් මේ ආකාරයේ විවිධ පරමාර්ථ සත්‍යයන් අතර සමානාත්මතාවයක් ඇති බව ප්‍රකාශ කරනා විට, ඔහු යෝජනා කරන්නේ මේවා අතරින් ඕනෑම එකක් නිවැරදි වීමේ එක හා සමාන අවස්ථාවක් ඇති බවද?

නලින් ද සිල්වා සම්බන්ධයෙන් මාගේ අර්ථකථනය වන්නේ මෙය නොවේ. ඔහුට අනුව මේ කරුණේදී, චරිත කියනා ආකාරයේ ‘සමානාත්මතාවයක්’ තිබෙන්නේ නැත. නිදර්ශනයක් ලෙස ‘දෙවියන්’ යනු මිනිසා විසින් තනා ගන්නා ලද සංකල්පයක් බව “මගේ ලෝකය” කෘතියේ ඉතා පැහැදිළිව දැක්වේ (“මගේ ලෝකය”, 2011, පි. 102). අනෙක් අතට එහි සංකල්පයක් නොවනා එකම වචනය ලෙස හැඳින්වෙන්නේ ‘නිවන’ පමණි. කෙසේ වුවත්, මෙහිදී මාගේ ඍජු සම්භාෂකයා වන්නේ නලින් ද සිල්වා නොව චරිත වන නිසා, මේ සම්බන්ධයෙන් චරිත ගේ මතය සමග – නලින් ද සිල්වා ගේ මතය සමග නොව – මට එකඟ වීමට එතරම් අපහසු නොවේ. අවම වශයෙන්, අප අතර ඇති දාර්ශනික – සමහරවිට, දේශපාලනික – පරතරය පියවා ගැනීම සඳහා මෙය උපකාරයක් වනු ඇත. මේ සඳහා කෙටි පැහැදිළි කිරීමකින් අපි මෙම ලියවිල්ල අවසන් කරමු.

චරිත ගේ ප්‍රතිචාරය තුළ ඔහු ‘නිවන’ පිළිබඳව කර තිබෙන පැහැදිළි කිරීම හරහා පැමිණි හැකි එකම නිගමනය වන්නේ ‘නිවන’ යන්න අපගේ මානසික ලෝකයෙන් රැඩිකල් ලෙස වෙනස් වූ දෙයක් වන බවයි. එය පරමාර්ථ සත්‍යයක් ලෙස හෝ නම් කිරීම චරිත විසින් ප්‍රතික්ෂේප කරන්නේ එම නිසාය. ඔහුට අනුව ‘නිවන කියන්නෙ පැවැත්ම නැති කිරීම’ වෙයි. අපගේ පැවැත්ම නැති කිරීමේ හැකියාව පිළිගැනීම යනුම අපගේ මානසික ලෝකයෙන් රැඩිකල් ලෙස වෙනස් වන්නා වූ අනේකත්වයක් පිළිගැනීම පමණි. ‘මනසින් පරිබාහිරත්වයක් සිතීමේ නොහැකියාව’ පිළිබඳ තර්කයට අනුව මේ නොපැවැත්ම කුමක්ද කියා අපට දැනුමින් – මනසින් – ග්‍රහණය කර ගැනීමට නොහැකි වේ. මන්ද මා ගේ නොපැවැත්ම පිළිබඳව සිතීම කළ හැක්කේ ද මනසින් පමණි. එවිට එම නොපැවැත්ම පිළිබඳව අදහස අපගේ මානසික ලෝකය තුළ පවතින්නක් බවට පත්වෙයි. එවිට, මාගේ නොපැවැත්ම ද මගේ මනසට සාපේක්ෂ වන්නක් ලෙස ගැනීමට සිදු වීම වන අතර, එනිසාම එය සත්‍ය වශයෙන්ම, කිසිදා, මාගේ නොපැවැත්මක් නොවනු ඇත. එනිසා මාගේ නොපැවැත්මක වියහැකිබව පිළිගැනීම යනුම මානසික ලෝකයේ විෂම චක්‍රයෙන් පරිබාහිරත්වයක් පිළිගැනීමකි. එසේ නොමැති වනවා යනු මෙම නොපැවැත්ම අපගේ මානසික ලෝකයට සාපේක්ෂ වන්නක් වන අතර, එනිසාම, අපගේ මානසික ලෝකයේ නොපැවැත්ම නොවනු ඇත. මේ නොපැවැත්ම කුමක්ද, කුමන ආකාරයේ දෙයක්ද කියා අපට පරිකල්පනය කර ගැනීමට හෝ නොහැකි වන බව සත්‍යයකි. මන්ද, එය පරිකල්පනය කරනවා යනුම එය නැවතත් අපගේ මනසට සාපේක්ෂ වන්නා වූ දෙයක් බවට පත් කර ගැනීමයි. එනිසා, මේ මගින්, තාර්කිකව ගත්විට, කෙනෙකුට කිව හැකි වන්නේ එවැනි නොපැවැත්මක වියහැකිබව තමන් පිළිගන්නවා යන්න පමණි.

අනෙක් අතට – නලින් ද සිල්වා ට තරමක් වෙනස් ලෙස – චරිත ට අනුව, මේ වියහැකි අනේකත්වයන් සම්බන්ධයෙන් විවිධ දර්ශන වල ඇති අදහස් අතර සමානාත්මතාවයක් තිබේ. එසේ වන්නේ, චරිතට අනුව, මේ වියහැකි රැඩිකල් අනේකත්වයන් අතරින් එකක් පමණක් පරම ලෙස නිවැරදි වන්නක් බව පෙන්වා දිය නොහැකි නිසා කියා මම සිතමි. අවසන් වශයෙන්, අප අතර එකඟතාවයක් ඇති වීමේ යතුර තිබෙන්නේ මේ අදහස එහි තාර්කික අන්තය වෙත ගෙන යාමට තරම් චරිත ධෛර්යවන්ත වන්නේනම් පමණක් කියා – නිහතමානී ලෙස – යෝජනා කරමි.

– වංගීස සුමනසේකර –

***

Advertisements