Norman Lewis, Jazz Band

පහතින් පළ වන්නේ නිව්ටන් ගුණසිංහගේ ‘May Day After July Holocaust’ නම ජනප්‍රිය ලිපියේ සිංහල පරිවර්තනයයි. 1983 ජූලි සංහාරයට පසුව මෙරට දේශපාලනය සකස් වන ආකාරය පිළිබඳව ඔහුගේ බලපෑම්සහගත පුරෝකථනයන් හමු වන්නේ මෙම කෙටි රචනය තුළයි. ‘මැයි දිනය’ යන, පහසුවෙන් අමතක කර දැමිය නොහැකි නමුත් සැකයකින් තොරවම රාජ්‍යය සැමරුමක් බවට පරිවර්තනය වී තිබෙනා, දේශපාලන නිවාඩු දිනයේ මෙම ඉපැරණි ලිපිය කියවීම ප්‍රයෝජනවත් වැඩක් කියා අපි සිතමු. දශක දෙකකට පසුව නිව්ටන් ගුණසිංහගේ මෙම විශ්ලේෂණයෙන් කොතරම් දේ වෙනස් වී තිබේද, කොතරම් දේ නොවෙනස්ව තිබේද කියා සිතා බැලීම, දේශපාලනය පිළිබඳව බැරෑරුම් වන සියලු දෙනාට වැදගත් වෙයි.

***

83 ජූලි මස ඇති වූ දෙමළ විරෝධී කැරැලි යනු ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ ඉතාම වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කිරීමක් බව දැන් පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ සමාජ සැකැස්ම තුල තිබුණු එක්තරා සමතුලිතයක් යළි හැරවිය නොහැකි ලෙස නැතිවී ගොස් ඇති අතර නව සමතුලිතයක් වෙත තව ම ලඟා වී නොමැත. මහජනයා තුළ ඉහළ නැංවුණු වාර්ගික සවිඥ්ඥානිකත්වයක් ඇති වී ඇති සන්දර්භයක් තුළ වම සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සිටින්නේ න්‍යායික සීසීකඩ යාමේ අවස්ථාවකය. මෙම සීසීකඩ යාම පෙන්වන එක රෝග ලක්ෂණයක් වන්නේ ජනවාර්ගික ගැටලුව අමතක කර වඩාත් “සුරක්ෂිත” ආර්ථික සහ පංතිමය සටන් පාඨ ඔසවා තබන පරණ වම තුළ ඇති ආධිපත්‍යධාරී ප්‍රවණතාවයයි.

අප සමකාලීන සන්ධිස්ථානමය මොහොතේ (conjuncture) මූලික මානයන් සලකා බලමු: කලක සිට ශ්‍රී ලාංකේය සමාජය තුළ ඇති ප්‍රධාන ජනවාර්ගික සැකසුම් දෙක එකිනෙකාගෙන් දුරස් වෙමින් තිඛෙන අතර මේ වන විට ඔවුන්ගේ සම්බන්ධකම් ප්‍රායෝගිකව මුළුමනින්ම බිඳ වැටී තිබේ. ජනවාර්ගික සැකසුම්වල අභ්‍යන්තර සමාජ ප්‍රතිවිරෝධතා, එනම් පන්ති අතර සහ සමාජ ස්තර අතර ප්‍රතිවිරෝධතා, වර්ධනය වී ඇත්තේ අසමාන ලෙසය. ශ්‍රී ලාංකේය දෙමළ ජනවාර්ගික සැකැස්ම තුල පන්ති ප්‍රතිවිරෝධතා මෘදු බවට පත් වී නැතිනම් යටපත් වී තිඛෙන්නේ එම සැකැස්ම සමස්තයක් ලෙස සිය සාමූහික සමාජ පැවැත්මට අනතුරක් එල්ල වී ඇතැයි සංජානනය කරන නිසාය. සිංහල ජනවාර්ගික සැකැස්ම තුළ පාලක ස්තරය සහ මහජනයා අතර ඇත්ත වශයෙන්ම තිඛෙන මෙන්ම පැහැදිලිව පෙනෙන්නට තිඛෙන තියුණු සමාජ ඛෙදීම් අඛණ්ඩව පවතී. නමුත් පොදුජන තලය තුළ, පවත්නා තත්වය සම්බන්ධව ඇති අතෘප්තිය, දැනටමත් වරප්‍රසාදිත දෙමළ ජනයාගේ අතාර්කික ඉල්ලීම් ලෙස හඳුනා ගනු ලැබ දේ වලට එරෙහි ව්‍යාජ බාහිර දිශානතියක් කරා යොමු වී තිබේ. මෙම ජනවාර්ගික සැකසුම් දෙක තුළ ම, අල්තුෂරියානු අරුතෙන්, පන්ති ප්‍රතිවිරෝධතා ජනවාර්ගික ගැටුමෙන් අධි නිශ්චය කරනු ලැබ (overdetermined) තිබේ. “අධි නිශ්චය” යනු කිසියම් දෙන ලද මොහොතක කිසියම් සැකැස්මක ඇති ප්‍රතිවිරෝධතා වලට ඉහලින් ඇති ආධිපත්‍යය ව්‍යූහයකි.

දෙන ලද සමාජ සැකැස්මක් එක්තරා ආකාරයක අධි නිශ්චය වීමකට භාජනය වූ විට, අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා විසඳීමේ තීව්‍ර බව සහ ක්‍රමෝපායන් තීරණය කරන්නේ මූලික වශයෙන්ම ආධිපත්‍යයික ව්‍යුහය මගින් වන අතර ප්‍රතිවිරෝධතා තීරණාත්මක වන්නේ ද්වීතිකව වේ. අද වන විට ශ්‍රී ලාංකේය සමාජ සැකැස්මේ පන්ති ප්‍රතිවිරෝධතා, ජනවාර්ගික ගැටුම මගින් අධි නිශ්චය වී තිබේ නම්, එමගින් තර්කානුකුලව ගම්‍ය වන්නේ පන්ති අරගලය රික්තකයක් තුළ සිදු නොවන බවත් එය නිශ්චිත ලෙස ම මෙම ගැටුම විසින් ගොඩනැංවූ “වායු තරලයක” සිදුවන බවත් සහ පන්ති ප්‍රතිවිරෝධතාවන්ගේ තීව්‍ර බව, රිද්මය සහ රටාවන් එමගින් තීරණය වන බවත්ය. තවදුරටත්, එය පන්ති සම්බඳතා වලට, ගැටුම් මෙන්ම සන්ධානයන් වලටද, තීරණාත්මක බලපෑමක් කරයි. එම නිසා ජනවාර්ගික ගැටලුව අමතක කර කටයුතු කිරීමේ ප්‍රතිපත්තිය මෝඩ ප්‍රතිපත්තියකි. වමේ සිටින සමහරුන් ජනවාර්ගික ගැටලුව අමතක කිරීමට පොරොන්දු වූ පමණින් එය අතුරුදහන් නොවේ`

මෙම අධි නිශ්චයේ ප්‍රතිවිපාක අවම කරගත හැක්කේ ජනවාර්ගික ගැටලුව සමග විවෘතව පොර බැද, කේන්ද්‍රයෙන් සැලකිය යුතු බලය ඛෙදා හැරීමක් දක්වා දිවෙන තාර්කික දේශපාලන විසඳුමක් නිර්මාණය කර, කම්කරු පන්තිය සහ අනෙකුත් වැඩකරන ජනයා අතර මෙය ජනප්‍රිය කරවීමට අවශ්‍ය දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමෙන් පමණි. මහජනයා පසුපස යාමේ ප්‍රවනතාවය වන “වල්ගවාදයට” (“tailism”) වම සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග යටත් නොවිය යුතුය. අන්තෝනියෝ ග්‍රම්ස්කි “දිශානතියක් සැපයීම” (direction) ලෙස නම් කළ දේශපාලන නායකත්වය සැපයීම යනුවෙන් වාමාංශික බලවේග වලට අරුත් ගැන්වුණේ මහජනයා අතර දැනට වඩාත් ජනප්‍රිය මතය නියෝජනය කිරීම නොව දුර දක්නා උපාය මාර්ගික දැක්මක් සහ එය වෙත යාමට අවශ්‍ය උපක්‍රමික පියවර ගොඩනගා ගනිමින් කම්කරු පන්තිය සහ අනෙකුත් වැඩ කරන ජනයා දිනා ගැනීමයි.

ජනවාර්ගික අධි නිශ්චයේ බලපෑම මගින් ශ්‍රී ලාංකේය සමාජ සැකැස්ම එයට හුරු පුරුදු දේශපාලන කඳවුරු සහ විභේදන විනිවිද ගොස් නැවුම් ආකාරයකට එය යලි-කණ්ඩායම්ගත (re-grouped) කිරීමකට සහ යලි-ඛෙදීමකට (re-divided) භාජනය කර තිබේ. කලින් නොතිබුණු නව සන්ධානයන් බිහි වී තිඛෙන අතර දශක ගණනක දේශපාලන හැසිරවීම් වලට මුහුණ දුන් පැරණි සන්ධාන බිඳ වැටී තිබේ. “සංරක්ෂණවාදී” (conservative) සහ “ප්‍රගතිශීලී” කඳවුරු ජනවාර්ගික ගැටලුවට දිය හැකි විසඳුම සම්බන්ධයෙන් අභ්‍යන්තරයෙන් ඛෙදී තිඛෙන අතර මෙම ගැටලුවට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් දේශපාලන පරාසය තුළ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ සිටින්නා වූ කණ්ඩායම් අතර සමාන කම් පෙනෙන්නට තිබේ. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන අතර එනිසා ම ගතානුගතිකවාදී ලෙස සම්ප්‍රදායිකව පිළිගත් තොන්ඩමන් ගේ ලංකා කම්කරු කොංග්‍රසය පළාත් සභා ඇති වන විදියේ බලය ඛෙදා හැරීමකට පක්ෂ වේ. විවිධ පොදු වාමාංශික සන්ධාන වල හවුල්කරුවෙකු වූ සහ එනිසාම සම්ප්‍රදායිකව ප්‍රගතිශීලී ලෙස හඳුනාගනු ලැබුණු දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ අර්ථවත් බලය ඛෙදා හැරීමකට විරුද්ධ වනවා පමණක් නොව ජනවාර්ගික ගැටලුවට විසඳුමක් සෙවීම සඳහා කැඳවූ දේශපාලන සමුළුවට සහභාගී වීම ද ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය බලය ඛෙදීමකට පක්ෂ වන අතර ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අන්ත ජාතිවාදී ප්‍රකාශයක් නිකුත් කරමින් රෝහණ විජේවීර අර්ථවත් බලය ඛෙදීමකට විරුද්ධ විය. මෙම නව විභේදන සහ සන්ධාන උත්පාද වන්නේ ශුද්ධ පන්ති ගැටුමෙන් ජනිත කළ හැඟීම්වලින් නොවේ. මේවා අධි නිශ්චයේ ප්‍රතිඵලයි. සම්ප්‍රදායිකව “ප්‍රගතශීලී” ලෙස හඳුනා ගත් සිංහල දේශපාලන බලවේග අතරින් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිවිරුද්ධ අස්ථානයන් දෙකක් මතු වෙමින් තිබේ. පළමු ආස්ථානය අපට මෙලෙස සාරාංශගත කල හැකිය. වත්මන් රෙජීමය යනු නව-යටත්විජිතවාදයේ අතකොළුවක් වන අතර එය IMF-ලෝක බැංකු ක්‍රමයේ කොටසකි. එය අපගේ ජනයා දේශපාලනිකව මර්ධනය කර ඇත, මැතිවරණ නොපවත්වමින් තම බලය රඳවා ගෙන ඇත, සංචාරක කර්මාන්තය වැනි දේ හරහා අපගේ සංස්කෘතිය පරිහානියට නිරාවරණය කර තිබේ. එම නිසා පාලන තන්ත්‍රයට එරෙහි වීම සඳහා ප්‍රගතිශීලී සහ දේශප්‍රේමී ජනයාගෙන් සමන්විත වන්නා වූ එක්සත් පෙරමුණක් සංවිධානය කළ යුතුය.

දෙවන ආස්ථානය මෙලෙස සාරාංශගත කළ හැකිය: වත්මන් රෙජීමය විවාදයකින් තොරවම ඉහත ලක්ෂණ වලින් සමන්විත වුවත්, ප්‍රගතිශීලී සහ දේශප්‍රේමී ජනයාගෙන් සමන්විත වන පොදු පෙරමුණක් තුළ සිංහල ජාතිවාදීන් විශාල ප්‍රමාණයක් ඇතුලත් වනු ඇත. මෙම දේශප්‍රේමී පොදු පෙරමුණේ ආධිපත්‍යධාරී දෘෂ්ඨිවාදී ප්‍රවණතාවය වනු ඇත්තේ සිංහල ජාතිවාදී එකකි. මෙය ජනවාර්ගික ආතතිය ඉහළ දැමීමට දායක වනු ඇති අතර මොන අයුරක හෝ සාකච්ඡා මාර්ගයකින් ජනවාර්ගික ගැටලුවට විසඳුමක් සෙවීම සඳහා මෙය බාධාවක් වනු ඇත. ඉහළ නැගුනු ජනවාර්ගික ආතතිය මගින් ආර්ථික සහ පන්ති ගැටලු වටා ජනයා සංවිධානය කිරීමට වමට නොහැකි වන අතර එම නිසා මෙවැනි තත්වයක් අවසාන විග්‍රහයේදී සේවය කරන්නේ බලයේ සිටිනා පරායත්ත බුර්ෂුවා ශේෂයන්ටයි. කම්කරු පන්තියේ දෘෂ්ඨි කෝණයෙන් ගත්විට කෙටි කාලීනව මූලික අවශ්‍යතාවය වන්නේ පන්ති ගැටලුව මතුකිරීමට තරම් සුදුසු පරිසරයක් නිපදවීම සඳහා ජනවාර්ගික ආතතීන් හැකිතාත් අඩු කිරීමයි. මෙම දැක්මේ සිට එක්සත් දේශපාලන ඒකකයක් තුළ ශ්‍රී ලංකාවේ දෙමළ ජනවාර්ගික සැකැස්ම වෙත බලය විමධ්‍යගතකිරීම මත පදනම් වූ, ජනවාර්ගික ගැටලුවට පුළුල් විසඳුමක් ගොඩ නැගිය යුතු අතර වම මෙම අදහස ජනප්‍රිය කිරීමට අරගල කළ යුතුය. තවදුරටත්, සාකච්ඡා මගින් දේශපාලන විසඳුමකට ඒමට එකඟ රෙජීමය තුළත් ඉන් පිටතත් සිටිනා තාර්කික සංඝටක ශක්තිමත් වන ලෙස වම සිය කටයුතු හැසිරවීම කළ යුතුය.

1983 ජූලි සංහාරයෙන් පසු එළඹෙන ප්‍රථම මැයි දිනය වන අද දින අවධාරණය කළ යුතු වැදගත් දෙයක් වන්නේ මෙරට කම්කරු පන්ති ව්‍යාපාරයේ අනාගතය රැඳී තිඛෙන්නේ ඉහත අස්ථානයන් දෙක අතර අරගලයේ ප්‍රතිපලය මත වන බවයි. පළමු ආස්ථානයේ ජයග්‍රහණය මගින් ජනවාර්ගික ආතතීන් වර්ධනය කිරීම සහතික කර, අධි නිශ්චයේ බලපෑම ශක්තිමත් කර, පොදුජන ව්‍යාපාරය නොමග යවනු ඇත. දෙවෙනි ආස්ථානයේ ජයග්‍රහණය මගින් බොහෝ දුරට ජනවාර්ගික ආතතිය අඩු කර, අධි නිශ්චයේ වූ බලයක් ලෙස වාර්ගික සාධකයේ බලපෑම අඩු කර, උතුරු සහ නැගෙනහිර සිටිනා ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ලබා දෙමින් දකුණේ (කම්කරු පන්තියේ විශාල පිරිසක් ජීවත් වන්නේ මෙහිය) පන්ති අරගලයේ මාවත කරා යාමට සුදුසු පරිසරයක් බිහි කරනු ඇත. උග්‍ර වන ආර්ථික අර්බුදය මගින් පන්ති ගැටලුව අලුත් වූ ජවයකින් ඉස්මතු කිරීමටත්, කම්කරු පන්තියේ පන්ති විඥ්ඥානය ඉහළ දැමීමටත් සහ පන්ති ගැටුම මත ජනවාර්ගික අධි නිශ්චයේ බලපෑම අඩු කිරීමටත් වමට හැකියාව ලබාදෙනු ඇත.

නිව්ටන් ගුණසිංහ -111111111111

Advertisements