michelangelo christ on the cross

පහතින් පළ වන්නේ නලින් ද සිල්වා විසින් කලකට පෙර ලියන ලද “දෙවියන් වහන්සේ ගැන සිංහල බෞද්ධ විවරණයක්” යන රචනයයි. මෙහි මූලාශ්‍රය වූයේ පැරණි කාලය වෙබ් අඩවිය  වුවත්, එය මේ වන විට අක්‍රියව තිබෙනා හෙයින් මෙයට ඍජු සබැඳියක් ලබා දීමට හැකියාවක් නොමැත. එනිසාම, මෙය ලියවුනු දින වකවානුව නිශ්චිත නොමැති වුවත් මෙය 2000 දශකයේ මුල රචනා වී ඇති බව පහැදිළි වෙයි.

එක්තරා අර්ථයකින් ගත්විට නලින් ද සිල්වා සම්බන්ධයෙන් තිබෙන ජනප්‍රිය ප්‍රතිරූපය අනුව මෙය පුදුමසහගත රචනයක් ලෙස තේරුම් ගැනීම වැළක්විය නොහැකි වේ. මෙම රචනය පුරා ඔහු උත්සාහ කරානේ ඒකදේවවාදය පිළිබඳව දාර්ශනික අර්ථකථනයක් – ‘සිංහල බෞද්ධ විවරණයක්’ – ලබා දීමටයි. සිංහල බෞද්ධ ජාතිකවාදයේ ආන්තික ප්‍රකාශකයෙකු ලෙස බොහෝ දෙනෙකු හඳුනා ගන්නා විචාරකයෙකු අතින් ඒකදේවවාදී ආගම් වල – ක්‍රිස්තියානි, යුදෙව්, ඉස්ලාම් සහ හින්දු – කේන්ද්‍රීය අදහස වෙනුවෙන් පෙනී සිටීම තරමක් පුදුම සහගත දෙයක් විය හැකිය. අනෙක් අතට, නලින් ද සිල්වා ගේම “මගේ ලෝකය” කෘතිය තුළ පවා එන සමහර අදහස් සමග මෙය නොගැලපෙන්නේයැයි කෙනෙකුට සිතිය හැක. විශේෂයෙන්ම, “මගේ ලෝකය” කෘතියේ දී ‘නිවන’ නම් වචනය හැර අනෙකුත් සියලුම වචන සංකල්ප පමණක් ලෙස හැඳින්වෙයි. එහෙත් පසුකාලීනව ලියවුනු මෙම රචනය තුළදී මේ ආකාරයට සංකල්ප ලෙස ගත නොහැකි වචන අතරට ‘නිවන’ ට අමතරව ‘දෙවියන් වහන්සේ’ යන්නද එක්ව තිබේ. ඒ අනුව මෙය මගේ ලෝකය කෘතියට විරුද්ධව යන්නක් කියා කෙනෙක් නිගමනය කිරීමට ඉඩ ඇත.

අප සිතනා පරිදි, සත්‍ය වශයෙන්ම, පැමිණිය යුතු නිගමනය වන්නේ මෙහි ප්‍රතිපක්ෂයයි. “මගේ ලෝකය” කෘතියේ මූලික තර්කය එහි තාර්කික අවසානය වෙත ගෙන ගියහොත් අපගේ මානසික ලෝකයට ගෝචර නොවන අනේකත්වයන් අතරින් එකක් පමණක් නිවැරදි බව තහවුරු කිරීමට අපට හේතුවක් නොමැති වේ. එසේ කළ සැනින් ඒවා අපේ මානසික ලෝකයේ අභ්‍යන්තරත්වය වෙත නැවතත් ඇතුලත් වීම සිදු වෙයි. එමනිසා එවැනි රැඩිකල් අනේකත්වයන් පිළිගැනීම යනු ඒවා අපේ මානසික ලෝකයට අයත් සංකල්ප ලෙස ගත නොහැකි වීමයි. සංකල්ප යනු අපගේ මානසික ලෝකයේ ඇති දැනුමට අයත් වන දේවල් පමණක් වීම මෙයට හේතුව ලෙස දැක්විය හැක. අපට කිව හැක්කේ මෙම රැඩිකල් අනේකත්වයන් සියල්ල සම්බන්ධයෙන් අපගේ ඇති රැඩිකල් නොදැනුම පමණි. එනිසාම, මෙයින් එකක් පමණක් නිවැරදි බවට අපට සහතිකයක් ලබා දිය නොහැකි වේ.

කෙසේ වුවත්, මෙම රචනය තුළ එහි කතුවරයා උක්ත නිගමනය වෙත ඍජුව පැමිණෙන්නේ නැති බව සත්‍යයකි. එය අවසන් වන්නේ ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය පිළිබඳව ඔහුගේ ඇති පක්ෂපාතිත්වය පැහැදිළි වන ආකාරයටයි. ඔහුට අනුව ඒකදේවවාදයන් ට පරස්පරව ථෙරවාද බෞද්ධයන් අතින් නිර්මානසික ලෝකයක පැවැත්ම – යථාර්ථය – පිළිගන්නේ නැත. අනෙක් අතට ඔවුන් අපේ මානසික ලෝකය ඉක්මවාලූ වෙනත් තත්වයක් වෙත යාමක් පිළිගන්නේ ද නැත. ඔවුන්ගේ විශ්වාසයට – කතුවරයාගේ වචනය වන්නේ ‘පිළිගැනීම’ යන්නයි – අනුව මෙය අවබෝධ කර ගත හැක්කේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධයෙන් හා මනස ද නිර්මාණයක් බව ‘නැති මනසින් අවබෝධ කර ගැනීමෙනි’.

මෙහිදී කරුණු දෙකක් අවධාරණය කළ යුතුය. ලිපියේ ඉතා පැහැදිලි වන පරිදි, ථේරවාද සම්ප්‍රදාය තුළ මෙම නිර්මානසික ලෝකය පිළිබඳව ඇති අදහස – ‘එවැනි යථාර්ථයක් නොමැති වේ’ – ඒකදේවවාදයන් තුළ මෙම නිර්මානසික ලෝකය පිළිබඳව ඇති අදහසට වඩා නිවැරදි බව අපට පරීක්ෂා කර බැලිය නොහැකි වේ. මන්ද, නිවන – සහ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම – මෙන්ම දෙවියන් වහන්සේ යන්න ද අපේ මනසට ගෝචර නොවන අනේකත්වයන් වෙයි. එනිසා, මෙයින් එකක් පමණක් නිවැරදි බව පිළිගැනීම හුදු භක්තිය – තවත් තීව්‍ර ලෙස කියන්නේනම්, හුදු අන්ධ භක්තිය – පිළිබඳ කරුණක් පමණක් වෙයි.

දෙවැනි වැදගත් කරුණ වන්නේ අපගේ මානසික ලෝකයට අයත් නොවන රැඩිකල් අනේකත්වයක් පිළිබඳව නලින් ද සිල්වා පිළිගන්නා බව මේ මගින් පැහැදිළි වීමයි. ථේරවාදී සම්ප්‍රදාය තුළදී මෙම අනේකත්වය යනු ‘පැවැත්මක්’ නොවේ කියා කිව හැකි වුවත් අපේ මානසික ලෝකයට ගෝචර නොවන කුමන හෝ ‘සිදුවීමක්’ එහි තිබෙනා බව පැහැදිළි වෙයි. ‘නැති මනසින් වටහා ගැනීම’ යනුවෙන් නලින් ද සිල්වා විසින් සූත්‍රගත කරන්නේ මෙම මානසික ලෝකයට අයත් නොවන සිදුවීමයි. එයට අනුව කිසියම් ආකාරයක ‘වටහාගැනීමක්’ සිදු වුවත්, එය අපේ මානසික ලෝකයේ අභ්‍යන්තරත්වය ට අයත් නොවන්නා වූ එකකි. අනෙක් අතට, මෙම ලිපියේ ආරම්භයේදී දැක්වෙන පරිදි, ‘නිවන’ සහ ‘දෙවියන් වහන්සේ’ අතර සමානබවක් තිබෙන්නේ ඒවා සංකල්ප නොවීම, මනසට ගෝචර නොවීම නිසාය. එම අර්ථයෙන් මෙම ‘වටහාගැනීම’ යන්න ද අයත් වන්නේ අපේ මානසික ලෝකයට ගෝචර නොවන කලාපයට වන අතරම එනිසා එහි නිවැරදි බව සම්බන්ධයෙන් අපට ඇත්තේ නොදනුමක් පමණි.

අපට පෙනෙනා පරිදි, මෙම අදහස පිළිගන්නවා යනු මානසික ලෝකයෙන් පරිබාහිරත්වයක් සිතීමේ දාර්ශනික තහනම ප්‍රතික්ෂේප කිරීමයි. එසේ නොමැතිනම්, නිවන යන්න ද අවසානයේදී මනසට සාපේක්ෂ සංකල්පයක් බවට ඌණනය වීම වැළක්විය හැකි නොවේ. අනෙක් අතට මේ ආකාරයේ මානසික ලෝකයට අයත් නොවන රැඩිකල් අනේකත්වයක් ලෙස නම් කළ හැකි එකම අදහස වන්නේ ‘නිවන’ පමණක් නොවේ. ඒ ආකාරයේ අනේකත්වයන් අතරට – අවම වශයෙන් – ඒකදේවවාදී ආගම් වල එන ‘දෙවියන් වහන්සේ’ පිළිබඳ අදහස ද ඇතුලත් වේ. දැන් ගැටලුව වන්නේ මේවා අතරින් එකක් පමණක් – නිදර්ශනයක් ලෙස ‘නිවන’ පමණක් – නිවැරදි වන බව පිළිගැනීමට හැකි වන්නේ කෙසේද යන්නයි. එයට තිබෙනා එකම පිළිතුර වන්නේ අන්ධ භක්තිය පමණි. එයට වෙනස් ලෙස ‘නිවන’ යනු එකම නිවැරදි අනේකත්වය ලෙස බාර ගත හැක්කේ මේ වන විටත් එම ‘අවබෝධය’ වෙත ගොස් ඇති කෙනෙක් හට පමණි.

දැන්, අප වේගයෙන් ළඟා වෙමින් සිටින්නේ ‘සිරි සමන්තබද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ’ වෙත බව අමුතුවෙන් කිව යුතු වේද?

***

දෙවියන් වහන්සේ ගැන සිංහල බෞද්ධ විවරණයක්

මේ ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ දෙවියන් වහන්සේ යනු කවුද හෝ කුමක් ද යන්න පිළිබඳ ව මගේ අර්ථකථනයක් කිරීමටය. එය කිසිසේත්ම එක් ආගමක් හෝ ආගම් කිහිපයක් විවේචනය කිරීම අරමුණු කරගත්තක් නොවේ. මෙය දෙවියන් වහන්සේ ගැන කරන එක් අර්ථකථනයක් පමණකි. තවත් අර්ථකථන රාශියක් ඇති බවත් අනාගතයේ දී තව තවත් අර්ථකථන ඇති වන බවත් මම දනිමි. මෙහි සඳහන් අර්ථකථනය මා කරන්නේ දැනුම පිළිබඳ දැනුම, එනම් ඥාන විභාගය (එපිස්ටමොලොජි) මුල් කරගෙනය. නිල වශයෙන් මගේ විෂය බටහිර ගණිතය හා බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාව වුව ද නිල නොවන වශයෙන් ඒ පෙරදිග ඥාන විභාගය වෙයි. මා මේ විවරණය කරන්නේ සිංහල බෞද්ධයකු ලෙසය. එනම් මේ විවරණය පිටුපස ඇත්තේ මා සිංහල බෞද්ධ සංස්කෘතියෙන් උකහාගත් දේය. එහෙත් එයින් කියැවෙන්නේ සෑම සිංහල බෞද්ධයකුම මේ අර්ථකථනය සමග එකඟ වන බව නොවේ. මේ අර්ථකථනය සමග වෙන කිසිම සිංහල බෞද්ධයකු එකඟ නොවුණ ද සිංහල බෞද්ධ සංස්කෘතිය මගින් ඒ නිර්මාණය වන බැවින් ඒ සිංහල බෞද්ධ විවරණයක් වෙයි.

දෙවියන් වහන්සේ ගැන පමණක් නොව නිවන ගැන ද විවිධ අර්ථකථන වෙයි. සිංහල බෞද්ධයන් අතර පවා නිවන ගැන විවිධ මතිමතාන්තර වෙයි. රීස් ඩේවිස් මැතිනිය වැනි ඇතැම් බෞද්ධයන්ට අනුව සියල්ල මේ භවයෙන් කෙළවර වෙයි. නාගර්ජුනපාදයන් වහන්සේට නිවන සංසාරයට සාපේක්ෂ වූවක් විය. මේ සියලු අර්ථකථන යනු දැනුම වෙයි. එහෙත් මගේ දැනුම අනුව නිවන යනු දැනුමක් නොවේ. නිවන පමණක් නොව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා දෙවියන් වහන්සේ ද දැනුම නොවේ. මේ සියල්ල පිළිබඳ මෙතරම් දැනුම ඇත්තේ ද ඒ දැනුම නොවන බැවින්යැයි මම සිතමි. දැනුමක් ලෙස මා සලකන්නේ අවසාන වශයෙන් ගත්කල මනසින් නිර්මාණය කෙරෙන ප්‍රවාදයක් සංකල්පයක් හැඟීමක් වැනි දෙයකටය.

නිවන, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, දෙවියන් වහන්සේ ආදිය පිළිබඳ මෙතරම් ගැටලු ඇති වන්නේ අප ඒ මනසින් තේරුම් ගැනීමට උත්සාහ කරන බැවිනි. මේ එකක්වත් මනසින් තේරුම් ගත හැකි දේ යැයි මම නොසිතමි.එහෙත් එයින් කියැවෙන්නේ ඒ සියල්ල එකක් බව ද නොවේ. මනසින් තේරුම් ගත නොහැකි දෑ ගැන මනසින් තේරුම් ගැනීමට යෑමේ ප්‍රතිඵලය වී ඇත්තේ මනසින් තේරුම් ගත නොහැකි දෑ පිළිබඳ විවිධ අර්ථකථන බිහිවීමය. සංකල්ප නොවන දෑ පිළිබඳ (දෑ යනුවෙන් මෙහිදී යෙදුන ද මේවා දේවල් නොවේ. මේවා, දේවල් වැනි වචන යොදා ගැනීමට නුසුදුසු වුවත් අපට කළ හැකි දෙයක් නැත. භාෂාව පමණක් නොව චිත්ත රූපද මොන තරම් දුර්වල දැයි මෙවැනි අවස්ථාවල අපට පසක් වෙයි. භාෂාව, චිත්ත රූප ආදිය මිනිසුන්ගේ නිර්මාණ වෙයි. ඒ නිර්මාණවල මිනිසුන්ගේ මෙන්ම අඩුලුහුඬුකම් වෙයි.) සංකල්ප නිර්මාණය කර ගැනීමට සිදුවීම අපට ඇති විශාලතම ගැටලුව වෙයි.

දෙවියන් වහන්සේ පිළිබඳ සංකල්පය කවදා නිර්මාණය කෙරිණිදැයි නිශ්චිතව කිව හැකි නොවේ. ලොවෙහි පහළ වූ ඉතාමත් ම වැදගත් (එසේ සංකල්පගත කිරීම වැරදි වුව ද) සංකල්පයක් වන්නේ ඒකදේවවාදයයි (මොනොතීසම්). පැරණි මිනිස්සු බහු දේවවාදී වූහ. ඒකදේවවාදය, බ්‍රාහ්මණ ආගම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්, ඉස්ලාම් ආගම හා යුදෙව් ආගමට පොදු වෙයි. ඒ සංකල්පය පැරණි පර්සියාවෙහි (ඉරානයෙහි) පහළ වූ ශාරතුස්ත්‍රවාදයෙහි ද වෙයි. පැරණි යුදෙව්වන් පිළිම වන්දනාව ද කළ බහුදේවවාදී වූ බවද ඔවුන් පසු කලෙක ඒකදේවවාදී වූ බව ද සඳහන් කළ යුතුය. ඇතැමුන්ට අනුව යුදෙව්වන් ඒකදේවවාදී වී ඇත්තේ පැරණි බැබ්ලිලෝනියාවෙහි දී ඔවුන්ට ශරතුස්ත්‍රවාදීන්ගේ ඒකදේවවාදී අදහස් ලැබීමෙන් පසුවය. කෙසේ වෙතත් ඒකදේවවාදය ඉතිහාසයෙහි යම් වකවානුවක, සමහර විට අවුරුදු හාරපන්දහාකට ඉහත දී මැද පෙරදිග, පර්සියාව, ආශ්‍රිත පෙදෙසක ඇතිවිණි යැයි සිතීමට ඉඩ තිබේ. ඇතැම් විට එය භාරතයේ ඇති වී පසුව පර්සියාවට හා මැද පෙරදිගට අපනයනය වුවා ද විය හැකිය. ඒකදේවවාදයේ සම්භවය කිනම් රටක සිදු වුව ද ඒ පිටුපස ඇත්තේ මනසට ගෝචර නොවන ලෝකය කුමක් ද යන ප්‍රශ්නය ය.

මේ ප්‍රශ්නය අද බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාවට ක්‍රමයෙන් ඇතුල් වෙමින් ඇත. ක්වොන්ටම් භෞතිකය තවත් වර්ධන වීමෙන් පසුව බටහිර භෞතික විද්‍යාවට මෙය ප්‍රශ්නයක් වනු ඇත. මනසට ගෝචර නොවන ලෝකයක් ගැන බටහිර දාර්ශනිකයන් ද කතා කර ඇත. කාන්ට් වැනි පඬුවන් පමණක් නොව අද ජීවත්වන ඩෙරීඩාලා වැනි විද්වතුන් ද මේ මනසට ගෝචර නොවන දේ ගැන විවිධ මත පළ කරති. එහෙත් මේ සියලු දෙනාට ම පෙර ඒ ගැන කතා කළෝ පැරණි ආසියාතික (මැද පෙරදිග, පර්සියාව, භාරතය) දාර්ශනිකයෝ ය. ඔවුන්ට අපි ඇතැම් විට ඍෂීන් යැයි කියමු. එසේත් නැතිනම් අනාගත වක්තෘන් (ප්‍රොෆට්) යැයි කියමු. කිනම් නමකින් හැඳින් වුව ද ඔවුහු ඉතාම අමාරු ප්‍රශ්නයකට තම මනස යොමු කළහ. ඔවුන්ගේ මනස් යොමු වූයේ මනසට ගෝචර නොවන ලෝකයක් ඇත්ද (මෙයට අපි නිර්මානසික ලෝකය යැයි කියමු. මනසින් නිර්මාණය කෙරෙන ලෝකය මානසික ලෝක වෙයි) ඇත්නම් ඒ කුමක් ද යන්නටය. මේ ප්‍රශ්නයට ඔවුන් දුන් පිළිතුර වූයේ බ්‍රහ්මන්, දෙවියන් වහන්සේ, අල්ලා දෙවියන් වහන්සේ ආදිය ය. මේ නිර්මානසික ලෝකය ඒකත්වයෙන් (අද්වෛතව, දෙවැන්නක් හෝ තෙවැන්නක් නොමැතිව, සමස්තයක් ලෙස ආදී වශයෙන්) ගත් ඔවුහු ඒ සෑම තැනම ඇත ආදී වශයෙන් හැර ඒ ගැන වෙනත් යමක් කීම ප්‍රතික්ෂේප කළහ. දෙවියන් වහන්සේ හෝ බ්‍රහ්මන් හෝ අල්ලා දෙවියන් වහන්සේ යනු නිර්මානසික ලෝකයට දුන් විවිධ නම් වෙයි. නිර්මානසික ලෝකය ගැන යමක් කීම යනු මනසින් තනා ගන්නා සංකල්පවලින් එය පැහැදිළි කිරීමකි. එය නොකළ යුත්තක් බව පැරණි දාර්ශනිකයන් වටහා ගන්නට ඇත. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වෙයි. පැරණි දාර්ශනිකයෝ නිර්මානසික ලෝකයක් පවතින බවත්, එය අද භාවිතා කරන වචනයෙන් යොදා ගත්තොත් යථාර්ථය බවත්, යථාර්ථය (සාමාන්‍ය මනස ඉක්මවා යන තත්ත්වයකින්) අවබෝධ කරගත හැකි බවත් විශ්වාස කළහ.

නිර්මානසික ලෝකය ගැන අප දන්නේ කුමක් ද? අද්වෛත වේදාන්තය පරිසමාප්තියකට පත් කළ සංකරාචාරයයෝ නිර්මානසික ලෝකය නිර්ගුන් බ්‍රහ්මන් ලෙස හැඳින් වූහ. නිර්ගුන් බ්‍රහ්මන්ගේ ගුණයක් ප්‍රකාශ කළ නොහැකිය. එය එසේ ප්‍රකාශ කළහොත් එය මනසින් තනාගන්නා සංකල්පයකින් කෙරෙන බැවින් ඒ මානසික ලෝකයට අයත් වෙයි. නිර්ගුන් බ්‍රහ්මන් යනු සංකල්පයක් නොවේ. වෙන කළ හැකි කිසිවක් නොමැති බැවින් වචනයක් යොදා ගත්ත ද ඒ වචනය අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනි. (අනිතය යනු අ – නිත්‍ය හෝ වෙනස්වීම යන සංකල්පය නොවේ. වැඩි විස්තර සඳහා ‘මගේ ලෝකය’ තුන්වැනි මුද්‍රණය කියවන්න)නිර්ගුන් බ්‍රහ්මන් මනසට ගෝචර නොවේ. මේ පිළිබඳව ඍග්වේදයෙහි කියැවෙන්නේ ද බ්‍රහ්මන්ට ස්වරූපයක් නැතැයි යනුවෙනි. ඇතැම් තැනක බ්‍රහ්මන් ස්වරූපයක් (ආකාරයක්) ඇති මෙන් ම නැති ලෙස ද දැක් වෙයි. ඒ බ්‍රහ්මන් ම ලෝකය (මානසික) වූ පසු ඇති වන තත්ත්වයද සැලකිල්ලට ගෙන යෙදුවක් විය හැකි ය. නාසිදීය සූත්‍රයෙහි දැක්වෙන අන්දමට ආරම්භයෙහි දී සියල්ල අඥාන විය. එය වතුරෙන් පිරී තිබුණි. සියල්ල අවිද්‍යාමානයෙන් වැසී තිබුණි. එය විද්‍යාමාන වූයේ භාවනාවෙනි. භගවත් පුරාණයෙහි දැක්වෙන ආකාරයට නිර්මාණයට පෙර බ්‍රහ්මන් පමණක් ම විය. බ්‍රහ්මන් මනසට හෝ ඇසට හෝ වෙනත් ඉන්ද්‍රියකට ගෝචර නොවීය.

දෙවියන් වහන්සේ ගැන…

බ්‍රහ්මන්ට ඔහුගේ ආශාවන්ට අනුව දැකීමට අවශ්‍ය වූ විට දැකිය නොහැකි විය. එවිට බ්‍රහ්මන් මා විවිධ ස්වරූප ගනිත්වා යන පැතුම සමග මායා නම් ආලෝකය මැවී ය. මේ මායාව අනුව ලෝකය විද්‍යාමාන විය. පසු කලෙක එක් වූ ශිව නර්තනය නම් සංකල්පය අනුව ලෝකය විවිධ ස්වරූප ගැනීම ශිවගේ නැටුමෙහි ප්‍රතිඵලයකි. නැටුමෙහි විවිධ වේශ වෙයි. නැටුම නොවන්නට විද්‍යාමාන වූ ලෝකයක් නැත. බ්‍රාහ්මණ ආගම් අනුව අප සංසාරයේ සැරිසරන්නේ මායාව හේතුකොටගෙන ය. මායාව නිසා අපට අප බ්‍රාහ්මන්ගෙන් වෙන් වූවා සේ දැනෙයි. (අද්වෛත වේදාන්තය අනුව බ්‍රාහ්මන්ගෙන් වෙන් විය යන්න ද වැරදි සංකල්පයකි. ඇත්තේ බ්‍රාහ්මන් පමණක් බැවින් බ්‍රාහ්මන්ගෙන් වෙන් විය නොහැකිය.) බ්‍රහ්මන් සමග එකතු වී විමුක්තිය ලබාගත හැක්කේ මායාව දුරලීමෙනි. ඒ සඳහා මනස ඉක්ම වූ යෝග (යෝග යනු එකතු වීමය) භාවනා කළ යුතු වෙයි.

බ්‍රහ්මන්, නිර්මාණය හා විමුක්තිය සම්බන්ධයෙන් විවිධ කාලවල නිර්මාණය වූ ඉහත දක්වා ඇති හා දක්වා නොමැති අදහස්වලින් අපට එළඹීමට හැකි නිගමනයක් වෙයි. මායාව, එය ආලෝකය ලෙස හැඳින් වුව ද සංසාරයේ අප දක්කාගෙන යන හේතුව ලෙස ගත්තද, ශිව නර්තනය පිලිබඳ අදහස ගත්ත ද කියැවෙන්නේ මනසට, ඇසට හා අනෙක් ඉන්ද්‍රීවලට ගෝචර නොවූ අවිද්‍යමාන (අන්මැනිෆෙස්ටඩ්) ලෝකයක් ඇති බවත් ඒ ලෝකය විද්‍යාමාන (මැනිෆෙස්ට්) වන්නේ මායාව හෝ නර්තනය හෝ වෙනත් එවැන්නක් නිසා බවත් ය. විද්‍යාමාන ලෝකය මැවෙන්නේ අවිද්‍යාමාන ලෝකයෙනි. එවිට අවිද්‍යාමාන ලෝකයට, එනම් මනසට ගෝචර නොවන ලෝකයට, එනම් නිර්මානසික ලෝකයට, මවන්නා හෙවත් ප්‍රාණවාචී බ්‍රහ්මන් යන්න ආරෝපණය කිරීමේ අපහසුවක් නැත. මා තේරුම් ගන්නා ආකාරයෙන් බ්‍රහ්මන් යනු එසේ ප්‍රාණවාචී සංකල්පයක් බවට පත් කරනු ලැබූ නිර්මානසික ලෝකයකි. මේ නිර්මානසික ලෝකය හෙවත් (මානසික) අඥානභාවය යථාර්ථය වන අතර මානසික ව නිර්මාණය කර ගන්නා දැනුම අපේ ඉන්ද්‍රිය (මනස ද ඉන්ද්‍රියක් වෙයි) ගෝචර ලෝකය වෙයි.

යුදෙව් හා ක්‍රිස්තියානි දෙවියන් වහන්සේ හා අල්ලා දෙවියන් වහන්සේ පිළිබඳ අදහස් ද යම් යම් වෙනස්කම් තිබුණ ද මූලික වශයෙන් ගත් කල ඉහත කරුණුවලින් වෙනස් නොවේ. යුදෙව්වන්ගේ යෝහොවා දෙවියන් වහන්සේ මෙන් ම අල්ලා දෙවියන් වහන්සේ ද රූපකායකින් තොරය. මිනිසා මවා ඇත්තේ දෙවියන් වහන්සේ ගේ ස්වරූපයෙන් යැයි පරණ තෙස්තමේන්තුවේ සඳහන් වුව ද දෙවියන් වහන්සේට මිනිසෙකුගේ භෞතික ස්වරූපය ඇතැයි ඉන් නොකියැවෙයි. මේ දෙවියන් වහන්සේ පිළිබඳ චිත්ත රූපයක් හෝ මවාගත නොහැකිය. යුදෙව් ආගමේ මෙන්ම ඉස්ලාම් ආගමේ ද විවිධ ක්‍රිස්තියානි ආගම් වලද දෙවියන් වහන්සේගේ පිළිම ඇඹීම හෝ රූප චිත්‍රගත කිරීමක් හෝ නොකෙරෙයි. මෙයින් අදහස් වන්නේ දෙවියන් වහන්සේ මනසින් සිතා ගත නොහැකි ය යන්න ය. වෙනත් වචනවලින් කියන්නේ නම් දෙවියන් වහන්සේ මනසට ගෝචර නොවෙයි.

පරණ තෙස්තමේන්තුවේ උප්පත්ති කතාවෙහි සඳහන් අන්දමට ආදම් සහ ඒව මැවීමෙන් පසුව දෙවියන් වහන්සේ ඔවුන්ට තහනම් ගසක ගෙඩි කෑම තහනම් කළහ. පසුව සර්පයාගේ මෙහෙයවීමෙන් ඒව ද ඒව ගේ කැමැත්තට ඉඩදී ආදම් ද තහනම් ගසේ ගෙඩි කෑහ. මෙය පවෙහි ආරම්භය ලෙස පරණ තෙස්තමේන්තුවෙහි ඉගැන් වෙයි. මේ පවා කුමක්ද? තහනම් ගහේ කතාවෙහි යම් යම් පරස්පර ඇතැයි කිසිවකු කිව ද මෙහි හරය වශයෙන් කියැවෙන්නෙ තහනම් ගහේ ගෙඩි කෑමෙන් පසුව ආදම් සහ ඒවට මානසික ලෝකය විවෘත වූ බවය. ඔවුන් තමන් නග්න ව සිටි බව දැන ගත්තේ ඉන් පසුව ය. ඔවුන්ට ලැජ්ජාව නම් හැඟීම ඇතිවන්නේ ඉන් පසුව ය. මා තේරුම් ගන්නා ආකාරයට එතෙක් නිර්මානසික ලෝකය පමණක් දැන සිටි ආදම් හා ඒව තහනම් ගහේ ගෙඩි කෑමෙන් පසුව මානසික ලෝකය, එනම් දැනුම, නිර්මාණය කිරීමට පටන් ගත්හ. මානසික ලෝකය නිර්මාණය වන්නේ නිර්මානසික ලෝකයෙනි. ඒ නිර්මානසික ලෝකය දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ සමග පරාදීසයේ සිටි ආදම් සහ ඒව තහනම් ගහේ ගෙඩි කා පව්. එනම් දැනුම, රැස්කර ගත්හ. බ්‍රාහ්මණ ආගම්වල මායාව නිසා බ්‍රාහ්මන්ගෙන් වෙන් වූ දැනුමක් ලබා සංසාරයේ සැරිසැරීම සහ ආදම් සහ ඒව තහනම් ගහේ ගෙඩි කා දැනුම ලබා ගැනීම හෙවත් පව් කිරීම අතර ඇත්තේ සමීප සම්බන්ධයකි. ක්‍රිස්තියානි ආගම් අනුව විමුක්තිය ලබා ගැනීම සඳහා පව් සමා කර සාමාන්‍ය මනස ඉක්ම වූ ආකාරයකට දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් තබා කටයුතු කළ යුතුය. මේ විශ්වාසය බුද්ධියෙන් ලබාගත හැක්කක් නොවේ. ඉස්ලාම් ආගමෙහි පව් සම්බන්ධයෙන් තරමක වෙනසක් වෙයි. ආදම් සහ ඒව තහනම් ගහේ ගෙඩි කෑම පවක් ලෙස ඉස්ලාම් ආගම් උගන්වයි. කෝරානයට අනුව ඔවුන් තහනම් ගහේ ගෙඩි කන්නේ අල්ලා දෙවියන් වහන්සේ ගේ කැමැත්ත පරිදිය. එහි පව වන්නේ අල්ලා දෙවියන් වහන්සේට විරුද්ධ වීම ය.

මේ සියල්ලෙන් පැහැදිළි වන්නේ මනසින් ග්‍රහණය කර ගත නොහැකි නිර්මානසික ලෝකයක පැවැත්ම පිළිගැනීම, එය යථාර්ථය ලෙස සැලකීම, මානසික ලෝක නිර්මානසික ලෝකයේ නිර්මාණයක් හෝ එහි විවිධ විද්‍යාමාන ස්වරූප ලෙස සැලකීම, නිර්මානසික ලෝකයෙන් වෙන් වී මානසික ලෝක නිර්මාණය කිරීම නිසා පවා හා ඇතැම් ආගමික සංසාරය ඇති වන බව පිළිගැනීම. එසේ නොවූවත් නිර්මානසික ලෝකයට විරුද්ධවීම පවක් ලෙස සැලකීම ආදී කරුණු ඒකදේවවාදී ආගම්වල ඇති බවය. පැරණි දාර්ශනිකයන් මනසින් ග්‍රහණය කර ගත නොහැකි ලෝකයක් ගැන කල්පනා කිරීම ම ඉතා වැදගත් කරුණකි. යථාර්ථය ලෙස ගත් ඒ ලෝකයෙන් මානසික ලෝක නිර්මාණය වන බව විද්‍යාමාන වන බව තේරුම් ගැනීමෙන් පසු ඒ නිර්මානසික ලෝකයට ප්‍රාණවාචී නිර්මාපකයා යන අදහස ආරෝපණය වන්නට ඇතැයි සිතිය හැකිය. විශේෂයෙන් ම සාමාන්‍ය ජනයාට අප්‍රාණවාචී නිර්මානසික ලෝකයකට වඩා ප්‍රාණවාචී නිර්මාපකයකු තේරුම් ගැනීම පහසුය. ථෙරවාදී බෞද්ධයන් මේ සියල්ලෙන් වෙනස් වන්නේ නිර්මානසික ලෝකය ද යථාර්ථයක් ලෙස නොපිළිගැනීමෙන් හා ඒ තේරුම් ගත හැක්කේ මනස ඉක්ම වූ තත්වයකින් නොව අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් හා මනස ද නිර්මාණයක් බව නැති මනසින් අවබෝධ කර ගැනීමෙන් ය යනුවෙන් පිළිගැනීමෙනි. ථෙරවාදී බෞද්ධයන්ට අනුව සංස්කාර ඇති වන්නේ එනම් මානසික ලෝකය නිර්මාණය වන්නේ අවිද්‍යාව, එනම් අනිත්‍ය, දුක්ඛ අනාත්ම පිළිබඳව අවිද්‍යාව හේතුකොට ගෙනය.

– නලින් ද සිල්වා –

(ඉරි ඇඳි අවධාරණය එකතු කර තිබේ)

***

Advertisements