18492674_10154531470471629_2133497693_n

ත්‍රස්තවාදය යනු ආගමික, දේශපාලනික, හෝ යම් මතවාදී අරමුණක් වෙනුවෙන් බිය නිර්මාණය කිරීමේ මාධ්‍යයක් ලෙස වගවිභාගයකින් තොරව ප්‍රචණ්ඩත්වය පැතිරවීම යැයි හැදින්විය හැකිය (මූලික හැඳින්වීමක් මෙතැනින්). එම අර්ථයෙන් හා අප දන්නා ප්‍රසිද්ධ අර්ථයෙන් ත්‍රස්තවාදී සංවිධාන යනු මෙලොව පැවැත්මට අහිතකර බලපෑම් එල්ල කරන සංවිධාන විශේෂයක් බව සමස්ත ලෝක වාසීන්ගේ පිළිගැනීමයි. ඔවුන්ගේ ක්‍රියාදාමයන් හේතුවෙන් අද වන විට විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වී ඇත. නමුත් ත්‍රස්තවාදය පසුපස සෑම විටම තිබෙන්නේ පවත්නා සමාජ ක්‍රමයේ අර්බුදයි. ත්‍රස්තවාදය යනු නිර්ධනයාගේ න්‍යෂ්ඨික බෝම්බය වේ කියා ජොන්-පෝල් සාත්‍ර පැවසුවේ එම නිසාය. ත්‍රස්තවාදය සෑම විටම ඉලක්ක කරන්නේ පවත්නා පාලකයන් හට සමාජය සුමට ලෙස පාලනය කිරීමේ හැකියාව බිඳ දැමීමයි. ඔවුන් ඒ සදහා තම ක්‍රමවේදය හැටියට භාවිතා කරන්නේ යුදමය ක්‍රියාවලියකි. නමුත් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාදාමය දෙස වඩා සුපරික්ෂාකාරීව බැලූ විට වඩා අහිතකර බලපෑම එල්ල වන්නේ ලෝක වාසීන්ට වඩා දේශපාලන නායකයන්ට යි.

මෙරට තිස් වසරක යුද්ධය තුළ රජයට දේශපාලනික වශයෙන් ඉතාම බලපෑම් සහගත සංවිධානය වූයේ එල්ටීටීයී සංවිධානය යි. රජයට නිදහසේ හැසිරිය හැකි තත්වය සීමා කිරීම ඔවුන් අතින් සිදු විය.  ආහ්ලාදජනක අත්දැකීමක් ලෙස කියන්නේ නම් 2009 යුද්ධය අවසන් වීමෙන් පසුව පසුගිය රජයේ නිදහසේ හැසිරිමේ සීමාව එය තවදුරටත් තහවුරු කරයි. තවත් ආකාරයට කියන්නේ නම් ඔවුන් ඍජුව මෙරට මිනිසුන්ට වඩා නැති නම් දෙමළ ජනතාවට වඩා මෙරට පාලකයන් වෙත ඔවුන්ගේ අරගලය දියත් කර තිබුණි. පාලකයන් යනු ජනතා නියෝජිතයන් වන අතර ඔවුන්ට එල්ල කරන ප්‍රහාරය ජනතාවට එල්ල කරන ප්‍රහාරයට සමාන යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් අද දවසේ ජනතා නියෝජනය හා ජනතාව අතර ඇති දුරස්ථභාවය නැතිනම් දේශපාලඥයනගේ ක්‍රියාදාමයන් සහ ජනතා සිතුම් පැතුම් අතර පවතින නොගැලපීම එම තර්කයේ ප්‍රබලතාව තුනී කරවයි.

ඒ අතර අප විදේශීය ත්‍රස්ත සංවිධාන දෙස ද අවධානය යොමු කිරීමේ දී මෙම තත්වයෙහි බරපතල වෙනස් කම් නැත. මෙයින් අප කියන්නට උත්සහ කරන්නේ ත්‍රස්ත කණ්ඩායම් ලෝකයේ යහපැවැත්මට අවශ්‍ය බව හෝ ඔවුන් ඉතා යහපත් මනුෂ්‍ය කොට්ඨාශයක් බව නොවෙයි. නමුත් එක්තරා අර්ථයකින් ඔවුන් අත්තනෝමතික ආඥාදායක දේශපාලනයට පැවතිය හැකි ඉඩ කඩ සීමා කරන දැනට ලෝකයේ පවතින බලපෑම් සහගත ම දේශපාලන මාදිළිය යැයි කිව හැකි නොවේද ?

මෙම ලිපිය මගින් අප උත්සහ කරන්නේ අද දවසේ ලොව භායානක ම, බලසම්පන්න ම හා ගෝලීය දේශපාලනය වෙත දිශානත වූ ත්‍රස්තවාදී කණ්ඩායම් හා ඇමරිකාව අතර පවතින සම්බන්ධය විදාරණය කිරීමටයි.

අයිඑස්අයිඑස් සංවිධානය එක පොදු ආගමික අරමුණක් වෙනුවෙන් කටයුතු කරයි. ඉරාකය හා සිරියාව තුළ ඔවුන්ගේ සටන් මෙහෙය වන්නේ ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණිනි. මෝසුල් නගරය අත්පත් කර ගැනීම, ඇලැප්පෝ අත් පත් කර ගැනීම හා ඒවා අහිමි වීම හරහා ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණේ එම ආගමික අන්තවාදය මැදපෙරදිග ප්‍රධාන රාජ්‍යයන් හි ස්ථාපිත කිරීමටය. තලෙයිබාන් සංවිධානය ද ඇෆ්ඝනිස්තානයේ ලෝකු උරුමයක් ව පැවති බාමියන් බුදු පිළිම විනාශ කළේ ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින් ඔවුන්ගේ ඉලක්කය වෙත යාමට අවශ්‍ය මග එළි පෙහෙළි කර ගැනීමටය. මේ අර්ථයෙන් මෙම සියලු ත්‍රස්ත සංවිධාන විශාල පොදු දේපළ හානියක් සිදු කරන්නේ කුමන අරුතින්ද ? ඒ ඔවුන්ගේ අරමුණ වෙත යාමට අවශ්‍ය මග නිරාවරණය කර ගැනීමේ මෙහෙයුමක් ලෙසය. එමගින් පවතින රජයට දැරිය නොහැකි පාඩු සිදු වන අතර එය එම රජයේ පැවැත්මට ඍජුව බලපෑම් කරයි. නමුත් මේ සියල්ලේ අවසන් පුරුක ලෙස මහජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වෙයි. ත්‍රස්ත සංවිධාන හා ඔවුන් සමග ගැටෙන රාජ්‍ය සංවිධාන පළමුව මගහැර ඇත්තේ මෙම මානූෂීය ගැටලුවයි.

පැහැදිලිව නැවත කිවහොත් ගෝලීය දේශපාලනය පවත්වාගෙන යාමට ත්‍රස්තවාදය මගින් යම් කාර්යයක් ඉටු කරයි. මොහොතකට ඔබ සිතන්න අයිඑස් සංවිධානය තම ක්‍රියාවලිය නතර කරන්නේ නම්, තලෙයිබාන් සංවිධානය සුණු විසුණු වී යන්නේ නම් ඇමරිකාව එදිනට ඔවුන්ගේ කොලනි අරාබිය තුළ ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘති අරඹන්නේ නැතිව සිටියි ද ? තෙල් සම්පත ඔවුන් අතට නොගෙන සිටියි ද ?

අද දවසේ ලෝක බලවතුන් ලෙස සැලකිය හැකි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් සියල්ල යම් ත්‍රස්ත සංවිධාන සමග යුදමය වශයෙන් අභිමුඛ වී සිටියි. ජර්මනිය චීනය පුළුල් වශයෙන් නොවුණත් ඔවුන් ඒ පිළිබද යම් අත පෙවීමක් නොයෙක් මට්ටමින් සිදු කරයි. මෙම ප්‍රධාන රාජ්‍යයන් තම විදේශ ප්‍රතිපත්තිය හසුරුවන්නේ මෙම ත්‍රස්ත සංවිධාන පසුබිමෙහි තබාගෙනය.

ඒ අතර අප මාතෘකාවට ගන්නා ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති පුදුමාකාර අයුරින් විවිධ වේශයන් ගනියි. මෑතකදී ඔවුන් විසින් සිරියාවට එල්ල කළ ප්‍රහාරය ප්‍රජාතාන්ත්‍රික හෝ එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි රාජ්‍යයක් හැටියට සිදු කළ නොහැක්කකි (සිරියානු යුද්ධය පිළිබඳව වැඩි තොරතුරු මෙතැනින්). විෂ වායු ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය යම් කාර්යයක් ඉටු කරමින් සිටිනා මොහොතක ඒ සදහා සිරියාවට අඩම්තේට්ටම් කිරීමට ඇමරිකාවට ඇති සුවිශේෂී බලය කුමද්ද ? ට්‍රම්ප් රජයේ හිතුවක්කාරී ක්‍රියා ලෙස එය අපට ලඝු කළ නොහැක. මන්ද ඔබාමා පාලනය විසින් බින් ලාඩන් ඝාතනය කළේ පාකිස්ථානයට කිසිදු දැනුම් දීමක් සිදු නොකරමින් ඔවුන්ගේ ගුවන් සීමා හා පාකිස්ථානයේ සියලු නීති රීති උල්ලංඝනය කරමින් ය. බුෂ් පාලනය ද ඊට දෙවැනි නැත. මේ ආකාරයට ඇමරිකාව සතු මෙම බලය ත්‍රස්තවාදය හා සම්බන්ධ වන ආකාරය වෙනත් කිසිදු සංවිධානයකට හෝ රාජ්‍යයකට පාලනය කළ නොහැක. තලෙයිබාන්, අල්-කයිඩා, අයිඑස්අයිඑස් සංවිධාන වෙනත් රාජ්‍යවල සිටියදී ඔවුන් ප්‍රහාර එල්ල කරන්නේ ඔවුන්ගේ හිතු මනාපය ට ය. එහිදී ඔවුන්ට ජනතාව එහි වාසය කරන්නේ ද යන්න අදාළ නොවන්නේ වෙනත් රාජ්‍යයන් හා ත්‍රස්තවාදීන් අතින් සාමාන්‍ය ජනතාව ඝාතනය වූ විට ඔවුන් ගන්නා ප්‍රවේශය සමග විශාල පරස්පරතාවයක් ඇති කරමිනි. මෙම තත්ත්වය ග්‍රාම්‍ය උදාහරණයකින් කියන්නේ නම්, ගමේ චන්ඩියාගේ භූමිකාව ඇමරිකාව විසින් ඉටු කරමින් සිටියි. ඇමරිකාවේ පත් වුණු සියලු පාලකයන්ගේ විදේශ ප්‍රතිපත්තියේ පොදු සාධකය වන්නේ මේ චණ්ඩියාගේ භූමිකාව යි.

මෙරට යුද්ධයට අත පෙවීමට ඇමරිකාව, රුසියාව ප්‍රංශය විශේෂයෙන් චීනය අලස වූයේ එල්ටීටීඊ සංවිධානය ගෝලීය වශයෙන් වෙනත් කිසිදු රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තියට හෝ වෙන යම් දෙයකට බලපෑම් එල්ල නොකරන බැවිනි. අනෙක් කාරණය ඔවුන් සටන් කළ භූමියේ අද්විතීය ස්භාවික සම්පතක් නොමැති වීමය. උතුරේ යුද්ධයේ බලපෑම එල්ල වූයේ ඉන්දියාවට පමණි. ඉන්දියාව ඒ සදහා විවිධ අවස්ථාවල විවිධ ක්‍රියාමාර්ග ගැනීමට උත්සහ කළේය. ඒ අතර මෙරට රජයේ තත්ත්වය ගණනකට නොගත් අවස්ථා තිබුණි. එසේ නම් ඇමරිකාව වැනි ප්‍රබල රාජ්‍ය ද තම ත්‍රස්ත විරෝධය ආරම්භ කරන්නේ ඔවුන්ගේ රාජ්‍යයට ඇති වන බලපෑම මත පමණි. සෝමාලියානු සිවිල් යුද්ධය ඇතුළු අප්‍රිකානු කලාපයේ යුද්ධ ඔවුන්ට තරම් නොවේ. නමුත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ඇමරිකානු හෝ යුරෝපීය නැවක් ප්‍රාණ ඇපයට ගත් මොහොතක ඔවුන් මුහුදු කොල්ලකරුවන් තුරන් කිරීමට සාකච්ඡා කරයි. තවද ඔවුන් යුදමය වශයෙන් මැදිහත් නොවන සිවිල් අර්බුද සදහා ඔවුන් ප්‍රවේශ වන්නේ ඒවායේ මානව අයිතීන් උල්ලංඝනය වීම් පිළිබද යි. මේ සියලු කරුණු සළකා බැලීමේදී ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය යනු කුමක්ද ?

අප වැනි තුන්වැනි ලෝකයේ සංවර්ධනය වන රටකට මෙම තත්වය සාමාන්‍ය තත්වයක් බව කිව හැකිය. මහින්ද රාජපක්ෂ සමයේ වැඩි නැඹුරුතාවයක් චීනය වෙත පැවති අතර යුරෝපා සංගමය හා ඇමරිකාව සමග සම්බන්ධතා සවිමත් එකක් නොවීය. අද දවසේ ජාතික ආණ්ඩුව යටතේ එය කන පිට ගැසී ඉන්දියාව වෙත වැඩි නැඹුරුතාවයක් දක්වයි. පසුගිය ආණ්ඩුව චීන සමාගම් සමග වැඩි මිත්‍රත්වයකින් කටයුතු කිරීමත් ඒ හරහා ඔවුන්ගේ දේශපාලන ස්ථාවරත්වය ගොඩ නගා ගත හැකි වීම තුළ ඔවුන් චීනය සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළෝය. වර්තමානයේ එම අරමුණින් ම එය වෙනත් දිශානතියක් තුළ සිදු වෙයි. තුන්වන ලෝකයේ රටක් හැටියට ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය කේන්ද්‍ර වන්නේ පැහැදිලිව ම ආර්ථිකය කේන්ද්‍ර කොට ගෙනය. නමුත් ඇමරිකාවේ මෙය මූලිකව ආරක්ෂාව සමග බැදේ. එම නිසා ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය එම මොහොතේ පවතින ගෝලීය යුද වාතාවරණය මත පිහිටයි.

ඒ සඳහා ආසන්නතම උදාහරණය වන්නේ ඉහත සදහන් කළ පරිදි සිරියානු යුද්ධය වෙත ට‍්‍රම්ප් අභිමුඛ වූ ආකාරය යි. තවත් අවස්ථාවක් ලෙස ඔසාමා බින් ලාඩන්ගේ ඝාතනය හැඳින්විය හැකිය. එහිදී ඇමරිකානු ගුවන් හමුදාවේ ක‍්‍රියාන්විතය අවසන් වූවා ට පසුවයි පාකිස්තානු ජනපතිවරයා මෙම තත්වය පිළිබඳ දැනගන්නේ. වෙනත් ස්වාධීන රාජ්‍යයක යුද කටයුතු පැවැත්වීම හා ගුවන් සීමා අයතු ලෙස භාවිතා කිරීම ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්තියේ කොයි ආකාරයට තහවුරු කර ඇද්ද ? මේ දිනවල කාල් වින්සන් යාත‍්‍රාව දකුණු චීන මුහුදේ නවතා ඇත. ඒ තමුන්ගේ නියෝගවලට අවනත නොවුණු උතුරු කොරියාවට එරෙහි යම් ක‍්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ය. (උතුරු කොරියාවේ ව්‍යපෘතිය ද මින් සාධාරණීකරණය නොකරනව බව කිව යුතුය.) ඒ සඳහා ජපානයෙන් හා දකුණු කොරියාවෙන් සහයෝගය ද ලැබෙයි. මේත් සමග තලෙයිබාන් කණ්ඩායම සමගත් ඇමරිකාව ඇෆ්ඝනිස්ථානයේ විශාල යුද්ධයක් සිදු කරගෙන යයි. එකවර යුද්ධ තුනක් වෙත අභිමුඛ වීමේ මහා බලවතා සතු බලය විදාරණය කිරීම යනු ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය තමුන්ගේ ආරක්ෂාව පිළිබද සිතන ආකාරය ගැන අදහසකි.

ඇමරිකාව කියන්නෙ 200 කට ආසන්න රටවල් සංඛ්‍යාවක් සමග තම විදේශ සම්බන්ධතා පවත්වාගෙන යන රාජ්‍යයකි. තම රාජ්‍ය සතු ආර්ථික දේශපාලන යුදමය වැනි විවිධ පාර්ශවයන්හි බලය වර්ධනය කර ගැනීම ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියේ අවසන් අරමුණ ලෙස හැදින්විය හැකිය. ඇමරිකානු නිදහස් සටනින් පසුව ඔවුන් බලවත් යුරෝපීය රාජ්‍යයක් ලෙස පැවතීමට උත්සහ කළෝය. අවසාන අරුතින් ඇමරිකාව සතු බලය ලෝක ජනතාවගේ සුබ සිද්ධියට හේතු වන හෝ වෙනත් ආකරයකට ලෝකයට පැමිණිය හැකි බලවේගයක් වෙනුවෙන් ඉදිරිපත් වන බලයක් හැටියට ප්‍රතීයමාන නොවේ. ඇමරිකාව සිරියානු යුද්ධය පිළිබද සංවේදී වන්නේ ඔවුන්ගේ ප්‍රධාන සතුරෙකු වන රුසියාව ඊට සම්බන්ධ වී සිටිනා නිසාය. පොදුවේ ගෝලීය තෙල් සම්පත නතු කර ගැනීම, න්‍යෂ්ටික කෙෂ්ත්‍රයේ බලවතා වීම, සියලු පාලනයන් ඔවුන්ට හිතැති සුහද පාලනයක් බවට පත් කර ගැනීමට යි.

අප මුල දී පෙන්වා දුන් ත්‍රස්ත කණ්ඩායම්වල ප්‍රධාන ක්‍රියාකරම් සියල්ල ඔවුන් සිදු කරන්නේ කිසිදු වගවිභාගයකින් තොර ප්‍රචණ්ඩ අයුරිනි. ත්‍රස්ත කණ්ඩායම්වල මූලික ප්‍රතිපත්තිය වන්නේ තමන්ට අවැසි තමුන්ගේ අරමුණ වෙත ළගා වීමට අවශ්‍ය කටයුතු ප්‍රචණ්ඩත්වය තුළින් ළගා කර ගැනීමය. ඒ අර්ථයෙන් ඇමරිකානු හැසිරීම හා ත්‍රස්ත කණ්ඩායම්වල හැසිරීම අතර විශාල වෙනස් කමක් නැති බව අපට කියන්නට සිදු වන්නේ දෙපාර්ශවයේම ක්‍රමවේදය බොහෝ අයුරින් සමපාත වන බැවිනි.

නමුත් මෙහි දී අසමාන වන දෙයක් ද තිබේ. ඒ තමයි මේ දෙපාර්ශවයේ එක් පැත්තක් විසින් මේ පවත්නා ක්‍රමයේ වරප්‍රාසාදිත පාලකයන් නියෝජනය කරන අතර අනෙක් අන්තයේ සිටින්නේ ගෝලීය ක්‍රමයක් විසින් පිටුවහල් කර ඇති මිනිසුන් ය. පීඩිතයා පෙළෙමින් සිටියි, හව්හරණක් නැතිව ලෝක ගෝලයෙන් ඉවතට තල්ලු වෙමින් සිටියි, බොහෝ විට අවසන් සාධාරණතම විසදුම ඔවුන්ට සාපේක්ෂව යුදමය ක්‍රියාවලියක් වීම නොවැලැක්විය හැකි තත්ත්වයන් ලෝක ඉතිහාසයේ හමු වෙයි. ඒ සදහා පිළිතුරු දෙන ඇමරිකානු ක්‍රමවේදය අතිශය අසාර්ථක බව අද දවසේ ලිබියාව, ඉරාකය, ඇෆ්ඝනිස්ථානය, ඊජිප්තුව දෙස බැලූ විට මනාව තහවුරු වෙයි. අවසාන අරුතින් අපට කියන්න සිදු වන්නේ මෙයයි. ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ බැරෑරුම් ප්‍රජාතන්ත්‍රකරණයක් සිදුවන තුරු ගෝලීය සාමය යනු ළඟා විය නොහැකි ඉලක්කයක් බවයි. නමුත්, මේ ආකාරයේ ප්‍රජාතන්ත්‍රීයකරණයක් ඇමරිකානු දේශපාලනයේ සිදු වීම යනු, අවසන් අර්ථයෙන්, ධනවාදයට එරෙහිව පමණක් ඇති විය හැක්කකි.

රංග මනුප්‍රිය

Advertisements