THE HINTERLAND Glenn Brown1

 

පහතින් පළ වන්නේ ජෝජ් බාක්ලී නම් අයර්ලන්ත ජාතික දාර්ශනිකයාගේ A Treatise Concerning the Principles of Human Knowledge නම් කෘතියේ ආරම්භක තර්කයේ – කෘතියේ අනු අංක පිළිවෙල අනුව 4 සිට 10 දක්වා – දළ සිංහල පරිවර්තනයකි. ඉතාම කෙටි පේළි කීපයකින් මුළුමහත් චින්තන සම්ප්‍රදායක් උඩුයටිකුරු කිරීමේ අතිශයින් විරල ක්‍රියාව සිදුකිරීමට සමත් වූ චින්තකයන් අතලොස්ස අතරට බාක්ලී එක් වන්නේ මේ මගිනි. මෙම කොටස ගැඹුරින් කියවීමෙන් පසුව තවදුරටත් භෞතිකවාදය වෙනුවෙන් දාර්ශනිකව පෙනී සිටීම – එයට වඩා දියුණු තර්කයක් ඉදිරිපත් කරන්නේ නොමැතිව – අර්ථ විරහිත ක්‍රියාවක් බව වැටහෙනු ඇත. 1710 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් වූ මෙම කෘතිය මෙන්ම එහි කතුවරයාද, දර්ශනයේ ඉතිහාසය තුළ, බොහෝ විට ලබන්නේ අඩු සැලකිල්ලකි. කුමන හෝ අර්ථයකින් බාක්ලී වැරදි විය යුතු වන බව එහිදී උපකල්පනය කෙරේ. නමුත් එසේ වැරදි වන්නේ ඇයිද යන්න සඳහා කිසිවෙකු නිශ්චිත හේතුවක් ඉදිරිපත් කරන්නේ ද නැත. කාන්ට් ගේ – ‘නාගරික’, ‘ශිෂ්ට’ ‘සුමට’ – විප්ලවයට පෙර සිදු වූ, අමතක කර දැමිය යුතු – ‘ග්‍රාම්‍ය’, ‘ගෝත්‍රික’, ‘රළු’ – කුඩා සිදුවීමක් ලෙස බාක්ලී කියවීමට අපව පුරුදු අර සිටියි. නමුත්, සත්‍යය වශයෙන්ම, බාක්ලීගෙන් පසුව පාරභෞතිකවාදී භෞතිකවාදය (metaphysical materialism) වෙත අත් වූයේ තීරණාත්මක පරාජයකි.

1980 දශකයේ සිට මෙරට සිංහල බුද්ධිමය සංවාදය සඳහා තීරණාත්මක බලපෑමක් සිදු කරනා නලින් ද සිල්වා ගේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ දාර්ශනික පදනම ලෙසද මෙම බාක්ලියානු තර්කය සලකා බැලිය හැකි වේ. මින් අදහස් කරන්නේ එය බාක්ලීගෙන් ඍජුව උපුටා ගත් සංවාදයක් වන බව නොවේ. එහි මූලික ආස්ථානයන් ගොඩ නැගීමේදී බාක්ලීගෙන් වූ බලපෑම ඉතාමත් අඩු බව අපි දනිමු. නමුත් එම සංවාදයේ ඉමහත් ජනප්‍රිය දාර්ශනික අභියෝගයන් අවසානයේදී සූත්‍රගත වූ පසු එය බාක්ලී ගේ සංවාදය සමග දක්වන සමීප ඥාතිත්වය හඳුනා ගැනීම එතරම් අපහසු නොවේ. අනෙක් අතට, බාක්ලී මෙන්ම නලින් ද සිල්වා යනුද තමන් මැදිහත් වන බුද්ධිමය සංවාදයේ – මෙතැනදී සිංහල බුද්ධිමය සංවාදයේ – ප්‍රධාන ධාරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ චින්තකයෙක් වෙයි. නමුත් – සහ නැවතත් බාක්ලී හා සම ලෙස – සමකාලීන සිංහල බුද්ධිමය සංවාදයේ තිබෙනා බොහෝ ජනප්‍රිය අදහස් වල මූලාශ්‍රය අපට හමු වන්නේ නලින් ද සිල්වා විසින් දශක ගණනක් පුරා ගොඩ නගන ලද සාහිත්‍යය තුළයි. බාක්ලී ට පසුව ලෝක මට්ටමිනුත්, නලින් ද සිල්වා ට පසුව සිංහල කතා කරන ලෝකය තුළත්, භෞතිකවාදය පිළිබඳව සංවාදය සඳහා අත්වූයේ පරාජයක් වීම සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති වේ. එය එසේ නොවනා බව සිතනා භෞතිකවාදීන් – හේතුවාදීන්, බුද්ධිවාදීන්, යථාර්ථවාදීන් – හට අපට කියන්නට ඇත්තේ, ඔවුන් ගේ පොළොව ඔවුන්ට අහිමි වී ඇති බව ඔවුන් දන්නේ නැති බව පමණි. අද දවසේ භෞතිකවාදය පිළිබඳව සංවාදයක් ආරම්භ කිරීමට කව්රුන් හෝ උනන්දු වන්නේනම්, එය කළ හැකි වන්නේ මෙම අභියෝගයට මුහුණ දී මිස, එවැන්නක් වී නොමැති බව තමන්ටම සපථ කර ගැනීමෙන් නොවේ. මේ සඳහා, සියල්ලට පළමුවෙන්, මෙම තර්කය අවබෝධ කරගත යුතු වේ.

පරිවර්තනය කිරීම යනු සාමාන්‍යයෙන් පැසසුමට වඩා ගැරහුමට ලක් වන ක්‍රියාවකි. පරමාදර්ශී පරිවර්තන යනු යථාර්ථයේ හමු වන දේ නොවේ. නමුත් සිංහල බුද්ධිමය සංවාදය මේ වනවිට ඇද වැටී ඇති අවිධිමත්, පදනම් විරහිත, පිළිවෙලකට ඉගෙන ගැනීමකින් තොරව ඕනෑම දෙයක් කිව හැකි ආකෘතියෙන් මිදිය හැක්කේ අප සංවාදයට බඳුන් කරනා අදහස් වල මූලාශ්‍ර එයට හඳුන්වා දිය හැකිනම් පමණි. ‘භෞතිකවාදය’ සහ ‘විඥානවාදය’ ගැන තම තමන්ගේ හිතළු ලියා තැබීම වෙනුවට ඓතිහාසික විඥානවාදයේ කේන්ද්‍රීය තර්කය මෙලෙස සිංහලට පරිවර්තනය කරන්න අප උත්සාහ කළේ මෙවැනි වැඩකට දිය හැකි කුඩා දායකත්වයක් ලෙසයි. එහි අඩුපාඩුවක් තිබේනම්, එය නිවැරදි කර ගැනීම ලැජ්ජාවක් ලෙස නොව ගෞරවයක් ලෙස අපි සලකමු.

 

***

 

  1. මිනිසුන් අතර, සත්‍ය වශයෙන්ම, තිබෙන තරමක් පුදුමසහගත අදහසක් වන්නේ නිවාස, කඳු වැටි, ගංගාවන් ආදී අපේ ඉන්ද්‍රීයයන් වලට හසුවන ලෝකය සඳහා ස්වභාවික, එසේත් නැතිනම්, සැබෑ පැවැත්මක් ඇති බවත් එම පැවැත්ම ඒවා සංජානනය වීමෙන් ස්වායත්තව තිබෙනා බවත්ය. මෙම මූලධර්මය කොතරම් නිවැරදි ලෙස පෙනුනත් සහ කොතරම් දෙනෙක් ගේ විශ්වාසය දිනා ගත්තද, එය ප්‍රශ්න කිරීමට තරම් ධෛර්යසම්පන්න වන ඕනෑම කෙනෙක් මෙම මූලධර්මය තුළ පැහැදිළි විසංවාදයක් තිබෙනා බව හඳුනා ගනු ඇත. ඉහතින් අප නම් කර තිබෙන්නේ අපගේ ඉන්ද්‍රීයයන් හරහා සංජානනය කරනා වස්තූන් වේ. නමුත් අප සංජානනය කරන්නේ අපගේ අදහස් හෝ සංවේදනා (sensations) පමණි. ඉතින්, මේ එක වස්තුවක් හෝ මේවායේ එකතුවක් හෝ අපගේ සංජානනයෙන් තොරව පැවතිය හැකි බව සැලකීම මුළුමනින් වැරදි නොවන්නේද?

 

  1. අප මෙම මූලධර්මය වඩාත් හොඳින් පරීක්ෂා කර බැලූ විට, අපට, සමහරවිට, පෙනී යනු ඇත්තේ එය වියුක්ත අදහස් පිළිබඳ ප්‍රවාදය මත පදනම් වන බවයි. සංවේදනාත්මක වස්තු වල පැවැත්ම අප ඒවා සංජානනය කරනා ආකාරයෙන් වෙන් කර ගෙන, ඒවා සංජානනය නොකරන විටත් පවත්නා ලෙස සැලකීම තරම් තවත් වියුක්තකරණයක් තිබිය හැකිද? ආලෝකය සහ වර්ණ, උණුසුම සහ සිසිල, ව්‍යාප්තිය සහ හැඩය ආදී අපට පෙනෙන සහ දැනෙන දේවල් යනු සංවේදනයන්, සංකල්ප, අදහස් හෝ ඉන්ද්‍රීයයන් මත තබනා සලකුණු ආදියේ එකතුවක් මිස අන් කිසිවක් නොවේ. මේ කිසිවක්, අඩුම තරමින් පරිකල්පනය තුළ හෝ, ඒවා පිළිබඳව ඇති සංජානන වලින් වෙන් කළ හැකි වේද? මට පුළුවන්, ඉතාම පහසුවෙන්, දෙයක් එයින්ම වෙන් කරන්න. කවදාවත් වෙන්ව තිබෙනවා කියා මගේ ඉන්ද්‍රීයයන් හරහා නොදැකපු දෙයක් මගේ පරිකල්පනය තුළ වෙන් කර ගන්න මට පුළුවන්. නිදර්ශනයක් ලෙස, කකුල් සහ අත් දෙකම නොමැති මිනිස් සිරුරක් මනසින් මවා ගන්න, එහෙමත් නැතිනම්, රෝස මලක් ගැන හිතන්නේ නැතුව එහි සුවඳ පමණක් සිතා බැලීම, මට කරන්න පුළුවන්. වියුක්තකරණය කියා කියන්නේ මෙයනම්, මේ ආකාරයට වියුක්ත කරන්න පුළුවන් කියන එක මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එය අදාළ වෙන්නේ සත්‍ය වශයෙන්ම වෙන් වෙන්ව පැවතිය හැකි, එසේත් නැතිනම්, සැබැවින්ම වෙන් වෙන්ව සංජානනය කිරීමට ඉඩ ඇති වස්තූන් සඳහා පමණි. නමුත් මට මෙලෙස සිතා බැලීමට හෝ පරිකල්පනය කිරීමට හෝ ඇති හැකියාව සැබෑ පැවැත්ම හෝ සංජානනය හෝ ඉක්මවා යන්නේ නැත. මේ අනුව, මට කිසිවක් එම දෙයෙහි ඇති සංවේදනයන්ගෙන් වෙන්ව දැක ගැනීමට හෝ අල්ලා බැලීමට හෝ නොහැකි වන නිසා, මගේ පරිකල්පනය තුළත් සංවේදනාත්මක දෙයක් හෝ වස්තුවක් හෝ එහි සංවේදනයෙන් හෝ සංජානනයෙන් හෝ ස්වායත්තව සිතා බැලීම කළ නොහැකි වේ.

 

  1. සමහර සත්‍යයන් අපට කොතරම් සමීප වන්නේද යත් ඒවා දැක ගැනීම සඳහා කළ යුතු වන්නේ අපේ දෑස විවර කිරීම පමණි. මෙන්න මේ සත්‍යයත් එවැනි එකක් කියා මම සිතමි. ඒ තමයි ස්වර්ගයේ වසනා සියලු දේව දූතයන් සහ මිහිතලයේ තිබෙනා සියලු වස්තූන් ඇතුළු මේ විශ්වය සකස් වී තිබෙනා කිසිදු දෙයකට මනස නොමැතිව හරයාත්මක පැවැත්මක් නොමැති වේ යන්න. ඒවායේ පැවැත්ම වන්නේ සංජානනය වීම හෝ දැනුමක් ලෙස පැවතීමයි. එනිසා, ඒවා මවිසින් සත්‍ය ලෙස සංජානනය කරන්නේ නැති විට, මගේ මනසේ හෝ වෙනත් නිර්මාණය කරන ලද ආත්මයක (spirit) මනස තුළ පවතින්නේ නැති විට, ඒවාට, එක්කෝ, කිසිදු පැවැත්මක් නොමැති වේ, එසේත් නැතිනම් ඒවා කිසියම් සදාකාලික ආත්මයක (spirit) මනස තුළ පැවතිය යුතු වේ. මෙවැනි ආත්මයකින් ස්වායත්ත පැවැත්මක් ඒවායේ කිසිදු කොටසකට හෝ ලබා දීම, බුද්ධියෙන් ග්‍රහණය කරගැනීම කිසි සේත් කළ නොහැකි අතර, ඒ සඳහා වියුක්තකරණයේ සියලු විකාරරූපීත්වයන් ඇතුලත් වේ. මෙය තේරුම් ගැනීම සඳහා කියවන්නා විසින් කළ යුත්තේ තමන්ගේ පරිකල්පනය තුළ කිසියම් සංවේදනාත්මක දෙයක පැවැත්ම, එය සංජානනය වීමෙන් වෙන් කළ හැකිද කියා කල්පනා කර බැලීමය.

 

  1. මේ කියා ඇති දේ මගින් ගම්‍ය වන්නේ ආත්මය, එසේත් නැතිනම්, සංජානනය සිදුකරනා දෙය හැරුණු විට වෙනත් හරයක් (substance) නොමැති බවයි. මෙය තවත් තහවුරු කර ගැනීම සඳහා සංවේදනාත්මක ගුණාංග වන වර්ණ, හැඩ, චලනය, සුවඳ, රස ආදි ඉන්ද්‍රීයයන් මගින් සංජානනය වන අදහස් සලකා බලන්න. අප සංජානනය නොකරන දෙයක් තුළ අදහසක් අන්තර්ගතව ඇති බව පැවසීම, බැලූ බැල්මටම විසංවාදයකි. මන්ද, අදහසක් ඇති වෙනවා සහ සංජානනය කරනවා යනු දෙකක් නොවේ. වර්ණය, හැඩය වැනි ගුණ පැවතීම සඳහා ඒවා සංජානනය කළ යුත්තේ එම නිසාය. ඒ අනුව මෙම අදහස් ඇතුලත් වන්නා වූ නමුත් සිතීම නොමැති වූ සාරයක් හෝ පදාර්ථයක් හෝ තිබිය නොහැකිය.

 

  1. ඔබ දැන් මෙහෙම කියන්න ඉඩ තිබේ: මනස නොමැතිව අදහස් පවතින්නේ නැති බව පැහැදිළි වුනත් ඒ හා සමාන දේවල් තිබිය හැකිය. අදහස් යනු එම දේවල් නියෝජනය කරනා දේ හෝ ඒවායේ පිටපත් හෝ ලෙස ගත හැකි වේ. නමුත් එම අදහස් මගින් නියෝජනය කරනා දේවල් සිතන්නේ නොමැති සාරයක් ලෙස, මනස නොමැතිව පවතියි. මෙයට මට ඇත්තේ මෙවැනි පිළිතුරකි: අදහසක් හා සමාන විය හැක්කේ අදහසක් පමණි. වර්ණයක් හෝ හැඩයක් හෝ සමාන විය හැක්කේ තවත් වර්ණයකට හෝ හැඩයකට හෝ පමණි. අපේ සිතුවිලි දෙස තරමක් උනන්දුවෙන් බැලූ විට පවා අපට පෙනී යනු ඇත්තේ අපේ අදහස් අතර ඇති සමානබව හැර වෙනත් ආකාරයේ සමානබවක් පිළිබඳව අපට සිතා ගැනීම කළ නොහැකි බවයි. නැවතත් මම අසන්නේ, අපේ අදහස් නිකන්ම මානසික නියෝජනයන් බවට ඌණනය කරන, ඒවායින් බාහිරව තිබෙනවා කියා සිතන මූලික සහ පරිබාහිර දේවල්, අපට සංජානනය කර ගන්න පුලුවන්ද? එහෙම පුළුවන් කියන්නේ, ඒවා අදහස් බවට පත්වීම වන අතර තතු එසේනම් අප තර්කයෙන් ජයගෙන තිබේ. එසේ කළ නොහැකි බව කියන්නේනම්, එවැනි කෙනෙකුගෙන් මම විමසා සිටින්නේ වර්ණයක් යනු අපට දෘශ්‍යමාන නොවන දෙයක් විය හැකිද යන්නයි, තදබව හෝ මුදුබව යන්න අපට ස්පර්ශ කර නොබැලිය හැකි දෙයක් විය නොහැකි ද යන්නයි.

 

  1. සමහරුන් උත්සාහ කරනවා ප්‍රාථමික ගුණ සහ ද්වීතීක ගුණ අතර වෙනසක් සලකුණු කරන්න. ප්‍රාථමික ගුණ යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ ව්‍යාප්තිය, ස්වරූපය, නිශ්චලබව, ඝනත්වය සහ සංඛ්‍යාවන් වැනි දේ වෙයි. ද්වීතීක ගුණ යන්නෙන් අදහස් කරන්නේ වර්ණය, ශබ්දය, රස ආදී සංවේදනාත්මක ගුණයි. මේ දෙවෙනි වර්ගයේ ගුණ සම්බන්ධයෙන් අපට ඇති අදහස් යනු මනසින් තොරව පවත්නා කිසිවක් සමග සමාන වන්නක් නොවන බව ඔවුන් පිළිගනියි. නමුත් ඔවුන්ට අනුව ප්‍රාථමික ගුණ පිළිබඳව අපට ඇති අදහස් මනසක් නොමැතිව තිබෙනා දේවල් වල ඇති රටාවන් හෝ රූපයන් හෝ වෙයි. මේ සිතන්නේ නොමැති සාරය ඔවුන් නම් කරන්නේ ද්‍රව්‍යය (matter) කියාය. ද්‍රව්‍යය යන්නෙන්, මේ අනුව, අප වටහා ගත යුත්තේ නිශ්චල, සංවේදනයන් නැති සාරයකි. එය තුළ ව්‍යාප්තිය, ස්වරූපය, චලනය වැනි දේ සැබැවින්ම පවතියි. නමුත් අප මේ වනවිට පෙන්වා දී ඇති කරුණු අනුව ව්‍යාප්තිය, ස්වරූපය සහ චලනය යනු අපේ මනසේ ඇති අදහසක් පමණක් බව පැහැදිළි විය යුතුය. අදහසක් සමාන විය හැක්කේ අදහසක් සමග පමණි. එනිසා ඒවා හෝ ඒවායේ මුල් ආකෘති, සංජානනය නොකරන සාරයක් තුළ පැවතිය හැකි නොවේ. මේ අනුව ඉතා පැහැදිළි වන්නේ ද්‍රව්‍යය හෝ භෞතික සාරයන් හෝ යන සංකල්ප වල තිබෙන්නේ විසංවාදයක් වන බවයි.

 

  1. ස්වරූපය, චලනය සහ නිශ්චලබව වැනි ප්‍රාථමික ගුණ, අපගේ මනසින් ස්වායත්තව, සිතීම නොමැති වන හරයාත්මක පැවැත්මවල් වල තිබෙනවා කියා කියනා අය, ඒ සමගම අපට කියා සිටින්නේ වර්ණ, ශබ්ද, උණුසුම, සිසිල ආදී ද්වීතීක ගුණ ඒවායේ නොමැති වන බවයි. එම ද්වීතීක ගුණ යනු අපේ මනසේ පමණක් පවත්නා සංවේදනයන් බව ඔවුහු කියා සිටිති. ඒවා පදනම් වන්නේ සහ උත්පාද වන්නේ ද්‍රව්‍යයේ ඇති කුඩා අංශු වල විශාලත්වය සහ චලනය වැනි දේවල් මත බවත් ඔවුන් අපට කියයි. ඔවුනට අනුව මෙය සැක කළ නොහැකි සත්‍යයක් වන අතර ඒවා කිසිදු ව්‍යාතිරේකයකින් තොරව ඔප්පු කර ඇති බව අපට කියයි. දැන්, මෙම ප්‍රාථමික ගුණ, එයට පසුව එන සංවේදනාත්මක ගුණ සමග වෙන් කළ නොහැකි ලෙස එකට බැඳී තිබෙන්නේනම්, සහ, අඩුම තරමින් අපගේ පරිකල්පනය තුළ හෝ ඒවා වෙන් කළ නොහැකි වන්නේනම්, මෙහි ඇති එකම ඵලය වන්නේ ඒවා මනසේ පමණක් පැවතීමයි. මා ඉල්ලා සිටින්නේ, පරිකල්පනය මගින් සිදු කරනා වියුක්තකරණයක් ලෙස කිසියම් වස්තුවක දිග, පළල, චලනය ආදිය, එහි සංවේදනාත්මක ගුණ වලින් වෙන් කළ හැකිදැයි සිතා බලනා ලෙසයි. මේ පිළිබඳව සිතීමේදී පැහැදිළි වන්නේ අවකාශය තුළ ඉඩක් ගන්නා සහ චලනය වන වස්තුවක් පිළිබඳව සිතා, එහි වර්ණය වැනි වෙනත් මනසේ පමණක් පවත්නා සංවේදනාත්මක ගුණ නොමැති වන්නේ කෙසේද කියා සිතා ගැනීමට හැකි වන්නේ කෙසේදැයි තේරුම් ගැනීම මටනම් කළ නොහැකි බව පමණි. කෙටියෙන් කියන්නේනම්, ව්‍යාප්තිය, ස්වරූපය සහ චලනය, අනෙක් සියලු ගුණ වලින් වෙන් කර ගැනීම සිතාගත හැකි දෙයක් නොවේ. එනිසා, මේ සංවේදනාත්මක ගුණ පවත්නේ කොතැනද, ප්‍රාථමික ගුණද පැවතිය යුත්තේ එතැනමයි. අප දන්නවා, ඒ තැන වන්නේ මනස මිස වෙන කිසිවක් නොවේ.

 

 

***

Advertisements