7. වදය නවක ද - Ragging Ragged

විශ්වවිද්‍යාල තුළ සාමාන්‍ය සමාජයට වඩා අමුතු බවක් ඇති බව ප්‍රචලිත මතයකි. එය විශ්වවිද්‍යාලයට ඇතුළත් නොවූ සියල්ලන්ට ඊර්ෂ්‍යා සහගත ආශාවක් ඇති වන ආකාරයේ කථිකාවක් විය. මූලික වශයෙන් ඒ සඳහා විශ්වවිද්‍යාල උප සංස්කෘතිය ඉලක්ක කර ගෙන තිබුණි. ප්‍රධාන වශයෙන් චිත්‍රපට, නවකතා, කවි, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය විසින් එකී සංවාදය තවත් තහවුරු කරන ලදී. එම කලා නිර්මාණ තුළ විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ පැවති සෙනෙහෙවන්ත සෞන්දර්ය හද බසට නගා උත්කර්ෂයට නංවා තිබුණි. ඉතාම ප්‍රගතිශීලී අර්ථයෙන් එය පාසල් සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය දිනා ගැනීමට පවා උත්තේජකයක් සැපයීය. නමුත් ක්‍රමයෙන් පසු ගිය දශක දෙකක පමණ කාලය තුළ, විශ්වවිද්‍යාලයේ මෙම සුන්දරත්වය පිළිබඳ අදහස, සමාජ කථිකාව තුළ සුන්දර දිශාවකට යොමු නොවුණි. වෙනත් ආකාරයට කියන්නේ නම් විශ්වවිද්‍යාල පිළිබඳ අද සමාජයේ පවතින අදහස පෙර සේ හද බසට නො නැගෙයි. මෙම ලිපිය මගින් උත්සහ කරන්නේ සරසවිය නම් ඒ ඥාන ගවේෂී සෞන්දර්ය තක්සලාවේ උප සංස්කෘතියේ වත්මන් තත්වය පිළිබද විශ්ලේෂණයක් කිරීමට ය.

විශ්වවිද්‍යාල උප සංස්කෘතිය යනු කුමක්ද ? උප සංස්කෘතියක් පවතිනවා යනු මහා සංස්කෘතියක් පවතින බව නිතැතින් ගම්‍ය කරවන අදහසකි. මහා සංස්කෘතිය තුළ පවතින උප සංස්කෘතියේ පැවැත්ම තීරණය වන්නේ එය මහා සංස්කෘතිය සමඟ දක්වන සම්බන්ධතාවය තුළ යි. මේ සංස්කෘති දෙක අතර පරතරය වැඩි වෙත් ම උප සංස්කෘතියේ පැවැත්ම ස්ථාරව වෙයි. නමුත් උප සංස්කෘතිය සෑම විට ම මහා සංස්කෘති‍යෙන් පෝෂණය ලබයි. උප සංස්කෘතියක් ගොඩ නැගෙන්නේ එයට ම අනන්‍ය වූ භාෂාවක්, හැසිරීම් රටාවක්, ආචාර ධාර්මික පද්ධතියක් මුල් කර ගෙන ය. ඒවා ඇති වන්නේ පවතින මහා සංස්කෘතිය විසින් යෝජනා කරන ඇතැම් තත්ත්වයන් සමඟ මුහුණ දීමට යොදා ගන්නා සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රවේශයන් මත ය.

මහා සමාජයේ බලපෑම් හා වර්තමාන විශ්වවිද්‍යාල උප සංස්කෘතියෙහි මූලයන් මීට වසර 30 කට වඩා පැරණි ය. එම නිසා විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ පැවැත්ම තරමක් ගැටලුකාරී වී ඇත. තවත් ආකාරයකට කියන්නේ නම් විශ්වවිද්‍යාල උප සංස්කෘතිය අද දවසේ අපහසුවෙන් නඩත්තු කරන උප සංස්කෘතියක් බවට පත් ව ඇත. අද දවසේ ලෝකය තුළ බොහෝ උප සංස්කෘති විවිධ තත්ත්වයන් මත විකාශනය වන නමුත් නොයෙක් ආධානග්‍රාහී කුලකයන්, නොයෙක් උප සංස්කෘති ඔවුනට අනන්‍ය අයුරින් රැකබලා ගැනීමේ අවධානමකට ලක් වී ඇත. වෙනත් ආකාරයට කියන්නේ නම් උප සංස්කෘතිය තුළ වෙනස් වීම, විකාශනය වීම අවහිර කර ඇත. ඒවා බොහොමයක් ආගමික පසුබිමක් තුළ ගොඩ නැගෙන මූලධර්මවාදී ආස්ථානයක පිහිටයි. අදටත් ඉන්දියාවේ කුඩා ගම්මාන, මියන්මාරයේ ආගමික සංවිධාන, ඉන්දුනීසියාවේ මුස්ලිම් සංවිධාන, වනාන්තර ආශ්‍රිත අප්‍රිකානු ගැමි සමාජ, එංගලන්ත රාජ පෙළපත මූළික කරගත් උප සංස්කෘතිය උදාහරණ ලෙස සඳහන් කළ හැකි ය. මන්ද ගෝලීයකරණ හා සන්නිවේදන තත්ත්වයන් පුළුල් වීමේ දී ඇති වී තිබෙන සීමා රහිත සන්නිවේදන සම්බන්ධතා ජාලා මත සංස්කෘතිය ස්වකීයත්වය අහිමි කරගන්නා දෙයක් බවට පත් වී තිබේ. නමුත් උප සංස්කෘතියක් බලෙන් රඳා පවත්වා ගන්නවා යනු, මෙම නවීන විද්‍යාවේ ඇගෑලුම් කම් හා නොයෙක් සමකාලීන දැනුම් පද්ධති වාරණය කිරීමට එම සංස්කෘතිය තුළින් නිතැතින් ම උත්සහ කිරීම ලෙස හැඳින්විය හැකි ය. කෙසේ වෙතත් පාරිභෝජනවාදයේ සූක්ෂම සංවිධානගත වීම හේතුවෙන් උප සංස්කෘති තුළ වෙළදපළ කාර්යභාරය ඉතා දියුණු මට්ටමක පවතියි. එනම් විශ්වවිද්‍යාල තුළ සිම් කාඩ්, කෝපි කඩ, ජූස් බාර් වැනි වෙළද ව්‍යාපාර සඳහා අවකාශය පිටත සමාජයට වඩා තහවුරු කර දී ඇත. එම අර්ථයෙන් වෙළඳපළ විසින් මෙම උප සංස්කෘතිය භාර ගන්නේ ඔවුන්ට ආයෝජනය කළ හැකි සක්‍රීය කළාපයක් ලෙස ය.

මෙහි දී අපට වැදගත් වන කරුණ නම් පවතින තත්ත්වය විසින් තීරණය කරන හෝ ඉල්ලා සිටින සමාජ හැසිරීම උප සංස්කෘතිය තුළින් ප්‍රතික්ෂේප කරනවා ද යන්න යි. 70 හා 80 දශකයේ මෙරට වාමාංශික දේශපාලනයට හා බුද්ධිමය කථිකාවට විප්ලවාකාරී මැදිහත්වීමක් කිරීමට එවකට විශ්වවිද්‍යාල උප සංස්කෘතියට හැකි විය. ඓතිහාසික සාධකවලට අනුව එවකට තරුණයාගේ දේශපාලන මතය, කලාවේ හැසිරීම හා සමාජ කථිකාව තුළින් එවැනි නිගමනයකට පැමිණිය හැකි ය. 70, 80 දශකයේ උප සංස්කෘතිය පාලනය කළ රටාවන්, අද දවසේ ජීවිතය පිළිබඳ විකල්ප අදහසක් නැති විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළට බලෙන් පැටවීමෙන්, මානුෂීය බැඳීම් ස්ථාර වීම හා නව දැනුමක් ආනයනය වීම විශ්වවිද්‍යාලයට අහිමි වී ඇත. අවසානයේ අද දවසේ විශ්වවිද්‍යාල තුළින් සමාජයට තරුණ රැඩිකල් පිරිසක් යොමු කිරීම අහිමි වී ඇත. තවත් පුළුල් අර්ථයෙන් කිවහොත් වමේ ව්‍යාපාරය බිඳ වැටීම, විකල්ප කලා භාවිතයන් විනාශ වී යාම, බුද්ධිමය දරිද්‍රතාවයක් දක්වා සමාජය යොමු වී ම තුළ විද්‍යාර්ථියා විශ්මයජනක නොදැනුමක ජීවත් වෙයි. එවැනි පසුබිමක 70, 80 දශකයේ උප සංස්කෘතිය යනු තවදුරටත් අද දවසේ ආගමික අර්ථයකින් පෙනී සිටින්නක් මිස බුද්ධිමය මැදිහත්වීමක් කරන්නක් නොවන බව කිව යුතු නොවේ ද ?

විශ්වවිද්‍යාල උප සංස්කෘතිය විසින් මේ වන විට පවත්වා ගෙන යන ප්‍රමුඛත ම ක්‍රියා දාමය ‘රැග්’ නැති නම් ‘නවක වදය’ ලෙස හැඳින්විය හැකි ය. නවක වදය සිදු කරන්නේ ඇයි ? එය කා වෙනුවෙන් ද ? යන ගැටලුව අද දවසේ විද්‍යාර්ථයින්ට ද තාර්කික පිළිතුරක් ගොඩ නැඟිය හැකි ද? ඒ සඳහා ඔවුන්ගේ පිළිතුර වන්නේ විශ්වවිද්‍යාල උප සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එය පවත්වා ගෙන යන බව යි. එමගින් විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ කොදු නාරටිය නවක වදය හා බැඳී පවතින බව පැහැදිලි ය. එනිසා විශ්වවිද්‍යාල උප සංස්කෘතික ගුණාංග ආරක්ෂා කිරීමට පෙළ ගැසෙන විද්‍යාර්ථයින් එය සටන් පාඨයක් කර ගනිමින් හා එය නියෝජනය කරමින් එයට ආත්මීයව බැඳී සිටියි. දැන් අපට නවක වදය දෙන්නේ ඇයි? යන ප්‍රශ්නයට යම් පමණක සෑහීමකට පත් විය හැකි පිළිතුරක් ලැබී ඇත. එනම් නවක වදය උප සංස්කෘතිය රැක ගැනීමේ අදහසින් ක්‍රියාත්මක කරන්නක් බව. අපට අසනන්ට වන ඊළග ප්‍රශ්නය, “උප සංස්කෘතිය පවත්වාගෙන යා යුත්තේ ඇයි?” යන්න යි. විද්‍යාර්ථයින්ට ඊට තාර්කික පිළිතුරක් ලබා දිය හැකි ද?

පෙර කළ කී දෑ කාලය හා අවකාශීයත්වය පිළිබද අදහසක් නොමැති ව ඒවා එලෙස ම පවත්වා ගෙන යනවා යනු එහි ඇත්තේ ඇදහීම හා ආධනග්‍රාහීත්වය යි. මෙහි දී ලොව සියල්ල තාර්කිකත්වයට ඌනනය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ නැත. නමුත් සිදු වන්නේ විශ්වවිද්‍යාලය තුළ නූතනත්වය ප්‍රකාශමානවීමට ඇති ඉඩ හකුලා දැමීම යි. පවතින තත්වය එලෙස ම පවත්වා ගැනීමේ ඇදහිලි සම්ප්‍රදායට අද විශ්වවිද්‍යාල උප සංස්කෘතිය නඩත්තු කරන්නෝ පැමිණ තිබේ. පැහැදිලිව හා ඉතා ඕනෑ කමින් කිව යුතු වන්නේ විශ්වවිද්‍යාල උප සංස්කෘතියක් අනවශ්‍ය බව මෙයින් යෝජනා නොකරන බව යි. විශ්වවිද්‍යාල තුළ උප සංස්කෘතියක් පවත්වා ගෙන යන්නේ නම් එය මහා සංස්කෘතියේ ජරා ජීර්ණත්වයට වඩා යහපත් තලයක පැවතිය යුතු ය. ඉතා සහෝදරත්වයෙන් කියන්නේ නම්, විය යුත්තේ පවතින සමාජයට එරෙහි විකල්ප අවකාශය විශ්වවිද්‍යාල තුළ ස්ථාපිත කිරීමයි.

මේ සඳහා කොන්ටෙන් මෙයසුගේ දෘෂ්ටිවාදය පිළිබද අදහස සළකා බලමු. මෙයසූ ට අනුව දෘෂ්ඨිවාදය යනුවෙන් නම් කරන්නේ පවත්නා සමාජ අවස්ථාවක් එම ආකාරයටම පැවතිය යුතු යැයි කියා විශ්වාස කිරීම යි. මේ සමාජය, මේ සමාජ ක්‍රමය, මේ ආකාරයට ම සකස් වීම සඳහා අපට පරම වූ හේතුවක් ලබා දිය හැකි වන්නේ ද? මෙයසූ ට අනුව දෘෂ්ඨිවාදය ලෙස නම් කළ හැක්කේ මේ ප්‍රශ්නයට ‘ඔව්’ කියා ලබා දෙන පිළිතුරු වෙයි. සත්‍ය වශයෙන්ම ඕනෑ ම සමාජ අවස්ථාවක් පැහැදිලිව පෙනෙන හේතුවකින් තොරව සිතා ගත නොහැකි ආකාරයකට වෙනස් විය හැකි වේ. අනාගතවාදී දේශපාලනය පදනම් වන්නේ මෙම දැනුම මතයි. තරමක් සරල ලෙස කියන්නේ නම් මේ සමාජ වෙනස් වීම අවබෝධ කර නොගන්නෝ අද දවසේ දේශපාලනය තුළ පරාජය ලබන්නෝ වෙති. කොන්ටෙන් මෙයසුගේ දෘෂ්ටිවාදය පිළිබඳ අදහස අප විශ්වවිද්‍යාල උප සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නය වෙත ආදේශ කළොත් අපට පැමිණිය හැකි නිගමනය කුමක් ද?

අප විශ්වවිද්‍යාල පද්ධතියෙන් අපේක්ෂා කරන්නේ පවතින තත්ත්වය වෙනස් කරන රැඩිකල් නැඹුරුවකි. අප ඉහත විස්තර කළ උප සංස්කෘතිය විසින් සීමා කෙරෙන්නේ ශිෂ්‍යයාගේ රැඩිකල්බව නොවේද? අප ජීවත් වන ව්‍යාජ ලෝකයේ නැතිනම් වෙළඳපළ විසින් තීරණය කරනා මේ ව්‍යාජ පැවැත්ම තුළ අව්‍යාජ පැවැත්මක් ලෙස පවතිනවා යන්නෙහි ඇත්තේ ඔහු පවතින ක්‍රමය වෙනස් කරනවා හෝ එයට අනුගත නොවනවා යන අදහසයි. එබැවින් විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා අතින් රැඩිකල් ලෙස මග හැරී ගොස් ඇත්තේ මේ ඓතිහාසික කාර්ය භාරය නොවේ ද? විශ්වවිද්‍යාල තුළ පවතින ආගමක් බදු උප සංස්කෘතිය එලෙස ම භාරගන්නා අයෙක් සමාජය හමු වේ මහා සංස්කෘතිය වෙනස් කරන්නට උත්සහ කරයි ද? විද්‍යාර්ථියා දූපත් මානසිකත්වයකින් සමාජයට හා අභිමුඛ වන විට, අද සමාජයේ පවතින ධනවාදී යාන්ත්‍රණය තව දුරටත් ප්‍රශ්න කිරීමකින් තොරව භාර ගන්නවා හැරෙන්නට විද්‍යාර්ථියාට වෙනත් මාවතක් හමු වන්නේ නැත. අද දවසේ පවතින ධනවාදී ආධිකාරීත්වය ඉල්ලා සිටින්නේ ද පවතින තත්වය ප්‍රශ්න කිරීමකින් තොර ව භාර ගන්නා කීකරු විද්‍යාර්ථයින් පිරිසක් මිස නවක වදය හා උප සංස්කෘතිය උඩු යටිකුරු කරන රැඩිකල් තරුණ පිරිසක් නොවේ. නවක වදය එදවස ධනවාදය එරෙහි ව්‍යාපාරයක් ලෙස පෙනී සිටිය ද අද සිදු වෙමින් තිබෙන්නේ එය ධනවාදයට සේවය කරන ධනවාදයේ ආගමිකත්වය, ආධනග්‍රාහිකත්වය හා බෙලහීනතාවය නඩත්තු කරන ආගමික කාඩර්වරුන් නිර්මාණය කරන අසීමාන්තික තකතීරු විභවයකි.

තවත් අර්ථයකින් සංස්කෘතිය යනු පාරිභෝජනය පිළිබඳ අදහසකි. එහි සියළු අඩංගුවන් පාරිභෝජනය වෙත දිශානත වී ඇත. අප දන්නා සරල අර්ථ කථනය අනුව සංස්කෘතිය යනු භාෂාව, ආගම, පාලන තන්ත්‍රය, ඇදහිලි, සිරිත් විරිත්…… වේ. මේ සියල්ල පාරිභෝජනය දරා සිටිනවා සේ ම සංස්කෘතිය ද නියෝජනය කරයි. මෙම පාරිභෝජනය වෙනස් වන වේගයෙන් සංස්කෘතිය ද වෙනස් වේ. නැවත අසන්නට ඇත්තේ මේ අර්ථයෙන් උප සංස්කෘතිය යනු වෙනස් නොවන අංගයක් ද? විශ්වවිද්‍යාල උප සංස්කෘතික නියෝජිතයින් එය වෙනස් නොවන දෙයක් ලෙස වටහා ගෙන සිටියි. තව තවත් පැහැදිලි වෙන ලෙස කියන්නේ නම් සංස්කෘතියක් නිර්මාණය වන්නේ අවශ්‍යතාවයක් පදනම් කර ගෙනයි. එහි දී යම් යම් වකවානුවල අවශ්‍යතාවයන්ට අනුව නිෂ්පාදන වුණු නොයෙක් සම්ප්‍රදායන් එම සමාජයේ එම අවශ්‍යතා අතුරුදහන් වී ගිය කල ඒවා නැවත නැවත ඇදහීම හෝ පවත්වාගෙන යාම වටිනා දෙයක් සුරැකීමක් ලෙස අප භාරගත යුතු ද?

විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ තවත් සංකීර්ණ ගැටලුවක් වන්නේ ස්ත්‍රීත්වය ඇඳ දමා ඇති ආස්ථානය යි. ස්ත්‍රිය දෙවනු කොට සැළකීම, නායකත්වය ස්ත්‍රියගෙන් විතැන් කිරීම, උක්ත නවක වදය තුළ ඇයට හා පුරුෂයාට එකිනෙකාට වෙනස් තත්ත්වයන් ගෙන් නවක වදයට ලක් කිරීම, විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ සිදු වෙයි. ඇය විශ්වවිද්‍යාලය තුළ අත් විඳින පීඩාව අද මහා සමාජයේ දී වත් ඇයට මුණ ගැසෙන්නේ නැත. තරමක් කර්කශ ලෙස කියන්නේ නම් අද දවසේ ආගමික සංස්ථාව තුළ හැරුණු කොට වැඩිම ස්ත්‍රී පීඩිත සංස්කෘතික අවකාශය පවතින්නේ විශ්වවිද්‍යාලය තුළ යි. නැවත වෙනත් ආකාරයකට කියන්නේ නම් විශ්වවිද්‍යාල යනු අද දවසේ ආගමික ස්ථානයක් හැර අන් තැනක් නොවේ.

ප්‍රංශ දාර්ශනික අලෙන් බදියු මනෝරම්‍ය ලෙස කියා සිටින්නේ අද දවසේ තරුණයා විද්‍යාව, කලාව, දේශපාලනය හා ආදරය නියෝජනය කරනා පැවැත්මක් විය යුතු බව යි. ඔහුට අනුව තරුණයා යනු සමස්ත ලෝකයේ ජීව ගුණය ආරක්ෂා කරන කොදු නාරටිය වේ. විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා යනු අද සමාජයේ ආධිපත්‍යය දරනා තාක්ෂණය වෙනුවට විද්‍යාවේ නවීනත්වය වෙනුවෙන් පෙනී සිටීමයි. දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිනවා යනු පවත්නා බලාධිකාරයන්ගේ ආධිපත්‍යයට එරෙහිව පොදු මානව විමුක්තියේ විභවයන් වෙනුවෙන් පෙනී සිටීමයි. ආදරය වෙනුවෙන් පෙනී සිටිනවා යනු කාර්මිකකරණය වූ ලිංගික භාණ්ඩවලට එරෙහි ව ආදරයේ අදහස වෙනුවෙන් පෙනී සිටීමයි. මේ සියල්ලට වඩා, කලාව වෙනුවෙන් පෙනී සිටිනවා යනු, සංස්කෘතිය නම්, අප සියලු දෙනාට ස්වභාවයෙන් උරුම වන, අර්ථ විරහිත සාමූහික හැසිරීම වෙනුවට සෑම විට ම විශ්වීය වූත්, නවීන වූත් කලාවේ නිර්මාණශීලී චින්තනය වෙනුවෙන් පෙනී සිටීමයි. එම අර්ථයෙන්, ‘උප සංස්කෘතිය රැකගැනීම’ පිළිබඳ සටන් පාඨය, බෙහෙවින් ගැටලුකාරී එකක් ලෙස හඳුනා ගැනීමට හැකි වීම වැළක්විය නොහැක. විශ්වවිද්‍යාල විද්‍යාර්ථ ප්‍රජාව ධනවාදී අර්ථයෙන් යාවත් කාලීන විය යුතු යැයි අප යෝජනා නොකරමු. අපට අවසන් වශයෙන් කියන්නට ඇත්තේ ලෝක ප්‍රකට චිත්‍රපට අධ්‍යයක්ෂ බේලා තාර් වරක් ප්‍රකාශ දෙයයි. යමල්ලා! රැඩිකල් වෙයල්ලා! විප්ලවීය වෙයල්ලා!

රංග මනුප්‍රිය

Advertisements