Scott Treleaven - treleaven-cimitero6

 

පහතින් පළ වන්නේ නලින් ද සිල්වා ගේ ‘සිංහල බෞද්ධ මනස’ නම් ලිපියයි. 2002 වසරේ ඔක්තෝම්බර් 20 වැනිදා “දිවයින ඉරිදා සංග්‍රහය” පුවත්පතේ ප්‍රථම වරට පළ වූ මෙම ලිපිය ‘නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය’ තුළ මනස පිළිබඳව ගොඩ නැගී ඇති මූලික අදහස දැක්වෙන ලියවිල්ල ලෙස සැලකිය හැකි වේ. අන්තර්ජාලය තුළ පහසුවෙන් සොයා ගැනීමට නොහැකි මෙම ලියවිල්ල සමකාලීන බුද්ධිමය සංවාදයන් සඳහා පොදුවේත්, ‘බව’ හරහා ගොඩනැගෙමින් තිබෙනා සංවාදයක් සඳහා විශේෂයෙනුත් වැදගත් වන හෙයින්, එය මෙලෙස යළි පළ කරන්නට තීරණය විය.

 

***

 

සිංහල බෞද්ධ මනස

මේ ලිපිය සිංහල බෞද්ධයන්ගේ මනස පිළිබඳ ව නොවේ. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ මනස යනුවෙන් ආකෘතියක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වෙයි. එය මනසෙහි ආකෘතියක් නොවන බව පළමුවෙන් ම සඳහන් කළ යුතුය. යමක ආකෘතියක් නිර්මාණය කිරීමට නම් යමක් තිබෙන බව පිළිගත යුතුය. නැත්නම් අඩුම තරමින් ඒ බව උපකල්පනය කළ යුතුය. යමක් තිබෙන බව පිළිගැනීම ම ආත්මවාදී වෙයි. සිංහල බෞද්ධයෝ ආත්මවාදීහු නොවෙති. ආත්මවාදීන් නොවූවද යම් යම් දෑ සම්මුති වශයෙන් තිබෙන බව සිංහල බෞද්ධයෝ පිළිගනිති. සම්මුති වශයෙන් මනසක් ඇති බව සිංහල බෞද්ධයනට පිළිගත හැකි ය. මෙහි දී සම්මුති මනස ඇති වන්නේ කෙසේ දැයි තේරුම් ගැනීමට උත්සාහයක් දැරෙයි.

භාරතීය බෞද්ධයනට මුහුණ පෑමට සිදු වූ ප්‍රධාන ම ප්‍රශ්නයක් වූයේ ආත්මයක් නැත්නම් කර්ම විපාක ඇති වන්නේ කාහට ද, කෙළෙස ද යන්නය. පරලොව යන සත්වයකු. පුද්ගලයෙකු, විඥානයක් හෝ වෙනත් යමකු හෝ යමක් හෝ නොමැති නම් කර්ම ඵලය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වන බව ආත්මවාදී බමුණෝ පෙන්වා දුන්හ. ආලය විඥානය ආදී මහායානික ආත්මවාදී සංකල්ප ගොඩ නැගුනේ මේ අභියෝගයට මුහුණ දීමට යෑමේ දී ය. ථෙරවාදීහු මේ ප්‍රශ්නයට පරලොව යන්නේ තමාත් නොව අන් අයකුත් නොවේ ය යන මිලින්ද ප්‍රශ්නයෙහි දැක්වෙන පිළිතුර කියා සෑහීමකට පත්වෙති. ඒ පිළිතුර සතුටුදායක වුවත්, ආත්මවාදයට හසු නොවූවත්, ඒ ප්‍රමාණවත් නොවේ. ප්‍රමාණවත් නොවන පිළිතුරු යම් යම් අවශ්‍යතා යටතේ සතුටුදායක විය හැකිය.

පරලොව සම්බන්ධයෙන් පමණක් නොව, මෙලොව සම්බන්ධයෙන්ද, ආත්මවාදී නොවන්නන්ට මුහුණ පෑමට සිදුවන ගැටළු ඇත. පුද්ගලයෙකු නැතැයි කියන්නේ නම් කුඩා කල සිට තරුණ විය හෝ මහළු විය හෝ කිනම් වියක් හෝ දක්වා ජීවත්වන අනන්‍යතාවයක් සහිත පුද්ගලයන්ගේ පැවැත්ම තේරුම් ගන්නේ කෙසේ ද ? පුද්ගලයෙකුට මතකයක් ඇත්තේ කෙසේ ද ? මෙහි පුද්ගලයා යන්න යෙදෙන්නේ සම්මුති අර්ථයකින් බව අවධාරණය කළ යුතුය. පුද්ගලයා යන්න පමණක් නොව සියළු සංකල්ප යොදා ගැනෙන්නේ සම්මුති අර්ථයකින්ය. සියළු සංකල්ප සම්මුති වෙයි. ඒ අපේ නිර්මාණ වෙයි. සත්වයකු නැතැයි යන්නට දෙන අනෙක් පිළිතුර නම් පංචස්කන්ධය හැරෙන්නට වෙනත් සත්වයකු නැති බවය. අප තේරුම් ගත යුත්තක් නම් පංචස්කන්ධය යන්න ද සම්මුතියක් මිස පරමාර්ථයක් නොවන බවය. ඒ කෙසේ වුවත් පංචස්කන්ධය ඔස්සේ කර්මඵලය තේරැම් ගන්නේ කෙසේ ද?

පුද්ගලයකුට මතකයක් ඇත්තේ කෙසේද? අපට, අප ලෙස, පුද්ගලයන් ලෙස, සත්වයන් ලෙස සිතන්නට ඉවහල්වන ප්‍රධානම කරුණක් නම් මතකය යැයි සිතිය හැකිය. මතකය යන්නද සම්මුතියක් පමණකි. මතකය ඇතිවන්නේ කෙසේද? ඒ පිළිබඳ විස්තරයක් කිරීමට පෙර අදාළ ප්‍රශ්න දෙකක් නැගිය යුතුව ඇත. මතකයක් නැති සත්වයන් සිටිය හැකිද? මතකයක් ඇති සත්වයන් නොවන්නන් පැවතිය හැකිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි එක් මගක් නම් මතකයක් ඇත්තේ සත්වයන්ට පමණක් යැයි කීමය. එසේ නම් පරිගණකය ගැන කිව හැක්කේ කුමක්ද? එහි දත්තාලයක් (දත්ත ගබඩාවක්) ඇත. එහෙත් දත්ත තිබූ පමණින් පරිගණකයට මතකයක් වේද? අපි පරිගණකයෙහි මතකය (මෙමරි) ගැන කතා කරමු. පරිගණකයෙහි දත්ත තිබූ පමණින් පරිගණකයට මතකයක් පිළිබද හැගීමක් වේ ද? පුස්තකාලයක වාර්තා ඇත. අපට අවශ්‍ය නම් පුස්තකාලයේ මතකය ගැන කතා කළ හැකිය. එහෙත් පුස්තකාලයට වාර්තා පිළිබඳ හැඟීමක් නැත. වාර්තා, දත්ත තිබූ පමණින් මතකයක් ඇති නොවේ. මතකයක් ඇති වීමට ඒ පිළිබඳ හැඟීමක්, විඥානයක් තිබිය යුතුය.

පුස්තකාලය හා පරිගණකය මතකය සදහා එතරම් හොඳ උදාහරණ නොවේ. අපි පොතක් හෝ පොල් ගෙඩියක් හෝ ගනිමු. පොත කල් යෑමේ දී දිරයි. පොල් ගෙඩිය ටික කලකින් නරක් වෙයි. එසේ වන්නේ කෙසේද? බාහිර බලවේගවලට හසුවීම නිසා එසේ වන්නේ යැයි කිසිවකු කියනු ඇත. බාහිර බලවේග පාලනය කළහොත් පොල් ගෙඩිය නරක් නොවී තබා ගත හැකිද? එසේ තබා ගත හැකි නම් එහි අභ්‍යන්තර අණු පරමානු ආදිය ගැන කිව හැක්කේ කුමක්ද? මේ පරමාණු නිත්‍ය නොවේ. පරමාණු වෙනස් වෙයි. බාහිර බලයක් නොයෙදෙව්ව ද පරමාණුවක් නිශ්චලව නොපවතියි. එහි ඉලෙක්ට්‍රෝන නිතරම චලනය වෙයි. දිගින් දිගටම චලනය වන්නේ එකම ඉලෙක්ට්‍රෝන ද? එසේ නම් ඉලෙක්ට්‍රෝන නිත්‍ය ද? ඒවාට ආත්ම (වෙනස් නොවන්නක් යන අරුතින්, සත්වයන් ගැන මෙන්ම ධර්ම ගැන ද ආත්ම සංකල්පය යෙදෙයි.) තිබේ ද? ඉලෙක්ට්‍රෝනයකට මතකයක් තිබේද? ඉලෙක්ට්‍රෝනයක් වෙනත් අංශුවක් හෝ වෙනත් යමක් (ක්‍ෂේත්‍රයක්) හෝ සමග අන්තර්ක්‍රියාවක් නොසිදු වුවහොත් එය දිගටම පවතින්නේ එහි කලින් අවස්ථා මත පදනම් වෙමිනි. එනම් ඉලෙක්ට්‍රෝනයේ වර්තමානයට එහි අතීතය බලපායි. ඉලෙක්ට්‍රෝනයට පමණක් නොව පෘථිවිය වැනි වෙනත් ඕනෑම වස්තුවකට ද එය එසේමය. පසුගිය වසරේ ඔක්තොම්බර් 20 වැනිදා පෘථිවියේ පිහිටීම අද එහි පිහිටීමට බලපායි. පෘථිවිය පසුගිය වසරේ වෙනත් ස්ථානයක පිහිටියේ නම් අද එය පිහිටන තැන නොව වෙනත් තැනක පිහිටනු ඇත. ඉලෙක්ට්‍රෝනය පෘථිවිය ආදිය යම් ආකාරයකට තම අතීතය යම් ප්‍රමාණයකට ගබඩා කර ගෙන ඇතැයි සිතිය හැකිය.

අද ආණ්ඩුවේ කල දසාව එතරම් හොඳ නැත. දෙමළ ජාතිවාදී ප්‍රශ්නයේ විසදුම ඇත්තේ නැගෙනහිර පළාතෙහි ය. ආණ්ඩුව පසුගිය වසර තුළ විවිධ දේ කරමින් දෙමළ ජාතිවාදය සැනසීමට උත්සාහ කළේය. තායිලන්ත බෝක්කු සාකච්ඡාවලට පෙර කොටි සංවිධානයට සහතිකයක් දීම සදහා කඩි මුඩියේ ගෙනෙන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුවත් සමග ආණ්ඩුව අර්බුධයට ගොස් ඇත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පුස්සක් වන බව තේරුම් ගත් දින සිට කොටි සංවිධානය නැගෙනහිර පළාතේ කලබල ඇති කරයි. ඔවුන්ට අවශ්‍ය පළමුව හමුදාව, දෙවනුව සිංහලයන් හා අවසානයේදී මුස්ලිමුන් ඒ පළාතෙන් පන්නා දැමීමටය. දෙමළ ජාතිවාදයේ හා ආණ්ඩුවේ අද ක්‍රියාකාරකම් අතීතයේ ක්‍රියාකාරකම් මත පදනම් වෙයි. අප, දෙමළ ජාතිවාදයේ අතීතය හොඳින් හදාරන්නේ ඒ හේතුවෙනි. දෙමළ ජාතිවාදය යන ප්‍රපංචයට අතීතයක් ඇත. ආණ්ඩුවට ද අතීතයක් ඇත. අද ජනාධිපතිනිය කළ යුත්තේ තමාගේ නොව රටේ අනාගතය ගැන කල්පනා කර හදිසි නීතිය ඉවත් කිරීමන් පසුව වෙන් වී ඇති නැගෙනහිර පළාත සදහා වෙනම ආණ්ඩුකාරයකු පත් කර එහි සිවිල් පාලනය ශක්තිමත් කර හමුදා කදවුරු තව තවත් සන්නද්ධ කිරීමය. උතුරු හා නැගෙනහිර පළාත් වෙනම පළාත් ලෙස පවතින්නේ නම් මුස්ලිමුන්ට වෙනම කලාපයක් අවශ්‍ය නොවන බව අපි අතීතයෙන් ඉගෙන ගෙන ඇත්තෙමු.

ඉලෙක්ට්‍රෝනය, පොල් ගෙඩිය, පෘථිවිය, දෙමළ ජාතිවාදය, ආණ්ඩුව තම තමන්ගේ අතීත යම් ප්‍රමාණයකට ගබඩා කර ගෙන ඇතත් ඒ ඒ දැයට තම අතීත ගැන විඥානයක් නැත. මේ එකක්වත් සත්වයෙක් නොවේ. (ආණ්ඩුවේ සත්වයන් සිටියද ආණ්ඩුව සත්වයෙක් නොවේ.) සත්වයන් අතීත ගබඩා කර ගෙන ඇතිවා පමණක් නොව ඔවුන්ට අතීතය පිළිබද විඥානයක් ද ඇත. සත්වයාගේ නාම රූප (පංචස්කන්ධය) වැදගත් වන්නේ මෙහිදීය. වේදනා, සංඥා, සංඛාරා, විඥාන වශයෙන් නාමය දැක්වෙයි. යම් අතීතයක් ගබඩා වී තිබුණ ද, වේදනා, සංඥා, සංඛාර හා විඥාන ඉලෙක්ට්‍රෝන ආදියට නැත. සත්වයන් සම්බන්ධයෙන් ගත් කළ ඒවා තිබෙනු පමණක් නොව එකක් අනෙකෙන් වෙන් නොවී පවතියි.

මනස යන ආකෘතිය ගොඩ නැගෙන්නේ ද මනසට සාපේක්ෂව ය. එය මනසින් කෙරෙන්නකි. අපට ඉන් ගැලවිය නොහැකිය. මේ වාස්තවික ආකෘතියක් නොවේ. මෙහි ඇත්තේ චක්‍රීය භාවයකි. ඒ අපේ චින්තනයේ ලක්ෂණයකි. (වැඩි විස්තර සදහා විදුසර ලිපි පෙළ කියවන්න.) චිත්ත, චෛතසික, රූප, නිවන පරාමාර්ථ ධර්ම යැයි අභිධර්මයෙහි සඳහන් වෙයි. චිත්ත, චෛතසික, රූප පරමාර්ථ වන්නේ ඒ මනසට සංස්කරණය කර ගත හැකි ‘කුඩාම’ ධර්ම යන තේරුමෙන් යැයි කිව හැකිය. බෝධි හිමියන් ඉංගිරිසියට පරිවර්තනය කර ඇති අභිධර්මාරථ සංග්‍රහයට උන්වහන්සේ ලියා ඇති හැඳින්වීමෙහි මේ ධර්ම තුන මනස අත්දකින ධර්ම ලෙස දක්වා ඇත. මේ ඊනියා වාස්තවික යථාර්ථයක වූ ධර්ම නොවේ. බෝධි හිමියන් ඒ විස්තර කරන්නේ අත්දකින ‘වේදයිත’ යථාර්ථයක් ලෙසය. එහිමියන් එසේ නොකීව ද, මේ ධර්ම තුන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අනවබෝධයෙන් මනස නිර්මාණය කරන, සංස්කරණය කරන මනසට සාපේක්ෂ ධර්ම තුනක් වෙයි. (මනසෙහි සංස්කරණ ‘මගේ ලෝකය’ කෘතියෙහි විස්තර වේ.) මේ ධර්ම ‘පවතින්නේ’ ඉතා කෙටි කාලයක් තුළ ය. ධර්මයක් ඇති වී, පැවතී, නැති වීම හා ක්‍ෂණවාදය සම්බන්ධ වෙයි. ධර්මයක් ඇති වී පැවතී නැති වන්නේ යැයි ව්‍යවහාර කළ ද අවසාන විග්‍රහයෙහි දී එය ද නිවැරදි නොවේ. ධර්මයක් ක්‍ෂණයකට හෝ පවතින්නේ යැයි කී විට එහි ආත්මවාදයක් වෙයි. ධර්ම ද වෙනස්වන දෑ ලෙස ගැනෙන්නේ එබැවිනි. නිවන මෙන් ම අනිත්‍ය හා අනාත්ම ද වචනයෙන් විස්තර කළ නොහැකි ය. ආලය විඥානය මෙන් ම ක්‍ෂණවාදය ද, අනිත්‍ය අනාත්ම වචනයෙන් විස්තර කිරීමට ගොස් තනා ගත් ආකෘතියක් වෙයි. ආලය විඥාන ආකෘතිය සංතතික වන අතර ක්‍ෂණවාද ධර්මවාද ආකෘතිය අසංතතික වෙයි. සෞත්‍රාන්තිකයන්ගේ පැවැත්මක් නොමැතිව ධර්මයක් ඇති වී නැති වීම ආත්මවාදය පිටු දකින නමුත් මුළු ලෝකයම එකම මොහොතකට සංකේන්ද්‍රණය කරයි. එකම මොහොතෙහි සියළු ධර්ම ඇති වී නැති වෙයි. ඒ සමග ලෝකය ද නැති වෙයි. මනසට හෝ සාපේක්‍ෂව ලෝකයක් නොමැති නම් තේරුම් ගන්නේ අහවල් එක ද? ලෝකයක් නැත්නම් ධර්ම ද නැත! සෞත්‍රාන්තිකයන් ද නැත!

අනිත්‍ය හා අනාත්ම සංතතික හෝ අසංතතික හෝ නොවෙයි. සිංහල බෞද්ධ මනස ආකෘතිය ඉදිරිපත් කෙරෙන්නේ ධර්මවාද ආකෘතිය යොදා ගනිමිනි. නැති (භංග) වන්නේ ඇති වූ (ඉපදුණු) චින්තනය නොවේ. චිත්ත ද වෙනස් වෙයි. එහෙත් අපට චිත්තය තව තවත් කොටස්වලට කැඩීමෙන් මේ ඇතිවන නැති වන වෙනස් වන ප‍්‍රශ්නයට පිළිතුරක් ලබා ගත නොහැකි ය. මනසට ග්‍රහණය කර ගත හැකි සීමාවේ චිත්ත, චෛතසික හා රූප වෙයි. පරමාණු, මූලික අංශු, ක්වාක්, තන්තු ආදී වශයෙන් ද්‍රව්‍ය කොටස්වලට කැඩීමේ ද සීමාවක් තිබිය නොහැකි ය. එහෙත් එහිදී ද මනසට ග්‍රහණය කර ගත හැකි සීමාවක් වෙයි. බටහිර භෞතික විද්‍යාඥයෝ ඒ සීමාවට ළගා වෙමින් සිටිති. බුදුන් වහන්සේ සංයුක්ත නිකායේ මෙන් ම අංගුත්තර නිකායේ ද මනස එකක් ලෙස ඉපිද වෙනකක් ලෙස භංග වන බව දේශනා කර ඇති බව වයි. ඩබ්. කරුණාදාස මහතා බුඩිස්ට් ඇනැලිසිස් ඔෆ් මැටර් කෘතියෙහි සඳහන් කරයි. ඉපදුණු චිත්තයක් භංග වීමට පෙර යම් වෙනසකට භාජනය වෙයි. චිත්තයක තොරතුරු වෙයි. චිත්තය ඉප දී නැති වීමේ දී මේ තොරතුරුවලින් බිඳක් නැති කර හා/හෝ අළුතින් බිඳක් එකතු කර ගනියි. චිත්තයක් නැති වන්නේ තවත් චිත්තයක් ඇති කරමිනි. මේ චිත්ත අතර පරතරයක් නැත. කලින් චිත්තය නැති වීමත් සමග අළුත් චිත්තය පැන නගියි. මෙය අනන්තරපච්චය හා සමන්තරපච්චය ලෙස පට්ඨානයෙහි දැක්වෙයි. අපේ ආකෘතිය අනුව නැති වන චිත්තය අනන්තරච්චයෙන් නැති වන චිත්තයට ඒ සතු සියළු තොරතුරු ලබා දෙයි. දැන් අලුත් චිත්තය පෙර මෙන් ම තොරතුරු බිඳක් නැති කර හා/හෝ තොරතුරු බිඳක් එකතු කර ඒ සම්ප‍්‍රයුක්ත තොරතුරු ඊළග චිත්තයට ලබා දී නැති වෙයි. (මේ කරුණ මියන්මාර සම්ප‍්‍රදායේද ඇති බව විශ්වාස කළ හැකිය.)

ඇතිවන නැතිවන චිත්ත පරම්පරාවේ තොරතුරු යම් ප‍්‍රමාණයක් රඳවා ගෙන සිටීම හේතුවෙන් මතකයක් පිළිබඳ හැඟීමක් ගෙන දෙයි. (මතකයක් ඇත්තේ තොරතුරු පිළිබඳව ය. පරිගණකයේ මතකය ගැන ද අප කතා කරන්නට පෙළඹෙන්නේ තොරතුරු ඇසුරින් ය. කෙසේ වෙතත් මෙහි දී සඳහන් කරන මතකය බටහිර විද්‍යාවේ සඳහන් මතකය හෝ සාමාන්‍ය ව්‍යවහාරයේදී කථා කෙරෙන මතකය හෝ නොවේ. මෙහි සඳහන් මතකය හා මනස ඇත්තේ මොළය හා හදවත ඇසුරු කරමින් මිස මොළයේ කාර්යයක් ලෙස නොවේ. මොළයේ ආබාධ නිසා ඇතැම් විට අප සාමාන්‍යයෙන් කතා කරන මතකය නැති වී ගිය හැකි නමුදු මෙහි සඳහන් මතකය චිත්තය විසින් නැති කර නොගන්නා ලද්දේ නම් නැති නොවෙයි. මෙහි සඳහන් මතකය සාමාන්‍ය ව්‍යවහාරයේ මතකය බවට මොළය ආධාරයෙන් පත් වෙයි. එසේ පත් කළ නොහැකි වුව ද මෙහි සඳහන් මතකය චිත්ත පරම්පරාව ඔස්සේ පවතියි.) කලින් චිත්තයේ හා ඊට පෙර චිත්තවල තොරතුරු විසින් ඇති කෙරෙන මතකයක් ඇති බැවින් ඒ මතකය සත්වයකුගේ, පුද්ගලයෙකුගේ සංකල්පය ඇති කරයි. එනම් මනසක් නිර්මාණය කරයි. නැත්නම් මනසක් නිර්මාණය වෙයි. මින් කියවෙන්නේ මනස යනු මනසේ ම නිර්මාණයක් බව ය! (අපට සිතෙයි. එමෙන් ම අපි සිතමු. ඉංගිරිසියෙහි සිතෙන බව හො සිතන බව පැවසිය හැක්කේ ඉතාම අමාරුවෙනි.) මනස යනු ඇතිවන නැතිවන චිත්ත පරම්පරාවේ තොරතුරු, සන්තතියක් ලෙස වැරදියට තේරුම් ගැනීමෙන් නිර්මාණය වන්නකි. එසේ තේරුම් ගන්නේ ද මනසම ය. මනස නිර්මාණය වන්නේ ද එසේ තේරුම් ගැනීමෙනි. මේ චක‍්‍රීයභාවයෙන් ගැළවීමක් නැත. එපමණක් නොවේ. මනස ආකෘතිය නිර්මාණය කෙරෙන්නේ චිත‍්‍ත ඇසුරෙනි. චිත්ත යනු මනසේ නිර්මාණ වෙයි. එහි ද චක‍්‍රීය භාවයක් වෙයි. මේ සියල්ල අනිත්‍ය අනාත්ම අනවබෝධයෙන් සිදු වන දෑ ය. මෙයට වඩා දුකක් වේ ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයේ දී පිරිනිවන් පාන තෙක් චිත්ත පරම්පරාව ඇති වෙමින් නැති වෙමින් පැවතුණ ද, පිරිනිවන් පෑමෙන් පසුව අළුත් චිත්තයක් ඇති නොවෙයි. සෝපාදිසේස හා නිරූපාදිසේස යන්න එමගින් තේරුම් ගත හැකි ය.

නලින් ද සිල්වා   

 

 

***

Advertisements