32e0d282b471a6225f42e58583c13a5e

ස්වභාවධර්මයට එරෙහි වීම නිසා මෙවර ගං වතුරෙන් මිනිසුන් මිය ගිය බව බොහෝ අය සිතති. එහෙත් ඇත්තෙන්ම එවනි ප්‍රකාශයක තියෙන අර්ථයේ ගැටලුවක් පවතියි. මේ ගැටලුව වර නොනැගීම නිසා අප නියමාකාරයේ බොළඳ කතාවක් පමණක් නඩත්තු කරනු ලබයි. එය නඩත්තු කිරීම නිසා අප තුළ මහා වෙනසක් ඇති නොවුනත්, ඒ බොළඳ කතාව අපගේ ගැඹුරු පැවැත්මක් ගැන හෙළිදරව්වක් කරයි. මේ ඒ පිළිබඳව යම් ආකාරයක ලියැවීමක් ය.

නිරිත දිග මෝසම, බෙංගාල බොක්කේ සුළි කුණාටු ඇති වීම වැනි දේ ඇත්තේ ස්වභාවධර්මයේ ක්‍රියාකාරිත්වයයේ බව බොහෝ අය සිතති. මිනිසාගේ බලපෑමෙන් තොර ව වැඩුණු කඳු, නිම්න, ගංගා ද ඒ ගණයට වැටෙයි. මෙලෙස අපගේ එදිනෙදා ජීවිතයෙ වචනයක් බවට පත් වූ ස්වභාවධර්මය යන්නෙහි ඇති මූලික අදහස වන්නේ ‘මිනිසාගේ කිසිම ආකාරයක බලපෑමක් නොමැති මනුෂ්‍යත්වයෙන් තොර දේ/ යන්න ය. එනම් මුළුමුනින් ම මිනිස් ක්‍රියාකාරිත්වය සම්බන්ධ වීමට පෙර මෙන් ම එයින් නිදහස් වූ දේ යන්නය.

බැලූ බැල්මට ඇතැමෙකුට එය මුළුමුනින් ම මිනිස් ක්‍රියාකාරිත්වයෙන් නිදහස් වූ දෙයක් ලෙස ගැනීම, ස්වභාවධර්මය සහ මිනිසා යන ජනප්‍රිය දෙබෙදුම සඳහා යන්නට හැකි රාජකීය මාවතක් ලෙස පෙනී යනු ඇත. මේ දෙබෙදුම නිසා ඇති වූ විනාශය මිනිසාගේ පැත්තෙන් නම් විශාලය. කොටින්ම විශාල මිනිස් ජිවිත ප්‍රමාණයක් විනාශ කළේ මිනිසා මේ දෙබෙදුම සමඟ නිරායාසයෙන් ම එකඟ වීම යැයි ඔහුට පෙනී යා හැකිය. මෙය මෑත කාලීන බෙදීමක් වන අතර එයින් අද්‍යතන පරිසරවේදියාගේ බිහි වීම ද සිදුවිය. නමුත් තත්ත්වය ඊට වඩා සංකීර්ණය.

එමෙන්ම පැරණි යුගයන් වල දී ස්වභාවධර්මයත් මිනිසාත් එකට එක්ව පැවැති බවට තවත් අදහස් පද්ධතියක් වෙයි. මේ දෙක අතර සහවාසය නිවැරදි අයුරින් සිදුවීම නිසා මෙවන් විපත් වළක්වා ගන්නට පැරැන්නන් සමත් වූ බවත් ඉන් නිගමනය කරයි. එයින් අපේක්ෂා කරන්නේ පැරණි දෙයින් ආදර්ශය ලබන අනාගත මිනිසෙකු පිළිබඳ යුතෝපියාවට ගුරු හරුකම් දෙන පැවැත්මක් අප හමුවේ නිරායාසනය වීමයි. එහෙත් මේවා ප්‍රායෝගිකව ස්වයං පරාජිත අදහස් වන අතර, ආදර්ශ සටන් පාටනයන් පමණක් වෙයි. මුහුණ වටේ ගිහින් නහය අල්ලන්න දරන වෙහෙසකි.

එ බැවින් අපි කෙලින් ම නහය අල්ලමු. කොටින්ම ගංගා නිම්නයක් අසළ ඇති නිවාස සෑදීම, එක්කෝ ගංගාවල ඇති වැලි කැපීම, වැනි දේ හුදු ස්වභාවධර්මයට එරෙහි වීමක් යැයි කෙනෙකුට සිතිය හැකිය. එය සාමාන්‍ය ජන ජීවිතයේ අපට මුණ ගැහෙන ප්‍රකාශයකි. එහෙත් මේ සාමාන්‍ය බව නිරන්තරයෙන් ම හමුවීම තුළ මිනිසාත් ස්වභාවධර්මයත් අතර ඇති එක්තරා වැදගත් පැවැත්මක් මුණගස්වයි.

ඇත්තෙන්ම මේ කියන එරෙහි වීමෙන් සිදු වන්නේ ස්වභාවධර්මය තුළ ඇති විනාශකාරී හැකියාව හා වඩා වඩාත් මිනිසා සම්බන්ධ වීමක් ගැනයි. උදාහරණයකට කඳු බෑවුමක ඇති නිවාසයක්, නාය යෑමකින් විනාස වීම අර්ථකථනය කළ හැක්කේ මෙලෙස ය. එනම් එය කඳු බෑවුමක් නිසා ම නාය යෑමේ හැකියාව සමඟ මිනිසා එහි පදිංචි ව තිබීමයි. එහි පදිංචි වීම තුළ මිනිසාට කළ හැක්කේ ඒ ස්වයං විනාශකාරී බෑවුම් ප්‍රදේශය නාය යෑමට ඇති හැකියාව ඉහළ දැමීම හෝ අඩු කිරීම පමණි. එනම් විනාශය කළමණාකරණය කිරීම පමණි. මේ මහා පරිමාණ කළමණාකරණය සිදු කළ හැක්කේ රාජ්‍යයට පමණි. එහෙත් මිනිසුන් රාජ්‍යයට වඩා කාර්යක්ෂමව නමුත් තමන්ගෙ සාමාන්‍ය අත්දැකීමෙන් ඒවා කළමණාකරණය කරන්නට ගනියි. පදිංචි වෙයි. විනාශ වෙයි. සමහරුන් එයට ඔරොත්තු දෙයි. කඳුකරයේ ගෙවල් තැනීම තහනම් දෙයක් නොවේ. මිනිසෙකුට කඳු බෑවුමක ජීවත් වීමට හැකියාව ඇත.

මේ අනුව ස්වභාවධර්මයාට එරෙහි වීමෙන් කිසිඳු විපතක් අපට වාර්තා කළ නොහැක. අපට වාර්තා කළ හැක්කේ අනාගතයේ විය හැකි විනාශයන් කළමණාකරනය කිරීමට ඇති අපොහොසත්බාවයයි. ජලය බැස යන ප්‍රදේශ, වගුරු බිම් ගොඩ කිරීම මගින් ගංගා වල ජල බැස්ම වෙනස් කිරීම යනු ස්වභාවධර්මයාට එරෙහි වීමක් නොවේ. ‘ස්වභාවධර්මය-සමඟ-පැවැත්ම’ යන්න රාජ්‍ය මැදිහත් වූ ආකාරය යි. මගේ අදහස අනුව නම් සිංහරාජය තුළ ද නිවාස තැනීම සිදු කළ යුතුය. විශාල කඳු බෑවුම් ඉදිරියේ නිවාස නිවැරදි අයුරින් ඉදිකළ යුතුය. ගංගා නිම්න ආශ්‍රිත ව මිනිසාට ජීවත් විය හැකිය. ඒ සඳහා ඔවුන්ව නිවැරදිව පුරුදු පුහුණු කළ යුතුය. නමුත් සිදු වන්නේ මිනිසාත් ස්වභාවධර්මයත් අතර දුර වැඩි කිරීමක් ගැන කතාන්දර පුහුණු වීමය. අතිශෝක්ති වර්ණනාය. ව්‍යාජ රැකගැනීම් වාදයක්ය. මෙහි විශේෂඥයින් වන්නේ හුදෙකලා පරිසරවේදින්ය.

මෙයින් අපේක්ෂා කරන්නෙ ව්‍යාජ පරිසර සංරක්ෂණවාදයට එරෙහි විය යුතු බවයි. කෙලින්ම වගුරු බිමක ජීවත් වීමට මිනිසාව පුරුදු පුහුණු කළ යුතු බවයි. සිංහරාජය මධ්‍යයේ සිටින සාමාන්‍ය එදිනෙදා ජීවිතය හිමි මිනිසෙකුගේ ජීවිතයයි. ස්වභාවධර්මය මනුෂ්‍යත්වයෙන් තොර වන අතර මිනිසා විසින් කළ යුත්තේ එයට ප්‍රේමය මුණ ගැස්වීමයි. ඇත්තෙන්ම මේ අනුව ගත් විට සිංහරාජය යනු ව්‍යාජ පැවැත්මක්ය. එය කැලෑ වීමට ඉඩ හල, මිනිසාට කැලෑව ගැන ඇති බිය ජනක බව, එමෙන්ම එහි ඇති ගුප්ත බව ගෙනෙන පිරිසිදු වාතාශ්‍රය, අති පිරිසිදු ජලය ඇති කැලෑ මණ්ඩියක් පමණි. එමෙන්ම මේ කැලෑ මණ්ඩිය ලෝක උරුමයක් කිරීම සඳහා පමණක් වූ ආදර්ශ උයනකි. බරපතල නිශ්ප්‍රයෝජනයකි .

මෙයින් අප අදහස් කරන්නෙ රාජ්‍යයේත් පරිසරවේදයේ ඇති විය යුතු ඥාණවිභාගත්මක ඛණ්ඩනයක් අපේක්ෂා කිරීමයි. මිනිසා සහ ස්වභාවධර්මයේ ‘සහ- සම්බන්ධය’ ප්‍රගුණ කිරීමේ විය හැකියාව ගැන විමසා බැලීමයි.

ඇත්තෙන්ම මිනිසා ස්වභාවධර්මයට වින කරනවා යැයි කීම, ප්‍රකාශයක් අතර මඟදි නතර කරන ලද්දකි. ඊට පරස්පරව ස්වභාවධර්මය විසින් ස්වභාවධර්මයට ම කළ විනාශය අති මහත්ය. ඒ විනාශයට සාපේක්ෂව මිනිසා සිදු කර ඇත්තේ මොන තරම් ප්‍රමාණයක් ද ? එ බැවින් මේ අතිශෝක්තියට නැගීම්වලට එරෙහි වීම මිස ස්වභාවධර්මයට එරෙහි වෙන මිනිසෙකු යනු මිනිසා මිනිසා ගැන ම කර ගන්නා ව්‍යාජ තක්සේරුවකි. මිනිසා ස්වභාවධර්මයට එරෙහි වීමෙන් ගංගා ගලන්නේ නැත. කඳු නාය යන්නේ නැත. මිනිසුන් මැරෙන්නේ නැත. එ නයින් කිසිවක් සිදුවන්නේ නැත.

සොබාදහමේ ඇති දේ අහෝසි කිරීම මිනිසා බවට පත්වේ. මිනිසා සතු එ් අනර්ඝතාවය පොළව තුළට ගොස් සොයා ගන්නා අමුද්‍රව්‍ය සතුන් මරා ලබා ගන්නා බොහෝ දේ ශාකවලින් ලබා ගන්නා බොහෝ දේ බවට පත් විය. එබැවින් ස්වභාදහමේ සමතුලිතබාවය මිනිසා විසින් ම අහෝසි කරගන්නා අර්බුදයක් ඇති බවට වන මිනිසුන්ගේ ම නිගමනයකින් පිරිසක් ඊට එරෙහි වෙයි. සාමාන්‍යයෙන් මේ නිගමනයට එරෙහි වන මිනිසුන්ට පරිසර විනාශ කිරීම ගැන අදහස් මවන්නෙක් බවට නිතැතින්ම පත්වෙයි.

නමුත් මෙහිදී ඊට ඔබ්බෙන් වූ නව පැවැත්මක් අපට හමුවෙයි. මේ පැවැත්ම හමුවන්නේ පරිසර හිතකාමින් සහ පරිසර විනාශකාරීන් සාමාන්‍ය අනුභූතික තලයේ පමණක් පවතින අය ලෙස හඳූනාගැනීම තුළිනි . මේ දෙගොල්ලන් ම සිටින්නෙ එකම බෝට්ටුවේ ඔරු පදිමින්ය. එබැවින් ඊට ඔබ්බෙන් ඇති පැවැත්ම වනුවේ අධි සංවේදි පරිසරවාදයත් (සංරක්ෂණවාදය), පරිසර විනාශයේ උච්චත ම කෝණයත් (ධනවාදයත්) යන දෙකට ම ඔබ්බෙන් වන චින්තකයෙකුගේ පැවැත්මයි.

බොහෝ විට එය එම චින්තකයා හා රාජ්‍යය අතර ඇති සහ සම්බන්ධය විය හැකි යැයි සිතිය හැකිය. එහෙත් යමෙකු ඊටත් එපිටින් සිතන්නේ නම් එනම් කොළ පැහැති කොමියුනිස්ට්කරුවෙකු වීම ගැන සිතන්නේ නම් මෙය ඊට වඩා අනාගතවාදී එකක් බවට පත් වනු නිසැක ය. මේ සඳහා අප තව බොහෝ දේ කළ යුතුය.

 

ශ්‍රීනාත් චතුරංග

Advertisements