Dissaster-Capitalism-05

මේ මොහොත වන විට අප, ජීවිත සිය ගණනක් අහිමි වූ ස්වභාවික අනතුරු රැසක් සිදු වුණු ඛේදවාචකයක පශ්චාත් සමය ගෙවමින් සිටියි. රජය විසින් ජීවිත වන්දියක් ලක්ෂයක් ලෙස ඇස්තමේන්තු ගත කළ ද සිදු විනාශයේ තරම අපට සිතා ගත නොහැක. මෙම තත්ත්වය අද දවසේ අප වැනි රටකට පමණක් සීමා වූ දෙයක් නොවේ. මීට දෙසතියකට ප්‍රථම බංගලාදේශයේ මෝරා සුළි කුණාටුව හේතුවෙන් ජීවිත රැසක් අහිමි විය. ඉරාකයේ මෝසුල් නගරයේ ගැටුම් හේතුවෙන් සිය ගණනක් දෙනා ජීවිතක්ෂයට පත් විය. කාබුල් නුවර බෝම්බ පිපිරීමෙන් මිය ගිය ගණන සියයකට ආසන්න ය. පසුගිය මස මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් ද මිය ගිය ගණන ද විසි දෙකකි. ඉන්පසු නැවත ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ද එකළොස් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් විය. මීට අමතරව සිරියාව, යේමනය, පලස්තීනය, පාකිස්ථානය, සුඩානය, සෝමාලියාව වැනි රටවල දිනපතා ජීවිත අහිමි වීම් සිදු වෙයි. අප උත්සහ ගන්නේ වර්තමානයේ දෛනික සිදුවීමක් ලෙස හුරුපුරුදු වී ඇති මෙම ස්වභාවික විපත් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් හට ගන්නා විපත් අවසානයේ ජීවිත හා දේපල අහිමි වීමට අමතරව තවත් කුමන ආකාරයේ ප්‍රතිඵලයක් ජනතාව වෙත ළගා කර දෙන්නේ ද යන්න සොයා බැලීමට යි. එහි දී මූලික වශයෙන් ‘විපත් ධනවාදය’ නම් නයෝමි ක්ලයින්ගේ සංකල්පය යම් තරමකින් මෙම ලිපිය සඳහා දායක කර ගැනීමට උත්සහ කර ඇත.

නව ලිබරල් ප්‍රතිසංස්කරණ යටතේ අද දවසේ ස්භාවික විපත් හා යුද්ධ ඒවායේ පශ්චාත් යුගය කළමනාකරණය කිරීමට නව ප්‍රවේශයන් හඳුන්වා දී ඇත. උදාහරණයක් ලෙස ආපදා කළමනාකරණ ඇමතිවරයෙක් සහ මධ්‍යස්ථානයක් පැවතීම, යුද්ධයෙන් පසු සංවර්ධන ව්‍යාපෘති හඳුන්වා දීම (උතුරු වසන්තය, දැයට කිරුළ) ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය. මෙම විපත් එක්තරා අර්ථයකින් සමස්ත ජීවන තත්ත්වය අඩාල කරනා හා රජයකට එක්තරා අර්ථයකින් පාඩුවක් ගෙන දෙන දෙයකි. නමුත් මේ විපත් ආශ්‍රිතව ගොඩ නැගෙමින් පවතින ව්‍යාපාර හා නොයෙක් මැදිත්වීම් මත ඇති කරගන්නා ධනවාදී අරමුණු පිළිබඳ මඳක් විමසා බැලීම වටී. වෙනත් ආකාරයට කියන්නේ නම් රජය මෙවැනි විපතක දී ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වීම අසමත් වන බව ජනප්‍රිය කරමින් රජයේ සීමාකම් පැහැදිලි කරමින් පුද්ගලික අංශ මේ සඳහා මැදිහත්වීමට ඇති ඉඩකඩ නිරාවරණය කර ඇත.

නයෝමි ක්ලයින්ගේ ප්‍රවාදය අපට ඍජු ව වැදගත් වන්නේ, ඇයගේ ප්‍රවාදයට ඇය උපයෝගි කරගන්නා ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස මෙරට 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනය තෝරා ගෙන තිබීම යි. ඇය හඳුන්වා දෙන ‘විපත් ධනවාදය’ නම් සංකල්පය හරහා සිදු වන්නේ විපත් විකිණීම නැතිනම් ඒවා ප්‍රචලිත කිරීම තුළින් ලාබ ඉපයීම යි. ඉන්පසු විපතට පත් ජනතාව ප්‍රයෝජනයට ගනිමින්, සුවහසක් ජීවිතවල වටිනාකම ඔවුන්ගේ ව්‍යාපාරික හැගීම් උත්කර්ෂයට නැංවීමට උපයෝගී කර ගනියි. ක්ලයින්ගේ ප්‍රවාදය න්‍යායාත්මක ව ඇසුරු කරනවාට වඩා ඊට ලෝකයේ හා මෙරට සිදු වූ විපත් උදාහරණ ලෙස විස්තර කිරීමෙන් අපට එම ප්‍රවාදයපිළිබඳ අදහසක් ලබා ගැනීම සමහර විට වඩා ඉක්මන් වනු ඇත. එ මගින් අද දවසේ ගෝලීය විපත් ධනවාදය හේතුවෙන් සිදු වූ විපතට වඩා විපතක් ජනතාව වෙත භාර කරන ආකාරය ඔබට අවබෝධ වනු ඇත.

2003 වසරේ දී ඇමරිකානු අර්ථයෙන් ඉරාකයේ යුද්ධය අවසන් වූ පසු එරට නව ප්‍රතිසංස්කරණ බොහොමයක් සකස් වුණේ රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් නොවේ. විවෘත ආර්ථිකය හා නව ප්‍රතිසංස්කරණ එරට ස්ථාපිත කිරීම හේතුවෙන් ජනතාව බලාපොරොත්තු නොවුණු ආර්ථික අවිනිශ්චිතතාවයක් ඔවුන්ගේ ජීවිතවලට ළගා විය. මේ කිසිවකට විරුද්ධ වීමට හෝ ඒ පිළිබඳ අදහසක් ගෙන ඒමට ඉරාක වැසියන් අපහොසත් වූයේ දහස් ගණනක් ජීවිතක්ෂයට පත් වී, බිලියන ගණනක දේපල අහිමි වීමක් තුළ ඉරාක ජනතාවම විශාල කම්පනයකට ලක් ව සිටි නිසා ය. ක්ලයන් මෙය න්‍යාය ගත කරන්නේ ‘කම්පන න්‍යාය’ (Shock Doctrine) ලෙය ස. එනම් ජනතාව කම්පනයට ලක් ව සිටින මොහොතක, ඔවුන් යහපත් තත්ත්වයෙන් සිටිය දී ඉටු කරගත නොහැකි බොහෝ දෑ ඉටු කරගැනීමේ නින්දිත ක්‍රමවේදයක් ලෙස ය.

ඔපෙක් සංවිධානයේ මැදිහත්වීමකින් තොරව ඇමරිකානු සමාගම් ඉරාක තෙල් වෙළඳාම පාලනය කිරීමට පටන් ගත්තේ ඉන් පසුවයි. ලෝකයේ අංක එකේ ඇමරිකානු ඛනිජ තෙල් ආයතනයක් වන හාලිබර්ටන් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන හතක් ඉරාක ඛනිජ තෙල් ව්‍යාපෘති සඳහා වෙන් කළේ පෙන්ටගනය ඉරාකයට බෝම්බ හෙලන්නට මාසයක් තිබිය දී ය. සදාම් හුසේන් පාලන සමය තුළ ඉරාක සම්බාධක හමුවේ කිසිඳු ආකාරයක එවැනි ආයෝජනයක් කළ නොහැකි පසුබිමක හාලිබර්ටන් ආයතනය ඒ සඳහා පෙළ ගැසෙන්නේ පෙන්ටගනයේ සැලසුම මත පිහිටා බව අපට නිගමනය කිරීමට එතරම් අපහසු වන්නේ නැත. යුද්ධයෙන් පසු මෙම ආයතනය සමස්ථ ඉරාක ඛනිජ තෙල් ආනයනය ක්‍රියාවලියේ ප්‍රධාන මැදිහත්කරු බවට පත් විය. බෙට්චෙල් නම් ඇමරිකානු ඉදිකිරීම් සමාගම ඉරාකයේ විදුලි බලය, බල ශක්තිය, නගරාන්තර ජල සැපයුම, ගුන්තොටුපළ කටයුතු, යටිතල පහසුකම් සංවර්ධනය, රෝහල්, පාසල්, රාජ්‍ය ආයතන, මහාමාර්ග ඉදිකිරීම් විශාල ව්‍යාපෘති රැසක් ඉරාක නව රජය යටතේ එම ආයතනය පවරා ගෙන ඇත. මේ තුළින් ජනතාව වෙත අනිසි බදු පැනවීම, දේශීය අයෝජකයින්ට අයෝජනය කිරීමට අවස්ථාව අහිමි වීම හා සමස්ථයක් ලෙස ඉරාකයේ මූලික රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම සිදු විය. (මේ හෙළිදරව් කිරීම තුළින් සදාම් හුසේන් පාලනය සුචරිතත්වයට පත් කරීම ලිපියේ අරමුණ නොවන බව කිය යුතුය. සදාම් හුසේන් පාලනයේ දුර්වලතා හා ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් පැවතියේ ය. නමුත් නව ලිබරල්වාදී මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රික යෝජනා හමුවේ සදාම් හුසේන්ට තම හිඩැස් සහිත පාලනය ජාත්‍යන්තරය හමුවේ සඟවා ගැනීමට නොහැකි විය.)

2004 වසරේ දී ශ්‍රී ලංකාවේ ඇති වූ සුනාමි ඛේදවාචකයෙන් පසු ව සිදු වූ සුවිශේෂී ධනවාදී පෙනී සිටීම වූයේ ධීවර වරායන් වෙරළබඩ අවදානම් කළාප ලෙස නම් කොට ඒවා සංචාරක හෝටල් කර්මාන්තයට ලබා දීමයි. එහි දී ධීවරයන්ගේ ජන ජීවිතය සම්පූර්ණයෙන් ම වෙනස් වූ අතර රජය ධීවර කර්මාන්තයට වඩා විදේශීය අයෝජකයින් වෙත නැඹුරු ව ඊනියා සංචාරක කර්මාන්තය නඟා සිටුවන ව්‍යාපෘතිවලට අවධානය යොමු කළේය.

2015 වසරේ 8000 ක පමණ ජීවිත අහිමි වූ නේපාලයේ කත්මන්ඩු නුවර භූමිකම්පාවෙන් පසු සිදු වූ ගලවා ගැනීමේ මෙහෙයුම් කෙතරම් දුරට මානුෂීය දැයි ප්‍රශ්න කෙරෙන සංවාදයක් විදෙස් මාධ්‍ය තුළ ඇති විය. උපකාර කිරීමට හා ගලවා ගැනීමට පුද්ගලික හමුදා සේවය ලබා ගැනීම පිටුපස ඇත්තේ විශාල ව්‍යාපාරයකි. සිය ගණනක් සංචාරකයින් ඉලක්ක කොට ගෙන කුලියට හෙලිකොප්ටර් රථ හා වෙනත් ප්‍රවාහන පහසුකම් සළසා දීම බහුලව සිදු විය. ඒවා කිසිවක් නේපාල රජයේ අනුදැනුමෙන් ක්‍රියාත්මක වූ ප්‍රවාහන ආයතන නොවීය. මීට සමගාමීව පාකිස්තානයේ හා තායිලන්තයේ විවෘත වුණු ගෝලීය මුදවාගැනීමේ කාර්යාලය, සෑම විට ම හදිසි තත්ත්වයක් ඇති වන තෙක් මඟබලා සිටින සංවිධාන වේ. ඔවුන්ගේ වාර්ෂික සාමාජික ගාස්තුව ඇමරිකානු ඩොලර් 700 ක් වන අතර සාමාජිකත්වය නොමැති ලේ ගලමින් අසරණව සිටින පිරිස් නේපාල භූමි කම්පාවේ දී ඔවුන් තම හෙලිකොප්ටර් තුළට ඇතුළත් කර ගත්තේ නැත. ඔවුන් පවසා ඇත්තේ අපේ සාමාජික ගාස්තුව ගෙවූ අය පමණක් අපට රැගෙන යා හැකි බවත් නැති ව අප රතු කුරුස සංවිධානයේ නොවන බවත් ය. පසුව මෙම සමාගම් ග්‍රීසිය, ඇෆ්ඝනිස්ථානය, හයිටි, පැපුවා නිව් ගිනියාවේ ආරම්භ කෙරුණි. මෙරටත් විවිධ මුහුණුවරින් පෙනී සිටින රක්ෂණ සමාගම් බොහොමයකි. ඔවුන් විපතෙහි වටිනා කම තක්සේරු කරයි. ගෝලීය උණුසුම, වන සංහාරය වැනි දෑ පිළිබඳ හැගීම් බර නිවේදන නිකුත් කරයි. නිරන්තරයෙන් ජීවිතයේ අවිනිශ්චිතතාව අවබෝධ කරලීමට ඔවුන් උදාහරණ සපයන්නේ, මෙම ස්භාවික හා මිනිස් ක්‍රියාකාරකම් මත සිදුවන විපත් මූලික කොට ගෙන ය. තවත් ආකාරයකට කියන්නේ නම් ගලවාගැනීමේ රක්ෂණ වෙළෙන්දන් බිය සහ විපත් නිසා ඇති වන කම්පනය ප්‍රයෝජනයට ගනිමින් වෙනස් ආකාරයේ නොසන්සුන්තාවයක් මාධ්‍ය මගින් පතුරුවමින් තම ව්‍යාපාරයට අඩිතාලම සලසා ගනියි. යළි ගොඩනැගීම, ප්‍රතිසංස්කරණ වැනි ව්‍යාපෘති හරහා මෙම නොයෙක් ඉදිකිරීම් ව්‍යාපෘති ද සිදු වන්නේ මෙම ආයතනවල සුබ සිද්ධිය මූලික කොට ගෙන ය. විපතට පත් වූවන්ගේ රැකවරණය එහි දී ද්වීතියික කාරණයක් පමණක් වේ.

එංගලන්තයේ නීති ගත සමාගමක් වන යාල් ආයතනය යනු සරණාගතයන් වෙනුවෙන් ඉදිවුණු ස්ථානයකි. එය රජයේ අනුමැතිය සහිත නොයෙක් රාජ්‍ය නොවන හා රාජ්‍ය සංවිධානවල ආධාරයෙන් පවත්වාගෙන යන්නකි. වර්තමාන ලිබියානු හා සිරියානු, ඉරාක සරණාගතයන් එයට යොමු කිරීමක් සිදු වේ. ඒ තුළ වහල් වෙළඳාමට සමාන කුරිරු ක්‍රියාවලියක් වර්තමාන මානව හිමිකම්, පුනරුත්තාපන වැනි ක්‍රමවේද යටතේ සිදු වෙමින් පවතියි. මෙම පුනරුත්තාපන හා රැකබලාගැනීමේ වෙළඳාම මුවාවෙන් විශාල ලාබයක් ඉපයීමට මෙම ආයතනයට හැකි වී ඇති අතර මතභේද හා නොයෙක් විරෝධතා මැද කැමරුන් ආණ්ඩු සමයේ ඔවුන්ගේ බලපත්‍රය තවත් දීර්ඝ කිරීම ද සිදු විය.

බ්‍රසීලයේ සීකා වෛරසය නිසා ඇති වූ තත්ත්වය ද මීට දෙවැනි නැත. රජය යම් පසුගාමී ආකාරයෙන් ක්‍රියාකරන බව ප්‍රචලිත කිරීම හා රජය ද එයට හූ මිටි තැබීම සාමාන්‍යයෙන් සංවර්ධනය වූ රටවල පවා සිදු වන්නකි. සීකා වෛරසයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය නව පන්නයේ සනීපාරක්ෂක හා නොයෙක් එදිනෙදා භාවිතා කරන භාණ්ඩ වෙළඳාම එම දිනවල බහුල වශයෙන් සිදු විය. සීකා වෛරසයෙන් ආරක්ෂා වීමට ගෙන එන රජයේ නිල නිවේදනයට පසුව විකාශය වන්නේ ඊට උපකාර කරන වෙළඳපළ මැදිහත්වීමයි. මෙම තත්ත්වය බ්‍රසීලයට පමණක් සීමා නොවන ගෝලීය කූට වෙළඳ ප්‍රචාරක ක්‍රමයකි.

මෙම ක්‍රියාවලි සියල්ල පිටුපස මීට ගාමක බලවේගය සපයන්නේ මාධ්‍ය මඟිනි. අප දැන් මේ මොහොතේ අත් දකිමින් සිටිනා ව්‍යසනයේ ආර්ථික වටිනාකම තේරුම් ගෙන සහ එයින් ප්‍රයෝජන ගනිමින් සිටින්නේ මෙරට ජන මාධ්‍ය විසිනි. ආධාර එකතු කිරීම, විපත් පෙන්වීම ඒවා ගවේෂණය කිරීම, ආධාර බෙදා දීමේ දර්ශන වැනි දේවල් ඔවුන්ගේ මූලික කටයුතු වන අතර අනෙක් වා (ජනතාව වෙනුවෙන් සේවය කිරීම) ද්වියිතියික කාරණ වේ. වරක් අජිත් පැරකුම් ජයසිංහ ඔහුගේ බ්ලොග් ලිපියක සඳහන් කළ පරිදි මෙම මාධ්‍ය ආයතන කිසිවක් ඔවුනට ලැබුණු භාණ්ඩ තොග, මුදල්, ඒවා බෙදා දුන්නේ කාටද, කොපමණද යන වාර්තාවක් කිසි දිනෙක ඉදිරිපත් කරන්නේ ද නැත. ජනතාව ජනතාවට උපකාර කිරීම අපට ඉවත දැමිය හැකි ගුණයක් නොවේ. එහි මැදිහත්කරුවකු ලෙස මාධ්‍ය කටයුතු කිරීමද අප එකවර ඉවත දැමිය යුතු යැයි අප අපේක්ෂා නොකරමු. කවුරුන් හෝ එම සම්බන්ධීකරණ කටයුත්ත කිරීම විපත් ආවස්ථාවක ප්‍රයෝජනවත් විය හැකිය. නමුත් මෙහි දී සිදු වන්නේ එම මාධ්‍ය, මෙම විපත් තමුන්ගේ ප්‍රවර්ධන කටයුත්තක් ලෙස සළකා මහ ජනතාවගේ ආධාර ලබා ගෙන, මහ ජනතාවගේ ගුවන් කාලය උපයෝගි කරගනිමින් ආධාර බෙදා දෙන ප්‍රවෘත්ති පෙන්වා, එම ආධාර මහ ජනතාවට බෙදා දෙන ආකාරයක් ය. අවසානයේ සිදු වන්නේ මාධ්‍ය ආයතන තම සේවාවේ සැබෑ අර්ථය වටහා නොගෙන අද දවසේ ගංවතුරට බැස ආධාර බෙදන දේශපාලඥයාගේ භූමිකාව හා සමාන ව තම මාධ්‍ය ආයතනයේ ජනප්‍රියත්වය උදෙසා එය ම පුහුණු කිරීමයි. මේ අර්ථයෙන් දේශපාලකයා හා මාධ්‍ය ආයතන අතර අද දවසේ ඇතතේ ඉතා ම ළග සම්බන්ධයකි.

මෙම තත්ත්වයන් තුළ අප වැරදියට වටහා ගනිතියි බිය වන තවත් පාර්ශවයක් ඇත. එනම් රාජ්‍යෙය් සුබ සාධක මැදිහත්වීම අසතුටුදායක වන විට රාජ්‍ය විවේචනය කිරීම තුළ රාජ්‍යට ඉන් ගැලවීමට අවශ්‍ය අවකාශය ලබා දීමයි. වෙනත් ආකරයකට කියන්නේ නම් රාජ්‍යයට මෙවැනි විපත් වළකා ගැනීමට හෝ විපත්වලදී ක්‍රියාකිරීමට හෝ මිනිසුන්ව විපතින් පසුව රැක බලා ගැනීමට නොහැකි බවට මතු කරන දෘෂ්ටිවාදය යි. එමගින් පෞද්ගලික අංශ ඍජු ව මෙම ස්භාවික විපත් සිදු වන ප්‍රදේශ ජනශූන්‍ය කලාප බවට පත් කරමින් ඔවුන්ගේ බහු ජාතික ව්‍යාපාරවල මරමස්ථාන බවට පත් කර ගනියි. එයට ඕනෑ තරම් උදාහරණ අපට සුනාමි ව්‍යසනයෙන් පසුව අත් දැකිය හැකි විය. තව ද වසරක් පාසා ගංවතුර උවදුරට ලක් වන කැලණි ගං මිටියාවතේ ගංවතුර තත්ත්වය නිතර ඇති වීම මත එම ප්‍රදේශයේ එම ඉඩම් ඉතාම අඩු මුදලකට තක්සේරු විය. ඉන් ප්‍රයෝජනය ගත් බහුජාතික සමාගම් එම ඉඩම් ගොඩ කර ඔවුන්ගේ ව්‍යාපාර හා කර්මාන්තශාලා පිහිටුවා ගෙන ඇත. මිනිසුන්ට කැලණි ගං මිටියාවතේ ජීවත් විය යුතු ආකාරය අවබෝධ කරලීම හා වතුර බැසයන මාර්ග පද්ධති ඉදි කිරීමේ වගකීමෙන් ගැලවෙන්නට රජයට එවිට හැකියාව ලැබිණි. දැන් ඉහත කී බහුජාතික සමාගම් ගංවතුර කාලය තුළ රක්ෂණ සමාගම් මගින් මුදල් අය කරගනිමින්, නිදහසේ තම වෙළඳාම කර ගෙන යයි.

මෙම ස්භාවික විපත් ආශ්‍රිතව අද දවසේ ගොඩ නැගී ඇති වෙළඳපළ ජාලය අවසාන පුරුකක් ලෙස මෙම රක්ෂණ සමාගම් හැඳින්විය හැකිය. ජීවිත අවධානම් සහිත ප්‍රදේශවලට ජීවිත අවධානම වළකන ක්‍රියාවලි හඳුන්වා නොදී රක්ෂණ සමාගම්, විපතින් පසු රක්ෂණ මුදලක් ලබා ගන්නා ආකාරයේ ප්‍රවර්ධන වැඩ සටහන් දියත් කරමින් පවතියි.

අවසාන වශයෙන්, ස්වභාවික විපත් ඇති වීම, යුද්ධ, අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා අප මුහුණ දීමට පෙර කළ යුතු දෑ සංවිධානය කිරීම සිදු විය යුතු බවය. නමුත් ඒවා ලාබ රහිත ව්‍යාපෘති වේ. නාය යෑම පාලනය කිරීමට ගස් වැවීම, ගස් කැපීම නතර කිරීම වැනි ක්‍රියාවලි සඳහා කිසිඳු සමාගමක් මූලිකත්වය ගන්නේ නැත. නමුත් නාය යෑමෙන් අනතුරුව සමාගම් රැසක් මූලිකත්වය ගෙන විපතට පත් ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට පෙරට එයි. මේ අර්ථයෙන් සියලු විපත් සඳහා මෙම තර්කය පොදු බව නැවත කිව යුතු නැත. අප අවබෝධ කර ගත යුත්තේ ධනවාදයේ මෙම කුරිරු පෙනී සිටීමට එරෙහිව ප්‍රජාතාන්ත්‍රික රාමුව මත සුබ සාධක රාජ්‍ය සවි බල ගැන්වීමට අවශ්‍ය බල කිරීම සිදු කිරීමත්, මාධ්‍ය මගින් ගෙන යන අතිශය සහානුභූතික හැගීම් බර ක්‍රියාදාමය බැහැර කිරීමත් සඳහා ඇති අවශ්‍යතාවයයි.

රංග මනුප්‍රිය

 

***

 

 

 

 

Advertisements