hume_older_2002-gloss-on-aluminium1

 

ප්‍රශ්නය: නිර්මාල් අර බෙනඩික්ට් ඇන්ඩර්සන්ගේ දේව ඇදහිල්ල ගැන වන විග්‍රහය දැමීමෙන් ඇත්තටම බලාපොරොත්තු වුනේ මොකක්ද?

පිළිතුර: ආගම පිළිබද නවීන තර්කඥානය මත පදනම් වූ විග්‍රහයන් වල සීමාව පිළිබඳ කදිම විග්‍රහයක් ඒ තුළ අඩංගුවන නිසා.

ප්‍රශ්නය: ඒක මැක්කෙක් නෙමේද?

පිළිතුර: ඉහත පිළිතුර නිසා මේ ප්‍රශ්නය අදාළ නොවේ.

ප්‍රශ්නය: ඒ විග්‍රහයේ අධිපතිවාදී බව නිර්මාල්ට නොතේරෙන බව අපිට පැහැදිළියි. ඒත් එය අවම වශයෙන් ඒක පාර්ෂ්විකයි කියන එකවත් නිර්මාල්ට තේරෙන්නෙ නැතිද?

පිළිතුර: මට නොතේරෙන බව ඔබට තේරීම ගැන සතුටුයි. නමුත් පාර්ශවීය බව මට නොතේරේ. තේරුම් කර දෙන්න.

ප්‍රශ්නය: නිදසුනක් ලෙස ‘නිර්මාල්ට ඔහොම හිතන්නේ පෙර අකුසල් නිසා’ යැයි අප කියූවොත් එය ප්‍රමාණවත් විග්‍රහයක් ලෙස භාර ගැනීමට නිර්මාල් කැමතිද?

පිළිතුර: මට ග්‍රහණය කරගත හැකි ආකාරයට තේරුම් කර දුන්නොත් භාර ගන්න කැමතියි.

ප්‍රශ්නය: නිර්මාල් එවන් ප්‍රතිචාරයක් ප්‍රමාණවත් යැයි භාර ගැනීමට සූදානම් නැති නම් බෙනඩික්ට් ඇන්ඩර්සන්ගේ මේ විග්‍රහය දෙවිවරුන් සම්බන්ධයෙන් අප දරණ අස්ථානය ගැන කෙරෙන ප්‍රමාණවත් විග්‍රහයක් යැයි අප පිලිගත යුත්තේ ඇයි?

පිළිතුර: ඉහත පිළිතුරෙන් මේ ප්‍රශ්නය අනවශ්‍ය එකක් බවට පත් වුවත්, කිව හැක්කේ ඔබ එය පිළිගැනීමට බැඳී නැති බවයි. එය මා දක්වා ඇත්තේ ආගම පිළිබද මගේ ප්‍රවේශය පැහැදිළි කිරීමට එය උපකාරී වන නිසාය.

ප්‍රශ්නය: දෙවිවරුන් පිළිබඳ වන විශ්වාසය මානසික ගැටළුවක් ලෙස මනෝවිශ්ලේෂණය තුළ විවරණය වන බව කීමෙන් නිර්මාල් අපට නැවතත් මතක් කර දීමට හදන්නේ දැනුමේ ආධිපත්‍යය ඇත්තේ කා සතුව යන්නද?

පිළිතුර: නැත! එලෙස විවරණයක් තිබෙන බවයි.

ප්‍රශ්නය: නලීන් ද සිල්වා විසින් දෙවිවරුන් පිළිබඳවන විශ්වාසය නවීන දැනුමට පරස්පර දැනුම් පද්ධතියක් ලෙස මුහුණට මුහුණලා සි‍ටුවීම වරදක් ලෙස නිර්මාල් දකිනවද?

පිළිතුර: නැත!

ප්‍රශ්නය: සමස්ථ විද්‍යාවම අඩු වැඩි වශයෙන් දේශපාලන ව්‍යාපෘතියක් වූ කල ඊට එරෙහිවීම දේශපාලන ව්‍යාපෘතියක් වීමේ ඇති ගැටළුව කුමක්ද?

පිළිතුර: කිසිඳු ගැටලුවක් නැත.

ප්‍රශ්නය: නිර්මාල්ගේ ගැටළුව නලීන් ද සිල්වා හුදු චන්දන ජයරත්න කෙනෙකු නොවී ඉන් එහාට ගොස් විද්‍යාවට අභියෝග කිරීමද?

පිළිතුර: නැත!

ප්‍රශ්නය: කරන මගුලක් ‘විද්‍යාව සහ දෙවියන් පිළිබඳ විශ්වාසය අතර පැවතුන සමතුලනය’ බිඳ නොවැටෙන ලෙස කලා නම් අවුලක් නැතිද?

පිළිතුර: නැත! මා කියන්නේ එවැන්නක් නොවේ.

ප්‍රශ්නය: බුදු පිළිම වලින් ‍රැස් විහිදීම සබන්ධයෙන් ජාතික චින්තන කතිකාවෙන් ඉදිරිපත් කෙරෙන අනුමානයේ ඇති එහෙත් පොල් ගෙඩි පොළවට වැටීම ගැන වන විද්‍යාත්මක කතන්දරයේ නැති විපරීත ලක්ෂණය කුමක්ද?

පිළිතුර: (දැනට) පළමු වැන්න පිළිගත හැක්කේ පිළිම වලින් රැස් විහිදෙන බවත් එසේ වන්නේ ඒ පිළිම වල කිසියම් සුවිශේෂී ආනුභවයක් නිසා බවත් විශ්වාස කරන අයට පමණක් වීමත්, දෙවැන්න “විද්‍යාත්මක කතන්දරය” නොපිළි ගන්නා අයටත් එය අදාළ සංසිද්ධියට (පොල් ගෙඩි පොළවට වැටීම) සම්බන්ධව තෙරුම් ගැනීමට හැකියාවක් ඇති නිසාත්.

ප්‍රශ්නය: මෙම නිෂ්චිත ප්‍රශ්ණයට පිළිතුරු නොදී නිර්මාල් මේ විෂයය ගැන තව ලිපි කීයක් ලිවීමට බලාපොරොත්තු වෙනවාද?

පිළිතුර: දැනට නොදනිමි.

ප්‍රශ්නය: දැනුම යනු නිර්මාණයකි (හෝ සමාජ නිර්මිතයකි) යන්න නිර්මාල්ලා පිලිගන්නේ හුදු තර්කවලින් පලා යාමට විතරද?

පිළිතුර: ඊට මට පිළිතුරක් නැත. කියවන්නිය ඒ පිළිබඳව විනිෂ්චය කළ යුතුය.

ප්‍රශ්නය: මේ ප්‍රශ්ණයම මීට පෙරද ඇසී ඇති නමුත් ඊට තවමත් පිළිතුරක් ලැබී නැති බව ගැන ඔබ දැනුවත්ද?

පිළිතුර: ප්‍රශ්න වලට ප්‍රශ්න අසන්නා සෑහීමකට පත් කරන පිළිතුරු දීම පහසු නොවේ.

ප්‍රශ්නය: නිර්මාල්ලාගෙ භෞතිකවාදය ට්‍රොට්ස්කිවාදී නොවේ යැයි කියූ පමණින් ජාම බේරෙණු ඇතිද?

පිළිතුර: “ජාම බේරා ගැනීම” මගේ අරමුණ නොවන බව කීම ප්‍රමාණවත් පිළිතුරක් වේ ද?

ප්‍රශ්නය: ‘නිර්මාල්’ වෙනුවට ඇතැම් තැන් වල ‘නිර්මාල්ලා’ යනුවෙන් ඇමතෙන්නේ වංගීසද ඇතුළත්ව බව ඔබ දන්නවාද?

පිළිතුර: දේශපාලනය සාමූහික ක්‍රියාවකි.

ප්‍රශ්නය: මනුෂ්‍යයා තුළ ඇතිවන කාංසාව සහ ක්ෂතිය වැනි සංකීර්ණ මානසික ගැටළුව ආවරණය කිරීමට තවම විද්‍යාව නොසමත් යැයි කීම හුදු මර්සියක් නොවේද?

පිළිතුර: “මර්සිය” යනු කුමක්දැයි නොදනිමි.

ප්‍රශ්නය: විද්‍යාවේ පරාජයක් ලෙස සළුපිලි ගන්වා ඇතත් ඇත්තටම මෙහිදී නොකියා කියන්නේ විද්‍යාව සුවිශේෂ බව නොවේද?

පිළිතුර: නැත!

ප්‍රශ්නය: මෙහිද ඇත්තේ ‘මිනිසුන් සමාජවාදයට අකමැති මිනිස්සු තවම ආත්මාර්ථකාමී නිසා’ යැයි කිමේහි ඇති හීනි මර්සියම නොවේද?

පිළිතුර: මගේ ලිපියේ මෙවැන්නක් කියා නොමැති බවයි මගේ මතකය. එවැන්නක් ඇඟවේනම්, සමාජවාදී ව්‍යාපාර වල පසුබෑම පිළිබඳව මට ඇත්තේ එවැනි සරළ විග්‍රහයක් නොවන බව කිව හැකිය.

ප්‍රශ්නය: විද්‍යාවේ තිබෙනවායැයි නිර්මාල් දකින ප්‍රයෝජ්‍යවාදී වටිනාකම යනු අඩු වැඩි වශයෙන් විද්‍යාවට පසුබිම් වුණු දේශපාලන ව්‍යාපෘතිය විසින් ඇති කෙරුණු අවශ්‍යතාවයන් පියවීමක් නිසා විද්‍යාවට ලැබුණක් බව නිර්මාල්ට හිතෙන්නෙ නැතිද?

පිළිතුර: මේ ප්‍රකාශයට තරමක් දුරට එකඟ විය හැක. නමුත් ඒ දේශපාලන ව්‍යාපෘතිය පරාජය කළ පසුත් විද්‍යාවේ ඇති ප්‍රයෝජ්‍යවාදී වටිනාකම භාවිත කිරීමට හැකි බව මගේ අදහසයි.

ප්‍රශ්නය: නිදසුනක් ලෙස ජංගම දුරකථනයකට අදාළ ප්‍රයෝජ්‍ය වටිනාකම ලැබෙන්නේ ක්ෂණිකවම තවකෙකුට කතා කිරීමට හැකිවීම ඊනියා මනුශ්‍ය අවශ්‍යතාවයක් බවට දේශපාලන ව්‍යාපෘතියක් හරහා පත් කෙරී ඇති නිසා නොවේද?

පිළිතුර: මෙම ප්‍රශ්නය මගින් මතුකරන කාරණයට මා බොහෝ දුරට එකඟ වෙමි. මනුෂ්‍ය අවශ්‍යතා යන්න සංස්කෘතික නිර්මිතීන්ය. ඒවා පසුපස දේශපාලනයක් පවතී.

ප්‍රශ්නය: “නලීනියානු දේව කතිකාවේ” දේශපාලන කෘත්‍යය සැබැවින්ම නවීන විද්‍යාවට විකල්පයක් සැපයීම නොවේ යැයි කීමෙන් නිර්මාල් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර: එය මා ජාතික චින්තන ව්‍යාපාරයේ ආරම්භයේ සිට එය නිරීක්ෂණය කිරීම මගින් එළඹි නිගමනයකි. උදාහරණයක් ලෙස මහසෝනා පිළිබද කතිකාව මුළින් ගෙන ආවේ දැන් දෙවියන් පිළිබඳ කතිකාව ගෙන එන ආකාරයට නොවේ.

ප්‍රශ්නය: නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ ආසන්න දේශපාලන ඉලක්කය බටහිර විද්‍යාව යනු එකම දැනුම නොව තවත් එක් දැනුම් පද්ධතියක් බව සමාජගත කිරීමයි.

පිළිතුර: ජාතික චින්තන ව්‍යාපාරය යනු “නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය” පමණක් නොවේ.

ප්‍රශ්නය: ඉහත ඉලක්කයට පරිබාහිරව එහි ඇතැයි නිර්මාල් දකින දේශපාලන ඉලක්කය කුමක්ද?

පිළිතුර: සිංහල-බෞද්ධ ආධිපත්‍යය සිංහල-බෞද්ධ නොවන ජනයා මත බලහත්කාරයෙන් පැටවීම සහ මාක්ස්වාදී චින්තනය මගින් ද අනුදත් කොමියුනිස්ට් දේශපාලන දැක්ම ප්‍රතික්ෂේප කිරීම.

ප්‍රශ්නය: ලාස්ට් බට් නොට් ලීස්ට්, ඇත්තටම නිර්මාල් මෙහෙම විසිල්ම ගගහ ඉන්නෙ බල්ටි ගහන්න බලාපොරොත්තුවක් ඇත්තෙම නැද්ද?

පිළිතුර: බල්ටි ගැසීමට මගේ ආසාවක් නැත. හැකියාවක් ද නැත.

ප්‍රශ්නය: පසු සටහන: නිර්මාල් ‘දෙවියන් සහ ජාතික චින්තනය’ ගැන ලියන අවසාන ලිපිය යැයි කියූ ලිපියක් මීට දින කිහිපයකට කලින් ලියුව නේද?

පිළිතුර: ඔව්!

ප්‍රශ්නය: මේ ඊට පසුව ලියන තුන්වෙනි ලිපියද හතරවෙනි ලිපියද?

පිළිතුර: හතරවෙනි ලිපිය. දැන් මේකත් එක්ක පහයි.

නිර්මාල් රංජිත් දේවසිරි

 

 

 

***

Advertisements