ruth gonzales

 

අපගේ ජීවිතය යනු කුමක්ද ? යන ප‍්‍රශ්නයට අපට දිය හැකි වඩාත් සරලම පිළිතුර, අපගේ ජීව විද්‍යාත්මක පැවැත්ම යි. ගැහැණියකගේ ඩිම්බයක් සහ පිරිමියෙකුගේ ශුක‍්‍රාණුවක් එකතු වීමෙන් ඇතිවන ජීවියෙකු ලෙස උපතේ සිට මරණය දක්වා කාල පරාසයක් තුළ ජීවිතයක් අපට හිමි වී ඇත. අපට ජීවිතය පිළිබඳ ඇති සාමාන්‍ය සංවේදනය වන්නේ මෙය යි. නමුත් ජීවිතය පිළිබඳ තවත් ගැඹුරින් සිතා බැලීමේ දී එය අපගේ ජීවීමය පැවැත්මට පමණක් සීමා නොවන්නක් බව පැහැදිළි වේ. අපට මෙ වැනි ජීවිතයක් උරුම වී ඇත්තේ අප ජීවීන් වන නිසා ද? එසේ නම් සියලූම ජීවීන්ගේ ජීවිත සමාන ද? අපගේ භෞතික ජීවී ශරීරය සහ අපගේ ජීවිතය අතර ඇති සම්බන්ධය කුමක්ද? අපගේ ජීවිතය පිළිබඳ මේ මොහොතේ සිට සිතා බැලීමේ දී, අපට කිව හැක්කේ කෙදිනක හෝ සිට අප මේ ලෝකය තුළ සිටිනා බවත්, කෙදිනක හෝ අපගේ ජීවිතය මරණයෙන් කෙළවර වියහැකි බවත් පමණි. අපගේ ජීවිතය ආරම්භ වූ මොහොතක් අපට සිතාගත නො හැක. ජීවිතය පිළිබඳ අතීතය මෙනෙහි කිරීමේදී අපට හමුවන්නේ කාලය තුළ බොඳ වී යන මතකයක් පමණි. එ මෙන් ම මරණය පිළිබඳ අපට මේ මොහොතේ ඇත්තේ නොදැනුමකි. අප දන්නේ මරණයෙන් පසු ජීවිතය අවසන් වන බව පමණක් මිස මරණය නැමැති අත්දැකීම හෝ මරණයෙන් පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ නොවේ. අපට මෙවැනි ජීවිතයක් උරුම වී ඇත්තේ ඇයිදැ’යි අපි නොදනිමු. අප දන්නා එකම දෙය මේ මොහොතේ අප ලෝකයක් තුළ ජීවත් වන බව පමණි.

ජීවිතය පිළිබඳ ගැඹුරු සිතීමෙන් මිදී නැවතත් අපගේ සාමාන්‍ය දෛනික ජීවිතය දෙස බැලූ විට අප දකින්නේ මෙවැන්නකි. මිනිසා උපදී. අධ්‍යාපනය ලබා රැකියාවක් කර විවාහ වී දරුවන් හදා අවසානයේ මිය යයි. මෙය අනිවාර්ය නොවුනත් වර්තමානයේ බොහෝ දෙනාගේ ජීවිත කථාවේ දළ සැකිල්ල මෙය යි. එය විවිධ කාලවල දී විවිධ තත්ත්ව යටතේ වෙනස් විය හැක.  නමුත් මිනිසා මෙවැනි රටාවකට අනුව ජීවත් වන්නේ ඇයි? අපගේ දෛනික ජීවිතයට පසුබිමින් පවතින අප කිසිවක් නොදන්නා, හේතු රහිත ජීවිතය සහ දෛනික ජීවිතය අතර ඇති සම්බන්ධය කුමක්ද?  ඕනෑ ම කාලයක  ඕනෑම අයෙකුගෙන්, ඉහත සඳහන් කළ ආකාරයේ රටාවකට අනුව ජීවත් වීමේ අරමුණ කුමක්දැයි ඇසූ විට ලැබෙන පිළිතුර වන්නේ සතුටින් සිටීම යන්නයි. මිනිසා ජීවත් වන්නේ සතුට වෙනුවෙනි. තමා කරන සෑම ක‍්‍රියාවක ම අවසානයේ මිනිසා බලාපොරොත්තු වන්නේ සතුටයි. මිනිසා සතුටම බලාපොරොත්තු වන්නේ ඇයි? සතුට සහ මිනිසාගේ සැබෑ ජීවිතය අතර ඇති සම්බන්ධය කුමක්ද? සතුට යනු කුමක්ද?

මිනිසාගේ සැබෑ ජීවිතය යනු තේරුම්ගත් නොහැකි, නොදන්නා ජීවිතයක් බවත්, කුමක් හෝ හේතුවක් නිසා මේ මොහොතේ ලෝකයක් තුළ සිටින බවත් අප දනිමු. තමාගේ ජීවිතය පිළිබඳ මෙන් ම, ලෝකය පිළිබඳ මිනිසාට ඇත්තේ නොදැනුමකි. මිනිසා ලෝකය හඳුනාගන්නේ ඉන්ද්‍රියයන් හරහා ය. නමුත් මෙම ඉන්ද්‍රියයන් හරහා හඳුනාගන්නා ලෝකය, සැබෑ ලෝකය ම බව අපට සහතික විය හැකි ද? ජීවිතය පිළිබඳ මෙන් ම ලෝකය පිළිබඳ ව ද මිනිසාට ඇත්තේ නොදැනුමකි. එම නිසා මිනිසාට ඇත්තේ නොදන්නා ලෝකයක් තුළ පවතින තේරුම්ගත නොහැකි ජීවිතයකි. නමුත් අප අපගේ දෛනික ජීවිතය තුළ සිට බැලූ විට අපට එසේ සිතෙන්නේ නැත. උදෑසන අවදි වූ මොහොතේ සිට රාත‍්‍රියේ නින්දට යන තෙක් අප ජීවත් වන ලෝකය පිළිබඳ නොදැනුමක් ඇති බව අපට වැටහෙන්නේ නැත. නමුත් අප දන්නවා යැයි සිතා සිටින ලෝකය පිළිබඳ තවත් ගැඹුරින් සිතා බැලූ විට අපට පෙනී යන්නේ, අපගේ ඉන්ද්‍රියන් සහ මිනිසුන් විසින් අර්ථ කථනය කරන ලද ලෝකය, ලෝකය ලෙස අප වටහාගන්නා බවත්, එය සැකයකින් තොරව අප පිළිගන්නා බවත් ය. ඉන්ද්‍රියයන් සහ මිනිසුන් වෙතින් ලැබෙන දැනුම ඇසුරෙන් අප හඳුනාගන්නා ලෝකය සත්‍ය බව කිව හැක්කේ කෙසේ ද? එම දැනුම වැරදි නො විය හැක්කේ කෙසේ ද? නමුත් අප එය සත්‍ය බව පිළිගත් දෛනික ජීවිතයක් ගත කරමු. එය සත්‍ය බව අපට දැනෙන්නේ අප කුඩා කළ සිට මිනිසුන් විසින් අර්ථ කථනය කරන ලෝකයට සහ ඉන්ද්‍රියයන් හරහා ලැබෙන දැනුම සැක නොකිරීමට හුරු වීම නිසා ය. අප දැන් පිළිතුරු සෙවිය යුතු වන්නේ මෙ ලෙස අප විසින් ගොඩනගාගත් ලෝකය තුළ අප සතුට හඹා යන්නේ ඇයි ද යන ප‍්‍රශ්නයට යි.

ලෝකය පිළිබඳ මිනිසාට ඇත්තේ නොදැනුමක් නිසා මිනිසා සෑමවිට ම උත්සාහ කරන්නේ මෙම නොදැනුමෙන් පලායාමට ය. වඩාත් නිවැරදිව කියන්නේ නම් ලෝකය පිළිබඳ ඇති නොදැනුම මිනිසා තුළ ඇති කරන්නේ දැඩි ආතතියකි. එම නිසා මිනිසා සෑම විට ම මෙම නොදැනුම වෙතින් ඈත් වීමට උත්සාහ කරයි. මිනිසා තම ඉන්ද්‍රියයන් හරහා හඳුනාගන්නා ලෝකය සැකයකින් තොරව භාරගැනීමට පෙළඹෙන්නේ එබැවිනි. ඒ හරහා මිනිසා තමා වටා ඇති ලෝකය අර්ථ කථනය කර ගනයි. මෙම ක‍්‍රියාවලිය මිනිසා ආයාසයකින් කරන්නක් නොවේ. එය කුඩා කළ සිට හුරු වන්නකි. මිනිසා තමාගේ මුළු ජීවිතය ම ගොඩනගා ගන්නේ මේ ආකාරයට අර්ථ කථනය කරගත් ලෝකය තුළ ය. මිනිසා සතුට හඹා යන්නේ මේ ලෝකය තුළ ය.  මිනිසා සතුට හඹා යන්නේ ඇයි? යන ප‍්‍රශ්නයට පිළිතුරක්, සතුටෙහි ප‍්‍රතිපක්ෂය, එනම් දුකට මුහුණ දෙන විට මිනිසාට සිදුවන්නේ කුමක්ද යන්න පරීක්ෂා කිරීමෙන් සොයාගත හැකිය. දුකකදී සිදුවන්නේ නොලැබීමකි, බලාපොරොත්තු කඩ වීමකි. දුක නිසා ඇතිවන කාංසාමය මනෝභාවය නිසා සිදුවන්නේ අපගේ දෛනික ජීවිතය සහ අප ගොඩනගාගත් ලෝකයට පසුබිමින් පවතින, තේරුම්ගත නොහැකි, අරුත් සුන් ජීවිතයට සහ ලෝකයට අප නිරාවරණය වීමයි. එවිට ලෝකයේ සැබෑ පැවැත්මෙහි පවතින හිස් බව අපට අභිමුඛ වේ. දැඩි දුකක දී, බලාපොරොත්තු කඩ වීමකදී අප වටා ඇති ලෝකයෙහි සියලූම දේවල් අරුත් සුන්, අමුතු බවකට පත් වේ. එවිට අප පත් වන්නේ ලෝකය පිළිබඳ නොදැනුම නිසා ඇතිවන දැඩි ආතතිමය තත්ත්වයට යි. අප නොදැනුවත්ව ම ලෝකය පිළිබඳ නොදැනුමෙන් පළා යාමට හුරු වී ඇත්තේ ඒ නිසා ය. අපට සතුට උවමනා වන්නේ මේ අවස්ථාවේ දී ය. සතුට ලබාගැනීමට නම් අප ලෝකයේ හිස් අරුත් සුන් බවින් ඈත් විය යුතුය. එසේ කළ හැකි වන්නේ අප ගොඩනගාගත් ඉන්ද්‍රියයන් ඇසුරෙන් තේරුම් ගන්නා, මිනිසුන් විසින් අර්ථ කථනය කළ ලෝකය තුළට යාමෙන් ය. එවිට අප සැබෑ ලෝකය වෙත නිරාවරණය වීම නවතී. තවදුරටත් මිනිසාට මිනිසාගේ සැබෑ පැවැත්ම අභිමුඛ වන්නේ නැත. සැබැවින්ම සතුට යනු මිනිසා තම සැබෑ පැවැත්ම අමතක කරන අවස්ථාවයි. සතුට වෙත දිශානත වූ ජීවිත රටාවක් අපට අවශ්‍ය වන්නේ එබැවිනි.

කුඩා කළ සිට අප හුරු වන්නේ සතුට සොයා යන ජීවිතයකට ය. හොඳින් අධ්‍යාපනය ලබා, හොඳ රැකියාවක් කර, හොඳ ජීවිතයක් ගත කිරීමට අප සියල්ලන්ම බලාපොරොත්තු වෙමු. එය වෙනත් ආකාරයකට කියන්නේ නම් මිනිසුන් විසින් අර්ථ කථනය කරන ලෝකය වඩාත් ශක්තිමත් ලෙස ගොඩනගා ගැනීමයි. නමුත් ඒවා අප බලාපොරොත්තු වන අයුරින්ම සිද්ධ වන්නේ නැත.  ඕනෑ ම මොහොතක බලාපොරොත්තු රහිත ලෙස දුක අප වෙත ළඟා විය හැකිය. එසේ වන්නේ ලෝකය ඉතා ශීඝ‍්‍රයෙන් වෙනස් වන්නක් නිසා ය. අපගේ සතුට සොයා යන ජීවිත ගමනේ බොහෝ අවස්ථාවල දී අපි පසුබිමින් පවතින අරුත්සුන් හිස් යතාර්ථය වෙත නිරාවරණය වන්නෙමු. එයට විසඳුම් ලෙස  තව තවත් සතුට සොයන්නෙමු. මෙවැනි දීර්ඝ කාලයක් ගත කළ පසු ජීවිතයෙ ඇති තේරුම්ගත නොහැකිභාවය, හිස් බව වඩ වඩාත් අපට තහවුරු වේ. විශේෂයෙන් මරණය වැනි අර්ථ කථනය කරගත නොහැකි අවසානයක් ගැන සිතීම මිනිසාට විශාල ආතතියකි. ආගම අවශ්‍ය වන්නේ මේ අවස්ථාවේදී ය. ආගම් මගින් සිදු කරන්නේ මිනිසාට අර්ථ කථනය  කරගත නොහැකි ලෝකය අර්ථ කථනය කිරීමයි. බොහෝ ආගම් මරණයෙන් පසු කුමන හෝ ආකාරයක පැවැත්මක් පිළිබඳ ඉගැන්වෙන්නේ මේ නිසා ය. ලෝකය පිළිබඳ ඇති නොදැනුම නිසා ඇතිවන පීඩනයට වඩා ලෝකය පිළිබඳ කුමන හෝ ආකාරයට දැන ගැනීම මිනිසාට විශාල සහනයකි.

ජීවිතයේ සතුට වෙනුවෙන් අපට බොහෝ දේ කළ හැකිය. ඒ සියලූ ක‍්‍රියාවලින් සිදුවන එක ම දෙය තමාගේ සැබෑ පැවැත්ම අමතක කිරීමයි. මිනිසුන් අර්ථ කථනය කළ ලෝකය තුළ ගිලී යාම යි. දුක නිසා සිදුවන්නේ අපට අපගේ සැබෑ පැවැත්ම මුණගැසීමයි.

දිනිත් සුමනසේකර

 

 

***

Advertisements