Gary Hume Bird with Pink Beak2

 

මම, චරිත කාරියවසම් කියන්නේ කුමක්ද, ඔහු කියන දේ හී මට නොතේරෙන දෙය කුමක් ද යන්න පිළිබඳ තරමක් සිතා බැලුවෙමි. ෆේස් බුක් ප්‍රතිචාරයක කෙනෙක් කියා තිබුණා මෙන් මෙවැනි කාරණා පිළිබඳ මට ඇති දැනුම ප්‍රාථමික පංතියේ තරමේ එකක් වුවත්, පැහැදිළි ලෙස මේ කාරණය පිළිබඳ චරිතට ඇති දැනුම විධිමත් අධ්‍යාපනයක් හරහා ලැබුණු ප්‍රශස්ත මට්ටමේ එකක් ය යන්න ගැන මට කිසි සැකයක් නොමැති නිසාත්, සහ චරිත මෙහි දී අව්‍යාජව මට නොතේරෙන යමක් මා වෙත (ද) සන්නිවේදනය කිරීමට උත්සාහ කරන බව මට පෙනුණු නිසාත්, මම මේ පිළිබඳ තව දුරටත් සීතා බැලීමට උත්සාහ කළෙමි. මෙහි දැක්වෙන්නේ එහි ප්‍රතිඵලයයි:

චරිත කියන ආකාරයට, මට “පොල් ගස්වලින් පොල් ගෙඩි මහපොළවට වැටීම” මගේ ඉන්ද්‍රියයන් මගින් නිරීක්ෂණය කළ හැකි ආකාරයට, “(බුදු) පිළිම වලින් රැස් විහිදීම” ද ඒ අකාරයටම සිය ඉන්ද්‍රියයන් මගින් නිරීක්ෂණය කර ඇති අය සිටිති. මතක විදිහට චරිත ද ඒ එක් අයෙක් බව ඔහු ම කියා ඇත. දැන් අප දෙදෙනාගේ ම ඉන්ද්‍රියානුභූතික අත්දැකීම් දෙක සමානය. (අපි එකිනෙකාට බොරු කියන්නේ නැතැයි යන උපකල්පනය මම මෙහි දී කරමි. කෙසේ වුව ද ප්‍රශ්නය මේ ආකාරයෙන් තේරුම් ගැනීමට උත්සාහ කිරීමේ දී බොරු කියනවා ද නැද්ද යන ප්‍රශ්නය අත්‍යාවශ්‍යයෙන් ම මතු වන්නේ ද නැත.)

දැන් ප්‍රශ්නය වන්නේ මේ ඉන්ද්‍රියානුභූතික නිරීක්ෂණ දෙක සම්බන්ධයෙන් වියුක්ත පැහැදිළි කිරීම් ආකෘති දෙකක් ලෙස පළමුවැන්නට ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යායත් (මා ප්‍රවාදය යන්න වෙනුවට පාවිච්චි කරන්නේ theory යන පදය සඳහා වඩා ප්‍රචලිත “න්‍යාය” යන්නයි), දෙවැන්නට බුදුරැස් පිළිබඳ අදහසත් (මා දැනට එයට “න්‍යාය” යන පදය භාවිත නොකරමි. චරිත කාරියවසම් ට එය “න්‍යාය” හෝ “ප්‍රවාදය” ලෙස කියවා ගැනීමට පුළුවන.) ඉදිරිපත් වී ඇත. දැන් ප්‍රශ්නය වන්නේ මේ පැහැදිළි කිරීම් ආකෘති දෙක අතරින් දෙවැන්නට, ඊට අනුරූපී ඉන්ද්‍රිය ගෝචර අනුභූතිය (පිළිමවලින් රැස් විහිදීම) සමඟ නොමැති කිසියම් සම්බන්ධයක්, පළමුවැන්නට, ඊට අනුරූපී ඉන්ද්‍රීය ගෝචර අනුභූතිය (පොල් ගස්වලින් පොල් මහපොළවට වැටීම) සමඟ, තිබේ ද යන්න යි. චරිත ගේ පිළිතුර “නැත” යන්න යි. මත භේදය ඇති වූයේ මා කලින් කළ අදහස් දැක්වීමක දී ඊට “ඇත” යන පිළිතුර දී ඇති නිසා ය. දැන් මා මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සඳහා මගේ පිළිතුර වෙනස් කරමි. එනම් චරිත සමඟ මම ද “නැත” යන පිළිතුර දෙමි.

එයින් අදහස් කරන්නේ මා මගේ මුල් ස්ථාවරය වෙනස් කොට චරිතගේ ස්ථාවරය වෙත පැමිණ ඇති බව ද? අනිවාර්යයෙන්ම එසේ වීමට අවශ්‍ය නැත. නමුත් මේ සටහන තුළ අපගේ සාකච්ඡාව මගින් පැමිණි මාවතට සාපේක්ෂව මට “නැත” යන පිළිතුර දීමට ගැටලුවක් නැත. එසේ වන්නේ ඇයි? (බුදු) පිළිම වලින් රැස් විහිදීම ඉන්ද්‍රියානුභූතික අත්දැකීමක්ය යන චරිතගේ කියා පෑමට මා දැනට එකඟ වී ඇති නිසා ය. එය සත්‍යයක් ලෙස භාර ගැනීමට මට සිදුවන්නේ නම් “නැත” යන පිළිතුර හැර වෙනත් පිළිතුරක් දීමට මට නොහැක. දැන් මගේ මුල් අදහස් දැක්වීමේ යෝජිත “ඇත” යන පිළිතුරට සිදුවන්නේ කුමක්ද? එය පසෙකට විසිකර දැමීමට මට සිදුවේද? මගේ ඊට පිළිතුර “නැත” යන්න යි. එවිට කිසියම් විකාර සහගත පරස්පරයක් ඇතිවන්නේ නැති ද?

සටහනේ ඊළඟ කොටස එම පිළිතුර පැහැදිළි කිරීම සඳහා ය.

මා යථෝක්ත ප්‍රස්තුතයට “ඇත” යන පිළිතුර දීමට බලපෑ පසුබිම වන්නේ මෙම සාකච්ඡාව තුළ චරිත හා මා අතර ඇති කරගත් වියුක්ත එකඟතාවය නොවේ. එයට මා ” වියුක්ත එකඟතාවය” යැයි කියන්නේ ඇයි? එසේ කියන්නේ එය මේ සාකච්ඡාව ගෙන යාම සඳහා වූ සීමිත අවශ්‍යතාවය මත ඇති කරගත් තාවකාලික (හා උපකල්පිත – hypothetical) එකඟතාවයක් නිසා ය. මා යථෝක්ත ප්‍රස්තූතයට “ඇත” යන පිළිතුර දීමට බල පෑ පසුබිම ඇත්තේ මගේ සංයුක්ත ජීවිතය තුළ යි. එනම් මේ නිෂ්චිත තේමාව පිළිබඳ ව කෙරෙන වියුක්ත සාකච්ඡාවට ඔබ්බෙන් ඇති එදිනෙදා සංයුක්ත ජීවිතය තුළ යි.

ඒ සංයුක්ත ජීවිතය කවරාකාර ද?

ඒ සංයුක්ත ජීවිතය තුළ මම “පොල් ගස්වලින් පොල් ගෙඩි මහපොළවට වැටීම” මගේ ඉන්ද්‍රියයන් මගින් නිරීක්ෂණය කර ඇත්තෙමි. එසේ ම පොල් ගස්වලින් පොල් ගෙඩි මහපොළවට නො වැටී අහස දෙසට ගමන් කිරීම මා හට නිරීක්ෂණය වී නොමැත.

එපමණක් ද? මා ජීවත් වන සංයුක්ත වටපිටාව තුළ (බුදු) පිළිම වලින් රැස් විහිදීම ද (අඩුම වශයෙන්) සිදුවිය හැකි දෙයක් ය යන පිළිගැනීම දරා සිටින අය සිටිති. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් මට හමු වී ඇති එවැනි අය (බුදු) පිළිම වලින් රැස් විහිදීම පිළිබඳ විශ්වාසය දරා සිටින්නේ ඒ අය ඊට අදාළ සංසිද්ධියක් (එනම් ඇත්ත වශයෙන්ම (බුදු) පිළිම වලින් රැස් විහිදීම) ඉන්ද්‍රියානුභූතික අත්දැකීමක් ලෙස අත්විඳ තිබීම නිසා ම නොව සිය ආගමික සංස්කෘතිය තුළින් තමන්ට පැමිණි විශ්වාසයක් ලෙසට යි.

මා ජීවත් වන සංයුක්ත වටපිටාව තුළ (බුදු) පිළිම දක්නට ලැබේ. මා ඒවා ඉන්ද්‍රියානුභූතික අත්දැකීමක් ලෙස අත් විඳිමි. ජීවිතයේ ඇතැම් කාලයක ඒවාට වැඳුම් පිදුම් කිරීම් ද කර ඇත්තෙමි. එසේ ම තවමත් මා ද අනුභූතිකව දැක ඇති පිළිම වලට පුද පූජා කරන අය දැක ඇත්තෙමි. එවැන්නන් ඇසුරු කරමි. එසේ වුවත් සාමාන්‍ය වශයෙන් එවැනි පිළිමවලින් රැස් විහිදීම පිළිබඳ ඉන්ද්‍රියානුභූතික අත්දැකීම් හරහා (බුදු) පිළිම වලින් රැස් විහිදීම පිළිබඳ විශ්වාසය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දරන අය මට නිතර හමු නොවේ. යම් යම් අවස්ථාවල එවැනි අය හමු වී ඇත. දැනට වසර ගණනාවකට පෙර කොළඹ ප්‍රදේශයේ එවැනි දෙයක් පිළිබඳ ප්‍රචාර ඇති විය. මට හමු වී ඇති ඇතැම් අය ඒ අදාළ පිළිම වලින් “රැස් විහිදෙනු” දුටු බව ද කියා සිටි බව මගේ මතකයේ ඇත.

ඒ දිනවල ඒ පිළිබඳ විවිධ සාකච්ඡා ඇති විය. “බුදු රැස් විහිදීම” පිළිබඳ පැහැදිළි කිරීමට වඩා වෙනස් පැහැදිළි කිරීම් ද ඒ සඳහා ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත් මගේ ඒ සම්බන්ධව විශේෂ උනන්දුවක් එකළ ඇති වූයේ නැත. නමුත් මට එක් කරුණක් හොඳින් පැහැදිළි ය. එනම් (බුදු) පිළිම වලින් රැස් විහිදීම පිළිබඳ විශ්වාසය දරා සිටින අය ඒ විශ්වාසය එසේ දරා සිටින්නේ ඒ අය ඊට අදාළ සංසිද්ධියක් (මා ඉහත සඳහන් කළ අවස්ථාවේ මෙන්) ඉන්ද්‍රියානුභූතිකව අත්විඳ තිබූ නිසා නොව කලින් කී ආකාරයට සිය ආගමික සංස්කෘතියෙන් ඒ විශ්වාසය හුදු විශ්වාසයක් ලෙස තමන් වෙත පැමිණි නිසා ය. ඒ අය සාමාන්‍ය වශයෙන් එසේ ඉන්ද්‍රියානුභූතික අත්දැකීමක් නොලැබුවා කියා හෝ “බුදු රැස් විහිදීම” පිළිබඳ වෙනත් අර්ථ කථන, ප්‍රබල හේතු දැක්වීම් ද සමඟ, ඉදිරිපත් වූ නිසා හෝ (ආචාර්ය චන්දන ජයරත්න වැන්නන් එවැනි වෙනස් අර්ථකථන ඉදිරිපත් කළ බව මගේ මතකයේ ඇත) තමන්ගේ විශ්වාසය නැති කරගන්නේ ද නැත. ඒ අය ඒ විශ්වාසය ආගමික විශ්වාසයක් ලෙස දිගටම තබා ගනී.

මීට අදාළ මා හොඳින් දන්නා උදාහරණයක් පවසමි. දැනට දශක තුනකට පමණ පෙර කිසියම් ප්‍රදේශයක (නිකවැරටියේ විය යුතුය) බෝධි රුක්ෂයක කඳින් බුදුරුවක් මතු වී ඇති බවට රාවයක් ඇති විය. බොහෝ දෙනා එය නැරඹීමට ගියහ. ඒ රාවය ඇති වූ කාලයේ අපේ ගමට ආසන්නව පැවැති විහාරයක බෝධි රුක්ෂයේ ද ක‍‍දේ එවැනි බුදු රුවක් ඇතැයි ඒ විහාරයේ ජීවත් වූ සාමණේර හිමි නමක් ප්‍රකාශ කළේ ය. එය නැරඹීමට අවට පිරිස් වැල නො කැඩී පැමිණිමට පටන් ගත්හ. මම ද එය නැරඹීමට ගියෙමි. රුක්ෂයේ මුලට තරමක් ඉහළින්, ඇත්ත වශයෙන්ම, වාඩි වී සිටින ඉරියව්ව සහිත බුදු රුවක හැඩය මවා ගත හැකි හැඩයක් දක්නට ලැබිණි. සාමණේර හිමි නම අග සුදු පැහැති සමන් පිච්ච මලක් දැවටූ කෝටුවකින් එම හැඩය ඇති ස්ථානය නරඹන්නන්ට පෙන්වා දීමේ යෙදී සිටියේ ය. කෙසේ වෙතත් විහාරයේ නායක හාමුදුරුවෝ මේ පිළිබඳ පසු වූ යේ අමනාපයෙනි. මෙම ක්‍රියාව සිදු නොකරන ලෙස සාමණේර හිමිට උන්වහන්සේ විසින් අවවාද කරනු ලැබ ඇති බව ද ආරංචි විය. නමුත් සාමණේර හිමි නම අදාළ ක්‍රියාව දිගට ම කරගෙන ගියේ ය. එවිට නායක හිමියෝ සාමණේර හිමිගේ හිතුවක්කාරී ක්‍රියාවට විරෝධය පා මේ ක්‍රියාව අවසන් වන තුරු විහාරයට නොපැමිණෙමි යි කියා විහාරයෙන් තාවකාලිකව පිට වී ගියහ. ටික කලකින් ඒ සඳහා පැවැති ආකර්ශනය නැති වී ගියේ ය. මෙය හාස්කමක් හා සම්බන්ධ දෙයක් නොව බෝධි රුක්ෂයේ වර්ධනයට අදාළ සාමාන්‍ය තත්වයක් ය යන අදහසට සාමාන්‍ය බෞද්ධ ගැමියෝ පැමිණ සිටියහ.

මේ සිද්ධියේ වැදගත්කම කුමක් ද? මෙහි ඇති ප්‍රධාන වැදගත් කම වන්නේ බෝධි රුක්ෂයට වැදුම් පිඳුම් කරන ඒ තුළ කිසියම් අදෘෂ්‍යමාන බලයක් ඇතැයි ඇත්ත වශයෙන්ම විශ්වාස කරන ප්‍රදේශයේ බැතිමතුන් පමණක් නොව එවැනි ආගමික විශ්වාස අනිවාර්යෙන්ම තිබීම පිළිබඳව කිසිඳු සැකයක් නොමැති විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ පවා අදාල ඉන්ද්‍රියානුභූතිකව අත්විඳිය හැකි වූ සංසිද්ධිය (එනම් බෝධි රුක්ෂයේ මුලට ඉහළින් වාඩි වී සිටින ඉරියව්ව සහිත බුදු රුවක හැඩය මවාගත හැකි ස්වරූපයක් දක්නට ලැබීම) බෝධිරුක්ෂය වන්දනාමාන කිරීමට හේතු වූ ආගමික විශ්වාසය සමග සම්බන්ධ නොකිරීමයි. ඇතැම් ගැමියෝ එසේ සම්බන්ධ කළත් ඉක්මනින්ම එම සම්බන්ධය අත්හැර දැමූ හ. එසේ වුව ද බෝධි රුක්ෂය වෙත පුද පූජා කිරීම කිසිසේත් ම නැවතුනේ නැත. එම පුද පූජා කිරීම් අද දක්වාම සිදුවේ.

දැන් මා මෙයින් ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නේ අදාළ ආගමික ප්‍රජාව තම ආගමික විශ්වාසය සාක්ෂාත් කර ගැනීම සඳහා ඒවා ඉන්ද්‍රියානුභූතිකව අත්විඳිය හැකි වූ සංසිද්ධීන් සමඟ සම්බන්ධ කිරීමට ඇති නැඹුරුව ඉතා ම සංකීර්ණ එකක් බවයි. ඇතැම් විට එවැනි අවස්ථා (නිකවැරටියේ දී එය තරමක් දුරට දැකිය හැකි විය) සිය විශ්වාසය හා ඉන්ද්‍රියානුභූතිකව අත්දැකීම සමඟ සම්බන්ධ කර ගන්නා අතර ඇතැම් අවස්ථාවල එසේ නොකරයි. කෙසේ වෙතත් ඒ මගින් විශ්වාසය තුළ මූලික වෙනසක් ඇති වීම දක්නට නො ලැබේ.

මීට අදාළ තවත් කරුණක් මෙහි දී වැදගත් ය. එනම් සාමණේර නමගේ ක්‍රියාව යි. අප එම ක්‍රියාව තේරුම් ගත යුත්තේ කෙසේ ද? අඩුම තරමින් ආකාර තුනකට එය තේරුම් ගත හැක. එකක් කිසියම් සමාජ පිළිගැනීමක් හෝ විහාරස්ථානයට වැඩි වැඩියෙන් ජනයා ආකර්ශනය කර ගැනීමේ අරමු‍ණෙන් එසේ කළ බව යි. අනෙක උන්වහන්සේ ඇත්ත වශයෙන්ම එම ඉන්ද්‍රියානුභූතික සංසිද්ධිය තම ආගමික විශ්වාසය සමඟ ඍජු ලෙස සම්බන්ධ කිරීම නිසා එසේ කළ බව යි. තුන්වැන්න (කිසියම් ආන්තවාදී ආකාරයකින් කියන්නේ නම්) උන්වහන්සේ තුළ තිබූ කිසියම් සුවිශේෂි (ව්‍යාධිමය ලෙස මනෝවිද්‍යා කතිකාව තුළ හඳුනාගැනීමට ඉඩ ඇති) මානසික තත්වයක් නිසා එසේ කළ බවයි. මේ සුවිශේෂී අවස්ථාවට අදාළව තුන්වෙනි නිරීක්ෂණය එතරම් අදාළ නොවන්නේ, ජනයා ආකර්ශනය නොවන තත්වයක් තුළ උන්වහන්සේ විසින් ම අදාළ ක්‍රියාව අත්හැර දැමා සාමාන්‍ය ලෙස ජීවත් වූ නිසා ය.

මේ තුන්වැනි සාධකයට අදාළව මගේ තවත් සංයුක්ත අත්දැකීමක් ගෙන හැර දැක්වීමට කැමැත්තෙමි. ඒ මෙසේය: අපගේ නිවස ආසන්නයේ ම ජීවත් වූ මගේ නැන්දා කෙනෙක් මා දන්නා කාලයේ සිට ම ප්‍රදේශයේ පැවැති තරමක විශාල නා ගසක් අසල කිසියම් පූජා භාණ්ඩ කීපයක් තැන්පත් කොට වරින් වර ඒ ස්ථානයට ට ගොස් පූජා පැවැත්වීමේ පුරුද්දක් ඇති කරගෙන සිටියා ය. එසේ පූජා පවත් වන අවස්ථාවලත් තවත් ඇතැම් අවස්ථාවලත් ඇය අසාමාන්‍ය මානසික හා ශාරීරික චර්යාවන් ද ප්‍රදර්ශනය කළා ය. ඒ අවස්ථා ගැමියන් විසින් විස්තර කරනු ලැබුවේ “සොපි අක්කට ආවේශ වෙනව” යන වාක්‍යයෙනි. කෙසේ වෙතත් ඇයගේ වැදුම් පිදුම් ලැබූ නා ගස සෙසු ගැමියන් ගේ වැදුම් පිදුම් ලැබූ ස්ථානයක් බවට පත් වී තිබූ බවක් මට මතක නැත. ඇය සම්බන්ධයෙන් දක්නට ලැබුණු සුවිශේෂ තත්වයක් වන්නේ ඇගේ පවුලේ, ඇය මෙන්ම අසාමාන්‍ය මානසික හා ශාරීරික චර්යාවන් ප්‍රකට කළ, තවත් සාමාජිකයින් කීප දෙනෙක් සිටීමයි. අඩුම තරමින් ඇගේ එක් පුත්‍රයෙක් තුළ ද මෙම “ආවේශ වීමේ” චර්යාව දක්නට ලැබිණි. මා මගේ ඉහත ලිපිය තුළ “විපරීත” යන වචනය පාවිච්චි කළේ මෙවැනි චර්යාවන් ට අදාළව යි. ඒ pervert යන ඉංග්‍රීසි පදයෙන් හැඟවෙන අර්ථය දීම සඳහා ය. සමහර විට මා එම සටහනේ සාකච්ඡා කළ සන්දර්භයට අදාළ pervert යන යෙදුම තරමක් දරුණු වැඩි වීමට ඉඩ ඇත.

දැන් මගේ තර්කය වන්නේ බුදු පිළිමවල සහ මා ජීවත් වූ වටපිටාවේ ජීවත් වූ ගැමියන් ගේ පුද පූජාවන්ට ලක් වූ සෙසු වස්තූන් තුළ කිසියම් අදෘෂ්‍යමාන බලයක් ඇතැයි ඒ අය විශ්වාස කළේ අනිවාර්යයෙන්ම මෙවැනි සංයුක්ත අවස්ථා (බෝධි රුක්ෂය පිළිබඳ සිදුවීම හා “සොපි අක්කාගේ ආවේශය”) මුල් කර ගෙන ම නොවීම යි. ඒ සඳහා එවැනි සුව්ශේෂී ඉන්ද්‍රීයගෝචර සංසිද්ධීන්ගේ ආචරණය නොමැති වුව ද තමන් ගේ පුද පූජාවන්ට ලක් වූ වස්තූන් (බුදු පිළිම හා බෝධි රුක්ෂ වැනි දේ) සම්බන්ධ ව ඔවුන්ගේ ආගමික සම්බන්ධය අඛණ්ඩව පැවැතුණි.

දැන් “පොල් ගස්වලින් පොල් ගෙඩි මහපොළවට වැටීම” පිළිබද සංසිද්ධියට යොමු වෙමු. පොල් ගස්වලින් පොල් ගෙඩි මහපොළවට වැටෙනු මා කුඩා කළ සිට දැක ඇත. එසේ වන්නේ මක් නිසා ද යන්න නො දැන සිටියේ වූ නමුදු (ඒ ගැන සිතීමට විශේෂ අවශ්‍යතාවයක් නොතිබුනා විය හැකි ය) ඒ ඉන්ද්‍රීයගෝචර සංසිද්ධීය සමඟ සංයුක්තව හා ප්‍රායෝගික ව ගණුදෙනු කිරීමට මා දැන සිටියෙමි. ඒ වේලී ඇති පොල් ගෙඩි සහිත පොල් ගස් අසලින් ගමන් කරන විට ප්‍රවේශමෙන් ගමන් කිරීම වැනි චර්යාවන් මගිනි. ඒ සමාජයෙන් ලද අවබෝධය හරහා ය. විශේෂයෙන් ප්‍රකාශ කිරීමක් පවා අවශ්‍ය නොවන්නේ ඒ අවධියේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ කිසිඳු අදහසක් මා තුළ නොතිබූ බව යි. ගුරුත්වාකර්ෂණය පිළිබඳ අදහස (සෙසු බොහෝ දෙනා මෙන් ම) මා (ද) දැනගන්නේ පැසැල් යාම නිසා ය. සාමාන්‍යයෙන් ගුරුත්වාකර්ෂණය පිළිබඳ මා පාසැලින් දැන ගත් දේ සහ “පොල් ගස්වලින් පොල් ගෙඩි මහපොළවට වැටීම” මෙන් ම ඊට සමාන වෙනත් ඉන්ද්‍රීයගෝචර සංසිද්ධීන් අතර එකට එකේ සම්බන්ධයක් දැකීම මට ගැටලුවක් ඇති කර තිබුණේ නැත. අඩුම තරමින් නලින් ද සිල්වා ගේ අදහස්වලට නිරාවරණය වන තුරු ඒ පිළිබඳ මට ගැටලුවක් ඇති වී තිබුණේ නැත. එලෙස “ගැටලුවක් ඇති නොවීම ” බෝධි රුක්ෂය පිළිබඳ සිදුවීම හා “සොපි අක්කාගේ ආවේශය” යන අවස්ථා සහ ගැමියන්ගේ ආගමික විශ්වාස අතර තිබූ සියුම් ආතතිය සමඟ සංසන්දනය කොට සලකා බැලීම මෙහි දී වැදගත් ය.

ගැමියා සම්බන්ධ මේ අවස්ථා දෙකේදී ම ගැමියා තුළ සිය ආගමික විශ්වාස සහ මේ සංසිද්ධීන් දෙක අතර උභයාවේගීමය (ambivalent) මානසික තත්වයක් ඇති වී තිබිණි. මේ අවස්ථා දෙක සිය ආගමික විශ්වාසයන්හී සත්‍යමයභාවය සාක්ෂාත් වන (realization) අවස්ථා ද එසේ නොමැති නම් එම ආගමික විශ්වාසයන් හී සත්‍යමයභාවයට කිසිඳු සම්බන්ධයක් නොමැති වෙනත් ආකාරවලට තේරුම් ගත හැකි සංසිද්ධීන් ද යන්න සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් පැවැති අතර ඒ ගැටලුව සමග කිසියම් ගනුදෙනුවක (negotiation) නිරත වීමට ගැමියාට සිදුවිය. බෝධි රුක්ෂය සම්බන්ධ සිද්ධියේ දී ටික කලකින් එය බොරුවක් බවට තීරණය කොට ඒ පිළිබඳ උනන්දුව අත්හැර දැමූ අතර දෙවෙනි සිද්ධියේ දී “සොපි අක්කාට ආවේශ වෙනව” යන අදහස (කැමති නම් “ප්‍රවාදය”) නිර්මාණය කරගෙන ගැටලුවට අතරමැදි විසඳුමක් සපයාගන්නා ලදි.

කෙසේ වෙතත් නලින් ද සිල්වා හමුවන තුරු ගුරුත්වාකර්ෂණය හා “පොල් ගස්වලින් පොල් ගෙඩි මහපොළවට වැටීම” අතර සම්බන්ධය මට ගැටලුවක් වූ යේ නැත. නලින් ද සිල්වා හෝ චරිත කාරියවසම් වැනි ඔහුගේ අදහස ප්‍රවර්ධනය කරන පිරිස් හමු නොවුනා නම් මට මේ විචල්‍යයන් දෙක අතර සම්බන්ධය කිසි විටෙක ගැටලුවක් නො වීමට වැඩි ඉඩකඩක් තිබිණි. මා භෞතික විද්‍යාව ඉගෙන ගත්තේ නැති බැවින් අයින්ස්ටයින් වැනි අයගේ න්‍යායන් ගැන දැන ගැනීමට තිබූ ඉඩකඩ ද අඩු ය.

මා අපගේ සාකච්ඡාවට අදාළ ප්‍රස්තුතය සම්බන්ධව “ඇත” යන පිළිතුර දීමට බලපෑ පසුබිම වූ යේ මෙය යි. එය නැවත කියනවා නම් මෙසේ ය. මට සංයුක්තව හමුවන බෞද්ධ ආගමික විශ්වාස ඇති පිරිස් බුදු පිළිම යනා දී ආගමික වස්තුවල සුවිශේෂ බලයක් ඇතැයි විශ්වාස කරන්නේ අනිවාර්යයෙන් ම එවැනි විශ්වාසවල සත්‍යමය පැවැත්ම සාක්ෂාත් කරවන කිසියම් ඉන්ද්‍රීයගෝචර සංසිද්ධීන් සමඟ එම විශ්වාස සම්බන්ධ කිරීමෙන් නොවේ. ඒ නිසා මගේ සංයුක්ත වටපිටාව තුළ මට මුණ ගැසෙන එවැනි අවස්ථා පිළිබඳ කියා පෑම් (මා දැක් වූ උදාහරණ මෙන්ම චරිත කාරියවසම් ද දැක ඇතැයි කියන පිළිම වලින් රැස් විහිදීම වැනි අවස්ථා) අනිවාර්යයෙන්ම ඒ විශ්වාස සමඟ සම්බන්ධ වන්නේ නැත. නමුත් ගුරුත්වාකර්ෂණය හා “පොල් ගස්වලින් පොල් ගෙඩි මහපොළවට වැටීම” අතර ඍජු සම්බන්ධයක් දැකීම හා ඒ සම්බන්ධය මගේ ප්‍රායෝගික ජීවිතයට අදාළාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මට එවැනි ගැටලුවක් මතු වී නැත.

“ගුරුත්වාකර්ෂණය” විද්‍යා කතිකාව තුළ ගැටලු සහගත සංකල්පයක් නොවේ ය යන්න පිළිබඳ මේ මගින් යමක් කියැවෙන්නේ නැති බව ද වැරදි අවබෝධයක් ඇති නොවීම පිණිස සටහන් කර තැබිය යුතුය. බුධ ග්‍රහයාගේ චලනය ගුරුත්වාකර්ෂණය පිළිබඳව නිව්ටන් ගේ න්‍යාය ට අනුව සිදු නොවන බව මා දැන ගත්තේ නලින් ද සිල්වා නිසා ය. ඒ අනුව අපට එම ඉන්ද්‍රීයනුභූතික නිරීක්ෂණය සඳහා වෙනත් න්‍යායක් අවශ්‍ය බව පැහැදිළි වේ. නමුත් ඒ මගින් පොල් පොළොවට වැටීම පිළිබඳව නිරීක්ෂණයේ ඇති සුපැහැදිලි බව හෝ (බුදු) පිළිම වලින් රැස් විහිදීම පිළිබඳව ඇති නිරීක්ෂණ වල ඇති උභයාවේගී බව හෝ වෙනස් වන්නේ නැත.

නිර්මාල් රංජිත් දේවසිරි

 

 

 

***

Advertisements