Pierre_Soulages_3

 

මෙම මැදිහත්වීම තුළ දී මා උත්සාහ කරන්නේ නලින් ද සිල්වාගේ “සිංහල බෞද්ධ මනස” නම් රචනය පිළිබඳ සමීප කියවීමක් සිදු කිරීමටයි (මුල් රචනය මෙතැනින්). මේ හරහා මෙයට පෙර මා ලියූ ‘මගේ ලෝකය ප්‍රවාදයේ අභ්‍යන්තර ආතතිය’ (එම රචනය මෙතැනින්) රචනයේ අදහස් තවදුරටත් වර්ධනය කිරීමටත්, ඒ සඳහා එල්ල වූ යම් යම් විවේචනවල වලංගුබව තක්සේරු කිරීමටත් අපි උත්සාහ කරමු.

එයට පළමුවෙන් වැදගත් කරුණක් මතක් කළ යුතු වන්නේ මෙවැනි සංවාදවල දී එය පහසුවෙන් අමතක වී යා හැකි නිසා ය. මෙම සංවාදය – අවම වශයෙන් මගේ පැත්තෙන් – පැවැත්වෙන සිතිජය නම් කිරීම සඳහා යෝග්‍ය නාමකරණය වන්නේ ‘දර්ශනය’ යන්න මිස ‘ආගම’ යන්න නොවේ. ආගම සහ දර්ශනය යන්න වෙන් කළ හැකි පහසු ආකාරයක් වන්නේ ආගම සඳහා භක්තිය අත්‍යවශ්‍ය සාධකයක් වන විට දර්ශනය සඳහා අවශ්‍ය වන්නේ භක්තිය හැකිතාක් ඉවත් කිරීම යන්න යි. එනිසා ම මෙය ‘බුදු දහම’ පිළිබඳ සංවාදයක් නොව ‘නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය’ පිළිබඳ සංවාදයක් බව මතක තබා ගැනීම ඉතා ම වැදගත් වේ.

මාගේ පෙර රචනයේ දී පෙන්වා දීමට උත්සාහ කළේ, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ සමාරම්භක කෘතිය ලෙස සැලකිය හැකි “මගේ ලෝකය” කෘතිය මගින් යෝජනා කරනා මූලික දාර්ශනික තර්කය සහ එහි හමුවන ‘නිවන’ පිළිබඳ අදහස අතර තිබෙන්නේ සමනය කළ නොහැකි ආතතියක් බවයි. මේ වන විට අප සංවාදයේ යම් දුරක් පැමිණ ඇති හෙයින් අපි එම මූලික දාර්ශනික තර්කය හැකිතාක් ඉක්මනින් සංක්ෂිප්ත කරමු.

මනසින් පරිබාහිරත්වයක් පිළිබඳ කතා කිරීමට හෝ සිතීමට හෝ උත්සාහ කරන ඕනෑ ම අයෙකු මුහුණ දෙන්නේ මග හැරිය නොහැකි විසංවාදයකටයි. ‘කතා කරන්නේ’ අපගේ අදහස් පිළිබඳ නිසා සහ, එයටත් වඩා ඍජු ලෙස ‘සිතන්නේ’ අපගේ අදහස් ගැන නිසා, ඒවා අයත් වන්නේ අපගේ අදහස්වල ලෝකයට පමණි. නමුත් අපගේ අදහස් අයත් වන්නේ අපගේ මානසික ලෝකයට වන හෙයින් මේ ආකාරයේ පරිබාහිරත්වයක් පිළිබඳ අදහස – එය අදහසක් වන නිසා ම – අපගේ මානසික ලෝකය ඉක්මවා යන්නක් නොවේ.

අනෙක් අතට, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ එන ‘නිවන’ පිළිබඳ සංවාදය මගින් පෙන්නුම් කිරීමට උත්සාහ කරන්නේ අපගේ මානසික ලෝකයට අයත් නොවන්නකි. ‘නිවන’ යනු දෙයක් හෝ ස්ථානයක් හෝ තත්වයක් හෝ නොවන බව අප විසින් පිළිගනු ලැබුව ද එමගින් අදහස් කරන්නේ අපගේ මානසික ලෝකයට පරිපූර්ණ වූ අනේකත්වයක් වේ යන්න ප්‍රතික්ෂේප වන්නේ නැත. පරිපූර්ණ අනේකත්වයක් – නැතිනම්, ‘රැඩිකල් අනේකත්වයක් – යන්නෙන් අදහස් කරන්නේ ‘සාපේක්ෂ අනේකත්වයක්’ නොවනා දෙයකි. ‘උස’ යන්නට අර්ථයක් තිබෙන්නේ ‘කොට’ යන්නට සාපේක්ෂවයි. නමුත් පරිපූර්ණ අනේකත්වයක් යනු මෙවැනි සාපේක්ෂ අනේකත්වයක් නොව මුළුමනින් ම වෙන් වූ දෙයකි. නිවන යනු, මේ අනුව, ‘සසරට’ සාපේක්ෂ අනේකත්වයක් නොවේ. නමුත්, ගැටලුව වන්නේ, මේ ආකාරයේ අනේකත්වයක් තේරුම් ගැනීමට එක්තරා දුරකට පසුව, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ පළමු අයෝමය නියමය – එනම් මානසික ලෝකයට අයත් නොවන්නක් පිළිබඳ සිතීමේ නොහැකියාව – ඉඩ දෙන්නේ නොමැති වීම යි.

‘නිවන’ සම්බන්ධයෙන් නලින් ද සිල්වා ලබා දෙනු ලබන ප්‍රකට පැහැදිළි කිරීම වන ‘නැති මනස, නැති මනසක් බව නැති මනසින් වටහා ගැනීම’ යන්න මගින් මේ අදහස අපට වඩාත් හොඳින් පැහැදිළි කරගත හැකි ය. නිවන යනු දෙයක් හෝ ස්ථානයක් හෝ තත්වයක් හෝ නොවන්නේ වුවත් නිවන් දැකීම තුළ කිසියම් ආකාරයක වටහාගැනීමක් ඇති බව එමගින් පැහැදිළි වේ. නමුත් ‘වටහාගැනීම’, ‘අවබෝධකරගැනීම’ වැනි ක්‍රියා අපට තේරුම් ගත හැකි එකම ආකාරය වන්නේ ඒවා කිසියම් මානසික ක්‍රියාවලියකට සම්බන්ධ වන්නා වූ දේවල් ලෙස යි. මනසක් නොමැති තැනක දී ‘වටහාගැනීමක්’ සිදු කරන්නේ කවුද/කුමක්ද? එය සිදු වන්නේ කෙසේද? මේ ආදී පිළිතුරු නොමැති ප්‍රශ්න රාශියක් මතු වීම අපට වළක්වා ගත හැකි නොවේ. අපට කිව හැකි එකම දේ වන්නේ එම වටහාගැනීම අපගේ මානසික ලෝකයෙන් රැඩිකල් ලෙස විනිර්මුක්ත වූ දෙයක් බව පමණි.

නමුත් මෙහි දී මතු වන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ මේ ආකාරයට මානසික ලෝකයෙන් පරිබාහිර වූ හැකියාවක් පිළිබඳ සිතීමේ ඉඩක් අපට නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය මගින් ලබා දෙන්නේ නොමැති වීම යි. මේ ආකාරයේ වටහාගැනීමක් ඇති බව අප සිතන්නේ ද මනසින් වීම නිසා, නැවතත්, මෙවැනි ‘වටහාගැනීමක්’ වීමේ හැකියාව, අපේ මානසික ලෝකයට අයත් වන්නක් වන බව පැහැදිළි වේ. නැති මනසින් වටහා ගැනීමට හැකි වනවා කියා සිතන්නේ ද මනසින් ම වන නිසා එය නැවතත් අපගේ මානසික ලෝකයේ අභ්‍යන්තරයට අයත් වන්නක් බවට පත්වේ.

දැන්, අප විසින් වර නැගු ප්‍රශ්නය මේ ආකාරයට සංක්ෂිප්ත කළ හැකි ය: නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ පළමු සහ නිශ්චිත වශයෙන් දාර්ශනික තර්කයට අනුව මනසින් පරිබාහිරත්වයක් පිළිබඳ සිතීමේ ඇති අත්‍යන්ත විසංවාදය නිසා මේ ආකාරයට මානසික ලෝකයෙන් රැඩිකල් ලෙස කණ්ඩනය වූ ‘වටහාගැනීමේ හැකියාවක්’ අප යුක්ති යුක්ත කරන්නේ කෙසේද? එවැන්නක් කිරීම සඳහා අපට මානසික ලෝකයට – ‘මගේ ලෝකයට’ – සාපේක්ෂ නොවූ හැකියාවක් ඇති බව පිළිගැනීමට ඉඩ තිබිය යුතුය. නමුත්, අප දන්නා පරිදි, මෙවැනි හැකියාවක් සම්බන්ධයෙන් ඉඩක් විවර කර ගැනීමට නිර්මාණාත්මක සාපේක්ෂතවාදය තුළ අපට අවස්ථාවක් ලැබෙන්නේ නැත. අප ගියවර සංවාදය නතර කළේ මෙම හැකියාව පිළිබඳ සිතීම සඳහා අප තැබිය යුතු අතිරේක පියවර කුමක්ද යන්න පිළිබඳ සංවාදයක් ඇති කිරීමේ පොරොන්දුව සමඟ යි. නමුත් එය සිදු කිරීමට මෙම කරුණ තවදුරටත් පැහැදිළි කරගැනීම ප්‍රයෝජනවත් වන බව අපට හැඟී ගියේ මේ සඳහා ලැබී තිබුණු ප්‍රතිචාර සලකා බැලීමත් සමඟ යි.

“සිංහල බෞද්ධ මනස” නම් රචනය අපට වැදගත් වන්නේ මෙම ලක්ෂ්‍යයයේ දී ය. එක අතකින්, මාගේ පළමු ලිපියට තරමක් දිගු සහ පොහොසත් ප්‍රතිචාරයක් දක්වා සිටින තමලු මලිත්ත පියදිගම (එම ප්‍රතිචාරය මෙතැනින්) මතු කරන මූලික තර්කය පදනම් වන්නේ “සිංහල බෞද්ධ මනස” නම් මෙම රචනය මත යි. අනෙක් අතට මෙහි දී අප මතු කරන සංවාදය සඳහා ඉතා ම වැදගත් උපමා කතාවක් ගොඩ නගා ඇති අනුජ මංචනායක ගේ එම සාදෘශ්‍යය (එය මෙතැනින්) වඩා හොඳින් අවබෝධ කරගැනීමටත් මෙම මූලික ලියවිල්ල පිළිබඳ පැහැදිළි කිරීමක් ලබා ගැනීම වැදගත් වනු ඇත.

“සිංහල බෞද්ධ මනස” රචනයේ ආරම්භයේ දී ප්‍රකාශ වන පරිදි එමගින් නලින් ද සිල්වා උත්සාහ කරන්නේ මනස යනුවෙන් අප ‘සම්මත ව්‍යවහාරය තුළ’ පිළිගනු ලබන දෙය සඳහා ආකෘතියක් ලබා දීමටයි. වෙනත් ආකාරයකට කියන්නේ නම්, මේ ආකාරයට ආකෘතියක් නිර්මාණය කිරීම මගින් එවැනි මනසක් සැබවින් ම ඇති බවක් එහි කතුවරයා යෝජනා කරන්නේ නැත. ඒ වෙනුවට එමගින් යෝජනා කරන්නේ අපට තිබෙනවා කියා අපගේ සම්මුති ලෝකයේ සිට සලකන, මනස ඇති වන්නේ කෙසේද සහ එය ඇති වූ පසු එය ක්‍රියාත්මක වන මූලික ආකාරය වන්නේ කුමක්ද කියා විමසා බැලීමට යි. මෙවැන්නක අවශ්‍යතාවය වන්නේ අපගේ සම්මුති ලෝකය තුළ අප සියලු දෙනා හට උරුම වන්නා වූ පුද්ගලත්වයක් ඇති බව ප්‍රතික්ෂේප කිරීම අපහසු වීමයි. එක පැත්තකින් මෙය ඍජුව ම කර්මවාදය, පුනර්භවය වැනි ආගමික අදහස්වලට ද අදාළ වෙයි. කිසිඳු ආකාරයක පුද්ගලත්වයක්, ආත්මයක්, පුද්ගල සාරයක් නොමැති වන්නේ නම් කර්ම විපාක ඇති වන්නේ කා හටද යන ප්‍රශ්නය ට පිළිතුරු දී ම මෙන් ම කුමන ආකාරයේ හෝ යළි ඉපදීමක් උරුම වන්නේ කා හටද යන ප්‍රශ්නයට පිළිතුරැ දීම ද තරමක් අපහසු වේ. අනෙක් අතට, සහ එයටත් වඩා අපගේ දෛනික ජීවිතයට සමීප ලෙස, කුඩා කළ සිට මහලු විය දක්වා ජීවත්වන පුද්ගලයෙක් පිළිබඳ හැඟීම අපට ඇති වන්නේ කෙසේද කියා පැහැදිළි වන්නේ නැත. “සිංහල බෞද්ධ මනස” ලිපිය තුළ එහි කතුවරයා විසින් විසඳීමට උත්සාහ කරන්නේ මෙම මුඛ්‍ය ගැටලුව යි.

මේ සඳහා නලින් ද සිල්වා ගොණු කරනු ලබන පිළිතුර සලකා බැලීමට පෙර, එම රචනයේ මෙම ආරම්භක අදහසේ ඇති ගැටලුව සනිටුහන් කිරීම වැදගත් වේ. එහි දී නලින් ද සිල්වා අපට කියා සිටින්නේ මනසක් තිබෙනවා කියා උපකල්පනය කිරීම ආත්මවාදී වන හෙයින් එවැනි උපකල්පනයක් මෙහි දී නොකෙරෙන බවයි. වෙනත් ආකාරයකට කියන්නේ නම්, එමගින් කියා සිටින්නේ මනස යනුවෙන් පැවැත්මක් සත්‍ය වශයෙන් ම, සද්භාවවේදී අරුතින්, නොමැති වන බවයි. දැන්, අප ඉහතින් මතු කර තිබෙන ප්‍රශ්නය මෙතැන දී ත් මතු වීම වැළක්විය හැකි නොවේ. මනසක් යනුවෙන් පැවැත්මක් නොමැති බව අප ‘දැන ගන්නේ’ කෙසේද? ‘දැන ගැනීම’, ‘වටහා ගැනීම’, ‘පසක් කර ගැනීම’, ‘අවබෝධ කර ගැනීම’, ‘දැකීම’ ආදී කුමන යෙදුමක් ඇසුරින් මෙය පැහැදිළි කළ ද ඒවා සියල්ල අපගේ මානසික ලෝකයේ අභ්‍යන්තරත්වයට අයත් වන බව ඉතා පැහැදිළි වේ. එ නිසා අප පැමිණිය යුතු සාධාරණ නිගමනය වන්නේ ‘මනස නොපවතින’ බව වටහා ගත හැක්කේ ද ‘මනසකට’ පමණි යන්නයි. එය එසේ නොවන බව පැහැදිළි කර දී ම සඳහා ලිපියේ රචකයා අපට කිසිඳු හේතු දැක්වීමක් ලබා දෙන්නේ නැත. ඒ වෙනුවට, ඔහු විසින් සිදු කරනු ලබන්නේ, මනස නොමැති බව, නිකන් ම, කිසිදු හේතු දැක්වීමකින් තොර ව, අපට ප්‍රකාශ කර සිටීම යි. නමුත් මනසින් පරිබාහිරත්වයක් පිළිබඳ සිතීමේ ඇති අත්‍යන්ත විසංවාදය පෙන්වා දීම සඳහා විශාල ම මැදිහත්වීමක් කළ චින්තකයෙක් අතින් සිදු වන මෙම අඩුපාඩුව හුදු අත්වැරදීමක් ලෙස සලකා බැහැර කර දැමිය හැකි නොවේ.

වෙනත් ආකාරයකට කියන්නේ නම්, අපට ‘සම්මුති වශයෙන්’ මනසක් ඇති බව කිව හැකි වුවත් ‘පරමාර්ථ වශයෙන්’ එවැන්නක් නොමැති බව කිව හැක්කේ කෙසේද? ‘සම්මුති’ සහ ‘පරමාර්ථ’ යන විභේදනය සාධාරණීකරණය කිරීම සඳහා අපට නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය ඇසුරින් තර්කයක් නිර්මාණය කරගත හැකි නොවේ. ‘පරමාර්ථ සත්‍යය යන්න ද අවසන් අරුතින් සම්මුති සත්‍යයක් වේ’ කියා පැවසීමෙන් මේ ප්‍රශ්න වලින් ගැලවීමට අපට අවස්ථාවක් හිමි වන්නේ නැත. එසේ වන්නේ මේ මගින්, කුමන හෝ ආකාරයකට, මනස නොමැති ව සිදු වන්නා වූ ‘වටහාගැනීමක්’ පිළිබඳ විශ්වාසයක් යෝජනා කරනා නිසා ය. නමුත්, සම්මුති වශයෙන් හෝ නිවන් දැකීම යනු වියහැකිභාවයක් ලෙස පිළිගැනීම මගින් අදහස් වන්නේ අපගේ සම්මුති ලෝකය ඉක්මවාලූ වියහැකිභාවයක පිළිගැනීම පමණි. එම වියහැකිබව පිළිබඳ ඇති විශ්වාසය අපගේ සම්මුති ලෝකයට අයත් වන දැනුමක් වීම මගින් මේ කරුණ ප්‍රතික්ෂේප වන්නේ නැත. නිවන් දැකීම සඳහා තිබිය හැකි එක ම අර්ථ කථනය වන්නේ එය අපගේ මානසික ලෝකයට අයත් නොවන වියහැකිභාවයක් යන්න පමණි. මෙ වැනි වියහැකිභාවයක් ඇති බව සිතන්නේ අපගේ මානසික ලෝකය තුළ සිට වුවත් එය සත්‍ය වශයෙන්ම වියහැකි වීමේ කොන්දේසිය වන්නේ අපගේ මානසික ලෝකය නොමැති වීමයි. ‘නැති මනසින් දැකීම’ යනුවෙන් නලින් ද සිල්වා සූත්‍රගත කරන්නේ මෙයයි. අපගේ සම්මුති දැනුම මගින් විශ්වාස කරන්නේ, මේ අනුව, අපගේ සම්මුති දැනුම බිඳ වැටෙන, අපගේ මානසික ලෝකයට අයත් නොවන ‘දැකීමක්’ හෝ ‘අවබෝධ කරගැනීමක්’ තිබෙනා බව පමණි. මෙම හැකියාව පිළිබඳ විශ්වාසය සම්මුති දැනුමක් වන්නේ වුවත් එමගින් විශ්වාස කරනා හැකියාව සම්මුති ලෝකයේ අභ්‍යන්තරයට අයත් නොවන්නකි. ඒ වෙනුවට එමගින් පෙන්නුම් කරන්නේ සම්මුති දැනුම ඉක්මවාලූ ‘අවබෝධයක’ වියහැකිබවයි. මේ සඳහා ‘පරමාර්ථ’ යනුවෙන් වෙනත් නාමකරණයක් අවශ්‍ය වන්නේ ම මේ නිසා ය. නිවන යන්න තවත් එක් සම්මුති සත්‍යයක් පමණක් වේ නම් ‘පරමාර්ථ සත්‍යය’ යනුවෙන් විශේෂ හඳුන්වා දීමක් ඒ සඳහා අවශ්‍ය නොවේ. එ නිසා ‘මෙය පරමාර්ථ සත්‍යයක් වන්නේ නිවන් අවබෝධ කරගත් අයට මිස අපට නොවේ කියා පැවසීම ද සම්මුති සත්‍යයකි’ කියනා අදහස මගින් මෙම පරමාර්ථ සත්‍යයේ ඇති ලෝකෝත්තර බව නැති වන්නේ නැත. නැවතත් අවධාරණය කරන්නේ නම්, මෙ වැනි කෙනෙක් විශ්වාස කරන්නේ අපගේ මානසික ලෝකයට රැඩිකල් ලෙස වෙනස් වූ අවබෝධයක වියහැකිභාවයකි. මෙම අවබෝධය අපගේ මානසික ලෝකයට සාපේක්ෂ වන්නක් නොවේ. එ නිසා ම එය එයින් රැඩිකල් ලෙස වෙනස් වන්නක් විය යුතු ය.

“සිංහල බෞද්ධ මනස” රචනයේ ආරම්භය තුළ ම මූලික ගැටලුවක් තිබෙනා බව මේ අනුව අපට පැහැදිළි වේ. අපගේ මානසික ලෝකයේ නොපැවැත්ම පිළිබඳ සිතීම යන්න ම විසංවාදයකි. මනස නොමැති බව අපට සිතිය හැක්කේ ද මනසින් පමණි. එ නිසා ම මනස නොමැති වීම පිළිබඳ සිතීම සඳහා මනසේ පැවැත්ම පූර්වකල්පනය කළ යුතු වේ. මෙම ගැටලුව සඳහා සාර්ථක විසඳුමක් ලබා දීමට “සිංහල බෞද්ධ මනස” රචනය සමත් වන්නේ ද? අප විසින් දැන් විමසා බැලිය යුතු ප්‍රශ්නය වන්නේ මෙය යි.

මෙම රචනයේ ඇති පළමු වැදගත් අදහස අපට හමු වන්නේ චිත්ත, චෛතසික, රූප, නිවන යන යන පරමාර්ථ ධර්ම සඳහා ලබා දෙන පැහැදිළි කිරීම තුළ යි. නලින් ද සිල්වා ට අපට ප්‍රකාශ කර සිටින පරිදි මෙය අප තේරුම් ගත යුත්තේ ඒවා මනසට සංස්කරණය කරගත හැකි කුඩා ම ධර්ම යන වේ යන අදහස ඇසුරිණි. මෙම ‘කුඩාබව’ පිළිබඳ අදහස මගින් අදහස් කරන්නේ කුමක්ද කියා පැහැදිළි කිරීමට සමත් සංසන්දනයක් අපට එම රචනය තුළ සොයා ගැනීමට හැකියාවක් තිබේ. අපි නලින් ද සිල්වා උපුටා දක්වමු:

“සිංහල බෞද්ධ මනස ආකෘතිය ඉදිරිපත් කෙරෙන්නේ ධර්මවාද ආකෘතිය යොදා ගනිමිනි. නැති (භංග) වන්නේ ඇති වූ (ඉපදුණු) චිත්තය නොවේ. චිත්ත ද වෙනස් වෙයි. එහෙත් අපට චිත්තය තව තවත් කොටස්වලට කැඩීමෙන් මේ ඇතිවන නැති වන වෙනස් වන ප්‍රශ්නයට පිළිතුරක් ලබා ගත නොහැකි ය. මනසට ග්‍රහණය කර ගත හැකි සීමාවේ චිත්ත, චෛතසික හා රූප වෙයි. පරමාණු, මූලික අංශු, ක්වාක්, තන්තු ආදී වශයෙන් ද්‍රව්‍ය කොටස්වලට කැඩීමේ ද සීමාවක් තිබිය නොහැකි ය. එහෙත් එහි දී මනසට ග්‍රහණය කර ගත හැකි සීමාවක් වෙයි. බටහිර භෞතික විද්‍යාඥයෝ ඒ සීමාවට ළඟාවෙමින් සිටිති.”

මේ අදහස වැරදියට තේරුම් ගැනීමට තිබෙනා ඉඩ තරමක් වැඩි නිසා මෙහි දී නලින් ද සිල්වා විසින් නොකියනු ලබන්නේ කුමක්ද කියා අපි නිරවුල්ව ලියා තබමු. ඔහු කියන්නේ චිත්ත යනු භෞතික විද්‍යාවේ එන පරමාණුව වැනි, ද්‍රව්‍යයේ කොටසකට වඩා, කුඩා කොටසක් වන බව නොවේ. අපගේ නිගමනය වන්නේ එවැන්නක් නම් භෞතික විද්‍යාවේ අනාගත මොහොතක් තුළ ‘චිත්තය සොයා ගැනීමේ’ හැකියාවක් ඇති බව පිළිගැනීමට අපට සිදු වනු ඇත. එවැනි අවස්ථාවක දී අප ප්‍රායෝගික වශයෙන් කියා සිටින්නේ භෞතික විද්‍යාව තුළ අභිධර්මයේ එන පරමාර්ථ ධර්ම සඳහා පැහැදිළි කිරීමක් අනාගතයේ දී වර්ධනය විය හැකි බව යි. නමුත් එවැනි අකාරයේ අනාගත භෞතික විද්‍යා ප්‍රවාදයක් බිහි වීමේ හැකියාව අප පිළිගැනීමට සූදානම් වනවා යන්නෙහි අදහස වන්නේ එම ප්‍රවාදය, එයට වඩා ප්‍රයෝජනවත් නව ප්‍රවාදයක් ඉදිරියේ ප්‍රතික්ෂේප වීමේ හැකියාව ද අප පිළිගන්නවා යන්න යි. එවැන්නක් වනවා යනු භෞතික විද්‍යාව විසින් ‘බුදු දහම අභිබවා යාමේ’ හැකියාව පිළිගැනීමට සිදු වීම යි. මෙවැනි ආස්ථානයක් නලින් ද සිල්වා හට කුමන තත්වයක් යටතේ හෝ පිළිගැනීමට නොහැකි වන බව අපි හොඳින් දනිමු.

නමුත්, සත්‍ය වශයෙන්ම, මෙම සංසන්දනය මගින් මෙවැනි ව්‍යාකූලබවක් ඇති වන්නේ නැත. මෙහි දී නලින් ද සිල්වා යෝජනා කරන්නේ ‘චිත්ත’ යනුවෙන් අදහස් කරනා දෙය කුමක්ද කියා තේරුම් ගැනීමට අවශ්‍ය උපමාවකි. භෞතික විද්‍යාව තුළ ද්‍රව්‍යය කුඩා කොටස් වලට කඩා ගැනීමේ ආකෘතිය ඇසුරින් චිත්තය පිළිබඳ අදහස තේරුම් ගත හැකි වේ. චිත්ත, චෛතසික, රූප සහ නිවන යනු මේ ආකාරයේ කුඩා අංශු වලට වඩා බොහෝ කුඩා වන කොටසක් ලෙස අපට ගත හැකි ය. නමුත් එම ‘කුඩා බව’කෙතරම් සංකීර්ණ ද යත් එය අපගේ ඇසට හෝ වෙනත් උපකරණයකට හෝ කෙදිනකවත් දැක ගත හැකි ආකාරයේ කුඩා බවක් නොවේ. එම ලිපියේ එලෙසින් ම සඳහන් නොවුනද මේ කුඩා බව දැක ගත හැකි වන්නේ ‘විකල්ප ක්‍රමවේදයකට’ අපගේ මනස පුහුණු කිරීම අනුව කියා උපකල්පනය කිරීම අසාධාරණ නොවේ. කෙසේ වුවත් මේ ‘කුඩා කොටස්’ අතරින් නලින් ද සිල්වා ගේ මනස පිළිබඳ ප්‍රවාදය සඳහා වඩාත් තීරණාත්මක වන්නේ ‘චිත්තය’ යන්නයි.

චිත්තය යනු මනසින් වටහා ගත හැකි කුඩා ම ඒකකය යි. මේ ආකාරයේ එක චිත්තයක් යනු අකණ්ඩව – එක් නිමේශයක් තුළ හෝ – පවත්නා දෙයක් නොව වෙනස් වෙමින් තිබෙන්නක් වන බව කතුවරයා අපට යෝජනා කරයි. දැන්, නැවතත් මෙතන දී ප්‍රශ්නයක් මතු වීම වැළක්විය හැකි නොවේ. මේ ආකාරයට මෙය අකණ්ඩ ව නොපවත්නා බව අප තේරුම් ගන්නේ කෙසේද? අපගේ මනසට හසු වන්නේ මෙය එක මොහොතකට හෝ පවත්නා දෙයක් ලෙස නම්, එයට වඩා වෙනත් ආකාරයකට මෙය වටහා ගැනීමට ඉඩ ලැබෙන්නේ නැති නම්, මෙ වැනි නිගමනයක් වෙත නලින් ද සිල්වා පැමිණෙන්නේ ඇයි? මනසට තේරුම් ගත හැකි උපරිම සීමාව වන්නේ චිත්තය නම්, එම චිත්තය සැබැවින්ම තිබෙනා ආකාරය එය නොවන වෙනත් ආකාරයක් කියා අප දැන ගත යුත්තේ කෙසේද?

මේ යෝජනාව – එනම් චිත්තය සැබැවින් ම නොපැවතුනත් එය අපේ මනසට ගත හැකි ‘කුඩා ම ධර්මයයි’ යන්න – නිසා ඇති වෙන මෙම මූලික ප්‍රශ්නය අපට ඉන් පසුව තබනා පියවරත් සමඟ තවදුරටත් තීව්‍ර වේ. එහි දී “මගේ ලෝකය” කතුවරයා අපට කියා සිටින්නේ චිත්තය මගින් කිසියම් ආකාරයක තොරතුරු ප්‍රමාණයක් රඳවාගෙන තබනා බවත් එම චිත්තයට පෙර ඇති වූ චිත්තයේ තොරතුරු ද එයට ඇතුලත් වන බවත් ය. අනෙක් අතට, එම චිත්තයට පසුව ඇති වන චිත්තය වෙත ද මෙම තොරතුරු – වෙනස්කමක් ඇතිව හෝ නැතිව හෝ – සම්ප්‍රේෂණය කෙරෙනා බව නලින් ද සිල්වා යෝජනා කරයි. මනස පිළිබඳ අපට තරමක් පූර්ණ අදහසක් ලැබෙන්නේ මෙම දෙවැනි පියවර තැබීමත් සමඟ වේ.

මනස යනුවෙන් අප අදහස් කරන්නේ මෙම චිත්තයන් ගේ එකතුවටයි – එසේත් නැති නම්, එවැනි චිත්ත එකතුවක් ඇති බව වැරදියට තේරුම් ගැනීමේ ප්‍රතිඵලයටයි. නමුත් මනසින් ගත හැකි ‘කුඩා ම ධර්මය’ වන්නේ ‘චිත්තය’ කියා අප කියන්නේ නම් එම චිත්තයේ ඇති ‘තොරතුරු’ යනුවෙන් අප නම් කරනා දෙය අප තේරුම් ගත යුත්තේ කෙසේද? එම ‘තොරතුරු’, චිත්තයට වඩා කුඩා වීම අනිවාර්ය වේ. එක චිත්තයක් තුළ විවිධ තොරතුරු රඳවා තබා ගත හැකි වීම සහ තව තොරතුරු අලුතින් එකතු වීම හෝ තිබෙන තොරතුරු ඉවත්ව යාම හෝ හැකි වන්නේ මෙම නිසා ය. නමුත්, අවාසනාවකට, නැවතත්, මේ මගින් සිදු වන්නේ තතු වඩා හොඳින් පැහැදිළි වීමට වඩා, තවදුරටත් ව්‍යාකූල වීම පමණි. චිත්තයේ ඇති ‘තොරතුරු’ යනු මොනවාද? එවැනි තොරතුරක් සඳහා නිදර්ශනයක් ලබා දිය හැකිද? චිත්තය යනු අපට මනසින් ගත හැකි කුඩා ම ධර්මතාවය වන්නේ නම් එහි අභ්‍යන්තරයේ අඩංගු වන ‘උප-චිත්තමය අංශු’ පිළිබඳ අපට අදහසක් ඇති වන්නේ කෙසේද? නැවතත් මේ ආකාරයේ ප්‍රශ්න රාශියක් ඇති වීම වළක්වා ගත හැකි නොවේ.

අවසන් අරුතින් ගත්විට මේ සෑම තැනක දී ම මතු වන්නේ අප විසින් එල්ල කරන ලද මූලික විවේචනයේ විවිධ ප්‍රකාෂමානවීම් පමණි. මනසින් පරිබාහිරත්වයක් පිළිබඳ සිතීම විසංවාදයක් වන්නේ නම් චිත්තය ‘සැබැවින්ම’ නොපවත්නා බව නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය නිගමනය කරන්නේ කෙසේද? මනසට ගත හැකි කුඩා ම ධර්මය චිත්තය වන්නේ නම් චිත්තයේ අභ්‍යන්තර සැකැස්ම පිළිබඳ අදහස් පළ කිරීම සඳහා මනසින් පරිබාහිරත්වයක් වෙත යා යුතු නොවේද?

අපට කිව හැකි වන්නේ මනසක් නොමැතිව චිත්තය යනුවෙන් අප අත්දකිනා දෙය පවත්නේ ද, නොපවත්නේ ද, රැඩිකල් ලෙස වෙනත් ආකාරයකට පවත්නේ ද ආදී ප්‍රශ්න අරුත්සුන් ප්‍රශ්න පමණක් වන බවයි. මෙවැනි චිත්ත අපට දැකිය හැකි වන්නේ මනසින් පමණක් වන නිසා ම එම මනස නොමැති ව චිත්ත පැවතිය හැක්කේ කෙසේද කියා අපට සිතා ගත නොහැකි ය. අනෙක් අතට, මෙම චිත්ත එකතුවකින් තොරව අපේ ‘මනස’ යනුවෙන් ස්වායත්ත යමක් පවතින්නේද නොමැති වේ. අපට මනස ලෙස හඳුනා ගත හැක්කේ මේ චිත්ත එකතුව හරහා යම්කිසි ආකාරයකට ගලා යන ‘තොරතුරු’ වල ඒකමිතිය පමණි. වෙනත් ආකාරයකට කියන්නේ නම්, ‘මනස’ යනුවෙන් අපට සාරාභූත පැවැත්මක් හඳුනා ගත නොහැකි ය. අපට කිව හැක්කේ ‘මනස’ යනු කිසියම් ආකාරයක සිතීමේ හැකියාවක් වන අතර එම හැකියාව අපට අත්දැකිය හැකි වන්නේද සිතීමේ නිමේෂයන් ලෙස මිස, ශුද්ධ වූ හැකියාවක් ලෙස නොවේ. මගේ මනස යනු, සෑම විට ම, කිසියම් ‘දෙයක්’ සිතීමේ හැකියාව යි. ‘මම’ යනුවෙන් සාරභූත පැවැත්මක් නොමැති බව අප පැවසූයේ මෙලෙස ‘යමක්’ ගැන සිතන්නේ නැති විට ‘සිතීම’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියා අපට තේරුම් ගැනීම සඳහා කිසිදු හැකියාවක් නොමැති වීම නිසා ය. සිතීමක් යනු කුමක් හෝ පිළිබඳව සිතීමයි. එ නිසා ම, මනසක් යනු මනසින් ග්‍රහණය කර ගන්නා ‘යමක්’ සමඟ එකට ගැට ගැසී ඇති දෙයක් වේ කියන අදහස පිළිගැනීමට අපට අපහසු නොවේ. එම අර්ථයෙන් චිත්තයෙන් තොරව මනසක් හෝ මනසින් තොරව චිත්තයක් හෝ පැවතිය නොහැකි වේ කියා නලින් ද සිල්වා ගෙන එන අදහස සමඟ එකඟ වීමට කිසිදු අපහසුවක් නොමැති වනවා පමණක් නොව මෙහි දී ඔහු පෙන්වා දෙන ‘චක්‍රීයතාවය’ යනු, අවම වශයෙන්, ඉමැනුවෙල් කාන්ට් ගේ සිට දර්ශනයේ නියතියක් ලෙසද හඳුනා ගත හැක. ආකෘතියක් වශයෙන් ගත්විට මෙම මූලික තර්කය අපට මෙලෙස සාරාංශ කළ හැකි වේ: කුමන හෝ ආකාරයක, අවබෝධ කරගැනීමේ හැකියාවක් සහ එම හැකියාව විසින් අවබෝධ කරගනු ලබන දෙයක සහසම්බන්ධය යනු අපගේ සිතීමේ පසු කළ නොහැකි සිතිජය යි. එම ‘දෙය’ නොමැති වූ විට අපගේ අවබෝධ කරගැනීමේ හැකියාව කියන්නේ කුමක්ද කියා දැන ගැනීමට නොහැකි වන අතර එම ‘හැකියාව’ නොමැති ව එවැනි ‘දෙයක්’ පවතින්නේ කෙසේද යන්න අරුත්සහගත ප්‍රශ්නයක් වන්නේ නැත.

චිත්ත පරම්පරාවක් කියා දෙයක් තිබෙන්නේ එය එලෙස හඳුනා ගැනෙනා මනසක් තිබෙන්නේ නම් පමණක් වන අතර එවැනි මනසක් තිබෙන්නේ චිත්ත පරම්පරාවක් තිබෙන්නේනම් පමණි. අවශ්‍ය නම්, අපට මෙය ප්‍රාරම්භක සංස්ලේෂණයක් (originary synthesis) ලෙස දැක්විය හැකි ය. එකක් නොමැති ව අනෙක සඳහා අර්ථයක් දිය නොහැකි වේ.

දැන් මෙවැනි සංස්ලේෂණයක් සඳහා අපට දිය හැකි හොඳ ම ආකෘතිය වන්නේ මෙය ද කියා කිසිවෙකුට ප්‍රශ්නයක් පැන නැගිය හැකි ය. චිත්ත යනුවෙන් අදහස් කරන්නේ නිශ්චිත වශයෙන් කුමක්ද කියා අපට පැහැදිළි නොවේ. එය මනසට ගත හැකි ‘කුඩාම’ සංස්කරණය ලෙස නම් කර තිබෙනා හෙයින් මෙය සාමාන්‍යයෙන් අපට දෙන ලද ලෝකය තුළ අත්දැකිය හැකි ප්‍රපංචමය දෘශ්‍යමානයක් නොවනා බව කිව හැකි ය. තවත් සරල ලෙස, කිසියම් තොරතුරු ප්‍රමාණයක් දරාගෙන සිටිනා සහ සිතා ගත නොහැකි වේගයකින් වෙනස් වන කුඩා අණුවක් ඇසුරින් මගේ මනස ක්‍රියාත්මක වන බව අපට පරිකල්පනය කර ගැනීම එතරම් පහසු නොවේ. මේ ආකාරයේ ‘චිත්ත’ දැකීම සඳහා වෙනත් ආකාරයේ භාවිතයන් – භාවනාව වැනි – අවශ්‍ය වන බවත් එ නිසා මේවා නිශ්චිත ලෙස දාර්ශනික සංකල්ප නොවනා බවත් කෙනෙකු පැවසිය හැකි වේ.

එමෙන් ම අපගේ පැවැත්මේ ඇති මේ අනිවාර්ය චක්‍රීයතාවය සඳහා මෙයට වඩා සංකීර්ණ ආකෘති යෝජනා වී ඇති බවත් කෙනෙකු පැවසිය හැකි ය. නිදර්ශනයක් ලෙස පැවැත්ම යනු අප ඉදිරියේ, මේ මොහොතේ, අපෙන් ස්වායත්තව පවත්නා වස්තුවක් ලෙස සලකා බැලීමේ දර්ශන සම්ප්‍රදායට එරෙහි ව හෛඩගර් ගෙන ආ විවේචනය අපට සලකා බැලිය හැකිය. අපට කිසිදා ‘වස්තුවක්’ සහ ඒ දෙස බලා සිටිනා ‘නිරීක්ෂකයෙක්’ දක්වා අපගේ පැවැත්ම ඌණනය කළ හැකි නොවේ. මෙවැනි ආකාරයේ වස්තුවක් දෘශ්‍යමාන වීම සහ නිරීක්ෂකයෙක් ලෙස ඒ දෙස බලා සිටීම විය හැකි වන්නේ අප ඒ වන විටත් ‘ලෝකයක්’ තුළ පවතින්නේ නම් පමණි. ලෝක-විරහිත වස්තුවක් හෝ ලෝක-විරහිත ආත්මයක් හෝ අපට කිසිදා හමු වන්නේ නැත. අපගේ පැවැත්මේ මූලික චක්‍රීයතාවය ලෙස මෙම ‘ලෝකය-තුළ-පැවැත්ම’ ගත යුතු යැයි හෛඩගර් යෝජනා කරන්නේ මෙම නිසා ය.

නමුත්, මාගේ අදහසේ හැටියට, මෙම තලයෙන් ප්‍රශ්නයට ප්‍රවේශ වීමෙන් අපට නලින් ද සිල්වා ගේ තර්කයේ ඇති මූලධාර්මික ගැටලුව මග හැරී යයි. හරය වශයෙන් ගත්විට මේ තර්කය යෝජනා කරනා ආකෘතිය නූතන දර්ශනය තුළ පිළිගත හැකි වනවා පමණක් නොව එය එක්තරා ආකාරයකින් අපට දාර්ශනික නූතනත්වයේ කේන්ද්‍රීය අදහස ලෙස ද හඳුනා ගත හැකි වේ. ඒ තමයි, සෑම විටම ඒ වනවිටත්, සිතීමක් හා නොබැඳුනු පැවැත්මක් අපට හඳුනා ගත නොහැකි වන අතර ම පැවැත්මක් හා නොබැඳුනු සිතීමක් අපට හඳුනා ගැනීමට ද නොහැකි වේ යන්න. තවත් සරල ආකාරයකට කියන්නේනම් ‘පැවැත්ම’ ලෙස අපට නම් කළ හැක්කේ අපගේ සිතීමේ ක්‍රියාවලිය තුළින් හඳුනා ගන්නා දෙයක් වන අතර, අපගේ ‘සිතීම’ අපට නම් කළ හැක්කේ කුමන හෝ ‘පැවැත්මක්’ පිළිබඳ සිතීමක් ලෙස පමණි. එම අර්ථයෙන් ගත්විට හෛඩගර් ගේ ලෝකය-තුළ-පැවැත්ම පිළිබඳ අදහස අපට මෙම පොදු ප්‍රවාහයේ නිදර්ශනයක් ලෙස හඳුනාගත හැකි වනවා පමණක් නොව එය එහි ඉතා ම දියුණුම ප්‍රකාශණයක් ලෙස හඳුනා ගත හැකි වේ. අප කළ යුත්තේ මේ ආකාරයේ ‘මනසක්’ (හෛඩගර් යොදා ගත් වචනය වන්නේ ‘මගේබවක්’ [‘a mineness’]) නොමැති වන්නේ නම් ‘ලෝකය’ යනුවෙන් මෙහි දී අප නම් කරන දේ නොපවතින බව ප්‍රකාශ කිරීමයි.

එනිසා මෙම තලයේ ඇති ප්‍රශ්නයට අප ලබා දිය යුතු පිළිතුර වන්නේ ‘මනස සහ චිත්ත’ වෙනුවට ‘ලෝකය-තුළ-පැවැත්ම’ යෝජනා කිරීම නොවේ. එවැනි පිළිතුරක් මගින් අපගේ පැවැත්ම සම්බන්ධයෙන් අපට ලබා දිය හැකි වඩාත් ප්‍රාථමික පැහැදිළි කිරීම කුමක්ද කියා විමසා බැලිය හැකි වුවත්, එමගින් අපට නලින් ද සිල්වා අතින් සිදු වන ප්‍රධාන දාර්ශනික වැරැද්ද කුමක්ද කියා අවබෝධ වන්නේ නැත. මේ සඳහා අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ නලින් ද සිල්වා ගේ දර්ශනයේ සහ හෛඩගර් ගේ දර්ශනයේ ඇති ව්‍යූහාත්මක සමානකම කුමක්ද – ‘චිත්ත සහ මනසේ සහසම්බන්ධය’ සහ ‘ලෝකය-තුළ-පැවැත්ම’ – කියා නොව එම දර්ශනවාදයන් දෙකේ ඇති තීරණාත්මක වෙනස්කම කුමක්ද යන්නයි. මෙම ප්‍රශ්නය සඳහා ලබා දිය හැකි – සමහරවිට, බොහෝ දෙනෙක් පුදුමයට පත්කරනා – පිළිතුර වන්නේ හෛඩගර් ගේ දර්ශනය තරම් ප්‍රමාණාත්මක ලෙස නලින් ද සිල්වා ගේ දර්ශනය චක්‍රීය නොවීමයි. හෛඩගර් ගේ දර්ශනය තුළ මෙන් නොව නලින් ද සිල්වා ගේ දර්ශනය තුළ ‘නිර්මාණවාදයක්’ මෙන් ම ‘පොරොන්දු දේශයක්’ පිළිබඳ අදහසක් ගැබ් වෙයි. සැකයකින් තොරව ම, අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වන මෙය සාධාරණීකරණය කළ හැකි වන්නේ කෙසේද?

අපි, පළමුවෙන්, මෙම රචනයේ අවසානයේ එන, ඉහළ ඝණත්වයක් යටතට ගොණු කර ඇති, තීරණාත්මක සමාලෝචනය උපුටා ගනිමු.

“මනස යනු ඇතිවන නැතිවන චිත්ත පරම්පරාවේ තොරතුරු, සන්තතියක් ලෙස වැරදියට තේරුම් ගැනීමෙන් නිර්මාණය වන්නකි. එසේ තේරුම් ගන්නේ ද මනසමය. මනස නිර්මාණය වන්නේ ද එසේ තේරුම් ගැනීමෙනි. මේ චක්‍රීයතාවයෙන් ගැළවීමක් නැත. එපමණක් නොවේ. මනස ආකෘතිය නිර්මාණය කෙරෙන්නේ චිත්ත ඇසුරෙනි. චිත්ත යනු මනසේ නිර්මාණ වෙයි. එහි ද චක්‍රීය භාවයක් වෙයි. මේ සියල්ල අනිත්‍ය අනාත්ම අනවබෝධයෙන් සිදු වන දෑ ය. මෙයට වඩා දුකක් වේ ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයේ දී පිරිනිවන් පානා තෙක් චිත්ත පරම්පරාව ඇති වෙමින් නැති වෙමින් පැවතුණ ද, පිරිනිවන් පෑමෙන් පසුව අළුත් චිත්තයක් ඇති නොවෙයි.”

දැන්, අප ඇසිය යුතු පළමු, සහ සරල ම, ප්‍රශ්නය සම්බන්ධ වන්නේ ඉහත උපුටනයේ ආරම්භක වැකියේ ඇති නිගමනය වෙත යි. අපගේ – ‘සිංහල බෞද්ධ’ – මනස යන්න පවතින්නේ ‘චිත්ත පරම්පරාවක්’ හා බැඳුනු ‘මානසික තේරුම් ගැනීමේ හැකියාවක්’ ලෙස වන්නේ නම්, එම තේරුම් ගැනීමේ හැකියාව ආරම්භ වූ මොහොත අප පැහැදිළි කර ගන්නේ කෙසේද? ‘චිත්තයක්’ පැවතිය හැක්කේ මනසට සාපේක්ෂ ව පමණක් නම් සහ, අනෙක් අතට, ‘මනසක්’ පැවතිය හැක්කේ ‘චිත්තයක්’ තිබෙන්නේ නම් පමණක් නම්, මෙම සමාරම්භක චක්‍රීයභාවය ඉක්මවාලූ ‘නිර්මාණය වීමේ මොහොතක්’ තිබිය හැක්කේ කෙසේද කියා දාර්ශනිකව පැහැදිළි කළ නොහැක.

මෙම ආකෘතියේ තිබෙනා චක්‍රීයභාවය – නැවතත් අවධාරණය කරන්නේනම් – අපට තේරුම් ගැනීමට අපහසු නොවේ. ‘චිත්තයක්’ නොමැතිව ‘මනසක්’ හෝ ‘මනසක්’ නොමැතිව ‘චිත්තයක්’ හෝ පිළිබඳ අපට සිතා ගත නොහැකි වන්නේ ඇයි ද කියා දාර්ශනික ව පැහැදිළි කිරීම කළ හැකි දෙයකි. නමුත්, එහිම ප්‍රතිඵලයක් ලෙස, මෙම සහසම්බන්ධය නොමැති වන ‘නිර්මාණයේ මොහොතක්’ පිළිබඳ සිතීමට අපට එමගින් ඉඩ ලබා දෙන්නේ නැත.

අපට කෙදිනකවත් ‘චිත්ත’ වෙනමත්, ‘මනස’ වෙනමත් ගෙන පරීක්ෂා කර බැලිය නොහැකි බව පැහැදිළි වේ. එක අතකින්, එවැනි හැකියාවක් පිළිගන්නවා යන්න මගින් ‘චිත්ත’ වලට මෙන් ම ‘මනසටත්’ අප සාරභූත පැවැත්මක් ඇති බව පිළිගත යුතුය. එසේ නොමැති නම් ‘චිත්ත යනු මනසේ නිර්මාණ වේ’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ‘චිත්ත’ පරම්පරාවක් නොමැති ව ‘මනස’ යන්න පැවතිය නොහැකි නම් ‘මනස’ විසින් ‘චිත්ත’ නිර්මාණය කරනු ලබනවා යන්නෙහි අර්ථය වන්නේ කුමක්ද? නිර්මාණය වෙන දෙයට පෙර නිර්මාණය කරන දෙය පැවතිය යුත්තේ කෙසේද? මෙම ප්‍රශ්නය ඉතා ම තීරණාත්මක වන්නේ මෙම රචනය ආරම්භයේ දී කතුවරයා සඳහන් කරනා පරිදි ඔහු උත්සාහ කරන්නේ ‘සතුටුදායක’ පිළිතුරු පමණක් නොව ‘ප්‍රමාණාත්මක’ පිළිතුරු ද ලබා දීමට වන නිසා ය. ‘මනස’ විසින් ‘චිත්ත’නිර්මාණය කරනු ලබන්නෙහිය යන පිළිතුර, බුදු දහමේ නිරවද්‍යතාවය – අවම වශයෙන්, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය විසින් අනුදත් බුදු දහමේ නිරවද්‍යතාවය – පිළිබඳව පූර්ව එකඟතාවයක් තුළ ඉන්නා පිරිසක් හට ‘සතුටුදායක’ විය හැකි වුවත්, එය මොනයම් හෝ ආකාරයකට ‘ප්‍රමාණාත්මක’ වන දාර්ශනික පිළිතුරක් නොවේ. මෙයින් අදහස් කරන්නේ පළමුවෙන් ඇති වූයේ මනස බවත් සහ දෙවනුව චිත්ත පරම්පරාවන් ඇති වීම ආරම්භ වූ බවත් විය නොහැකි ය. එම නිගමනය මගින් අප නැවතත් ගමන් කරන්නේ මනසේ සාරාභූත – ආත්මවාදී – පැවැත්මක් වෙතටයි. එසේ නම් මනස විසින් ‘චිත්ත’ නිර්මාණය කරනවා යන්නෙහි නිශ්චිත අර්ථය කුමක්ද?

‘චිත්ත පරම්පරාවේ තොරතුරු, සන්තතියක් ලෙස වැරදියට තේරුම්’ ගන්නවා යන්නෙහි අදහස ද අපට ඇති කරන්නේ මේ ආකාරයේ ම ප්‍රශ්නාවලියකි. එය නිවැරදි ලෙස තේරුම් ගැනීමට හැකියාව ලැබෙන්නේ කුමක් සඳහාද? මනස නිර්මාණය වන්නේ මේ තේරුම් ගැනීම හරහා යනුවෙන් පවසනා විට එමගින් අදහස් වන්නේ එම තේරුම් ගැනීමේ සමාරම්භක නිමේෂය තුළ මනස පූර්ණ වශයෙන් නිර්මාණය වී නොමැති බව සහ එකිනෙකින් වෙන් ව තිබෙනා චිත්ත දහරාවන් පමණක් තිබෙනා බවද? එම නිගමනය මගින් අප පැමිණිය යුත්තේ ‘චිත්ත’ සඳහා කුමන හෝ ආකාරයක සාරභූත පැවැත්මක් තිබේ යන්න වෙතයි. අවම වශයෙන්, ඒවා මනසින් ස්වායත්ත ව පැවතිය යුතුය.

නමුත්, නැවතත්, මෙම නිගමනය වෙත යාමෙන් සමස්ත පද්ධතිය කඩා වැටෙනා බව පැහැදිළි වේ. අපට නිශ්චිත වශයෙන් කිව හැකි වන්නේ, ඕනෑ ම දෙන ලද මොහොතක දී, සෑම විට ම ඒ වන විටත්, ‘චිත්ත’ හා බැඳුනු ‘මනසක්’ සහ ‘මනස’ හා බැඳුනු ‘චිත්ත’ පවත්නා බව පමණි. මේ සහසම්බන්ධය නොමැති අවස්ථාවක් අපට සිතා ගැනීම කෙදිනකවත් කළ හැකි නොවේ. අප විසින් ගොඩ නගා ඇති දාර්ශනික තර්කය විසින් ම අපට ‘මනස’ මෙන් ම ‘චිත්ත’ ද නිර්මාණය වීමක් පිළිබඳ කතා කිරීමට අවසර ලබා දෙන්නේ නැත.

“සිංහල බෞද්ධ මනස” රචනයේ දැක්වෙන මෙම ප්‍රවාදය පදනම් කරගෙන අපගේ පෙර රචනයට ප්‍රතිචාර දක්වා ඇති තමලු මලිත්ත පියදිගම ගේ ප්‍රතිචාරය අසාර්ථක වන නිශ්චිත ලක්ෂ්‍යය වන්නේ මෙයයි. තමලු එහි දී නිවැරදි කරුණක් හඳුනා ගනියි. ඒ තමයි මේ ආකාරයේ නිර්මාණවාදයක අවශ්‍යතාවය පැන නගින්නේ මනස නැති කිරීම පිළිබඳ සහ ‘නිවන් දැකීම’ පිළිබඳ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ එන උපකල්පනය නිසා ය. මනස ‘ඇති වන’ ආකාරය පෙන්විය යුත්තේ ‘මනස නැති විය හැකි’ ආකාරය පෙන්වා දීම වෙනුවෙනි. නමුත් මෙහි ගැටලුව වන්නේ, අප දුටු පරිදි, මනසේ ‘නැති වීම’ මෙන් ම ‘ඇති වීම ද’ අපට පරිකල්පනය කරගත හැකි වන්නේ මනස තිබෙන්නේ නම් පමණක් වීම යි. අප අපගේ මනසේ අතීතය ඔස්සේ කොපමණ දුරක් ගමන් කරන්නේ වුවත් එහි ආරම්භයක් ලෙස අපට හමුවනු ඇත්තේ සිතීමේ නිමේශයක් පමණි. නමුත් සිතීමේ නිමේශයක් වන්නේ, සෑම විට ම ඒ වන විටත්, චිත්තයක් හා බැඳුනු මනසක් පමණි. මන්ද, අප දැන් ඉතාමත් හොඳින් දන්නා පරිදි, චිත්තයක් නොමැති ව මනසක් තිබිය නොහැකි වන අතර මනසක් නොමැති ව චිත්ත පැවතිය හැකි නොවේ. අපට කිව හැකි දෙය වන්නේ මෙම ක්‍රියාවලියේ ආරම්භය සම්බන්ධයෙන් ඇති අපගේ රැඩිකල් නොදැනුම පමණි. එය අප නොදන්නා බාහිර බලයක් විසින් ඇති කරන ලද දෙයක්ද, ආරම්භයක් නොමැති ව සදාකාලික ව පවත්නා දෙයක්ද ?– මේ සම්බන්ධයෙන් අපට නිශ්චිත අවබෝධයක් නොමැති වේ. ‘චිත්තය’ නිර්මාණය වන්නේ ‘මනස’ විසින් වන අතර ‘මනස’ නිර්මාණය වන්නේ ‘චිත්තය’ විසින් යන්නෙහි අදහස වන්නේ අප කොතරම් අතීතයක් වෙත ගියත්, සෑම විට ම ඒ වන විටත්, ‘චිත්තය’ හා බැඳුනු ‘මනසක්’ පවත්නා බව යි. අපගේ පැවැත්මේ පදනම සම්බන්ධයෙන් ඇත්තේ රැඩිකල් නොදැනුමකි. අඩුවකි. හිස්තැනකි.

මනසක් නොමැතිව ‘චිත්ත සමූහය ලෙස එය දැකීම’ යන ප්‍රකාශය අරුත්සුන් වන්නේ මෙම නිසා ය. එවැනි දෙයක් මගින් අපට නිගමනය කිරීමට සිදු වන්නේ ‘මනස’ නොමැති ව ‘චිත්ත සමූහය’ පවත්නා බවයි. නමුත් ඒ මගින් අප නොදැනුවත්ව සිදු කරන්නේ ‘චිත්ත’ වෙත නිර්මානසික පැවැත්මක් ආරෝපණය කිරීමයි. එවැන්නක් සිදු කිරීම සඳහා නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ පළමු, අයෝමය මූලධර්මය අපට ඉඩ දෙන්නේ නැති බව අපි ඉතා හොඳින් දනිමු. අපට කිව හැක්කේ මේ සෑම චිත්තයක් ම අනිවාර්යයෙන් මනසක් යනුවෙන් අප අත්විඳිනා සිතීමේ හැකියාව සමඟ වෙන් කළ නොහැකි ලෙස එකට ගැට ගැසී ඇති බවයි. මෙම ‘චිත්ත පරම්පරාවල්’ වල එකතුව ලෙස මිස වෙනත් කිසිදු ආකාරයක පැවැත්මක් අපට මෙම මනස වෙත ලබා දිය නොහැකි වේ. ‘මනස’ යනුවෙන් මේ ‘චිත්ත පරම්පරාවල්’ වලින් විනිර්මුක්ත වූ සාරයක් නොමැත. අවම වශයෙන් එවැන්නක පැවැත්ම පිළිබඳ කිසිඳු ආකාරයක අවබෝධයක් අපට නොමැති වේ. ‘මනස’ යනුවෙන් හඳුනා ගත හැක්කේ මේ ඇති වී නැති වී යනවා කියා අපට හසුවන චිත්ත පරම්පරාවල් වල ඒකමිතියයි – එම චිත්ත පරම්පරාවල් යනු එකම, අකණ්ඩ පැවැත්මක විවිධ කොටස් වේ යන ‘හැඟීම’, ‘අවබෝධය’, ‘විශ්වාසය’ ඇති කරනා හිස් ආකෘතියයි, එසේත් නැති නම්, හිස් අච්චුවයි. එම ආකාරයෙන් අපගේ ‘මනස’ තේරුම් ගැනීම කිසි සේත් පරස්පරයක් නොවනවා පමණක් නොව, එක්තරා අර්ථයකින් ගත්විට, අපගේ ‘මනස’ තේරුම් ගත හැකි ගැඹුරු ම ආකාරය වන්නේ ද මෙය යි.

නමුත්, ගැටලුව වන්නේ, මෙම තේරුම් ගැනීම සිදු කිරීමට ද – එනම්, අපගේ අත්දැකීම්වල සහ මතකයන්ගේ ඒකමිතියක් යන්නෙන් පරිබාහිරව ‘මම’ යනුවෙන් නම් කළ හැකි පුද්ගල සාරයක් නොමැති බව තේරුම් ගැනීම සිදු කිරීමට ද – මනසේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වීමයි. තවත් සරල ලෙස – මනස යනු හිස් ආකෘතියක් යන්න වටහා ගැනීම සඳහා, හිස් ආකෘතියක් ලෙස පවත්නා මනසක් ලෙස පැවතීම අනිවාර්ය වේ. අපට පසු කළ යා නොහැකි චක්‍රීයබව වන්නේ මෙය යි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපට මෙම චක්‍රීයත්වයෙන් මිදී මනසේ ‘සැබෑ ස්වරූපය’ දැකීම – එනම්, ‘නැති මනස, නැති මනසක් ලෙස නැති මනසින් දැකීම’ – යන්න කිසිදා කළ නොහැකි දෙයක් බවට පත්වීම වැළක්විය හැකි නොවේ.

පොකුණක ජල තරංගයක් එහි කේන්ද්‍රයේ සිට පොකුණේ ඉම දක්වා ගමන් කිරීම ඇසුරින් මනසේ පැවැත්ම පැහැදිළි කර දීම සඳහා අනුජ මංචනායක ලබා දී තිබෙනා උපමා කතාවේ සීමාව ද අපට මේ ඇසුරින් තේරුම් ගත හැකි වේ. ජල තරංගයක් දෙස බාහිර සිට නිරීක්ෂණය කරනා විට අපට හැඟී යන්නේ ක්‍රමයෙන් විශාල වී යන තරංගයක් ඇති බව වුවත්, සත්‍ය වශයෙන්ම ගත්විට, පොකුණේ කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා ගමන් කරනා ජල අංශුවක් මෙහි නොමැති වේ. ඒ වෙනුවට සිදු වන්නේ එක්තරා රටාවකට ජල අංශු ඉහළ පහළ යාම පමණි. අනුජ යෝජනා කරන පරිදි අපට මෙය මනසේ ක්‍රියාකාරිත්වය වටහා ගත හැකි සෞන්දර්යාත්මක උපමාකතාවක් ලෙස ගත හැකි ය. ඕනෑ ම දෙන ලද මොහොතක, නතර වී සිට ආපසු හැරී බැලූ විට ‘මම’ – ‘මනස’ – යනුවෙන් හඳුනා ගත හැකි දෙයක් නොපවතින බව පැහැදිළි වේ. ඒ වෙනුවට තිබෙන්නේ අකණ්ඩව, එකකට පසු එකක් ලෙස පෙළ ගැසී ඇති චිත්ත පරම්පරාවකි. එයට ‘යටින් දිවෙන’ හෝ එය ට ‘පදනම් වන’ පුද්ගලත්වයක්, පුද්ගල සාරයක් කියා හඳුනා ගත හැකි පැවැත්මක් නොමැති වේ. නමුත් ගැටලුව වන්නේ මෙම අවබෝධය ලැබීම විය හැකි එක ම කොන්දේසිය වන්නේ ද අපට අවබෝධ කරගැනීමේ හැකියාවක් ලෙස පැවතිය හැකි වීමයි – වෙනත් ආකාරයකට කියන්නේ නම්, මනසක් ලෙස පැවතීමයි. එනිසා සත්‍ය වශයෙන්ම අකණ්ඩව ගමන් කරනා පුද්ගල සාරයක් නොමැති බවත්, එය පරිකල්පිත පැවැත්මක් පමණක් වන බවත් අපට වටහා ගත හැකි වන්නේ මානසික ලෝකය පවත්නා නිසා පමණි – මානසික ලෝකයේ නොපැවැත්ම සිතනවා යනු විසංවාදයකි.

නැවත නැවතත් අපට අසන්නට සිදු වන අතිමූලික ප්‍රශ්නය වන්නේ මෙයයි: ‘නැති මනසින් වටහා ගැනීම’ යනු අර්ථ විරහිත ප්‍රකාශයක් නොවන්නේ කෙසේද?

මෙමගින් අදහස් කරන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රීලක්ෂණය අවබෝධ කරගැනීම වේ කියා ප්‍රකාශ කිරීමෙන්ද අපට මෙම ප්‍රශ්නය සඳහා විසඳුමක් ලැබෙන්නේ නැත. තරමක් විස්මයජනක ලෙස බොහෝ දෙනෙකු හට මග හැරී ගොස් ඇති නමුදු අප ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය වන්නේ මෙහි දී ඇසිය හැකි සරල ම ප්‍රශ්නයයි: අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු අපට සංකල්පීය ව තේරුම් ගත හැකි දෙයක් නොවේ නම්, අපට එවැනි ‘අවබෝධයක්’ වෙත යා හැකි බව “මගේ ලෝකය” කතුවරයා දැන ගත්තේ කෙසේද? නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ අතිමූලික මූලධර්මය අනුව අපගේ මානසික ලෝකයෙන් පරිබාහිරත්වයක් පිළිබඳ සිතීම පරස්පරයක් වෙයි. එසේ නම් අපගේ මානසික ලෝකය ඉක්මවාලූ මෙවන් අවබෝධයක් යන්නෙන් අදහස් විය හැක්කේ කුමක්ද?

මෙය තවදුරටත් පැහැදිළි කරගැනීම සඳහා, තරමක් මෑතක දී මෙම ත්‍රීලක්ෂණය පිළිබඳ නලින් ද සිල්වා විසින් දෙන ලද පැහැදිළි කිරීමක් අපි සලකා බලමු. එයට අනුව අප මෙම ත්‍රීලක්ෂණය තේරුම් ගත යුත්තේ ‘කිසිවක් නැති වෙනස් වන අයහපත් හිස් බවක්’ ලෙසයි (මුල් ලිපිය මෙතැනින්). නමුත් මෙහි දී මට අවධාරණය කිරීමට අවශ්‍ය වන්නේ මෙම නිර්වචනය තේරුම් ගත යුතු ආකාරය නොව එම නිර්වචනය වෙත “මගේ ලෝකය” කතුවරයා පැමිණි ආකාරය යි. ලිපියේ ආරම්භයේ දී නලින් ද සිල්වා අපට මතක් කර දෙන පරිදි ත්‍රීලක්ෂණය සංකල්පීය ව අවබෝධ කරගැනීම ප්‍රමාණවත් නොවේ. ඒ වෙනුවට අප උත්සාහ කළ යුත්තේ එය ‘සංකල්ප වලින් ඔබ්බෙහි අධ්‍යාත්මිකව’ අවබෝධකරගැනීමට වෙයි. දැන්, මෙතන දී ප්‍රශ්න කීපයක් ඇති වීම වැළක්විය හැකි නොවේ. පළමුවෙන් අප පැහැදිළි කරගත යුතු වන්නේ, මේ ‘සංකල්ප වලින් ඔබ්බෙහි අධ්‍යාත්මිකව අවබෝධ කරගැනීම’ යනුවෙන් අදහස් කරන්නේ අපේ මානසික ලෝකයට සාපේක්ෂව සිදු වන අවබෝධයක් ද, එසේත් නැතිනම්, එම මානසික ලෝකයට අයත් නොවන, එයින් පරිබාහිර වූ ‘අවබෝධයක්ද’ යන්නයි. ගැටලුව වන්නේ, “සිංහල බෞද්ධ මනස” රචනය තුළ අප ගොඩ නැගු මනසේ ‘ආකෘතිය’ බිහිව තිබෙන්නේ අනිත්‍ය, දුක්ඛ අනාත්ම අනවබෝධය නිසා යනුවෙන් ප්‍රකාශ වීමයි. එයට අනුව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධයත් සමඟ මෙම මානසික ව්‍යූහයේ පරිවර්තනයක් සිදු වෙයි. එය පැහැදිළි වන්නේ එවැනි අවබෝධයක් ලැබූවෙක් හට පිරිනිවන් පෑමෙන් පසු අලුත් චිත්තයක් ඇති නොවේ කියා නලින් ද සිල්වා ප්‍රකාශ කිරීමත් සමඟ යි. නමුත් මෙම ‘පරිවර්තනය’ නිශ්චිත වශයෙන් සිදු වන්නේ කෙසේද කියා අපට පැහැදිළි නොවේ. එහි දී සිදු වන්නේ ‘චිත්ත’ වල ඇති ‘කිසිවක් නැති වෙනස්වන අයහපත් හිස්බව’ අවබෝධ වීමද? නමුත් අප ඉහතින් තර්ක කළ ආකාරයට ‘මනස’ යනුවෙන් යමක් පැවතිය හැක්කේ චිත්ත පරම්පරාවල් සමස්තයක් ලෙස, වැරදියට, ගැනීම නිසා ය. එ නිසා මෙම ‘වරද නිවැරදි කරගන්නවා’ යන්නෙහි අර්ථය වන්නේ ‘මනසේ’ පැවැත්ම – පරිකල්පිත පැවැත්ම – බිඳ වැටීම යි. එවිට ඇති වන ගැටලුව වන්නේ – නැවතත් – මෙම නිවැරදි අවබෝධය ලැබිය හැකි ඒජන්තයා/පැවැත්ම වන්නේ කුමක්ද යන්න යි. එය ‘මනස’ විය නොහැක්කේ, මනස බිහි වීම සඳහා එම ‘වරද’ සිදු විය යුතු වන නිසාය.

අවශ්‍ය නම්, මෙම තලයේ දී, මෙය සංකල්පීය ව පැහැදිළි කළ නොහැකි බවත්, කළ යුතු වන්නේ මෙය ‘අධ්‍යාත්මිකව අවබෝධ කරගැනීමත්’ කියා කෙනෙකු ට පැවසිය හැකි ය. නමුත් මෙහි දී අප විසින් ඇසිය යුත්තේ ඉතා ම ‘රළු’, ‘ග්‍රාම්‍ය’ ප්‍රශ්නයයි: මෙය අවබෝධ කරගත් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදියෙක් සිටින්නෙහිද? අවම වශයෙන් සිය “ත්‍රීලක්ෂණයේ ලක්ෂණ” ලිපිය තුළ තමන්ට එවැනි අවබෝධයක් ඇති බව නලින් ද සිල්වා නොකියනවා පමණක් නොව ‘අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නිර්සංකල්පීය ව තේරෙන අයෙකු ඉන්නවාද’ කියා අභියෝගාත්මකව ප්‍රශ්න කර සිටියි. එමගින් පැහැදිළි වන්නේ, අවම වශයෙන්, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ ආදී කර්තෘවරයාට අනුව ත්‍රීලක්ෂණය නිර්සංකල්පීයව අවබෝධ කරගත් කෙනෙකු නොමැති බව වේ. ගැටලුව වන්නේ, සංකල්ප වලින් ඔබ්බට යාමට කියා දීමට සංකල්ප යොදා ගැනීමට සිදු වුවත්, එය ඔහු අතින් සිදු වන්නේ මේ ආකාරයට ‘සංකල්ප වලින් ඔබ්බට’ ඔහු හෝ වෙන කිසිවෙක් හෝ ගමන් කර නොමැති තත්වයක් තුළ වීමයි.

අපේ මානසික ලෝකය යනුවෙන් නම් කරන්නේ කුමක්ද කියා අපට අවබෝධයක් තිබේ. අප දැනටමත් සාකච්ඡා කර ඇති පරිදි මනස ඇති වන්නේ චිත්ත පරම්පරාවල් වල එකතුවක් ලෙස යි. අපට සිතා ගත හැකි සියලු දේ අයත් වන්නේ මෙම ව්‍යූහයට වේ. එයින් පරිබාහිරත්වයක් පිළිබඳ අපට සිතිය නොහැකි වන්නේ, සිතීම මෙම ව්‍යූහය තුළ පමණක් සිදු වන නිසාය. තතු එසේනම් මෙම ‘අධ්‍යාත්මික අවබෝධය’ සිදු වන්නේ මෙම ව්‍යූහය තුළ ද?, එයින් බාහිරවද? මෙවැනි දෙයක් කළ හැකි බව අප කියා සිටින්නේ – එය සංකල්පීය ව පැහැදිළි කරන්නේ – මෙම ව්‍යූහය තුළ සිට කියා අපි දනිමු. එම අර්ථයෙන් එම පැහැදිළි කිරීම එම ව්‍යූහයේ ඇති අනෙකුත් පැහැදිළි කිරීම් – ‘දැනුම්’ – හා සමාන වන්නකි. නමුත් මෙය වලංගු වන්නේ එම සංකල්පීය පැහැදිළි කිරීම ඉක්මවාලූ අවබෝධයක් ඒ සම්බන්ධයෙන් ලැබිය හැකි නිසා ය කියා අප උපකල්පනය කර තිබේ – එම උපකල්පනයද, නැවතත්, සිදු වන්නේ අපේ මනස තුළ යි. නමුත් එය කුමක්ද කියා නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන් නොදන්නවා පමණක් නොව එවැනි විකල්ප අවබෝධයක් ලැබූ – වර්තමානයේ ජීවත්වන – වෙනත් අය සිටියි ද කියා ඔවුන්ට තිබෙන්නේ සැකයකි. මෙවැනි තත්වයක් යටතේ දී, මෙම උපකල්පනය – අපි එය ‘නිර්වාණ උපන්‍යාසය’ කියා නම් කරමු – සඳහා තිබෙන එක ම පැහැදිළි කිරීම කියා අපට කිව හැක්කේ මනස නිර්මාණය වීමේ දී සිදු වූ ‘වැරැද්ද’ පිළිබඳ අදහසයි. නමුත්, මේ වන විට පැහැදිළි විය යුතු පරිදි, මේ නිර්මාණය පිළිබඳ අදහස ද, පිළිගැනීම සඳහා අපට ප්‍රමාණාත්මක පොළොවක් නොමැති වේ. මානසික ව්‍යූහයේ අත්‍යන්ත චක්‍රීයභාවය විසින් එවැනි ආරම්භයක් පිළිබඳ – නැවතත්, ප්‍රමාණාත්මක – පැහැදිළි කිරීමක් ලබා දීමට අපට ඉඩ නොදේ. තතු මෙසේ නම්, මෙම දෝෂය නිවැරදි කරගත හැකි, සංකල්පීය ලෝකයෙන් ඔබ්බෙහි තිබෙනවා කියා පොරොන්දු වෙන අවබෝධය – නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන් පවා ළඟා වී නොමැති මෙම අවබෝධය – යනුවෙන් හැකියාවක් පවත්නා බව පිළිගැනීමට අපට කිසිදු පදනමක් නොමැති වී යයි.

මේ අනුව මෙතැනදී ඇති තෝරාගැනීම කුමක්ද කියා අවබෝධ කර ගැනීම එතරම් අපහසු නොවේ. ‘නිවන’, ‘ත්‍රීලක්ෂණය’ ආදී දේ මගින් අදහස් කරන්නේ අපගේ දැනුමින්, මනසින්, සංකල්පීය වශයෙන් කිසිදා අවබෝධ කරගත නොහැකි ‘දෙයක්’ වන්නේ නම්, අපට කිව හැක්කේ එවැන්නක් වියහැකි වීම සම්බන්ධයෙන් පවා අපට තිබෙන්නේ රැඩිකල් නොදැනුමක් බව පමණි. කිසිදු අයුරකින් එය අපගේ මනස ‘නිර්මාණය වීමේ දී ඇති වූ දෝෂයක්’ – එසේත් නැති නම්, වඩාත් නිවැරදි ලෙස, මනස ‘නිර්මාණය වීම නම් වූ දෝෂය’ – නිවැරදි කරගැනීමක් ලෙස හඳුනාගත නොහැකි වේ. මෙයට හේතුව වන්නේ, අප දුටු පරිදි, මනසේ ‘ආරම්භය’ පිළිබඳ ව එවැනි නිශ්චිත අදහසක් ප්‍රකාශ කිරීමට නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය විසින් ම අපට ඉඩ ලබා දෙන්නේ නොමැති වීම නිසා ය. “සිංහල බෞද්ධ මනස” ප්‍රවාදයට අනුව අපට ‘චිත්ත’ නොමැති ව පවත්නා ‘මනසක්’ පිළිබඳ හෝ ‘මනසකින්’ ස්වායත්තව පවත්නා ‘චිත්ත’ පිළිබඳ ව හෝ සිතා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. එනිසා ම – එනම්, අපගේ පැවැත්මේ ඇති මෙම ගැලවිය නොහැකි චක්‍රීයභාවය නිසා ම – අපට එහි අවසානය යන්න ‘වැරද්දක් නිවැරදි කරගැනීමක්’ ලෙස සිතා බැලීමට අවස්ථාව හිමි වන්නේ නැත. මෙම පැවැත්ම වෙත අප පැමිණි ආකාරය නොදන්නා ලෙස ම එය අවසන් වන්නේ, නිශ්චිත ලෙස, සැකයකින් තොරවම, කුමන ආකාරයෙන්ද කියා අපට පැහැදිළි නොවෙයි. මෙයින් අදහස් වන්නේ එවැනි අවසානයක් එයට නොමැති වනවා යන්න නොවේ. ඒ ආකාරයේ නිගමනයක් වෙත පැමිණීමට – අපගේ මානසික ලෝකයේ පැවැත්ම සදාකාලික වන බව පැවසීමට – අපට නොහැකි වන්නේ ද අපගේ දැනුමේ ඇති පරිමිතබව නිසාම ය. අවම වශයෙන් සමාජයක් වශයෙන්ද, පුද්ගලික ජීවිතය තුළද අප අත්දැක ඇති ‘මිනිසුන් මියයාම’ පිළිබඳ අදහස අපගේ පැවැත්ම සඳහා අදාළ නොවන හැකියාවක් බව අපට කිව හැකි නොවේ. අනෙක් අතට, දෛනික ජීවිතයේ සාමාන්‍ය ව්‍යවහාරය අනුව ගත්විට පවා, නිවන් අවබෝධ කරගෙන ඇති මිනිසුන් පිළිබඳ ව අපට අසන්නට නොමැති වුවත් මිය ගිය මිනිසුන් පිළිබඳ ව නම් අපි දිනපතා අසන්නෙමු. එම අර්ථයෙන් ගත්විට අපගේ පැවැත්ම පිළිබඳව අර්ථකථනයක් දීම සඳහා අප වඩාත් බරක් තැබිය යුතු වන්නේ, පළමුවෙන්, මරණය පිළිබඳ අර්ථ කථනයක් දීම වෙනුවෙන් බව ඉතා ම පැහැදිළි වන්නකි.

 

***

 

අපගේ පරම්පරාවට දෙවැනි ස්වාභාවිකත්වයක් සේ දැනෙන, “මගේ ලෝකය” කෘතියේ නාටකීය ආරම්භය අපි යළි සිහිකරමු:

‘මගෙන් බාහිරව ලෝකය පවතීය යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබිය හැකිද? මට බාල සියලු දෙනා ඉපදීමට පෙර ලෝකය තිබුණු බව මම දනිමි. එමෙන්ම මා ඉපදීමට පසුව මිය ගිය අය සමඟ ලෝකය නැති වී නොගියේය. අනෙක් මිනිසුන් ගේ ඉපදීමත් මරණයත් සමඟ ලෝකය ඇති වීම හෝ නැති වීම හෝ සිදු නොවන්නේ නම් මා සම්බන්ධයෙන් පමණක් විශේෂයක් සිදු විය හැකි නොවේ. මා ඉපදීමට පෙර ලෝකය පැවැතිණි. මා මිය යෑමෙන් පසු ව ද ලෝකය පවතිනු ඇත.’

මෙලෙස ආරම්භ වුවත්, අප දන්නා පරිදි, “මගේ ලෝකය” කෙදිනකවත් මෙම සීමාවන් – උපත සහ මරණය – මාගේ පැවැත්ම අර්ථ කථනය කිරීමේ බැරෑරුම් සීමාවන් ලෙස ගත්තේ නැත. එයට අනුව, ‘මගේ ලෝකය’, සත්‍ය වශයෙන්ම, මගේ උපතින් ආරම්භ නොවූවක් වන අතර එය මාගේ මිය යාමෙන් අවසන් වන්නක් වූයේ ද නැත. දශක තුනකට වැඩි දාර්ශනික සහ දේශපාලනික මග වැරදීම් ගණනකට පසුව අප, අද, “මගේ ලෝකය” ආරම්භ වූ මේ කුඩා සීමාව අපගේ පැවැත්ම අර්ථ කථනය කිරීමේ බැරෑරුම් සමාරම්භක ගැටලු ලෙස අවංකව සලකා බැලීම ප්‍රයෝජනවත් නොවනු ඇතිද?

 

[මෙම රචනයේ වැඩ කටයුතු සිදු වන අතරතුර, අපගේ හදවත් කීරී ගස්වමින්, අපව හැර දමා ගිය ප්‍රසාද් සමන් කුමාර සොයුරා ගේ මතකය වෙනුවෙන් “සිංහල බෞද්ධ මනස විසංයෝජනය කිරීම” රචනය ආදරයෙන් පිළිගන්වමි.]

වංගීස සුමනසේකර

 

 

***

Advertisements