Narcissus-Caravaggio_(1594-96)

 

නලින් ද සිල්වා මහතා විසින් මා සම්බන්ධයෙන්, පුද්ගලික අපහාසයක් වන ලෙස, පළ කර ඇති දේ පිළිබඳ ප්‍රතිචාරයක් දැක්වීමට මම උනන්දු නොවෙමි. දෙදෙනෙක් අතර හෝ කණ්ඩායම් දෙකක් අතර හෝ සංවාදයක දී, සිය ප්‍රතිවාදියා හට පුද්ගලික ව අපහාස කිරීමට කෙනෙක් පෙළඹෙන්නේ, සිය බුද්ධිමය සුජාතබව අහිමි වන විට බව අපි දනිමු. එනිසා මා, ඉතා ම සංක්ෂිප්තව, ප්‍රශ්න කරන්නට යන්නේ “මගේ ලෝකය” කතුවරයා මට ලබා දී ඇති ‘තාර්කික ප්‍රතිචාරයේ’ බුද්ධිමය සුජාත බවයි.

ඔහු පවසන්නේ මෙයයි:

“චක්‍රීය චින්තනයක නිර්මාණ තිබිය හැකි බව හා තිබිය යුතු බව ඔවුන්ට තේරෙන්නේ නැහැ. දැනුම නිර්මාණය වන දෙයක්. ප්‍රශ්නය ඒ නිර්මාණය වන්නේ කෙසේ ද යන්නයි. චක්‍රීය චින්තනය යනු එක ම දේ නැවත නැවත කීම නොවෙයි” (සම්පූර්ණ ලිපිය මෙතැනින්)

දැන්, එතුමා ගේ “සිංහල බෞද්ධ මනස” රචනය පිළිබඳ මා සිදු කළ විවේචනය තුළ (එම විවේචනය මෙතැනින්), චක්‍රීය චින්තනයක නිර්මාණ තිබිය නොහැකි බව කියා තිබෙන්නේද? එවැනි නිගමනයක් වෙත පැමිණියේ කෙසේද?

එහි දී ‘නිර්මාණවාදය’ පිළිබඳ චෝදනාව මවිසින් එල්ල කරනු ලැබුවේ පොදුවේ ‘දැනුම නිර්මාණය වන’ ආකාරය පිළිබඳ අදහස වෙත නොව එක්තරා විශේෂිත නිර්මාණයකටයි. ඒ තමයි අපගේ මනස නිර්මාණය වීම පිළිබඳ එහි දැක්වෙන විශේෂ අදහස. නලින් ද සිල්වා ගේ දර්ශනය තුළ මනස නිර්මාණය වීම යනු හුදු පුද්ගලයෙක් පිළිබඳ කරුණක් නොවේ. ඒ වෙනුවට, එයින් අදහස් කරන්නේ, එක්තරා අර්ථයකින්, මුළු ලෝකයේ ම නිර්මාණය වීමයි. එම අර්ථයෙන්, එය, ‘මහා පිපිරුම’ හා සංසන්දනය කළ හැකි වේ. අප දන්නා පරිදි මහා පිපිරුම් න්‍යාය නලින් ද සිල්වා අතින් විවේචනය වන්නේ එය දෙවියන් වහන්සේ විසින් ලෝකය මැවීම යන අදහස මත පදනම් වූ, රේඛීය චින්තනයක් තුළ බිහි වූ දැනුමක් ලෙසයි. අනෙක් අතට, නලින් ද සිල්වා ට අනුව, මනසින් බාහිර වූ විශ්වයක් – යථාර්ථයක් – නොමැති වන නිසා, එහි ආරම්භය, සත්‍ය වශයෙන් ම, සිදු විය යුත්තේ ‘මනස’ ලෙසයි. නිර්මාණවාදය පිළිබඳ මා මතු කළ කරුණ පදනම් වූයේ මෙම සංසන්දනය තුළ වේ.

නමුත් එයට මූලික හේතුව වූයේ මනසේ ආරම්භය පිළිබඳ අදහස නලින් ද සිල්වා විසින් කිසිඳු අයුරකින් පැහැදිලි ව ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමයි. නලින් ද සිල්වා විසින් ම යෝජනා කරනු ලබන ආකෘතිය තුළ ‘චිත්ත’ නොමැතිව ‘මනසවත්’, ‘මනස’ නොමැතිව ‘චිත්තවත්’ පවත්නා අවස්ථාවක් සිතීමට අපට අවස්ථාව හිමි නොවේ. ‘මනස’ සඳහා ආරම්භයක් පෙන්වා දීම, එම ලිපියේ සන්දර්භය තුළ, කළ නොහැකි බව මා තර්ක කළේ එම නිසා ය. මාගේ තර්කය එම රචනය තුළ මම දීර්ඝ ව පැහැදිළි කර ඇති බැවින් එය යළි ලියා තැබීමට – ‘එක ම දේ නැවත නැවත කීම’ – උත්සාහ නොකරමි. ඒ සම්බන්ධයෙන් කිසිවක් නලින් ද සිල්වා කියා නොමැති වේ. ඒ වෙනුවට මගේ පුද්ගලික සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කිරීමට එතුමා තෝරාගෙන තිබේ.

අදහස් යනු ඉතා බලවත් දෙයක් බව මා ජීවිතේ පළමුවෙන් ඉගෙන ගත්තේ නලින් ද සිල්වා මහතාගෙනි. දෑසින් දැක ගැනීමට හෝ අතින් අල්වා බැලීමට හෝ නොහැකි ‘අදහස්’ යනු ඉබි යතුරු දමා සිර කළ හැකි දෙයක් නොවේ. වසර දහස් ගණනක් අකණ්ඩ ව පැවතිය හැකි දෙයකි. නොසිතන මොහොතක, ඕනෑ ම කෙනෙක් වෙත ළඟා විය හැකි දෙයකි. අදහසක් පරාජය කළ හැක්කේ තවත් අදහසකින් පමණි. එම අර්ථයෙන් නලින් ද සිල්වා මහතා ගේ ප්‍රතිචාරය ඉතා ම අසාර්ථක බව බුද්ධිමය අවංකකමක් ඇති ඕනෑ ම කෙනෙක් පිළිගන්නවා ඇතැයි සිතමි.

“මා අධික සීතලේ මිය යා හැකිය. නමුත් ඔබට කිසිදා මා නැති කළ හැකි නොවේ. මුළු ලෝකයේ ම ඇති අයිස් එකතු වුවත්, සත්‍යය අදහසක් මරා දැමීමට එයට නොහැකි වේ”

 

 

වංගීස සුමනසේකර

 

***

Advertisements