loie-fuller1-3f9da050dce38ddb70517bb6ba40409c

 

ජාක් රොන්සියර්ගේ සෞන්දර්ය න්‍යාය පිළිබඳ අවධානය යොමු කරන විට අපට පෙනීයන්නේ ඔහුගේ අති මූලික අදහසක් වෙන “කලාත්මක රෙජීම” සංකල්පය අප විසින් අවශ්‍යයෙන් ම දැන සිටිය යුතු බවයි. ඔහු කලාව  පොදුවේ රෙජීම ත්‍රිත්වයක් යටතට වෙන් කරනු ලබනා බව දළ වශයෙන් කිව හැකිය.

මෙහි දී පළමුවෙන් අපට ‘රෙජීමය’ යන වචනය පිළිබඳ කෙටි සටහනක් තැබීම අනිවාර්යය වේ. මේ වචනයට තිබෙන්නේ දේශපාලනික අර්ථයක් බව අපි දනිමු. එ නිසා ම අප එය යොදා ගන්නේ දේශපාලනය කියා අප සාමාන්‍යයෙන් හඳුනා ගන්නා අවකාශය සඳහා පමණි. මෙයට තිබෙනා ජනප්‍රිය නිදර්ශනය වන්නේ ‘රාජපක්ෂ රෙජීමය’ බව පැහැදිලි ය. නමුත් අද වන විට එය ‘යහපාලන රෙජීමය’ යනුවෙන්ද භාවිතය දැක ගත හැකි ය. එම අර්ථය තුළින් මෙය තේරුම් ගන්නා අය රොන්සියර් ගේ මෙම යෙදුම – එනම්, ‘කලාත්මක රෙජීමයන්’ යන යෙදුම – නිසා තරමක් ව්‍යාකූල විය හැකි වුවත් මෙහි අර්ථය තේරුම් ගැනීම කිසිසේත් අපහසු නොවේ. සරල අරුතින් ගත්විට රෙජීමය යනු පාලනය කිරීමේ කේන්ද්‍රයක් සහ එය වටා ගොඩ නැගුනු පද්ධතියකි. කලාව යනුවෙන් අප අදහස් කරනා දෙය ද අර්ථ කථනය කරනා ආකාරය අනුව සහ ඒ සමඟ එය සමාජ අවකාශය තුළ පවතින ආකාරය වෙනස් විය හැකි ය. කලාවේ රෙජීමයක් යනු, සරල අරුතින් ගත්විට, මේ ආකාරයට කලාව අර්ථ කථනය කරන ආකාරය සහ එමගින් කලාව සමාජ අවකාශය තුළ පවත්නා ආකාරය තීරණය කරනා අදහස් සහ භාවිතාවන් වල එකතුවයි.

මෙහි දී කලාව යනුවෙන් රොන්සියර් නම් කරන දෙය සම්බන්ධයෙන් ඔහු මේ ආකාරයේ රෙජීම ත්‍රිත්වයක් හඳුන්වා දෙයි. එනම් ආචාර ධාර්මික රෙජීමය, නියෝජනාත්මක රෙජීමය සහ සෞන්දර්යාත්මක රෙජීමයයි. අපගේ පහසුව තකා අප මෙම රෙජීමයන් එකිනෙක පරෙස්සමින් විමසා බලමු. එක්තරා ආකාරයකට – රොන්සියරියානු සෞන්දර්ය න්‍යායේ දී – මෙම ආචාර ධාර්මික රෙජීමය (Ethical  regime) තුළ ‘කලාව’ යනුවෙන් නිශ්චිත ව දෙයක් හඳුනා නොගැනෙන  අතර එහි දී ප්‍රශ්න කිහිපයක් පැන නගී.

විශේෂයෙන්ම අවුකන, දේව ප්‍රතිමා වැනි මෙම රෙජීමය තුළ නිපද වූ දෑ වල සත්‍ය නිරූපණය වෙන ආකාරය පිළිබඳ ව, ඒවායේ අවසානය, අරමුණු පිළිබඳ ව, දිව්‍යමය රූප නිපදවීම, ඒවා නිපදවීමට ඇති අයිතිය පිළිබඳ ව මෙම රෙජීමයේ දී ප්‍රශ්න නැගේ. එසේ ම මේ යටතේ නිපදවෙන රූපවල  තත්ත්වය සහ අර්ථය පිළිබඳ ව ද ඔහු ප්‍රශ්න කරනු ලබයි. එක්තරා ආකාරයකට චිත්‍ර, කවි සහ වේදිකාවේ පිටපත්වලට එරෙහි ව ඇති සමස්ත ප්ලේටෝනික විවේචනය අයත් වන්නේ මෙම රෙජීමයටයි. වෙනත් වචන වලින් මෙය සටහන් කරන්නේ නම් ප්ලේටෝට අනුව කලාව යැයි දෙයක් නොපැවතුන අතර පැවතුනේ ශිල්ප පමණි. එහි දී සිදු වන්නේ දේවල් සිදු කිරීමත් නිපදවීමත් පමණි. අප මෙය සරල ආකාරයෙන් වටහා ගන්නේ නම් සැබෑ ශිල්ප කියා අප කියන්නේ නිශ්චිත අවසානයක් ඇති, අරමුණක් ඇති මොඩලයක් අනුකරණය කරන දැනුමේ ආකෘති වේ.

මෙම රෙජීමය තුළ නිපදවී ඇති රූපවල වැදගත්කම ඇත්තේ, රෙජිමයේ වැදගත්කම වන්නේ මෙමඟින් නිපදවන රූපවල පැවැත්මේ මාදිලිය සමාජ යහපැවැත්මට, පුද්ගලයන්ගේ සහ ප්‍රජාවන්ගේ පැවැත්මේ මාදිලියට කරන බලපෑමයි. මෙමඟින් ඇති වන බරපතල ගැටලුව වන්නේ මේ බලපෑම නිසා කලාව රෙජීමයෙන් ස්වායත්ත වීමෙන් වැළකීමයි. අපට මෙම රෙජීමය ලංකාවේ සරල උදාහරණයක් ආශ්‍රයෙන් වටහාගත හැකි ය. අප අවුකන පිළිමය නරඹන්නට යන්නේ කලා කෘතියක් නැරඹීමට යන ආකාරයෙන් ද සහ එසේ ම එය නිපදවා ඇත්තේ ඒ වෙනුවෙන් ද යන්න අපට මෙහි දී රොන්සියර්ට අනුව මතු කරන ප්‍රධාන ප්‍රශ්නය වේ. එහි දී භක්තිය, ශ්‍රද්ධාව, පින් රැස් කිරීම, ආමිස පූජා වැනි අදහස් ප්‍රධාන වේ. ඒ අනුව, පෙර දැක්වූ පරිදි මෙහි දී සිදුවී ඇත්තේ සමාජ යහ පැවැත්ම, ප්‍රජාවන්ගේ අධ්‍යාපනය, ප්‍රජාවන්ගේ පැවැත්මේ මාදිලි පිළිබඳව සිතා මේවා තැනීම යි. මේවා අයත් වන්නේ රොන්සියරියානු අර්ථයෙන් ආචාර ධාර්මික රෙජීමයට වේ.

මීලඟට ඔහු හඳුන්වා දෙන්නේ නියෝජනාත්මක (Representative regime) රෙජීමයයි. මෙම රෙජීමය තුළ කලාව විසින් සිදු කරන්නේ අනුකරණය සිදු කළ යුතු සහ නිපදවිය යුතු නිවැරදි ආකාරය මෙන් ම එය තක්සේරු  කරනා ආකාරය ද නිර්වචනය කරන නිසා ය. ඒ වෙනුවෙන් මෙහි දී භාවිත වන්නේ දේවල් සිදු කරන, නිපදවන  සහ  අනුකරණය (mimesis) යන සංකල්පය නිසාය.  එක්තරා ආකාරයකට මෙය කලාවන් පිළිබඳව ක්‍රියාවලියක් නොවන අතර කලාවන් පිළිබඳව දෘශ්‍යමානයන්ගේ රෙජීමයකි. එක් විටම කලාවන් ස්වායත්ත කරන ගමන් මෙම රෙජීමයේ කලාව දේවල් සිදු කරන සහ නිපදවන ආකාරයෙන් ඒවා පොදු පර්යායකට සම්බන්ධ කරයි. එය දේශපාලනය සහ සමාජයේ භූමිකාවන්ගේ සමස්ත ධූරාවලියේ නියෝජනය සම්බන්ධව පවතී. මෙම රෙජීමයේ දී කලාවේ මෙම ලක්ෂණ අපට හඳුනාගත හැකි බව රොන්සියර් පැහැදිලි කරයි. මෙහිදී අපට දැකගත හැක්කේ චරිත වලට වඩා ක්‍රියාවන්ය. විස්තර කිරීම් වලට වඩා ආඛ්‍යානයේ නියෝජනාත්මක බව, වස්තු විෂයේ වැදගත්කම අනුව ශානර පෙළ ගස්වන ආකාරය, කතා කිරීමේ කලාව, සෑම දෙයකම ප්‍රජාවේ ධූරාවළිගත දැක්මකට යටත් වීම  ආදියයි.

නියෝජනාත්මක රෙජීමය යනු පූර්ව නූතන ලෝකය හා බැදුණු විශ්වාස පද්ධතියක ප‍්‍රශ්නයකිි .එහි කේන්ද්‍රයේ  තිබෙන්නේ විශ්වය පිළිබද ඇති ග‍්‍රීක ආකල්පයයි. තරමක් සරල කර පවසන්නේ නම් මින් අදහස් කෙරෙන්නේ ලෝකය කිසියම් නිශ්චිත පිළිවෙලකට ගොඩ නැගී ඇති බවත් මිනිසා එහි කේන්ද්‍රය ලෙසත් සැළකුනු විශ්වාස පද්ධතියයි.  කලාව විසින් සිදු කරන්නේ ලෝකයේ ඇති මෙම පිළිවෙල අපට සකස් කර දීමයි. නැත්නම් කතන්දරයක් මගින් මෙම ලෝකය නියෝජනය කර පෙන්විමයි. මෙය නියෝජනාත්මක රෙජිමය වන්නේ ඒ නිසාය. මෙම සංකල්පයේ ප‍්‍රධාන න්‍යායවේදියා වන්නේ ඇරිස්ටෝටල්ය. ඔහු තම කාව්‍ය ශාස්ත‍්‍රය තුළින් ප‍්‍රමුඛ ලෙස ගෙන එන්නේ මෙම අදහසයි.

මෙලෙස අපට දැක ගත හැක්කේ ඇරිස්ටෝටලියානු  ආකෘතිය තුළ දී කලාවට යම් දිශාවක් පවතින බවයි. එනම් එය කතාවක් ලෙසට මුල, මැද, අග ගැලපී ගමන් කරන සුලූ ලෙස ගොඩනැගෙන බවයි. විශේෂයෙන්ම ඇරිස්ටෝටල් මෙම අදහස පිළිබදව සමීප වන්නේ සොපොක්ලීස් ගේ ඊඩිපස් රජුගේ ජීවිතයට එල්ල වන බාධා හා සිදු වීම් ආශ‍්‍රයෙනි. ”ජීවිතය”,”ඉරණම”,”දෛවය” පිළිබදව ඇරිස්ටෝටල් විශ්ලේෂණයක යෙදෙන අතර එය කතා වින්‍යාසය ලෙස ගොඩ නගා ඇත. රොන්සියර් පැහැදිලි කර දෙන පරිදි ඇරිස්ටෝටලියානු අර්ථයෙන් කලාව යනු, “කතාවේ පරිසමාප්තිය සහ රස ජනනය ඉතා පරිස්සමෙන් කිරීම හා පාත‍්‍ර වර්ගයා භාග්‍යයේ සිට අභාග්‍යය දක්වා ගමන් කරන අනිවාර්ය සහ යථාර්ථවාදී සිදුවීම් පෙළ ගැස්සවීම” යි. එක්තරා ලෙසකට පල්ලි වල චිත්‍ර, විහාර චිත්‍ර වැනි දෑද වෙනත් අයකු, වෙනත් දෙයක් නියෝජනය කිරීම වෙනුවෙන් කරන ලද ඒවාය. එම කලාව යොමු වී තිබුණේ මාළිගා, පන්සල්, විහාර, සිටුමැදුරු සඳහාය. එසේම එහිදී සිටුවරු, කුමාරවරුන්ව ඒවා මඟින් නියෝජනය විය.

මෙහි සරලම අර්ථය ලෙස අපට තේරුම්ගත හැක්කේ ආරම්භයක්, වර්ධනයක් සහ අවසානයක් කතන්දරයකට තිබිය යුතු බවයි. නමුත් එය පමණක් ප‍්‍රමාණවත් නොවේ. එයට අමතරව මෙම කතාන්දරයේ අපට හමුවන චරිත භාග්‍යයේ සිට අභාග්‍යයට නැත්නම් අභාග්‍යයේ සිට භාග්‍යයට වර්ධනය විය යුතු යැයි ඇරිස්ටෝටල් කියයි. මින් අදහස් වන්නේ ආරම්භයේ දී, නිදර්ශනයක් ලෙස, දිළිදු චරිතයක් ලෙස අපට හමුවන පුද්ගලයෙක් කතාන්දරය අවසානයේ දි ධනවතෙකු විය යුතු බවයි. නැත්තම් අවප‍්‍රසාදිත පීඩිතයකු කතාන්දරය අවසන් වන විට වරප‍්‍රසාදිත ධනවතෙකු විය යුතු වේ. මෙය අනෙක් අතටද සිදු විය හැක. එනම් බලවත් සහ ධනවත් චරිතයක් ලෙස අපට පළමුවෙන් හමුවන පුද්ගලයෙක් කතාන්දරය අවසන් වන විට දිළිදු සහ දුර්වල චරිතයක් බවට පත් විය යුතු වේ. නමුත් මේ පරිවර්තනය සිදුවිය යුත්තේ කිසියම් අනිවාර්යතාවක් නිසාවෙනි.

එම අනිවාර්යතාවය අපට පෙනෙන්නට සැලැස්වීම තුළින් පමණයි කතාන්දරය යථාර්ථවත් ආකාරයකට ඉදිරිපත් වන්නේ. මෙහිදි යථාර්ථය යනු ලෝකය තුළ ඇති බල ධූරාවලියකි. නැවතත් මෙය සම්බන්ධ වන්නේ ලෝකය පිළිබද ඇරිස්ටෝටලියානු ප‍්‍රවාදයටයි. එම ප‍්‍රවාදයට අනුව මුලූ විශ්වයම සෑදි ඇත්තේ කිසියම් ධූරාවලියකට අනුවයි. මිනිස් සමාජයේ සිට සතා සිව්පාවා දක්වා ගස් කොළන් වල සිට ග‍්‍රහ ලෝක දක්වාත් මේ මුළු විශ්වයම එම ධූරාවලියට අනුව පෙළ ගැසී ඇත. එයට අනුව සෑම දෙයකටම සහ සෑම පුද්ගලයෙකුටම ස්වාභාවයෙන් උරුම වූ භූමිකාවක් තිබේ. අප උත්සහ කළ යුතු වන්නේ එම උරුමය සොයා ගැනීමයි. මෙම කතන්දරය පිළිබද ඇරිස්ටෝටලියානු අර්ථකථනය සදහා වන සම්භාව්‍ය උදාහරණය වන්නේ ග‍්‍රීක ශෝකාන්ත නාට්‍යකරු වන සොපොක්ලීස් ගේ ඊඞ්පස් රජ නාට්‍යයි. නමුත් මෙය පිකාසෝ විසින් බිඳ දමනු ලබයි. පිකාසෝගේ චිත්‍රවල අප ඉහත සඳහන් කළ ආකාරයේ රේඛීය කතාවක් දැකගත නොහැක.

යම් කිසි ආකාරයකින් නූතන කලාව ලෙසට රොන්සියර් හදුන්වන්නේ මෙම ඇරිස්ටෝටලියානු අදහස් ක‍්‍රමයෙන් අභියෝගයට ලක් කිරීමේ මොහොතයි. එහිදී සමස්තයක් වශයෙන් ගත් කල සිදුවන්නේ කලාව මගින් කතාන්දර කීම වෙනුවට ලෝකයේ කේන්ද්‍රය සහ පිළිවෙල අභියෝගයට ලක් කිරීම මගින් සැබෑව නැත්නම් සත්‍ය ගවේෂණය කිරීමයි. සිනමාව ඇරැුඹුණු මොහොත අර්ථකථනය කෙරුණේ මෙම සෞන්දර්යාත්මක රෙජිමයේ පරිසමාප්ත කලා මාධ්‍ය ලෙසයි.

සෞන්දර්ය රෙජීමය (Aesthetic regime) යටතේ නිපද වෙන කලාව හඳුනාගැනෙන්නේ සංවේදනීය දෙයෙහි නිශ්චිත රෙජීමයකට ඇති අනුකූලත්වය අනුවයි. එය එක්තරා ලෙසකට චින්තනයට පරිබාහිර වන්නා වූ චින්තනයක ආකෘතියකි. නිෂ්පාදනය නොකරන ලද දෙයක් හා සමාන වන නිෂ්පාදිතයක්, නිර් – දැනුමක් බවට පරිවර්තනය වූ දැනුමක්, අරමුණු නොකරන ලද දෙයෙහි අරමුණු බවට පත් වේ. සෞන්දර්ය රෙජිමයේ කලාව මෙම ලක්ෂණ ගනී. රොන්සියර්  අපට නිතර මතක් කර දෙන පරිදි සෞන්දර්යාත්මක රෙජිමයේ කලාව යනු සවිඥානික හා අවිඥානික ක‍්‍රියාවලීන් දෙකක එක්තරා ආකාරයක සමපාත වීමකි. මෙහි සරල අර්ථය දෙසට අප අවධානය යොමු කළ හොත් මෙසේය. බැරෑරුම්   කලා නිර්මාණ බිහි වීමේදී එමගින් දැනුවත්ව ප‍්‍රකාශ කරන දෙය හා නොදැනුවත්ව ප‍්‍රකාශ වන දෙය එක හා සමාන වටිනා කමක් ගත යුතුය.

කලාවට ලෝකයේ සත්‍ය අල්වා ගත හැක්කේ එසේ බව රොන්සියර් ගේ පිළිගැනීමයි. මෙම අරුතින් ගත් විට නූතන කලාව විසින් සිදු කරනු ලබන්නේ විශ්වයේ ඇතී අර්ථ විරහිත පැවැත්ම හා මිනිසාගේ ජීවිතයේ අරුත් සහගත බව ගෙන හැර පෑමය. කැමරාව නම් යන්ත‍්‍රය නිසා සිනමාව මේ සඳහා ඉතා සුදුසු මාධ්‍යයක්  වෙයි. පිකාසෝගේ චිත්‍රත්, වාන් ලබාන්ගේ ඉසඩෝරා ඩන්කන්ගේ නර්තනයත්, බෙකට්, ඉයුජින් අයනස්කෝගේ නාට්‍යයත්, ශෝන්බර්ග්ගේ සංගීතයත් අපට මතක් කරන්නේ මෙම රෙජීමය වේ. රොන්සියර්ට අනුව කලාවේ සෞන්දර්ය රෙජීමය යනු කලාව ඒකීය ලෙස හඳුනාගෙන එය නිශ්චිත නියාම වලින් නැතිනම් කලාවන්ගේ, වස්තු විෂයන් වල සහ ශානර වල ධූරාවලියකින් කලාව නිදහස් කරන රෙජීමය වේ.  එමඟින් දේවල් සිදු කරන, නිපදවන අනුකරණාත්මක, නියෝජනාත්මක බව බිඳ දමයි. සෞන්දර්යාත්මක රෙජීමය මඟින් කලාවේ පරම ඒකීයත්වය තහවුරු කරයි. එසේම මෙහිදී මෙම රෙජීමය  කලාවේ ස්වායක්ත බව තහවුරු කරන අතරම එහි ආකෘතීන් සහ ජීවිතය සකස් කිරීමට යොදා ගන්නා ආකෘතීන් අතර වෙනස නැති කරයි. සිනමාව බිහි වන්නේ මෙම සෞන්දර්යාත්මක රෙජීමයේ වුවත් එහි ඓතිහාසික පරස්පරය වන්නේ බොහෝ විට අද එය සේවය කරන්නේ නියෝජනාත්මක රෙජිමයට වීමයි. කාව්‍යාත්මකව සටහන් කරන්නේ නම් සෞන්දර්යාත්මක තත්ත්වය යනු නවත්වාගෙන සිටීමේ පාරිශුද්ධ නිමේෂයකි. එය ආකෘතීන් එලෙසින්ම අත් දකිනා මොහොතකි. එසේම සෞන්දර්යාත්මක රෙජීමයේ කලාව යනු එක්තරා නිශ්චිත ආකාරයක මිනිස් වර්ගයා බිහි කිරීමේ සහ එයට අධ්‍යාපනය ලබා දීමේ මොහොතකි.
එරන්ද මහගමගේ
***
Advertisements