149973959_24b0111f0d_z

සෞන්දර්යාත්මක ක්‍රියාවක් ලෙසට රොන්සියර් අදහස් කරන්නේ අපට නව ආකාරයේ ඉන්ද්‍රිය සංජානනයක් එකතු කරන, නව මාදිලි නිර්මාණය කරන අත්දැකීමක් සහ අනෙක් පැත්තෙන් දේශපාලනික වෛෂයිකත්වයක් නිර්මාණය කරනු ලබන දෙයකි. මේ කරුණ අපට මෑතකාලීන උදාහරණයක් ආශ්‍රයෙන් කියවා ගත හැකිය. විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘සය පෙති මල’ (Frangipani) චිත්‍රපටය අපට සම ලිංගිකත්වය යනුවෙන් දෙයක් සංවේදනය කරනු ලබයි. ඒක එක්තරා ආකාරයට සංවේදනයේ නව මාදිලියකි. එය පෙන්වන ආකාරයත් වෙනස් ආරක් ගෙන ඇත. වෙනත් වචන වලින් කියන්නේ නම් එය අපට නව අත්දැකීමක් ලබා දෙයි. ඒ වගේ ම අනිත් කාරණය වන්නේ මෙම අලුත් ආකාරයේ සෞන්දර්ය ක්‍රියාවලිය හරහා අපව අලුත් ආකාරයේ දේශපාලන වෛෂයිකත්වයක් ගැන උනන්දුසහගත කිරීමයි. දේශපාලන වෛෂයිකත්වය විසින් ආකෘතීන් උත්පාද කරයි.

මේ ආකාරයෙන්, එසේ නැතිනම් මෙම රාමුවෙන් – මෙම සෞන්දර්ය ක්‍රියාවලීන් ඔස්සේ – නව දේශපාලන වෛෂයිකත්වයන් නිර්මාණය වේ. මෙහි දී අප දේශපාලන වෛෂයිකත්වය (political subjectivity) ලෙසට හඳුන්වන්නේ දේශපාලනය පිළිබඳ හිතන ආකාරය යි. දේශපාලනය යනු සාමූහික විමුක්තිය වෙනුවෙන් වූ අදහසක් නම් එය එකතු කරන ආකෘතිය වන්නේ දේශපාලන වෛෂයිකත්වය යි. මේ සඳහා අපට ඉදිරිපත් කළ හැකි සම්භාව්‍ය උදාහරණය වන්නේ දේශපාලනය පිළිබඳ ‘ලෙනින්ගේ’ ආකෘතිය යි. ඒ අනුව සෞන්දර්ය ක්‍රියාවලිය යනු නව ආකාරයක ඉන්ද්‍රීය සංජානනය ඇති කරන අත්දැකීමක්, නව ආකාරයක දේශපාලන වෛෂයිකත්වයක් ලෙසට රොන්සියර් හඳුන්වාදෙනු ලබයි.

රොන්සියර්ගේ ග්‍රන්ථයක් වන Dis-agreement හි මෙම සංවේදනීය දෙයෙහි බෙදාහැරීම (distribution of sensibility) පිළිබඳ සාකච්ඡා කරනු ලබයි. එය අපට තවත් නිදර්ශනයකින් වටහා ගත හැකිය. මේ සඳහා කදිම උදාහරණය වන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නයයි. අපි නොයෙකුත් දේ බෙදාහරිනු ලබනවා. ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය, විදෙස් කටයුතු ආදී දෑ, නමුත් අපට මේ බෙදා හැරීම් අතරතුර දෙමළ ජනතාවගේ ප්‍රශ්නය නොපෙනී යයි. මෙන්න මේ ආකාරය අපට දේශපාලනය තුළ ඉතා සූක්ෂම ව පවතින ආකාරය දැකගත හැකිය. එය එක්තරා ආකාරයක සෞන්දර්යවේදයක් ලෙස රොන්සියර් පෙන්වා දෙනු ලබයි.

අපට මෙම අදහස තේරුම් ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ රෙජීමය දෙස අවධානය යොමු කළ හැකිය. එහි දී අපට පෙනී යන මූලික කාරණයක් වන්නේ එහි දී දේශපාලන අදහස් රැගත් රූප රාශියක් ගොඩනඟා තිබූ බවයි. කුරහන් සාටකය, නෙළුම් මල, සිංහ රුව ආදී දෑ අපට මතකයට නැඟිය හැක. මෙහි දී සිදු ව ඇත්තේ කිසියම් රූපයක් සුන්දර ලෙසට ගොඩනැන්වීමකි. රොන්සියර්ට අනුව මූලික තර්කය වන්නේ එය වඩාත් දේශපාලනික වන බවයි. එම සෞන්දර්යයේ දේශපාලනයක් ගැබ්ව පවතී. කලාවන් තුළ තිබෙන පෙරටුගාමී න්‍යායන් හි තිබෙන කලාව සහ ජීවිතය අතර මුහුවීම පිළිබඳ වූ සංවාදය අපට යළි සලකා බැලීමට අවස්ථාවක් මෙහි දී උදා වෙයි.

අද දවසේ අපට හොඳින් ම දැකගත හැකි ආකාරයේ සංවාද විශාල ගණනක් පවතින අතර විශාල හඬවල් රාශියක් ද ඒ වෙනුවෙන් පවතී. ඒ හඬ නගන අය කලාවේ පවතින අර්බුදය පිළිබඳ නිරන්තරයෙන් හඬ නඟයි. එක්තරා ආකාරයකට එය මුළුමනින් ම කථිකාව කලාව සම්පූර්ණයෙන් වෙළඳපොළට, ධනවාදයට යටවීම පිළිබඳ සංවාදයන් ලෝකය පුරා පවතී. අනෙත් පැත්තෙන් කලාවේ සන්දර්ශනාත්මක බවක් ද පවතී. අද වන විට එම සන්දර්ශනාත්මක බව (spectacle) සෑම අතටම පැතිර ගොස් ඇත. මේ සෑම දෙයක් ම මධ්‍යයේ පිළිඹිබුව මිය යමින් පවතී. රොන්සියර් අවධාරණය කරන පරිදි මෙම සියලුම සංවාද මඟින් අපට පැහැදිලි වන දේ වන්නේ පසුගිය සියවසේ කොමියුනිස්ට් ව්‍යාපාරය, ඒ තුළ තිබූ ඉතිහාසය පිළිබඳ මායාවන් බිඳ වැටීම ආදී දේශපාලන සංවාද සියල්ල සෞන්දර්ය තලයකට විතැන් වී ඇති බවයි. මේ අදහස අපට ලංකාවේ සන්දර්භයෙන් අර්ථ කථනය කරගත හැකිය.

90න් පසුව ලංකාව තුළ මිනිසාගේ විමුක්තිය පිළිබඳ වූ සංවාදය පවතින්නේ ලංකාවේ කලාව පිළිබඳ වූ සංවාදයේ යැයි වර නැඟීම රොන්සියරියානු අදහස වටහා ගැනීමට හොඳ නිදර්ශනයක් වේ. එසේ ම ලංකාවේ දේශපාලන සංවාදය තුළ ඇත්තේ 20 වන සංශෝධනය ගෙන එනවාද? නැද්ද? ප්‍රාදේශීය සභා ඡන්දය පවත්වන්නේ ද?  ගෝඨා බලයට ගෙන එනවාද නැද්ද? වගේ ආස්ථාන වලය. ඒවා දේශපාලනික උපාය මාර්ග හෝ කතා කළ යුතු මාතෘකා වුවත් පුද්ගල විමුක්තිය පිළිබඳ ව කතා කරන ආස්ථානයන් නොවේ. නමුත් 20 වන සියවස තුළ ඉහත මතු කළ අදහස පැවති අතර වාමාංශික ව්‍යාපාරය විසින් එය කතා කරන ලදි. ග්‍රාමීය තාරුණ්‍ය එදා තමන්ගේ පැවැත්ම, විමුක්තිය පිළිබඳ කතා කරන ලද අතර ඒ වෙනුවෙන් සටන් කළ බව අපි දනිමු. නමුත් එම තත්ත්වය අද පවතින්නේ සෞන්දර්ය සහ කලාව ඇතුලතය. නමුත් වඩාත් අවධාරණය කරන පරිදි කලාවෙන් විමුක්තිය ඇති නොවන බව මින් අදහස් නොවේ. නමුත් එවක අපගේ ජීවිතයේ විකල්ප අවකාශය ලෙසට අප එම දේශපාලන සංවාදවල සැරිසැරූ නමුත් අද එම දේශපාලන විමුක්තිය පිළිබඳ වූ බලාපොරොත්තුව තිබූ මිනිසුන් එකතුවන තැන වන්නේ සෞන්දර්යයයි. මේ සඳහා හොඳ ම නිදර්ශනය වන්නේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත් වූ බ්‍රහස්පතින්දා සවස සිනමා සාකච්ඡාවයි. එම කාල වකවානුව තුළ අපට ජීවිතයේ විකල්ප කාල අවකාශය වූයේ එය යි. එසේ ම අප වැනි ම විශාල මිනිසුන් පිරිසක් තමන්ගේ ජීවිතයේ විමුක්තිය පිළිබඳ කතා කිරීමට පදනමට ආ බව අපි හොඳින් දනිමු.

දේශපාලන විමුක්තිය පිළිබඳ වූ පොරොන්දුව, ඉතිහාසයේ මායාවල් සහ එම මායාවන්ගේ බිඳ වැටීම පිළිබඳ ව අප කතා කළේ පදනම් ආයතනයේ දී ය. නමුත් අප හොඳින් ම දන්නා පරිදි අද දේශපාලනයේ ඉතිහාසය පිළිබඳ ව වූ සංවාදයක් නැත. 1970 දශකයේ තරුණයකුගෙන් යමෙකු විමසුව හොත්, වසර 10කින් මොකද වෙන්නෙ සහෝදරයා? කියා ඔහු අනිවාර්ය ලෙස පවසනු ඇත්තේ ‘සමාජවාදය’ උදා වන බවයි. මේ ප්‍රශ්නය ම අපට අද විශ්වවිද්‍යාල තරුණයෙකුගෙන් ඇසිය හැකි ය. ලැම්බෝගිනියක් ගැනීම, විශාල නිවාසයක් මිල දී ගැනීම හෝ ඕස්ට්‍රේලියාවට පනින බව ඔහු අනිවාර්ය ලෙස පවසනු ඇත. තරුණයා වෙනස් වන අතර ලංකාව වෙනස් නොවේ. ඒ අනුව අද ඉතිහාසය පිළිබඳ ව වූ සංවාදය ඇත්තේ සෞන්දර්ය කලාපයේය.

මේ සඳහා අප අවස්ථානුකූලවාදීන්ගේ (Situationist) ගමන් පථය නිරීක්ෂණය කළ යුතු බව රොන්සියර් පවසයි. එය 2 වන ලෝක යුද්ධයෙන් පසු පෙරටුගාමී කලා ව්‍යාපාරය සමඟ ඇති වේ. ඉන් පසු 60 දශකය සමඟ දේශපාලනයට එල්ල වන රැඩිකල් විවේචනයක් ලෙසත් පැමිණ අද එය අවශෝෂණය වී ඇත්තේ පවත්නා පිළිවෙළට එරෙහි ව ගේන විවේචනාත්මක ස්ථානය නියෝජනය කිරීමේය. අද වන විට එය – අවස්ථානුකූලවාදීන්ගේ (Situationist) ගමන් පථය – බලාපොරොත්තු විරහිත යමකි. අද එය කරන ප්‍රකාශ සමහරවිට අසරණභාවයේ ප්‍රකාශන වේ. නමුත් එක් ආකාරයකට ඒවා පවත්නා ක්‍රමයටත් විවේචනයක් ගෙන එන බව රොන්සියර් මතක් කරනු ලබයි.

ඉහත කී ලක්ෂණය  ලක්ෂණය සමකාලීන දේශපාලන සහ සෞන්දර්ය තේරුම් ගැනීම සඳහා හොඳ නිදර්ශනයක් වේ. මෙය හොඳ රෝග ලක්ෂණ සහිත නිදර්ශනයක් වේ. මේ නිසා පෙරටුගාමී චින්තනය අතීතකාමයත් සමඟ කිනම් ආකාරයකින් වර්ධනය වන්නේ ද යන්න අපට විමසා බැලිය හැක. නමුත් විශේෂයෙන් ම ෆ්‍රන්සුවා ලියෝතාගේ කෘතිවල මෙම පසුගිය 20 වසර තුළ සෞන්දර්යවේදය යන්න වරප්‍රසාදිත අවකාශයක සටහන් වී තිබුණි.  එම විචාරාත්මක චින්තනය අද රූප විපර්යාසයකට ලක් වී ඇත. කිසියම් ආකාරයකට ශෝකයට පත් වී තිබෙනා දෙයක් ගැන එහි තිබුණා නම්, පෙරදී සමාජය ගැන දේශපාලනය ගැන විචාරාත්මක යමකි. නමුත් අද එය සෞන්දර්ය මතට මාරු වී සමාජය පිළිබඳ දුක්වීමක්, දේශපාලනය පිළිබඳ ව දුක්වීමක් දක්නට ඇත. සමකාලීන සෞන්දර්ය සහ දේශපාලනය කියවා ගත හැකි යතුර වන්නේ මෙම අදහසයි.

මෙම දේශපාලන සංවාදය සෞන්දර්ය මතට විතැන් වීම තවත් හොඳින් පැහැදිලි කරගැනීම සඳහා අප ෆ්‍රන්සුවා ලියොතාගේ කෘති වලට අවධානය යොමු කළ යුතුය. කාන්ට්ගේ උත්කෘෂ්ටත්වය (Sublime) නම් සංකල්පය ලියොතාගේත් දක්නට ඇත. ඔහු එය යළි අර්ථකථනය කරනු ලබයි. එමඟින් කාන්ට් හඳුනාගත් කලාපයෙන් ඔබ්බෙහි වූ කලාව නම් වූ අවකාශය තුළ ලියොතා එය ස්ථානගත කරයි. ලියොතා මින් අරමුණු කරනු ලැබුවේ කලාව වඩාත් ශක්තිමත් ලෙසට, තීව්‍ර ලෙසට, සියලු ආකාරයේ චින්තන බිඳ වට්ටන, ආබාධයට ලක් කරවන මෙම නියෝජනය කළ නොහැකි දේ සමඟ අභිමුඛ කිරීමටයි. විශාල ගිරි කුළු සහිත කඳු පන්තියක් අප නියෝජ්නය කරන්නේ කෙසේ ද ?

කාන්ට්ගේ උත්කෘෂ්ටත්වය (Sublime) නම් අදහසට අර්ථ දෙකක් පවතී. ගතික උත්කෘෂ්ටබව එකක් වන අතර අනෙක වන්නේ ගණිතමය උත්කෘෂ්ටබව  වේ. (Dynamic Sublime & Mathematical Sublime). ගණිතමය උත්කෘෂ්ටබව යනු අපිරිමිතත්වය ගැන සිතීමේ හැකියාව වේ. ඒ ගැන සිතීම ගණිතමය උත්කෘෂ්ටභාවය යි. එනම් මිනිසා යනු ඉතා කුඩා ජීවියෙක් වේ යන්නයි. විශ්වයේ සූර්යයාට සාපේක්ෂ ව පෘථිවිය ඉතා කුඩා ග්‍රහයෙකි. සුර්යයාත් විශ්වය තුළ ඉතා කුඩා තාරකාවකි. ඒ අනුව මිනිසාට ඇත්තේ අතිශය නොවැදගත් කමකි. අපට සිතා ගැනීමටවත් නොහැකි විශ්වයට එරෙහි ව මෙම පුංචි මිනිසා කරන අරගලය, මිනිසා විශ්වය ජයගැනීමට කරනු ලබන අරගලයට, ඉමැනුවෙල් කාන්ට් ‘උත්කෘෂ්ටයි’ යනුවෙන් පවසනු ලැබුවේය. මෙහි අදහස වන්නේ අපිට නියෝජනය කරගත නොහැකි දේ සමඟ මුහුණට මුහුණ මුණ ගැසීමයි. එයට සාක්ෂිය වන්නේ කලාවයි.

එරන්ද මහගමගේ

 

Advertisements