Robert_Motherwell's_'Elegy_to_the_Spanish_Republic_No._110'

කලාව හා දේශපානය අතර එකට බැඳී පවතින සම්බන්ධය මිනිසා පිළිබඳ තොරතුරු වාර්තා වෙන ඉතිහාසය තෙක් ම දිවෙයි. ඒ අතර අප විධිමත් ශිෂ්ටාචාරයක් ලෙස හඳුනාගන්නා ග‍්‍රීසිය, එහි ප‍්‍රබල සන්ධිස්ථානයක් නිරූපණය කරයි. ග‍්‍රීසියේ සිට මේ දක්වා විකාශනය වන නාට්‍ය කලාව හා සමකාලීන දේශපාලනය අතර නොබිඳෙන සම්බන්ධය නාට්‍ය කලාවට පමණක් නොව සකල කලාවන්ට පොදු වූ තත්ත්වයකි. අප උත්සහ කරන්නේ වේදිකාව හා දේශපාලනය අතර පවතින මෙම නෛසර්ගික සම්බන්ධය දාර්ශනික ව හා නාට්‍යමය උදාහරණ තුළින් පැහැදිලි කර ගැනීමට යි. 

අපි නූතන න්‍යායික පැහැදිලි කර ගැනීමකින් පටන් ගනිමු. සමකාලීන ප‍්‍රංශ දාර්ශනියෙක් වන ‘ජාක් රොන්සියර්ගේDisagreement : politics and philosophy කෘතියෙහි දැක්වෙන පරිදි, දේශපාලනය යනු ආත්මයන්, නැති නම් ආත්මීයකරණයන් වන මාදිලීන් පිළිබඳ දෙයකි. ආත්මීයකරණය යන්නෙන් මා අදහස් කරන්නේ ශාරීරයක ක‍්‍රියාකාරම් මාලාවක් මඟින් සහ ප‍්‍රකාශ කිරීමට ඇති හැකියාවක් මඟින් නිෂ්පාදනය වන දෙන ලද අත්දැකීමේ කලාපය මගින් හඳුනාගත නොහැකි වූ, දෙයයි. ඒ අනුව ආත්මීකරණය හඳුනා ගැනීම යනු ද අපගේ අත්දැකීමේ කලාපය යළි සකස් වීමේ කොටසකි.

තරමක් බැරෑරුම් ලෙස පෙනුන ද මෙහි අදහස සරල ව නිරාකරණය කර ගත හැකි වේ. එනම් දේශපාලනය යනු තමා ව වටහා ගැනීමෙන් පසු ව තමා සහ පරිබාහිර ලෝකය අතර මින් පෙර අත් නොවිඳි වෙනසක් ඇති වීමයි. මෙම අර්ථයෙන් ගත්විට, මේ වනවිටත්, අපට දේශපාලනය තුළ නාටකීය මානයක් තිබෙනා බව – එසේත් නැතිනම්, අවශ්‍ය නම්, වේදිකාව තුළ දේශපාලනික මානයක තිබෙනා බව – කිව හැකි වේ. ඇන්ටන් චෙකොෆ්ගේ, චෙරි උයන නාට්‍යයේ ට්‍රොෆිමෝෆ් චරිතය තමාගේ සාංදෘෂ්ටිකත්වය (තමාට තමා ම ලෙස පැවතීමේ හැකියාව) නිරාවරණය කර ගැනීම සඳහා පරිබාහිර ලෝකයට දක්වන නැවුම් සම්බන්ධය ලෙස ම සමස්ත වේදිකාව තුළ මෙම ‘යළි ඉපදීමේ’ තේමාව හඳුනා ගැනීම එතරම් අපහසු නොවේ.  අප ඉහත අර්ථ ගැන් වූ දේශපාලනය යන්නෙහි සැබෑ අර්ථය යි.

මෙය වේදිකාව මත ආරෝපණය කිරීමේ දී විලියම් ෂේක්ස්පියර්, ඈස් යූ ලයික් ඉට් නාට්‍යයේ, ‘මුළු ජීවිතය ම රඟහලකි. සියලූ ගැහැනු සහ පිරිමි හුදෙක් එහි නළුවෝ වෙති ලෙස සඳහන් වන පරිදි ජීවිතය හා වේදිකාව අතර පවතින සමානකම පැහැදිලි කළේය. අයිස්ලන්ත හිටපු ජනපති විංගීස් පින්මගඩෝටයර්ගේ මෙබඳු ම අලංකාර ප‍්‍රකාශයක් වේ. ‘සිනමාව ජීවිතයට වඩා විශාල ය. රූපවාහිනිය හා පරිගණකය ජීවිතයට වඩා කුඩා ය. එහෙත් නාට්‍ය ජීවිතය තරම් ම ය. එහි විෂයයන් සහ අවධානය ජීවිතයට වඩා විශාල මානයක් ගන්නවා විය හැකි ය. එහෙත් අප එය වැළඳ ගන්නේ එකී ජීවිත පරිමාණයෙන් ම ය. අවසාන අර්ථයෙන් කිවහොත් වේදිකාවේ දේශපාලනය හා අපගේ ජීවිතයේ අප අභිමුඛ වන දේශපාලනය අතර සද්භාවවේදී වෙනසක් නැති බව කිව හැකි ය.  

ලෝකය-තුළ-පැවැත්මේ දී, අප දේශපාලනය යන්න ඉහත රොන්සියර්ගේ ඉගැන්වීමට අනුව හඳුනාගන්නා විට එය වේදිකාව-තුළ-පැවැත්ම සමඟ සංසන්දනය කර බලමු. එහි දී ද එම වේදිකාව-තුළ-පැවැත්මේ සිටිනා ‘පැවැත්ම වන නළුවාගේ ක‍්‍රියාකාරීත්වය වේදිකාව තුළ ඉඳුරා ම දේශපාලනික වේ. තරමක් බැරෑරුම් ලෙස කියන්නේ නම් නළුවන් තම පැවැත්මේ විභවතාවන් මඟින් විචල්‍යයන් වෙත ගොදුරු වනවා යනු ම ඔවුන් ආත්මීයකරණයට ලක්වීමයි. තවත් පැහැදිලි කර ගැනීම පිණිස කියන්නේ නම් තුළ-පැවැත්ම යනු යමක් තුළ, ඇතුළත, පවතිනවා නොව, වෙනත් පැවැත්මවල් සමඟ ගනුදෙනු කිරීම මඟින් ඇති වන වාසය කිරීම, හුරුපුරුදුබව, ජීවත් වීම, වැනි කුමන හෝ ක්‍රියාවන් තවත් පැවැත්මක් සමඟ ඉටු කිරීමයි, ඒ අර්ථයෙන් වේදිකාව තුළ සිදු වන්නේ එය පමණයි, වේදිකාව හා ලෝකය අතර වෙනසක් සලකුණු කළ නොහැකි තරමේ මොහොතක් වේදිකාව තුළ කිසි විටෙක නිරාවරණය වන්නේ නැත. එහි දී නළුවන්ගේ ක‍්‍රියාමාර්ග තුළ පවතින සාංදෘෂ්ටික හා දෘෂ්ටිවාදාත්මක යැපීම් හා එරෙහි වීම් මත වේදිකාව-තුළ දේශපාලනය යනු ලෝකය-තුළ-පැවැත්මේ දේශපාලනය හා පර්යාය වේ.

වේදිකාව තුළ දේශපාලනයේ පැවැත්මට තවත් ප්‍රධාන සාධකයක් වන්නේ සාමූහිකත්වය යි. වෙනත් ආකාරයට කියන්නේ නම් දේශපාලනයට හා වේදිකාවට තනිව පැවැතිය නොහැකි පොදු කොන්දේසියක් වන්නේ සාමූහිකත්වය යි. දේශපාලන පිළිබඳ ඇලෙන් බදියු, යන එන ගමන් සඳහන් කළ සරල අදහසක් සැලකිල්ලට ගනිමු. ‘මගේ දැක්මේ හැටියට දේශපාලනය සත්‍යයේ ක‍්‍රියාවලියක්. නමුත් එය සාමූහිකය මත කේන්ද්‍රගත වෙනවා. මෙය නාට්‍ය කලාවේ සාමූහිකත්වයට, ප‍්‍රපංචවේදයේ එන සම-පැවැත්මට ඍජු සම්බන්ධකම් දක්වයි. ‍හෛඩගරියානු සාහිත්‍යයේ එන වචනයක් වන සමඟ-පැවැත්ම (Being-with) යනු අනෙකන් සම එකට පැවතීමයි. එය පැවැත්මේ මූලධාර්මික ගුණයක් වන අතර අනෙකාගේ පැවැත්ම මගේ පැවැත්මේ මාදිළියක් ලෙස පවතියි. තවත් ආකරයකට කියන්නේ නම් වේදිකාව තුළ නළුවාගේ පැවැත්ම අනෙක් නළුවාගේ පැවැත්මට බලපානවා යන සරල අරුතින්ද, මනමේ කුමාරයාගේ පැවැත්මට, මනමේ කුමරිය ඇතුළු සියලූ පාත‍්‍රයින්ගේ පැවැත්ම ඍජුව හා අරුත්සහගත බැඳීම් සමුදායක් මත බලපාන බව යැයි කිව හැකි ය.

දේශපාලනය හා වේදිකාව අතර සම්බන්ධයෙහි ශාස්ත‍්‍රාලයීය ඓතිහාසික මූලාරම්භය අපට හමු වන්නේ ග‍්‍රීක දාර්ශනිකයින් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස්වලයි. එහි දී අපට සුවිශේෂ දාර්ශනිකයා වන්නේ ප්ලේටෝ ය. වේදිකාව හා දේශපාලනය අතර සම්බන්ධයේ බැරෑරුම් ස්වභාවය සහ එහි ඇති පරම බලය පිළිබඳ අදහස අපට ප්ලේටෝගෙන් ලබා ගත හැකි ය. කලාකරුවන්ට තම කලාවෙන් කැමැත්තක් කර ගැනීමට ඉඩ දීමට බැරිය. කලාව ඒ තරම් ම බැරෑරුම් දෙයකි. නීතිදාකයකා හා ව්‍යවස්ථාදායකයා කලා කෘති රචනයද, ජනප‍්‍රවාදකරණය හා ජනශ‍්‍රැතිකරණයද අධීක්ෂණය කළ යුතුය. කවීන් තම කෘති ව්‍යවස්ථාදායකයන්ට ඉදිරිපත් කොට ඔවුන්ගේ අනුමැතිය ලැබිය යුතුය. නියම නීති පැනවූ කල්හි ඒවා වෙනස් කරන්නන්ට දරුණු දඬුවම් පැමිණවිය යුතු යි.

ඉහත ප‍්‍රකාශය තුළ දේශපාලනයේ ප‍්‍රකාශමානී තලය නැතිනම් අප දන්නා මතුපිට තලය සම කරන ගනුදෙනුවක් ප්ලේටෝ විදාරණය කරයි. ප්ලේටෝගේ අදහස වෙනත් ආකාරයට කියන්නේ නම් කලාව තුළ සදාචාර විරෝධී තත්ත්වවලට උත්තේජනයක් ලබා දී රාජ්‍යයේ පැවැත්මට අහිතකර තත්ත්වයක් ඇති කිරීමේ බලය ඇති බවයි. තවත් ආකාරයකට කියන්නේ නම් රාජ්‍යය අහෝසි කිරීම හෝ එයට එරෙහි වීමට ඇති ප‍්‍රබල ම සාධකය ලෙස කලාව මතු කොට දක්වන බව මෙහි පෙනෙන්නට තිබේ.

වේදිකාව හා දේශපාලන අතර සම්බන්ධයේ ඇරඹුම ම ඉතා සංකීර්ණ එකක් වන බව වේදිකාවේ මූලාරම්භය සනිටුහන් කරන ග‍්‍රීසියෙන් ම අපට තහවුරු වේ. අනෙක් කාරණය නම් ග‍්‍රීක ඛේදාන්තවල ප‍්‍රස්තූත කර ගන්නා කථා පුවත් හා තේමාවන් එකනෙහි ම දේශපාලනය වෙත දිශානත වී තිබේ. ඒවා දේශපාලනයෙන් වෙන් කොට කතා බහට ලක් කළ නොහැකි ය.

ඉන් පසුව රෝම, මධ්‍යකාලීන හා එලිසබතියානු වේදිකාව ද ඊට නොදෙවෙනි ලෙස දේශපාලනයේ නිරූපකයක් බවට පත් විය. පේ‍්‍රමය පිළිබඳ, රාජ්‍යයත්වය පිළිබඳ, පුද්ගල නිදහස හා සාංදෘෂ්ටිකත්වය පිළිබඳ දේශපාලනය නොමද ව මෙම යුගයන්හි වේදිකාව තුළ දක්නට ලැබෙයි. එලෙස ම සංස්කෘත, නෝ, කබුකි නාට්‍ය තුළත් බටහිර නූතනවාදී නාට්‍ය කලාව තුළත් දේශපාලනය හා වේදිකාව අතර සම්බන්ධය තව තවත් ශක්තිමත් ව තීව‍්‍ර වනවා හැරෙන්නට වේදිකාවට දේශපාලනය අත හැර දමා යා නොහැකි බව පෙනී යයි.    

වේදිකාව හා දේශපාලන අතර ඇත්තේ සමාවාය සම්බන්ධයකි. වේදිකාව තුළ පවතින ස්වකීය ලක්ෂණයක් ලෙස ද දේශපාලනය හැඳින්විය හැකි ය. තවත් ආකාරයට කියන්නේ නම් දේශපානය යනු වේදිකාවේ මූලධාර්මික ගුණයකි, සාංදෘෂ්ටියකි. 

දෙවන ලෝක යුද්ධයෙන් පසු ව වේදිකාව, දේශපාලන හා අභිමුඛ වීමට නව මානයන් සොයා ගත්තේ ය. විප්ලවීය ලෙස බ්‍රේෂ්ට්ගෙන් ඇරඹි මෙම තත්ත්වය බෙකට් හරහා වර්ධනය වන්නට විය. පඨිතය, වේදිකා භාවිතය යන සියල්ල නව රංග රීති ආශ‍්‍රය කරගනිමින් පසු-බ්‍රේශ්ටියානු වේදිකාව ප‍්‍රගතිශීලී ගමනක් ආරම්භ කර ඇත. නමුත් මෙයින් අදහස් වන්නේ දේශපාලනය සමග වේදිකාව සතු වූ සංකීර්ණ සම්බන්ධය ආරම්භ වූයේ මේ හරහා යන්න නොවේ. දේශපාලනය පිළිබඳ සිතීම වේදිකාවේ සමාරම්භක වගකීමක් විය. විලියම් ෂේක්ස්පියර් විසින් 1601 දී රචිත ජුලියස් සීසර් නාට්‍යයේ එන ඓතිහාසික දේශන දෙකක් වන බෲටස්ගේ සහ මාර්ක් ඇන්තනීගේ දේශනවල ටෝනි රණසිංහ විසින් පරිවර්තනය කළ වදන් පෙළ වෙත වෙත අවධානය යොමු කරමින් අපි මේ – ආරම්භක – සටහන අවසන් කරමු. 17 වන සියවසේ රචිත මෙම නාට්‍ය පෙලෙහි එන සමස්ත සිදුවීම් හා මෙවැනි උපුටා දැක්වීම් ෂේක්ස්පියර්ගේ පෘථූල දැක්ම ලෝකයා හමුවට ගෙන ආ එක් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකි ය. යුරෝපයේ ඇමති මණ්ඩලයේ කුමන්ත්‍රණයකින් සීසර් ඝාතනය වීමෙන් පසුව, සීසර්ගේ අවමඟුල් උත්සවයේදී සීසර් ව ඝාතනය කිරීමට මූලික වූ බෲටස්ගේ කතාව.ෂේක්ස්පියර් අතින් ලියවෙන්නේ මේ ආකරයට යි.

බෲටස්  –

මගේ කතාව අවසන් වන තුරු ඉවසීමෙන් යුතුව සිටින්න.

රෝමවරුනි, රටවැසියනි, මිතුරනි, මගේ පරමාර්ථය කුමක් වී දැයි දැන ගැනීමට මට සවන් දෙන්න. මට සවන් දීමට නිහඬ වෙන්න.

මගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් මා විශ්වාස කරන්න.

මා විශ්වාස කිරීමට මගේ ගරුත්වයට සැලකිල්ලක් දක්වන්න.

ඔබේ නුවණින් මා විනිශ්චය කරන්න.

මා හොඳින් විනිශ්චය කිරීමට ඔබේ සිහිකල්පනාව අවදි කරන්න.

මේ ජනකාය අතර කවුරු හරි තැනැත්තෙක් ඉන්නවා නම්,

සීසර්ගේ හිතවත් මිතුරෙක්,

මා ඔහුට කියා සිටින්නේ මා සීසර්ට දැක්වූ ආදරය,

ඔහු සීසර්ට දැක්වූ ආදරයට වඩා කිසිසේත් අඩු නොවූ බව යි.

එවිට ඒ මිතුරා අසා සිටියහොත්, ඇයි එහෙනම් බෘටස්, සීසර්ට එරෙහි ව නැඟී සිටියේ කියා.

මේකයි පිළිතුර,

මා ඔහුට වඩා අඩුවෙන් සීසර්ට ආදරය කළා නොවේ.

නමුත් මා ඊට වඩා රෝමයට ආදරය කළ වග යි.

ඔබ කැමති සීසර් ජීවත් ව ඔබ හැමෝ ම වහලුන් සේ මිය යන්නට ද ?

එහෙම නැති නම් සීසර්ගේ මරණින් පසු නිවහල් ජනකායක් මෙන් ජීවත් වෙන්නට ද ?

සීසර් මට ඇලුම් කළ නිසා මම ඔහු වෙනුවෙන් වැලපෙමි.

ඔහු වාසනාවන්ත වූ නිසා මම සන්තෝෂ වෙමි,

ඔහු වීරවරයෙකු වූ නිසා මම ඔහුට ගරු කරමි.

නමුත් ඔහු රජ වෙන්ට තැත් කළ නිසා, මම ඔහු මරා දැම්මෙමි.

ඔහුගේ ආදරය කඳුළු ද,

ඔහුගේ වාසනාවට සතුට ද,

ඔහුගේ වීරත්වයට ගෞරවය ද,

ඔහුගේ ආත්මාර්ථයට මරණය ද හිමි විය.

කවුරු හරි මෙතන ඉන්නවද වහලෙකු වීමට තරම් කෙනෙක්.

එහෙම කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න.

ඔහුටයි මා වරදක් කර ඇත්තේ.

තමාගේ රටට ආදරය නොකිරීමට තරම් අධමයෙක් මෙතන ඉන්නවාද ?

කවුරු හරි එහෙම තැනැත්තෙක් ඉන්නවා නම් කතා කරන්න.

ඔහුටයි මා වරදක් කර ඇත්තේ.

එයට පිළිතුරක් ලැබෙන තුරු මම මොහොතක් නිහඬ වෙන්නම්.

පිරිස – කවුරුත් නෑ බෘටස්. කවුරුත් නෑ.

බෲටස්

එහෙම නම් මා කටවත් වරදක් කරල නෑ.

බෘටස් කුරිරු පාලකයකු වුණා නම්,

ඔබ ඔහුට කරන දේට වැඩි යමක් මම සීසර්ට කරලා නැහැ.

ඔහුගේ මරණය පිළිබඳ විස්තර මන්ත්‍රණ සභා ලේඛනාගාරයේ සටහන් කර තිබෙනවා.

ඔහුට හිමි කීර්තිය නොඅඩුවෙන ලෙසටත්,

ඔහුගේ මරණයට හේතු වූ සැහැසිකම් ඉස්මතු නොවෙන ලෙසටත්.

රෝමයේ පොදු යහපත සඳහා මා මගේ හොඳම මිතුරා මරා දැම්මා සේ,

මගේ රටේ යහපත සඳහා මාගේ මරණය මගේ රටට අවශ්‍ය වූ ඕනෑ ම වේලාවක,

ඒ කිණිස්ස ම මා වෙත එල්ල වී ඇති බැව් සිතමින් මම ඔබෙන් සමු ගන්නෙමි.

රංග මනුප්‍රිය

 

***

Advertisements