19904858_1507944109255985_353807068_n

නිනෝ ලයිව් (Nino Live) චිත්‍රපටය අපට එක්තරා ආකාරයකට සමකාලීන සංවාදවලට අවශ්‍ය කරන මූලික වචන ද්විත්වයක් කේන්ද්‍ර කරගෙන නිපදවා ඇති බව පැවසීම අසාධාරණ නොවේ. එනම් යථාර්ථය (Real) සහ දෘශ්‍යමානයයි (Appearance). නිනෝ ලයිව් චිත්‍රපටය අර්ථ කථන ද්විත්වයක් ඔස්සේ විමසා බැලීමට අප උත්සහ කරන අතර එහි මුල් අර්ථ කථනය තුළ අපට උක්ත ප්‍රධාන වචන ද්විත්වය හමු වේ. (Reality) නැතහොත් යථාර්ථය පෙන්වීම මුඛ්‍ය අදහස කරගත් රියැලිටි ටීවී වැඩසටහනක් සමඟ දෝලනය වන චරිතයක් නිනෝ ලෙස මෙම චිත්‍රපටයේ ජීවත් වේ. අපට අවශ්‍ය කරන්නේ එම අදහස එසේ නොමැති නම් රියැලිටි ටීවී (Reality TV) යන අදහස සමඟ පොර බැඳීමටයි.

එක්තරා ආකාරයකට අපගේ ජීවන වටපිටාව ගොඩනැඟුන එකක් බව අප අමුතුවෙන් පෙන්වා දීමට අවශ්‍ය නැත. අපගේ ජීවිතය සමාජ මාධ්‍ය, දැන්වීම්, ෆේස්බුක් වලින් ගොඩනැංවූ එකක් බව අප දැනටමත් දන්නා කරුණකි. ඒවා විසින් අපගේ ජීවිත සාදනු ලැබ ඇත. එලෙස ම අපගේ නොයෙකුත් තොරතුරු ද එම ආයතන සතුව පවතී. අපි දේශපාලනය කරනවා ද, අපි කලාකරුවන් ද, යන්න පවා එම මාධ්‍ය ආයතන හොඳින් දනී. ඒවාගේ ම ෆේස්බුක් හි විශාල ජනතාවක් සිටියත්, අපි දෛනික ව එය භාවිත කළත්, එයින් අපි දන්නේ කිහිප දෙනෙකු පමණි. වෙනත් වචන වලින් කියන්නේ නම් අපි ජීවත් වන්නේ අපට අදාළ පිරිසක් සමඟ පමණි. චිත්‍රපටයේ දී නිනෝ ජීවත් වන්නේ එවැනි පරිසරයකය. CIA, ප්‍රාග්ධන ව්‍යාපාර, රාජ්‍ය, අපගේ ජීවිත ගොඩනඟන අතර ඒ අනුව බලන විට අපගේ ජීවිතයට සාරයක් නොමැත. අපට හරයක් නැත. අපට ඇත්තේ මතුපිටක් පමණක් බව නිනෝගේ ජීවිතයෙන් අපට පසක් කරගත හැක.

ඒ අනුව අප මෙහි දී වඩාත් රැඩිකල් ලෙස දක්වන්නේ මෙම වැඩසටහන්වල ඒවායෙන් කියැවෙන පරිදි යථාර්ථයක් ඉදිරිපත් නොකරන බවයි. ඒ වෙනුවට එම වැඩසටහන් කරනු ලබන්නේ මිනිස් ජීවිතය පිළිබඳ දෘශ්‍යමානයක් සෑදීමයි. සෘජුව ම පවසන්නේ නම් – ‘රියැලිටි ටීවී’ – යනුවෙන් අදහස් කරන සංකල්පයම වැරදි වේ. දෝෂ සහගත වේ. එසේ වන්නේ යථාර්ථය, පැවැත්මට සෑම විට ම සංකීර්ණ විභවතා පවතින නමුත් නිනෝගේ ජීවිතයට නො එසේ නම් මෙම රියැලිටි ටීවී වැඩසටහන් වලින් පෙන්වන මිනිස් ජීවිතවලට එසේ සංකීර්ණ විභවතා නොමැති වීමයි. අපට මෙය සරල උදාහරණයකින් පැහැදිලි කරගත හැකිය.

අජිත් බණ්ඩාර යනු ලංකාවේ රියැලිටි ටීවී වැඩසටහනක් විසින් ගොඩනැඟූ තරුවකි. නමුත් සියුම්ව බලන කල අපට පෙනෙන්නේ ඔහුගේ ජීවිතයේ යථාර්ථය නොව ඔහු පිළිබඳ දෘශ්‍යමානයක් මෙම වැඩසටහන මඟින් පෙන්වන බවයි. ඔහුගේ විභවතා බොහෝ පැවතිය හැකිය. ඔහු ආදරවන්තයෙක්, සංවිධායකවරයෙක්, දේශපාලන ක්‍රියාධරයෙක්, මිතුරෙක්, ඥාතියෙක්, ක්‍රීඩකයෙක් ආදී බොහෝ විභවතා වලින් පිරී පැවතිය හැකිය. නමුත් ඔහුගේ ජීවිතය ගැන රියැලිටි ටීවී වැඩසටහන අපට පෙන්වන්නේ ඔහු ගායකයෙකු පමණක් බවයි. ඔහු කුඩා කළ ගායනා කර ඇත. පාසලේ දී ගායනා කර ඇත. ගමේ ගායකයෙකි. බොහෝ විට එවන් තරු පවසන්නේ අම්මාගේ සිහින සැබෑ කරන්නට ගායකයෙකු වන බවයි. ඔහු ගොවිතැන් කරන ආකාරය –  මසුන් අල්ලන ආකාරය අපට පෙන්වයි. නමුත් මේවා සියල්ල දෘශ්‍යමානයන් පමණි. එසේ වන්නේ යථාර්ථය මීට වඩා අතිශය සංකීර්ණ වීමයි.

අප දේවල් තීරණය කළ යුතු අතර අපට ඕනෑ ම දෙයක් විය හැකිය. අපගේ ජීවිතය රේඛාවක් නොවේ. යථාර්ථය තුළ සෑම විට ම වියහැකිභාවයක් පවතින බව මෙහි දී අමතක කරනු ලබයි. නිනෝගේ ජීවිතය දෙස බැලීමෙන් අපට මෙම තර්කය අවබෝධ කරගත හැකිය. නිනෝගේ දෘශ්‍යමානය පෙන්වයි. නමුත් යථාර්ථය තුළ ඔහු අතිශය සංකීර්ණ චරිතයකි. එහි උච්චත ම අවස්ථාව වන්නේ නුනූට ආදරය ප්‍රකාශ කිරීමයි. නමුත් චිත්‍රපටයට අනුව නුනූට ආදරය ප්‍රකාශ කිරීමට අවසර නැත. එසේ වන්නේ නිනෝගේ යථාර්ථය තුළ ඔහු අත්විඳින ආදරය වැඩසටහනට අවශ්‍ය නැත. නිනෝගේ මව් සෙනෙහස, මිතුරුදම, පියා සෙවීම, උපන්දින සැමරීම වැඩසටහනට අදාළ නැත. වැඩසටහනට අවශ්‍ය වන්නේ නිනෝගේ දෘශ්‍යමානය (Appearance) පමණි. යථාර්ථය බහුමානීය, බහු දිශානත, බහු තෝරා ගැනීමෙන් සෑදී ඇත. නමුත් නිනෝට මෙම අවස්ථා අහිමිය. මේවා ඉවත් කර රියැලිටි ටීවී වැඩසටහන් විසින් කරන්නේ ඒකමානීය දෘශ්‍යමානයක් තැනීමයි.

පසුගිය කාලයේ ජනප්‍රිය වූ රජකතා චිත්‍රපටි වලින් මෙම අදහස අප තවත් සරල කරගත හැකිය. ඒවායේ දී සිදු වූයේ ඉතිහාසය ගැන අප දන්නා කතාව සටහන් කිරීමයි. අපි කැමති අතීතයක් නිර්මාණය කිරීමයි. වෙනත් වචන වලින් කියන්නේ නම් වර්තමාන අදහස් අතීතය නම් රූපය මතට හෙලීමයි. අතීත කතා චිත්‍රපට වලින් සිදු කරන ලද්දේ එයයි. නමුත් අප හොඳින් විමසා බැලූ විට දක්නට ලැබෙන්නේ ඉතිහාසය යනු ඊට වඩා සංකීර්ණ යමක් වන බවයි. ඉතිහාසය යනු අපි පර්යේෂණ කළ යුතු දෙයකි. එය අප විසින් විසඳිය යුතු ප්‍රේහේලිකාවකි. ඒ අනුව අපට දක්නට ලැබෙන්නේ මෙහි දී අදාළ වන්නේ යථාර්ථය නොව දෘශ්‍යමානය බවයි. ඒ අනුව අවසානයේ සෘජුව පැවසිය හැක්කේ රියැලිටි ටීවී යන අදහස ම සදොස් බවයි. නිනෝගේ ජීවිතය රේඛාවක් නොවේ.

මෙසේ අප සටහන් කරනු ලැබුවේ නිනෝ ලයිව් චිත්‍රපටය කියවිය හැකි එක්තරා ආකාරයක ජනප්‍රිය අර්ථ කථනයකි. මීලඟට අපි විකල්ප අර්ථ කථනයක් වෙත විතැන් වන්නෙමු.

නිනෝ ලයිව් චිත්‍රපටය පිළිබඳ සාකච්ඡා කිරීමට අපට ප්‍රධාන වශයෙන් වැදගත් වන තර්කයක් වන්නේ ජාතික චින්තනවාදීන්ගේ මූලික තර්ක ආකෘතිය වටහා ගැනීම බව පැවසීම පුදුමයට කරුණක් නොවේ. ජාතික චින්තනවාදීන් සමඟ සිදුකරන සංවාදවල දී අපට පෙනී යන මූලික කාරණයක් වන්නේ අපගේ ජීවිතය ආරම්භ වූ ආකාරය සහ අවසාන වන ආකාරය ඉන් මතුව සිදුවන දෙය පිළිබඳ ඔවුන්ට කීමට හැකි බවයි. දැන් අප මෙම තර්ක ආකෘතිය සෙමින් විච්ඡේදනය කරමු.

අප දැනටමත් දන්නා දෙය වන්නේ නොදන්නා දෙයක් නිසා ලෝකයක් තුළ අපි ඉන්නා බවයි. ඒ අනුව අප කල්පනා කර බලන විට අපට දැකගත හැකි වන්නේ ජාතික චින්තනවාදීන්ගේ තර්කය තුළ විශාල පරස්පරයක් පවතින බවයි. එය මෙසේය. අපට අපගේ පැවැත්මේ ආරම්භය පිළිබඳ අපට කිසිවක් කිව නොහැකි වන අතරම අපට එම මූලාරම්භය පිළිබඳ මතකයක් නැත. එසේ නමුත් කුඩා දරුවෙකු බිහි වන ආකාරයෙන් අපගේ උප්පත්තිය අපට දැකගත හැකි වුවත් අපගේ මරණය නම් අපට කිසිවිට අත්දැකීමක් ලෙසට විස්තර කළ නොහැක. මෙම අති මූලික තර්ක ආකෘතියෙන් අපට මිදිය නොහැක. වෙනත් වචන වලින් කියන්නේ නම් මරණය යනු අත්දැකීමක් නොවේ. අප වෙනත් පුද්ගලයන්ගේ මරණය දැක්කත් එය මරණය දැකීමක් නොව මළ මිනියක් – පැවැත්ම අවසාන වී වෙනත් පැවැත්මක් බවට පත් වූ – පැවැත්මකි. නමුත් ජාතික චින්තනවාදීන්ගේ අදහස අප ඉහතින් විග්‍රහ කළ  මෙම අති මූලික කාරණා වලින් ඔබ්බට යාමක් දක්වන අතර එය එතරම් ඒත්තු යන්නක් නොවන අතර ඔවුනට එය ඔප්පු කළ හැක්කක් නොවේ. එම තර්ක ව්‍යුහය අවසානයේ දිශානත වන්නේ භක්තියට හෝ විශ්වාසයන් වෙතය. එය නිවන, මෝක්ෂය, ස්වර්ගය ආදියෙන්  ඔවුන් අපට යෝජනා කරයි.

ඒ අනුව අපට ප්‍රාථමික වශයෙන් වැටහෙන්නේ අප වීසි කර ඇති පැවැත්මක් බවයි. අපට එක් ආකාරකට මුලක්, ආරම්භයක් මතක නැති අතර ඒ ගැන අදහසක් ද නැත. අපට කිව හැක්කේ යම් මොහොතක සිට අප මේ ලෝකය සමඟ ගනුදෙනු කරන බව පමණි. ඒ අනුව, සෑම විටත්, ඒ වන විටත් අපි සම්බන්ධිත වූ ලෝකයක් තිබේ. අපි උදෑසන අවධි වූ පසු අපිට විවිධ මිනිසුන් මුණ ගැසෙන අතර අපි කිසි විටෙක ඔවුන් ගැන සිතන්නේ නැත. නමුත් අපගේ ඉදිරිපිටට ආ පුද්ගලයා ගැන අප සිතයි. ඉන් පසු ඔහු/ ඇයත් අපට අමතක වේ. උදේ අප බසයට නඟින විට රියදුරා ගැන සිතුවත් බසයේ ගමන් ගන්නා විට අපට ඔහු ගැන සිතෙන්නේ නැත. නමුත් මේ අප ගමන් කරන්නේ විවිධ දෑ භාවිත කරමින්, විවිධ පුද්ගලයන් භාවිත කරමින් බව අප මතක තබා ගත යුතුය.

මේ අනුව අපට වැටහෙන දෙයක් වන්නේ මගේ පැවැත්මේ මූලික ස්වරූපය වන්නේ ම මට අනෙකන් සමඟ සිටීමට සිදුවීමයි. මෙහි දී අනෙකා ලෙසට අප අදහස් කරන්නේ මම ද ඇතුළත් වූ පොදු එකතුවක් නම් අර්ථයෙනි. අනෙකා යනු මගෙන් විනර්මුක්ත වූ පැවැත්මක් නොවේ. දැන් අප නිනෝ ලයිව් චිත්‍රපටය දෙසට අවධානය යොමු කරමු. මේ චිත්‍රපටයේ නිනෝගේ උප්පත්තියට හේතුවක් තිබෙන අතර අප මුලින් පැහැදිලි කළ පරිදි අපගේ උප්පත්තියට එසේ හේතුවක් නොමැත. නමුත් නිනෝ මේ ලෝකයට එන්නේ ම රූපවාහිනී වැඩසටහනක් නිසාය. ඔහුගේ උපතට අරමුණක් ඇත. ඒ අනුව මෙම චිත්‍රපටයට අනුව නිනෝ වීසි කළ පැවැත්මක් නොවේ. ඒ අනුව නිනෝ යනු මිනිසාගේ පරම වියහැකිභාවය නොමැති පැවැත්මකි. මිනිසාගේ ජීවිතය අහම්බයේ වියහැකිබවක් වුවත් නිනෝට එසේ නැත. ඔහුගේ ජීවිතය පාලනය කරන වැඩසටහනක් ඇත. එය අහම්බය මත පදනම් නොවේ. කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ පිහිටි සාලාව ප්‍රදේශයේ ජීවත් වූ පුද්ගලයින්ට කිසි විටෙක යුධ බිය ඇති නොවේ. නමුත් එකවර ම ඔවුනගේ නිවාස වලට මෝටාර් ආදී ගිනි අවි වරුසාවක් පතිත විය. එය කිසිවිටෙක ‘වියහැකිභාවයක් ලෙස සාලාවේ වැසියන් සිතා නොසිටි අතර’ අහම්බයකි. ඒ ආකාරයේ අහම්බයන් විශාල ගණනක් මඟින් අපගේ ජීවිතය සකස් වී ඇත. සරලව කියන්නේ නම් අපගේ ජීවිතය සැලසුම් කිරීම යන්න බොරුවකි. ජීවිතයේ යම් යම් දේවල් – අපගේ විභාග, විවාහය – සැලසුම් කළ ද මිනිස් ජීවිතය එසේ සැලසුමක් හෝ සිතියමක් නොවේ. ඒ අනුව අපට පැහැදිලි වන්නේ මෙම චිත්‍රාගාරයෙන් ඉවතට ගියත් නිනෝට හමුවන්නේ තවත් චිත්‍රාගාරයක් බවයි.

නමුත් නිනෝ ලයිව් චිත්‍රපටය අපට මෙම  අදහස්වල පරස්පරය පෙන්වා දෙයි. එහි ඇත්තේ ජීවිතය පිළිබඳ සැලසුමකි. සැලසුමකට අනුව ජීවත් වීමකි. ජීවිතය පිළිබඳ සරල රේඛාමය අර්ථ නිරූපණයකි. ජීවිතය විවිධ ‘දිශානත වීම් වලට හැකියාව ඇත්තක්’ යන්න මෙහි දී තිසර ඉඹුලාන නිර්මාණාත්මක ලෙසට පරස්පරකරණය කර ඇත. ඒ අනුව නිනෝ ලයිව් චිත්‍රපටය එක්තරා ලෙසකට අපට අපගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය යම් ලෙසකට මතක් කරන අතර ම වක්‍රාකාරව උඩු යටිකුරු කරනු ලබන්නේ ජාතික චින්තනවාදීන්ගේ ජීවිතය පිළිබඳ මූලික තර්ක ආකෘතියයි. සිනමාව සහ දේශපාලනය අතර තිබූ සංවාදය අද දවසේ නවක සිනමාකරුවන් අතින් ක්‍රමිකව ගිලිහී යාම මෙම අර්බුධයේ ම තවත් පැතිකඩකි. දේශපාලනය පිළිබඳ සංවේදී මාතෘකාවක් ස්පර්ශ කරන ලෙස ඉල්ලා සිටිනා මෙම චිත්‍රපටියේ එම හිස් තැන අපට කියා දෙන්නේ මෙයයි .

එරන්ද මහගමගේ

 

 

****

 

Advertisements